ශ්‍රී ලංකාවේ සසජාතශි ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ දෙසිය වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඉහල සහභාගිත්වයක් සහිත අන්තර්ජාල රැස්වීමක් පවත්වයි.

[පහත පල කෙරෙන්නේ 2021  ජනවාරි 25 වැනි දින Sri Lankan IYSSE holds well-attended online lecture on 200th anniversary of Friedrich Engels’ birth යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ උපතේ දෙසිය වන සංවත්සරය සැමරීම සඳහා සාර්ථක දේශනයක් මේ මස මුල දී පැවැත්වී ය.

එසැනෙහි ම දෙමල භාෂාවට පරිවර්තනය කරමින් ජනවාරි 10දා පැවැත්වූ මෙම අන්තර්ජාල දේශනයට ශිෂ්‍යයන්, තරුන කම්කරුවන් හා සසජාතශි ආධාරකරුවන් 50ට අධික පිරිසක් සහභාගි වූ හ. මෙම දේශනය පදනම් වූයේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලදුව නොවැම්බර් 28දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකරන ලද, ඉදිරි දර්ශන ලිපිය (ලින්ක්) මත යි.

ධනපති පද්ධතියේ  පරස්පර-විරෝධයන් පිලිබඳ ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂනයක් වර්ධනය කිරීම මත පදනම් වූ කාල් මාක්ස්ගේ හා ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ දේශපාලන වැඩ කටයුතුවල වර්තමාන අදාලත්වය විස්තර කරමින් සසජාතශි කැඳවුම්කරු  කපිල ප්‍රනාන්දු රැස්වීම ආරම්භ කලේ ය. අද දින කම්කරුවන් මුහුන දෙන අරගල ඉදිරියට ගෙන යාම සඳහා, එම ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් දෙදෙනාගේ කර්තව්‍යය මගින් අවශ්‍ය ඉදිරි දර්ශනය සම්පාදනය කරන බව ප්‍රනාන්දු කීවේ ය.

සසජාතශි නායක සාමාජිකයෙක් වන සකුන්ත හිරිමුතුගොඩ ප්‍රධාන දේශනය පැවැත්වී ය. විවිධාකාර ශාස්ත්‍රාලිකයන් හා බුද්ධිමතුන් මාක්ස්වාදයේ වලංගු භාවය ප්‍රශ්න කරමින් ප්‍රතික්ෂේප කිරීමට තවමත් උත්සාහ දැරුව ද අද දින ධනවාදයේ ප්‍රගාඪ අර්බුදය විසින් මාක්ස් හා එංගල්ස්ගේ විශ්ලේෂනය තහවුරු කරන බව ඔහු පෙන්වා දුන්නේ ය.

1991 දී සෝවියට් සංගමය දියකර හැරීම, ගනන් නැති ශාස්ත්‍රාලිකයන් විසින් සමාජවාදයේ මරනය හා ධනවාදයේ ජයග්‍රහනය ලෙස ප්‍රකාශ කරනු ලැබී ය. ෆ්‍රැන්සිස් ෆුකුයාමා එය “ඉතිහාසයේ අවසානය” යි අවධාරනය කලේ ය. 

“මෙම ප්‍රකාශයන්ගෙන් වසර තිහකට පසුව, සනාථ වී ඇත්තේ කවරක් දැ” යි හිරිමුතුගොඩ විමසී ය.

ලෝසවෙඅ “ප්‍රේරක සිද්ධියක්” ලෙස විස්තර කර ඇති කොවිඩ්-19 වසංගතය, ලෝක ධනවාදය මුහුන දෙන විසඳිය නො හැකි පරස්පර-විරෝධය හෙලිදරව් කරන බව කථිකයා තව දුරටත් පැවසී ය. අතලොස්සක්  වන ධනපතියන් අතේ යෝධ ධනයක් කඳු ගැසීමත්, භූගෝලය පුරා මහා ජනකායන් මුහුන දෙන දරාගත නො හැකි ත්ත්වයත් මගින් නිර්මිත පෙර නුවූ විරූ සමාජ අසමානතාවත් මෙයට අයත් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනය මගින් පෙන්නුම් කරන පරිදි, සෑම තැනක ම පාලක ප්‍රභූන්ගේ ප්‍රතිචාරය වන්නේ, පොලිස්-මිලිටරි රූපාකාර කරා හැරීම බව හිරිමුතුගොඩ සඳහන් කලේ ය.

