ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින්, වසංගතය මධ්‍යයේ ආන්ඩුව මහමැතිවරනයට දින නියම කරයි

පාර්ලිමේන්තු මහමැතිවරනය පැවැත්වීමේ දිනය ජුනි 20 ලෙස ප්‍රකාශයට පත්කරමින් මැතිවරන කොමිෂන් සභාව (මැකොස) අප්‍රේල් 20 දා ගැසට් නිවේදනයක් නිකුත් කලේය. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමේ අන්තරාය මධ්‍යයේ මැතිවරනයට දින නියම කිරීම පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මැකොස අතර මසක පමන කාලයක් පැවති කඹ ඇදිල්ල මැකොස රාජපක්ෂගේ වාසියට අත්හැර දමා ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය කිරීමේ තත්වයක් උද්ගත කරමිනි.

මැකොස සභාපති මහින්ද දේශප්‍රිය පසුව මාධ්‍යයට සඳහන්කලේ මෙම දිනයද වසංගතය පාලනයේ තත්වය අනුව ඉදිරියේදී කල්යෑමට ඉඩ ඇති බවයි.

ව්‍යවස්ථාපිතව තමන්ට හිමිවූ පලමු අවස්ථාවම ඩැහැගත් රාජපක්ෂ,   මාර්තු 02 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර, මහමැතිවරන දිනය ලෙස 2020 අප්‍රේල් 25 සහ නව පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් කැඳවන දිනය  2020 මැයි 14 බව මැකොස නිවේදනය කලේය.

රාජපක්ෂ පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හලේ පාර්ලිමේන්තුවේ නියමිත කාලය අවසන් වීමට තවත් මාස හයක් ඉදිරියට තිබියදීය. මී⁣ට පෙර ඔහු පාර්ලිමේන්තුව මාසයකට අත්හිටවූයේද එවැනිම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරකිනි. 

පුපුරන සුලු පන්ති අරගල මාලාවක් හා ගැඹුරුතර ආර්ථික අර්බුදයක් මධ්‍යයේ තත්වය තමන්ට අවාසිදායක ලෙස පෙරලීමට ප්‍රථම තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව තමන් බලයට පැමිනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආන්ඩුවක් පිහිටුවා ගැනීමට රාජපක්ෂ අපේක්ෂාවෙන් සිටී.

පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හරිනු ලැබූවිටක, ව්‍යවස්ථාවේ 70 (5) (අ) හා (ඇ) වගන්ති අනුව, මැතිවරනයෙන් තෝරාපත්කරගනු ලබන අභිනව පාර්ලිමේන්තුව, එය විසුරුවාහරිනු ලැබූ මාර්තු 02 සිට මාස තුනක් තුල පලමුවරට රැස්වීම සඳහා ජනාධිපති විසින් කැඳවිය යුතුවේ. මෙසේ ව්‍යවස්ථානුකූලව නව පාර්ලිමේන්තුව රැස්වියයුතු දීර්ඝම දිනය වන්නේ ජුනි 02 වන දිනයි. ඒ අනුව මැතිවරනය ⁣ජුනි 02 ට ප්‍රථම පැවැත්විය යුතුය.

පාර්ලිමේන්තු මැතිවරන පනත (පාමැප) හි 24(3) වගන්තිය පරිදි, යම් හදිසි තත්වයක් හේතුකොටගෙන මැතිවරනය සඳහා ජනාධිපති නියමකොට ඇති දිනය තුල එය පැවැත්වීමට නොහැකිනම් ඒ සඳහා  වෙනත් දිනයක් නියම කිරීමට මැකොසට හැකිය. නමුත් රටේ ඉහලම නීතිය වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන්කල විධිවිධානයන්ට මැකොස බැඳී පවතින බැවින්,  පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මාස තුනක් ඉක්මවන දිනයක් වන ජුනි 20 දා මැතිවරනය පැවැත්වීමට මැකොස ගත් තීරනය අනීතික හා ව්‍යවස්ථා විරෝධී වේ.

මෙම අනීතිකභාවය මගින් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරයි. මැතිවරනය ජුනි 20 ට නියමකොට ඇති බැවින්, ජුනි 02 හෝ ඊට ප්‍රථම නව පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නැත. ජුනි 02ට ප්‍රථම නව පාර්ලිමේන්තුව නොකැඳවුවහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනාධිපතිගේ මාර්තු 02 ප්‍රකාශය බල රහිත තත්වයකට පත්කෙරෙන අතර, නීතිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා නොහරිනලද තත්වයකට පත්කෙරේ.  

