නසසප නායකයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ මැතිවරනයට තරඟ වදී

මෙම ලිපිය ජූනි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික්‍රමබාහු කරුනාරත්න, ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී කලුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ (එජාප) අපේක්ෂක ලැයිස්තුවෙන් තරඟ වදී. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කිහිප වරක් කල් දමන ලද මැතිවරනය, අගෝස්තු 5දා පැවැත්වීමට නියමිත ය.

ව්‍යජ-වාම නසසපය, එහි අවුරුදු 42 ක ඉතිහාසයේ දී, රටෙහි ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක වන එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග පෙල ගැසී ඇත. පසුගිය දශක දෙක පුරා, එය එජාපයට නොකඩවා සහයෝගය දී තිබේ.

1948 දී ශ්‍රී ලංකාව නාමික නිදහස ලද තැන් පටන් ගත වූ වසර 72න් අඩක් ම පාහේ රට පාලනය කර ඇති දක්ෂිනාංශික එජාපයට, කම්කරු පන්ති-විරෝධී මර්දනය පිලිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත. එජාප ලැයිස්තුවෙන් තරඟ කිරීමට නසසපය ගත් තීරනය, මෙම මධ්‍යම-පන්තික සංවිධානයේ හා අනෙකුත් ජාත්‍යන්තර  ව්‍යාජ-වාම කන්ඩායම්වල දක්ෂිනාංශික දේශපාලනික පරිහානියේ වැඩිදුර ප්‍රකාශනයකි.

තම මැතිවරන අපේක්ෂකත්වය නිවේදනය කරමින් මැයි 16දා නිකුත් කල කෙටි ඊ-මේල් පනිවුඩයක් තුල, තමන් 2008 පටන් “යුක්තිය, සාධාරනය හා ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා වන ව්‍යාපාරයක් ගොඩනැගීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග වැඩ කර ඇති බව කරුනාරත්න ප්‍රකාශ කලේ ය. “යහපාලන ආන්ඩුව මෙම උද්ඝෝෂනයෙහි ප්‍රතිඵලයක් වූ” බව කී ඔහු, තමන් මේ වසරේ මැතිවරනයට තරඟ කිරීමට තීරනය කලේ, “2019 දී භාගයක් දුර ගොස් නතර වූ ප්‍රජාතන්ත්‍රීය පියවරයන් දිගට ම කරගෙන යාමට” බව ද වැඩි දුරටත් සඳහන් කලේ ය.

“යහපාලන” ආන්ඩුව යනු, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම පිනිස 2015 ජනවාරියේ දී එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ, තන්ත්‍ර-මාරු මෙහෙයුමකින් බලයට පැමිනි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය ගැන කරන සැඳහුමකි. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන තන්ත්‍රය සමග වොෂින්ටනයට දේශපාලන භේද නො තිබුන ද බීජිනය කෙරෙහි ඔහුගේ දිශානතිය කෙරෙහි එය සතුරු විය. 

රාජපක්ෂ කෙරෙහි පැතිර පැවතුනු දේශපාලන විරෝධය, සිරිසේන බලයට ගෙන ඒම පිනිස අපසරනය කිරීම සඳහා, නසසපය හා අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් ද විවිධාකාර සිවිල් සමාජ සංවිධාන හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) ද විසින් ප්‍රෝඩාකාරී “යහපාලන” බැනරය තොරොම්බල් කරන ලදී. සිරිසේන නායකත්වය දෙන පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට හා ජීවන කොන්දේසි ඉහල දැමීමට ක්‍රියාකරනු ඇතැයි කියාපාන ලදී.

එක්සත් ජනපදය අවුලුවාලූ තන්ත්‍රමාරු මෙහෙයුම “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස පින්තාරු කරමින් කරුනාරත්න මෙම උද්ඝෝෂනයේ කසකරුවෙක් ලෙස ක්‍රියා කලේ ය. එහෙත් යථාර්ථයේ දී එය ප්‍රති-විප්ලවවාදී මෙහෙයුමක් විය.

