ඉදිරිදර්ශන

ධනවාදයේ මරනීය ශීත සෘතුව

සිය දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය වේ!

පෙර නොවූ විරූ පරිමානයේ ඛේදවාචකයක් එක්සත් ජනපදය තුල දිග හැරෙමින් තිබේ. වසංගතය ආරම්භ වීමෙන් පසු වැඩිම දෛනික මරන සංඛ්‍යාව ඊයේ (3 වනදා) 2,918 ක් ලෙස වාර්තා වූ අතර පසුගිය සතිය තුල පමනක් 13,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඊයේ දිනයේදී 218,000 කට අධික පිරිසක් වෛරසයෙන් ආසාදිත බව සොයාගැනීම තවත් වාර්තාවකි.

එක්සත් ජනපදයේ 283,000 ක අති විශාල ජනකායක් මියගොස් තිබේ. ඊයේ සංඛ්‍යාලේඛන අනුව, මෙම මාසය අවසන් වන විට පුද්ගලයින් 400,000 ක් මිය යනු ඇති අතර ජනවාරි අග වන විට 450,000 කට වැඩි පිරිසක් මිය යනු ඇත. වේගයෙන් වැඩි වෙමින් යන මරන සංඛ්‍යාව සැලකිල්ලට නොගත්ත ද පෙබරවාරි මැද භාගය වන විට මියගිය ගනන මිලියන භාගයේ සන්ධිස්ථානය කරා ලඟා වනු ඇත. රෝග මර්දන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මේ සතියේ පැවසුවේ ඉදිරි මාස “අප ජාතියේ මහජන සෞඛ්‍ය ඉතිහාසයේ ඉතාම දුෂ්කර කාලය වනු ඇති” බවයි.

ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩෙන් බදාදා අසාමාන්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මට මෙහි කිසිවෙකු බිය ගැන්වීමට අවශ්‍ය නැත, නමුත් කරුනු තේරුම් ගැනීමට අවශ්‍යයි - මෙතැන් සිට ජනවාරි දක්වා තවත් 250,000 ක් අපට අහිමි වීමට ඉඩ තිබේ.”

බයිඩන් මෙම ප්‍රකාශය කලේ, විශ්වයේ නැවැත්විය නොහැකි සිදුවීමක් මෙන් මෙම මරන නොවැලැක්විය හැකි බව ඇඟවීමටය. මිලියන හතරක ජනතාවක් මිය යාම වැලැක්වීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගැනීමට ඔහු කිසිදු යෝජනාවක් ඉදිරිපත් කලේ නැත. ඇත්ත වශයෙන්ම, ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ: “අප තවදුරටත් වසා දැමිය යුතු නැත.” මෙම ප්‍රකාශයන් පසුගිය මාසයේ සිට ඔහුගේ ප්‍රකාශය ප්‍රතිරාවය කලේය: “මම, කාල සීමාව තුල ආර්ථිකය වසා දැමීමට යන්නේ නැත.”

අහිමි වූ වැටුප් සඳහා පූර්න වන්දි ගෙවීමෙන්, එක්සත් ජනපදයේ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමෙන් හා පාසල් වසා දැමීමෙන් මෙම මරනවලින් වැඩි ප්‍රමානයක් වලක්වා ගත හැකි බව තේරී පත්වූ ජනාධිපති හොඳින් දනී. බයිඩෙන් ගේ කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ වඩාත්ම කැපී පෙනෙන සාමාජිකයා වන ආචාර්ය මයිකල් ඔස්ටර්හෝම් පසුගිය මාසයේ දී රටපුරා වසා දැමීමක් ඉල්ලා සිටියේය. මෙම ආස්ථානය බයිඩන් ගේ පරිපාලන සංක්‍රාන්තික කන්ඩායම විසින් වහාම ප්‍රතික්ෂේප කරන ලදී.

වසංගතයට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වල ඵලදායීතාවය මතභේදයට ලක් වී නැත. ව්‍යාපාර හා පාසල් වසා දැමූ සෑම රටකම රෝගීන් හා මරන අඩුවී තිබේ. සීමාවන් ලිහිල් කළ සෑම රටකම වැඩි වී තිබේ. දැන් පවා, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන හා පාසල් ජාතික වශයෙන් වසා දැමීමට නියෝග කලහොත්, එය සිය දහස් ගනනකගේ ජීවිත බේරා ගනු ඇති බවට සැකයක් නැත.

සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතම වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීම ප්‍රතික්ෂේප කරයි. ව්‍යාපාර සහ පාසල් වැසීම වෙනුවට ඉතිරි වූ සීමා කිරීම් ද ඉවත් කෙරෙමින් පවතින අතර නිව්යෝක් නගරයේ මෙන් පාසල් ද නැවත විවෘත කෙරේ. කම්කරුවන්ට මූල්‍යාධාර ලබා දෙනවා වෙනුවට කොන්ග්‍රසය රැකියා විරහිතයින් සඳහා අති මූලික ආධාර පවා ලබා දීම ප්‍රතික්ෂේප කරයි.

වෛරසය පැතිරීම පිලිබඳ සියලු සීමා ඉවත් කිරීමේ ඉල්ලීම කේන්ද්‍ර කර ගත් ට්‍රම්ප් සිය ෆැසිස්ට් කුමන්ත්‍රන වර්ධනය කිරීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කිරීමට ජනාධිපති ධුරය යොදා ගනිමින් සිටී. දැනට සිදුවන මරන සංඛ්‍යාව ධවල මන්දිරයේ මැරයා විසින් සඳහන් කර පවා නැත. ඊලඟ ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අප්‍රකාශිත ප්‍රධානියා වන බයිඩන් ට යෝජනා කිරීමට මූලික වශයෙන් වෙනස් කිසිවක් නැත.

වසංගතයේ ආරම්භයේ සිටම, රජයේ සියලු ප්‍රතිපත්ති, සංගතවල ලාභ අවශ්‍යතා සහ පාලක පන්තියේ ධනය ට යටත් කර ඇත. ට්‍රිලියන ගනන් වෝල් වීදියට බෙදා දෙන අතර වෙලඳපල දිනපතා නව උසකට නැගීම හේතුවෙන් මරනය සහ සමාජ දුක්ඛිත භාවය සමග පොහොසතුන් ප්‍රීති උත්සව පවත්වති.

පුද්ගලයන් 2,977 දෙනෙකු ඝාතනය කල සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය, ඩොලර් ට්‍රිලියන 6 ක් පමන වැය කරමින් යුද්ධ දියත් කිරීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව පුලුල් ප‍්‍රහාර දියත් කිරීමට යොදා ගැනුනි. දැන් සෑම දිනකම 9/11 ට සමාන සිදුවීමක් සිදුවෙමින් පවතින අතර, මෙතරම් විශාල පරිමානයෙන් සිදුවන මරන, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින් නොවැලැක්විය හැකි දේ ලෙස සලකනු ලැබේ. මහා අවපාතයෙන් පසු ඇති වූ විශාලතම සමාජ අර්බුදය මධ්‍යයේ, මහා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා කල හැකි කිසිවක් නැතැයි කියනු ලැබේ.

හදිසි පියවර වහාම ගත යුතුය! එන්නත් පිලිබඳ වැඩිදියුනු පරීක්ෂන වේගයෙන් සිදු වෙමින් පවතින අතර, වසංගතයට පාලක පන්තිය ප්‍රතිචාර දක්වා ඇති ආකාරයට වඩා වෙනස් ආකාරයකට එය හසුරුවනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් නැත. හොඳම තත්වයන් යටතේ වුවද, වර්තමානයේදී බහුල ලෙස එන්නතක් ලබා ගැනීමට පෙර සිය දහස් ගනනක් ජනයා මිය යනු ඇත.

ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් නියෝජනය කරන පාලක පන්තිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කරයි. අසල්වැසි, කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල වසංගතය නැවැත්වීමේ ව්‍යාපාරය කම්කරු පන්තිය විසින් ම ආරම්භ කල යුත්තේ එබැවිනි. කම්කරුවන්ට කරුනු කාරනා තමන්ගේ අතට ගැනීම අවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:

● අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථානවල සියලුම නිෂ්පාදන සහ පාසල් වහාම වසා දැමිය යුතුය. වසංගතය අතරතුර, සංචරනය විශාල අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය විශේෂඥයින් නිවැරදිව අනතුරු අඟවා ඇති අතර, ඇමරිකාවේ කර්මාන්තශාලා සහ පාසල් එහි ගුවන්තොටුපල තරම්ම භයානක ය. එහෙත් සේවා ස්ථානවල සහ පාසල්වල ඇති වන පැතිරීම් ක්‍රමානුකූලව වසන් කොට නොසලකා හරිනු ලැබේ.

