ශ්‍රී ලංකා පොලීසිය නිරාගමික හේතුවාදී විචාරකයෙක්ට එරෙහි පරීක්ෂන අරඹයි

සමාජ මාධ්‍ය තුල සැලකිය යුතු අවධානයක් දිනා ඇති තරුන නිරාගමිකයෙකු හා හේතුවාදියෙකු වන ඉන්දික රත්නායක ශ්‍රී ලංකා පොලීසියේ කොලඹ සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය (සඅනිකො)  මගින් පසුගිය 29 දා කැඳවනු ලැබුනි. ෆේස්බුක් මාධ්‍ය හරහා ප්‍රකාශ කෙරුනු ඔහුගේ ආගම සම්බන්ධ විවේචනාත්මක ලිපි පිලිබඳ පැය තුනකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පොලීසිය ඔහුව මුදා හැර තිබුනේ ඔහුගේ රචනයන් ස්වයංවාරනයට ලක් කලයුතු බවට ඔහුට අනතුරු අඟවමිනි.

ඉන්දික රත්නායක

රත්නායක මෙසේ කැඳවා තිබුනේ ඔහුට එරෙහිව කුප්‍රකට සිංහල වර්ගවාදී හා බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ (බෞතොකේ) විධායක අධ්‍යක්ෂ අඟුලු‍ගල්ලේ සිරි ජිනානන්ද භික්ෂුව පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කරන ලද, ජුනි මස 8 දිනැති, පැමිනිල්ලක් මතයි. පරපුටු සමාජ සංස්ථාවක ඉහලින්ම වැජඹෙමින් සමාජ ප්‍රතිගාමී දේශපාලනයේ නිරත බෞද්ධ භික්ෂූන් වන මැදගොඩ අභයතිස්ස, හෑගොඩ විපස්සි හා ඉඳුරාගාරේ ධම්මරතන බෞතොකේ හි අනුශාසකත්වය දරති.

“බෞද්ධ ප්‍රජාව අතර බුදු දහම සහ බුදුරජානන් වහන්සේ ගැන මිත්‍යා මත බෙදා හරිමින් ආගමිකයන් අතර වෛරය ඇතිවන පරිදි  කටයුතු කරමින්”, “පුද්ගල කන්ඩායම් එකතු කොට සමාජජාලා හරහා” කරන කටයුතු නිසා “රටතුල බෞද්ධාගමික පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇතිවෙමින් පවතින අතර තරුන පරපුර නොමග යවමින් සිටින” බව පැමිනිල්ල රත්නායකට එරෙහිව චෝදනා කරයි. “මෙම අපරාධය පිලිබඳ විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත්කරන ලෙස” පොලීසියට විධානය කරන භික්ෂුව මේ සඳහා ආධාර කරගත යුතු නීති දඬු අඬු ද පොලීසියට පෙන්වා දෙයි.

පසුගිය වසරේ හා මෙම වසරේදීත් අවස්ථා ගනනකදී ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහිව යොදාගැනුනු මෙම මර්දක නීති ප්‍රතිපාදනයන් නම්, වැඩවසම් නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ (දනීස) 291ආ සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1) යන වගන්තීන්ය. 

දනීස හි 219ආ වගන්තිය යටතේ  “කිසිදු පන්තියක ආගමික හැඟීම්වලට හිතාමතා හා ද්වේෂ සහගත ලෙස පරිභව කිරීම” අපරාධ වරදකි. එයට වසර දෙකක් දක්වා සිර දඬුවමක් ලබා දිය හැකිය.  අයිසීසීපීආර් පනතේ  3 වන වගන්තිය අනුව “යුද්ධය ප්‍රචාරනය කිරීම හෝ වෙනස්කම් කිරීම, වෛරය හෝ ප්‍රචන්ඩත්වයට පොලඹවන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමට අනුබල” දීම වරදකි.  එම වරද සඳහා චෝදනාලැබූ අයෙකුට ඇප ලබාදිය හැක්කේ ඉතා සුවි⁣⁣ශේෂි තත්වයන් යටතේ මහාධිකරනයකට පමනක් වන අතර වරද ඔප්පු කරනු ලැබුව හොත් වසර දහයක් දක්වා සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත. 

වෘත්තීයෙන් රජයේ හෙද සේවකයෙකු වන රත්නායක වසර ගනනාවක සිට සමාජ මාධ්‍ය භාවිතයෙන් තම නිරාගමික හා හේතුවාදී විවේචනාත්මක ලිපි හරහා ආගමික සංකල්පවල අතාර්කික හා අවිද්‍යාත්මක ස්වභාවය, ඒවායේ ඓතිහාසික හා සමාජීය සම්භවය යනාදිය සරලව ඉදිරිපත් කරමින් මිත්‍යාවට එරෙහිව භෞතිකවාදය තහවුරු කිරීම සඳහා සාධනීය ප්‍රයත්නයක් දරා ඇති බවට ඔහුගේ ලිපි සාක්ෂි දරයි. 