මුදල් හිඟයෙන් පෙලුනු සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, එහි ප්‍රජාතන්ත්‍රවාදී ඉරියව්ව ක්ෂනික ව අත්හැර කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමුවේ, කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරෝධය අවුලුවමිනි. මිලිටරිය හා පොලීසිය මුදාහරිමින් ඒවාට ප්‍රතිචාර දැක්වූ එය, මහජන විරෝධය මර්දනය කිරීම පිනිස විෂඝෝර හදිසි නීති යොදාගත්තේ ය.

නසසප නායක කරුනාරත්න, මෙම මහජන අරගලවලට විරුද්ධ වෙමින් ආන්ඩුවේ මර්දනයට පිටුබලය දුන් අතර, චීනයට එරෙහි එක්සත් ජනපදය නායකත්වය දෙන යුද සූදානම්වීම්වලට ශ්‍රී ලංකාවේ මිලිටරිය ගැටගැසීමට කොලඹ ආන්ඩුව ගත් පියවරයන්ට සහයෝගය දුන්නේ ය. කරුනාරත්නගේ “යහපාලන” මෙහෙයුමේ හැටි එබඳු ය!

දැඩි ලෙස අපකීර්තියට පත් ආන්ඩුව, වැඩෙන කම්කරු වැඩ වර්ජන හා අරගල රැල්ලක් විසින්, කැබලි වලට  ඉරා දමද්දී, නසසපය එජාපයේ එල්ලී සිටියේ ය. අනෙකුත් “වම්මුන්” හා දෙජාස සමග එක් වෙමින්, එය පසුගිය වසරේ දී එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දුන්නේ, ඔහු “අඩු නපුර” ලෙස ඉදිරියට දමමිනි.

එජාපයේ එක ම විරුද්ධවාදියා තමන් බව පින්තාරු කොට ජනාධිපතිවරනය ජයගැනීම සඳහා මහජන හතුරුකම ගසාකෑමට මෙමගින් ගෝඨාභය රාජපක්ෂට හැකියාව ලබා දුන්නේ ය. නායකත්වය සඳහා පැවති අරගලයකින් අනතුරු ව, ප්‍රේමදාස සහ එජාපයේ බහුතරයක් පක්ෂයෙන් බිඳී ගියේ සමගි ජන බලවේගය (සජබ) තැනීමට ය. එජාපයේ නායකත්වය ප්‍රේමදාසට ප්‍රදානය කිරීමට වික්‍රමසිංහ මැලි විය. වික්‍රමසිංහගේ දීර්ඝ-කාලීන සගයෙක් වන කරුනාරත්න හිටපු අගමැතිවරයාට කීකරු ව සිටී.

ලෙයින් පෙඟුනු එජාපයට දිගට ම සුදු හුනු ගෑම මේ වසරේ මහ මැතිවරනයේ දී තම භූමිකාව කරගන්නා කරුනාරත්න, පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන දෛනික රැස්වීම්වලට සහභාගි වෙයි.

එවන් එක් රැස්වීමක් පිලිබඳ ව ජුනි 10දා ඔහු නිකුත් කල සටහනක කරුනාරත්න මෙසේ ප්‍රකාශ කලේ ය: “ආරම්භයේ පටන් ම ජාතිකත්වයන්ගේ එකමුතුවේ පදනම මත එජාපය ක්‍රියා කල අතර, රුදුරු වර්ගවාදය විසින් එය මර්දනය කිරීමට නො හැකි යි...ශ්‍රී ලංකාව තුල සම සමාජයේ (ලංකා සම සමාජ පක්ෂයේ -ලසසප) බලය ගොඩනගන ලද්දේ එය එජාපය සමග ප්‍රජාගනවාදයට විරුද්ධ ව ක්‍රියා කල නිස යි.”

