කොවිඞ්-19 අවදානම ඉදිරියේ වෛද්‍යවරු දැඩි සත්කාර ඒකක සහ රෝග පරීක්ෂාව පුලුල් කරන ලෙස අවධාරනය කරති

ශ්‍රී ලංකාවේ දෛනික රෝගීන් වාර්තා වීමේ වක්‍රය ඉහල අගයක් ගන්නා බවට වෛද්‍යවරුන් කල අනතුරු ඇඟවීම සනාථ කරමින් 3248 ක් තරම් අඩු පරීක්ෂා කිරීම් ගනනක් සමගින් ලංකාවේ මේ වන විට කොරෝනා රෝගීන් 176 දෙනෙකු වාර්තා වී ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය ගැන තවත් වෛද්‍යවරුන් තම අදහස් පල කිරීමට පටන් ගෙන ඇත. පසුගිය දින කීපය තුල එ බඳු ලිපි කීපයක් දිනපතා පුවත්පත්වල දැක ගත හැකි විය.

කොවිඩ්-19 ශ්‍රී ලංකාවේ පැතිරීම: ඔබට උදවු කිරීමට අපට උදවු වෙන්න යැයි වෛද්‍යවරු ඉල්ලති” යන මැයෙන් අප්‍රේල් 02 වැනි දා ඩේලි මිරර් පුවත්පත්ට කමන්ති වික්‍රමසිංහ ලියූ ලිපිය ඉන් එකකි.   වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් කීප දෙනෙකු සමගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡා ඇසුරින් එය සකස්කොට තිබුනි. වෛද්‍ය විශේෂඥ එම්. එම්. ජනප්‍රිය කලම්බු ටෙලිග්‍රාෆ්හි පල කල ලිපිය මේ සම්බන්ධයෙන් වැදගත් තවත් ලිපියකි. දැඩි සත්කාර ඇඳන්වල හිඟය සහ පරීක්ෂාවන්ගේ අඩුව නිසා මතු ව ඇති අවදානම් සහගත තත්වය ගැන වෛද්‍යවරුන් අතර පවතින කනස්සල්ල එම ලිපිවලින්  ප්‍රකාශිත වී ඇත.

වික්‍රමසිංහගේ ලිපියට රත්නපුර ශික්ෂන රෝහලේ ලය රෝග විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ති පින්ටෝ ලබා දුන් සම්මුඛ සාකච්ඡා අන්තර්ගත වෙයි.

මහාචාර්ය පින්ටෝ මෙසේ සඳහන් කොට ඇත: “අනෙකුත් රටවලින් අපට දැකගත හැකි වූ ඔවුන්ගේ සීමාකාරී සාධකය වූයේ දැඩි සත්කාර සේවාවයි.” 

ඇයට අනුව දැනට ලංකාවේ ආන්ඩුවේ රෝහල් සතුව පවතින්නේ දැඩි සත්කාර ඇඳන් 600කට මඳක් වැඩියෙන් පමනි. නමුත් මෙම ඒකකයන්ගේ සේවාව අවශ්‍ය වන වෙනත් රෝගීන් ද සිටින බැවින් මෙම ධාරිතාව මුලුමනින් ම කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ම කැප කල නොහැකි ය. වෙන්ටිලේටර් යන්ත්‍රයක් රුපියල් මිලියන 3ක් පමන වෙයි.  එම හේතුවෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විශේෂඥ කන්ඩායමක් මූලිකත්වය ගෙන, මේ වන විට අබලන් වී ඇති උපකරන අලුත්වැඩියාවටත්, නියමිත කාල රාමුවක් තුල තාවකාලික ආදේශක වශයෙන් වෙන්ටිලේටර් උපකරනයක් වර්ධනය කිරීමටත් වැඩසටහනක් අරඹා ඇති බව පින්ටෝ සඳහන් කොට ඇත.

මෙම සිමීත දැඩි සත්කාර ඇඳන් පවා ව්‍යාප්ත වී ඇත්තේ අසමාන ආකාරවලිනි. එම ලිපිය සමඟ පල කෙරුනු ග්‍රැෆික් සටහනකට අනුව උතුරු පලාතේ මුලතිවු දිසා රෝහලේ එකදු දැඩි සත්කාර ඇඳක් නොමැති අතර කිලිනොච්චි, වවුනියා, මන්නාරම දිසා රෝහලවල දැඩි සත්කාර ඇඳන් ඇත්තේ 2 ක්, 4 ක් සහ 3ක් ආදී වශයෙනි. යාපනය ශික්ෂන රෝහලේ එම පහසුකම 23 කි. වතු කම්කරු ප්‍රජාව බහුල වශයෙන් සංකේන්ද්‍රනය වී සිටින නුවරඑලිය සහ දික්ඔය දිසා රෝහලවලට ඇත්තේ 5 බැගින් වන අතර සමස්ත උතුරු මැද පලාතට ම ඇත්තේ 27 කි.

අතිශයින් ජනාකීර්න කොලඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රධාන රෝහල් පැවතිය ද දැඩි සත්කාර ඒකක සම්බන්ධ තත්වය කිසිසේත්ම හොඳ මට්ටමක නැත. දිවයිනේ ප්‍රධානතම රෝහල වන කොලඹ ජාතික රෝහල සතුව ඇත්තේ දැඩි සත්කාර ඇඳන් 115 කි. කොලඹ දකුන, කොලඹ උතුර සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල එම ඇඳන් සංඛ්‍යාව පිලිවෙලින් 13, 11 සහ 9 කි. රිජ්වේ ආර්යා ලමා රෝහල, ද සොයිසා රෝහල සහ කාසල්වීදිය රෝහල සතුව ඇත්තේ පිලිවෙලින් ඇඳන් 8, 2 සහ4 කි. ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇත්තේ දැඩි සත්කාර ඇඳන් 8 ක් පමනි.

වෛද්‍ය ජනප්‍රිය දැඩි සත්කාර ඇඳන් සම්බන්ධ කරුන මතු කරන්නේ දුර්වල ම තැනක් වශයෙනි. ඔහු අනතුරු අඟවන ආකාරයට එම ඇඳන් ධාරිතාව අඩුම තරමේ 1000ක් 1200ක් තරම්වත් ඉහල නංවා ගත යුතු ය. ඉතාලියේ සෞඛ්‍ය සේවයේ මට්ටම කරා ලඟා වීමට නම් ඇඳන් 3,500ක් ද එක්සත් රාජධානියේ මට්ටම කරා ලඟා වීමට ඇඳන් 2,800ක් ද අවශ්‍ය වේ.

දැඩි සත්කාර ඇඳන් සම්පාදනයේ දී අත්‍යවශ්‍ය ම කරුනක් වන්නේ වෙන්ටිලේටර් උපකරන ධාරිතාව ද හෙදියන් ගනන ද ඉහල නංවා ගැනීමයි. දැනට වර්ධනය කෙරෙන බවට සඳහන් වන වෙන්ටිලේටර් යන්ත්‍රයේ පහසුකම් ගැන තම සාංකාවන් මතු කරන ඔහු ඒවා බොහෝ විට අනතුරු ඇඟවීමේ පද්ධතියකින් තොර ප්‍රාථමික මට්ටමේ ඒවා විය හැකි බව පවසයි. මෙවන් තත්ත්වයක දී හෙදියක් නිතර ම රෝගියා ලඟ විමසිල්ලෙන් තැබීම අත්‍යවශ්‍ය කාරනයක් බවට පත් වෙයි.

දැඩි සත්කාර ඇඳන් 1000ක සේවය කිරීමට සේවා මුර 3ක් සලකන විට හෙදියන් 3000ක් අවශ්‍ය කෙරෙන බව පෙන්වා දෙන ජනප්‍රිය තවත් හෙදියන් 500 දෙනෙකුගේ අතිරේක හමුදාවක් පවත්වා ගත යුතු බව පෙන්වා දෙයි.

ලංකාවේ රෝගියෙකු වාර්තා වන තුරු පරීක්ෂාවන් නොකර සිටීමේ     ප්‍රතිපත්තියේ භයානකකමත්, එය ම අධිවසංගත තත්ත්වයකට අතවනන්නේ කෙසේ ද යන්නත් වෛදය ජනප්‍රිය දැඩි ව අවධාරනය කරයි. කොරෝනා ආසාදිතයන් විය හැකි බවට සැක කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගට ම 150ත් 200ත් අතර ස්ථාවර අගයක පවතින අතර මෙම රෝගීන් පරීක්ෂනයට ලක් කෙරෙන්නේ වඩ වඩාත් රෝග ලක්ෂන ප්‍රකට කරන්නට පටන් ගන්නා විටයි. නමුත් එතෙක් ම ඔවුන් හා සබඳතා පැවැත් වූ අය නිරෝධායනයකට ලක් කිරීමක් කෙරෙන්නේ නැති අතර ඒ අයගෙන් නොදැනුවත් ව ම තවත් අයට වෛරසය සම්ප්‍රේෂනය විය හැකි ය. ඇත්තෙන් ම මේ අය ද වහා වහා ම පරීක්ෂාවන්ට යටත් කොට ආසාදනය වී ඇති දැයි කඩිනමින් හඳුනා ගත යුතු ය.

දිනකට පරීක්ෂා කිරීම් 10000ක්වත් සිදු කර ගත හැකි මට්ටමක් ප්‍රශස්ත යැයි ද අඩු ම තරමේ දිනකට පරීක්ෂන 5000ක්වත් සිදු කල යුතු යැයි ද ඔහු නිගමනය කරයි.

වෛද්‍ය නෙරන්ජන් දිසානායක ද අධිවසංගත තත්ත්වයක් වලක්වා ගැනීමට ඇති වැදගත් ම සාධකයක් ලෙස ටෙස්ටින් ඉහල නංවා ගැනීම මගින් රෝගීන් හඳුනා ගැනීම කඩිනම් කිරීම පෙන්වා දෙයි. ඔහු එයට  ප්‍රධාන ම හේතුවක් ලෙස දක්වා සිටියේ රෝග ලක්ෂන අනුව ම කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගත නොහැකි වීමයි. වෛරසය ආසාදනය වන රෝගීන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු රෝග ලක්ෂන ප්‍රකට නොකරන බව හඳුනා ගෙන ඇත. අනෙක් කාරනාව නම් ඇතැම් රෝගීන් ප්‍රකට කරන රෝග ලක්ෂනය ආඝ්‍රාන හැකියාව අඩපන වීම වැනි සියුම් එකක් විය හැකි වීමයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුවයිස් හනීෆා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කන්ඩායමක් ප්‍රබල අනතුරු ඇඟවීමක් කරමින් සමූහ පරිමාන පරීක්ෂා කිරීම් වහා ම අරඹන්නැයි ඉල්ලා සිටින ලිපියක් පුවත්පත් කීපයක ම පල කිරීමට ද කටයුතු කලහ. ඔවුන් අනතුරු ඇඟවූයේ මෙම පියවර අසමත් වුවහොත් ගොඩ ඒමට වෙනත් විකල්ප වැඩසටහනක් නොමැති බව දක්වමිනි.

වෛද්‍ය විශේෂඥයන්ගේ බලගතු ඉල්ලීම් දිගින් දිගට ම ඉදිරිපත් වෙද්දීත් එය ක්‍රියාවට නොනැගීමට හේතුව මුදල් වැය කිරීමට නොසුදානම බව වෛද්‍ය ජනප්‍රිය නිරීක්ෂනය කරයි. දකුනු කොරියාවෙන් ආනයනය කරනු ලබන නියමිත ප්‍රමිතියෙන් යුත් පරීක්ෂන කට්ටලයක් ලබා ගැනීමට රුපියල් 16,000ක් වැය වෙයි. ඒ අනුව පරීක්ෂන 5000කට දිනකට රුපියල් මිලියන 160 කුත් මාසයකට රුපියල් බිලියන 4.8 කුත් වැය වන බව ඔහු පෙන්වා දෙයි.

නමුත් මහජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට මේ සා සොච්චම් මුදලක් හෝ වැය කිරීමට පාලක පන්තිය සූදානම් නැත. වෛරස් වසංගතය පසෙක තිබියේවා ලංකාවේ රෝගීන් නිතර ම පාහේ ඖෂධ හිඟයන්ගෙන් පීඩා විඳිති. මේ වන විට ද, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් සෑම 12 දෙනෙකුට එක් අයෙකු පෙලෙන දියවැඩියා රෝගය පාලනය කිරීමට අත්‍යවශ්‍ය ඉන්සියුලින් ඖෂධ රජයේ රෝහල්වලින් නිකුත් නොකෙරෙන අතර වෙනත් ෆාමසිවල ද එහි හිඟයක් පවතී.  දියවැඩියාවෙන්  පෙලෙන රෝගීන් කොරෝනා වෛරස් වසංගතයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇත. අධි රුධිර පීඩනය ඇති රෝගීන්ට ලබා දෙන ඖෂධවල ද හිඟයක් පවතී.

කොවිඩ්-19 සඳහා පරීක්ෂාවන් ඉහල නැංවීමට වෛද්‍යවරුන්ගේ ආයාචනා කොතෙක් වුවත් ඒවාට ඇහුම්කන් නොදෙන ආන්ඩුව ධනපති පන්ති පාලනය පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් වෙන් කිරීම් නොමසුරු ව සිදු කරයි. ඉදිරි මාස දෙක වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 104ක් ද වෛරස් වසංගතය විසින් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ එරී ඇති සමාගම්වලට සහන සැපයීම පිනිස බැංකුවලට රුපියල් බිලියන 400ක් ද ගෝඨාභය රාජපක්ෂ නොමසුරුව මුදා හැර ඇත.

කතුවරයා අනුමත කරන ලිපි

 කම්කරු පන්තිය, සමාජවාදය සහ වසංගතයට එරෙහි සටන

 4 අප්‍රේල් 2020

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුවේ රුදුරු ප්‍රතිවිපාක කොරෝනා වසංගතයත් සමග මතුවේ

 29 මාර්තු 2020

Loading