මාධ්‍යයට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු හා දෙමල ජාතික සංධානයේ  හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශකලේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට යෑමට තමන් සූදානම් බවය.  වර්ධනය වන ව්‍යවස්ථා අර්බුදය ගැන ඉඟිකරමින් හිටපු කථානායක කරු ජයසූරිය සඳහන් කලේ මැතිවරන දිනය පිලිබඳ අධිකරනය ගන්නා තීන්දුවක් පිලිගන්නා බවත් තමන් පාර්ලි⁣මේන්තුව යලි කැඳවීමේ සූදානමක් ඇති බවට මතුවන ආරංචි අසත්‍ය බවත්ය.

අප්‍රේල් 20 රෑ රූපවාහිනී මාධ්‍ය හරහා විකාශය කෙරුනු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති රාජපක්ෂ අතර පැවති සම්මුඛ සාකච්ජාවේදී මෙම ව්‍යවස්ථා අර්බුදය පිලිබඳ හොඳින්ම සවිඥානික වූ රාජපක්ෂ මෙසේ සඳහන් කලේය: “යම් හෙයකින් ජූනි 02 වන විට ජන්දය තබා නව පාර්ලිමේන්තුව පත්වී නොතිබුනහොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට පුලුවන්කමක් නැහැ. එහෙම උනොත් ඒක කරන්න වෙන්නෙ ඉදිරි දිනයකදී.”  

රටේ නීතියේ ආධිපත්‍යය  හා ව්‍යවස්ථාව කෙරෙහි තම නොසැලකිල්ල හා අවඥාව ප්‍රකාශ කල රාජපක්ෂ “නීතිය, කල නොහැක්කක් කිරීමට කියන්නේ නැත-Law does not expect to do the impossible” යනුවෙන් නීතිමය සිද්ධාන්තයක් (Lex Non Cogit Ad Impossibilia) නරුම ලෙස ගෙනහැර පෑවේය.

“මොනම හේතුවක් නිසාවත් පරන පාර්ලිමේන්තුව නැවත කැඳවීමට” තමන් සූදානම් නැති බව ද ඔහු නැවතත් අවධාරනය කලේය. මෙම ප්‍රකාශයන්හි බරපතල ඇඟවුම් පවතී.

රාජපක්ෂ සරලව කියන්නේ, “කල නොහැක්කක්” සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු නොකිරීම, නීති-විරෝධී නොවන බවයි.

ඔහු එසේ කියන්නේ ව්‍යවස්ථා අර්බුදයක් පැන නොනැගෙන පරිදි කල හැක්කක් තිබියදී ය. එනම්, වසංගතයේ අවදානම පහවගිය කලෙක මැතිවරනය පවත්වන තෙක්, තමන් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ ඒ සඳහා    ප්‍රතිපාදන පවතී. 

කෙසේ නමුත්, තමන් එසේ නොකරන බවත්, මාස තුනේ කාලයද ඉක්මවා යම්කිසි දවසක මැතිවරනය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවන දිනය තෙක්  තමන් ව්‍යවස්ථාවිරෝධීව විධායක බලය අනීතිකව   ක්‍රියාවට දැමීමට සූදානම්ව සිටින බවත් රාජපක්ෂ පවසයි. 

ආන්ඩුගැති  ප්‍රතිගාමී නීති උපදේශකයන් රාජපක්ෂගේ නීතිය නොතකා කටයුතුකිරීම   අනුමත කිරීම සඳහා තවත් නීතිමය සංකල්පයක් වන  “අවශ්‍යතාවයේ මූලධර්මය”  සාවද්‍යලෙස යොදාගනී. මෙම මූලධර්මය පවතින්නේ යම් කටයුත්තක් කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන නීතිය තුල නැති දුර්ලභ අවස්ථාවන්හිදී පමනි. 

ව්‍යවස්ථාවට හා නීතියේ ආධිපත්‍යයට පිටින්, අත්තනෝමතිකව තම පාලනය ගෙනයෑමේ සූදානම රාජපක්ෂ දැනටමත් හොඳින් ප්‍රකට කොට ඇත. 

19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිදු අමාත්‍යංශයක් තමා යටතේ තබාගැනිමට ජනාධිපතිට නොහැකි නමුත්,  පසුගිය නොවැම්බරයේ ජනාධිපතිධුරයට පත්වීමත් සමග ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු ආයතන ගනනාවකම තත්ත්වාකාර බලය රාජපක්ෂ තමන්වෙත පවරාගත්තේය.  මාර්තු 17 සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවද එම අමාත්‍යංශය යටතට ⁣ගෙන තිබේ.

