ශ්‍රී ලංකාවේ ජනාධිපති මිලිටරියට යුද අපරාධ සඳහා නෛතික නිදහස අවශ්‍ය බව අවධාරනය කරයි

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලකෙරුනි.

අඟහරුවාදා පැවති යුද ජයග්‍රහන සැමරූම ඇමතූ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කොලඹ ආන්ඩුව අවුරුදු 30ක් තිස්සේ ගෙන ගිය වාර්ගික යුද්ධයේ දී මිලිටරිය ඉටුකල ක්‍රියාකලාපයට ප්‍රශස්ති ගායනා කරමින්, සන්නද්ධ හමුදාවන්ට එරෙහි සකලවිධ යුද අපරාධ චෝදනාවන්ට තමන් එකහෙලා විරුද්ධ වන බව ප්‍රකාශ කලේ ය. මෙම අවස්ථාව බත්තරමුල්ලේ යුද ස්මාරකයක් අසල පවත්වන ලද්දේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පරාජයෙහි 11වන සංවත්සරය සැමරීම පිනිස ය.

සති කිහිපයක් තිස්සේ පැවති ලේවැකි ප්‍රහාරයකට පසු 2009 මැයි 19දා යුද්ධය අවසන් විය. ගැටුමෙහි අවසන් සති කිහිපය තුල දෙමල සිවිල් වැසියන් 40,000ක් පමන ඝාතනය කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරයි. එල්ටීටීඊ සටන්කරුවන් ඇතුලු යටත් වූ සිය ගනනක් අතුරුදන් වූ අතර, සිවිල් වැසියන් 300,000ක් පමන මිලිටරි පාලනය යටතේ පැවති කඳවුරුවල සිර කරන ලදී. තරුන තරුනියන් 11,000ක් පමන ඊනියා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ගාල් කරනු ලැබී ය.

අඟහරුවාදා පැවති සැමරුමට සහභාගි වූ අනෙකුත් අය අතරට, ජනාධිපතිගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා යුද, නාවික හා ගුවන් හමුදාපතිවරු අයත් වූ හ. මහින්ද ජනාධිපති ලෙස කටයුතු කරද්දී ගෝඨාභය ආරක්ෂ ලේකම් ලෙස කටයුතු කරමින් රුධිරස්නානය ඍජු ව අධීක්ෂනය කල හ. මිලිටරි නායකත්වය සමගින් රාජපක්ෂවරු, යුද අපරාධවල පැටලී සිටිති.

මේ වසරේ “සැමරුම” පවත්වන ලද්දේ, ගැඹුරු වන කොවිඩ්-19 අර්බුදය සහ ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් ඉහල යන පන්ති ආතතීන් මධ්‍යයේ ය. රාජපක්ෂ “ආර්ථිකය යලි විවෘත කර” ආපසු වැඩට යන ලෙස මහජනයාට අනවා සිටින අතරේ, අනාරක්ෂිත වැඩ කොන්දේසි, යෝධ රැකියා හා වැටුප් කප්පාදු සහ අනෙකුත් අයිතීන් මත ප්‍රහාර අරභයා වර්ධනය වන කම්කරු පන්තික විරුද්ධත්වය පිලිබඳ ව, ඔහුගේ ආන්ඩුව හා එයට පිටුබලය දෙන මහ ව්‍යාපාරිකය තැතිගෙන සිටියි. 

අඟහරුවාදා ජනාධිපති විසින් මිලිටරිය උත්කර්ෂයට නැංවීම පිටුපස තිබෙන්නේ මෙය යි. කොරෝනා වෛරසය මැඩීමේ කොඩිය උස්සාගෙන, “සමාජ දුරස්ථකරනය පවත්වාගෙන යාම” නමින් කොලඹට “යුද සමයේ” පැවති ආකාරයට හමුදාවන් යෙදවීම ඔහු විසින් අරඹා ඇත. රාජපක්ෂ හා ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තවත් යුද්ධයක් සඳහා -එනම් මෙවර කම්කරු පන්තියට එරෙහි යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටිති.

