කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාව ඉල්ලා විරෝධතා දැක්වූ රැඳවියන් අට දෙනෙක් ශ්‍රී ලංකා බන්ධනාගාරයේදී වෙඩි තබා ඝාතනය කෙරෙති

අවම වශයෙන් රැඳවියන් අට දෙනෙකු ඝාතනය කරමින් හා 70 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් ආරක්ෂක අංශ විසින්, ඉරිදා මහර බන්ධනාගාර සිරකරුවන්ගේ විරෝධතාවයකට වෙඩි තබනු ලැබීය.

තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රාගම රෝහලට ඇතුල් කර සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පැවසීය. තුවාල ලැබූ තවත් සිරකරුවන් 61 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බව පරීක්‍ෂන වලින් හෙලිවීමෙන් පසුව, විශේෂ ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු කීවේය.

තම පවුලේ සාමාජිකයන් පිලිබඳ තොරතුරු ඉල්ලා සිටින මහර බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් (අනුග්‍රහය: ෂෙහාන් ගුනසේකර)

බන්ධනාගාර පද්ධතිය හරහා වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-19 වසංගතය හමුවේ, නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. කොරෝනා වයිරසය රහිත ස්ථානවලට මාරු කර නිතිපතා පීසීආර් පරීක්ෂන ලබාදෙනු යන්න රැඳවියන්ගේ ඉල්ලීමයි.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ, වෛරස් පරීක්ෂාව සහ ආසාදිත සිරකරුවන් වෙන් කර තබන ලෙස මාසයක් තිස්සේ කල ඉල්ලීම් නොසලකා හැර ඇති බන්ධනාගාර නිලධාරීන් පිලිබඳව මහර රැඳවියන් කලකිරීමට පත්ව ඇති බවයි.

ඊයේ වන විට බන්ධනාගාරවල, කොවිඩ්-19 ආසාදන 1,098 කට වැඩි ප්‍රමානයක් සහ මරන දෙකක් වාර්තා වී තිබේ. අවම වශයෙන් මහර බන්ධනාගාරයේ ආසාදන 198 කි.

විරෝධතා දැක්වූ සිරකරුවන් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සහ කැරලි මර්දන කන්ඬායම්වල සිය ගනනකගේ සහාය ඇතිව, බන්ධනාගාර නියාමකයින් ආන්ඩුව විසින් ඉරිදා බලමුලු ගන්වා තිබුනි. වෙඩි තැබීමට පොලිසිය සම්බන්ධ දැයි පැහැදිලි නැතත්, ඊයේ අලුයම වනතෙක්ම වෙඩි ශබ්ද අසන්නට ලැබුනි.

බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ ආරක්ෂකයින් දෙදෙනෙකු රැඳවියන් විසින් ප්‍රාන ඇපයට ගෙන සිටි බවයි. පසුව ඔවුන් බේරාගෙන තුවාල සහිතව රෝහලට ඇතුලත් කර තිබේ. සිරකරුවන් විසින් මුළුතැන්ගෙයට සහ ඖෂධ ගබඩාවකට ගිනි තබා ඇති බව බලධාරීහු කියා සිටිති.

රැඳවියන්ට එරෙහිව ආරක්ෂකයින් සහ පොලීසිය විසින් සිදුකරනු ලබන ම්ලේච්ඡ ක්‍රියා පිලිබඳව හොඳින් දන්නා පවුලේ සාමාජිකයන් සහ ඥාතීහු තොරතුරු ඉල්ලා බන්ධනාගාරය පිටත රැස්ව සිටියහ. පසුව පොලිසිය ඔවුන් විසුරුවා හලේය. බන්ධනාගාරයේ සිදු වූ මරන හා තුවාල සම්බන්ධව බලධාරීන්ට දොස් පවරමින් ඊයේ සිය ගනනක් ඥාතීහු රාගම රෝහලෙන් පිටත රැස්ව සිටියහ.

කොවිඩ්-19 න් ආරක්ෂාව සහ නිසි සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා සිටින සිරකරුවන්ට එරෙහිව ආන්ඩුව විසින් ගෙනයන මර්දන මාලාවක නවතම සිදුවීම මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමයි. නොවැම්බර් 18 වන දින මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රකෝප කිරීමක් අතරතුර එක් රැඳවියෙකු වෙඩි තබා ඝාතනය කෙරුනි. එහි සිරකරුවන් 175 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුනි.

