සසප ආරක්ෂක උද්ඝෝෂනය සඳහා ප්‍රබල සහායක් ගොනුවෙද්දී

ශ්‍රී ලංකා හමුදාපති පවසන්නේ, හමුදාව උතුරේ මැතිවරන අපේක්ෂකයින්ට හිරිහැර කිරීම පිලිබඳ චෝදනා “අසත්‍ය” බවයි

මෙම ලිපිය ජූලි 16 දින ඉංග්‍රීසි භාෂාවෙන්  පල කෙරින.

ලබන මාසයේ පැවැත්වෙන මහ මැතිවරනය සඳහා යාපනයට තරඟ වදින සසප (සමාජවාදී සමානතා පක්ෂය) අපේක්ෂකයින්, මිලිටරි හිරිහැර  ගැන පැමිනිලි කිරීමෙන් පසුව, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, එම චෝදනා “අසත්‍ය” යැයි අවධාරනය කරමින් ප්‍රතිචාර දක්වා ඇත. නමුත්, ඔහු සිය ප්‍රකාශය සනාථ කිරීම සඳහා සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ. 

දෙමල භාෂාවෙන් පලවන ලංකා සුඩාර් වෙබ් අඩවියේ ජූලි 8 වන දින සිල්වාගේ ප්‍රකාශය පලවීමෙන් පසුව එය  යාපනයේ පලවන ප්‍රධාන දෙමල දිනපතා පුවත්පත්වල ද උපුටා දක්වා තිබුනි. දෙමල දේශපාලඥයින් සහ අපේක්ෂකයින් “කිසිදු සාක්ෂියක් නොමැතිව සොල්දාදුවන්ට එරෙහිව බොරු චෝදනා නගමින් සිටින” බව සිල්වා ප්‍රකාශ කලේය.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්  යාපනයේ රාසෙන්තිරම් සුදර්සන්, පරමුතිරුඥාන සම්පන්දර් සහ රාජරත්නම් රාජවේල් ඇතුලු  සසප සාමාජිකයින්ගේ  නිවෙස්වලට ගොස් ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබෙන බවට පක්ෂය විසින් කරන ලද පැමිනිලි වලින් පසුව, යුද හමුදාපතිගේ ප්‍රකාශ නිකුත්විය. එලඹෙන මහ මැතිවරනයේදී යාපනය දිස්ත්‍රික්කය සඳහා සසප කන්ඬායම් නායකත්වය දරන්නේ සම්පන්දර් ය.

පසුව බුද්ධි අංශ නිලධාරීන් තවත් සසප සාමාජිකයින් දෙදෙනෙකුගේ නිවෙස් වලට ද ගොස් තිබුනි.

සසප සහ මහ මැතිවරනයට ඉදිරිපත් වන ස්වාධීන කන්ඬායම්වල නායකයෝ ජුලි 6 වන දින යාපනයේ ප්‍රාදේශීය මැතිවරන කොමිසම් කාර්යාලයේ පැවති රැස්වීමකදී හමුදා හිරිහැර ගැන පැමිනිලි කලහ.

හමුදා බුද්ධි අංශය සසප අපේක්ෂකයින්ට සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් ජූනි 20 වන දින ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න  වෙත යවන ලද ලිපියට  පිලිතුරු ලබා දී නොතිබියදී සිල්වා, සිය සනාථ නොකල ප්‍රකාශය නිකුත් කර ඇත.

හමුදා බුද්ධි අංශ නිලධාරීන් සසප අපේක්ෂකයින් හමුවීමට ගිය වේලාවන් සහ ඔවුන් ම තමන් හඳුන්වාගත් සමහර නම් ඇතුලුව, හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ කටයුතු පිලිබඳ සවිස්තර තොරතුරු ඩයස්ගේ ලිපියෙන් සපයා තිබුනි.

සිය මාධ්‍ය ප්‍රකාශය තුල හමුදාපති සිල්වා නරුම ලෙස සඳහන් කලේ, “දෙමල දේශපාලඥයින්  වගකිවයුතු ලෙස කටයුතු කල යුතු ය. චෝදනා සනාථ කල යුතුයි” යනුවෙනි. සසප විසින් සපයන ලද සවිස්තරාත්මක සාක්ෂි පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම ද දෙමල දේශපාලඥයින් “වගකීමෙන් යුතුව කටයුතු කල යුතුය” යි ද පවසන සිල්වාගේ ප්‍රකාශ, උතුරේ සියලුම මැතිවරන අපේක්ෂකයින්ට එරෙහිව එල්ල වන සියුම් තර්ජනයකි.

