ඉදිරිදර්ශන

ට්‍රම්ප් විස්කොන්සින් ප්‍රාන්තයේ සාමකාමී විරෝධතාවන්ට එරෙහිව මැර ප්‍රචන්ඩත්වයක් අවුලුවයි

මෙම ලිපිය අගෝස්තු 31දා ඉංග්‍රීසි බසින් පලවින.

විස්කොන්සින් ප්‍රාන්තයේ කෙනෝෂා නගරයේ දී ෆැසිස්ට් තුවක්කුකරුවෙකු විසින් විරෝධතාකරුවන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමෙන් පසු සතියේදී, ට්‍රම්ප් පරිපාලනය සහ මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින් ඝාතනය හා මිනීමරුවා ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය.

මීට පෙර ට්‍රම්ප්ගේ රැස්වීම්වලට සහභාගී වී තිබූ, ට්‍රම්ප් ආධාරකරුවෙකු වන 17 හැවිරිදි කයිල් රිටන්හවුස්ගේ ක්‍රියා කලාපය මෙම පරිපාලනය විසින් ම උසිගැන්වීමේ සෘජු ප්‍රතිඵලය යි. එය සිදු වූයේ ජාකොබ් බ්ලේක්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ විරෝධතාවන්ට ප්‍රතිචාර වශයෙන්, එක් කථිකයෙකුට පසු තවත් කථිකියෙකු “රැඩිකල් වමට” එරෙහිව නැගී සිටිමින් “නීතිය හා සාමය” යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා සිටි, රිපබ්ලිකන් ජාතික සම්මේලනය පැවති සතිය අතරතුර දී ය. 

සති අන්තයේ දී, ඝාතනවලට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ, ට්‍රම්ප් ඒවා හෙලා දැකීම ප්‍රතික්ෂේප කලේ ය. ඔවුන් “විමර්ශනය කරමින් සිටින” බව හා පරිපාලනය “ඉතා පරිස්සමින් ඒ දෙස බලමින් සිටින” බවට ඔහු මුලින් කල ප්‍රකාශයක් පුනරුච්ඡාරනය කලේ ය. කෙසේ වෙතත්, විරෝධතාකරුවන්ට දොස් පවරමින්,  විස්කොන්සින් ප්‍රාන්තය “තමන් මුහුන දුන් දෙයට එකඟ නොවිය යුතුව තිබුනේ යයි ” ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ විරෝධතා ගැන සඳහන් කරමිනි.

පරිපාලනයේ හා ඒ අවට සිටින අනෙක් අය රිටන්හවුස්ට ප්‍රශංසා කලේ ඊටත් වඩා නග්න ලෙසය. ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත් කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්, දක්ෂිනාංශික විචාරක ටිම් පූල් විසින්  රිට්න්හවුස් “මම ට්‍රම්ප්ට ඡන්දය දීමට තීරනය කලේ ඇයිද යන්නට හොඳ උදාහරනයකි” යනුවෙන් ප්‍රකාශ කරමින් “ඉදිරියට ගොස් ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා මහජනයාට වෛද්‍ය ආධාර  පිරිනැමීමට” තීරනය කිරීම ගැන ඔහුට ප්‍රශංසා කරමින් කරන ලද ට්විටර් පනිවුඩයක් යලි පල කලේ ය. 

“වෙන කිසිවෙකු නොකරන විට සාමය පවත්වා ගැනීමට” උත්සාහ කිරීම වෙනුවෙන්, පසුගිය සතියේ ෆොක්ස් නිවුස් හි සත්කාරක ටකර් කාල්සන් රිටන්හවුස් අගය කලේ ය. ඉරිදා සීඑන්එන් නාලිකාව අමතමින් විස්කොන්සින් ප්‍රාන්ත රිපබ්ලිකානු සෙනෙට් සභික රොන් ජොන්සන්, රිටන්හවුස් හෙලා දැකීම පුන පුනා ප්‍රතික්ෂේප කල අතර, ඒ වෙනුවට බ්ලේක්ට වෙඩි තැබීමෙන් පසු සතියේ “ප්‍රචන්ඩත්වය” හා “ආර්ථික විනාශය” හෙලා දුටුවේ ය.

විස්කොන්සින් හි වර්ධනයන් සිදුව ඇත්තේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් හි මිලිටරි-පොලිස් මර්දනයක් සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් දියත් කරන ලද උද්ඝෝෂනයකින් පසුව ය. පෝට්ලන්ඩ් පොලීසිය සමඟ සබඳතා ඇති “දේශප්‍රේමීන්ගේ යාඥාව” (Patriot Prayer)  නම් කන්ඩායම ඇතුලු අන්ත දක්ෂිනාංශික කන්ඩායම් පසුගිය සතිය පුරා එම නගරයේ වීදිවල මුර සංචාරයේ යෙදී සිටියහ.

සෙනසුරාදා දේශප්‍රේමී යාඥාවේ සාමාජිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ට්‍රම්ප් නගරයේ ජාතික ආරක්ෂක බලකාය යොදවන ලෙස ඉල්ලා සිටිමින් “නීතිය හා  සාමය!!!” යනුවෙන් ට්වීට් පනිවුඩයක් නිකුත් කලේ ය. ෆැසිස්ට් කල්ලි ගැන සඳහන් කරමින් ට්‍රම්ප් මෙසේ ලිවී ය: “දින 95 ක් බලා සිටීමෙන් පසු, දරුනු එකට එක කිරීමක් බලාපොරොත්තු නොවී සිටිය නොහැක, (එසේ ම) තමන් කරන්නේ කුමක්ද යන්න පිලිබඳව තමාට කිසිදු අදහසක් නොමැති බව අකාර්යක්ෂම නගරාධිපති වරයා පිලිගෙන තිබේ.”

කෙනෝෂා, පෝට්ලන්ඩ් සහ වෙනත් නගරවල සන්නද්ධ මැර කන්ඩායම්වල පෙලපාලි  කිසිසෙත්ම ස්වයංසිද්ධ නොවේ. කොරෝනා වෛරස් වසංගතය පැතිරීම නැවැත්වීම අරමුනු කරගත්, “වසා දැමීම්” අවසන් කරන ලෙස ඉල්ලා මැයි මාසයේ දී මිචිගන්, වර්ජිනියා, මිනසෝටා සහ අනෙකුත් ප්‍රාන්ත අගනගර ගොඩනැගිලිවලට ෆැසිස්ට් කන්ඩායම්වල සන්නද්ධ කඩා වැදීම් තරම්ම ඒවා ධවල මන්දිරයෙන් සම්බන්ධීකරනය කෙරිනි.

ට්‍රම්ප් පරිපාලනයේ මූලෝපාය වන්නේ ප්‍රචන්ඩත්වය, මිලිටරි-පොලිස් රැඳවීම් හා  සිවිල් යුද්ධ තර්ජනයේ කොන්දේසි යටතේ මැතිවරන ව්‍යාපාරයේ ඉදිරි මාස දෙක මෙහෙයවීම යි. එහි “නීතිය හා සාමය” උද්ඝෝෂනය වර්ධනය කෙරෙමින් තිබෙන්නේ ප්‍රචන්ඩත්වය හා මර්දනය අවුලුවන අතරම ය. 

දැන් සිදුවෙමින් පවතින්නේ පොලීසිය, මිලිටරි හා පැරාමිලිටරි ආකාරයේ සංවිධාන මත පදනම් වූ අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ට්‍රම්ප් දරන උත්සාහය තීව්‍ර කිරීමයි. මෑත ම බැනවැදීම් හඹායන්නේ, ජූනි 1වැනි දින විරෝධතාවන්ට එරෙහිව හමුදාව යෙදවීම සඳහා කැරලිකාර පනත යොදා ගැනීමේ තර්ජනය, ඵලදායී ලෙස මිලිටරි කුමන්ත්‍රනයකට උත්සාහ කිරීම සහ ජූලි මාසයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාකරුවන් අල්ලා පහර දීමට ෆෙඩරල් පැරාමිලිටරි කඩාපනින භටයින් යෙදවීමේ ක්‍රියාදාමය යි. 

ට්‍රම්ප්ගේ ක්‍රියා සිදුවන්නේ ශක්තියෙන් නො ව, බිය හා මංමුලාවෙනි. කම්කරු පන්තියේ සමාජ කෝපයේ වර්ධනය කෙරෙහි පාලක පන්තිය අතිශයින් සංවේදී ය.

පසුගිය සතියේ රිපබ්ලිකන් ජාතික සම්මුතිය කේන්ද්‍රගත වූයේ “සමාජවාදය,” “මාක්ස්වාදය”, “කොමියුනිස්ට්වාදය” හා “රැඩිකල් වම” ගැන කල උමතු හෙලාදැකීම් මත ය. බ්‍රහස්පතින්දා රාත්‍රියේ තමන්ගේ ම ෆැසිස්ට්වාදී බැනවැදීමක දී ට්‍රම්ප් ප්‍රකාශ කලේ මැතිවරනය, “අපි ඇමරිකානු සිහිනය බේරා ගන්නේද නැතිනම් අපගේ ගෞරවනීය  ඉරනම කඩා දැමීමට සමාජවාදී න්‍යාය පත්‍රයකට ඉඩ දෙන්නේද යන්න තීරනය කරනු ලබන” ජනමත විචාරනයක් වනු ඇති බව යි.

කොරෝනා වෛරස් වසංගතය සියලු සමාජ අවශ්‍යතා ධනේශ්වර කතිපයාධිකාරයේ ලාභ සඳහා වූ තල්ලුවට යටත් කිරීමේ භයානක ප්‍රතිඵල නිරාවරනය කර තිබේ. නිල මරන සංඛ්‍යාව 187,000 ට වඩා වැඩි වන අතර, දෙසැම්බර් මාසය වන විට එය 300,000 දක්වා ඉහල යනු ඇතැ යි පුරෝකථනය කර ඇත.

මිලියන ගනනක් ජනයා රැකියා විරහිත වන අතර ෆෙඩරල් විරැකියා ප්‍රතිලාභ වලින් කපා දමා ඇත. රිපබ්ලිකානුවන්ගේ හා ඩිමොක්‍රටිකයන්ගේ ද්විපාක්ෂික සහයෝගය ඇතිව වෝල් වීදියට පුද කල ඩොලර් ට්‍රිලියන ගනනක් ආපසු ගෙවිය යුත්තේ, කම්කරුවන්ට නැවත වැඩට යාමට බල කිරීම, සූරාකෑම වැඩි කිරීම සහ සමාජ වැඩසටහන් හා යටිතල පහසුකම් සඳහා දැවැන්ත කප්පාදු ක්‍රියාත්මක කිරීම මගිනි. මරන සංඛ්‍යාව ඉහල යද්දී පවා, ට්‍රම්ප් පරිපාලනය ලමයින් නැවත පාසැල්වලට යැවීටම් තල්ලුව වේගවත් කරමින් සිටින්නේ, ඒ මගින් ඔවුන්ගේ දෙමාපියන්ට අනාරක්ෂිත තත්වයන් යටතේ නැවත රැකියාවට යාමට හැකි වන බැවිනි.

කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය පැහැදිලි සමාජවාදී හා විප්ලවවාදී ක්‍රියාමාර්ගයක පදනම මත එක්සත් කල යුතුය.

කේන්ද්‍රීය අන්තරාය වන්නේ විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීම යි. පාලක පන්තිය තුල ශ්‍රම විභජනයක් පවතී. ට්‍රම්ප් කන්ඩායම විවෘතව උත්සාහ කරමින් සිටින්නේ මැර ප්‍රචන්ඩත්වය නීත්‍යානුකූල කිරීම සඳහා පරිසරයක් නිර්මානය කිරීමට ය. කෙසේ වෙතත්, ඩිමොක්‍රටිකයින් කතා කරන්නේ කම්කරු පන්තියේ උත්සුකයන්ට අඩුවක් නැති ව සතුරු පාලක ප්‍රභූ පැලැන්තියේ තවත් කන්ඩායමක් වෙනුවෙන් ය.

ට්‍රම්ප්ගේ සමාරම්භක උලෙලෙන් ක්ෂනිකව ඉක්බිත්තේ පුපුරා ගිය, ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය, තම රුසියානු විරෝධී උද්ඝෝෂනය සහ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ අංග සම්බන්ධයෙන් මිලිටරි හා බුද්ධි අංශවල ප්‍රමුඛ කොටස්වල විරෝධය පිටුපස හරවා යැවීමට ඩිමොක්‍රටිකයෝ පසුගිය සිව් වසර පුරා වැඩ කලහ. ට්‍රම්ප්ට එරෙහි කම්කරු පන්තියේ ඕනෑම ව්‍යාපාරයකින් භීතියට පත්, ඩිමොක්‍රටිකයන් ධවල මන්දිරය සමඟ තම ගැටුම හඹා ගියේ, පෙබරවාරි මාසයේ දී අවසන් වූ, දෝෂාභියෝගයේ ඇද වැටීම තුල කූටප්‍රාප්ත වූ  මාලිගා කුමන්ත්‍රන ක්‍රමවේදය භාවිතා කරමිනි.  

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතා මැයි මාසයේ පුපුරා යෑමට ප්‍රතිචාර වශයෙන් ඩිමොක්‍රටිකයින් සහ ඔවුන්ගේ දේශපාලන සගයන් වැඩ කලේ පෙලපාලි ඩැහ ගෙන වාර්ගික රේඛා ඔස්සේ හරවා යැවීමට යි. එක්සත් ජනපදය බෙදෙන්නේ කම්කරු පන්තිය හා කතිපයාධිකාරය අතර නො ව “සුදු ඇමරිකාව” හා “කලු ඇමරිකාව” අතර යයි ඔවුහු අවධාරනය කරති. එය ජාතිවාදය හා පසුගාමීත්වය මත පදනම් වූ ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා වන ට්‍රම්ප්ගේ ම උත්සාහයන් පෝෂනය කරන ප්‍රකාශයකි.

මෙය හිනිපෙත්තට නැගුනේ ඩිමොක්‍රටිකයින් විසින් බිඩෙන් හා වෝල් වීදියේ සුරතලියක හා හිටපු රජයෙ නීතිඥ හැරිස් (ජනාධිපතිවරනය) සඳහා  නම් කිරීම සමගිනි. ඩිමොක්‍රටිකයන්ගේ මැතිවරන ව්‍යාපාරය වසංගත හෝ දැවැන්ත සමාජ අර්බුදයට විසඳුම් සෙවීමේ කිසිදු වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන නො යයි. ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය රුසියාව හා චීනයට එරෙහි මිලිටරි මෙහෙයුම් සඳහා වන උද්ඝෝෂනයක් පසු පස හරවා යැවීමට ඔවුහු හැමදා පැහදිලි ලෙස උත්සාහ ගනිමින් සිටිති.ඔවුන්ගේ දිශානතිය මිලිටරි බුද්ධි අංශ, වෝල් වීදිය හා රිපබ්ලිකන් පක්ෂයේ කන්ඩායම් වෙත ය.

කම්කරු පන්තිය යනු අතිමහත් වෛෂයික සමාජ බලවේගයකි. නමුත් කම්කරු පන්තියේ බලය සවිඥානික දේශපාලන ඉදිරිදර්ශනයකින් මෙහෙයවිය යුතු ය. ට්‍රම්ප්ගේ ප්‍රහාරයන්ට පිලිතුර විරුද්ධත්වය බිඩෙන්ට යටත් කිරීම නො ව, ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන අර්බුදයෙන් මිදෙන, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි.

ට්‍රම්ප් සමාජවාදයේ අවතාරය ගැන කෑ ගසන විට, සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය සංගත හා මූල්‍ය ප්‍රභූව නො ව කම්කරු පන්තියේ අවශ්‍යතා සපුරාලන ක්‍රියාමාර්ගයක් දියත් කරයි.

ප්‍රකෝටිපතියන්ගේ ධනය අත්පත් කර ගත යුතු ය. වෝල් වීදියට භාර දුන් ඩොලර් ට්‍රිලියන ගනනක් රැකියා විරහිතයින්ට සහන, විශ්වීය සෞඛ්‍ය සේවා සහ කොරෝනා  වෛරස් වසංගතය නැවැත්වීමේ හදිසි වැඩපිලිවෙලක් ඇතුලු හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා නැවත හරවා යැවිය යුතු ය. සියලු නෙරපා හැරීම් නතර කල යුතු ය. වසංගතය පාලනය කර ගන්නා තෙක් සියලු කම්කරුවන්ට සහ දෙමාපියන්ට සම්පූර්න ආදායම ලැබිය හැකි වන පරිදි, ආපසු වැඩට හා පාසැල් වලට යැවීමේ ව්‍යාපාරය නතර කල යුතු ය.

ධනේශ්වර පද්ධතිය මතට ම පෙරමුනු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තොරව විසඳිය හැකි එක දු සමාජ ගැටලුවක් වත් නැත. කොරෝනා වසංගතය, මහා විරැකියාව හා දරිද්‍රතාව, ලැව්ගිනි හා සුලි කුනාටුවල විනාශකාරී බලපෑම, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ආඥාදායකත්වයට වන තල්ලුව යන සියල්ල පැහැදිලි කරන්නේ සමාජවාදය සඳහා සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාව යි.

සසප හා අපගේ මැතිවරන ව්‍යාපාරය එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව කම්කරු පන්තිය තුලට සමාජවාදී ක්‍රියාමාර්ගයක් ගෙන ඒමේ අරගලයේ පෙරමුන ගෙන සිටී. පාලක ප්‍රභූන්ගේ මිනීමැරුම් ප්‍රතිපත්තියට එරෙහිව කම්කරුවන්ගේ සියලු කන්ඩායම්  සංවිධානය කිරීමට අපි ක්‍රියාකාරී ව සටන් වදින්නෙමු. සමාජවාදී සමානාතා පක්ෂයට බැඳීමට තීරනය කරන ලෙස, මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. 

Loading