“නූතන ධනේශ්වර සමාජය, තමන්ගේ ජීවම මඟින් බල ගැන්වූ පාතාල බලවේග තවදුරටත් පාලනය කර ගත නොහැකි යකැදුරෙකු වැනි” ලෙස විස්තර කරමින් මාක්ස් හා එංගල්ස් විසින් 1848 දී ලියන ලද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයට ඉන්පසු දේශකයා අවධානය කැඳවී ය. මෙය අද්‍යතන ධනවාදය යනු කවරක්දැයි නිරවද්‍ය ලෙස විස්තර කරන බව හිරිමුතුගොඩ සඳහන් කලේ ය.

වසංගතයට ධනේශ්වරය දක්වා ඇති අතාර්කික ප්‍රතික්‍රියාව පිලිබඳ ව අදහස් දැක්වූ හිරිමුතුගොඩ, 1877 වසරේ එංගල්ස් ලියූ සම්භාව්‍ය කෘතියක් වන ඇන්ටි ඩූරිං (ඩූරිං විරෝධය) කෘතියෙන් උපුටා දැක්වී ය: “පවත්නා සමාජ සංස්ථාවන් අහේතුකය ,අයුක්ති සහගතය,හේතු තර්කය අහේතු තර්කය බවට පත්ව ඇත යන්න වඩ වඩාත් පැහැදිලිව පෙනී යාම පෙන්නුම් කරන්නේ නිශ්පාදන හුවමාරු විධීන්  හි නිහඬව සිදුවී ඇති වෙනස්කම් කලින් පැවති ආර්ථික තත්වයන්ට අනුගතව පැවති සමාජ පර්‍යායට නොගැලපෙන තත්වයට පත්ව ඇති බවයි.”

මාක්ස් හා එංගල්ස්, ලාබ පද්ධතියේ අතාර්කික භාවය පිලිබඳ හේතු හුදෙක් විශ්ලේෂනය කිරීමෙන් නො නැවතුනු බව හිරිමුතුගොඩ වැඩි දුරටත් කීවේ ය. ධනවාදය නව සමාජ පර්යායක් ගොඩනැගීමට අවශ්‍ය කොන්දේසි මෙන් ම එය (ධනවාදය) පෙරලා දමනු ඇති සමාජීය බලවේගය ද ස්ථාපනය කරමින් සිටි බව ඔවුන් දෙදෙනා විස්තර කල හ. 

මාක්ස් හා එංගල්ස් විශ්ලේෂනය කොට පෙන්වූ පරිදි “ධනේශ්වරය හුදෙක් එයට ම මරනය ගෙන එන ආයුධ වාත්තු කර ඇතිවා පමනක් නො වේ; මෙම ආයුධ පාවිච්චි කරන මිනිසුන් වන නවීන කම්කරු පන්තිය, එනම්, නිර්ධන පන්තිය ද එය විසින් නිර්මානය කර ඇත.”

කම්කරු පන්තිය, සමාජවාදය කරා ලඟාවීම සඳහා, තමන්ගේ ම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක පදනම මත සටන් කල යුතු බව හඳුනා ගැනීමේ දී, මාක්ස් හා එංගල්ස් දර්ශනවාදීන් අතර සුවිශේෂී පුද්ගලයෝ වූ බව හිරිමුතුගොඩ කීවේ ය.

තම දේශනය සමාප්තියකට ගෙන ආ හිරිමුතුගොඩ, ජාත්‍යන්තර ව පන්ති අරගලය පුනර්ජීවනය වීමත්, තරුනයන් අතර සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුවත් පිලිබඳ ව සඳහන් කලේ ය.

වර්තමාන පූර්ව විප්ලවවාදී කාල පරිච්ඡේදයේ දී, සමාජවාදී ඉදිරි දර්ශනයේ මූලික සංකල්පයන් සමගින් සන්නද්ධ වීම සඳහා එංගල්ස්ගේ කෘති අධ්‍යයනය කිරීම තීරනාත්මක ලෙස වැදගත් බව ඔහු කීවේ ය.

ප්‍රශ්න ඇසීමේ හා පිලිතුරු සැපයීමේ වාරයේ දී, ධනපති ක්‍රමයේ මූලික පරස්පර විරෝධයන් දෙක තව දුරටත් පැහැදිලි කරන ලෙස, උතුරේ යාපනයේ ශිෂ්‍යයෙක් ඉල්ලා සිටියේ ය.

සසජාතශි කැඳවුම්කාර ප්‍රනාන්දු, ගෝලීය නිෂ්පාදනය හා ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය අතර ගැටුමට අවධානය යොමු කරමින්, ඉහල යන ගෝලීය හා කලාපීය භූදේශපාලනික ආතතීන් පිලිබඳ ව සඳහන් කලේ ය. මෙම ආතතීන්ගේ ප්‍රකාශනයක් වන ඉන්දියන් සාගර කලාපය තුල චීනයට එරෙහි ව එක්සත් ජනපදය නායකත්වය දෙන මිලිටරි උද්ඝෝෂනය, චීනයෙන් දුරස්ථ වන ලෙසට රාජපක්ෂ තන්ත්‍රය මත වොෂින්ටනය යොදන අඛන්ඩ පීඩනය පිලිබිඹු කරන බව ඔහු කීවේ ය.

කොරෝනා වෛරස් වසංගතයට ක්ෂනික ප්‍රතිචාරයක් දැක්වීම සඳහා වෛද්‍ය විද්‍යාවේ අභිවර්ධනයන් යොදා ගැනීමට, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හා ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය බාධා කරමින් සිටින බව ප්‍රනාන්දු විස්තර කලේ ය.

විද්‍යාත්මක සමාජවාදය හා මනෝරාජික සමාජවාදය අතර වෙනස පැහැදිලි කරන ලෙස දේශනයට සවන් දුන් තවත් අයෙක් ඉල්ලා සිටියේ ය. පන්ති අරගලයෙන් පරිබාහිර ව ප්‍රතිසංස්කරන මාලාවක් හරහා සමාජවාදය වර්ධනය කල හැකි බව මනෝරාජික සමාජවාදීන් විශ්වාස කල බව හිරිමුතුගොඩ විස්තර කලේ ය.

“මනෝරාජික සමාජවාදීන් කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පිලි නො ගත්” බව ඔහු කීවේ ය. මනෝරාජික සමාජවාදීන් ධනපති පද්ධතිය විවේචනය කල නමුත්, ධනපති ක්‍රමය ඛාදනය වූයේ මන් ද හා ඇයි ද යන්න විද්‍යාත්මක ව විස්තර කිරීමටත්, සමාජවාදය යථාවත් කරගැනීමට නිවැරදි ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කිරීමටත් අසමත් විය.

සමාජවාදය: මනෝරාජ්‍යයෙන් විද්‍යාවට නමැති එංගල්ස්ගේ කෘතියෙන් උපුටා දක්වමින් ඔහු මෙසේ කීවේ ය: “සමාජවාදය තව දුරටත් එක් හෝ අනෙක් විදර්ශක මොලයෙහි නිමැවුමක් නොව, ඓතිහාසික වශයෙන් සංවර්ධිත පංති දෙකක් අතර, නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර, අරගලයේ අවශ්‍ය ප්‍රථිපලය විය.”

ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය හා සුලු-ධනේශ්වරයේ දේශපාලනයට එරෙහි සටන අතර සබඳතාව පැහැදිලි කරන ලෙස දේශනයට සහභාගි වූ තවත් අයෙක් ඉල්ලා සිටියේ ය. සුලු-ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් කම්කරු පන්තිය මුලුමනින් ම ස්වාධීන විය යුතු බවට කැඳවුම් කරමින්, 1850 දී මාක්ස් හා එංගල්ස් කොමියුනිස්ට් ලීගයේ විධායක කමිටුවට කල ආමන්ත්‍රනයට ඔහු අවධානය කැඳවී ය.

තවත් සසජාතශි සාමාජිකයෙක් වන ප්‍රගීත් අරවින්ද, 1848 කම්කරු පන්තියේ නැගී සිටීමේ කාල පරිච්ඡේදයේ දී සුලු-ධනේශ්වරය ඉටුකල ප්‍රති-විප්ලවවාදී භූමිකාව විස්තර කලේ ය. මෙම මූලෝපායික අත්දැකීම්වලත් අනෙකුත් ඓතිහාසික වර්ධනයන්ගේත් දේශපාලන පාඩම්, නො නවතින විප්ලව න්‍යායය විදාරනය කිරීම පිනිස ට්‍රොට්ස්කිට පදනම් සම්පාදනය කල බව ඔහු කීවේ ය.

කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල් තුල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් ඉෂ්ට කරගත හැක්කේ, ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන සටනේ කොටසක් ලෙස, ගම්බද ජනයාගේ නායකත්වය ලෙස පිහිටා ගන්නා කම්කරු පන්තිය නායකත්වය දෙන සමාජවාදී විප්ලවයක් හරහා ලාබ පද්ධතිය පෙරලා දැමිමෙන් පමනි.

වැඩිදුර ප්‍රශ්න හා සාකච්ඡාවලින් අනතුරු ව, සසප හා සසජාතශි වෙත බැඳෙමින්, සමාජවාදය සඳහා අරගලය සමග ක්‍රියාකාරී ව සම්බන්ධ වන ලෙස සසජාතශි කැඳවුම්කාර ප්‍රනාන්දු ප්‍රේක්ෂකයෙන් කල ඉල්ලීම සමගින් අන්තර්ජාල දේශනය නිමාවට පත් විය.

Loading