අඟුලාන පොලිස් ඝාතනයේ සහ එයට එරෙහි මහජන විරෝධයේ සමාජ-දේශපාලන ඇඟවුම්

ජූලි 11 දා, අඟුලාන පොලිසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්‍රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන පොලීසිය ඉදිරිපිට තවත් විරෝධතා උද්ඝෝෂන දෙකක් පැවැත්වූහ. 

සිද්ධිය සම්බන්ධ නඩු විභාගය එදින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ පලමු වරට පැවැත්වීමට නියමිතව තිබියදී, එහි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා පොලීසිය විසින් රැගෙන යාමට එරෙහිව, ඔවුන් දෙදෙනා වහාම ලබාදෙන ලෙස ඉල්ලා පලමු උද්ඝෝෂනය පැවැත්වින.

උද්ඝෝෂනයට අවශේෂ මහජනතාවගේද අවධානය යොමුවෙමින් පැවති තතු තුල, පොලීසිය සාක්ෂිකරුවන් දෙදෙනා භාර දුන්නද, අධිකරනයට පැමිනි කරුනාරත්නගේ පවුලේ අයට සහ හිතවතුන්ට දැන ගන්නට ලැබුනේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. 

සාමාන්‍ය අධිකරන පටිපාටියමත් අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් වන මෙයින්, කෝපයටපත් මහජනයා ඔවුන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එදිනම අඟුලාන පොලීසිය ඉදිරිපිට තවත් උද්ඝෝෂනයක නිරත වූහ. 

පොලීසිය ඔවුන් විසුරුවා හලේ කඳුලුගෑස් ප්‍රහාරයන් සහිත කුරිරු මර්දනයක් දිගේලි කරමිනි. පොලිස් ස්ථානයට ගල්ගසා ‌දේපොල හානි කලේය යන චෝදනා මත, කාන්තාවන් 9 දෙනෙකු ඇතුලු 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුනි. 

පොලීසිය ගැහැනු-පිරිමි භේදයකින් තොරව විරෝධතාකරුවන්ට “එලව  එලවා පහර දුන්” බවත්, පසුව නිවෙස් වලට පැමින ඔවුන් අත්අඩංගුවට ගත් බවත් කරුනාරත්නගේ  බිරිඳ පැවසුවාය.  “පොඩි ලමයින්ට කිරිදෙන අම්මලා පවා කුදලගෙන ගියා. ඕක තමයි මේ රටේ නීතිය” යැයි ඇය කෝපයෙන් පැවසුවාය.

ඝාතනය සිදු කෙරුනු ජූලි 11 වන දා සිට ප්‍රදේශය පුරා ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකාය සීරුවෙන් තබා ඇති අතර ඕනෑම මොහොතක ප්‍රදේශවාසීන්ට යලි වෙඩි තැබීමේ අන්තරාය පවතී.

ඝාතනය සිදු කෙරුනේ, ජූලි 11 වන දා අලුයම, කරුනාරත්න සිය වැඩිමහල් පුත්‍රයා හා තවත් තිදෙනෙකු සමග ලුනාව කලපුවේ මසුන් මැරීම සඳහා යමින් සිටියදී ය. 

ලුනාව-අඟුලාන මෝයකට අසලදී, පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඔවුන් ගමන්කල ත්‍රිරෝද රථය නතර කලහ. ඔවුන් මත්ද්‍ර‍ව්‍ය ප්‍රවාහන‍ කරන්නේයයි චෝදනා කරමින් ප්‍රකෝපකාරිත්වයක් අවුලුවාගත් පොලිසිය, එම ව්‍යාජ චෝදනාවට එරෙහි වූ කරුනාරත්නට පහරදී පසුව ඔහුගේ හිසට වෙඩි තැබීය. 

සෙසු පිරිස පලාගොස් දිවි බේරා ගත්හ. එම ස්ථානයට පැමිනි හිතවතුන් විසින් වෙඩි වැදුනු කරුනාරත්න, කලුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගියේය.