වසංගතය මධ්‍යයේ ඇඳිරිනීතිය පැනවීම හා ඉවත්කිරීම, අත්‍යවශ්‍යසේවා ප්‍රකාශයට පත්කිරීම, කොවිඩ්-19 වසංගතය වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම හා එයට යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම යනාදී කටයුතු ගනනාවක් කිසිදු නීතිමය වලංගුතාවයක් නැති හුදෙක් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පමනක් කරනලද ඒවාය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඇතුලු රජයේ ආයතන ගනනාවකම ඉහලම තනතුරුවලට හිටපු හමුදා නායකයන් පත්කරමින්ද, මහජන ආරක්ෂක පනත යටතේ පොලිස් බලතලද සහිතව රටපුරා ත්‍රිවිධ හමුදාව දිගේලි කරමින්ද, රාජපක්ෂ වඩවඩාත් මිලිටරිය මත පාදක වූ පාලනයක් ගෙනයමින් සිටී. තමන්ට අවනත නාමික කැබිනට් මන්ඩලයක් සහිත විධායකයේ ප්‍රධානියා වශයෙන් රාජපක්ෂ දැන් තත්වාකාරයෙන්ම මූල්‍ය කලමනාකරනය ඇතුලු රටේ ව්‍යවස්ථාදායක බලයද තමන් වෙත පවරාගෙන තිබේ.

වසංගතය මධ්‍යයේ මහමැතිවරනය පැවැත්වීම මුලදී (මාර්තු21) කල්දැමූ මැතිවරන කොමිෂන් සභාව මැතිවරනයට දින නියම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලෙස කල ඉල්ලීම රාජපක්ෂ          ප්‍රතික්ෂේප කලේ වසංගතය හේතුවෙන් මහජනයාට විය හැකි ව්‍යසනකාරී අන්තරායද නොසලකමින් කෙසේ හෝ නොපමාව මැතිවරනය පැවැත්වීමේ තම උත්සුකය  ප්‍රකට කරමිනි.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර හරහා අප්‍රේල් 06 මැකොසට  ලිපියක් යවමින් “ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත්” රාජපක්ෂ සඳහන් කලේය. මැතිවරනය ඉක්මන් කරන්නේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු කිරීමේ අරමුනෙන් බව ව්‍යාජ ලෙස ඇඟවීමට රාජපක්ෂ උත්සාහ කලේය.

වසංගත අවදානම පවතිද්දී මැතිවරනය පැවැත්වුවහොත්  අනෙක් දේශපාලන පක්ෂ වලට නිදහසේ මැතිවරන උද්ඝෝෂනයේ යෙදීමට ඇති අවකාශය බොහෝදුරට වැලකෙන බව රාජපක්ෂ දනී.

වසංගතයේ අවදානම පහවගොස් වාතාවරනය සාමාන්‍ය අතට හැරී ඇතිබවට වන ව්‍යාජයක් මහජනයාට ඒත්තුගැන්වීම සඳහාත්, මහා ව්‍යාපාරවල ලාභ ආරක්ෂා කරදෙනුවස් කම්කරුවන් නැවත වැඩට කැඳවිම සඳහාත්, කොවිඩ්-19 අගුලුදැමීම අවසන් කරමින් ආන්ඩුව පසුගිය සඳුදා (20) සිට ඇඳිරිනීති කොන්දේසි ලිහිල් කලේය.

කොරෝනා වසංගතය ⁣තුල උග්‍රකෙරී ඇති ගෝලීය මුල්‍ය කඩාවැටීම හමුවේ වඩාත් ගැඹුරුවන මූල්‍ය අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවට, එම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම හැර අන් විකල්පයක් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු මුල්‍ය ප්‍රාග්ධනය මගින් නිර්දේශිත දැවැන්ත කප්පාදු හරහා රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම වැඩපිලිවෙලයි. 

මැතිවරනය වඩාත් කල්ගියහොත්, එම කප්පාදු වැඩපිලිවෙල කෙරෙහිත්,  කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීම කෙරෙහිත් මහජන අප්‍රසාදය ද උත්සන්නවී, අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය තහවුරු කරගත නොහැකි වෙතැයි රාජපක්ෂ ගනන් බලයි. 

ගැඹුරුවන දේශපාලන හා ආර්ථික අර්බුදය මධ්‍යයේ අඥාදායක පාලනරූපයන් වලට ගමන් කිරීම ලංකාවේ රාජපක්ෂ ඇතුලු පාලක පන්තියට පමනක් සීමාවූවක් නොවේ. එය ජාත්‍යන්තර ප්‍රපංචයකි. මෙහි දුෂ්ඨ ස්වභාවය කෙතෙක්ද යත්, එක්සත් ජනපදයේ  ඩොනල්ඩ් ට්‍රම්ප්,  ප්‍රන්සයේ ඉමැනුවෙල් මැක්‍රොන් සිට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දක්වා ලොව පුරා පාලකයෝ වසංගතය ගසා කමින් අඥාදායක පාලන රූපයන් වර්ධනය කරති. 

කර්තෘ පහත ලිපි නිර්දේශ කරයි:

වසංගතය මධ්‍යයේ මැතිවරනය පැවැත්වීමට ආන්ඩුව වලිකයි 

ආන්ඩුව වසංගතය ගසාකමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අත්තනෝමතික පාලනයක් වර්ධනය කරයි

Loading