දිවයින පුරා ආසාදන පැතිරී ඇති තත්වය හමුවේ, පසුගිය සති දෙක තුල රට පුරා, එනම්, වැලිකඩ, මැගසින්, මහර, බෝගම්බර, බූස්ස, කුරුවිට, අඟුනකොලපැලැස්ස හා මීගමුව බන්ධනාගාරවල විරෝධතා පුපුරා ගොස් ඇත. නිසි රැකවරනය, පරීක්ෂන සහ ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් ගනනාවක් ඊයේ මීගමුව බන්ධනාගාරයේ වහල උඩ නැඟ උද්ඝෝෂනයක් ආරම්භ කලහ.

රාජපක්ෂ ආන්ඩුව මහර ඝාතනවලට ප්‍රතිචාර දැක්වූයේ, කොවිඩ්-19 පිලිබඳ රැඳවියන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් කිසිවක් සඳහන් නොකර “කැරලි ගැසූ සිරකරුවන්ට” දොස් පවරමිනි.

රාගම රෝහලෙන් පිටත රැඳවියන්ගේ ඥාතීන් (අනුග්‍රහය: WSWS Media)

නිරායුධ රැඳවියන්ට වෙඩි තැබීම යුක්ති සහගත කිරීමට තැත් කරමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, වෙඩි තැබීම හැර කැලඹීම මැඬීමට ආරක්ෂකයින්ට වෙනත් විකල්පයක් නොතිබුන බවය.

“නොපෙනෙන හස්තයක් හදිසියේම ක්‍රියාත්මක වූ අතර, කැරැල්ල පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අනාවරනය කර ගැනීම සඳහා ස්වාධීන පරීක්ෂනයක් පැවැත්වීමට අපි සූදානම්” යැයි ප්‍රනාන්දුපූල්ලේ හාස්‍යජනක ලෙස පැවසුවාය. මහර තත්වය “නොසන්සුන්තාවයේ ප්‍රවනතාවක” කොටසක් බව ඇය තරයේ කියා සිටියාය.

සිරකරුවන්ට එරෙහි ප්‍රචන්ඬ ප්‍රහාරය හෙලා දැකීමට අපොහොසත් වූ පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, “නොසන්සුන්තාව” විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

අධිකරන ඇමති අලි සබ්රි පසුව, විශ්‍රාමලත් මහාධිකරන විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් ප්‍රකාශයට පත් කලේය. කලින් පැවති ආන්ඩු විසින් මෙවන් කමිටු වලට පත් කරන ලද සියල්ලන් මෙන් ම, මෙයට ඇතුලු වන අය ද, මහජන කෝපය දුරු කිරීමට සහ සත්‍යය යටපත් කිරීමට යොදා ගනු ඇත.

“සැඟවුනු හස්තයක්” ගැන ප්‍රනාන්දුපූල්ලේගේ චෝදනාව අමූලික බොරුවකි. රටේ බන්ධනාගාර සෑම එකක්ම සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, රැඳවිය හැකි පුද්ගලයින්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුනයකට වඩා වැඩියෙන් රැඳවීම, වෛරසය විශාල වශයෙන් පැතිරීම සඳහා තෝතැනක් වී ඇත.

බන්ධනාගාර 22 ක රැඳවිය හැක්කේ 12,000 ක් වුවද, ආන්ඩුවේ නිල සංඛ්‍යාවන්ට අනුව, මේ වන විට රැඳවියන් 30,000 කට වැඩි සංඛ්‍යාවක් ඒවායේ සිටිති. 20,000 ක් පමන ඇප රහිතව රිමාන්ඩ් භාරයේ පසුවන අතර සැලකිය යුතු පිරිසක්, සුළු වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වී ඇති නමුත් දඩ මුදල් ගෙවීමට නොහැකි අයයි.