කෝපයටපත් ප්‍රදේශවාසීහු ජූලි 11 වනදා උදේ අඟුලාන පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වෙමින්, ඝාතකයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් විසුරුවා හැරීමට ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ සියලුම පොලිස් නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයද කැඳවා තිබුනි.

ඝාතනයට එරෙහි විරෝධතාවයන් අනෙකුත් ජන කන්ඩායම් අතර ද පැතිරයනු ඇතැයි බියපත්වූ ආන්ඩුව, වහාම බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු ඉහල පොලිස් නිලධාරීන් ප්‍රදේශයට මැදිහත් කලේය. ඔවුහු පවුලේ සාමාජිකයන් හමුවී යුක්තිය ඉටුකරන බවට ව්‍යාජ පොරොන්දු ලබා දුන්හ.

අදාල පොලිස් නිලධාරීන් අතින් “වරදක් සිදුවී ඇත්නම්, එය වසන් නොකරන” බවත්, එම නිලධාරීන් “ආරක්ෂා නොකරන” බවත් තෙන්නකෝන් පැවසීය. පොලීසියට එරෙහිව  උද්ඝෝෂනය මෙහෙයවූයේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව තමා දන්නා බව පවසමින් ඔහු ප්‍රදේශවාසීන්ට  එරෙහිව සැඟවුනු තර්ජනයක්ද කලේය. 

තෙන්නකෝන් ගේ ව්‍යාජ පොරොන්දුවලට විපරීතව, ආන්ඩුව සහ පොලීසිය ඝාතකයන් ආරක්ෂා කිරීම සඳහා  සෑම ප්‍රයත්නයක්ම දරන බව හාත්පසින්ම අනාවරනය විය. 

අදාල පොලිස් නිලධාරින් සිද්ධිය වූ අවස්ථාවේ බීමත්ව සිටිබවට, කරුනාරත්න සමග ත්‍රිරෝද රථයේ ගමන් කල අනෙක් අය පොලීසියට ලබාදුන් ප්‍රකාශයන්හි සඳහන් කලද, ජූලි 12 දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කියා සිටියේ  “පරීක්ෂනයක් සිදු නොකල බැවින්” ඔවුන් බීමත්ව සිටියේදැයි කිවනොහැකි බවයි. 

මෙවන් ඝාතනයකදී අනිවාර්යයෙන්ම සිදුකලයුතු එම පරීක්ෂනය සිදු නොකෙරුනේ කවර හෝ අතපසුවීමක් නිසා නොව, සිතාමතාම බව පැහැදිලිය. 

අධිකරනයේ නඩු අසා චුදිතයන් බවට පත්ව සිර දඩුවම් විඳිමින් සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් පවා නිදොස්කොට නිදහස් කිරීම සඳහා ජනාධිපති බලතල යොදා ගැනීමේ සහ අධිකරනය මෙහෙයවා ගැනිමේ දීර්ඝ සහ කුප්‍රකට වාර්තාවක් ලංකාවේ ධනපති පාලක පන්තිය සතුවේ.

එහි මෑතම සිද්ධිය වනුයේ,  2000 වසරේ දී උතුරේ මිරිසුවිල් හි දෙමල වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ම 2015 දී මරන දඬුවම නියම වී සිරබත් කමින් සිටි සුනිල් රත්නායක නමැති යුද හමුදා කෝප්‍රල්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 මාර්තු මස අගදී සියලු වැරදි වලින් නිදොස්කොට නිදහස් කිරීමයි.

2000 වසරේදීම, බන්ඩාරවෙල පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි දෙමල රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු අසා වරදකරුවෙකුව සිටි පොලිස් පරික්ෂක සේනක කරුනාසේන ඇතුලු සිවු දෙනෙකු, 2005 මැයි මස ශ්‍රේෂ්ඨාධිකරනය මගින් නිදොස්කොට නිදහස් කිරීම තවත් සිද්ධියකි. මෙම නඩු තීන්දුව, උත්සන්නියට නැගුනු සිංහල වර්ගවාදී උද්ඝෝෂනයේ ප්‍රතිඵලයක් බව කුප්‍රකටය.