● නැවත සේවයට පැමිනිය හැකි වන තෙක් යහපත් ජීවන තත්වයක් සහතික කිරීම සඳහා ප්‍රමානවත් වන පරිදි සියලු පවුල් සඳහා මාසික ආදායමක් ලබා දිය යුතුය. ව්‍යාපාරයේ ආර්ථික ශක්‍යතාව පවත්වා ගැනීමට ප්‍රමානවත් වන තරමට කුඩා ව්‍යාපාරවලට සහන සැලසිය යුතු අතර එහි වැඩකටයුතු නැවත ආරම්භ වන තෙක් සේවකයින්ගේ වැටුප් ලබා දිය යුතුය.

● නොමිලේ එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම වේගවත් කිරීම මෙන්ම, පරීක්ෂා කිරීම සහ සම්බන්ධතා සොයා ගැනීම ඇතුලු මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් පුලුල් කිරීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෙන් කල යුතුය.

එවැනි හදිසි පියවර සඳහා මුදල් නොමැති බවට කරන ප්‍රකාශය බොරුවකි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යයනයකට අනුව, වසංගතය ආරම්භයේ සිට ප්‍රකෝටිපතියන් 10 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් සිය ධනය සියයට 42 කින් වැඩි කරගෙන තිබේ. මෙම කතිපයාධිකාරීන්ගේ ධනය උත්පාදනය වන්නේ කම්හල්වල සහ විශාල වෙලඳ සැල් වල දිනපතා සිය ජීවිත පරදුවට තබන කම්කරුවන් මගිනි.

ද්වි පාර්ශවීය කෙයාස් (CARES) පනතේ කොටසක් ලෙස වෝල් වීදියට සහ සංගතවලට භාර දී ඇති සියලුම අරමුදල් නැවත ලබා ගත යුතු අතර හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ධනවතුන් මත අය කරන බදු විශාල වශයෙන් වැඩි කල යුතුය. වසංගතය නැවැත්වීම සඳහා සියලුම විශාල මූල්‍ය හා සංගත ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලබන මහජන උපයෝගිතා බවට පරිවර්තනය කල යුතුය.

කොවිඩ්-19 කර්මාන්තශාලා හරහා වේගයෙන් පැතිර යන හෙයින්, වැඩ වර්ජන සහ විරෝධතා සඳහා සූදානම් වීම දැන් හදිසි අවශ්‍යතාවයක් වේ. සංගත විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අරගලයට සමාජවාදී සමානතා පක්ෂය පෙරමුන ගෙන තිබේ. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම සඳහා විරෝධතා සහ වැඩ වර්ජන ඇතුලු ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සංවිධානය කල යුතුය. මෙම කමිටු සෑම සේවා ස්ථානයකම හා කර්මාන්ත ශාලාවකම පුලුල් කර, වර්ධනය කල යුතුය.

එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ ප්‍රහාරය ලතින් ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ ලොව පුරා කම්කරුවන්ගේ අරගල සමඟ සම්බන්ධ විය යුතුය. එක්සත් ජනපදයේ පාලක පන්තියේ සාපරාධී ප්‍රතිපත්තිය සෑම රටකම ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියේ අතිශය ආන්තික ප්‍රකාශනයයි. වසංගතය යනු කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍ය වන ගෝලීය අර්බුදයකි.

ධනේශ්වර පන්තියේ පවත්නා දේශපාලන පක්ෂ හා ආයතනික ව්‍යුහයන් තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අවශ්‍යතා සහ ජීවිත සුරක්ෂිත කල නොහැක. මේ සඳහා ධනවාදයට එරෙහි අරගලයේදී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

ධනේශ්වර පන්තිය පොහොසත් කිරීම සඳහා තවත් මිලියන හතරක ජීවිත පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ධනේශ්වර ක්‍රමය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී. මෙම බිලි පූජාව පිලිගත නොහැකි අතර බිලි විය යුත්තේ ධනවාදයයි. සමාජවාදී සමානතා පක්ෂය දේශපාලන බලය ලබා ගැනීම, මූල්‍ය කතිපයාධිකාරය අස්වාමික කිරීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් වසංගතය නැවැත්වීමට සහ අසංඛ්‍ය ජීවිත බේරා ගැනීමේ සටනට නායකත්වය දෙයි.

අපි සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳී මෙම සටනට එක් වන ලෙසයි.

මෙම ප්‍රකාශය දෙසැම්බර් 4 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading