ශ්‍රී ලංකාවේ සසප කොවිඞ් -19 වසංගතය ගැන අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 13දින ඉංග්‍රීසි බසින් පලකෙරින.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), පක්ෂයේ මුහුනුපොත් පිටුවේ “කොවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය” යන හිසින් බලගතු අන්තර්ජාල රැස්වීමක් අප්‍රේල් 7දා පැවැත්වී ය.

මෙම රැස්වීම අමතා සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ නායක සාමාජිකයෝ කතා කල හ. මේ දක්වා, එම රැස්වීමේ වීඩියෝව පුද්ගලයන් 1,100කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, මුහුනුපොත භාවිතා කරන 50කට වැඩි දෙනෙකු විසින් බෙදා හැර ඇත. පහත අප පලකරන්නේ, සිංහල භාෂාවෙන් පැවැත්වූ හා සජීවී ව දෙමල භාෂාවට පරිවර්තනය කරන ලද ප්‍රධාන ලේකම් විජේ ඩයස්ගේ කතාවේ සංස්කරනය කරන ලද පිටපත යි.

විජේ ඩයස් රැස්වීම අමතමින්

ඩයස් සිය අදහස් දැක්වීම් ආරම්භ කලේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලදුව, අප්‍රේල් 1දා ලෝසවෙඅහි පලකල “කම්කරු පන්තිය, සමාජවාදය හා වසංගතයට එරෙහි සටන”  නමැති ඉදිරිදර්ශන ලිපියෙන් උපුටා දක්වමිනි.

නෝර්ත් මෙසේ ලිවී ය: “සෑම මහා අර්බුදයකම ලක්ෂනය වන්නේ, දශක ගනනාවක් තිස්සේ රාශිභූත වී ඇති හා යටපත් කෙරී ඇති  ප්‍රතිවිරෝධතා හෙලිදරව් කිරීම යි. ආර්ථික සංවිධානය, සමාජ ව්‍යුහය, දේශපාලන නායකත්වය සහ පවත්නා සමාජයේ අධිපති දෘෂ්ටිවාදය තුල පවතින පසුගාමී, කාලවිරෝධී, දූෂිත හා වඩාත් ගැඹුරු වෛෂයික අර්ථයෙන් විකාර සහගත සහ අතාර්කික පවා වන සියල්ල නිර්දය හා පුලුල් ලෙස හෙලිදරව් කෙරේ.”

මෙම සාධක හතර හෙලිදරවු කිරීමේ අර්ථභාරය හා ගම්‍යයන් ග්‍රහනය කරගැනීම වැදගත් බව ඩයස් රැස්වීම අමතා පැවසී ය.

“මින් පලමුවැන්න ආර්ථික සංවිධානය යි: අප ජීවත් වන්නේ ගෝලීය ධනේශ්වර නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රමය තුල. මෙම පද්ධතිය ගෝලීය පරිමානයකින් බිඳවැටීමක් අත්දකිමින් සිටින බවට අප සියලු දෙනා අද වන විට සාක්ෂි දරනවා.

“තවමත් සම්පූර්න නැවතීමක් කරා පැමින නැතත්, කම්හල්, වතු, බැංකු හා ව්‍යාපාර වසා දමා තිබෙන අතර, ජනගහනයේ අතිමහත් බහුතරයට ජීවත් වීමට අවශ්‍ය දේ තියුනු ලෙස සීමා කෙරී තිබෙනවා. බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ අහිමි කරනු ලැබෙනවා. සමස්ත නගර, දිස්ත්‍රික්ක හා පලාත් පවතින්නේ වසාදැමීමක.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකර්මාන්තයට මෙම තත්ත්වය බලපාන්නේ නැතැයි ව්‍යාජ ලෙස කියමින් සිටියත්, එම අංශයට අවශ්‍ය උපකරන, පොහොර හා රසායනික ද්‍රව්‍ය හිඟ යි. ඔවුන්ගේ අල්ප නිෂ්පාදිතය පවා විකුනා ගැනීමේ දුෂ්කරතාවට ගොවීන් මුහුන දෙනවා. එලඹෙන මාස කිහිපයේ දී සමස්ත ලෝකය ම උග්‍ර ආහාර හිඟයන්ට මුහුන දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය පුරෝකථනය කරනවා. ජාත්‍යයන්තර ආර්ථික සබඳතා හා වෙලඳ ගිවිසුම් අශක්‍ය බවට පත්ව තිබෙනවා. 

