වසංගතය මධ්‍යයේ මහජනතාව දුගී බවේ ගිල්වමින් මහ ධනපතියෝ තව තවත් ධනය කඳු ගසා ගනිති

කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ධනපති ආන්ඩුවල පිලිවෙත වන්නේ මහා ව්‍යාපාරයන්හි සහ ධනපතියන්ගේ ලාභ සහතික කිරීමට මිස මහජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොවන බව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වසංගතය ආරම්භයේ සිටම පෙන්වා දුනි. වසංගතය පැනනැගී ගතවූ වසරක කාලය තුල, මහ ධනපතියන්ගේ සහ කම්කරු-පීඩිත මහජනතාවන්ගේ ආදායම්වල ඇතිවී පවත්නා ප්‍රගාඪ වෙනස්කම් මගින් මෙම පිලිවෙතේ සාපරාධී ස්වභාවය ඉස්මත්තට පමුනුවා ඇත.

කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ නිල මරන සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා යද්දී ලොව ඉහල ම බිලියනපතියන් 500 දෙනා තම වත්කම් ඩොලර් බිලියන 813 කින් වැඩි කර ගෙන ඇත. පසුගිය සති කීපය තුල ව්‍යාපාරික සඟරාවල පල කෙරුනු සංඛ්‍යා ලේඛන මගින් ලංකාව තුල මෙම ප්‍රපංචය ක්‍රියාත්මක වන අයුරු ප්‍රකාශයට පත්වෙයි.

මෙරට ප්‍රමුඛතම සංගතය වන හේලීස් සමූහ ව්‍යාපාරය 2020/21 මූල්‍ය වර්ෂයේ පලමු මාස හය සඳහා, තම බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 5.52 දක්වා ඉහල නංවා ගෙන ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව තුන්ගුනයකි. මෙම කාල සීමාවන්ට අදාල බදු ගෙවීමෙන් පසු ලාභය පිලිවෙලින් රුපියල් මිලියන 640.86 සහ රුපියල් බිලියන 3.82 කි. තවත් මහා ව්‍යාපාරයක් වන ඒට්කන් ස්පෙන්ස් සමාගම මේ වසරේ දෙවැනි කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර ලාභය පසුගිය වසරට සාපේක්ෂ ව සියයට 33කින්, එනම් රුපියල් බිලියන 1.13 දක්වා ඉහල නංවා ගෙන ඇත. ජාත්‍යන්තර සන්නිවේදන සංගතයක් වන ඩයලොග් සමාගම මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර ලාභය, රුපියල් බිලියන 4.8 ක් දක්වා, එනම් පෙර වසරට සාපේක්ෂව දෙගුනයකටත් වැඩි ප්‍රමානයකින්, ඉහල නංවා ගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය වසරට සාපේක්ෂ ව මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව සඳහා එන්ඩීබී බැංකුවේ ශුද්ධ ලාභය සියයට 31කින් වර්ධනය වී ඇති අතර, සම්පත් බැංකුව බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 6.99ක ලාභයක් ද, බදු ගෙවීමෙන් පසු ව ද රුපියල් බිලියන 5.09ක ලාභයක් ද 2020 සැප්තැම්බර්වලින් අවසන් වූ මාස නවය සඳහා උපයා ගෙන ඇත. හැටන් නැෂනල් බැංකු සමූහය බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 7කට අධික ලාභයක් පසු ගිය මාස නවය සඳහා වාර්තා කර ඇත.

මීට විපරීතව, වසංගත සමය තුල සමාජයේ දුගීබව ඉහල ගොස් ඇත්තේ දැවැන්ත පරිමාවකිනි.

රුහුනු විශ්ව විද්‍යාලයේ සමීක්ෂනයකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 2ක ධනය වර්ධනය වෙද්දී සියයට 57ක ආදායම් කඩා වැටී ඇත. සියයට 7 කගේ ආදායම් මුලුමනින් ම අහිමි ව ගොස් ඇත. ශ්‍රම බලකායෙන් හතරෙන් තුනක් අවිධිමත් අංශයේ රැකියාවන්හි යෙදෙන දකුනු ආසියානු මහජනතාවගෙන් දැවැන්ත ප්‍රමානයක් මෙම වසරේ ආන්තික දරිද්‍රතා මට්ටම්වලට ඇද වැටෙනු ඇති බවට මෑතක නිකුත් කෙරුනු ලෝක බැංකුවේ "සවුත් ඒෂියා එකොනොමික් ෆෝකස්" වාර්තාව සඳහන් කලේ ය. ලංකාවේ ද සියයට 40 ක ශ්‍රම බලකායක් ජීවත් වන්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරමිනි.

මැයි මස මුල දී කෙරුනු යුනිසෙෆ් සමීක්ෂනයකට අනුව ඒ වන විටත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30ක් තම දෛනික ආහාර පරිභෝජනය අඩු කර ගෙන සිටියහ. කම්කරු අමාත්‍යාංශයට අනුව ජූලියේ දී නිෂ්පාදන අංශයේ පමනක් රැකියා 400 000කට ආසන්න ප්‍රමානයක් විනාශ කෙරී ඇත. සැප්තැම්බර් වන විට පසු ගිය මාස නවයක කාලය තුල ලංකාවේ උකස් නය සියයට 11කින් රුපියල් බිලියන 237ක් දක්වා ඉහල ගොස් ඇති බව ද මාධ්‍යන් හි වාර්තා විය.

