ආන්ඩුව තමන්ට පන්දම් අල්ලන වෘත්තීය සමිති පෙලගස්වාගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය බිඳීමේ උත්සාහයක

නිරෝධායන හා මැතිවරන කටයුතු සඳහා සහභාගී වීමේ දී  නෛතික රැකවරනය සම්පාදනය කරන ලෙස ඉල්ලා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජුලි 17 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයක යෙදී සිටිති. එම නෛතික රැකවරනය සැපයීම මගින් මහජනතාව පීඩනයට පත්වන බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය  ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි තම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ද මැතිවරන කටයුතු සඳහා රජයේ සේවකයන් සම්බන්ධ කර ගැනීමේ  අදාල ගැසට් නිවේදනයට තමන්ව ඇතුලත් කර නැති බවද ඔවුහු කියති. 

කීට විද්‍යාඥයන් සහ සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අරගලයට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇත. එය පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව තම අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර පවතින කැකෑරීම සහ එම අයිතීන්  සඳහා සටන් කිරීමට පවතින දැවෙන උවමනාවයි.

රාජපක්ෂ ආන්ඩුව  තමන්ට ගැතිකම් කරන වෘත්තීය සමිති පෙල  ගස්වා ගනිමින් ඔවුන්ගේ වර්ජනය බිඳීමේ දුෂ්ට ප්‍රයත්නයක යෙදී සිටින්නේ එම තතු තුලය. ආන්ඩුවේ ප්‍රකෝපකාරී ප්‍රයත්නය සමග පෙරමුනේ සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය (සෞක්නිස ) යි. 

ජුලි 18 වෙනිදා ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් සහ සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවට සෞඛ‍්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ “විකල්ප ක්‍රියාමාර්ග” අනුගමනය කරන ලෙස රවෛනිස ආන්ඩුවට උපදෙස් දුන්නේ ය. 

ඉක්බිතිව “සිය වෘත්තීය ඉල්ලීම් මත කොරෝනා මර්දන  රාජකාරියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීම අනුමත කල  නොහැකි” බව සඳහන් කරමින්, ජුලි  21 පැවති මාධ්‍ය  සාකච්චාවක දී රවෛනිස සංස්කාරක හරිත අලුත්ගේ වර්ජනය හෙලා දැක  ඇති අතර, “රටේ බොහෝ වෘත්තීය සංගම්වලට සිය වෘත්තීන්ට අදාල ව  ඉටුකරගත යුතු ඉල්ලීම් රැසක් ඇතත් මේ අවස්ථාව එම ඉල්ලීම් ලබා ගැනීමට අවස්ථාව නොවන” බව  පවසා තිබේ.

“සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පුරප්පාඩුවලට පොරොත්තු ලේඛනයේ සිටින වෛද්‍යවරුන්  අනුයුක්ත කිරීම හෝ පවුල් සෞඛ්‍ය  නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  රාජකාරියට යොදවන ලෙස සෞඛ්‍ය ඇමැතිනියගෙන් ලිඛිත ඉල්ලීමක් කල” බව ද අලුත්ගේ එහි දී වැඩිදුරටත් පවසා ඇත.

එදින ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරන සෞක්නිස “අප රටත්, ජනතාවත්, රජයත් ජාතික වශයෙන් දැඩි  අසීරු අවස්ථාවකට  මුහුන දී ඇති මෙම තීරනාත්මක මොහොතෙ දී කොවිඩ් 19 රෝග පාලනයේ එක් කාර්යයක් පමනක් ඉටුකරන වෘත්තීය කන්ඩායමක් තම පටු අරමුනු ඉටුකර ගැනීම සඳහා රජය අපහසුතාවයට පත් කරමින් සිදුකරන වැඩ වර්ජන දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින” බව සඳහන් කර තිබේ.  

“දිවයින පුරා සේවයේ නිරතව සිටින සියලුම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්  සම්බන්ධ කර ගනිමින් කොවිඩ් 19 රෝග පාලනයේ  දී අපට දියහැකි උපරිම දායකත්වය ලබාදීමට සූදානමින් සිටින” බවට එහි තවදුරටත් සපත කර තිබේ. 

මෙම නින්දිත හොරිකඩකම කම්කරු පන්තිය විසින් තරයේ හෙලා දැකිය යුතු අතර මසෞප වර්ජනය ආරක්ෂා කිරීමට පන්ති ක්‍රියාවන් තුලින්  ක්‍රියාශීලී සහයෝගය  ඔවුන්ට ලබා දිය යුතුය.