“කොවිඩ් -19 අවසන් කිරීම සඳහා වන ගෝලීය ඒකාබද්ධතාවක් වෙනුවට, පාලක ප්‍රභූන් වඩ වඩා ජාතිකවාදී ආර්ථික පිලිවෙත්වලට හැරී සිටිනවා. ට්‍රම්ප් පරිපාලනය යටතේ, චීනයට එරෙහි එක්සත් ජනපදයේ ආර්ථික යුද්ධය තීව්‍ර කෙරෙමින් තිබෙද්දී, ඉරානය ඇතුලු රටවලට එරෙහි ඇමරිකානු සම්බාධක තද කරමින් තිබෙනවා.

“බොහෝ රටවල් ඔවුන්ගේ අපනයනය පවත්වාගෙන යාමට අසමත් වන අතරේ, දසදහස් ගනන් කම්කරුවන්ට රැකියා අහිමි කරමින්  ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මුලුමනින් බිඳවැටී තිබෙනවා. ඉහල යන වෙලඳ හිඟයට මුහුන දෙන රාජපක්ෂ ආන්ඩුව, ආනයන කප්පාදු කරමින් වාහන ආනයනය සම්පූර්නයෙන් නවත්වා තිබෙනවා.

“මෙම කොන්දේසි යටතේ, දීර්ඝ කාලයකට පෙර අත්හරින ලද  “ඔබගේ ආහාර ඔබ ම වවා ගන්න” යන වැඩපිලිවෙල යලි හඳුන්වා දීම මගින්, ස්වයං-පෝෂිතභාවය පිලිබඳ මුලුමනින් අයථා වන මිථ්‍යාව රාජපක්ෂ ආන්ඩුව විසින් තොරොම්බල් කරමින් සිටිනවා.

“ඩේවිඩ් නෝර්ත් සඳහන් කරන සමාජ ව්‍යූහයන් ද මීට වෙනස් නැහැ. ධනවාදය යටතේ, ධනපති පන්තිය සියලු නිෂ්පාදනවල හා බෙදාහැරීමේ හිමිකාරීත්වය දරද්දී, නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා කම්කරුවන් ඔවුන්ගේ ශ්‍රමය වැය කරනවා. එහෙත් කොරෝනා වෛරස් වසංගතයට පෙරාතුව ම, ධනේශ්වර ආර්ථික පද්ධතිය පැවතුනේ දිග්ගැස්සුනු බිඳවැටීමක. 2008 මූල්‍ය අර්බුදය මගින් මෙය සංඥා කලා.

“ගෝලීය මූල්‍ය ව්‍යසනයට ප්‍රතිචාර දක්වමින්, අර්බුදය සඳහා කේන්ද්‍රීය වගකීම දැරූ පරපුටු මල්‍ය කතිපයාධිකාරීන්ට ම යෝධ අරමුදල් සම්පාදනය කලා. ධනයේ හා බිලියනපතියන් සංඛ්‍යාවේ පෙර නොවූ විරූ ඉහල යාමකට මෙය මග පෑදුවා. අද වන විට, ලෝකයේ ඉහල ම බිලියනපතියන් 500 දෙනා සතුව, ලෝකයේ රටවල් 15ක් හැරුනු විට, අනෙක් සියලු රටවල දල දේශීය නිෂ්පාදිතයට සමාන ධනයක් තිබෙනවා.