2008-2009 වසර වලදී තරුනයන් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුලු නාවික හමුදා නිලධාරින් 14 දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාග වෙමින් පැවති නඩුව ඉදිරියට ගෙනයාම, අභියාචනාධිකරනය මගින් වලකා ඇත. කරන්නාගොඩ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි.

මේ සියල්ලටමත් වඩා 26 අවුරුදු වර්ගවාදී යුද්ධයේ අවසන් භාගයේ සිදු කරන ලද නිමක් නැති යුද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු, එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ  යන දෙබෑයන්, එම අපරාධයන්හි නියුතු වූ හමුදා සහ පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන බවට නැවත නැවතත් ශපථ වෙති. 

යුද සමයේ නිර්මානය කරගත් මෙම මිලිටරි-පොලිස් මර්දන යන්ත්‍රය, වඩාත් ඉහලට වර්ධනය කර ගනිමින් මිලිටරිය මත පාදක වූ ආඥාදායක පාලනයකට පැන ගැනීම ගෝඨාභය රාජපක්ෂගේ ක්ෂනික න්‍යාය පත්‍රය යි. ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුවට, දැවැන්තම කප්පාදු හරහා එහි බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එයට එරෙහිව කම්කරුවන් සහ පීඩිතයන් අතරින් පැන නගින අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම හැර අන් විකල්පයක් නැත. 

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ රාජපක්ෂ මෙම වැඩපිලිවෙල වේගවත්කොට ඇති අතර පොලීසිය ඇතුලු රාජ්‍ය මර්දන යන්ත්‍රය ගැම්ම ගන්නේ, ඕනෑම නීති-විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමාට ආරක්ෂාව සැපයෙන බවට බවට ඇති විශ්වාසයෙනි. අඟුලාන පොලිස් ඝාතනය එහි සෘජු ප්‍රතිඵලයකි.

දිවයිනේ පරිපීඩිතම ජන කොට්ඨාසයක් වන ධීවරයන්ගේ ජීවිතයේ කටුකත්වය, අනුප්‍රාප්තික ආන්ඩු මගින් පසුගිය දශක කීපය තුල එල්ල කල ප්‍රහාර හමුවේ ආන්තික මට්ටමකට වර්ධනය වී ඇති අතර ඉන් නිර්මානය කෙරී ඇත්තේ දැවැන්ත සමාජ කෝපයකි. 

මියගිය කරුනාරත්නගේ බිරිඳ පවසන ආකාරයට, ඔහු එදා රාත්‍රියේ ලුනාව කලපුවේ “බරු දැල් ගැසීමට” ගොස් ඇත්තේ මෙම වාරකන් කාලයේ  මුහුදු යෑම කල නොහැකි බැවිනි. “ධීවර රස්සාවෙන් ගෙදර වියදමට හරි යන ආදායමක් නැති” බවත්,  සමහර දිනවල කවර හෝ ආදායමක් නැතුව හැරී එන බවත් ඇය පැවසුවාය. මධ්‍යම රාත්‍රිය ඉක්ම යාමත් සමග නිවසින් නික්ම යන ධීවරයෝ රැය පහන් වෙන තුරු රැකියාවේ යෙදෙති.

ඔවුන්ගෙන් බහුතරයකට ශීලාචාර ලෙස ජීවත්විය හැකි නිවාස නොමැති අතර, තම දරු පවුල් සමග දිවි ගෙවන්නේ යන්තමින් අටවාගත් පැල්පත් වලය. බොහෝ දෙනෙකුට නල ජලය හෝ විදුලිය නොමැත. දෛනික උපයා ගන්නා සොච්චමකින් ජීවත්වන ඔවුනගේ ආදායම්, මුහුදේ රලු පරලුබව සමග නිරන්තරව විචලනය වන්නකි. බොහෝදෙනා තම බෝට්ටු සහ දැල් ආම්පන්න මිලදී ගැනීම සඳහා විවිධ ආයතන වලින් ලබාගත් නයෙහි දැවැන්ත බරෙන් මිරිකී සිටිති. 