ඔහුගේ ෆේස්බුක් ගිනුමට අමතරව 'කළු කුහරය' නමින් ⁣ෆේස්බුක් සමූහයක ද ඔහු තම අදහස් ප්‍රකාශයට පත් කරයි. මේ හරහා ⁣පමනක් හයදහසකට වැඩි පිරිසකගේ අවධානය තම ලේඛන වෙත යොමු කරගැනීමට රත්නායක⁣ට හැකිව තිබේ. ජෛන හා හින්දු ආගම්, බුද්ධාගම, ඉස්ලාමය, යුදෙව් ක්‍රිස්තියානි ආගම් ආදියෙහි එන දෙවියන්, කර්මය, පුනරුප්පත්තිය, නිර්වානය, යනාදී සංකල්ප මෙන්ම මෙම ආගම්වල ඓතිහාසික සම්බන්ධයද ඔහුගේ ජනප්‍රිය මාතෘකා වේ.

මෙතරම් විශාල ප්‍රමානයක්, වි⁣ශේෂයෙන් තරුන පිරිස්, නිරාගමිකත්වය හා හේතුවාදී විශ්ලේෂන වෙත අවධානය යොමු කිරීම, යල්පැන ගිය ආගමික සංකල්පවලින් ගූඪකරනයට ලක්කොට මානසික, සංස්කෘතික හා වාර්ගික වහල්භාවයට තමන් පත්කිරීමට එරෙහිව නව විද්‍යාත්මක හා තාක්ෂනික වර්ධනයන් පසුබිමෙහි වර්තමාන තරුන පරම්පරාවන් ස්වභාවධර්මය විද්‍යාත්මකව වටහා ගැනීමට දරන ප්‍රයත්නයේ වෛෂයික පිලිබිඹුව කි.  

රත්නායකගේ මෙම වැඩකටයුතු සෘජුවම ආගමට හා සැම කල්හිම පාලක පන්තියේ මර්දක උපකරනයක් ලෙස එයට ⁣ඓන්ද්‍රීයව සම්බන්ධව ක්‍රියාත්මක වූ ආගමික සංස්ථාපිතයටද මාරක පහරක් වේ. බුද්ධාගමට ජෛන සම්භවයක් ඇතැයි රත්නායක ඉදිරිපත් කල විශ්ලේෂනය නිසා බෞද්ධ සංස්ථාපිතයම දෙද⁣රා යනු ඇතැයි යන උත්සුකයෙන් මෙම අන්තවාදීන් කුපිතව ඇත.

රත්නායක ඉදිරිපත්කර ඇති ශාස්ත්‍රීය කරුනු පිලිබඳ අංශුමාත්‍රයක හෝ අවබෝධයක් නොතිබුනු සඅනිකො හි පොලිස්  නිලධාරීහු ඔහුගේ ෆේස්බුක් ගිනුමේද, 'චැට් ගෲප්' වල සිදුකරන ලද සාකච්ඡා ද අලලා ඔහුගෙන් ප්‍රශ්න කලෝය: බුද්ධාගම ජෛන ආගමෙන් නිරුක්ති වන්නේ කෙසේද ? බුදුන් සිටි බව පිලිගන්නේද? බුදු පිලිම වශයෙන් ජෛන පිලිම  වන්දනාමාන කරන බව කියන්නේ ඇයි? සාමූහික අවිඥානය මගින් වස්තූන් පූජනීයත්වයට පත්කරන්නේ යැයි කියන්නේ ඇයි? ඔබ වෙනත් ආගම් විවේචනය කරන්නේ නැත්ද ? ආදී ප්‍රශ්න ගනනාවක් ඒ අතර විය. මෙ⁣ම ප්‍රශ්න විචාරීම සඳහා පොලීසියට කිසිදු නෛතික ස්ථිතියක් හෝ විශේෂඥ දැනුමක් නැත. රත්නායක නිදහස් කෙරුනේ මින් පසු ආගම, විශේෂයෙන් බුද්ධාගම ගැන මෙවන් අදහස් ලියා සමාජය කුපිත නොකරන ලෙස වාරන කොන්දේසි පැනවීමෙන් අනතුරුවයි.

රත්නායකගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඔහුට එරෙහිව කර ඇති අභූත පැමිනිල්ලේ නිරවද්‍ය හා වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා පැමිනිලිකාර භික්ෂුව ගෙන්වා ප්‍රශ්න නොකිරීමට පොලීසිය වගබලා ගත්තේය. 