හොරිකඩ සමිති පවසන ආකාරයට “රටත්, ජනතාවත්” දැඩි අසීරුතාවයකට පත්ව තිබීම ගැන තම වෘත්තීය අයිතීන් සඳහා අරගලයක යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා සටන් කරන සෙසු සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය වගකිව යුතු නැත. ඊට ඍජුව ම වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ මෙරට ධනපති පාලක පන්තියයි. 

ලෝකයේ අනෙකුත් රටවල මෙන් ම, කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයන්  ඇතුලුව ජාත්‍යන්තරව කෙරුන කිසිදු අනතුරු ඇඟවීමක් රාජපක්ෂ ආන්ඩුව  තුට්ටුවකට මායිම් කලේ නැත. වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හමු වූයේ ජනවාරි මාසයේ ය. ඇයගේ සුවවීමත් සමග කොරෝනා වසංගතය පාලනය කිරීමේ “අතිදක්ෂ කමක්” ශ්‍රී ලංකාවට ඇති බවට පම්පෝරි ගැසූ සෞඛ්‍ය ඇමති වන්නිආරච්චි ඇතුලු රාජපක්ෂ ආන්ඩුව මේ දක්වාම වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු බැරෑරුම් පියවරයන් ගෙන  නැත. 

පීසීආර් පරීක්ෂන අතිශයින් ම සීමිත බව ආන්ඩුවට පන්දම් අල්ලන රවෛනිස ට මත් පිලිගැනීමට සිදු වී තිබේ. වෛද්‍යවරුන්  සහ රෝහල් කාර්ය මන්ඩල  සඳහා සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය පහසුකම්, ප්‍රමානවත්  තරම් සම්පාදනය කිරීමට ආන්ඩුව මුලුමනින් ම අසමත් වී තිබේ.  

ආසාදිත පොකුරු ඇතිවීම හා ඒවා දිවයින පුරා ව්‍යාප්තවීම තුල වසංගතය සාර්ථකව පාලන කර ඇති බවට පුන පුනා කෙරෙන පුච්චානම් කතා වල පල්ලට ගොස් ඇත. 

වසංගතය පැතිරීම සහ සෞඛ්‍ය සේවය තුල පවතින උපකරන, පහසුකම් සහ මානව සම්පත් වල හිඟකමට වගකිව යුත්තේ ද රාජපක්ෂ ආන්ඩුව සහ මෑත දසක කිහිපය තුල බලයේ පැවති  ධනපති පාලන තන්ත්‍රයන් ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝග පරිදි සමාජ සුබසාදන වියදම් කප්පාදුවේ කොටසක් ලෙස මහජන සෞඛ්‍ය සඳහා වෙන් කෙරෙන අරමුදල් එම කාලය තුල ක්‍රමානුකුලව කප්පාදු කෙරුනි.  

වසංගතයේ ව්‍යාප්තිය තුල “රට, ජාතිය” මුහුන දී සිටින අසීරු අවස්ථාව ගැන සඳහන් කරමින් රාජපක්ෂ ආන්ඩුවේ මුර බල්ලන් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  අරගලයට ගොරවන හොරිකඩ සමිති නායකයන් කිසිවෙකුත් මහජන සෞඛ්‍ය සේවයේ කෙරුන මෙම දිගුකාලීන කප්පාදු ගැන වචනයක් කතා කර නැත. 

වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින තත්වය තුල කම්කරු පන්තිය සහ  මහජනතාව ගැන කිසිදු තැකීමක් නැතිව “ආර්ථිකය යලි විවෘත කිරීම” තුලින් වසංගතය පැතිරීමේ සම්භාවිතාව කිහිප ගුනයකින් ඉහල ගොස් ඇත. 

රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරන්නේ, වසංගතය ගැන සැලකිල්ලක් නැතිව නිෂ්පාදන හා සමාජ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම නමැති “නව සාමාන්‍යය”  සහ ධනපති ආයෝජකයන්ගේ තිරස්චීන ලාබ පිපාසිත අවශ්‍යතාවයන් සඳහා “ආපසු වැඩට” පිලිවෙත යටතේ කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට තල්ලු කරන, සෙසු රටවල ධනපති පාලක පන්තීන්ගේ පිලිවෙතට කිසිදු ආකාරයකින් නොවෙනස් පිලිවතකි. 