මේ සියල්ලටමත් වඩා ඔවුන් නිරන්තරව පොලිස් හිරිහැර වලට ලක්වෙති. මත්ද්‍රව්‍ය, පාතාලය සහ ත්‍රස්තවාදය  මැඩීමේ මුවාවෙන් පොලීසිය මෙම දුගී පැල්පත් වලට කඩාවැදී තරුනයන්ට කුරිරු ලෙස පහර දෙමින්, ඔවුන් කුදලාගෙන යාම නොකඩවා සිදුවන්නකි. 

මෙහි කොටසක් ලෙස,  2009 අගෝස්තු මස, අඟුලාන පොලිසිය විසින් එම ප්‍රදේශයේ පුරුෂයන් දෙදෙනෙකු  පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රදේශයේ පමනක් නොව රටේම මහජන කෝපය ඇවිලවීය. 

ජූලි 11 වන දා පොලිස් ඝාතනයෙන් පුපුරා ඉස්මත්තට පැමිනියේ දරිද්‍රතාවය සහ පොලිස් මර්දනය හේතුවෙන් දශක ගනනාවක් පුරා වර්ධනය වී ඉහවහාගිය ඔවුනගේ සමාජ කෝපය යි. එහෙත්, තම දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට එම කෝපය පමනක් ප්‍රමානවත් නොවේ. එයට විද්‍යාත්මක දේශපාලන ඉදිරි දර්ශනයක් අවශ්‍ය ය.

ඔවුනගේ මෙම පරිපීඩිත ජීවිතයට හේතුව, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය යි. එය පෙරලා දමා, ලාභය වෙනුවට, අවශ්‍යතාව මත පදනම් වූ සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් තොරව කවර හෝ විමුක්තියක් අත්කරගත නොහැකිබව ඔවුන් වටහාගත යුතුය. 

පීඩිත ගොවීන් මෙන්ම පීඩිත ධීවරයන් ද, ධනවාදය පෙරලා දැමීමට ඓතිහාසික වශයෙන් නිර්නය වූ සමාජ පන්තිය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ පෙල ගැසෙමින් මෙම කර්තව්‍යය සඳහා උරදිය යුතුය.

මෙවර මහමැතිවරනයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත්කර ඇති මැතිවරන ප්‍රකාශයේ සඳහන් පහත ඡේදයන් ඒ සඳහා මග පෙන්වයි:

“සසප සටන් වදින්නේ දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට යි. එවන් ආන්ඩුවක් විශාල විදේශීය හා දේශීය සමාගම් ද විශාල වතු හා බැංකු ද කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරන අතර, විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කරනු ඇත.”

එවන් කම්කරු-ගොවි ආන්ඩුවක්,

“ඉඩම් නැති සියලු ගොවීන්ට රාජ්‍ය ඉඩම් ලබාදෙමින් සියලු දුගී ගොවීන්ගේ හා ධීවරයන්ගේ නය අහෝසි කල යුතු ය. ලාබදායී නය, තාක්ෂනික උපදෙස් හා අනෙකුත් සේවාවන් සම්පාදනය කල යුතු ය. ශිෂ්ට සම්පන්න ජීවන තත්ත්වයක් සුරක්ෂිත කිරීම සඳහා මිල පාලනය තහවුරු කල යුතු ය.”

මෙවර මැතිවරනයේදී ඔබේ ඡන්දය සසප ට ලබා දෙමින් මෙම වැඩපිලිවෙලට සහාය දෙන්න.

Loading