“අපේ  රනවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් දෙන්නේ නෑ.... ඔවුන්ගේ  අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වග කීමක්” යැයි ඔහු අඟහරුවාදා ප්‍රකාශ කලේ ය. “ලෝකයේ බලවත් යයි හඳුන්වන රටවල නායකයින්  පවා පැහැදිලිවම තමන්ගේ රටේ  රනවිරුවන්ට  විරුද්ධව  කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොදෙන  බව” ප්‍රකාශ කර ඇතැයි ඔහු අවධාරනය කලේය. 

“පදනම් විරහිත චෝදනා යොදාගනිමින් අපේ රට හා අපේ රනවිරුවන් කිසිදු ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් විසින් ඉලක්ක කරගත හොත්” ශ්‍රී ලංකාව එම සංවිධානවලින් ඉවත් වන බව ඔහු කීවේ ය. 

රාජපක්ෂගේ තර්ජන, එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් විසින් යොදාගන්නා මැරවර විධික්‍රම ප්‍රතිරාවය කිරීමකි. 2018 ජුනි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් (යූඑන්එච්ආර්සී) ඉවත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය වසර 40 තිස්සේ ඇමරිකානු මිලිටරිය සිදුකර ඇති ගනන් නැති යුද අපරාධවලින් එය නිදහස් බව ප්‍රකාශ කලේ ය.

යූඑන්එච්ආර්සී 2015 දී යුද අපරාධ විමර්ශනයක් සඳහා කල ඉල්ලීම මෙන් ම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ව පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඉදිරිපත් කල ලොඹු “දේශීය විමර්ශන” ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

“බුදු දහමින් පෝෂිත” ශ්‍රී ලංකාව සතුව “සියලුම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක් ” පවතින බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කලේ, ඔහුගේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී පදනමට ඍජු ව ආයාචනා කරමිනි. රටෙහි ඉතිහාසය තුල “සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ හා බර්ගර් ජාතිකයන්ට සමානව ජීවත්වීමේ අයිතිය තිබුනා” යයි ඔහු ඉන්පසු ව්‍යාජ ලෙස අවධාරනය කලේ ය. 

රාජපක්ෂගේ ප්‍රකාශ ඉතිහාසය කනපිට හැරවීමකි. බ්‍රිතාන්‍ය පාලනයෙන් නාමික නිදහස ලද 1948 පටන්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදමින් ධනවාදය ආරක්ෂා කරගැනීම සඳහා දෙමල-විරෝධී ප්‍රජාගනවාදය අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ක්‍රමානුකූල ව යොදාගෙන තිබේ.

1948 දී ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය අහෝසි කල ශ්‍රී ලංකාවේ පාලක පන්තිය, කම්කරු පන්තියේ සටන්කාමී කාර්මික හා දේශපාලන ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ, දෙමල සුලුතරයට එරෙහි ව එක දිගට ප්‍රජාගනවාදී පියවරයන් යොදා ගනිමිනි. සිංහල නිල රාජ්‍ය භාෂාව කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කිරීම මෙයට අයත් වේ.

ලංකා සම සමාජ පක්ෂය 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ධනේශ්වර සභාග ආන්ඩුවකට ඇතුලු වෙමින් කම්කරු පන්තිය දේශපාලනික ව පාවාදීම, සිංහල ප්‍රභූවේ ප්‍රජාගනවාදී ප්‍රහාරය ශක්තිමත් කල අතර, දෙමල ධනපති පන්තිය එහි වරප්‍රසාද ආරක්ෂා කරගැනීම පිනිස ක්‍රියාවට දැමූ ජාතිකවාදී ප්‍රතික්‍රියාවක යෙදී  ගත්තේය. මෙම වර්ධනයන් බෙදුම්වාදී එල්ටීටීඊ ඇතුලු දෙමල සන්නද්ධ කන්ඩායම්වල ඉස්මතු වීමටත්, 1983 දී පූර්න පරිමාන යුද්ධයක් බවට පත්වූ දෙමල-විරෝධී ප්‍රකෝපකාරීත්වයන් වැඩිදියුනු වීමටත් හේතු විය.

