වසර 75 කට පෙර: මිත්‍ර පාර්ශවයේ නායකයින්ගේ පොට්ස්ඩෑම් සමුලුව

මෙම ලිපිය ජූලි 13 දින ඉංග්‍රීසියෙන් පලවින.

ක්ලෙමන්ට් ඇට්ලී (වමේ) හැරී එස්. ටෘෘමන් (මැද) සහ ජෝශප් ස්ටාලින් පොට්ස්ඩෑම් සමුලුවේදී

දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් මිත්‍ර පාක්ෂික සමුලුව සඳහා 1945 ජූලි 17 වන දින බ්‍රිතාන්‍යයේ, එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ නායකයෝ ජර්මනියේ පොට්ස්ඩෑම් නුවරට රැස් වූහ. යුරෝපීය  යුද්ධයේ අවසානය සනිටුහන් කල නාසි තෙවන රයිකය පරාජය කිරීමත් මිත්‍ර පාක්ෂිකයින් විසින් ජර්මනිය අත්පත් කර ගැනීමත් සමඟ පැසිෆික් කලාපයේ ජපානයට එරෙහිව අවසන් ප්‍රහාරයක් සඳහා එක්සත් ජනපදය සූදානම් වීම මධ්‍යයේ මෙම සමුලුව පැවැත්වින.

අප්‍රේල් මාසයේදී සිදු වූ  ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ අභාවයෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වූ හැරී ටෘෘමන්, සෝවියට් ආඥාදායක ජෝශප් ස්ටාලින්, සහ බ්‍රිතාන්‍ය අගමැතිවරුන් වන වින්ස්ටන් චර්චිල්, සහ බ්‍රිතාන්‍යයේ පැවති මහා මැතිවරනයෙන් චර්චිල්ගේ ටෝරි පක්ෂය පරාජය කල ලේබර් පක්ෂයේ ක්ලෙමන්ට් ඇට්ලී මෙම සමුලුවට සහභාගි වූහ.

යුද ජයග්‍රහනය බෙදාගැනීමේදී මතු වූ කොල්ලකාරීත්වය සම්බන්ධයෙන් මිත්‍ර බලවතුන් අතර තිබූ ආතතීය ප්‍රදර්ශනය කරමින් ප්‍රන්සය මෙම රැස්වීමට පැමිනියේ නැත. අප්‍රිකාවේ සහ ආසියාවේ සිය පැරනි යටත් විජිත නැවත අත්පත් කර ගැනීමට ප්‍රන්සය ගත් උත්සාහයට එරෙහිව එදිරිවාදී කම් ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදය ඒ වන විටත් කටයුතු කොට තිබුනේ, ලෝකයේ අධිරාජ්‍යවාදී බලවතා බවට පත්වීමේ ඇමරිකානු ප්‍රයත්නයේ කොටසක් ලෙස ය.

ජර්මනිය වාඩිලා ගැනීමේ කලාපවලට බෙදා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, සෝවියට් සංගමය සහ ප්‍රන්සය විසින් පාලනය කල යුතුය යන්න, පොට්ස්ඩෑම් සමුලුව අනුමත කලේය. බර්ලිනය දෙකට බෙදීම ද ඊට  ඇතුලත් විය. ජර්මනියේ මිලිටරි කර්මාන්තය විනාශ කිරීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු  එරට සමහර නායකයින්ට එරෙහිව නඩු පැවරීමේ සැලසුම් ද ගිවිසුම් ගත විය. ජර්මනියේ බාහිර මායිම් නැවත අඳින ලදී. එමගින් නැගෙනහිර ප්‍රෂියාව, සිලීසියාව, බටහිර ප්‍රෂියාව සහ පොමරේනියාවෙන් තුනෙන් දෙකක් ඇතුලුව රටෙන් සියයට විසිපහක් පමන ජර්මනියට අහිමි විය.

හංගේරියාව, පෝලන්තය සහ චෙකොස්ලොවැකියාව යන රටවල ජර්මානු භාෂාව කතා කරන ජනතාව නෙරපා හැරීමටත්, ඔවුන් ජර්මනියට කැඳවා ගැනීමටත් මෙම සමුලුවෙන් අවසර ලැබුනි. තවද එම සමුලුව ස්ටැලින්වාදී පෝලන්ත කම්කරු පක්ෂය සහ ධනේශ්වර-ජාතිකවාදී කන්ඩායම් වලින් සමන්විත තාවකාලික පෝලන්ත ජාතික ආන්ඩුවක් හඳුන්වා දෙන ලදී. නාසින් සමග පෙලගැසී සිටි දක්ෂිනාංශික හා ෆැසිස්ට් පාලන තන්ත්‍රයන් පරාජය කිරීමෙන් පසු සෝවියට් රතු හමුදාව නැගෙනහිර යුරෝපයේ පුලුල් පරාසයක ඒ වන විටත් වාඩිලාගෙන සිටියහ.

වරප්‍රසාදිත සෝවියට් නිලධරයේ අභිලාෂයන්ට අනුව  ස්ටැලින්වාදීන්, කලාපයේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සතුරු වූ අතර, ඒ වෙනුවට තමන්ගේ බලපෑමට යටත් කලාපයක් නිර්මානය කිරීමට මංපෙත් සෙවීය. ඔවුන් වාඩිලාගෙන සිටි රටවල ජනසතු කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම කල් යැවීය.

ජපානයට වහාම යටත් වන ලෙසත් එසේ නොවුවහොත් “වහාම සම්පූර්න විනාශයට” මුහුන දීමට සූදානම් වන ලෙසත්  සමුලුව තදින්ම කියා සිටියේය. රැස්වීම අතරතුර, එක්සත් ජනපදයට “බලවත් නව ආයුධයක්” ඇති බව ටෘෘමන් ස්ටාලින්ට පැවසූ බව වාර්තා වේ. සමුලුව අවසන් වී සති දෙකකට පසුව, එක්සත් ජනපදය ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට න්‍යෂ්ටික බෝම්බ හෙලීය. පෙර නොවූ විරූ යුද අපරාධයක් වූ මෙහි අරමුන වූයේ, පශ්චාත් යුද සමය තුල ඇමරිකානු ආධිපත්‍යය හැසිරෙන්නේ කෙසේදැයි, විශේෂයෙන්ම සෝවියට් සංගමය සමග ගනුදෙනු වලදී හැසිරෙන්නේ කෙසේදැයි පෙන්වා දීමයි.