කොවිඩ්-19 වසංගතය හා කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් පලවන, නැඟෙන ආන්ඩු විරෝධී මනෝගතීන් මගින් ගැඹුරුවන උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ තන්ත්‍රය, ජනාධිපති ආඥාදායකත්වයක් තුලින් සිය බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරයි. උතුරු හා නැගෙනහිර ත්‍රස්තවාදය යලි මතුවීමට එරෙහිව තමන් කටයුතු කරන්නේ ය යන ප්‍රකාශ උපයෝගී කරගෙන ආන්ඩුව, මෙම ප්‍රදේශයේ ක්‍රියාකරන පක්ෂවල මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දෙයි.

හමුදාව සසප ඉලක්ක කරන්නේ, උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලෑමට එරෙහිව එය ගෙන ඇති සම්මුති විරහිත ආස්ථානය සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඬුවක් සඳහා වන සටනේදී සියලු ජනවාර්ගික රේඛාවන්ට ඔබ්බෙහි කම්කරුවන් එක්සත් කිරීම සඳහා, පක්ෂය ගෙනයන ප්‍රතිපත්තිමය අරගලය නිසා ය. 

සියලු වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පුලුල් අරගලයේ කොටසක් ලෙස, මිලිටරි හිරිහැරවලට එරෙහිව සසප ගෙනයන උද්ඝෝෂන ව්‍යාපාරයට සහාය දෙන ලෙස කම්කරුවන්, තරුනයින්, සිසුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

ඔබේ විරෝධතා ලිපි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවිය යුතු අතර එහි පිටපත් මැතිවරන කොමිසමේ සභාපතිවරයාට සහ සමාජවාදී සමානතා පක්ෂයට යොමු කරන්න. 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්:

විද්‍යුත් තැපෑල: secdefence@defence.lk

ෆැක්ස්: +94 11 2541529

මැතිවරන කොමිෂන් සභාවේ සභාපති

විද්‍යුත් තැපෑල: Chariman@elections.gov.lk

ෆැක්ස්: +94 11 2868426

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

විද්‍යුත් තැපෑල: wswscmb@sltnet.lk

ෆැක්ස්: +94 11 2869239

 ඕස්ට්‍රේලියාවේ වෙසෙන විශ්‍රාමික කම්කරුවෙක් වන එස්පී 

 ඕස්ට්‍රේලියවේ සිටින විශ්‍රාමික කම්කරුවෙකු වන මම, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් අව්‍යාජ සමාජවාදී පදනමක එක්සත් කිරීමට වසර තිහක් තිස්සේ ශ්‍රී ලංකවේ සසප ගෙනයන මූලධර්මාත්මක අරගලයේ ආධාකරුවෙක්මි. නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක මැතිවරනයට ලියාපදිංචිව සිටින සසප සාමාජිකයන්ට ඔබගේ මිලිටරි සාමාජිකයන් විසින් කරනු ලබන හිරිහැර හා බියගැන්වීම් නතර කල යුතු බවත්, විජේ ඩයස් සහෝදරයා විසින් ඔබ වෙත යොමු කල පලමු ලිපියෙන් මතුකර තිබෙන ප්‍රශ්න වලට ඉක්මනින් පිලිතුරු දෙන ලෙසත් ඉල්ලමි.

මෙම උද්ඝෝෂනය ලොව පුරා පුලුල් ලෙස ගෙනයනු ලැබේ. සසපට අත නොතබනු!

එක්සත් ජනපදයේ එල්එම්,

මම මේ විද්‍යුත් ලිපිය එවන්නේ, සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයින් වන රසෙන්තිරම් සුදර්සන්, පරමුතිරුඥාන සම්බන්දර් හා රාජරත්නම් රාජවේල් යන මහත්වරුන්ට මෙන්ම අනෙකුත් සසප සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල උදවියට ශ්‍රී ලංකාවේ මිලිටරි බුද්ධි නිලධාරීන් විසින් කරනු ලබන හිරිහැර හා අඩන්තේට්ටම් වලට විරෝධය පලකරමිනි.

ශ්‍රී ලංකාවේ මැතිවරන වලට සහභාගී වීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිල අයිතිය සසපට ඇති අතර එය, සිංහල හා දෙමල කම්කරු පන්තිය හා ශ්‍රී ලංකාවේ දුගී ජනතාව තුල ජාත්‍යන්තර සමාජවාදය වෙනුවෙන් පෙනී සිටියි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

මිලිටරිය විසින් සසප ප්‍රජාතන්ත්‍ර අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා භාෂනයේ නිදහසට එල්ල කෙරෙන ප්‍රහාරයකි. මම, සසප අපේක්ෂකයින්ට හිරිහැර කිරීම හෙලාදකිමින් එය නතර කරන ලෙසට ශ්‍රී ලංකාවේ හා ලෝකය පුරා කෙරෙන අනෙක් අයගේ ඉල්ලීමට එක්වෙමි.