“මෙම පෙර නොවූ විරූ සමාජ ධ්‍රැවාන්තගත වීම මධ්‍යයේ පවා,  ප්‍රතිසංස්කරනවාදීන් හා ව්‍යාජ-වම්මු ධනේශ්වර පර්යාය හා එහි සමාජ ප්‍රතිවිප්ලවීය පියවරයන් වැලඳගත්තා. ස්ටැලින්වාදීන් ඇතුලු මෙම ඊනියා වම්මුන්ගේ ද්‍රෝහීත්වය, කොවිඩ් -19 වසංගතයේ සමාජීය බලපෑම යටතේ නිර්දය ලෙස හෙලිදරවු වෙනවා.

“කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ දී ඇති ධනපති පාලකයන් විසින් නිර්මිත ආකාරයේ ව්‍යසනයකට මානව වර්ගයා පලමු හා දෙවන ලෝක යුද්ධවලින් මෙපිට මුහුන දී නැහැ. පශ්චාත්-නූතනවාදීන් හා අනන්‍යතා දේශපාලන ව්‍යාපාර විසින් ඉතිහාසයෙන් මකා දැමීමට උත්සාහ කල කම්කරු පන්තිය, තීරනාත්මක සමාජ බලවේගයක් ලෙස යලි ඉස්මත්තට ඒම අරඹා තිබෙනවා.

“තුන්වන කාරනය වන්නේ, දේශපාලන නායකත්වය හා ධනේශ්වරය පිලිබඳ ව කොරෝනා වෛරස් අර්බුදය මගින් හෙලිදරවු කරන දෙයයි. 30-අවුරුදු වාර්ගික යුද්ධය සමයේ අහිංසක දෙමල මිනිසුන්, ගැහැනුන් හා ලමුන් දසදහස් ගනනක් සමූල ඝාතනය කල මිලිටරිය, සිවිල් පරිපාලනයේ ඉහල මුදුන්වලට ඔසවා තැබීම මගින් රාජපක්ෂ ආන්ඩුව එහි විෂඝෝර ස්වභාවය ඇති තරම් හෙලිදරවු කර තිබෙනවා. මෙයත් ලෝක පරිමාන ප්‍රපංචයක්. ආර්ථික හා සමාජ අර්බුදයට ද නැගෙන පන්ති අරගලවලට ද මුහුන දී සිටින පාලක පන්තීන්, පැරනි ආකාරයට තමන්ගේ පාලනය ගෙන යා නො හැකි බව අවබෝධ කරගෙන තිබෙනවා.

“ප්‍රමානවත් මහජන සෞඛ්‍ය සේවාවක් නො තිබීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරන ලද කප්පාදු වැඩපිලිවෙලවල ප්‍රතිඵලය යි. අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි මහජනතාවගේ අත්‍යවශ්‍ය සමාජ අයිතීන්ට සොච්චමක් වෙන් කරන අතරතුර, සෑම රටක ම ධනපති පාලක පන්තීන් මිලිටරියට අසීමිත ව මුදල් වෙන් කරනවා.”

වෘත්තීය සමිති විසින් ඉටුකරන ප්‍රතිගාමී භූමිකාව හා කොවිඩ්-19 වසංගතයට කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් ඉදිරිපත් කිරීමට හෝ කම්කරු පන්තියේ හා පලල් මහජනයාගේ මූලික සමාජ අවශ්‍යතා සම්පාදනය කිරීමට ඔවුන්ගේ කුදුමහත් නො හැකියාව, ඩයස් විස්තර කලේ ය.

හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ක්‍රියාමාර්ගයේ හා එහි ප්‍රකාශනයේ අදාලත්වය කථිකයා විසින් සඳහන් කලේ ය: “මීලඟ ඓතිහාසික කාලපරිච්ඡේදයේ දී සමාජවාදී විප්ලවයක් සිදු නො වුව හොත්, මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතියට ව්‍යසනයක තර්ජනය එල්ල වේ. දැන් වාරය නිර්ධන පන්තියට යි.”