ඉහත කී මර්දක නීති යටතේම මීට පෙර සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේද සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර, තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කථාවක් හේතුවෙන්, බෞතොකේ ඇතුලු සිංහල වර්ගවාදී හා බෞද්ධ අන්තවාදී සංවිධානවල උසිගැන්වීම් මත, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස සතරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබුනි. මෙම පනතම මීට පෙර මාලක දේවප්‍රියගේ “කනට පාරක්”‍ යන ගුවන්විදුලි කතා මාලාවට එරෙහිව ද යොදා ගැනුනි.

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කන්ඩායමක් තමන් සොයාගන්නා ලද නව හූනු විශේෂ කිහිපයකට නම් තැබීමට ක්‍රි.පූ. පලමු ශතවර්ෂයේ රජෙකුගේ සෙනෙවියන් දෙදෙනෙකුගේ හා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ට එරෙහිව ජාතික  ව්‍යාපාරයට නායක්වය දුන් සිව් දෙනෙකුගේ නම් යොදාගැනීමට එරෙහිව පාලක රාජපක්ෂ තන්ත්‍රයේ හිතවාදී බෞද්ධ භික්ෂූන් පසුගිය වසර අවසානයේදි පොලිස්පතිට කල පැමිනිල්ලක් මත පරීක්ෂනයක් ආරම්භ කෙරිනි. මෙම පරීක්ෂන හකුලා ගැනුනේ ප්‍රබල මහජන අප්‍රසාදය මධ්‍යයේය. 

සත්කුමාරගෙන් පසු, දිල්ශාන් පතිරත්න, කිංග්ස්ලි ගුනතිලක, කුසල් පෙරේරා වැනි කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව ද මෙම නීති යොදාගැනීමට එම ආන්ඩුව උත්සාහ කලේ ය. කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන් ඇතුලු‍ විකල්ප ලෙස සිතන මතන, ලියන හා ප්‍රකාශන කරන පුද්ගලයන්ට එරෙහිව රාජ්‍ය වාරනය හා භීතිය වැපිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ  නව ඉහලකින් ඉස්මත්තට ගනු ලැබිනි.

කොරෝනා වසංගතය දඩමීමා කරගනිමින් 'සාවද්‍ය” තොරතුරු පලකිරීම හා වසංගත මර්දන රාජ්‍ය නිලධාරීන් “ද්වේශ සහගතව” විවේචනය කිරීම යන චෝදනා යටතේ  අප්‍රේල් මස සිට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු පනහකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනුනි. වැඩබලන පොලිස්පති අප්‍රේල් 01 දින නිකුත් කල නියෝගයක් හා ඒ අනුව සිදුකල අත්අඩංගුවට ගැනීම් හරහා “ආන්ඩුව විවේචනය නොකරනු!” යන්න ආන්ඩුව ක්‍රියාකාරීව නිවේදනය කලේය. සමාජමාධ්‍ය හරහා මුස්ලිම් මහජනයාට එරෙහිව සිදුකල වර්ගවාදී ප්‍රහාරයන් විවේචනය කල ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක් ඉහත කී පනත යටතේම අත්අඩංගවට ගත් ආන්ඩුව මාස හතරකට ආසන්න කාලයක් රඳවාගෙන සිටී. 

රාජපක්ෂගේ පාලනය ආරම්භයේ පටන් උතුරේ හා නැගෙනහිර දමිල මාධ්‍යවේදීන්ට පහරදීම් හා මරන වරෙන්තු නිකුත් කල ආන්ඩුව අගනුවර ඇතුලු  රටේ සෑම ප්‍රදේශයකම මිලිටරිකරනය තර කරමින් මහජනතාව භීතියට පත් කිරීමට උත්සාහ කලේය.

උතුරේ දෙමල ජනයාට එරෙහි මිලිටරි අඩන්තේට්ටම්  වලට විරුද්ධව අධිකරනයේ පෙනී සිටීම හේතුවෙන්, මිලිටරියේ මැදිහත්වීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්, යාපනය විශ්ව විද්‍යාලයේ නීති අංශ ප්‍රධානී කුමාර වඩිවේල් ගුරුපරන් ට  පෞද්ගලික නීති වෘත්තියේ යෙදීම තහනම් කෙරුනි. පෞද්ගලික නීති වෘත්තියේ යෙදීම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙතෙක් භුක්තිවිඳි ප්‍රජාතන්ත්‍රීය අයිතියකි.  

දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී ඇති රාජපක්ෂ ආන්ඩුව, ඉදිරියේ පිපිරීමට නියමිත කම්කරු අරගලවලට මුහුන දීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරමින් සිටී.  මත්ද්‍රව්‍ය හා පාතාලය මර්නදය ද, 'මුස්ලිම් අන්තවාදය' මැඩීම හා රාජ්‍ය ආරක්ෂාව මේ සඳහා කඩතුරාවන් කර ගෙන තිබේ. මහ මැතිවරනයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැදි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දමිල අපේක්ෂකයන්ට එරෙහි මිලිටරි සෝදිසි කිරීම් මෙම මර්දනයේ වඩාත් ඉහල ප්‍රකාශනය කි.

ලොව සෙසු රටවල ධනපති ආන්ඩු මෙන්ම ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සෑම එකක්ම ආගම හා සංඝ සංස්ථාපිතය යොදාගනු ලැබුවේ ආර්ථික අර්බුද හමුවේ ක්‍රියාවට දැමුන සමාජ කප්පාදුවලට එරෙහිව වර්ධනය වන පන්ති අරගල වලට ඇබ ගැසීම සඳහා වාර්ගික රේඛා තියුනු කිරීම පිනිසය. 

පොලීසිය, මිලිටරිය, නීතිය හා අධිකරනය මෙන්ම බෞද්ධ ආගමික සංස්ථාපිතයද ධනපති පන්ති පාලනයේ උපකරන වශයෙන් රටේ සිංහල ස්වෝත්තමවාදී ආන්ඩු විසින් නඩත්තු කරනු ලැබෙන අතර වර්ගවාදී ව්‍යවස්ථාවෙන්ම උත්කර්ෂයට නංවා ඇත. පොලීසිය හා ආන්ඩු මෙම අන්තවාදී කල්ලි වල වරප්‍රසාද ආරක්ෂා කිරීමේත්  ඒවායේ නියෝග මත ක්‍රියාත්මක වීමේත් දේශපාලන හරය එයයි.  

තමන් පලකල ලිපි හරහා රත්නායක කිසිදු නීතියක් යටතේ වරදක් සිදුකර නොමැත. එම රචනාවන් මත පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම ශාස්ත්‍රීය පර්යේෂනයේ නිදහස හා මහජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු  ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල දැවැන්ත පහරකි. 

ආගමික පීඩනයේ සහ ආගමික මිත්‍යාකරනයේ පදනම වන පන්ති සමාජය අහෝසි කිරීමේ දේශපාලනික අරගලයෙන් වියුක්තව, ආගමික ප්‍රතිගාමිත්වය ජයගැනීමේ සටන හුදු ශාස්ත්‍රීය වැඩකටයුතු වලට සිඳවීමේ සීමාසහිතභාවයෙන් රත්නායක පෙලුන ද, ඔහුගේ ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති මෙම පහරට සසප එකහෙලා එරෙහි වෙයි.  

රත්නායක පමනක් නොව විකල්ප ලෙස සිතන සෑම අයෙකුම ඉලක්ක කරගෙන ඇති ආන්ඩුවේ මෙම ප්‍රහාරය ධනපති පාලක පන්තිය කම්කරු මහජනතාවට එදිරිව ක්‍රියාවට දමා ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන වැඩපිලිවෙලේ අත්‍යන්ත කොටසකි.  

ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍ සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම ආරක්ෂා කරගත හැකි වන්නේ, එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය හා එහි ප්‍රතිගාමී මර්දක නීතිද අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සටන් වැදීමෙන් පමනි.

එම විප්ලවවාදී වැඩපිලිවෙල ක්‍රියාවේ දැමීමට හැකි ඓතිහාසික වශයෙන් බලගතු පන්තිය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ධනපති පන්ති පාලනයට සෘජුව හෝ වක්‍රව සහයෝගී සියලු‍ සංවිධානවලින් ස්වාධීනවූ, පුලු‍ල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරුවන්, තරුනයන්, කලාකරුවන්, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්, හේතුවාදීන් මෙන්ම නිරාගමිකයන්ද වහා පෙරට ආ යුතුව තිබේ. ඒ සඳහා තම මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) සමඟ සම්බන්ධ වී මෙම සටන පෙරට ගැනීම සඳහා වන දේශපාලන තීන්දුව නොපමාව ගන්නා මෙන් ඔවුන්ගෙන් සසප ඉල්ලා සිටී . 

කර්තෘ පහත ලිපි ද නිර්දේශ කරයි:

*අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ නිදහස ඇතුලු භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කරනු!

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනිආක) ප්‍රකාශය 2020 ජූලි 3

*පොලීසිය සම්මානලාභී කලාකරු මාලක දේවප්‍රියගෙන් ප්‍රශ්න කරයි

2019 ඔක්තෝබර් 19

Loading