එහෙත් යුද්ධයේ ඉලක්කය වූයේ හුදෙක් දෙමල ජනයා මර්දනය කිරීම පමනක් නො ව, සමස්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීම යි. එය වනාහි වැඩකරන ජනයාගේ කිසිදු සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ පාලන ප්‍රභූවේ අසමර්ථතාවෙහි ප්‍රකාශනයක් විය.

2009 දී යුද්ධය අවසන් වීම “මහජනයාට බියෙන් හෝ සැකයෙන් තොර ව මානව හිමිකම් නිදහසේ භුක්ති විඳිමින් ජීවත් විය හැකි පරිසරයක්” නිර්මානය කර ඇති බව ද රාජපක්ෂ අඟහරුවාදා කියා සිටියේ ය. “...(අ)පි නිදහස් හා සාධාරන මැතිවරන සඳහා වටාපිටාවක්” හා “මහජනයාට කිසිදු බාධාවකින් තොර ව නිදහසේ ගමන් කල හැකි වාතාරවරනයක් ගොඩනැගුවා.”

මෙය තවත් පට්ට පචයකි. සෑම මූලෝපායික ස්ථානයක ම ආරක්ෂක කඳවුරු පවත්වාගෙන යමින් හා මහජනයා අනවරත විමර්ශනය කරමින් හා ඔවුන්ට අඩන්තේට්ට්ම් කරමින්, සොල්දාදුවන් 100,000කට අධික පිරිසක් යොදවා ඇති උතුර හා නැගෙනහිර තවමත් පවතින්නේ මිලිටරි පාලනයක් යටතේ ය. 

බහුතරයක් වන දෙමල ජනයා ඇතුලු ව යුද්ධය විසින් 100,000කට අධික ජනකායක් ඝාතනය කල අතර, 1988-90 සමයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුව රටෙහි දකුනු ප්‍රදේශයේ ගම්බද පෙරලිකාරිත්වය මැඩීම සඳහා එහි සන්නද්ධ හමුදා මුදා හැර තරුනයන් 60,000ක් පමන මරා දැමුවේය.

දරිද්‍රතාවෙන් බැටකන දෙමල වැසියන් දහස් ගනනක්, අතිශය මූලික පහසුකම්වලින් පවා තොර, තත්ත්වයෙන් පහත් තාවකාලික නිවාසවල තවමත් ජීවත් වන අතර, යුද්ධය සමයේ සන්නද්ධ හමුදා විසින් උදුරාගත් සමහර ඉඩම් තවමත් ඒවායේ මුල් අයිතිකරුවන්ට ආපසු පවරා නොමැත. යුද වැන්දඹුවන් 90,000ක් පමන ජීවත්වීමට සරිලන කිසිදු සැබෑ ආදායමකින් තොර ව ඔවුන්ගේ පවුල් නඩත්තු කරගෙන යාමට දෛනික ව අරගලයක යෙදෙති.

රටෙහි දකුනු ප්‍රදේශයේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අරගල මැඩීමට ශ්‍රී ලංකාවේ මිලිටරිය හා පොලීසිය වඩ වඩා දිගේලි කරනු ලැබෙමින් පවතී.

පසුගිය නොවැම්බරයේ ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ, ආන්ඩුවේ මූලික තනතුරුවලට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් පත්කරමින්, ඔහුගේ පාලනය මිලිටරිකරනය කිරීම සඳහා වහා පියවර ගත්තේය. විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත්කරන ලද අතර කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරුනි. ඕනෑම මොහොතක යෙදවීමට සන්නද්ධ හමුදා භටයන් විශාල ප්‍රමානයක් කොලඹ පාසල්වල රඳවනු ලැබ තිබේ.

