මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට නව ගැම්මක් ගැනීම සඳහා ආන්ඩුව පාස්කු ප්‍රහාරයේ පලමු සංවත්සරය යොදා ගනී

නව වටයකින් දියත්කොට ඇති මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට ක්ෂනික ගැම්මක් ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පලමු සංවත්සරය යොදා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව තීන්දුකොට ඇතිබව පසුගිය සති කීපය තුල වාර්තාවූ සුවිශේෂී සිද්ධීන් ගනනාවකින්ම ප්‍රකාශයට පත්වේ. 

ප්‍රහාරය පිලිබඳ පරීක්ෂන ආක්‍රමනශීලී අයුරින් යලි ඉස්මත්තට ගැනීම, ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට මුස්ලිම් වාර්ගිකයන් ගනනාවක් පොලිස් අත්අඩංගුවට ගැනීම සහ මෙම සිද්ධි දාමයට ඉහලම මාධ්‍ය ප්‍රචාරනයක් ලබාදීම ඒ අතරින් කැපී පෙනෙයි. මෙම මුස්ලිම්-විරෝධී දඩයම යලි ආරම්භවූයේ, කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීමේ වාහකයන් ලෙස මුස්ලිම් වාර්ගිකයන් ක්‍රියා කරන බවට චෝදනා කරමින් ආන්ඩුව දියත් කල නින්දිත උද්ඝෝෂනය මධ්‍යයේ ය. 

ඉස්ලාමික මූලධර්මවාදී අයිඑස්අයිඑස් සංවිධානය හා සම්බන්ධිත ජාතික තවුහීත් ජමාත් සංවිධානය, 2019 අප්‍රේල් 21 දා, ශ්‍රී ලංකාවේ ස්ථාන නමයකදී එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්,  කාන්තාවන් සහ ලමයින් ඇතුලුව සිවිල් වැසියන් 270 ක් ඝාතනය වූ අතර තවත් 500 ක් දෙනා තුවාල ලැබූහ. විදේශ රටවල් ගනනාවකින් ලංකාවට පැමින සිටි සංචාරකයින් ගනනාවක් ද මෙම ප්‍රහාරයට ගොදුරු වූහ. 

ප්‍රහාරයෙන් මියගිය අය අනුස්මරනය කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු ධනපති පාලක පන්තියේ සියලු කොටස් එකිනෙකා පරයන ආකාරයේ ශෝක ප්‍රකාශ නිකුත් කර ඇත.

කෙසේ නමුත්, 2019 අප්‍රේල් 4 තරම් ඈත දී ඉන්දියාවේ බුද්ධි අංශ විසින් ලංකාවේ ඊට අදාල ආයතන වෙත ප්‍රහාරය පිලිබඳ නියත තොරතුරු ලබා දී තිබූ බව ප්‍රහාරයට පසුව එලිදරව් විය. ආරක්ෂක සංස්ථාපිතයේ මූලිකයන්ට සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු පාලක ප්‍රභූන්ගේ ආරක්ෂක අංශ වලට එම තොරතුරු කල්තියාම ලැබී තිබුනු බවද වාර්තා විය. මේ අනුව, පාලක ප්‍රභූවේ ඉහත කොටස් මෙම බෝම්බ ප්‍රහාරය සිදු වීමට හිතාමතාම ඉඩ හල බවට සෑම සැකයක්ම පවතී.  

ඒ සමගම, ආඥාදායක පාලනයක් දිශාවට ගමන් කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ප්‍රහාරය යොදා ගැනීමට පාලක පන්තිය ගනන්බලා තිබූ බව ඉන් ක්ෂනික ඉක්බිත්තේ සිට දිගහැරුනු ක්‍රියාවලිය විභාග කිරීමෙන් පැහැදිලි වෙයි.

