ඉදිරිදර්ශන

ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ උපතේ සිට වසර දෙසියයක්

මෙම ලිපිය නොවැම්බර් 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ජන්ම ලාභය සිදුවූයේ අදින් වසර දෙසියයකට ඉහත, 1820 නොවැම්බර් 28 වන දා ය. ඔහුට වඩා වසර දෙක හමාරක් වැඩිමහලු ඔහුගේ ඉත මිතුරු කාල් මාක්ස් ද සමඟින් එංගල්ස් විද්‍යාත්මක සමාජවාදය සහ-ස්ථාපනය කලේය. වසර දෙසියයකට අනතුරුව එලැඹ ඇති අද දවසේ දී, ඔවුන්ගේ ජීවිත කාලීන කර්තව්‍යය දැවෙන අද්‍යතන වැදගත්කමකින් යුතුය. මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමේ තම ප්‍රයත්නයන්ගෙන් පුස්තකාල එහැමපිටින් පුරවා ලූ ගනන් කල නොහැකි තරම් ශාස්ත්‍රාලිකයන්ට වඩා ඔවුහු අතිශයින් දුරදක්නා සුලු වූවෝය.

මූල්‍ය වෙලඳපොලවල් මුලුමනින් ම පාලනයෙන් ගිලිහී ගොස් ය; වෙලඳ යුද්ධ තුන්වැනි ලෝක යුද්ධයක් ලෙස පුපුරා හැලීමට තර්ජනය කරමින් පවතී; කුරිරු නව යටත්විජිතවාදී යුද්ධවලින් පෘථිවි ගෝලයේ මුලුමහත් කලාප පිටින් විනාශ වී ඇත; වඩාත්ම වැදගත් ධනේශ්වර රාජ්‍යයේ - එක්සත් ජනපදයේ - ප්‍රජාතන්ත්‍රවාදය කැඩී බිඳී විසිරෙමින් පවතී; පාරිසරික ව්‍යසනයක් මුදුන් වෙමින් පවතී; රැක ගත හැකිව තුබූ ජීවිත ලක්ෂ ගනනක් කොරෝනා වෛරස වසංගතයට ගොදුරු වී ඇත; සමස්ත ලෝක ගෝලයේ වාසය කරන ජනගහනයෙන් වඩාත්ම දුගී අර්ධය සතු මුලු වත්කම් තරම්ම වත්කමක් සතු පුද්ගලයෝ 26 දෙනෙකු එම ලෝක ගෝලයේ ජීවත් වෙති; - මේ සියල්ලෙන් තහවුරු කෙරෙන්නේ, මාක්ස් හා එංගල්ස් 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය තුල ලියූ පරිදි, "නූතන ධනේශ්වර සමාජය, තමන්ගේ ජීවම මඟින් බල ගැන්වූ පාතාල බලවේග තවදුරටත් පාලනය කර ගත නොහැකි යකැදුරෙකු වැනි" බවයි.

මාක්ස් හා එංගල්ස් ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධයන් විශ්ලේෂනය කිරීමෙන් හා එහි ඇද වැටීම පෙරදැකීමෙන් පමනක් නොනැවතුනහ. ඔවුන් දෙදෙනාම විප්ලවවාදීහු වූහ. ඔවුන්ගේ දේශපාලන හා විප්ලවවාදී ක්‍රියාකාරීත්වයෙන් වෙන් කොට සලකා බැලුවහොත් යමෙකුට ඔවුන්ගේ න්‍යායික කර්තව්‍යයන් අවබෝධ කොට ගත නොහැකිය. ඊට ඉහත කාලයේ සියලු සමාජවාදීන්, සුලු ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන් හා දේශපාලන ස්ථාපිතය පිලිබඳ අන්‍ය සියලු විවේචකයන් කෙරෙන් ඔවුන් වෙන් කෙරෙන්නේ, ම්ලේච්ඡත්වය කරා යලි ඇදවැටීම වලකා, සමාජය පන්තිවලට බෙදීම අහෝසි කොට, මානව ශිෂ්ඨාචාරයේ හා සංස්කෘතියේ දැවැන්ත ඉදිරි පිම්මකට පදනම දැමිය හැකි එකම ක්‍රමය ධනේශ්වර සමාජයේ එකම "සැබෑ විප්ලවවාදී පන්තිය" වන කම්කරු පන්තිය බලය අත්පත් කර ගැනීමය යන අන්තර්ඥානය විසිනි.

1883 දී සිය මිතුරා මිහිදන් කෙරුනු මිනීවල අබියස කල සිය කතාවේ දී එංගල්ස් මේ කරුන මෙසේ අවධාරනය කලේය:

අන් හැම දේකටමත් වඩා ප්‍රමුඛ කොට මාක්ස් විප්ලවවාදියෙකු වූයේය. ඔහුගේ ජීවිතයේ සැබෑ මෙහෙවර වූයේ, ධනේශ්වර සමාජය හා එය විසින් ගොඩනඟන ලද්දා වූ සියලු රාජ්‍ය ආයතන පෙරලා දැමීමට ඒ හෝ මේ ආකාරයෙන් දායක වීමයි; එහි ස්ථානය හා අවශ්‍යතා පලමුවෙන්ම හඳුනා ගැනීමේ ද, එහි බන්ධන සිඳ ලීම සඳහා වන කොන්දේසි පිලිබඳ සවිඥානක වීමේ ද ගෞරවය තමාට හිමි වන එකී නූතන නිර්ධන පන්තියේ විමුක්තිය සඳහා දායක වීමයි. ඔහුගේ මූලාවයවය වූයේ අරගලයයි. එපමනක් නොව, එම අරගලයෙහි නිරත වීමේ දී ඔහු දැක්වූ ලාලසාව, ස්ථිරසාරභාවය හා සාර්ථකත්වය සමඟ තරඟ කල හැකි අන්‍යයන් වී නම් ඒ අතලොස්සකි. [1]

එම ප්‍රකාශය එංගල්ස්ම සම්බන්ධයෙන් ද අදාල වේ. 1935 දී එංගල්ස්ගේ අභාවයෙන් 40 වසකට ඉක්බිති ලියූ දීප්තිමත් නිබන්ධයක ට්‍රොට්ස්කි ඔහු පිලිබඳ ප්‍රතිරූපයක් සිත්තම් කරමින්, ලන්ඩනයේ දී වසර ගනනාවක් එංගල්ස් සමඟ උරිනුර ගැටෙමින් වැඩ කළා වූ ද, දෙවැනි ජාත්‍යන්තරයේ ප්‍රමුඛ මාක්ස්වාදී න්‍යායාචාර්යවරුන්ගෙන් එක් අයෙකු වූ ද, සහ අවසානයේ දී ඔක්තෝබර් විප්ලවයේ කර්කශ විරුද්ධවාදියෙකු බවට පත් වූ ද කාල් කෞට්ස්කි සමඟ එංගල්ස් සංසන්දනය කරයි.

ට්‍රොට්ස්කිට අනුව එදා පවා එංගල්ස් කෞට්ස්කි තුල "ස්වයං-තෘප්ත වූත්, ගර්වයෙන් පිරී සිටියා වූත්, ගතානුගතික වූත් වියෙනා වාසී සුලු ධනපතියෙකු" දිටීය. කෞට්ස්කිට හා එවකට ලන්ඩනයේ කල් ගෙවූ එඩුවාර්ඩ් බර්න්ස්ටයින්ට ද "මාක්සියානු විධික්‍රමය අත්පත් කර ගැනීමට" ඔහු ආධාර කලේය. ට්‍රොට්ස්කි වැඩි දුරටත් මෙසේ ලිවීය: "එහෙත් ඔවුන් තුල විප්ලවවාදී අධිෂ්ඨානය හෝ පැහැදිලි ලෙස සිතීමේ හැකියාව හෝ රෝපනය කිරීමට ඔහුට හැකිවූයේ නැත. මෙකී ශිෂ්‍යයන් වෙනත් ජීව ගුනයක දරුවන් වූ අතර, ඔවුහු දිගටම එසේ සිටියාහ." "ඔහුගේ සමස්ත සහ දීර්ඝ ජීවිත කාලය තුල තම මානසික හා කායික සාමය කලඹා ලීමට තර්ජනය කරන එකී නිගමන මඟ හැර වටෙන් යාමට කෞට්ස්කි සමත් විය. ඔහු විප්ලවවාදියෙකු නොවූ අතර මෙය, ඔහු රතු ජනරාල්වරයා (එංගල්ස්) ගෙන් වෙන් කල තරනය කල නොහෙන බාධකයක් විය."[2]

මාක්ස්වාදයට එංගල්ස් කල ප්‍රතිපදානය

එංගල්ස් තුරුනු වියේදී

මාක්ස්වාදයේ වර්ධනය සඳහා එංගල්ස් සිදු කල අභිදානය නිරතුරුව අවතක්සේරුවට ලක් වී ඇත්තකි. මාත්සර්යයක අංශුවකින් හෝ තොරව වරක් ඔහුම පිලි ගෙන ඇති පරිදි, මාක්ස්ගේ ජීවිත කාලය තුල ඔහු දෙවැනි වයලීනය වයන්නා විය. එහෙත් යමෙකු ඊට එක් කල යුත්තක් වෙයි. එනම්, පලමු වාදකයා ලෙස වාදනය කිරීමේ දී ඔහු මාක්ස් දැක්වූ විශාරදත්වයට නොඅඩු විශ්මිත විශාරද භාවයකින් එසේ සිදු කල බව හා, ඔවුන්ගේ සමූහ වාදනයේ අන්තර් ක්‍රියාකාරිත්වය විසින්, කාර්ය සාධනයේ නව මස්තකයන් කරා නිරතුරුවම ලඟා වීමට ඔවුන්ට අන්‍යොන්‍ය අනුප්‍රානය සම්පාදනය කරන ලද බවයි.

"මාක්ස් හා එංගල්ස් තරමට තම සමස්ත ජීවිතය පුරා ඒ සා ස්ථිරසාර අයුරින් තම අදහස්වල පරිනාමය මඟින්, ඔවුන්ගේ සාමාජයීය ක්‍රියාකාරීත්වයෙන් හා පෞද්ගලික මිත්‍රත්වයෙන් එකිනෙකා හා බැඳුනු, ඒ සා බලගතු මනඃප්‍රකෘතියකින් සහ දෘෂ්ඨිවාදාත්මක ස්වාධීනත්වයකින් යුතු මිනිසුන් දෙදෙනෙකු පිලිබඳ ව ඊට සම කල හැකි අවස්ථාවක් සොයාගැනීම" නොකල හැක්කක් වනු ඇතැයි ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේය. "ඔවුන්ගේ කර්තව්‍යයන් අතර සීමා රේඛාව තහවුරු කිරීම කිසිවෙකුට නොකල හැක්කක් වන තරමට" මිතුරන් දෙදෙනා අතර සහයෝගීතාව ඒ සා පුලුල් පරාසයක පැතිර තිබින. කෙසේවෙතත්, ඔවුන් අතර වූ හුදු සාහිත්‍යයික සහයෝගයට ද වඩා අපරිමිත ලෙස වඩාත් වැදගත් වූයේ ඔවුන් අතර පැවැති, කිසිදා නොබිඳුනු, ආධ්‍යාත්මික සහසම්බන්ධයයි. ... නිල විද්‍යාවට හා චිරාගත මිත්‍යා විශ්වාසයන්ට එරෙහිව ඔවුන්ගේ දශක හතරක පමන කාලයක අනවරත අරගලය තුල මාක්ස් හා එංගල්ස් එකිනෙකාගේ මහජන මතය සම්පාදකයන් ලෙස එකිනෙකාට සේවය කලෝය."[3]

