වසර 50 කට පෙර: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලසසප සහාය ඇතිව මැතිවරනය ජයගනී

මෙම ලිපිය මැයි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එන්.එම්. පෙරේරා

1970 මැයි 27 වන දින ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) පැවති මැතිවරනයෙන් සිරිමාවෝ බන්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ජයගත්තේ ය. දශකයක් තුල දෙවන වතාවට සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  පැබ්ලෝවාදය නමින් හැඳින්වෙන සංශෝධනවාදී දේශපාලන ප්‍රවනතාවේ කොටසක් ලෙස ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය පසුව, නාමිකව සමාජවාදී පක්ෂයක් ලෙස පෙනී සිටි  ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සහාය ඇතිව ආන්ඩුවක් පිහිටුවා ගනු ලැබීය.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප)  මැතිවරනයෙන් දැවැන්ත පරාජයක් ලැබීය. සියයට 38 ක පමන ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුන ද එජාපට, ආසන 49 ක් අහිමි වූ අතර ලැබුනේ ආසන 17 ක් පමනි. ශ්‍රීලනිපයට ආසන 50ක් හිමිවූ අතර සභාගයේ ආසන සංඛ්‍යාව 91 විය.

එහෙත් අනෙකුත් පක්ෂවල සහාය නොමැතිව ආන්ඬුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි විය. මැතිවරනයට පෙරාතුව, ශ්‍රීලනිප, ලසසප සහ කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්වාදීන් අතර “එක්සත් පෙරමුන” නමින් සන්ධානයක් ඇති විය. තවමත් කම්කරු පන්තිය තුල සැලකිය යුතු බලපෑමක් ඇති මෙම පක්ෂවල සහාය නොමැතිව බන්ඩාරනායකට අගමැති වීමට හැකි නොවීය. එයට කප්පම් වශයෙන් පක්ෂ නායක එන්.එම්. පෙරේරාට මුදල් ඇමති ධුරය හා ලසසප සාමාජිකයින්ට වැදගත් කැබිනට් ඇමති ධුර ලැබිනි.

ලසසප හා ශ්‍රීලනිප අතර සන්ධානයේ දෙවන උත්සාහය 1970 මැතිවරනය  යි. පලමුවැන්න ඇතිවුනේ 1964 දී ලසසපය, ශ්‍රීලනිප ආන්ඩුවේ කැබිනට් තනතුරු භාර ගැනීමට ඡන්දය දුන් පසුවය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් ධනේශ්වර ආන්ඬුවකට ඇතුලු වූ ඉතිහාසයේ පලමු අවස්ථාව මෙයයි.

1964 ජුලි මාසයේ නිකුත් කල නිවේදනයක, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ලසසප ද්‍රෝහිකමේ ජාත්‍යන්තර වැදගත්කම පැහැදිලි කලේය: “ලසසප සාමාජිකයින් බන්ඩාරනායක සන්ධානයට ඇතුලු වීම, හතරවන ජාත්‍යන්තරයේ පරිනාමයෙහි සමස්ත යුගයක අවසානය සනිටුහන් කරයි. කම්කරු පන්තියට පරාජයක් සූදානම් කිරීමේ දී අධිරාජ්‍යවාදයට සෘජුවම සේවය කරන්නවුන් ලෙස ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සංශෝධනවාදය එහි ප්‍රකාශනය සොයාගෙන ඇත. ”

කම්කරු පන්තියේ විප්ලවීය වර්ධනයන් මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස 1964 හා 1970 යන දෙවාරයේම ශ්‍රීලනිප, ලසසප සන්ධාන පිහිටුවන ලදී. ශ්‍රී ලංකාවේ පාලක පන්තිය බලාපොරොත්තු වුනේ, ලසසප සමඟ හවුල් වී  ප්‍රතිසංස්කරන ස්වල්පයක් ක්‍රියාත්මක කිරීමෙන්, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකට වඩ වඩාත් නැඹුරු වෙමින් සිටි වැඩකරන ජනතාව ව්‍යාකූල කර සාමකාමී කල හැකිවනු ඇත යන්නයි. 

හජාජාක පෙර දුටු ආකාරයට,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල් ආන්ඩුවකට ඇතුල් වීමෙන් ලසසප, බන්ඩාරනායකගේ කම්කරු විරෝධී ප්‍රතිපත්ති සඳහා දේශපාලන වගකීම භාර ගෙන ඇත. සුලු ධනේශ්වර ජාතිකවාදී  ජනතා විමුක්ති පෙරමුන සන්නද්ධ කැරැල්ලකින් ආන්ඩුව පෙරලා දැමීමට උත්සාහ කල 1971 දී මෙය පැහැදිලි විය. හවුල් ආන්ඩුව, ගම්බද තරුනයින් 15,000 කට වැඩි දෙනෙක් ඝාතනය කරමින් කැරැල්ල නිර්දය ලෙස මර්දනය කලේය.

සභාග ආන්ඩුව  සිංහල හා දෙමල ජනතාව අතර වර්ගවාදී ගැටුම් ඇති කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලේය. එම පියවරයන්,  දශක තුනක සිවිල් යුද්ධයකට රට ඇද දැමූ සන්නද්ධ දෙමල බෙදුම්වාදී සංවිධාන බිහි කිරීමට තුඩු දුන්නේය.

Loading