එක ම වසංගත තත්ත්වය දේපල හිමි ධනපති පන්තියට එක් ආකාරයකටත් මහජනතාවට තවත් ආකාරයකටත් බලපා ඇත්තේ කෙසේ ද? සමාජ ධනය පතුලේ සිට ඉහලට ඇදීයාමත්, ඒ හේතුවෙන් දරිද්‍රතාවයට ඇද වැටෙන බිලියන සංඛ්‍යාත මිනිසුන් එක් ධ්‍රැවයක සමුච්ඡයවීමත්, ඉහලට ඇදෙන සමාජ ධනය එක්රැස්කර ගනිමින් වඩවඩාත් තරවන බිලියනපතියන් අතලොස්සක් අනෙක් ධ්‍රැවයේ සමුච්ඡයවීමත් ධනපති ක්‍රමයට ආවේනික ලක්ෂනයකි. එය වසංගතයට පෙර ද පැවති, පසුගිය දශක කීපය තුල වේගවත් වූ ක්‍රියාවලියකි. ලොවපුරා ධනපති සංගත, මෙම සන්තතිය වඩාත් වේගවත් කිරීමට ආරම්භයේ සිටම වසංගතය යොදා ගත් අතර, ‌රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ආන්ඩු ඊට අවශ්‍ය සියලු පදනම් සකස්කර දුන්හ.

රාජපක්ෂ ආන්ඩුව 2019 නොවැම්බරයේ දී මහා ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන ලබාදුනි. 2020 ජනවාරියේ දී විදේශ ආයෝජන ඉලක්ක කරගත් "මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත" හරහා තවත් බදු සහන නිවේදනය කලේ ය. අනතරු ව, වසංගතයට මුවා වෙමින් අප්‍රේල්වල දී, කම්කරු ආරක්ෂන පනත් කටු ගා දැමීමට පියවර ගත්තේ ය. දසදහස් සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් දොට්ට දමමින්, වැටුප් සහ දීමනා කප්පාදු කරමින් තම ලාභ තරකර ගැනීමේ ප්‍රතිව්‍යූහකරනය වේගවත් කිරීමට සමාගම් හිමියෝ වහවහා ක්‍රියාත්මක වූහ. රැකියා රැක ගැනීමේ නාමයෙන් වෘත්තීය සමිති නිලධරය මේ ප්‍රහාරය කම්කරු පන්තිය මත පැටවීමට ධනපති පන්තිය සමග එක් විය.

සුලු ව්‍යාපාරිකයන්ට ද කිසිදු සහනයක් සම්පාදනය නොකෙරුනු අතර සියලු සහන ඉහල ධනපතියන් ඉලක්ක කර ගනිමින් ප්‍රදානය කෙරුනි.

කොවිඩ්-19 වසංගතය සීඝ්‍ර ව්‍යාප්තියක් අත්පත් කර ගනිද්දී ම සමාජ අසමානතාවය දැවැන්ත පරිමානයෙන් වර්ධනය වීමට හේතුභූත වන මෙම පිලිවෙත දැන් වඩාත් නග්න ස්වරූපයක් අත්පත් කර ගෙන ඇත. පසුගිය නොවැම්බර් 7 වැනි දා, ට්විටර් සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සටහන් කලේ “ලොක්ඩවුන් එක පැවතියේ වුව ද” පසුගිය සතියක කාලය තුල රුපියල් බිලියන 3.4ක සාමාන්‍ය පිරිවැටුමක් වාර්තා කරමින් සමස්ත ලංකා මිල දර්ශකය සියයට 6.2ක වර්ධනයක් වාර්තා කල බවයි. “ආයෝජකයන්ගේ විශ්වාසයේ මට්ටම දිරි ගන්වනසුලු” යැයි ඔහු එහි දී සටහන් කලේ ය.

අන් රටවල ආන්ඩු මෙන්ම, "ආයෝජක විශ්වාසය සහතික කර ගැනීම" සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන පිලිවෙතෙහි කෙන්ද්‍රීය අංගය වන්නේ, කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල උදුරා ගනිමින් ඔවුන් උපරිම ශ්‍රම සූරාකෑමකට යටත්කර දීමයි. තම ආයතනය තුල වසංගතය වේගයෙන් පැතිරයන තත්වය තුල අනාරක්ෂිතව වැඩෙහි යෙදවීමට එරෙහි වූ කොලඹ වරාය කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම අරමුනුකර ගනිමින්, වරාය අධිකාරියේ සියලු වැඩකටයුතු "අත්‍යවශ්‍ය සේවාවන්" බවට පත්කල රාජපක්ෂගේ නියෝගය ගලා එන්නේ මෙම පිලිවෙතිනි.

Loading