කටුනායක නිදහස් වෙලඳකලාපයේ ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ කම්කරුවන්ගේ රැකියා අනතුරේ

අපගේ වාර්තාකරුවන්
6 ජූනි 2020

ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ.

තම රැකියාවන්හි සුරක්ෂිතභාවය විමසීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කම්කරුවන් පාලකයන්ගෙන් ඉල්ලා සිටි අතර, අවසානයේදී  ඔවුන් අතරින් නියෝජිතයින් පස්දෙනෙකු පමනක් සාකච්ඡාවට කැඳවුනි.

එහිදී පරිපාලනය විසින් දැනුම් දී ඇත්තේ ඇනවුම් නොමැති නිසා යලි වැඩ පටන් ගන්නා තෙක් මූලික වැටුපෙන් අඩක් පමනක් ගෙවීමට තීරනය කර ඇති බවයි. බොහෝ කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 18,000 ක් වන බැවින්, ඉන් අඩකින් තමන්ට ජීවත් විය නොහැකිබව නියෝජිතයන් පවසා ඇත. 

නය සහ ගෙවල් කුලී සඳහා සුවිසල් මුදලක් වැයවන බැවින් අවම තරමින් තමන්ගේ මූලික මාසික වැටුපවත් ලබා දෙන ලෙස තමා කල ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කල බව රැස්ව සිටි කම්කරුවන්ට නියෝජිතයෝ දැනුම් දුන්හ. 

මෙවැනිම ප්‍රශ්න වලට මුහුන දෙන, අනෙකුත් කම්හල්වල කම්කරුවන් ද ස්මාර්ට් ෂර්ට් කම්කරුවන් සමග එක්වෙතැයි යන බියෙන්, මීගමුවේ කම්කරු කාර්යාලයේ නිලධාරියෙක් එම ස්ථානයට පැමින තමන් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවක් ඇඟවීය. ඔහුගේ අරමුන වූයේ කම්කරුවන් හැකි ඉක්මනින් විසුරුවා හැරීමයි.

”ඔයගොල්ලන්ට වෙලා තියෙන්නෙ ලොකු අසාධාරනයක් තමා, වෘත්තීය සමිති තිබෙන ෆැක්ටරිවල මෙහෙම අසාධාරනයක් වෙලා නැහැ. ඔයාලට අපි උදව් කරන්නම්” යනුවෙන් ඔහු පැවසූ බවත් කිහිප දෙනෙකුට පමනක් කම්කරු කොමසාරිස්ට පැමිනිලි කිරීම සඳහා කම්කරු කාර්යාලයට පැමිනෙන ලෙස ආරාධනා කල බවත් කම්කරුවෙක් පැවසීය.

තමතමන්ගේ විස්තර සහිතව සියලු කම්කරුවන් විසින් අත්සන් කරන ලද ලිපියක් භාර දෙන ලෙස ඔහු තවදුරටත් පවසා ඇත. ඒ අනුව 800 කට ආසන්න සංඛ්‍යාවක් ලිපිය අත්සන් කර භාර දී ඇත. සියලු දෙනාටම ජුනි මස 12 වන දින මීගමුවේ කම්කරු කාර්යාලයට පැමිනෙන ලෙස ඔහු පවසා ඇත.

චීනය, හොංකොං, කාම්බෝජියාව, වියට්නාමය, ඉතියෝපියාව යනාදි රටවල කම්හල් පවත්වාගෙන යන ස්මාට් ෂර්ට්  සමාගම 1978 කටුනායක කලාපයේ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර මේවන විට එයට අයත් කම්හල් 8ක්, හුන්නස්ගිරිය, කොටදෙනියාව, ආරගම, කටාන, කටුනායක (කම්හල් 3ක්) යනාදි ප්‍රදේශවල  ඇත. කටුනායක කලාපයේ පිහිටි අංක 1 දරන විශාලතම කම්හලේ කම්කරුවෝ 3,500 ක් ද සමස්ත කම්හල් ජාලයේ 10,000 ක් ද සේවයේ යෙදී සිටියහ. 

ස්මාට්ෂර්ට් කම්කරුවන් මුහුන දී ඇති රැකියා අහිමිවීමේ සහ වැටුප් කප්පාදුවේ තර්ජනය වනාහි, කොරෝනා වසංගතය මගින් තීව්‍ර කෙරී ආර්ථික අර්බූදයේ බර, රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් විසින් කම්කරුවන් මතට පැටවීමට දරන වෑයමේ ප්‍රතිඵලයකි.  