දේශපාලන ආර්ථිකය පිලිබඳ ක්ෂේත්‍රයේ දී හා කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය වටහා ගැනීමෙහි දී එංගල්ස් ඔවුන්ගේ පොදු ලෝක දෘෂ්ඨියට වැදගත් ප්‍රතිපදානයක් සිදු කලේය. ඔහුගේ පවුල් පසුබිමත්, ඔහුගේ තිස් වසක ව්‍යාපාරික වෘත්තියත්, එම යුගයේ ප්‍රධාන කාර්මික බලවතා වූ එංගලන්තය තුල කම්කරු ව්‍යාපාරය පිලිබඳව ඔහුට පැවැති ගැඹුරු දැනුමත් නිසා මෙකී කරුනු සම්බන්ධ ඍජු දැනුමක් ඔහු සතුව තිබින. ඊට අතිරේකව, ඔහුට පැවතියේ විශ්වකෝෂයක් වැනි මනසකි. දුසිම් දෙකක පමන භාෂාවන් සම්බන්ධයෙන් - සක්‍රිය හෝ නිෂ්ක්‍රිය ආකාරයේ - විශාරදත්වයක් ඔහු ලබා සිටියේය. ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, "දර්ශනවාදය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, වාග් විද්‍යාව හා යුද්ධ විද්‍යාව පිලිබඳ ඔහු සතුව තුබූ දැනුම සාමාන්‍ය වේවා, සුවිශේෂී වේවා මහාචාර්යවරුන් දුසිමකට පමන හොඳටම පිරිමසින්නා වූ දැනුමක් විය." [4]

එංගල්ස් උපත ලද්දේ වර්තමානයේ වුපටාල් පුරවරයේ දිස්ත්‍රික්කයක් බවට පත් ව ඇති බාමෙන්හි පේෂකර්මාන්ත ව්‍යාපාරිකයෙකුගේ දරුවන් නව දෙනා අතර වැඩිමහලුම දරුවා ලෙසය. ඔහු උසස් විද්‍යායතනයකට ඇතුලු වූ නමුදු, ඔහුගේ පියාගේ බලකිරීම මත සිය අවසාන වසරේ දී අධ්‍යාපන කටයුතු නවතා දැමීමට සිදු විය. තම දෙටු පුතු සිය සමාගමේ ව්‍යාපාරික පුහුනුව ආරම්භ කරනු දැකීමට පියාට අවශ්‍ය ව තිබින. 1838 ගිම්හානයේ පටන් තෙවසරක් ඔහු බ්‍රෙමන් කොස්මොපොලිටනයේ අඛන්ඩ පුහුනුවක යෙදුනු අතර, ඔහුගේ ශාස්ත්‍රීය කටයුතු ද ඇරඹුනේ එහිදී ය. ටෙලිග්‍රාෆ් ෆර් ඩොයිෂ්ලන්ඩ් නම් වූ වාම ලිබරල් ප්‍රකාශනයේ "වුපටාල් සිට එවන ලිපි" නමින් ලිපි පෙලක් ආරූඪ නාමයක් යටතේ පල කල ඔහු, එමඟින් සිය උපන් ප්‍රදේශයේ හා සිය මවුපිය ගෘහයේ පැවැති සහජ සුසිල්වත් බව සමඟ ගනුදෙනු බේරා ගනිමින්, කාර්මික කම්කරුවන් මුහුන දෙමින් සිටි සමාජ දුක්ඛිතතාව අනාවරනය කලේය.

එංගල්ස් ඔහුගේ 21 වන උපන්දිනයට පෙර ආසන්න දිනයක, වසරක කාලයක් සඳහා බර්ලිනය කරා ගියේය. ඒ ගමනේ නිල අරමුන වූයේ ඔහුගේ හමුදා සේවය සම්පූර්න කිරීමයි. කෙසේවෙතත්, දර්ශනවාදය හැදෑරීම කෙරේ යොමු වූ ඔහු යං හෙගලියන්ස් (තරුන හේගල්වාදීන්) කන්ඩායම සමඟ සමීප සබඳතා ඇති කර ගත්තේය. ඔහු සිය සාහිත්‍යයික කටයුතුවල දිගටම නිරත විය. අනෙකුත් ප්‍රකාශන අතර කාල් මාක්ස් සංස්කරනය කල රෙයිනිෂ් සේ(z)තුං නම් පුවත්පතට ද ඔහු ලිවීය. එහෙත් එක් කෙටි අවස්ථාවක දී හැර මාක්ස් ඔහුට පෞද්ගලිකව හමු වූයේ නැත. තරුන එංගල්ස් දර්ශනවාදය ක්ෂේත්‍රයේ සලකුනක් තබා තිබින. බර්ලින් සරසවියේ හේගල් විසින් හොබවන ලද පුටුව එවකට අරා සිටි ෂෙලිංගේ අහේතුවාදයට එරෙහිව නිර්නාමිකව පල කල කැපී පෙනෙන විවාදාත්මක නිබන්ධන දෙකක් මඟින් ඔහු සැලකියයුතු කලබැගෑනියකට මුල පිරීය.

1842 වර්ෂයේ අගභාගයේ එංගල්ස් මැන්චෙස්ටර්හි සිය පියාගේ සමාගම සඳහා සේවය කිරීමට ගියේය. එහිදී ඔහු සිය කාලය ගත කලේ සම්භාව්‍ය දේශපාලන ආර්ථික විද්‍යාව කෙරේ යොමුවීමට, කම්කරු පන්තියේ තතු පිලිබඳ හැදෑරීමට හා බ්‍රිතාන්‍ය කම්කරු ව්‍යාපාරය සමඟ සමීප සබඳතාවලට එලැඹීමට ය. 1863 දී සිදු වූ ඇගේ අකල් මරනය දක්වා ඔහුගේ සහකාරිය ව සිටි අයිරිෂ් ජාතික කම්කරු කාන්තාවක වූ මේරි බර්න්ස් සමඟ ඔහු ප්‍රේමයෙන් බැඳුනේ ද මෙම කාල පරිච්ඡේදයේ දී ය.

එංගල්ස්ගේ සම්ප්‍රාප්තියට මාස ගනනාවකට පෙරාතුව චාටීස් ව්‍යාපාරය එහි මස්තකය කරා එලැඹ තිබින. හැත්තෑ දහසක සාමාජිකත්වයකින් යුතු වූ එය ලෝකයේ කොතැනක හෝ බිහි වූ ප්‍රථම කම්කරු පන්ති බහුජන දේශපාලන ව්‍යාපාරයයි. විසි එක් විය ඉක්මවා සිටි සියලු පුරුෂයන්ට ඡන්ද බලය දෙන ලෙස හා තවත් සමාජ ප්‍රතිසංස්කරන ගනනාවක් ඉල්ලා සිටිමින් මන්ත්‍රන සභාවට ඉදිරිපත් කල පෙත්සමකට අත්සන් 33 ලක්ෂයක් එක් කර ගැනීමට චාටිස් ව්‍යාපාරය සමත් විය. එම පෙත්සම මන්ත්‍රන සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම වර්ජන මාලාවකට තුඩු දුන් අතර, ඒවා කුරිරු ලෙස මැඩලන ලදී. වාමාංශික චාටිස් නායක ජුලියන් හාර්නිගේ මිතුරෙකු බවට පත් වූ එංගල්ස් ඔහුගේ පුවත්පත වූ නෝදර්න් ස්ටාර් පත්‍රයට ලිවීය. එමෙන්ම ඔහුට රොබර්ට් ඕවන්ගේ මනෝරාජික සමාජවාදයේ අනුගාමිකයන් සමඟ ද සබඳතා පැවතින.

ඉනික්බිති, 1844 මුල් භාගයේ, 23 හැවිරිදි එංගල්ස් 'ජාතික ආර්ථිකය පිලිබඳ විචාරයක ලුහුඬු සටහන්' (Outlines of a Critique of National Economy) නම් ලිපිය පල කලේය. එම ලිපිය මාක්ස් මත මහත් බලපෑමක් ඇති කලේය. සමාජවාදය සාධාරනීකරනය කිරීම, ආචාර ධර්මීය හෝ සදාචාරාත්මක පූර්ව කල්පිතයන් මත වෙනුවට දේශපාලන ආර්ථිකය මත පදනම් කිරීමේ ප්‍රථම ප්‍රයත්නය මෙය විය. එංගල්ස්ගේ අභාවය පිලිබඳ ලෙනින් පසුකලෙක ලියූ සටහනක සඳහන් කල පරිදි, එම ලිපිය තුල එංගල්ස්, "අද්‍යතන ආර්ථික පර්යායයේ ප්‍රමුඛ ප්‍රපංචය සමාජවාදී ආස්ථානයකින්" පරීක්ෂාවට ලක් කලේ, "ඒවා පෞද්ගලික දේපල විසින් ගෙන යනු ලබන පාලනයේ අත්‍යවශ්‍ය ප්‍රතිවිපාක ලෙස සලකමිනි." [5]

වසරක ඇවෑමෙන් එංගල්ස් 'එංගලන්තයේ කම්කරු පන්තිය මුහුන දෙන තතු' (The Condition of the Working Class in England) පොත තුල තම නිරීක්ෂන සාරාංශගත කලේය. පසුකලෙක ප්‍රාග්ධනය ලිවීමේ දී මාක්ස් පෝෂනය ලැබුවේ මෙම කෘතියෙනි. ඔහු කම්කරු පන්තිය හුදු දුක් විඳින පන්තියක් ලෙස නොව, සටන් කරන පන්තියක් ලෙස, සමාජවාදී විප්ලවයේ ධාරකයා ලෙස නිරූපනය කලේය.

ප්‍රතිගාමී ප්‍රසියානු රාජ්‍යයෙන් පලා යාමට බල කරනු ලැබීමෙන් අනතුරුව මාක්ස් හා ආර්නෝල්ඩ් රූජ් පැරීසියේ දී එකලස් කල Deutsch-Französische Jahrbücher (ජර්මානු ප්‍රංශ සඟරාව) නම් ජර්නලයේ ප්‍රථම - සහ එකම - සංස්කරනයේ එංගල්ස්ගේ 'ජාතික ආර්ථිකය පිලිබඳ විචාරයක ලුහුඬු සටහන්' පල විය. එම වෙලුමේ ම මාක්ස්, 'හේගල්ගේ නීතියේ දර්ශනවාදය පිලිබඳ විචාරය' යන ලිපිය පල කලේය. එකී ලිපිය වූ කලී මාක්ස් හෙගලියානු විඥානවාදයෙන් බිඳී යාමේ මං සලකුනක් සනිටුහන් කරන්නකි.

මාක්ස් හා එංගල්ස් අතර සහයෝගීත්වය

මාක්ස් හා එංගල්ස් පැරීසියේ සිය ප්‍රථම හමුවීමේ දී. YoungMarx චිත්‍රපටයේ දර්ශනයක්. [අනුග්‍රහය: ක්‍රිස් ඩෙවිට්, NeueVisionenFilmverleih]

ඉන් 39 වසරකට ඇවෑමෙන් සිදු වූ මාක්ස්ගේ අභාවය දක්වාම පැවැති මාක්ස් හා එංගල්ස්ගේ සමීප සහයෝගය ආරම්භ වූයේ මෙම අවස්ථාවේ ය. මැන්චෙස්ටර් සිට ආපසු එන ගමනේ දී එංගල්ස් පැරීසියේ දී දින 10 ක තීව්‍ර සාකච්ඡාවක යෙදීමට මාක්ස් හමු විය. එහි ප්‍රතිඵලය වූයේ සියලු වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවයකට පැමිනීමයි. තරුන හේගල්වාදීන් සමඟ නිර්දය ගනුදෙනු බේරා ගැනීමක් වූ 1845 දී එම දෙදෙනාගේ සම කර්තෘත්වයෙන් පල කෙරුනු, "ශුද්ධ වූ පවුල: විවේචනාත්මක විවේචනය පිලිබඳ විවේචනය" කෘතිය මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විය.