2009 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි මිලිටරි ගැටුම අවසන් වූ පසුව දියත් වූ විශාලතම සෝදිසි මෙහෙයුම් සිදුකරමින්, දහස් ගනනක් හමුදා හා පොලිස් භටයන් රටපුරා දිගේලි කෙරුනි. වැඩපොල, වතු හා තෘතීයික අධ්‍යාපන ආයතනවල ඔත්තු බැලීමේ ආරක්ෂක ජාලයක් ස්ථාපනය කිරීමට ද පියවර ගන්නා ලද අතර අන්තර්ජාල හා සමාජ මාධ්‍ය වලට ප්‍රවේශවීම වඩාත් සීමා කරන ලදී. මෙයට, ගෝඨාභය රාජපක්ෂගේ පොදුජන පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුල ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ වල පූර්න සහාය ලැබුනි.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය යටතේ ආරක්ෂක හමුදාවන් සහ බුද්ධි අංශ දුර්වලවී “ජාතික ආරක්ෂාව” බලගතු ලෙස පරිහානියට පත්වීම හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ බව ප්‍රෝඩාකාරීව කියා සිටි රාජපක්ෂ නඩය, තමන්ගේ ආන්ඩුවක් යටතේ “ජාතික ආරක්ෂාව යලි තහවුරුකර” මෙවැනි ප්‍රහාර ඉදිරියේ දී වලක්වා ගන්නා බව සපත කලේය. 

පාස්කු ප්‍රහාරයත් සමග කොලඹ ධනපති පාලක පන්තිය රුදුරු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් ද මුදා හලේය. මුස්ලිම් ජනයාගේ කඩ සාප්පු ඇතුලු දේපොල විනාශ කරමින් සහ බරපතල වදහිංසා පමුනුවමින් ගෙනගිය මෙම උද්ඝෝෂනයේ පෙරමුන ගත්තේ රාජපක්ෂ නඩයේ අනුග්‍රහය ලද සිංහල අන්තවාදී මැරයන් බව කුප්‍රකට ය. එයට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පූර්න අනුග්‍රහය ලැබුනු අතර, මුස්ලිම් ජනයාට එරෙහි අඩන්තේටිටම් හමුවේ පොලීසිය දෑස් ඉවතට හරවා ගත්තේ ය. 

සිංහල කාන්තාවන්, ඔවුනගේ අනුමැතියකින් තොරව, වඳ සැත්කම් වලට භාජනය කරන බවට චෝදනා කරමින් වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව දියත් කෙරුනු වංචනික උද්ඝෝෂනය ද එහි කොටසකි. රාජපක්ෂ නඩයේ ආශිර්වාදය මත දියත්  වූ මෙම උද්ඝෝෂනය අමූලික ප්‍රෝඩාවක් බව හෙලිදරව් වී ඇතත් රාජපක්ෂ ආන්ඩුව යටතේ එය යලි ඉස්මත්තට ගෙන ඇත.

කෙසේ නමුත්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධය සහ අප්‍රේල් ප්‍රහාරය මගින් මහජනතාව තුල ඇති කෙරුනු භීතිය ගසා කමින් ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරනයෙන් ජය ගත්තේය. දෙමල සහ මුස්ලිම් විරෝධය උසිගැන්වූ ඔහුගේ ප්‍රතිගාමී ජනාධිපතිවරන උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අංශය වූයේ “ජාතික ආරක්ෂාව” යලි තහවුරු කිරීම යි.  

තමාට ඉදිරියට ගෙන යාමට සිදුවන්නේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දැමූ කප්පාදු වැඩ පිලිවෙලම බව දැන සිටි රාජපක්ෂ, එයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් තලා දැමීම සඳහා “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ නාමයෙන්, රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කොට නව ආකාරයකින් සංවිධානය කර ගැනීම ඔහුගේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංගය බවට පත්කර ගත්තේය. 

බලයට පත්වූ වහාම ඔහු තම මිලිටරීකරන වැඩපිලිවෙල ආරම්භ කලේ ආරක්ෂක ලේකම් තනතුර ඇතුලුව රජයේ ප්‍රධාන තනතුරු බොහොමයකට විශ්‍රාමික මිලිටරි නිලධාරීන් පත් කරමිනි. එතැන් පටන් සෑම සිවිල් වැඩකටයුත්තකටම මිලිටරිය සම්බන්ධ කරමින් සමස්ත සමාජයම මිලිටරීකරනය කිරීමේ ක්‍රියාවලියක රාජපක්ෂ නිරතව සිටී.  

රාජපක්ෂ බලයට පැමිනීමෙන්, පන්ති අරගලය කිසිසේත්ම ආපස්සට තල්ලු වූයේ නැත. බලයට පැමිනි ක්ෂනික ඉක්බිත්තේ සිටම පන්ති අරගල මාලාවකට මුහුන දීමට ඔහුට සිදුවිය. කොරෝනා වසංගතය පැමිනියේ මෙම පන්ති අරගල මාලාව මධ්‍යයේ ය. 

වසංගතය මැඩීම සම්බන්ධයෙන් ගතයුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කල මහා පරිමාන පරීක්ෂාවන් සහ උපකරන සඳහා මුදල් වෙන් නොකල ආන්ඩුව වසංගතයෙන් අර්බුදයට පත්වන මහා සමාගම් ඉන් මුදා ගැනීමට රුපියල් බිලියන ගනනින් වෙන් කලේය. එපමනක් නොව, තම එදිනෙදා වේල සපයා ගැනීම සඳහා කටුක අරගලයක යෙදී සිටින ලක්ෂ සංඛ්‍යාත දුගී ජනයාට, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය දෑ සම්පාදනය කිරීමෙි විධිමත් වැඩපිලිවෙලක් නොමැතිව සමස්ත දිවයිනම අගුලු ලෑමට ආන්ඩුව පියවර ගත්තේ ය.

මේ සියල්ලමටත් වඩා, ආඥාදායකත්වයක් කරා යන ගමනට පිම්මක් ගැනීම සඳහා මෙම වසංගතය යොදා ගැනීමට රාජපක්ෂ තීන්දුකොට ඇත. ඒ අනුව වසංගතය මැඩීමේ සමස්ත මෙහෙයුම හමුදාපතිවරයාට භාරදුන් ඔහු රටපුරා හමුදාව දිගේලි කලේය. වසංගතය මැඩීමේ නාමයෙන් රාජ්‍ය බුද්ධි ජාලය රටපුරා එලනු ලැබීය. 

ආන්ඩුවේ සාපරාධී නොතැකීමට, වසංගත අර්බුදයෙන් පැන නංවා ඇති දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවට මෙන්ම, කුසගින්නට එරෙහිව වැඩෙන මහජන විරෝධය ධනපති රාජ්‍යයට අභියෝග කරමින් පුපුරා යතැයි රාජපක්ෂ ඇතුලු සමස්ත ධනපති පන්තිය බියපත්ව සිටී. මහජන විරෝධය අපගමනය කිරීම සඳහා පාලක පන්තිය තම ඉතිහාසය පුරා භාවිතා කල වර්ගෝත්තමවාදී අවිය  උපරිම අයුරින් භාවිතා කිරීමට රාජපක්ෂ බලාපොරොත්තු වෙයි. තම ජනාධිපතිවරන උද්ඝෝෂනය පරයා යන දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක්  පාර්ලිමේන්තු මැතිවරනය සඳහා දියත් කිරීමට ද රාජපක්ෂ අදිටන් කරගෙන සිටී. මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය නව වටයකින් ඉස්මත්තට ගැනීම යටින් පවත්නේ මේ අරමුනු ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ අප්‍රේල් 21 දා නිකුත් කල ප්‍රකාශයේ ඔහු සඳහන් කරන්නේ “කුමන ආකාරයක හෝ අන්තවාදයට, අන්තවාදී ප්‍රචන්ඩත්වයට ඉඩ නොතබන” බවයි. ඉන් ප්‍රකාශයට පත් වනුයේ, යම් සමාජ පුපුරා යාමක් “ප්‍රචන්ඩත්වය” ලෙස නම් කරමින් එය මැඩීමට සහ එවන් පුපුරා යාමකට නායකත්වය දීමේ විභවාත්මක සංවිධාන සහ පුද්ගලයන් “අන්තවාදීන්” ලෙස හංවඩු ගසමින් දඩයමට ලක් කිරීමේ රුදුරු සූදානම යි. 

පාස්කු ප්‍රහාරයෙන් දෙමසකට පසු, 2019 ජූනි 12 දා, පාලක පන්තියේ මෙම සූදානම පිලිබඳව අනතුරු අඟවමින් සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “පාලක පන්තිය මිලිටරි හා පොලිස් පාලන ක්‍රම කරා වේගවත්ව හැරීමට එරෙහිවෙමින් සමස්ත වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීම සඳහා ස්වාධීන දේශපාලන බලයක් ලෙස කම්කරු පන්තිය කොලඹ පාලනයේ දේශපාලන අර්බුදය තුලට තීරනාත්මක ලෙස මැදිහත් වීම අවශ්‍යය. කම්කරුවෙකුට එරෙහි ව තවත් කම්කරුවෙක් පිහිටුවන සියලු ආකාරවල ජාතිකවාදයන් හා ස්වෝත්තමවාදයන් ප්‍රතික්ෂේප කල යුතු කම්කරු පන්තිය, හදිසි නීතිය හා සියලු මර්දන නීති වහා ම අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය.”

 

Loading