වසර 50 කට පෙර: සෝවියට් සංගමය සිකුරු ග්‍රහයා වෙත ගවේෂන යානයක් යවයි

මෙම ලිපිය අගෝස්තු17 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

වෙනේරා 7 යානයට ගෞරව පිනිස නිකුත් කල සෝවියට් තැපැල් මුද්දරය

සෝවියට් සංඟමය 1970 අගෝස්තු 17 දා සිකුරු ග්‍රහයා වෙත මිනිසුන් රහිත වෙනේරා 7 (Venera 7) නම් අභ්‍යවකාශ ගවේෂන යානය දියත් කලේය. වෙනේරා 7  සිකුරු වෙත යවන ලද සෝවියට් ගවේෂන යානා කිහිපයකින් එකක් වුවද සාර්ථක මෘදු ගොඩබෑමක් සිදු කල පලමු අවස්ථාව මෙය වන අතර එහි සිට එමඟින් පෘථිවියේ විද්‍යාඥයන්ට දත්ත එවීමට ද හැකි විය. සෝවියට් යානා විසින් මීට පෙර දැරූ උත්සාහයන් සියල්ල සිකුරු ග්‍රහයාගේ වායුගෝලයට පිවිසි විගස ඇති වන දැඩි පීඩනය හේතුවෙන් බිඳ වැටී තිබින.

සූර්යයාගේ සිට දෙවන ග්‍රහලෝකය කරා ගිය වෙනේරා 7 ගමන දින 120 ක් විය. 1970 දෙසැම්බර් 15 වැනිදා සිකුරුගේ වායුගෝලය වෙත ඇතලු වූ යානය සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය කරා පහලට බැසීම ඇරඹීය. පැරෂුටයේ අසාර්ථකත්වය නිසා වෙනේරා යානය සැලසුම් කල වේගයට වඩා වැඩි වේගයකින් පෘෂ්ඨය මත ගැටුන අතර එහි ඇන්ටනාව පෘථිවියේ දිශාවෙන් ඉවතට නැවී ඇද වී ගියේ ය. ඇති වූ දුෂ්කරතා මධ්‍යයේ වුවද කෙසේ හෝ යානය විනාඩි 53ක් පුරා ප්‍රයෝජනවත් දත්ත පෘතුවියට ලැබීමට සැලැස්විය.

එම දත්ත ඔස්සේ සිකුරුගේ මතුපිට උෂ්නත්වය සෙන්ටිග්රේඩ් අංශක 475 (ෆැරන්හයිට් අංශක 887) ක් බව විද්‍යාඥයෝ දැන ගත්හ. එම දත්ත තුල වූ වායුගෝලීය කියවීම් භාවිතා කරමින් එම ග්‍රහයාගේ මතුපිට පීඩනය 9.0 MPa (1,300 psi)* බව ගනනය කරන ලදී. කලින් සැක කරන ලද කාරනයක් වුවත්, සිකුරු ග්‍රහයා මත මිනිස් ජීවිතයට පැවැත්මක් නොමැති බව මෙම පරීක්ෂන වලින් සනාථ විය. එම ග්‍රහයාට ද්‍රව ස්වරූපයෙන් ජලය රඳවා තබා ගත නොහැකි බව ද මෙහෙයුමෙන් සනාථ විය.

1970 සිට 1985 දක්වා කාලය තුල සෝවියට් වෙනේරා මෙහෙයුම් මගින් සිකුරු පෘෂ්ඨය වෙත ගවේෂන යානා 10 ක් ගොඩ බස්සා ඇත. විශේෂයෙන් වෙනත් ග්‍රහලෝකයක පලමු මතුපිට ඡායාරුපය 1975 දී වෙනේරා 9 විසින් ලබා ගත් අතර රේඩාර් භාවිතා කර එම  ග්‍රහයාගේ අධි ගුනාත්මක (high-resolution) සිතියම් නිර්මානය කිරීම 1983 දී වෙනේරා 15 යානය විසින් සිදු කලේය.

පෘථිවියේ ලඟම අසල්වැසි ග්‍රහයාගේ නිශ්චිත තොරතුරු රැස් කිරීම සඳහා එය මතට  ගොඩබැසීම අත්‍යවශ්‍ය වී තිබින. වෙනෙරා 7 ගොඩබසින තෙක් ලබා ගත හැකිවූ, එකම තොරතුරු ලැබුනේ එම ග්‍රහයාගේ මතුපිට සිට සැතපුම් දහස් ගනනක් එපිටින් පියාසර කල ගවේෂන යානා වලින් ලබාගත් රූප වලින් ය. ඒ වන විට එක්සත් ජනපද යානාවක් සිකුරු ග්‍රහයාට ආසන්නම වූ අවස්ථාවේ දුර ප්‍රමානය සැතපුම් 2,400 කි. ඝන වලාකුලු වලින් වටවී තිබූ සිකුරු ග්‍රහයාගේ මතුපිට කිසිදු තොරතුරක් ලබා ගැනීමට එම මෙහෙයුමට නොහැකි වී තිබින.

* MPa සහ psi යනු පීඩනය මනින මානයන් ය. psi (pound per square inch) යනු වර්ග අඟලකට රාත්තල් ගනන කොපමන ද යන්න යි. පීඩනය මනින තවත් එක් මිනුමක් වන MPa (Megapascal Pressure Unit) යනු  මෙගා පැස්කල් ගනන කොපමනද යන්න යි. 

Loading