ස්මාට් ෂර්ට් සමාගම දැනටමත් මෙම සේවක කප්පාදුව ආරම්භ කර ඇති අතර, අංක 1 කම්හලේ මාස හයකට අඩු සේවා කාලය ඇති සහ වයස අවුරුදු 50 ඉක්මවූ කම්කරුවන් 900 ක් ඉවත් කර ඇත.

වසංගත තර්ජනය හේතුවෙන් ක්‍රියාත්මක වූ අගුලු දැමීමේ කාලය තුල යන්ත්‍ර කිහිපයක් ගලවාගෙන ගොස් හුන්නස්ගිරියේ කම්හලේ සවි කර ඇතැයි කම්කරුවෝ අනුමාන කරති. ලාභ ශ්‍රමය යොදා ගැනීම සඳහා ගම්බද පලාත්වලට කම්හල් ගෙනයනු ඇතැයි ද ඔවුන් තුල ප්‍රබල සැකයක් මතු වී ඇත. 

නියමිත වැටුප් නොලැබීම නිසා, නේවාසිකාගාර කුලී සහ නය වාරික ගෙවීමටත්, තම පවුලේ සාමාජිකයන්ගේ යැපීම් සම්පාදනය කර දීමටත් නොහැකිව කම්කරුවෝ බලගතු දුෂ්කරතාවලට ගොදුරු වී සිටිති. 

මෙම සමාගමේ අංක 1 කම්හලේ වසර හතක් පමන සේවය කරන කම්කරුවකු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තා කරුවන්ට පැවසුවේ, තමන් මැයි 18 සිට සති දෙකක් දිනකට පැය 8 බැගින් වැඩ කිරීමෙන් පසු මැයි 30 සිට වැඩට නොකැඳවූ බවයි. මැයි 18 වන විට කම්කරුවන් 300 ක් පමනක් සේවයේ යෙදී සිටි බවත්, අප්‍රේල් මස වැටුප ලෙස ලැබුනේ රුපියල් 9,000 පමනක් බවත් ඔහු පැවසීය. ඔවුනට ලැබිය යුතු බෝනස් දීමනා ද ලැබී නැත.

ඔහු තවදුරටත් පැහැදිලි කලේ, වසංගතයට පෙර, සියලුම දීමනා සහිතව රු. 45,000 - 50,000 අතර ප්‍රමානයක් වැටුප ලෙස ඉපයූ බවයි. “ජීවත් වීම ලොකු ප්‍රශ්නයක් වෙලයි තියෙන්නෙ. ලෝන් අරන් තියෙන්නේ. ඒවට ගෙවන්න ඕන” යැයි පැවසූ ඔහු, බෝඩිමට රු. 5,500 ක් ද නය වාරික වෙනුවෙන් රු 26,000 ක් ද මසකට වැයකලයුතු බව පැහැදිලි කලේය. තම නිවස අඩක් පමනක් නිමවා ඇති බවත් නය ගෙවීම ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කීවේය. 

තම බිරිඳ ද එම කම්හලේ වැඩ කරන අතර දෙදෙනාගේම ගම් ප්‍රදේශය මාතලේ බවත් තමන් ගොවි පවුල් වලින් පැමින ඇති බවත් ඔහු තව දුරටත් පැහැදිලි කලේය.

මහන අංශයේ වැඩ කරන වසර නවයක සේවා කාලයක් ඇති කම්කරු කාන්තාවක් පැවසුවේ වැඩ අරඹන නිශ්චිත දිනයක් පාලකයන් විසින් ප්‍රකාශ නොකරන බවයි.

දුරකථනය හරහා පරිපාලනයෙන් විමසූ විට, ඔවුන් කියා ඇත්තේ වැඩ පටන් ගන්නා දිනයක් දන්වන තුරු බලා සිටිය යුතු බවයි. මූලික වැටුපවත් ලබා දෙන්නැයි ඉල්ලූ විට, “සම්පූර්න බේසික් එක දාන්න ෆැක්ටරියට වත්කමක් නැහැ එම නිසා වැඩ පටන් ගන්නකම් ඉන්න” යැයි පැවසූ බව ද ඇය කීවාය.

ආදයමක් නොමැති නිසා තමන් ඇතුලු බොහෝ කම්කරුවන් මිනිස්බල (මෑන් පවර්) සමාගම් වලට රැකියා සොයා යන බවත් කම්කරුවෝ වැඩි නිසා වැඩ නොමැති බවත් පැවසූ ඇය, මෑන් පවර් වැටුප දවසකට රු. 1000 - 1200 ක් පමනක් වන බව ද කීවාය.

කම්හලේ දැඩි පාලනය ගැන ඇය පැහැදිලි කලාය. දැනට වසර දෙකකට පෙරාතුව කම්කරුවන්ගේ නිවාඩු අයිති ගැන පරිපාලනය සමග කථා කිරීමට ගිය කම්කරුවකු සේවයෙන් නෙරපන ලද බවත් එයට එරෙහිව නඩු කීමෙන් පසුව ඔහු ට වන්දියක් ලැබුනු බවත් ඇය පැවසුවාය. 

කම්හල වසනු ලැබුවහොත්, වන්දි ගෙවීම පැහැර හැරීම සඳහා, සියලුම කම්කරුවන්ට හුන්නස්ගිරිය හෝ වෙනත් තැනක ඇති කම්හලකට යාමට පරිපාලනය විසින් බල කරනු ඇතැයි ඇය තවදුරටත් කීවාය.

අනුරාධපුරයේ ගොවි පවුලක සාමාජිකයෙකු වූ තමා ආර්ථික ප්‍රශ්න හේතුවෙන් කලාපයට පැමිනි බවත් තමන්ගෙන් තම පුතු සහ දෙමව්පියන් යැපෙන බවත් මේ දිනවල ගොවියන්ගේ ගැටලු උග්‍ර කෙරී ඇති බවත් ඇය පැවසුවාය.

කම්කරුවන් ගැන වත්මන් ආන්ඩුවේ නොතැකීම ගැන කෝපයෙන් සිටින ඇය මෙසේ පැවසුවාය: “විශාල සේවක සංඛ්‍යාවක් සිටින කටුනායක කලාපය ට ඇවිල්ල කම්කරුවන් ගැන සොයාබලා සාධාරනයක් ඉෂ්ට කරන්න ආන්ඩුවේ කිසිම කෙනෙක් නෑ. ආන්ඩුව ගැනයි වැඩ පොලවල් ගැනයි කල කිරිලා ඉන්නෙ.” 

කම්කරු කාර්යාල හැම නගරයක තිබුනත් වැඩක් නොමැති බව ද ඇය කීවාය. “ඊලඟ මැතිවරනයේදී බලාගන්න පුලුවන් ජනතාව කොහොමද කියල, ඒතරම් කලකිරිලයි ඉන්නේ. කිසිම සාධාරනයක් වෙන්නෙ නැහැ” යැයි කී ඇය ආන්ඩුවේ ව්‍යාජ මැතිවරන පොරොන්දු ගැන පිලිකුලෙන් කතා කලාය.

ස්මාට් ෂර්ට් සමාගමේ රැකියා කප්පාදුව, ලංකාවේත් ලොවපුරාත්  පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය ආයතන වල සිදු කෙරෙමින් පවතින මහා රැකියා කප්පාදුවේ කොටසකි.

කම්කරුවෝ 1,200 ක් පමන සේවය කල යක්කල එස්ක්වෙල් එවර්බෙස්ට් ඇඟලුම් කම්හල, මැයි මස අග කම්කරුවන් තුනෙන් එකකට වැඩි ප්‍රමානයක් සොච්චම් වන්දියක් ලබා දී දොට්ට දමා ඇත. හම්බන්තොට කේන් ඇපරල් සමාගමේ 400 ක් වන සමස්ත කම්කරු බලකාය රැකියා වලින් නෙරපා ඇත්තේ වන්දියක් හෝ ලබා නොදෙමිනි.

රජය සතු ශ්‍රී ලංකන් එයාලයින් සමාගම මැයි මස මුල සිට මිනිස් බල කම්කරුවන් 200 ක්ද පසුව තවත් සේවකයින් 400 ක්ද ඉවත් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ද තම 842 වන සේවකයින්ගේ මැයි මස වැටුප අඩකින් කපා දැමීමට සැලසුම් කල අතර සේවකයින් 934 සහිත ජාතික රූපවාහිනි සංස්ථාව මැයි සහ ජුනි මස වැටුප් ගෙවීමේ අර්බුදයකට ගොදුරු විය.