අදහා ගත නොහැකි තරමේ විප්ලවවාදීන් ලෙස තමන් විදහා දක්වන තරුන හේගල්වාදීහු සියලු පන්ති හා පක්ෂවලට ඉහලින් පිහිටි විචාරයක් වෙනුවෙන් පෙනී සිටියෝය. සියලු ප්‍රායෝගික කටයුතු ප්‍රතික්ෂේප කල ඔවුහු කම්කරු පන්තිය කෙරේ ද්වේශ සහගත වෙමින් ඔවුන් අවිවේචනාත්මක ජනකායයක් ලෙස දුටුවෝය. අරාජකවාදය හා ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ "විවේචනාත්මක න්‍යාය" යන දෙකොට්ඨාශයම පසුව තරුන හේගල්වාදීන් මත තමන් පදනම් කර ගැනීමට නියමිත වූහ. "සවිඥානකතාව වෙනස් කිරීම සඳහා" වූ ඔවුන්ගේ "ඉල්ලීම, යථාර්ථය වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීම සඳහා වූ ඉල්ලීමක් දක්වා, එනම්, එය වෙනත් අර්ථකථනයක අනුසාරයෙන් වටහා ගැනීම දක්වා, නැඟෙන්නේ යැ"යි මාක්ස් හා එංගල්ස් නිගරු ලෙස ලිවූහ. [6]

මාක්ස් හා එංගල්ස් වැඩිදුරටත් සඳහන් කලේ, "ලෝකය කුඩුපට්ටම් කරන්නේ යැයි කියනු ලබන තරුන හේගල්වාදීන්ගේ ප්‍රකාශ තිබියදීම", ඔවුන් "වඩාත්ම දෘඩතර ගතානුගතිකවාදීන්" වන බවයි. ඔවුන් "හුදු ලෝකයේ කියමන් සමඟ පොර බදන විට, ඔවුන් සැබෑ ජීවමාන ලෝකය සමඟ කවර ආකාරයකින් හෝ සටන් නොවදින" බව ඔවුන්ට අමතක වී ඇත.

ඉහත උපුටා ගැනීම සිදු කරන ලද්දේ මාක්ස් හා එංගල්ස් විසින් 1845-46 ශීත ඍතුවේ බ්‍රසල්ස්හි දී එකාබද්ධව ලියූ ජර්මානු දර්ශනවාදය කෘතියෙනි. ඒ වන විට එංගල්ස් මාක්ස් සමඟ එක් වී සිටියේය. එම කෘතිය මඟින් තරුන හේගල්වාදීන් පිලිබඳ විචාරය තවදුරටත් ගෙන යනු ලැබූ අතර, එය ලුඩ්විග් ෆොයර්බාක් ද ඇතුලත් කෙරෙන පරිදි ප්‍රසාරනය කරනු ලැබීය. හේගල්ගේ වෛෂයික විඥානවාදය භෞතිකවාදී ආස්ථානයක සිට විචාරයට ලක් කල ප්‍රථමයා වූයේ ෆොයර්බාක් ය. ඒ අනුව ඔහු මාක්ස් හා එංගල්ස් මත සැලකිය යුතු බලපෑමක් ඇති කලේය. එහෙත් ඔහුගේ භෞතිකවාදය මානව භාවිතය බැහැර කල අතර, ඒ අනුව එය චින්තාපර වූත්, අකර්මන්‍ය වූත්, අනෛතිහාසික වූත් එකක් ව පැවතින.

ජර්මානු දර්ශනවාදය තුල මාක්ස් හා එංගල්ස් ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය විස්තාරනය කලෝය. ඔවුන්ගේ පසුකාලීන අග්‍ර කෘතීන් පදනම් වූයේ එකී සංකල්පය මත ය. ඉතිහාසය පිලිබඳ මෙම සංකල්පය

රඳා පවතින්නේ, ජීවයේ ම ද්‍රව්‍යමය නිෂ්පාදනයෙන් පටන් ගනිමින් නිෂ්පාදනයේ තථ්‍ය ක්‍රියාදාමය වග විභාග කිරීමටත්, එය සමඟ බැඳුනු අන්තර්ක්‍රියාවලියේ, මෙම නිෂ්පාදන බලවේගවලින් නිර්මිත, ආකෘතිය (එනම්, සිවිල් සමාජය එහි විවිධ අදියර තුල) සමස්ත ඉතිහාසයේ පදනම ලෙස වටහා ගැනීමටත්, .... සියලු වෛවාරන්න න්‍යායික නිපැයුම් හා විඥාන ආකෘතීන්, ආගම, දර්ශනවාදය, ආචාර ධර්ම ආදී වශයෙන් වූ සියල්ල එම පදනම මත පැහැදිලි කිරීමට හා ඒවායේ ප්‍රභවයන් හා වර්ධනය එමඟින් අනුරේඛනය කිරීමටත් අපට ඇති හැකියාව මත ය. ..

[ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය] අදහස මඟින් භාවිතය පැහැදිලි නොකරයි; එහෙත් එය ද්‍රව්‍යමය භාවිතයෙන් අදහස් නිර්මානය වීම පැහැදිලි කරයි. ඒ අනුව, විඥානයේ සියලු ආකෘතීන් හා නිෂ්පාදිතයන් මනෝමය විවේචනයෙන් විසුරුවා හල නොහෙන බවත්, .. එසේ කල හැක්කේ මෙම විඥානවාදී රැවටිල්ල මතු වීමට තුඩු දුන් තථ්‍ය සමාජ සබඳතා ප්‍රායෝගිකව පෙරලා දැමීමෙන් පමනක් බවත්, ඉතිහාසයේ, එමෙන්ම ආගමේ, දර්ශන වාදයේ හා අනෙකුත් සකලවිධ න්‍යායයේ ධාවක බලය වන්නේ විවේචනය නොව විප්ලවය බවත්, යන නිගමනය කරා එය එලැඹෙයි. [7]

විප්ලවයක් ඇති වන්නේ "ද්‍රව්‍යමය මූලිකාංග" - "එනම්, නම් කොට පැවසුවහොත්, එක් අතෙකින් පවත්නා නිෂ්පාදන බලවේගත්, අනෙක් අතින් හුදු ඒ දක්වා පවතින වෙන් වෙන් සමාජ කොන්දේසිවලට එරෙහිව පමනක් නොව ඒ දක්වා පවතින 'ජීවිත නිෂ්පාදනයට'ම, එය පදනම් වී ඇති 'සම්පූර්න ක්‍රියාකාරීත්වයටම' එරෙහිව කැරැලි ගසන විප්ලවවාදී ජනතා ව්‍යාපාරයත් - ප්‍රමානවත් ලෙස ශක්තිමත් වූ විටය. [7]

ජර්මානු දර්ශනවාදය ප්‍රකාශයට පත් කිරීමට මාක්ස්ට හා එංගල්ස්ට හැකි වූයේ නැත. එය සම්පූර්නයෙන් පල වූයේ 1932 තරම් මෑතකදී ය. එහෙත් ඔවුහු එමඟින් තමන්ගේ මූලික අරමුන වූ ස්වයං පැහැදිලිකම අත්පත් කර ගත්හ. ජර්මානු දර්ශනවාදය වෙනුවෙන් ඉටු කල කර්තව්‍යය, ලෝකයේ කවදා හෝ ලියැවුනු හොඳම දේශපාලන වැඩ පිලිවෙල වන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය ලිවීම කරා ඔවුන්ට මඟ පෙන්වීය. 1847 දී මාක්ස් හා එංගල්ස්, විවිධ ජර්මානු විප්‍රවාසීන් සක්‍රියව සිටි සාධාරනත්වයේ සංගමයට (League of the Just) බැඳුනෝය. එම සංගමය ඔවුන්ට ආරාධනා කොට තිබූ අතර, ඔවුන්ගේ ඉල්ලීම මත සංගමයේ නම කොමියුනිස්ට් සංගමය ලෙස වෙනස් කිරීමට ද එකඟ වී තිබින. සංගමය (කොමියුනිස්ට්) ප්‍රකාශනය ලිවීමට ඔවුන්ට පැවරීය.

සිය විශද භාවයෙන් ද, දුරදිග දක්නා සුලු බවින් ද, නිර්භීතකමින් ද අද දවස දක්වාම අඛන්ඩව පාඨකයා කෙරේ බල පැවැත්වීමට සමත් මෙම කෘතියට වාක්‍ය කිහිපයකින් යුක්තිය ඉටු කිරීම යනු දැවැන්ත අභියෝගයකි. ප්‍රාදේශීය හා ජාතික මායිම් කීතු කර දමමින්, පන්ති ප්‍රතිරෝධයන් අවුලවමින්, සහ අවසානයේ එය විසින් මුදා හරින ලද බලවේග පාලනය කර ගැනීමට එයම අසමත් බව සනාථ කරමින් ඇති ධනේශ්වර ක්‍රමයේ ගතික වර්ධනයේ කටුසටහනක් පුලුල් පින්සල් පහර කිහිපයකින් එ'තුල සටහන් කිරීමට මාක්ස් හා එංගල්ස් කටයුතු කර ඇත්තාහ. "එහෙත් ධනේශ්වර පන්තිය තමාටම මරනය ගෙන එන ආයුධ වාත්තු කර තිබෙනු පමනක් නොවේ; එය එකී ආයුධ ලෙලවන මිනිසුන්ගේ - නූතන කම්කරු පන්තියේ - නිර්ධනීන්ගේ - පැවැත්ම ද කරලියට කැඳවා ඇතැ'යි මාක්ස් හා එංගල්ස් ලිවූහ.

ඉනික්බිතිව එන්නේ, තම මූලික ලක්ෂන අද දිනය දක්වාමත් සිය වලංගුතාවය නොනැසී පවත්වා ගැනීමට සමත්ව ඇති විප්ලවවාදී සමාජවාදී වැඩ පිලිවෙලකි. එහි කේන්ද්‍රීය තෙරපුම් බලය වන්නේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා එහි ජාත්‍යන්තර ස්වභාවයයි. සමාජවාදයේ සියලු පැරනි ආකෘතීන් - මනෝරාජික, සුලු ධනපති, සහ ධනේශ්වර ආකෘතීන් - පිලිබඳ තියුනු විචාරයක් ප්‍රකාශනයට ඇතුලත් වන අතර, එය විදාරනය වීමට ආසන්න ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් අර්ථ දක්වයි. එය සමාප්ත කෙරෙන්නේ පහත දැක්වෙන සුප්‍රකට නිවේදනය සමඟය: "ලෝකයේ කම්කරුවනි, එක්වව්!"

 1848 විප්ලවය

නුයේ රෙයින්ශේ සෙයිටුන්ග් අවසන් ප්‍රකාශය--කිවිඳු ෆ්රෙයිග්රාත් ගේ සමුගැනීමේ වදන් සමග රතු පාටින් මුද්‍රනය කර තිබිනි

කොමියුනිස්ට් ප්‍රකාශනය 1848 පෙබරවාරි 21 දින ලන්ඩනයේ ප්‍රකාශයට පත් වූයේය. ඉන් තෙදිනක ඇවෑමෙන් ප්‍රංශයෙහි ඇති වූ විප්ලවවාදී නැඟිටීමක් රාජාන්ඩුව පෙරලා දැමීය. මාර්තුවේ ජර්මනියට පැතිර ගිය විප්ලවය යුරෝපය හරහා ශීඝ්‍රයෙන් ප්‍රසාරනය වී ගියේය. ජර්මානු ජනපදවල වැඩවසම් පාලකයන්ට එක රොත්තටම තම නිලතල අතහැර යාමට හෝ පාර්ලිමේන්තු හා ව්‍යවස්ථා පිලිගැනීමට බල කෙරින. මැයි මාසයේ දී ජාතික මන්ත්‍රන සභාව ෆ්‍රෑන්ක්ෆර්ට්හි ශාන්ත පාවුලු දේවස්ථානයේ (පෝල්ස්කර්ච්) රැස්වීමට පටන් ගැනුනු අතර, එහිදී එය එක්සත් ජර්මනියක් සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට නියමිත විය.

මාක්ස් හා එංගල්ස් විප්ලවයට සහභාගී වීමට මොහොතක් හෝ පසුබට නොවූහ. 1843 දී තහනමට ලක් කෙරුනු රෙයිනිෂ් සේ(z)තුංහි සම්ප්‍රදායයෙන් උකහා ගනිමින් මාක්ස් හා එංගල්ස් කොලෝංහි දී නියු රෙයිනිෂ් සේ(z)තුං (NRZ) පුවත්පත ආරම්භ කලෝය. 1848 ජූනි 1 දින සිට 1849 මැයි 19 දා දක්වා පත්‍ර කලාප තුන්සිය එකක් පල කෙරුනු අතර එහි සංසරනය, එම කාලයේ සැලකිය යුතු මට්ටමකට - පිටපත් 6,000 ක් කරා - ලඟා විය. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ වාමාංශය ලෙස තමා සලකා ගත් මෙම පුවත්පත, කොමියුනිස්ට් ප්‍රකාශනය මඟින් ප්‍රකාශයට පත් කෙරී තුබූ පරිදි, "ආසන්නවම පසුපස එලැඹෙන නිර්ධන පන්ති විප්ලවයේ පූර්විකාව වනු ඇති" ධනේශ්වර විප්ලවය පෙරට තල්ලු කිරීම තම කර්තව්‍යය ලෙස තෝරා ගත්තේය.

