මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා හමුවේ කෙරෙන උපාමාරුවක් ලෙස ආන්ඩුව බලහත්කාරී ආදාහනය නතර කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඊයේ රාත්‍රියේ නිකුත් කල ගැසට් නිවේදනයක් මගින් කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියයන අයගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර දී තිබේ. නව ගැසට් නිවේදනයෙන්, කොවිඩ්-19 ආසාදිතව මියයන අයගේ මලසිරුරු සියල්ල "ආදාහනය කල යුතුය" යනුවෙන් මුල් ගැසට් නිවේදනයේ සඳහන් වූ වගන්තිය, "ආදාහනය හෝ භූමදානය කල හැක" යනුවෙන් සංශෝධනය කෙරී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති භූමදානයට එරෙහි උද්ඝෝෂනය (ඡායාරූප අනුග්‍රහය: නිව්ස්ෆස්ට්)

ආන්ඩුව, සිංහල-බෞද්ධ අන්තවාදී නඩවල සහයෝගයෙන්, මුස්ලිම් ජනයාට එරෙහිව ගෙනයන වර්ගවාදී උද්ඝෝෂනයේ මූලික අංගයක් ලෙස කොවිඩ්-19 වසංගතය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මලසිරුරු ඔවුනගේ සම්ප්‍රදායන්ට අනුව භූමදානය කිරීමට ඉඩ නොදී බලහත්කාරයෙන් ආදාහනය කිරීම පවත්වාගෙන ගියේය.

ආන්ඩුව මෙම බලහත්කාරය ගෙන ගියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ වසංගත රෝග විද්‍යාඥයන් සහ ලංකාවේ ආන්ඩුවම පත්කල විශේෂඥ කමිටුව විසින්, කොරෝනා ආසාදිතයන්ගේ මලසිරුරු වලලෑම වසංගතයේ ව්‍යාප්තිය කෙරෙහි කවර ලෙසකින් හෝ බල නොපාන බවට සහතික කොට, භූමදානය නිර්දේශ කොට ඇති සහ ඒ අනුව ලෝකයේ රටවල් 184 ක කොරෝනා මරන භූමදානය කෙරෙන තතු තුලය.

ආන්ඩුවේ නව ගැසට් නිවේදනය පැමිනෙන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික රැස්වීම මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙද්දීය. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව, යුද අපරාධ සහ මානව හිමිකමි කඩකිරිම් පිලිබඳ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, "බලහත්කාරී ආදාහනය" එහි එන මූලික චෝදනාවකි.

ආන්ඩුවේ ගැසට් නිවේදනය මෙම චෝදනා හමුවේ ගනන් බලා කෙරුනු මංමුලාසහගත උපාමාරුවක් පමනි. එමගින් අනෙක් රටවල, විශේෂයෙන්ම මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන රටවල සහයෝගය ලබා ගනිමින් යෝජනාව පරාජය කිරීම ආන්ඩුවේ අරමුනයි.

කෙසේ නමුත් එම යෝජනාව පිටුපස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් හෝ යුද අපරාධ සම්බන්ධයෙන් කවර හෝ අව්‍යාජ උත්සුකයක් නොමැත. එය, චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායික සැලසුම් වලට, කොලඹ ආන්ඩුව ඒකාග්‍රකර තබා ගැනීම සඳහා ඇමරිකාව දිගින් දිගටම යොදන පීඩනයේ කොටසකි.

ප්‍රකාශනයේ සහ කලාවේ නිදහසට එල්ල කෙරුනු අතිමූලික ප්‍රහාරයක් ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්වූ, ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව හකුලාගනු ලැබීම ද මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව හමුවේ ආන්ඩුව යෙදූ තවත් උපාමාරුවකි. සත්කුමාර විසින් තම මුහුනුපොතේ ලියා පලකල කෙටි කතාවකින් බුද්ධාගමට අපහාස කල බවට චෝදනා කරමින් ඔහු මාස ගනනාවක් සිරගතකොට තිබුනි.

විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රී එස්.එම්.මරික්කාර් විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ කොරෝනා ආසාදිතව මියයන්නන්ගේ මලසිරුරු භූමදානයට අවසර දෙන බවයි. රාජපක්ෂගේ මෙම ප්‍රතිචාරය පැමිනියේ, මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ විසින් ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් පිලිබඳව තම වාර්තාව ඉදිරිපත් කල තතු තුලය.