මෙයට, 1980 ගනන් අග (ශ්‍රීලනිපයෙන් බිඳී ගිය කන්ඩායමක් වන) ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප), නසසප, ලසසප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය යන ඒවායේත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේත් පෙරමුනක් වූ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට සහයෝගය දුන් පෙරමුන අයත් වූ බව ඔහු ලීවේ ය.

1988-1990 සමයේ ගම්බද තරුනයන්ට එරෙහි කුරිරු සංහාරය‌ක්  මුදා හල ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ එජාප ආන්ඩුව සමග වූ සන්ධානයක් ගැන ද කරුනාරත්න සඳහන් කලේ ය. “ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මෙම මිනීමරු ක්‍රියාකාරකම් විසින් කෝප ගන්වන ලද ප්‍රේමදාස සර්ව-පාක්ෂික සමුලුවක් පවත්වා සෑමදෙනාගේ ම එකඟතාවෙන් යුතු ව දැඩි මර්දනයක් මුදා හැරියා” යි ඔහු පැවසීය.

කරුනාරත්න අමූලික බොරු කියයි. දක්ෂිනාංශික එජාපය, “ජාතිකත්වයන්ගේ එකමුතුව ගොඩනැගීමට ක්‍රියාකල” ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් ලෙස පින්තාරු කිරීමට ඔහු දරන උත්සාහය සාහසික ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ශ්‍රී ලංකාව නාමික නිදහස ලද වසරේ ම, ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරුවන් ලක්ෂ ගනනකගේ පුරවැසි අයිතීන් එජාපය විසින් අහෝසි කලේ ය. මෙම ප්‍රතිගාමී පියවර  ක්‍රියාවට දමන ලද්දේ, ට්‍රොට්ස්කිවාදයේ විප්ලවීය ඉදිරිදර්ශනයට සහයෝගය දුන් බලගතු කම්කරු පන්ති ව්‍යාපාරය බෙදා දුර්වල කිරීමට ය. මෙය දුෂ්ට දෙමල-විරෝධී උද්ඝෝෂනයකට වේදිකාව සකස් කලේ ය.

1964 දී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදුන් ලසසපය, සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව සමග එක් වූයේ මහජන කම්කරු-පන්තික ව්‍යාපාරය විසුරුවාහැර ධනපති පාලනය රැකීමට යි. මෙම පාවාදීම ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර වත් කම්කරුවන් කෙරෙහි විනාශකාරී විපාක සහිත සහිත එකක් විය. එවකට ලසසප සාමාජිකයෙක් වූ කරුනාරත්න, මෙම පාවාදිමට පිටුබලය දුන්නේ ය.

ඉන්පසුව එලඹුනු අවුරුදුවල දී, අනුප්‍රාප්තික එජාප හා ශ්‍රීලනිප ආන්ඩු දෙමල-විරෝධී වර්ගවාදය අවුලුවාලූයේ, රටෙහි ව්‍යවස්ථාව තුල සිංහල භාෂාවට හා බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ලසසපයේ පාවාදීම දේශපාලනික ව ගසාකමින්, එජාපය 1977 දී බලයට ආවේ ය. ඒකාධිපති විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කල එය, 1980 දී එහි කප්පාදු වැඩසටහනට විරුද්ධ ව වර්ජනය කල රාජ්‍ය අංශයේ කම්කරුවන් 100,000ක් පමන නෙරපා දැමී ය. වර්ගවාදී ප්‍රකෝපගැන්වීම් මාලාවකින් අනතුරු ව, 1983 දී ජනාධිපති ජයවර්ධනගේ එජාපය යටතේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව (එල්ටීටීඊ) වසර 30ක් පමන ඇදී ගිය යුද්ධය මුදාහලේ ය.