එම කාලයේ පැවැති ප්‍රාථමික තාක්ෂනික පහසුකම් සමඟ දිනපතා පුවත්පතක් පල කිරීමෙහි ලා මාක්ස් හා එංගල්ස්ට සිදු කරන්නට වූ කාර්යභාරය සිතා ගැනීමට හෝ නොහැකි තරම්ය. එංගල්ස් අනල්ප ලිපි සංඛ්‍යාවක් සම්පාදනය කරන අතරම, අවශ්‍ය මුදල් රැස් කර ගැනීමට හා පුවත්පතට දායකයන් බඳවා ගැනීමට රට පුරා සංචාරය කලේය. ප්‍රධාන කර්තෘවරයා වශයෙන් මාක්ස් කර්තෘ මන්ඩලයේ ගාමක බලය විය. ආරම්භයේ සිටම මෙම ව්‍යාපෘතියට මූල්‍ය ගැටලුවලට මුහුන පෑමට සිදු විය. විශේෂයෙන්ම පුවත්පතේ පලමු කලාපය තුල එංගල්ස්, ජාතික මන්ත්‍රන සභාවේ න්‍යාය පත්‍රය ගැන කරුනු දක්වමින්, අසල්වැසි වියෙස්බෙඩන්හි විප්ලවවාදී සටන්කරුවන් ප්‍රසියානු වෙඩි උන්ඩවලට ගොදුරු වෙද්දී ආහාර විවේකය නූලටම පිලිපැදීම ගැන අවධාරනය කොට පෝල්ස්කර්ච්හි ජාතික මන්ත්‍රන සභාවේ නියෝජිතයන් කර්කශ ලෙස හෙලා දැකීමෙන් පසු මෙම තත්ත්වය උදා විය.

එහෙත් NRZ පුවත්පත, විප්ලවයට එරෙහිව වැඩිකල් නොයවාම වැඩවසම් ප්‍රතිගාමීත්වය සමඟ එක්සත් වූ ධනේශ්වර ලිබරලුන් පිලිබඳව මෙන්ම, සුලු ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන් පිලිබඳව ද වූ එහි විවේචන කිසිසේත් ලිහිල් නොකලේය. එංගල්ස් පසුකලෙක ජර්මනියේ විප්ලවය හා ප්‍රතිවිප්ලවය යන කෘතිය තුල මෙම කාල පරිච්ඡේදයේ අත්දැකීම් සම්පින්ඩනය කර දැක්වීය. පලමුවෙන් නිව්යෝර්ක් ඩේලි ට්‍රිබියුන් පුවත්පතේ ලිපි මාලාවක් ලෙස පල වූ එය, අද දවස දක්වාමත්, 1848 විප්ලවය පිලිබඳ අනගිතම වාර්තාවන්ගෙන් එකක් ලෙස පවතී.

එම කෘතිය තුල එංගල්ස් ෆ්‍රෑන්ක්ෆර්ට් ජාතික මන්ත්‍රන සභාව පිලිබඳව නිකුත් කල හෙලාදැකීම එවක් පටන් ඉදිරියට දිගින් දිගටම ජර්මානු "ප්‍රජාතන්ත්‍රවාදී" සුලු ධනේශ්වරය විසින් තහවුරු කරනු ලැබ ඇත: "මහලු ස්ත්‍රීන්ගේ සභාවක් වැනි මෙය, ජර්මානු ආන්ඩුවේ සියලු ප්‍රතිගාමී යටි සූත්තර එක් කොට සැලකුවත් ඒ හැමට වඩා බියපත් ව සිටියේ, කෙතරම් අල්පතර වශයෙන් හෝ වේවා ජනප්‍රිය මහජන ව්‍යාපාරයන් කෙරෙහිය." [8]

1850 මාර්තුවේ කොමියුනිස්ට් ලීගයේ මධ්‍යම කාරක සභාව අමතා කල දේශන තුල මාක්ස් හා එංගල්ස් 1848 විප්ලවයේ දේශපාලන පාඩම් පිඬු කොට ඉදිරිපත් කලෝය. මෙම සම්පින්ඩනය පසු කලෙක ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය කෙරේ ප්‍රගාඪ බලපෑමක් ඇති කිරීමට නියමිත විය. කම්කරු පන්තිය සුලු ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන් කෙරෙන් මුලුමනින්ම දේශපාලනිකව ස්වාධීන විය යුතුයැයි ඔවුහු බල කර සිටියෝය:

සමස්ත සමාජය විප්ලවවාදී නිර්ධන පන්තියේ උත්සුකයන්ට සරිලන පරිද්දෙන් පරිවර්තනය කිරීමට අවශ්‍ය වනු වෙනුවට, ඊට බෙහෙවින් වෙනස් වන පරිදි, ප්‍රජාතන්ත්‍රවාදී සුලු ධනේශ්වරය ප්‍රාර්ථනා කරන්නේ, පවතින සමාජ කොන්දේසි හැකිතාක් දුරට තමන්ට ඉවසා දරා ගත හැකි පමනින් හා තමන්ට සුවපහසු වන ආකාරයට පත් කර ගැනෙන තාක් දුරට සමාජය වෙනස් කර ගැනීම සඳහා ය. .. තමන්ගේම පන්ති උත්සුකයන් පිලිබඳව තමාට දැනුම්දීම මඟින් ද, හැකිතාක් ඉක්මනින් තම ස්වාධීන දේශපාලන ආස්ථානය අත්පත් කර ගැනීම මඟින් ද, නිර්ධන පන්තියේ ස්වාධීනව සංවිධානය වූ පක්ෂයක අත්‍යවශ්‍යතාව පිලිබඳව මොහොතක හෝ සැකයක් ඇති කෙරෙන පරිද්දෙන් ප්‍රජාතන්ත්‍රවාදී සුලු ධනේශ්වරයේ කුහක හෑලි මඟින් තමන් නොමඟ යැවීමට ඉඩ නොතැබීම මඟින් ද [කම්කරුවෝ] තමාගේ [ම] අවසාන විජයග්‍රහනයට අතිශයින් දායක විය යුත්තාහ. ඔවුන්ගේ රන ඝෝෂාව විය යුත්තේ: නොනවතින විප්ලවයයි. [9]

 ලන්ඩන් සහ මැන්චෙස්ටර්

NRZ පුවත්පත තහනමට ලක්වීමෙන් පසු මාක්ස් හා ඔහුගේ පවුල ලන්ඩනයේ පිටුවාහල් ජීවිතයක් ඇරැඹුහ. එංගල්ස්, ඉදිරියට එමින් සිටි පෘසියානු හමුදාව සමඟ සටන් වැදී හුන් බේඩ්න්හි විප්ලවවාදී බලවේග සමඟ එක් වූයේය. එහිදී ඔහු - පසුකලෙක ඇමරිකානු සිවිල් යුද්ධයේ යුනියන් හමුදාවල පැත්තේ ජනරාල්වරයෙකු ලෙස සේවය කල - ඕගස්ට් විලිච්ගේ සහායකයෙකු ලෙස සටන් තුනකට සහභාගී වූයේය. ඉනික්බිතිව ඔහු ස්විට්සර්ලන්තය, සහ ඉතාලිය හරහා ලන්ඩනයට ද ගියේය.

පිටුවාහලේ ගත කල ප්‍රථම දශකය තුල ආධිපත්‍යය දැරූයේ බරපතල මුදල් දුෂ්කරතාවයන් ය. විප්ලවය පාවා දී තුබූ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සාමදානයකට එලැඹීමට මාක්ස් හා එංගල්ස් සූදානම් ව නොසිටි අතර, ලන්ඩන් පිටුවාහලේ සිටි ඔවුන් වීරයන් ලෙස සලකන ලදී. එංගල්ස් සිය පියාගේ මැන්චෙස්ටර් කම්හලේ ව්‍යාපාර ලිපිකරුවෙකු ලෙස වූ සිය රැකියාව කරා පෙරලා පැමිනියේ ස්වකීය ජීවිතය පවත්වා ගෙන යාම සඳහා මුදල් සම්පාදනය කර ගැනීම මෙන්ම මාක්ස්ට ආධාර කිරීම ද සඳහා ය. එමඟින් මාක්ස්ට ප්‍රාග්ධනය (Capital) කෘතිය සඳහා දැරුනු පරිශ්‍රමය කෙරේ සිය අවධානය යොමු කිරීමට අවකාශ සැලසින. මුල දී එංගල්ස්ට ලැබුනේ සුලු වැටුපක් පමනෙකි. එහෙත් පසුව ඔහුට ආයතනයේ කොටස් හිමි විය. 1870 දී තම ආර්ථික තත්ත්වය සුරක්ෂිත කෙරෙන මිලකට තම කොටස් විකුනා දැමීමට ඔහු සමත් වූ අතර, එමඟින් මාක්ස්ගේ පවුලේ අයට ආධාර කිරීමට ඔහුට හැකි විය. මාක්ස්ගේ අභාවයෙන් පසුව පවා එංගල්ස් මාක්ස්ගේ දියනියන්ට දිගටම ආධාරකාරී වූ අතර, ඔහුගේ ධනයේ විශාල කොටසක් ඔවුන්ට උරුම විය.

මාක්ස් හා එංගල්ස් (පසුබිමේ) 1872 පලමුවැනි ජාත්‍යන්තරයේ හේග් සම්මේලනයේ දී

අවුරුදු 20ක් පුරා ම පාහේ මාක්ස් හා එංගල්ස් ජීවත් වූයේ වෙනස් පුරවරයන් හි ය. එහෙත් ඔවුහු දිනපතාම පාහේ ලිපි මඟින් සිය අදහස් හුවමාරු කර ගත්හ. ඔවුන්ගේ තීව්‍රතර න්‍යායික හා දේශපාලනික සහයෝගීත්වය අඛන්ඩව පවත්වා ගෙන ගියේ එකී ලිපි මඟිනි. මාක්ස් ඔහුගේ අග්‍ර කෘතිය වූ කැපිටාලය (ප්‍රාග් ධනය) කෙටුම්පත් කලේ එංගල්ස් සමඟ සමීප සහයෝගයකිනි. එංගල්ස්ගේ විශාරද දැනුම නිසා ඔහුගේ උපදෙස් ඊට නිරතුරුව ලබා ගැනින. සිය මිතුරාගේ අසීමිත මිත්‍රත්වය හා ආධාර නොවන්නට සිය ලෝක ඓතිහාසික කර්තව්‍යය කිසිදා හෝ සම්පූර්න කිරීමට මාක්ස්ට නොහැකි වනු ඇත.

ප්‍රාග්ධනය කෘතියේ ප්‍රථම වෙලුම 1867 දී එලි දැක්වින. 1883 දී මාක්ස් අභාවප්‍රාප්ත වන විටත් දෙවැනි හා තුන්වැනි වෙලුම් අසම්පූර්න ව පැවතින. ඒවා සම්පූර්න කිරීමේ හා පල කිරීමේ වගකීම එංගල්ස් තම උර මතට ගත්තේය. ඔහු කෙතෙක් සියුම් අවධානයකින් හා ප්‍රවේශමකින් මේ කාර්යයේ නියැලුනි ද යන්න ට්‍රොට්ස්කි මෙසේ විස්තර කොට ඇත:

එංගල්ස් දාස් කැපිටාලයේ දෙවැනි හා තුන්වැනි වෙලුම් හුදු විකේතනය කොට, ඔප් නංවා, අනුපිටපත් කර, ශෝධනය කර, විවරනය කලා පමනක් නොවේ; ඔහු මාක්ස් පිලිබඳ මතකය සතුරු ප්‍රහාරවලට එරෙහිව රැක ගැනීම් වස් උකුසු ඇසින් යුතු පරීක්ෂාකාරීත්වයක් ද පවත්වා ගෙන ගියේය. [10]

එමෙන්ම මාක්ස් හා එංගල්ස් ඔවුන්ගේ තත්කාලීන ලෝක දේශපාලන සිදුවීම් - ඇමරිකානු සිවිල් යුද්ධය, ක්‍රිමියානු යුද්ධය, 1863 පෝලන්තයේ නැඟිටීම හා තවත් අනෙකුත් වර්ධනයන් - පිලිබඳව, තීව්‍ර හා ඇතැම්විට විවාදාත්මක සාකච්ඡාවක් පවත්වා ගෙන ගියෝය. මෙකී විෂයයන් සම්බන්ධයෙන් ඔවුහු ජාත්‍යන්තර ප්‍රකාශනවලට ලියූහ. ඇතැම්විට එංගල්ස් මාක්ස් මෙම කටයුත්තෙන් මුදා හැර තමන් ලිපි සම්පාදනය කල අතර ඒවා මාක්ස්ගේ නමින් පල විය.