නමුත් ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන උදය ගම්මන්පිල සහ කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුලු ආන්ඩුවේ නියෝජිතයන් කියා සිටියේ, එය අගමැති රාජපක්ෂගේ පුද්ගලික මතය බව සහ අදාල විෂය සම්බන්ධයෙන් පත්කල "තාක්ෂනික කමිටුවෙන්" එවන් නිර්දේශයක් මෙතෙක් ලැබී නොමැති බැවින් භූමදාන තහනම දිගටම පවත්නා බවයි. කෙසේ නමුත්, ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට ගැලපෙන අයුරින් මෙම ඊනියා තාක්ෂනික කමිටුව මාස ගනනාවක් පුරා තම "නිර්දේශය" පමා කලේය.

අගමැති රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශයෙන් පසුව ආන්ඩු පක්ෂයෙන් ඊට ලැබුනු ප්‍රතිචාරයෙන් සහ රාජපක්ෂ ඊයේ වන තෙක් පවත්වාගෙන ගිය නිහැඬියාව මගින් යලිත් තහවුරු කෙරෙන්නේ, ආන්ඩුව තම මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයෙන් අංශු මාත්‍රයක් හෝ අඩිය පිටුපසට ගැනීමට ඇති නොකැමැත්තයි. ජාත්‍යන්තර බලවේග හමුවේ මෙම උපාමාරු පැවතියදීම ආන්ඩුව සැබැවින්ම සිදු කරනු ඇත්තේ තම දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂන ඉමහත් වේගයෙන් ඉස්මත්තට ගැනීමයි.

රාජපක්ෂගේ දක්ෂිනාංශික පොදුජන පෙරමුන සහ ඔහුගේ ආන්ඩුවට අයත්, පිවිතුරු හෙල උරුමය, ජාතික නිදහස් පෙරමුන සහ මහජන එක්සත් පෙරමුන වැනි සිංහල ස්වෝත්තමවාදී සංවිධානයන්, අන්ත දක්ෂිනාංශික බෞද්ධ භික්ෂු නඩ සහ ධනපති මාධ්‍ය විසින් තීව්‍ර කෙරෙන මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ කේන්ද්‍රය බවට පත්කරගෙන ඇත්තේ, අන්තවාදීන් කන්ඩායමක් විසින් 2019 පාස්කු ඉරිදා එල්ල කල බෝම්බ ප්‍රහාරය යි. එය ආශ්‍රිතව නිර්මානය කරන විවිධාකාරයේ ප්‍රබන්ධ මත මුස්ලිම් තරුනයන්, කාන්තාවන් සහ නීතීඥයන් අත්අඩංගුවට ගෙන මාස ගනන් රඳවා ගනිමින් ඔවුනට වද හිංසා පමුනුවන ආන්ඩුව මුස්ලිම් භීතිකාවක් සහ වාර්ගික ප්‍රකෝපකරනයක් වර්ධනය කරමින් සිටී.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රකට නීතිඥ හිජාස් හිස්බුල්ලා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටී. තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හිස්බුල්ලා ට, ඔහුගේ නීතිඥයා හමුවීම ද වලක්වා ඇත.

එපමනක් නොව, කලා නිර්මාන කාර්යයන්හි සහ නිදහස් අදහස් ප්‍රකාශනයේ යෙදෙන මුස්ලිම් කලාකරුවන්ට සහ චින්තකයන්ට එරෙහි රුදුරු දඩයමක ආන්ඩුව යෙදී සිටී. අහ්නාෆ් ජසීම් නමැති මුස්ලිම් ජාතික තරුන කවියා, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) විසින් අත්අඩංගුවට ගෙන මාස 09ක් තිස්සේ රඳවා ගෙන ඇත. ඔහු විසින් ලියා පලකල කාව්‍ය ග්‍රන්ථයක් හරහා සහ ඔහුගේ රැකියාව වන ගුරු වෘත්තිය තුලින් අන්තවාදය පැතිරවීමේ ව්‍යාජ චෝදනාව ඔහුට එරෙහිව එල්ල කෙරී පවතී.

පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය වහා ඩැහැගත් ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ප්‍රධාන තේමාව බවට "ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම" පත්කර ගැනීමෙන් එකිනෙකට බැඳුනු අරමුනු දෙකක් සපුරා ගැනීමට බලාපොරොත්තු විය. ඉන් පලමුවැන්න ජාතික ආරක්ෂාවේ නාමයෙන් මිලිටරීකරනය තීව්‍ර කිරීමයි. දෙවැන්න වනුයේ, දෙමල සහ මුස්ලිම් ජනවර්ගයෙන් "ජාතික ආරක්ෂාව" තර්ජනයට ලක්ව ඇති බවට ගෙනයන අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනය මගින් කම්කරු පංතිය බෙදා වෙන් කිරීමයි.