එමගින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් රැකියාවන්ගෙන් දොට්ට දැමීමට සහ කම්කරු පන්තියේ වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදුවට ධනපති සමාගම්වලට ඉඩ සලසා තිබේ. සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තියේ  වැටුප් සහ දීමනා කපන ආන්ඩුව ධනපති සමාගම්වලට බිලියන ගනන් මුදල් සම්පාදනය කර ඇත.

හොරිකඩ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය තලා දැමීමට රාජපක්ෂ ආන්ඩුවේ හැරීම පෙන්නුම් කරන්නේ තම අයිතීන් සඳහා කම්කරු පන්තිය තුලින් මතුවන කවර හෝ අරගලයකට පොලා පැන පහරදීමට පවතින සූදානමයි.

වෘත්තීය අයිතීන් වෙනුවෙන්  අරගලයේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  මෙම අභියෝගයට මුහුන දිය යුතුය. එහෙත් ඒ සඳහා සෙසු සෞඛ්‍ය සේවකයන් ඇතුලු අවශේෂ කම්කරුවන්ගේ සහය අරගලය වටා බලමුලු ගන්වා  ගැනීමේ කිසිදු වැඩ පිලිවෙලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ට නැත. 

ආන්ඩුවට හා සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් දැමීම තුලින් වෘත්තීය අයිතීන් දිනා ගත හැකිය යන මිථ්‍යාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මත වගාදිගා කරන සමිති නිලධරය වර්ජනය සෙසු සෞඛ්‍ය සේවකයන්ගෙන් සහ කම්කරුවන්ගෙන් හුදකලා කර ඇත. 

 උද්ඝෝෂනය හුදෙක් නිරෝධායන කටයුතු වල දී නීතිමය රැකවරනය යන ඉල්ලීමට සිඳවා ඇති මජසෞපස, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුන දෙන දීමනා කප්පාදුව, ප්‍රවාහන පහසුකම් සඳහා  ප්‍රමානවත්  දීමනාවක් නොගෙවීම, පීසීආර් පරීක්ෂන වලට භාජනය නොකිරීම ඇතුලු ප්‍රශ්න යට ගසා ඇත. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන් ම, වෛද්‍යවරු ඇතුලු සමස්ත සෞඛ්‍ය කාර්ය මංඩල ද දීමනා කප්පාදුව, අසාමාන්‍ය වැඩ ප්‍රමානයකට කර ගැසීමට සිදුවීම, අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් නැතිකම, එනිසාම ජීවිත අවදානම ඇතුලු වෘත්තීය සහ සමාජ අයිතීන්  සම්බන්ධ ප්‍රශ්නවලට පොදුවේ මුහුන දෙති. සෞඛ්‍ය සේවකයන් මුහුන දෙන මෙම ප්‍රශ්න පිලිබඳව පොදු අරගලයක් සංවිධානය කිරීම මජසෞපස සහ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම සමිති විසින්  දැනුවත්වම  මගහැර සිටිති.  

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම සංගමයේ සහ සෙසු සෞඛ්‍ය සේවක සමිතිවල මෙම වඳ පිලිවෙත ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන්ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකට වේවා තම වෘත්තීය සහ සමාජ අයිතීන් දිනා  ගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්තියේ  ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි. 

වෘත්තීය සමිති එවන් අරගලයකට සපුරාම හතුරුය. තම අයිතීන් සඳහා  කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක්  සංවිධානය කල හැක්කේ  වෘත්තීය සමිතිවලින් වෙන්ව හා ස්වාධීනව සංවිධානය කර ගනු ලබන ක්‍රියාකාරී කමිටු තුලිනි. ක්‍රියාකාරී කමිටු හරහා ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සිය ජාත්‍යන්තර සගයන් සමග එකමුතුව තහවුරු කරගැනීමට ද  කොරෝනා වසංගතයෙන් නිර්මානය කෙරී ඇති ව්‍යසනයෙන් මිදීමට සහ තම අයිතීන් දිනා ගැනීම පිනිස ජාත්‍යන්තර අරගලයක් සංවිධානය කිරීමට ද පෙරට යායුතුය. 

එය ඒ හෝ මේ රටේ පාලක පන්තියට බලපෑම් දමන උද්ඝෝෂනයක් නොවේ. එය කම්කරු පන්තිය මතට ව්‍යසනය කඩාපාත් කරන ධනපති ක්‍රමයට එරෙහි  දැනුවත් දේශපාලන අරගලයකි. ශ්‍රී ලංකාවේ දී එය,  සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවකින්, රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කිරීමේ  සටනකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත් වෙති

සෞඛ්‍ය සේවකයන් සඳහා සසප පනිවුඩ මුහුනු පොත

Loading