"කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය":

ඉන්දියානු-විරෝධී වර්ගවාදයක කම්කරුවන් ගිල්වීමේ ව්‍යායාමයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය (ඊසීටී), ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් ඉන්දියානු අදානි සංගතය සමග බද්ධ සමාගමකට පැවරීමට එරෙහිව "නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව", තවත් සංවිධාන ගනනාවක් සමග එක්ව "කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය" නමින් උද්ඝෝෂනයක් දියත් කර ඇත.

කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය සමග ඇල්ලේ ගුනවංශ භික්ෂුව ඇතුලු පුද්ගලයන්

මෙම "ජාතික ව්‍යාපාරය" ට, ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය  සමිති 23 ක් සහ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප ), ලංකා  ගුරු සංගමය, ලංකා  ගුරු සේවා සංගමය, ජාතික භික්ෂු පෙරමුන යනාදී සංවිධාන සහ ඇල්ලේ ගුනවංශ භික්ෂුව ඇතුලු පුද්ගලයන් ගනනාවක් ඒකාබද්ධ වී ඇත.

මේ අතරින් ශ්‍රීලපොපෙ හා  ශ්‍රීලනිප සමිති රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙනඒම සඳහා ඍජුව ක්‍රියාකල සංවිධානයන්ය. ජවිපෙ හා පෙසප ධනපති ක්‍රමය ශුද්ධකර පවත්වාගෙන යාම පිලිවෙත කරගත් ජාතිකවාදී සංවිධානයන්ය. බෞද්ධ අන්තවාදීන්  සමග එක්ව මේ සියලු කොටස් තම සිංහල-බෞද්ධ සම්බන්ධය සහතික කර ඇත.

පසුගිය අගෝස්තුවේදී වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමට පවරමින් පුද්ගලීකරනය ඉදිරියට ගෙනයාමට රාජපක්ෂ ආන්ඩුව දැරූ තැතට එරෙහිව කම්කරුවන් අතරින් පුපුරා ගිය වැඩ වර්ජනය, ඉන්දියානු-විරෝධයක ගිල්වීමට තැත්කරමින් ආන්ඩුව දුන් ව්‍යාජ පොරොන්දු මත පාවා දීමට මෙම සමිති සියල්ල එක්ව ක්‍රියා කලෝය.

ඒ සියල්ලටත් වඩා, වරාය තුල වසංගතය වේගයෙන් පැතිරෙද්දී අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩට කැඳවීම ප්‍ර‍තික්ෂේප කරමින් කම්කරුවන් සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටියදී, වරාය "අත්‍යවශ්‍ය සේවාවක්" බවට පත්කොට ජනාධිපති රාජපක්ෂ නිකුත් කල රුදුරු නියෝගයට මෙම සියලු සමිති සහයෝගය දුන්හ. මෙම "ජාතික ව්‍යාපාරය" ට  අයත් කවර හෝ සංවිධානයක්, යලියලිත් දීර්ඝ කරමින් ඇති එම නියෝගයට එරෙහිව හීන් කෙඳිරිල්ලක් හෝ නගා නොමැත.

මෙම “අත්‍යවශ්‍ය සේවා“ නියෝගයේ ඇඟවුම් කම්කරු පංතියට පැහැදිලි කරමින් එයට එරෙහිව නැගී සිටියේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. "කොවිඩ්-19 සමග සටන් වදින වරාය කම්කරුවන් මර්දනය කිරීමට ලංකාවේ ආන්ඩුව පනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝගයට විරුද්ධ වනු !" යන හිසින්, 2020 නොවැම්බර් 20 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා සසප නිකුත් කල ප්‍ර‍කාශයෙහි  මෙසේ සඳහන් කෙරුනි:

"වරාය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව එල්ල කර ඇති ප්‍රහාරය, සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් මෙන් ම, කොරෝනා වසංගතය දිවයින පුරා පැතිර යද්දී පවා, කම්කරුවන් දිගට ම සේවයේ යෙදිය යුතු බවට බල කරමින් එය ගෙන යන සාපරාධී ප්‍රයත්නයන් තවත් තීව්‍ර කිරීමකි" යි සඳහන් කල එම ප්‍රකාශය ඊට එ‌රෙහිව නැගී සිටින ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේ ය.

මෙම සමිති නඩය දැන් ඊනියා ජාතික ව්‍යාපාරය ගොඩනගා ඇත්තේ, පුද්ගලීකරනයට, නිසි ආරක්ෂාවක් නැතිව වසංගතය මධ්‍යයේ වැඩට බලකිරීමට සහ ජීවන අයිතීන් තලා දැමීමට විරුද්ධව කම්කරුවන් අතර කැකෑරෙන විරුද්ධත්වය ඉන්දියානු-විරෝධී වර්ගවාදී ව්‍යාපාරයක් තුල කොටුකර දියකර හැරීමේ අරමුනෙනි.

පසුගිය ආන්ඩු මෙන්ම සහ වත්මන් රාජපක්ෂ පාලනයද ක්‍රියාත්මක කරන පුද්ගලීකරන වැඩපිලිවෙල යටතේ කොලඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු ආන්ඩුවේ සමීප සහකරුවකු වන අදානි සමාගමට පැවරීම සඳහා කටයුතු සූදානම් කෙරි ඇත. කොලඹ වරායෙන් අපනයනය සහ ප්‍රතිඅපනයනය කරන භාන්ඩ වලින් සියයට 80 ක් පමන ඉන්දියානු නැව්ගත කිරීම් වන බැවින්, ශ්‍රී ලංකාවේ අඩිය ගසා ගැනීම තීරනාත්මක බව ඉන්දියාව සලකයි.

ඉන්දියාව කොලඹ වරාය කෙරෙහි උත්සුක වන්නේ හුදෙක් තම ආර්ථික උවමනාවන් මත පමනක් නොවේ. චීනයට එරෙහි වොෂිංටනයේ මිලිටරි, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික වැඩකටයුතුවල පෙරමුනු රාජ්‍යයක් ලෙස ක්‍රියා කරන ඉන්දියාව, මූලෝපායික වශයෙන් ඉතා වැදගත් කොලඹ වරාය තුල කොටසක් තම අධිකාරීත්වය යටතට ගැනිමේ අවශ්‍යතාවයෙන් පෙලෙයි.  

ඉන්දියානු විදේශ කටයුතු ඇමති එස්.ජයිශංකර් ජනවාරි 10 දින කොලඹට සංචාරය කලේ වරාය මේ සම්බන්ධයෙන් හා අනෙකුත් අංශයන්හි තම ඉල්ලීම් තහවුරු කරගැනීම සඳහා බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය දෙසැම්බර් 18 දින පෙන්වා දුන්නේය.

ජනවාරි 13 දින, ජනාධිපති වෘත්තීය සමිති කැඳවා නැගෙනහිර පර්යන්තය ආන්ඩුව  සියයට 51ක් සහ සියයට 49ක් අදානි ඇතුලු  අනෙක් පාර්ශ්වවලට පවරන බව දැනුම් දුන්නේය.

ජනවාරි 11 දින, ඉහත කී "ජාතික ව්‍යාපාරය" තම ආරම්භක රැස්වීම, කොලඹ, සිත්තම්පලම් ගාඩිනර් මාවතේ, ජේඑම්සී ශාලාවේ පැවැත්වූයේ මේ පසුබිම තුලය. රැස්වීමට සහභාගිවූවන් "නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ප්‍රතිඥාව" නමින් දිවුරුම් දීමක් කල බව ද වාර්තාවේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ "අභිමානවත් පුරවසියෙකු" ලෙස, “නැගෙනහිර පර්යන්තය නම් වූ  ශ්‍රී ලංකා ආර්ථිකයේ මහා ධන උල්පත කිසිදු දේශීය, හෝ විදේශීය සමාගමකට බදුදීම / පැවරීම / ආයෝජනයකිරීම හෝ විකිනීමට" විරුද්ධ බවට එම ප්‍රතිඥාවෙන් සහතික වී ඇත. "ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව නැගෙනහිර පර්යන්තය සුරක්ෂිත කරන බවටත් ඒ උදෙසා සටන් වදින බවටත්" ඔවුන් තවදුරටත් ප්‍රතිඥා දී තිබේ.  

"ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී" යන පචයකින් වසා ඇති ධනපති රාජ්‍යයට ගැටගැසී සිටින බවට ඔවුන් ප්‍රතිඥා දී ඇත්තේ, නැ‌ගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා රාජ්‍යය යටතේ පවත්වාගෙන යන අතර, කම්කරු පන්තියේ වියදමින්  එය ලාභ උත්පාදන ආයතනයක් ලෙස රැක දීමටය.

කොලඹ වරාය, අධිකාරියක් යටතට පත්කිරීමෙන් පසු එහි සුවිසල් ප්‍රමානයක් පුද්ගලීකරනය කිරීම හේතුවෙන් ස්ථීර රැකියා 10000ක් පමන අහෝසි කෙරී ඇති අතර, කොන්ත්‍රාත් පදනම මත සහ අඩුසේවා කොන්දේසි යටතේ මිනිස්බල කම්කරුවන් සේවයේ යොදවා තිබේ. ලාභ ලැබීමේ පදනම මත වරාය අධිකාරිය පවත්වා ගෙන යනු ලබන්නේ කම්කරු පන්තිය දරුනු ලෙස සූරා කමිනි.

නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට හා භූදේශපාලන සැලසුම්වලට ගැටගැසීමට ආන්ඩුව ගන්නා පියවර ඉදිරියේ වරාය කම්කරුවෝ, එම සැලසුම් වලට එරෙහිව සටන් කිරීමේ ශක්‍ය ක්‍රියාමාර්ගයක් වර්ධනය කර ගැනීමේ අභියෝගයට මුහුන දී  සිටිති.

ගෝලීකරනය වූ ධනපති ආර්ථිකය තුල ලාභ ශ්‍රමය සොයා ලොවපුරා හඹායන ප්‍රාග්ධනයට සහ එහි මූලෝපායික සැලසුම් වලට එරෙහි කම්කරු පංතියේ සටන, අනිවාර්යයෙන්ම, ලාභය අරමුනු කරගත් ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සටනකි. එය අධිරාජ්‍යවාදයට එරෙහි මෙන්ම, එහි බත්බැලයන් වන තම රටේ ධනපති පංතියට, ධනපති ආන්ඩුවට සහ ධනපති රාජ්‍යයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටනකි. ඉන්දියානු කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පංතියේ එකමුතුව මේ සඳහා අනිවාර්ය වෙයි.

ඉහත කී "ජාතික ව්‍යාපාරයේ" අරමුන වනුයේ එවන් ක්‍රියාමාර්ගයකින් වරාය කම්කරුවන්  ඇතුලු සමස්ත කම්කරු පංතිය සන්නද්ධකිරීම වලකාලීමයි.

ජනාධිපති සමග සාකච්ඡාවෙන් තම බලාපොරොත්තු ඉටු නොවුන බවත්, අරගලය අඛන්ඩව ගෙන යාමට තීරනය කල බවත් මාධ්‍යයට පැවසූ සමිති ආන්ඩුව සමග ගනුදෙනු ඉදිරියට ගෙන යයි. වරාය කම්කරුවන් ලෝසවෙඅ ට කියා සිටියේ  සමාජිකත්වයේ කවර හෝ අනුදැනීමකින් තොරව වෘත්තීය සමිති නායකයන් මේ සියලු ගනුදෙනුවල යෙදෙන බවයි.

ජවිපෙ ට අයත් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ කියා සිටින්නේ ධනපති “ආන්ඩුව යටතේ  නැගෙනහිර ජැටිය සියයට 100ක් වරාය අධිකාරිය සතු විය යුතු" බවය. "ජාතික ව්‍යාපාරය" පිහිටුවීමෙන් පසුදින ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂනයකදී එහි නායක අනුර දිසානායක, ජාතිකවාදය තොරොම්බල් කරමින් මෙසේ පැවසීය: “අද අපි මෙතනට රැස්වෙලා  ඉන්නේ උපනූපන් පරම්පරාවලට අයිති මේ රටේ සම්පත් ආරක්ෂා කිරීමේ අරගලයට කියලා රාජපක්ෂ ආන්ඩුව තේරුම් ගන්න ඕන.”

මිලිටරිය මත පාදක වූ ආඥාදායකත්වයක් තහවුරු කර ගැනිමේ ව්‍යායාමයක යෙදී සිටින ජනාධිපති රාජපක්ෂ සමග සහයෝගීව කටයුතු කිරීමේ සූදානම ජවිපෙ මෙලෙස කිහිප වරක්ම ප්‍රකාශයට පත්කොට ඇත. "වසංගතය මැඩීම සඳහා ආන්ඩුවට අත දිගු කිරීම" ආදී කඩතුරා ජවිපෙ මේ සඳහා යොදා ගනී. දිසානායක වංචනික ලෙස රාජපක්ෂ ආන්ඩුවට කරුනු වටහා දිමට උත්සාහ කරන්නේ, ඉන්දියාවේ බලකිරීම් යටතේ නැගෙනහිර පර්යන්තය පවරා දීමට සිදුවන බව ආන්ඩුව ප්‍රසිද්ධියේම පවසා ඇති තතු යටතේ ය.

ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙසප ද "ජාතික ව්‍යාපාරය" ගොඩනැගීමට පසු දින පුවත්පත් සාකච්ඡාවක් කැඳවීය. එහි නායකයකු වන පුබුදු ජයගොඩ කතා කරමින්, වෘත්තීය සමිති 23 ක් වරාය තුල එකට එකාබද්ධවීම ප්‍රශංසාවට ලක් කලේය. මෙම සමිති සියල්ල දිගින්දිගටම තම අයිතීන් පාවාදෙමින් ක්‍රියා කිරීම නිසා කම්කරුවන් අතර අපකීර්තියට පත්ව ඇත. කම්කරු පංතියේ පංති ස්වාධීනත්වයට වල කපන මෙම "ජාතික ව්‍යාපාරය" කම්කරුවන්ගේ ජයග්‍රහනයක් ලෙස ද ජයගොඩ ඔජ වැඩීය.

නැගෙනහිර ජැටිය, ධනපති රාජ්‍යය යටතේ ලාභ ලැබීමේ ආයතනයක් ලෙස පවත්වාගෙනයා හැකි බවට වෘත්තීය සමිති නායකයන් කරන ජාතිකවාදී යෝජනාව අනුමත කරමින්, නැගෙනහිර පර්යන්තය “කම්කරු කමිටුවකට” භාර දිය යුතු බව ජයගොඩ  කියා සිටියේය. මෙය ඉදිරියට ගෙන යාමට “වැඩකරන ජනතාව දේශපාලන බලය තහවුරු කර ගතයුතු" බව ජයගොඩ ඒ සමගම සඳහන් කලේය.

සමිති නායකයන් නැගෙනහිර පර්යන්තයේ පාලනය ඉල්ලා සිටින්නේ, ආන්ඩුව සමග එක්ව කම්කරුවන්ගේ රැකියා සහ සේවා කොන්දේසි කපා හරිමින් ලාභ ඉහල දැමීමේ අරමුන ඇතිවය. කම්කරුවන්ගේ ශ්‍රම සුරාකෑම උග්‍ර කිරීම සඳහා ආන්ඩුවේ  අත්ගෙඩි ලෙස වෘත්තීය සමිති ක්‍රියා කරනු නිසැකය.  

පෙසප ඔජ වඩවන්නේ සමිතිවල එම ඉල්ලීමයි. ධනපති රාජ්‍යය සහ වෘත්තීය සමිති එක්ව වරාය පාලනය කිරීම "සමාජවාදය" අතර ඇත්තේ අහසට පොලව වැනි පරතරයකි. පෙසප තැත් කරන්නේ සමාජවාදය වෙත හැරෙන කම්කරුවන් ව්‍යාකුල කිරීමටයි.  

මෙම වෘත්තීය සමිති, ධනපති සහ ව්‍යාජ-වාම දේශපාලන පක්ෂ, ඊනියා සමාජ ක්‍රියාකාරිකයන්, බෞද්ධ භික්ෂූන් සමග එක්ව ගොඩනගා ඇති "ජාතික ව්‍යාපාරය", ඉන්දියානු විරෝධී, "දේශප්‍රේමී" උද්ඝෝෂනයකි.

වරාය සහ අනෙකුත් තැන්වල සියලු කම්කරුවන් මොවුන්ගේ දේශප්‍රේමය හා ජාතිකවාදය දේශපාලන හලාහල විසක් ලෙස ප්‍රතික්ෂේප කලයුතුය. ජවිපෙ (පෙසප බෑයන් එහි කොටස්කරුවන් ලෙස සිටි කාලයේ), භික්ෂූ හා අනෙකුත් වර්ගවාදී කන්ඩායම් සමග එක්ව 1987-1990 ගෙනගිය දේශප්‍රේමී ප්‍රකෝපකාරී ව්‍යාපාරය සිහියට නගා ගැනීම් වටී.  

ආන්ඩුව, ඇමරිකාව සමග පෙලගැසී සිටින ඉන්දියාවට වරාය පැවරීමෙන් එම රටවල චීනයට එරෙහි භූදේශපාලන උවමනාවන්ට ලංකාව ගැටගැසීම නිසා ලංකාව යුද අන්තරායට ඇද  හෙලන්නේ යයි ද ජවිපෙ හා පෙසප කිඹුල් කඳුලු හෙලති.

මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට වොෂින්ටනය සහයෝගය දුන් නමුත් ඔහු චීනයට සමීපවීම ගැන උරනව 2015 දී ඉන්දියාවේ සහයෝගයෙන් මෙහෙයවන ලද තන්ත්‍ර මාරු  මෙහෙයුමකින් ඔහු නෙරපා දමා මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ක්‍රියා කලේය. ජවිපෙ ඍජුවමද පෙසප හොරපාරෙන් ද 2015 දී වොෂිංටනයේ මෙහෙයුමට සහයෝගය දුන්හ.

ඇමරිකාවේ හා ඉන්දියාවේ භූදේශපාලන උවමනාවන්ට ලංකාව ගැට ගැසීමෙන් අන්තරායට ලක් වන්නේ මේ ජාතිකවාදීන් කියන පරිදි මෙරට ජනතාව පමනක් නොවේ; දකුනු ආසියාව ඇතුලුව ජාත්‍යන්තරව කම්කරු පන්තිය යි, සමස්ත මානව වර්ගයයි.

සියලු ආකාරයේ ජාතිකවාදයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීම කම්කරු පන්තියේ ක්‍රියා මාර්ගයයි. 

Loading