ශ්‍රී ලංකාවේ ආර්පී,

මෑතකදී, හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් විසින්, එසේ කිරීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැතිවම, මහ මැතිවරනයට උතුරු පලාතේ තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයින් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ. මෙය වනාහි,  සිය ආරක්ෂාව සඳහා ජනතාවට තිබිය යුතු මානව අයිතීන් උල්ලංඝනය කරන හා පුරවැසියන්ගේ නිදහසට එරෙහි දුෂ්ඨ ප්‍රහාරයකි.

එලඹෙන මහ මැතිවරනයේදී සසප, කොලඹ, නුවරඑලිය හා උතුරු පලතේ යාපනය යන දිස්ත්‍රික්ක තුනට තරඟ වැදී සිටියි. පවතින පාලන තන්ත්‍ර විසින් නිර්මානය කර තිබෙන සමාජ අසාධාරනත්වයට එරෙහිව නැඟී සිටින මහජන ව්‍යපාර මැඬීමට යොදාගනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ප්‍රකෝපකාරී අඩන්තේට්ටම් හා බියවැද්දීම් පිලිබඳව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය පුරාවට මෙවන් දේ අපි අත්විඳ ඇත්තෙමු.....

පුරවැසියන් මෙවන් ක්‍රමවලින් මැඬීමෙන් ඇතිවන්නේ නරක ප්‍රතිපලයක් වන අතරම, කම්කරු පන්තියට විරුද්ධව බෙදා පාලනය කිරීම පිලිබඳ එහි මූලෝපාය සාක්ෂාත් කර ගැනීමට ආන්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ද මේ ටිකම බව අපේ හැඟීමයි. හමුදා පාලනයක් ඇතිකර ගැනීමට මං පාදාගනිමින් සිටින පාලක පන්තිය, කට වසාගෙන සිටින මෙන් අපට තර්ජනය කරයි.

මේ රටේ කම්කරු පන්තිය මේ පිලිබඳව අවධානය යොමුකල යුතු අතර තමන් මුහුනපා සිටින මාරක අන්තරාය වටහාගත යුතුය.

බ්‍රිතාන්‍යයේ එම්එම්

මම බ්‍රිතාන්‍යයේ සිට මෙය ලියන්නේ, එලඹෙන මහ මැතිවරනයේදී උතුරේ යාපනය දිස්ත්‍රික්කයට තරඟ කරන රාසෙන්තිරම් සුදර්සන්, පරමතිරුඥාන සම්පන්දර් හා රාජරත්නම් රාජවේල් යන සමාජවාදී සමානතා පක්ෂ සාමාජිකයින්ට හිරිහැර කිරීම පිලිබඳ මගේ විරෝධය පලකිරීමටයි.

බුද්ධධි අංශ නිලධාරීන් පැමින ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට හා ඔවුන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීමකි. එසේම එය, වර්ගවාදී-ජාතිවාදී දේශපාලනයට එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට ගෙනගිය අශමනීය අරගලයක දිගු ඉතිහාසයකට උරුමකම් කියන (සසප) සාමාජිකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් බියවැද්දීමට දරන උත්සාහයකි.

සසප, ලෝක සමාජවාදය සඳහා ජාත්‍යන්තරව ගෙනයන අරගලයේ කොටස්කරුවන් ලෙස ශ්‍රී ලංකාවේ ද ලොව පුරා ද කීර්තිය දිනා සිටින පක්ෂයකි. මේ අතර, බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය ශ්‍රී ලංකාවේ සිදුවීම් සමීපව නිරීක්ෂනය කරති.

විශේෂයෙන්ම සසප සාමාජිකයින් දෙදෙනෙකු 2007 දී අතුරුදහන් වීමත් එම අපරාධය මේ දක්වාම විසඳී නොතිබීමත් සලකා බලන කල, මම සුදර්ශන්, සම්බන්දර් හා රාජවේල්ගේ ආරක්ෂාව ගැන පමනක් කනස්සල්ලට පත්ව සිටින බව කිව නොහැකිය. මිලිටරිය විසින් මීට පෙර සසප අපේක්ෂකයින් ඉලක්ක කරගෙන මැදිහත්ව නැතත් ඇයි දැන් එසේ වන්නේ?

මෙම හිරිහැර කිරීම වහාම නතර කල යුතුය.