අරගලයට ඇදෙන කම්කරු පංතිය වාර්ගික සහ ආගමික රේඛා ඔස්සේ බෙදා වෙන්කොට ඔවුනගේ පංති ශක්තිය දුබල කිරීම ශ්‍රී ලංකාවෙි ධනපති පාලක පංතිය ආරම්භයේ සිටම යොදාගත් ක්‍රමවේදයයි. දෙමල පීඩිත ජනයාට එරෙහිව ගෙනගිය තිස් අවුරුදු යුද්ධයෙන් එය කුලු ගැන්වින.

වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර විවිධ කප්පාදු පිලිවෙත් හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එයට එරෙහිව වේගයෙන් වැඩෙන පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා, ඉහත උද්ඝෝෂන ප්‍රවර්ධනය කරමින් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම ගෝඨාභය රාජපක්ෂගේ පිලිවෙතයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) බලහත්කාරී ආදාහනය පිලිබඳ ප්‍රශ්නය ආරම්භයේ සිටම විශ්ලේෂනය කර ගත්තේ මෙම කම්කරු පංතික දෘෂ්ටි ආස්ථානයෙනි. "කොවිඩ්-19 ආසාදිතයන්ගේ මල සිරුරු 'භූමදානය' මත රාජපක්ෂ ආන්ඩුව මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයක් අවුලුවයි" යන හිසින්, 2020 දෙසැම්බර් 29 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියේ අපි මෙසේ සඳහන් කලෙමු: "අරගලයට ඇදෙන කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා ඔවුනගේ පන්ති ශක්තිය දුබල කිරිම සඳහා රාජපක්ෂ ගෙනයමින් සිටින දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය රුදුරුම ආකාරයෙන් ඉස්මත්තට ගැනීම 'භූමදානයට' එරෙහිව ගෙනයන වැඩපිලිවෙලෙහි අරමුනයි."

එම ලිපියේ අපි මෙසේද සඳහන් කලෙමු: "රාජපක්ෂ ආන්ඩුව සහ එහි සිංහල-බෞද්ධ සගයන් ඉස්මත්තට ගෙනඇති මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයටත්, භූමදාන ප්‍රශ්නය ගසා කමින් තම වාර්ගික දේශපාලනය ප්‍රවර්ධනය කිරීමට මුස්ලිම් ධනපති පක්ෂ විසින් ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනයටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) එකහෙලා විරුද්ධ වෙයි."

ඒ සමගම සසප කියා සිටියේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මියයන අයගේ මල සිරුරු භූමදානය හෝ ආදාහනය ඇතුලු වසංගතය ආශ්‍රිත තීරන විද්‍යාව මත පාදක විය යුතු බවයි.

කෙසේ නමුත්, "විද්‍යාත්මක පදනම් ප්‍රතික්ෂේප කරමින් කෙසේ හෝ භූමදානය අවශ්‍ය" යැයි මුස්ලිම් බහුතරය ඉල්ලා සිටි බවට ගෙනගිය ප්‍රචාරයමත් ඉහත මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේම කොටසකි. මුස්ලිම් ජනයා ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) හි නිර්දේශ පිලිගෙන සිකුරාදා යාඥාවන්ට පල්ලිවල රොක්වීම පවා සීමාකර ගැනීමෙන් විද්‍යාත්මක නිර්දේශයකට ඔවුන්ගේ අනුකූලතාවය ලංකාවේත් ලොවපුරාත් ප්‍රදර්ශනය කොට ඇත.

සැබැවින්ම මුස්ලිම් ජනයා අතර කෝපය වැඩුනේ, කොවිඩ්-19 රෝගීන්ගේ මලසිරුරු හුදෙක් "ඉස්ලාමිය ආගමික චාරිත්‍ර අනුව භූමදාන කිරීමට ඉඩ නොදීම" නිසා නොවේ. ලෝසෞස සහ ලොව පිලිගත් විද්‍යාඥයන් "භූමදානයෙන්" වෛරසය ව්‍යාප්ත නොවන බව තහවුරු කර තිබියදී සහ ලොවපුරා රටවල් 184 ක "භූමදානය" ක්‍රියාත්මක වෙද්දී ලංකාව තුල එයට ඉඩ නොදීමෙන් ඔවුනට සිදුකල නොපනත්කම හේතුවෙනි.

Loading