1985 දී අර්බුද ග්‍රස්ත ජයවර්ධන පාලනය ලසසප, කොප හා නසසප වෙත ආරාධනා කරමින් වට මේස සාකච්ඡාවක් කැඳවී ය. “පැකිලීමකින් තොර ව” තමන් සහභාගි වූ බව කරුනාරත්න කියන මෙම රැස්වීම, නව දිල්ලිය හා කොලඹ අතර 1987 ඉන්දු-ලංකා ගිවිසුමට දොර විවර කලේ ය. ගිවිසුමට අනුව එල්ටීටීඊය නිරායුද කිරීම සඳහා උතුරට හා නැගෙනහිරට ඉන්දීය හමුදාව ගෙන ඒමට නියමිත වූයේ, දෙමල ප්‍රභූවට සීමිත ප්‍රාදේශීය බලතල ලබා දීමට හිලවු වසයෙනි.

උතුරේ හා නැගෙනහිරේ සිවිල් වැසියන් මරා දමමින් ඉන්දීය හමුදාව මිනීමරු ප්‍රහාර කරගෙන යද්දී, ශ්‍රී ලංකාවේ මිලිටරිය රටෙහි දකුනට මුදාහරිනු ලැබී ය. ගම්බද කැලඹිල්ල මධ්‍යයේ, දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන්ට ප්‍රහාර එල්ල කරමින් හා මරා දමමින් ජවිපෙ වර්ගවාදී ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවී ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), එජාප-ජවිපෙ ප්‍රහාරවලට මුහුන දීම සඳහා කම්කරු-පන්තික සංවිධානවල එක්සත් පෙරමුනක් යෝජනා කලේ ය. මෙම යෝජනාව ප්‍රතික්ෂේප කල නසසපය, ඒ වෙනුවට ශ්‍රීලමප සමග සන්ධානයක් තනාගෙන එජාප ආන්ඩුවේ පැත්ත ගත්තේ ය. ඉන්පසුව, ප්‍රේමදාස ආන්ඩුව ගම්බද අතෘප්තිය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම පිනිස ජවිපෙ ප්‍රහාර ගසාකෑවේ, ගම්බද තරුනයන් 60,000ක් පමන ඝාතනය කරමිනි. මෙම සංහාරයන්ට සහයෝගය දුන් නසසප නායක කරුනාරත්න, පැරාමිලිටරි සංවිධාන සමග කටයුතු කලේ ය.

එක්සත් ජනපදය 2001 සැප්තැම්බරයේ දී ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කරද්දී, ශ්‍රී ලංකාවේ ධනේශ්වර කොටස්වල සහයෝගය ද සහිත වූ එජාපය, වොෂින්ටනය සමග පෙලගැසෙමින් “සාම සාකච්ඡා” සඳහා එල්ටීටීඊය වෙත ප්‍රවිෂ්ට විය. එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් මෙම පියවරට පිටුබලය දුන් අතර, බෙදුම්වාදී සංවිධානය කැමැත්තෙන් එයට එක් විය. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” තමන් විරුද්ධ බව උදාසීනව කියා පෑ නසසපය, ශ්‍රී ලංකාවේ ධනේශ්වරය හා ඊනියා “සාම” මෙහෙයුම සමග පෙලගැසුනි.

2008 සිට එජාපය සමග “ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක්” තුල වැඩකර ඇතැයි නසසප නායකයා කියා පායි. මෙය වනාහි, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තන්ත්‍රයෙහි අර්බුදය ගසාකෑම පිනිස, නසසපය හා තවත් ව්‍යාජ වාම කන්ඩායමක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සමග එජාපය තනන ලද පෙරමුනුවලින් එකකි. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් පසුව, 2009 මුල දී එජාපය මෙම කන්ඩායම් සමග ඊනියා “නිදහසේ වේදිකාව” ස්ථාපිත කලේ ය.