ඩයස් සසප ක්ෂනික සංක්‍රමන ඉල්ලීම් ගෙනහැර දැක්වී ය: 

* ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව කොරෝනා වෛරසය සඳහා විශ්වීය පරීක්ෂාවන් සිදුකිරීම.

* සෞඛ්‍යාරක්ෂන කාර්ය මන්ඩලවලට අවශ්‍ය ආරක්ෂක උපකරන සපයමින්, මනා ආම්පන්න සහිත රෝහල් පහසුකම් ක්ෂනික ව සම්පාදනය කිරීම.

* සෞඛ්‍ය සේවාවන්ගෙන් ලාබ ඉපැයීම නැවැත්වීම. සියලු දෙනාට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැපයීම.

* සියලු කම්කරුවන්ට රැකියා සහතික කිරීම. කර්මාන්තවල කම්කරුවන්ට හා වසාදැමීමට බලකෙරෙන ව්‍යවසායයන්වල කම්කරුවන්ට සම්පූර්න වැටුප් සහිත නිවාඩු ලබාදීම.

* වන්දි ගෙවීමකින් තොර ව සියලු විශාල සංගත හා මහා ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම.

* කොරෝනා වෛරසය හා අනෙකුත් එවැනි වසංගත තුරන් කිරීම සඳහා විද්‍යාත්මක හා තාක්ෂනික ඥානය උපයෝගී කරගැනීම සඳහා විශේෂඥයන්ගේ ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීමේ ගෝලීය කමිටු පිහිටුවීම.

* යුද සූදානම් හා මිලිටරි උපකරන සඳහා දරන වියදම් වහා ම නැවැත්වීම.

* විදෙස් නය ගෙවීම නැවැත්වීම.

මෙම ක්‍රියාමාර්ගය අයථා බවත්, ඒ සඳහා මුදල් නැති බවත්, ධනපති පන්තිය හා එහි ආවතේවකරුවන් නිසැක ව ම කියාපානු ඇතැයි ඩයස් සඳහන් කලේ ය. 1935 දී ප්‍රන්ස කම්කරුවන් අමතා ලියොන් ට්‍රොට්ස්කි කී දෙයට ඩයස් අවධානය යොමු කලේ ය: “ධනපතියන් අස්වාමික කිරීම හා නිෂ්පාදන බලවේග ජනසතු කිරීම, සියලු ඉල්ලීම් අතරින් ක්ෂනික ම ඉල්ලීම විය යුත්තේ මේ නිසා ය. එහෙත්, ධනේශ්වරයේ පාලනය යටතේ මෙම ඉල්ලීම ඉටු කරගත නො හැකි නොවේ ද? ඇත්තෙන් ම එය එසේ ය! අප බලය අල්ලාගත යුත්තේ එබැවිනි.”

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපය ගන්නා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන, සසප ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගයෙන් වෙන් කල නො හැකි සංරචකයක් වන බව කථිකයා විස්තර කලේ ය.

“සංක්‍රමන ක්‍රියාමාර්ගයක් සමගින් කම්කරු පන්තිය හා පීඩිත ජන කන්ඩායම් සන්නද්ධ කිරීම, වැඩකරන ජනයාගේ හා තරුනයන්ගේ වත්මන් විඥානය හා ඓතිහාසික විප්ලවීය කර්තව්‍යයන් සඳහා අවශ්‍ය දේශපාලන විඥානය අතර හිඩැස පිරවීම සඳහා” යැයි ඩයස් කීවේ ය.

“මෙම කර්තව්‍යයන් සඳහා වන අරගලය ගෙන යාමට අවශ්‍ය සංවිධාන රූපය වන්නේ වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි. අන් කවරදාටත් වඩා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, මහජන පක්ෂයක් ලෙස ගොඩනැගීම දැවෙන අවශ්‍යතාවක්.”

Loading