තතු වලින් අවසර ලැබුනු වහා ඔවුහු යලිත් දේශපාලනිකව සක්‍රිය වූහ. 1850 ගනන්වල ප්‍රතිගාමී කාල පරිච්ඡේදයෙන් පසු 1860 ගනන්වල ආරම්භයේ සිට කම්කරු ව්‍යාපාරය ශක්තිමත් ලෙස වර්ධනය වන්නට විය. 1864 දී පලමුවැනි ජාත්‍යන්තරය - ජාත්‍යන්තර කම්කරු සංගමය - මාක්ස්ගේ සාරභූත මාර්ගෝපදේශකත්වයෙන් යුතුව ආරම්භ කෙරින. එය කම්කරු ව්‍යාපාරය ඒකාබද්ධ, සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ගොඩනැඟීමේ ප්‍රථම ප්‍රයත්නය වූ අතර, මාක්ස්ගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් එමඟින් ඉල්ලා සිටින ලදී.

මැන්චෙස්ටර්හි දී, තම වෘත්තීය, පත්‍රකලාවේදී හා දේශපාලන කටයුතු වලට වැය වූ කාලය කෙතෙක් වුව, එංගල්ස් සිය අධ්‍යාපනය දිගටම කර ගෙන යාමට ද කාලය සොයා ගත්තේය. භාෂා පිලිබඳ වූ සිය දැනුම විස්තාරනය කිරීමටත් ගැඹුරු කිරීමටත් ඔහු සමත් විය. ධනේශ්වර කව තුල ගරු බුහුමන් ලද යුද විද්‍යාඥයෙකු ලෙස මතු වී ආ ඔහු එ'නිසා "ජනරාල්වරයා" යන පටබැඳි නාමයෙන් හඳුන්වන ලදී. එමෙන්ම ඔහු ස්වභාවික විද්‍යාවන්හි නවතම වර්ධනයන් ද සමීපව අනුයමින් සිටියේය.

මාක්ස්ගේ අභාවයෙන් පසු එංගල්ස්ගේ කාර්යභාරය

1893 ජාත්‍යන්තර සමාජවාදී කම්කරු කොංග්‍රසයට සහභාගී වූ ක්ලේරා සෙට්කින් (වමේ සිට තෙවනියට), ෆ්‍රෙඩ්රික් එංගල්ස්, ජුලී බෙබෙල් සහ ඔගස්ට් බෙබෙල්

1883 මාර්තු 14 වන දින කාල් මාක්ස් අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවයෙන් පසු තවත් වසර 12ක් එංගල්ස් ජීවත් විය. මෙම කාලසීමාව තුල ඔහු කැපිටාල් කෘතියේ දෙවැනි හා තුන්වැනි වෙලුම් සම්පූර්න කලා පමනක් නොව, මාක්ස්වාදයේ ඉදිරි වර්ධනය සඳහා තීරනාත්මක හා නිර්මානාත්මක ප්‍රතිපදානයක් ද සම්පාදනය කලේය. එමතු ද නොව, ශීඝ්‍රයෙන් වැඩී ආ ජාත්‍යන්තර සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ වර්ධනය තුල ප්‍රධාන කාර්යභාරයක් ද ඉටු කලේය.

1870 ගනන් වන විට ද, වඩවඩාත් පිරිහෙමින් පැවැති සෞඛ්‍ය තත්ත්වය මත මාක්ස්ගේ නිර්මානාත්මක ශක්‍යතාවයන් සැලකිය යුතු ලෙස පහල වැටෙමින් පැවැති තතු තුල, න්‍යායික දේශපාලනික හා සංවිධානාත්මක පෙරමුනුවල ඔවුන්ගේ ඒකාබද්ධ කර්තව්‍යයන්හි දී එංගල්ස්ගේ දායකත්වය වර්ධනය විය. ඉදින් ඓතිහාසික භෞතිකවාදී ලෝක දෘෂ්ඨිය නිර්නය කිරීමෙහි ලා මාක්ස් "ප්‍රථම වයලීනය" වැයුවේ නම්, නව බහුජන කම්කරු පන්ති පක්ෂ ගොඩ නැඟීමේ දී එංගල්ස් එකී කාර්යභාරයට උර දුන්නේය. එම කටයුත්ත තමා සමඟ නව අභියෝග රැසක් ද ගෙන ආවේය.

මැන්චෙස්ටර් සිට පෙරලා පැමිනීමෙන් පසු එංගල්ස් ඉක්මනින්ම ජාත්‍යන්තර කම්කරු සංගමයේ මහා මන්ඩලයේ සාමාජිකයෙකු බවට පත් විය. ඔහු බෙල්ජියම, ඉතාලිය හා ස්පාඤ්ඤය සම්බන්ධයෙන් කටයුතු කරන ලේකම්වරයා විය. රුසියානු භාෂාව කථා කිරීමට හැකියාව තුබූ එංගල්ස් හා මාක්ස් යන දෙදෙනාම, රුසියාව පිලිබඳව ද අවධානය යොමු කලෝය.

ජර්මන් - ප්‍රංශ යුද්ධයෙන් හා 1871 පැරිස් කොමියුනය පරාජය වීමෙන් ඉක්බිතිව ජාත්‍යන්තර කම්කරු සංගමය අර්බුදයේ ගිලී ගිය අතර, අවසානයේ එය විසුරුවා හරින ලදී. එහෙත් සමාජවාදී කම්කරුවන්ගේ ව්‍යාපාරය ඉක්මනින්ම යලිත් ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගත්තේය. 1889 ජූලි 14 වන දින, එනම් ප්‍රංශ විප්ලවයේ ශත සංවත්සරය දිනයේ, එංගල්ස්ගේ මූලිකත්වයෙන් යුතුව දෙවැනි ජාත්‍යන්තරය පැරීසියේ දී ආරම්භ කෙරින. රටවල් 20 ක, පක්ෂ හා සංවිධාන 300 ක් පමන එහි නියෝජනය විය. එංගල්ස් විශේෂයෙන්ම නිරතුරුව ඔහුගෙන් උපදෙස් ලද ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීය.

පලමුවැනි ජාත්‍යන්තරය තුල මාක්ස් හා එංගල්ස් විසින් ද, දෙවැනි ජාත්‍යන්තරය තුල එංගල්ස් විසින් ද ඉටු කරන ලද ප්‍රමුඛ කාර්යභාරය ගැන කාල් කෞට්ස්කි මෙසේ විස්තර කරයි:

සෑම රටකම බුද්ධිමත් සමාජවාදී කොටස්, තමන් තීරනාත්මක තත්ත්වයකට පත්ව සිටින බව වැටැහෙන කවර හෝ අවස්ථාවක දී, ලන්ඩනයේ සිටි කෘතහස්තයන් දෙදෙනාගේ උපදෙස් පැතීම අරුමයක් නොවීය. ඒ කිසිදු අවස්ථාවක ඔවුන්ට කනගාටු වන්නට කරුනු නොයෙදින. ඔවුහු නිදහසේ ද, ඍජුව ද, වක්‍රෝක්තියෙන් තොරව ද, එහෙත් ස්වයං ගර්විතභාවයකින් තොරව ද, නොවලහා කථා කලෝය. කිසිදු නිර්ධනයෙකුට, නිර්ධන පන්තිය පිලිබඳ විෂයය බැරෑරුම් දෙයක් වන කවර හෝ කෙනෙකුට, මේ දෙදෙනා කරා ගිය ගමන් නිෂ්ඵල ඒවා වූයේ නැත. යුරෝපයේ ද, ඇමරිකාවේ ද සටන් කරමින් සිටි සමස්ත නිර්ධන පන්තියේ උපදේශකයන් වූයේ මේ දෙදෙනාය. විවිධ භාෂාවලින් ලියැවුනු පුස්තිකා, විවිධ පුවත්පත් ලිපි, හා ගනන් කොට නිම කල නොහැකි තරම් ලියුම් මේ සඳහා සාක්ෂ්‍ය සපයයි. [11]

එංගල්ස් විසින් පවත්වා ගෙන යන ලද ඇදහිය නොහැකි තරම් වූ ලිපි හුවමාරු සංඛ්‍යාව පිලිබඳ යම් මිනුමක් Marx Engels Gesamtausgabe (මාක්ස් එංගල්ස් සම්පූර්න සංස්කරනය) නමින් පල කිරීමට නියමිත, තවමත් කෙරෙමින් පවතින, ඔවුන්ගේ කෘතීන්ගේ සම්පූර්න එකතුව මඟින් ලබා දෙයි. මාක්ස්ගේ හා එංගල්ස්ගේ සමස්ත ලිපි හුවමාරු එකතුව එකක් පිටු 1,300ත් 1,500ත් අතර වූ වෙලුම් 35 ක් පිරවීමට ප්‍රමානවත්ය. දැනට ඉන් 13 ක් මුද්‍රනය කෙරී ඇත. මාක්ස්ගේ අභාවයෙන් පසුව එංගල්ස් කර ගෙන ගිය ලිපි හුවමාරු පමනක් වෙලුම් 10 ක් පුරා පවතී.

ජාත්‍යන්තර දේශපාලන කටයුතු සමඟ මාක්ස්ගේ ශාස්ත්‍රීය ධන නිධානය කලමනාකරනය කිරීමත්, කැපිටාල් කෘතියේ අවසාන වෙලුම් දෙක සම්පූර්න කිරීමත් යන මේ එක එකක් ගත් කල, ඒ සෑම එකකටම මිනිසුන් ගනනාවකගේ ශ්‍රමය අවශ්‍ය වන්නට තිබින. ලෝක සමාජවාදී ව්‍යාපාරයේ න්‍යායික හා දේශපාලනික පදනම ලෙස මාක්ස්වාදයේ විජයග්‍රහනය සුරක්ෂා කල සැලකිය යුතු කෘතීන් ගනනාවක කර්තෘත්වය එංගල්ස් සතු විය. ඒවා විශාල සංඛ්‍යාවන්ගෙන් මුද්‍රනය කරනු ලැබ, භාෂා ගනනාවකට පරිවර්තනය කරනු ලැබ, ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට මාක්ස්වාදය අත පෙවිය හැකි මානයට ගෙන ආවේය.

භාෂාව හැසිරවීමේ ලා එංගල්ස්ට පැවැති බලගතු සමර්ථතාව, සංකීර්න කරුනු වටහා ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔහුට පැවැති හැකියාව, විශ්ව කෝෂයක් බඳු ඔහුගේ දැනුම, බැරෑරුම්තම මාතෘකා සම්බන්ධයෙන් වේවා ඔහු දැක්වීමට සමත් වූ දිදුලන හාසය, නිසා ඔහුගේ කෘතීන් කියැවීම අද දවස දක්වාමත් සතුට දනවන කටයුත්තක්ව පවතී. මෙම කියමන හුදු මාක්ස්වාදී සම්භාව්‍ය කෘතීන්ට පමනක් නොව, ඔහුගේ සමකාලීන ලිපි ලේඛන සම්බන්ධයෙන් ද අදාල වන්නකි. මාක්ස් හැරුනු කොට, මෙම ලේඛනවල දී ඔහු විසින් විදහා දක්වන ලද තීක්ෂනභාවයේ හා දුරදක්නාසුලුභාවයේ මට්ටම හා සම කල හැකි මට්ටමක අයෙකු වී නම් ඒ ලියොන් ට්‍රොට්ස්කි පමනක් වීමට ද ඉඩ ඇත.