ජනාධිපතිවරයා අඟහරුවාදා ජයග්‍රහන සැමරුම යොදාගනිමින්,  මේජර් ජනරාල්, බ්‍රිගේඩියර්, ලුතිනන් කර්නල් හා මේජර් තනතුරු ඇතුලු ජ්‍යෙෂ්ඨ තනතුරුවලට යුද හමුදා නිලධාරීන් 177 දෙනෙකු උසස් කලේය. පහල ශ්‍රේනිවල සොල්දාදුවන් 14,600කට වැඩි දෙනෙකු මිලිටරි නිලධාරීන් බවට පත්වනු ඇතැයි යුද හමුදාපති සිල්වා හෙලි කලේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ ඔහුගේ ජයග්‍රහන සැමරුම් ප්‍රකාශයේ දී වඩාත් කෙලින් කතා කලේය. “අපේ ආන්ඩුව බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් ආන්ඩුවේ විවිධ තනතුරු දරනු ඇත” යි ප්‍රකාශ කරමින්, මිලිටරි හා සිවිල් ආයතන අතර වෙනස ගැන විරුද්ධ දේශපාලන පක්ෂ කරන ප්‍රකාශ “කෘතිම” යයි ඔහු හෙලා දැක්කේ ය.

ආන්ඩුව හා එහි සිංහල ස්වෝත්තමාවදී අත්ගෙඩි යලි වතාවක්,  වැඩෙන සමාජ විරෝධය පීලිපන්නනු පිනිස දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ප්‍රජාගනවාදය අවුලුවමින් සිටිති.

කොලඹ ආන්ඩුව අඟහරුවාදා යුද ජයග්‍රහනය සමරද්දී, යුද්ධයේ දී මරා දමන ලද දෙමල වැසියන් සිහිකිරීම සඳහා උතුරේ හා නැගෙනහිර පැවැත්වීමට නියමිත ව තිබූ සැමරුම් පොලීසිය හා මිලිටරිය විසින් තහනම් කරන ලදී.

කොවිඩ්-19 පැතිර යාම නැවැත්වීමේ කඩතුරාව යටතේ, සමූහ එක්රැස්වීම් තහනම් කරන උසාවි නියෝග පොලීසිය විසින් ලබාගත් අතර, මිලිටරිය ප්‍රකාශ කලේ මහජනයාට  “ත්‍රස්තවාදීන්” සැමරීමට ඉඩ නොදෙන  බව යි.

කිසිදු වැඩසටහනකට සහභාගි වීමෙන් දෙමල ජනයා වැලැක්වීමට සන්නද්ධ පොලිස් හා මිලිටරි භටයන් යොදා තිබුනි. යුද්ධයේ අවසන් අවස්ථාවල දසදහස් ගනනක් ඝාතනය කරන ලද මුලතිවුහි මුල්ලිවයික්කාල්හි දී සැමරුම් උත්සවයකට සහභාගි වීමට උත්සාහ කල ජනයා විසුරුවා හරින ලදී.

මාර්ග බාධකවල සොල්දාදුවන් පිහි හා පොලු වලින් සන්නද්ධ ව සිටි බවත් බොහෝ ස්ථානවල දී ජනමාධ්‍යවේදීන් හා අනෙකුත් අයගෙන් ප්‍රශ්න කොට පරීක්ෂාවට භාජනය කල බවත් දෙමල මාධ්‍ය වාර්තා කලේ ය. උතුරු පලාතේ හිටපු මහ ඇමති සී. වී. විග්නේස්වරන් වැනි දෙමල දේශපාලනඥයන් ව මුරපොලවල දී ඉදිරියට යාම වලක්වා මෙම අවස්ථාවන්ට සහභාගි වීමෙන් වලක්වන ලදී.

ජනාධිපති රාජපක්ෂගේ ජයග්‍රහන සැමරුම් කතාව අනතුරු ඇඟවීමක් ලෙසත්, ඔහු හා ඔහුගේ සොහොයුරා ආඥාදායක පාලන රූපයන් සූදානම් කරමින් සිටින බවට එය තවත් ඇඟවුමක් බවත් කම්කරුවන් හා තරුනයන් විසින් සැලකිය යුතු ය. 

කතුවරයා මෙම ලිපි ද නිර්දේශ කරයි:

ශ්‍රී ලංකාව: පොලීසිය සහ හමුදාව උතුරේ අහිංසක දෙමල ජනතාවට දිගටම අඩන්තේට්ටම් කරයි

ජනාධිපති රාජපක්ෂ වසංගත-විරෝධී පියවරයන්ට මුවා වී කුමන්ත්‍රනයක් සූදානම් කරමින් සිටින්නේ ද?

Loading