කොවිඩ්-19 සඳහා ආරක්ෂාව නොමැතිකම, ආහාර හා වෛද්‍ය පහසුකම් ප්‍රමානවත් නොවීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ හිරිහැර හේතුවෙන් සිරකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව සිරකරුවන් ආරක්ෂා කිරීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මාධ්‍ය වෙත පැවසීය. මහර විරෝධතා පැනනැඟුන විට බන්ධනාගාර නිලධාරීන් ප්‍රකෝප කිරීම් මාලාවක් දියත් කල අතර, පසුව සිදුවූ ඝාතන වලට ඉඩ සැලසූ බවට ඔහු චෝදනා කලේය.

මෙම බන්ධනාගාරයන්හි සිරකරුවන් ප්‍රචන්ඬ ලෙස මර්දනය කිරීම අලුත් දෙයක් නොවන අතර, මෑත මාසවලදී එය වැඩි වෙමින් පවතී. මේ වසරේ මාර්තු මාසයේදී අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයක දී ආරක්ෂකයින් විසින් කරන ලද වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබූහ.

ඒ අතර, රිමාන්ඩ් සිරකරුවන් හෝ අත්අඩංගුවේ පසුවන අය ඝාතනය කිරීම යුක්තිසහගත කිරීම සඳහා “පලා යාමට තැත් කිරීමේදී වෙඩි තැබීම” යන පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලබන කුප්‍රකට කඩතුරාව වැඩි වසයෙන් යොදා ගනිමින් පවතී.

පසුගිය මැයි මාසයේ මහර බන්ධනාගාරයේ තරුන රැඳවියෙකුගේ මරනය, මෑතදී එවන් චෝදනා ලද සිද්ධියකට එක් උදාහරනයකි. පැන යාමට තැත් කිරීමේදී ඔහු හදිසි අනතුරකින් මිය ගිය බව පොලිසිය කියාසිටි නමුත් ඥාතීන් පසුව කියා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට අමානුෂික ලෙස පහර දී වධහිංසා පමුනුවා තිබුන බවයි. මේ පිලිබඳව නිසි පරීක්ෂනයක් පවත්වා නැත.

මෙම මර්දනකාරී ක්‍රියා පිලිබඳ වැඩෙන මහජන විවේචනයට සමගාමීව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුල රැඳවුම් භාරයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීම පිලිබඳව, සැබෑ බලයක් නොමැති, මානව හිමිකම් කොමිසම අවධානය යොමු කර තිබේ. පසුගිය ජුනි මාසයේ සිට මෙවැනි නීති විරෝධී ඝාතන අටක් සිදුව ඇති බව සඳහන් කරමින් කොමිසම පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

මහර බන්ධනාගාර ඝාතන අත් වැරදීමක් නොව, කොවිඩ්-19 දිවයින පුරා ව්‍යාප්ත වන තතු හමුවේ රාජපක්ෂ ආන්ඩුව විසින් හිතාමතාම නිර්මානය කර තිබෙන මර්දනකාරී වාතාවරනයට හොඳින් ගැලපෙන ක්‍රියාවකි. ඊයේ වන විට රටේ කොවිඩ්-19 රෝගීන් 26,000 ක් දක්වා ද මරන සංඛ්‍යාව 118 දක්වා ද ඉහල ගොස් තිබේ.

සේවා ස්ථානවල ආසාදන පැතිරීම මධ්‍යයේ වැඩ කිරීමට සිදුවීම පිලිබඳව කනස්සල්ලට පත්ව සිටින වරාය සේවකයින් 15,000 කට රාජපක්ෂ විසින් නොවැම්බර් 17 වන දින අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පැනවීය. මහර බන්ධනාගාර ප්‍රහාරයට දින තුනකට පෙර ජනාධිපති රාජපක්ෂ, මහජන ආරක්ෂාව පිලිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර පත් කලේය.

සමාජ නොසන්සුන්තාව වඩාත් පුළුල් ලෙස මැඩපැවැත්වීම සඳහා රාජපක්ෂ තන්ත්‍රය විසින් සිදු කරනු ලබන ආඥාදායක ලකලෑස්තිවීම් පිලිබඳ අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු සහ පීඩිත ජනතාව, මහර බන්ධනාගාරයේ ලේවැකි මර්දනය සැලකිය යුතුය.

Loading