උදාහරනයක් ලෙස, 1887 දෙසැම්බරයේ ධනේශ්වර ආර්ථිකය, පෙනී ගිය පරිදි නොනැවැත්විය හැකි උඩුකුරු පරාවර්තයක ඉහලට ඇදෙද්දී හා, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුල ප්‍රථම වරට ප්‍රතිසංස්කරනවාදී මුලාවන් දැනෙන සුලු බලපෑමක් ඇති කරද්දී, එංගල්ස් ලෝක යුද්ධයක් පැතිර යාම පිලිබඳව අපූර්ව නිරවද්‍යතාවයකින් යුතුව පෙර දුටුවේය. යුදවාද-විරෝධී පුස්තිකාවකට ලියූ පෙරවදනේ ඔහු මෙසේ අනතුරු හැඟවීය:

ලෝක යුද්ධයක් - සත්තකින්ම මේ දක්වා සිහිනයෙන් හෝ දැක නැති තරමේ ප්‍රචන්ඩ යුද්ධයක් - හැර, පෘසියාව හා ජර්මනිය අතර අන් කිසිදු යුද්ධයක් තවදුරටත් සිදු විය නොහැකිය. අසූ ලක්ෂයත් සියක් ලක්ෂයත් අතර සංඛ්‍යාවක සොල්දාදුවන් එකිනෙකා මරා දමනු ඇති අතර, එසේ කිරීමේ දී ඔවුන් සමස්ත යුරෝපය කවර කලෙක හෝ කිසියම් වර්ගයක පලගැටි රෑනක් විසින් පාලු කරනු ලැබූ පමනට වඩා වැඩියෙන් වනසා මුඩු කොට දමනු ඇත. තිස් අවුරුදු යුද්ධයේ ව්‍යසනය අවුරුදු තුන හතරකට තෙරපා පිඬු කොට සමස්ත මහාද්වීපය පුරා පතුරුවා හැරෙනු ඇත; දුර්භික්ෂය ද, වසංගත ද පැතිරෙනු ඇත; දෙපසේම හමුදා තුල හා මහජනයා අතර තීව්‍රතර දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිපන් දිරිසුන් බව පැතිර යනු ඇත; අපේ වෙලහෙලඳාම්, කර්මාන්ත හා නය පිලිබඳ කෘත්‍රිම යාන්ත්‍රනයේ අපේක්ෂා විරහිත ව්‍යාකූලතාව සාකල්‍ය බංකොලොත්භාවයෙන් අවසාන වනු ඇත; රජ කිරුලු දුසිම් ගනනින් පදික වේදිකා මත පෙරැලී යත්දී ඒවා අසුලා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තාක් දුරකට පැරැනි රාජ්‍ය හා ඒවායේ සාම්ප්‍රදායික රාජ්‍යපාලන ඥානය බිඳ වැටෙනු ඇත; මේ සියල්ල කෙසේ අවසන් වනු ඇත්ද, හා අරගලයෙන් කවරෙකු විජයග්‍රාහකයා වනු ඇත්ද යන්න කල් තබා දැන ගැනීම ඒකාන්ත ලෙසම නොකල හැක්කක් වනු ඇත; එකම ප්‍රතිඵලයක් පමනක් ඒකාන්ත ලෙස නිසැක වනු ඇත: එනම්, පොදු හෙම්බත් වීම හා කම්කරු පන්තියේ අත්‍යන්ත ජයග්‍රහනයට කොන්දේසි තහවුරු වීමයි. [12]

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංවිධානාත්මක සාර්ථකත්වයන් හමුවේ එංගල්ස් ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ ප්‍රතිසංස්කරනවාදියෙකු බවට පරිවර්තනය වී සිටියේයැයි යන කියාපෑම කෙතරම් අභූතරූපී එකක්දැයි පැහැදිලි කර ගැනීමට මෙම පේලි කිහිපය පමනක් වුව සෑහේ.

මාක්ස් ජීවත්ව සිටිය දී - ඔහු සමඟ සමීප සහයෝගයකින් කටයුතු කරමින් - එංගල්ස් මූලික න්‍යායික ලේඛන මාලාවක් පල කලේය. ඒවා විසින් ඔවුන් සහබද්ධව නිර්නය කල ලෝක දෘෂ්ඨිය ක්‍රමවත් හා සංගත ආකාරයකින් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී, ඒවා වැඩි දුර වර්ධනය කිරීම ද සිදු කෙරින. විශේෂයෙන්ම 19 වන සියවස තුල අතිමහත් අභිවෘද්ධියකට පාත්‍ර වූ ස්වභාවික විද්‍යාවන් පිලිබඳව එංගල්ස්ට පැවැති විස්තීර්න දැනුම මෙහි ලා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය. ස්වභාවික විද්‍යාවන්හි නවතම වර්ධනයන් නිරන්තරයෙන් සැලකිල්ලට භාජනය නොකරන තාක් දුරට භෞතිකවාදී දර්ශනවාදයකට තමා ම ආරක්ෂා කර ගැනීමට සහ වැඩි වර්ධනයක් අත්පත් කර ගැනීමට නොහැකි බව, ඔහුගෙන් පසුව පැමිනි ලෙනින් මෙන්ම, එංගල්ස් ද වටහා ගෙන සිටියේය.

හර් ඉයුජින් ඩූරිංගේ විද්‍යාවේ විප්ලවය (Revolution in Science) 1877 හා 1878 අතර ප්‍රකාශයට පත් විය. මුලින්ම එය පල වූයේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කේන්ද්‍රීය ප්‍රකාශනය වූ ෆොර්වෙයාර්ට්ස්හි ලිපි මාලාවක් ලෙස ය. පලමුව න්‍යායික ප්‍රතිරූපකයන්ට එරෙහිව ද, ඉනික්බිතිව වර්ගවාදී යුදෙව්වාද-විරෝධයේ ප්‍රාරම්භකයා වූ, අත්‍යන්ත සත්‍යයන්ගේ "පද්ධතියක්" පිලිබඳ සිය නිවේදනය මඟින් එස්පීඩීය තුල මහත් කලබැගෑනියක් නිර්මානය කල ඉයුජින් ඩූරිංට එරෙහිව ද ලියැවුනු ඇන්ටි ඩූරිං (ඩූරිං විරෝධය) ඉක්මනින් ම, දර්ශනවාදය, ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාවන් තුල මාක්ස්වාදී ආස්ථානයන් පිලිබඳ පුලුල් විස්තාරනයක් බවට වර්ධනය විය. එංගල්ස් මෙසේ ලිවීය: "මගේ නිශේධනීය විචාරය සාධනීය විචාරයක් බවට පත් විය. විවාදය අපෝහකවාදී විධික්‍රමය පිලිබඳව ද, මාක්ස් හා මා විසින් පෙනී සිටිනු, ප්‍රවර්ධනය කරනු හා ආරක්ෂා කරනු ලැබුවා වූ කොමියුනිස්ට් ලෝක දෘෂ්ඨිය පිලිබඳව ද වන අඩු වැඩි වශයෙන් අන්තර් සම්බන්ධිත විවරනයක් බවට - සෑහෙන පෘථුල විෂය පරාසයක් අලලා කෙරෙන විවරනයක් බවට - පරිවර්තනය විය." [13]

ස්වභාව ධර්මයේ අපෝහකය පිලිබඳ සහ, එංගල්ස් සිය අනාගත කටයුතු තුල තවත් ගැඹුරු කිරීමට නියමිත වූ අපෝහක භෞතිකවාදය පිලිබඳ සමස්ත දෘෂ්ඨි පථය ඉදිරිපත් කරන ඇන්ටි ඩූරිං සුපුෂ්පිත වූයේ මාක්ස්ගේ සමීපතම සහකරනය ද සහිතව ය. "මම මුද්‍රනයට පෙර සමස්ත අත් පිටපත ඔහුට කියැවීමි. තව ද, එහි ආර්ථික විද්‍යාව සම්බන්ධ කොටස වන දස වන පරිච්ඡේදය (“From Kritische Geschichte”) ලියන ලද්දේ මාක්ස් විසිනි," ලෙස එංගල්ස් සටහන් කරයි. [14] ඒ අනුව, ඇන්ටි ඩූරිං කෘතිය මාක්ස්ගේ දෘෂ්ඨියේ "ඉන්ද්‍රියානුභූතවාදී" අපව්‍යවහාරයක් නියෝජනය කරතැයි යන පසුකාලීන චෝදනා හිස් අහසෙන් මවා පෙන්වූ ඇස් බැන්දුම් බැව් පෙනී යයි.

ඇන්ටි ඩූරිංහි පදනම මත එංගල්ස්, සමාජවාදය පිලිබඳ හැඳින්වීමක් වූ, 'සමාජවාදය: මනෝරාජික හා විද්‍යාත්මක' යන කෘතිය ප්‍රකාශයට පත් කලේය. මාක්ස් පෙරවදනක් ලියූ එම කෘතියේ ගනන් කොට නිමකල නොහැකි තරම් සංස්කරන, භාෂා විශාල සංඛ්‍යාවකින් පල කෙරී ඇත.

ස්වභාව ධර්මයේ අපෝහකය නම් අසම්පූර්න හා එංගල්ස්ගේ අභාවයෙන් පසුව පමනක් එලි දැක්වුනු කෘතියේ ප්‍රධාන පරිච්ඡේද ද 1870 ගනන් වන විටත් වර්ධනය කෙරී තිබින. අපෝහකය යනු චින්තනයට පමනක් සීමා වූවක් නොවන බව එංගල්ස් සවිස්තරාත්මකව විදහා දැක්වීය. ස්වභාව ධර්මය යනු, "අපෝහකයේ සාධනයයැ"යි ඔහු ලිවීය. අපෝහකය "දේවල් හා ඒවායේ නියෝජනයන් වන චෛතසිකයන් ඒවායේ සාරභූත සම්බන්ධය, අනුක්‍රමය, චලනය, ප්‍රභවය හා අවසානය තුල ග්‍රහනය කරයි." ඔහු වැඩිදුරටත් මෙසේ ලිවීය: "නවීන ස්වභාව විද්‍යාව, දෛනිකව වැඩි වෙමින් පවතින ඉතා සාරවත් කරුනු රාශියකින් මෙම සාධනය සපුරා ඇති අතර එමඟින්, අවසාන විග්‍රහයේ දී, ස්වභාව ධර්මය පාරභෞතික ලෙස නොව, අපෝහකව ක්‍රියා කරන බව පෙන්වා දී ඇත." [15]

මාක්ස්ගේ අභාවයෙන් පසුව එංගල්ස් ඔවුන්ගේ පොදු ලෝක දෘෂ්ඨිය න්‍යායිකව ගැඹුරු කරන වැදගත් කෘතීන් මාලාවක් ප්‍රකාශයට පත් කලේය. ඉහත සංස්කෘතික අවධීන්හි දී රාජ්‍යයේ, දේපලවල හා පවුලේ කාර්යභාරය අනුරේඛනය කිරීමෙහි ලා ආසන්න කාලයේ සිදු කෙරුනු පර්යේෂන වලින් පෝෂනය ලද හා එමඟින් ඒවා ඓතිහාසික ලෙස සාපේක්ෂනය කල 'පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යයේ සම්භවය', 1884 දී පල කෙරින. මෙම කෘතිය, ඔක්තෝබර් විප්ලවය අද්දර දී ලෙනින් විසින් රචනා කෙරුනු රජය සහ විප්ලවය කෘතිය කෙරේ ප්‍රගාඪ බලපෑමක් ඇති කොට තිබින.

ලුඩ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මන් දර්ශනවාදයේ අවසානය (1888) යනු දර්ශනවාදයේ ඉතිහාසය පිලිබඳ විචක්ෂන සම්පින්ඩනයකි. එම කෘතිය තුල සිදු කෙරෙන පරිදි දර්ශනවාදීන් මහා කඳවුරු දෙකකට - එනම්, "ස්වභාව ධර්මයට වඩා චෛතන්‍යය ප්‍රාථමිකයැයි ප්‍රකාශ කරන, හා එබැවින්, අවසාන විග්‍රහයේ දී ලෝකය මැවීම ඒ හෝ මේ ආකාරයෙන් උපකල්පනය කරන" විඥානවාදීන් ලෙස ද, "ස්වභාව ධර්මය ප්‍රාථමිකයැයි පිලිගන්නා" භෞතිකවාදීන් ලෙස ද - වෙන් කරනු ලැබීම, අද දක්වාමත් වෙනස් දර්ශනවාදී ගුරුකුල වටහා ගැනීමේ හා වර්ගීකරනයේ යතුර ලෙස පවතියි.

මෙකී මූලික න්‍යායික කර්තව්‍යයන් අතරතුර ම, එංගල්ස් මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව (මාක්ස් හා නියු රෙයිනිෂ් සේ(z)තුං, කොමියුනිස්ට් ලීගයේ ඉතිහාසය ගැන) ද, ලුහුඬු චරිත කථාමය සටහන් (ජෝර්ජ් වීර්ත් කවියා ගැන හා කම්කරු නායක ජොහාන් පිලිප් බෙකර් ගැන) ද, මාක්ස්වාදී ලේඛනවල නව සංස්කරනයන්ට වැදගත් පෙරවදන් ද, තත්කාලීන දේශපාලන කරුනු පිලිබඳ ප්‍රකාශන ද වශයෙන් වූ කෘතීන් ගනනාවක කර්තෘත්වය දැරීය.

එංගල්ස් සිය 74 වන වියේ දී, 1895 අගෝස්තු 5 වන දින ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත විය.

එංගල්ස් මාක්ස්ට එරෙහිව පිහිටුවීමේ ප්‍රයත්නය

එංගල්ස් 1891 දී

මාක්ස් හා එංගල්ස්, මාක්ස්ගේ දියනි එලිනෝර්ගේ වචනවලින් කිවහොත්, "කෙතරම් සමීප සහචරයන්ව සිටියෝ ද යත්, ඔවුන් වෙන් කර සැලකිය නොහැකිය" යන පිලිගැනීම නිසැක කරුනක් ලෙස දීර්ඝ කාලයක් පුරා පැවතියේය. එහෙත් මේ දෙදෙනා වෙන් කිරීමට පසුගිය දශක හය පුරා ශාස්ත්‍රාලික කව අතර එකිනෙකා පරයා යන තරඟයක් වර්ධනය වී ඇත.

මේ සියලු ප්‍රයත්නවල දී නැඟෙන පොදු චෝදනාවක් වන්නේ මාක්ස් "ඉන්ද්‍රියානුභූතවාදී ග්‍රාම්‍යකරනය"කට ලක් කිරීම සම්බන්ධයෙන් එංගල්ස් වරදකරුවෙකු වන බවයි. මාක්ස්වාදය භෞතිකවාදය සමඟ අනන්‍ය කිරීම මඟින් ඔහු, මාක්ස්ගේ මුල්කාලීන ලේඛන තුල ඉදිරිපත් කොට තුබුනු දාර්ශනික මානවවාදයට එරෙහි මාවතකට මාක්ස්වාදය හැරැවීයැයි එමඟින් කියනු ලැබීය. තවත් චෝදනාවක් වූයේ, මාක්ස් සම්බන්ධයෙන් ගත් කල සමාජ භාවිතය හා මානව චින්තනය අතර අන්තර්ක්‍රියාකාරිත්වය තුල පමනක් අපෝහකවාදය ප්‍රකට කෙරුනු අතර එංගල්ස් සාවද්‍ය ලෙස ද්‍රව්‍ය සහ ස්වභාව ධර්මය තුල අපෝහකය රෝපනය කල බවයි.

මෙම කියාපෑම් පහසුවෙන්ම ඛන්ඩනය කල හැක. මාක්ස් හා එංගල්ස්ගේ ජීවිත කාලයක් පුරා පැවැති සහයෝගීත්වය මෙන්ම, අප විසින් පෙන්වා දී ඇති පරිදි, එංගල්ස් ස්වභාව ධර්මයේ හා භෞතිකවාදයේ අපෝහකය පිලිබඳ සිය අවබෝධය වර්ධනය කලේ මාක්ස් සමඟ සමීප සමුපදේශයෙන්ය යන කරුන ද විසින් ඒවා විඛන්ඩනය කෙරේ. කෙසේ වෙතත්, එංගල්ස්ගේ විරුද්ධවාදීහු ඓතිහාසික කරුනු පිලිබඳ තැකීමක් නොකරති. එංගල්ස්ට හා භෞතිකවාදයට එල්ල කරන ප්‍රහාරය වූ කලී "මාක්ස්වාදය" කම්කරු පන්තියෙන් ද, ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැඟීමේ කර්තව්‍යයෙන් ද වෙන් කිරීම සඳහා දැරෙන ප්‍රයත්නයකි.

ජෝර්ජ් ලුකැක්ස් හා කාල් කෝර්ෂ් 1920 ගනන් තරම් ඉහත කාලයක එවැනි මත ඉදිරිපත් කලෝය. ඉනික්බිති ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය එම මත ඒවායේ ආන්තික සීමාවන් කරාම තල්ලු කර ගෙන ගියෝය. මැක්ස් හෝකෙයිමර් හා තියඩෝර් ඇඩෝනෝ සිය ප්‍රධාන කෘතිය වන ආලෝකනයේ අපෝහකය (Dialectic of Enlightenment) තුල සමාජය පිලිබඳ ඓතිහාසික භෞතිකවාදී අවබෝධය ද, ඒ සමඟම කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ද, සුවිශේෂී ලෙස ම ප්‍රතික්ෂේප කලෝය.

නිෂ්පාදන බලවේගවල වර්ධනය සමාජ විප්ලවයේ යුගයකට මුල පිරීමක් හෝ, සමාජයේ වඩාත් උසස් ආකෘතියක් සඳහා පදනම් හැඩ ගැස්වීමක් හෝ සඳහා ප්‍රාරම්භකත්වය ලබා නොදෙන බව ඔවුහු පල කලෝය. ඒ වෙනුවට එමඟින් පාර කැපෙන්නේ මහජනයා මොට කර දැමීමකට, සංස්කෘතික පරිහානියකට හා අවසාන වශයෙන් සමාජය ම්ලේච්ඡත්වය කරා ආපසු ඇද වැටීමකටය.

ඔවුහු මෙසේ ලිවූහ: "නොවැලැක්විය හැකි වර්ධනයේ සාපය වන්නේ නොවැලැක්විය හැකි අවපාතයයි. ... කම්කරුවන්ට බලයක් නොමැති වීම හුදු පාලකයන්ගේ කූටෝපායයක් නොවේ. එය කාර්මික සමාජයේ තාර්කික ප්‍රතිවිපාකයකි. .." [16]

ඩේවිඩ් නෝර්ත් ලියූ පරිදි, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ "ප්‍රයත්නය වූයේ මාක්ස්වාදය, නිර්ධන පන්තියේ න්‍යායික හා දේශපාලනික අවිය ලෙස පැවතීමේ - හෝකෙයිමර්, ඇඩෝනෝ හා මාක්‍යුස් විසින් ප්‍රතික්ෂේපිත - තතුවල සිට, මධ්‍යම පාන්තික කොටස්වල දේශපාලනික අසාර දර්ශනය, සමාජ පරත්වාරෝපනය, සහ පෞද්ගලික හා මානසික ඉච්ඡාභංගයන්ට ප්‍රකාශයක් ලබා දෙන්නා වූ සංස්කෘතිකමය විචාරයේ - සමාජයීය වශයෙන් අනියතාකාර වූ - තතුවලට පරිවර්තනය කිරීමයි." [17]

1960 ගනන්වල ලොව පුරා කම්කරු පන්තිය හා තරුනයන් රැඩිකලීකරනය වත්ම, එංගල්ස්ට එරෙහි ප්‍රහාර තීව්‍ර විය. 1961 දී ජෝර්ජ් ලිචෙම් මාක්ස්වාදය: ඓතිහාසික හා විචාරාත්මක අධ්‍යයනයක් නම් සිය බලපෑමක් ඇති කල කෘතිය ප්‍රසිද්ධියට පත් කලේය. එමඟින් එංගල්ස් නිරූපනය කෙරුනේ, මාක්ස් සිය 1843 හා 1848 අතර ලේඛන තුල "පැවැත්මේ හා සාරයේ, යථාර්ථයේ හා 'පරත්වාරෝපනයේ' සංකීර්න අපෝහකය වර්ධනය කර තුබූ තතු තුල, ඒක-මාන නියතිවාදියෙකු හා ඉන්ද්‍රියානුභූතවාදියෙකු වශයෙන් සිටියෙකු ලෙසට ය." [18]

එක් වසරක ඇවෑමෙන්, ඇඩෝනෝගේ සහ ජර්ගන් හබර්මාස්ගේ ශිෂ්‍යයෙකු වූ ඇල්ෆ්‍රඩ් ෂ්මිට් විසින්, ඊට සමරූපී තේමාවක් ඉදිරිපත් කල, 'මාක්ස්ගේ උගැන්වීම් තුල ස්වභාවධර්මය පිලිබඳ සංකල්පය' නම් කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. තරුන විරෝධතා ව්‍යාපාර කම්කරු පන්තියෙන් වෙන් කිරීමෙහි ලා මෙම මාක්ස්වාද-විරෝධී විවාදාපන්න ලේඛන වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. ඊලඟට එලැඹි වසරවල දී මෙකී ආස්ථානවලට "වාම" ශාස්ත්‍රාලීය කව තුල ඉහල බලයක් හිමි වූ අතර, ඒවා පශ්චාත් නූතනවාදයේ අවිචාරී සංකල්ප සමඟ සංයෝග විය.

එංගල්ස්ගෙන් පටන් ගෙන කෞට්ස්කි, ප්ලෙකනොව් හා ලෙනින් හරහා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී ආඥාදායකත්වය කරා ඍජු රේඛාවක් වැටී ඇතැයි ලිචෙම් කියා සිටියේය. මේ සියල්ලන්ටම, ඔවුන් අතර වෙනස්කම් නොතකා, "විශ්වීය 'විද්‍යාවක්' ලෙස අපෝහක භෞතිකවාදය පිලිබඳව පොදු විශ්වාසයක් පැවතින." "සෝවියට් මාක්ස්වාදී මන්දිරයේ කොන් ගල වූයේ එම විශ්වාසයයි." [19]

මෙම තර්කයේ අභූතරූපතාව පැහැදිලිව පෙනී යන්නකි. පලමුව, ස්ටැලින්වාදී ආඥාදායකත්වය මාක්ස්වාදය මත නොව, 1937-38 මහා භීෂනය තුල කුලු ගැන්වුනු මර්දනය හා විප්ලවවාදී මාක්ස්වාදීන් දසදහස් ගනනින් ඝාතනය කිරීම මත පදනම් වූවකි. දෙවනුව, 1923 දී ස්ටැලින්වාදය නිවැරැදි ලෙස තක්සේරු කොට එහි වර්ධනය පෙර දැකීමට සමත් වූ එකම කන්ඩායම වූයේ ට්‍රොට්ස්කිවාදී වාම විපක්ෂයයි. තෙවනුව, ආර්ථික විද්‍යා ක්ෂේත්‍රය තුල මෙන් ම දෘෂ්ඨිවාදයේ ක්ෂේත්‍රය තුල ද ස්ටැලින්වාදයේ පැවැත්ම හුදෙක්ම පරපුටු එකක් විය.

ස්ටැලින්වාදී නිලධරය යනු, ට්‍රොට්ස්කි නැවත නැවතත් අවධාරනය කල පරිදි, පන්තියක් නොවීය. කම්කරු රාජ්‍යය තුල බලය උදුරා ගත් එය ඔක්තෝබර් විප්ලවය විසින් නිර්මානය කරන ලද දේපල සබඳතා මත යැපින. මාක්ස්වාදී දෘෂ්ඨිය සම්බන්ධයෙන් ද මෙය මෙපරිද්දෙන් ම සත්‍යය. පාලකයන් මාක්ස්ගේ හා එංගල්ස්ගේ පිලි රූ ඉදි කල පමනින්, මාවත් හා නගර ඔවුන් නමින් නම් කල පමනින්, ඔවුන්ගේ පොත් පල කල පමනින්, අපෝහක භෞතිකවාදය අනිවාර්ය පාසල් විෂයයක් කල පමනින් ඔවුන් මාක්ස්වාදය මත තමන් පදනම් කොට ගෙන සිටින බවක් අදහස් නොවේ. එමඟින් පෙන්නුම් කෙරෙන්නේ, ඒකාධිපතිවාදී රාජ්‍ය මෙවලමක් ඒ පසුපස සිටින විට, වඩාත්ම විප්ලවවාදී න්‍යාය පවා නොනිසි ලෙස පරිහරනය කල හැකි බවයි. මාක්ස්ගේ හා එංගල්ස්ගේ ලේඛන මත පදනම් ව ස්ටැලින්වාදී තන්ත්‍රය විවේචනය කිරීමට නොපැකිලුනු කිසියම් අයෙකු වේද, ඔවුහු රහස් පොලිසිය හා රාජ්‍ය චෝදකයන් විසින් ලුහුබඳිනු ලැබූහ. අවසානයේ ඔවුන්ට නැවතීමට සිදු වූයේ සිර මැදිරියක, ශ්‍රම කඳවුරක හෝ වෙඩි තබා මරා දමන හමුදා කන්ඩායමක තුවක්කු ඉදිරියේය.

එංගල්ස්ට හා ඓතිහාසික භෞතිකවාදයට එරෙහි ප්‍රහාරය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව ද දිගටම සිදු විය. මාක්ස්ගෙන් පසු මාක්ස්වාදය යන 2002 පොත මඟින් එංගල්ස්ට එරෙහි ප්‍රහාරවලට යලි පන දීමට යත්න දැරූ එහි ලේඛක, දර්ශනවාදය පිලිබඳ මහාචාර්ය ටොම් රොක්මෝර්ගේ කියාපෑම් පිලිබඳ සවිස්තරාමක ප්‍රතික්ෂේප කිරීමක් ඩේවිඩ් නෝර්ත් සිය "හේගල්, මාක්ස්, එංගල්ස්, හා මාක්ස්වාදයේ සම්භවය" නම් ලිපිය තුල ඉදිරිපත් කොට ඇත. නෝර්ත් මෙසේ ලිවීය:

රොක්මෝර් අධිභාෂනය කරන ඓතිහාසික භෞතිකවාදයෙන්,- එංගල්ස්ගෙන් හා මාක්ස්වාදයෙන් තොර වූ මාක්ස් කෙනෙකු, අවසානයේ සමාජවාදී විප්ලවයෙන් තොර මාක්ස් කෙනෙක් බව පැහැදිලිය. හේ සරලවම සිය ඔලුවෙන් සිට ගෙන සිටින මාක්ස් කෙනෙකු පමනක් නොව මාංචු හා මුකවාඩම් දැමූ "මාක්ස්" කෙනෙකු ද වෙයි. [20]

එංගල්ස්ගේ පෞරුෂත්වය

එංගල්ස්, මාක්ස් සහ ඔහුගේ දියනියෝ

ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ සුවිශේෂී මානව ගුනාංග පිලිබඳ පිරික්සීමකින් තොරව යමෙකුට ඔහු පිලිබඳ ප්‍රත්‍යවලෝකනයක් සමාප්ත කල නොහැකිය. පෞද්ගලික අවංකභාවය, ධෛර්යය හා මානව විමුක්තියේ අරමුන සඳහා පරිශ්‍රම දැරීම සම්බන්ධයෙන් සැලැකිල්ලට ගත් කල, ඔහු ලෝක ඉතිහාසයේ එන උදාරතම චරිත අතර සිටී. ඔහුගේ දයාන්විත බව, ඔහුගේ ආකර්ෂනය, ඔහුගේ විනාශ කල නොහෙන සුබවාදය, ජීවිතයට ඔහුගේ ඇති ප්‍රේමය, හා සිය මිතුරු මාක්ස් කෙරේ වූ ඔහුගේ නොසිඳිය හැකි පක්ෂපාතීත්වය ද ගැන සාක්ෂ්‍ය දැරීමට නිමක් නැති සාක්ෂිකරුවෝ සිටිති. ඒ අතරින් හොඳම එකක් ලියැවුනේ ලියොන් ට්‍රොට්ස්කිගේ පෑනෙනි:

ජනයා සමඟ එංගල්ස්ගේ සම්බන්ධය සියලු භාවානුගතීන් හෝ මායාවන්ට ආගන්තුක එකක් විය. විනිවිද යන සුලු සරල භාවයකින් යුතුව මුලුමනින්ම පාරගමනය වන එකක් විය. එබැවින් ප්‍රගාඪ ලෙස මානුෂික එකක් විය. විවිධ රටවල හා විවිධ මහාද්වීපවල නියෝජිතයන් සන්ධ්‍යා තේ මේසය වටා එක් රැස් වී සිටි ඔහුගේ සමාගමය තුල, හොඳින් ඔප් නැංවූ රැඩිකල් ආදිපාදවරිය - ෂැක් - හා කිසිදු ඔපයකින් තොර රුසියානු නාස්තිවාදිනිය - වේරා ෂසුලිච් - අතර සියලු අසමානකම් ඉන්ද්‍රජාලයකින් මෙන් දූරීභූත වී ගියේය. තම දෘෂ්ඨීන් කෙරෙන් හෝ, තම පුරුදු වලින් පවා අංශුමාත්‍ර වශයෙන් හෝ ඉවත් නොවෙමින් තමා ද, අන්‍යයන් ද ද්වීතීයික වූත් නොගැඹුරු වූත් සියල්ලෙන් ඉහලට එසැවීමේ මෙම ප්‍රීතිමත් ශක්නුතාව තුල සත්කාරකයාගේ පොහොසත් පෞරුෂත්වය තුමූ ම ප්‍රකට වූයේය. [21]

තතු එසේ වුව, ට්‍රොට්ස්කිට අනුව, මානුෂික වූ කිසිවක් එංගල්ස්ට ආගන්තුක නොවීය:

තම කර්තව්‍යයෙන් හා ප්‍රගාඪ සම්බන්ධතාවලින් බැඳුනු මේ මිනිසා තවුසෙකුට දැක්වූ සාම්‍යය අවම එකක් විය. ඔහු ස්වභාව ධර්මයට හා සකලවිධ ආකාරයේ කලාවට පෙම් බැන්දේය; ඔහු බුහුටි හා ප්‍රීතිමත් මිනිසුන්ගේ ඇසුර, කාන්තාවන් අභිමුඛ වීම, විහිලුතහලු, සිනහව, හොඳ රාත්‍රී ආහාරයන්, හොඳ වයින් හා හොඳ දුම්කොල ප්‍රිය කලේය. තම ප්‍රබෝධය නිරතුරුවම නාභියට පහලින් සෙවූ රබෙලයිස්ගේ කොක් හඬ නංවන සිනාවට ද ඇතැම් විට ඔහු අකැමැති වූයේ නැත. [21]

1848 විප්ලවයේ කෘතහස්තයෙකු වූ, කොමියුනිස්ට් ලීගයට එක් වී සිටි, එංගලන්තයේ දී අවුරුදු ගනනාවක් මාක්ස් හා එංගල්ස් සමඟ සමීපව කටයුතු කල, ඕගස්ට් බෙබෙල් සමඟ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ කල විල්හෙල්ම් ලිබ්නෙක්ට් එංගල්ස්ගේ සොහොන අසල දී මෙසේ පැවසීය:

අපූර්ව ලෙස බහුවිධ ගුනාංගයන්ගෙන් සමන්විත වූ ද, ඒ අතරතුර ම මුලුමනින්ම ස්වයං පරිපූර්න වූ ද පෞරුෂයක් ඔහු සතු විය. ඔහු ශ්‍රේෂ්ඨතම දෙය සඳහා සමත්, එමෙන්ම ක්ෂුද්‍රතම දෙය කෙරේ කිසිදු විටෙක නොසැලකිලිමත් නොවන; ශ්‍රේෂ්ඨ හා ක්ෂුද්‍ර දේවල් තුල වූ පෞරුෂයක් විය. පරාර්ථකාමී, සෑම විටෙකම තමා තම අභිප්‍රායයේ අනසක යටතේ පිහිටැවූ, මාක්ස්ගේ අභාවය දක්වාම හා, ඉන් පසුව පවා, තමා තම ශ්‍රේෂ්ඨ මිතුරා වෙනුවෙන් කැප කල ඔහු සෑම විටම සිය කාර්යයෙන් බැඳුනු ජීවිතයක් ගත කලේය. ඔහු තමා සඳහා ඉහලම ප්‍රමිතීන් පනවා ගත්තේය. .. මානුෂීය වූ කිසිවක් ඔහුට ආගන්තුක නොවීය. සෑම විටෙකම හා සෑම තැනෙක දී ම තම බැඳීම් ඉටු කල ඔහු මෘදු හා සන්සුන් අයෙකු විය. - අතිශයම බැරෑරුම් අරගලවලදී පවා ඔහු සන්සුන් විය. [22]

එංගල්ස්ගේ උපතින් දෙසිය වසරකින් පසු අද දින, ඔහුගේ න්‍යායික හා දේශපාලනික උරුමය මීට ඉහත කවර කාලයකටත් වඩා අදාල වී ඇත. මෙකී උරුමය ආරක්ෂා කර ගනිමින් වර්ධනය කොට ඇති හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, බංකොලොත් ධනේශ්වර ක්‍රමයට විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සොයමින් සිටින සියල්ලන් සඳහා ආකර්ෂන ලක්ෂ්‍යයක් බවට පත් වෙමින් පවතී.

සමාප්ත සටහන්:

1 Karl Marx & Frederick Engels, Collected Works [MECW], “Karl Marx’s Funeral,” Volume 24, p. 468.

2 Leon Trotsky on Engels and Kautsky, Mehring Books, 2020, pp. 13–18.

3 Ibid., pp. 9–10.

4 Ibid., p. 8.

5 Vladimir Lenin, Collected Works, “Frederick Engels,” Volume 2, p. 24.

6 MECW, “The German Ideology,” Volume 5, p. 30.

7 Ibid., p. 53–54.

8 MECW, “Revolution and Counter-Revolution in Germany,” Volume 11, p. 40.

9 MECW, “Address of the Central Authority to the League,” Volume 10, pp. 280, 287.

10 Leon Trotsky on Engels and Kautsky, Mehring Books, 2020, pp. 11–12.

11 Karl Kautsky, „Friedrich Engels. Zu seinem siebzigsten Geburtstag“. In: Die Neue Zeit, 9. Jahrg., 1. Bd., 1890/1891 [Karl Kautsky, “Friedrich Engels. On His Seventieth Birthday.” In: Die Neue Zeit (New Times), Ninth Year, First Volume, 1890/1891].

12 MECW, “Introduction [To Sigismund Borkheim’s Pamphlet, In Memory of the German Blood-and-Thunder Patriots. 1806–1807], Volume 26, p. 451.

13 MECW, Anti-Dühring, Preface from 1885, Volume 25, p. 8.

14 Ibid., p. 9.

15 MECW, Socialism: Utopian and Scientific, Volume 24, p. 301.

16 Max Horkheimer & Theodor Adorno, Dialectic of Enlightenment, Stanford University Press, 2002, p. 28.

17 David North, The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left. A Marxist Critique, Mehring Books, 2016, p. 134.

18 George Lichtheim, Marxism: An Historical and Critical Study, New York, 1961, pp. 58–59.

19 Ibid., pp. 234–35.

20 ඩේවිඩ් නෝර්ත්, “ඒ සියල්ලම එංගල්ස්ගේ වැරදි ය: ටොම් රොක්මෝර්ගේ මාක්ස්වාදයෙන් පසු මාක්ස් පිලිබඳ විමර්ශනයක්,”ලිපිය:රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස, කම්කරු මාවත ප්‍රකාශන, 2016, 474 පිටුව. 

21 Leon Trotsky on Engels and Kautsky, Mehring Books, 2020, p. 9.

22 Wilhelm Liebknecht, „Zum Tod von Friedrich Engels“, 10. August 1895 (online) [Wilhelm Liebknecht, “On the Death of Friedrich Engels,” 10 August 1895].

Loading