අප්කොට්හි ග්ලෙනුජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව, කේකේ,

එලඹෙන මහ මැතිවරනයේ යාපනය දිස්ත්‍රික්කයේ සමාජවාදී සමානතා පක්ෂ අපේක්ෂකයින් වන, පරමතිරුඥාන සම්බන්ධර්, රාසෙන්තිරම් සුදර්ශන් හා රාජරත්නම් රාජවේල් යන අයගේ නිවෙස් වලට, ඔවුන්ගේ පෞද්ගලික හා පවුලේ තොරතුරු විමසමින් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු පැමින තිබේ. මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා නීති විරෝධී කටයුතු ය. අපි මෙම ක්‍රියාව දැඩිලෙස හෙලාදකින අතර,  වහාම මේ හිරිහැර කිරීම් නතර කරන ලෙස ඔබගෙන් ඉල්ලමු.

සමාජවාදී ක්‍රියාමාර්ගයක් පදනම් කරගත් ලෝක පක්ෂයේ කොටසක් ලෙස සසප, සියලුම වාර්ගික හා ආගමික බෙදුම් රේඛාවන්ට ඔබ්බෙන් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට නිරන්තරයෙන් සටන් කරන පක්ෂයකි. අපි, සසපට එල්ල කර ඇති ප්‍රහාරය වතු කම්කරුවන් ද ඇතුලු සමස්ත කම්කරු පන්තියටම එල්ලවී තිබෙන ප්‍රහාරයක් ලෙස සලකමු.

බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයෙකු වන, එෆ්ජේ

එලඹෙන මහ මැතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂ අපේක්ෂකයින් බියවැද්දීමට ශ්‍රී ලංකාවේ මිලිටරි බුද්ධි අංශ නිලධාරීන් දරා ඇති උත්සාහය පිලිබඳව මගේ කෝපය පලකිරීමට කැමැත්තෙමි. මම බ්‍රිතාන්‍යයේ සිටින විද්‍යාඥයෙක්මි. සිය ජාත්‍යන්තර සහෝදර කම්කරුවන් මෙන්ම ශ්‍රී ලංකාවේ ද කම්කරුවන් වාර්ගික හා ආගමික බෙදීම් වලට විරුද්ධව එක්සත් කිරීමට මෙම වැදගත් සහෝදර වරුන් ඉටුකර තිබෙන වැඩ කොටස, ලොව පුරා ගෞරවයත් සහයෝගයත් දිනාගෙන ඇති බව මට පැවසිය හැකිය.

මැතිවරනයකට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් කුමන හේතුවක් නිසා හෝ ප්‍රශ්න කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මිලිටරියට අයිතියක් නැත. පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීම හා සියුම් තර්ජන කිරීම් ගැන කියනුම කවරේ ද? සසප සහෝදරවරුන් අත්විඳි හිරිහැර පෙන්නුම් කරන්නේ, මිලිටරිය සේවය කරන පන්ති අවශ්‍යතා හා ඔවුන්මත්, එක්සත් හා ස්වාධීන කම්කරු පන්තිය සතු බලය ගැන බියපත්ව සිටීමයි. 

මැතිවරනය තුල මිලිටරියේ මැදිහත්වීම වහාම නතර කල යුතුය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට හා ගොවීන්ට ඡන්දය දීමට ඇති සිය අයිතිය නිදහසේ පාවිච්චි කිරීමට ඉඩහලයුතු අතර ඔවුන්ගේ අයිතීන් සඳහා පෙනී සිටින එකම පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීමටත් ඉඩදිය යුතුය.

සකු, සෞදි අරාබියේ සේවය කරන ලංකාවේ කම්කරුවෙක්

එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී යාපනය දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් මෑත සති වලදී ප්‍රශ්න කර තිබූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා දැන ගන්නට ලැබිනි.

මෙසේ ප්‍රශ්න කිරීම් වලට ලක්වී ඇත්තේ සම්බන්දර්, සුදර්සන් සහ රාජවේල් යන සසප සහෝදරවරුන් තිදෙනාය. සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික බෙදීම් කපා ගෙන යමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සසප ඉදිරි දර්ශනය යටතේ මෙම සහෝදරවරුන් සටන් වැද ඇති බව අපි දනිමු. මිලිටරියේ ක්‍රියා උතුරේ ජීවත්වන සසප සහෝදරවරුන්ගේ ජීවිත වලට තර්ජනයක් සේ සලකන අතරම නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක් වන සසපයේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමකි.

සසපට  එරෙහිව දියත් කර ඇති මිලිටරි හිරිහැර කිරීම් තරයේ හෙලා දකින අතර එම හිරිහැර කිරීම් නතර කරන ලෙස ඉල්ලා සිටිමි.

Loading