බීජිනයෙන් ඈත් වන ලෙස මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට පීඩනය යෙදීමට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කුහක ලෙස යොදාගනිමින් සිටි එක්සත් ජනපදයට විවෘත ව සහයෝගය දීම, 2013 පටන් නසසප හා අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් විසින් ඇරඹී ය. යුරෝපීය බලයන්ගේ ද සහයෝගය ලත් වොෂින්ටනය, ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ව විමර්ශනයක් කැඳවීම සඳහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල යෝජනා සම්මත කලේ ය.

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය සහයෝගය දෙමින් සිටින බව කරුනාරත්න කියා සිටියේ ය. රාජපක්ෂ තන්ත්‍රය මත පීඩනය යෙදීමේ ප්‍රයත්නයන්ගේ කොටසක් වූ එක්සත් ජනපද ක්‍රියාවන්, 2015 තන්ත්‍ර-මාරු මෙහෙයුම තුල කුලුගැන්විනි.

පසුගිය වසරේ දී, අයිඑස්අයිඑස් සංවිධානයේ සහයෝගය ලත් ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායමක්, ශ්‍රී ලංකාව තුල පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දියත් කල විට, ජනාධිපති සිරිසේන කැඳවු සර්ව-පාක්ෂික සමුලුවට නසසපය සහභාගි විය. එම සමුලුව හදිසි නීති පැනවීමට සහ රට පුරා මිලිටරිය දිගේලි කිරීමට ඒකමතික ව සහයෝගය දුන්නේ ය.

අර්ථභාරීව, කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර ලෙස රාජපක්ෂ දක්වා ඇති මිලිටරි- ආධිපත්‍යධාරී පියවරයන්ට කොන්දේසි විරහිත සහයෝගය පලකර ඇති එජාපය සමගින්, නසසප ප්‍රධානී කරුනාරත්න සිය බලවේග ඒකාබද්ධ කර ඇත. අප්‍රේල් 27දා, එජාපය හා පාර්ලිමේන්තුවේ අනෙකුත් විරුද්ධ පක්ෂ, පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස රාජපක්ෂගෙන් ඉල්ලමින් ද, ඔවුන්ගේ සහයෝගය ගැන පොරොන්දු වෙමින් ද ලිපියක් යැවී ය.

ඩේලි මිරර් පත්‍රයට මැයි 4දා දුන් සම්මුඛ සාකච්ඡාවක දී වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේ ය: “අප සම්බන්ධයෙන් සලකන කල, මෙය පසමිතුරු දේශපාලනයේ යෙදීමට කාලයක් නො වන නිසා ආන්ඩුවට උදවු කිරීමට අපි කැමතියි. එම නිසා විවිධ පක්ෂවලට ආන්ඩුව සමග වැඩ කල හැක්කේ කෙසේදැයි අපට දැකගත හැකි යි.”

එජාපය හා අනෙකුත් විරුද්ධ පක්ෂවලට උපායික මතභේද ඇතත්, ආඥාදායක පාලන ක්‍රම අවශ්‍ය ය යන්න සම්බන්ධයෙන් සියලු දෙනා එකඟ ය. ඔවුන්ගේ පොදු උත්සුකය වන්නේ, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනයයි. නසසපයේ හ අනෙකුත් ව්‍යාජ-වාම සංවිධානවල දක්ෂිනාංශික කුලප්පුව ඇති කරනු ලබන්නේ එම භීතිකාවන් විසින් ම ය.

නසසප යනු කුනුගඳ ගසන දේශපාලන මලමිනියකි. කම්කරු පන්තියට විනාශකාරී වී ඇති එහි අවස්ථාවාදී දේශපාලනය, සසප/විකොස විසින් ඉදිරියට දමන ලද සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයට කම්කරු පන්තිය දිනාගනු ලැබීමෙන් වැලැක්වීම ඉලක්ක කරගනු ලැබ ඇත. කම්කරුවන්, තරුනයන් හා දුගීන් සඳහා ඉදිරි මාවත වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසපට බැඳී එය ගොඩනැගීම යි.

Loading