ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ පාසල් නැවත විවෘත කිරීම සඳහා බයිඩන් පරිපාලනය විද්‍යාව විකෘති කරයි

[පහත පලවන්නේ මාර්තු 19, 2021 දින Biden administration distorts science to reopen US schools  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියක පරිවර්තනයයි.]

තම දේශපාලන න්‍යාය පත්‍රයට ගැලපෙන පරිදි විද්‍යාව විකෘති කිරීම සඳහා වැඩෙන ප්‍රයත්නයන්ට සමගාමීව, එක්සත් ජනපදයේ හා ගෝලීය වශයෙන් පාසල් සහ ආර්ථිකය පුලුල්ව නැවත විවෘත කිරීමේ පාලක පන්ති ව්‍යාපාරය දිනෙන් දින ගැඹුරු වේ. එක්සත් ජනපදයේ, රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) සිකුරාදා දින පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මාර්ගෝපදේශවල වෙනස් කිරීමක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද සිසුන්ගේ අඩි හයේ පරතරය අඩි තුනක් දක්වා පමනක් ප්‍රමානවත් බවට ඔවුන්ගේ නිර්දේශය අඩු කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 හි වඩාත් බෝවන හා මාරාන්තික ප්‍රභේදයන් ලොව පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතින අතර වසංගතය කොතැනකව හෝ පාලනය වී නොමැති තත්වයක් තිබියදී පාසල් සහ සේවා ස්ථාන සම්පූර්නයෙන්ම විවෘත කිරීම් කඩිමුඩියේ සිදු වේ. එක්සත් ජනපදයේ, දෛනික නව රෝගීන් සංඛ්‍යාව දල වශයෙන් 55,000 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය 2020 හි සාමාන්‍යයට වඩා බෙහෙවින් වැඩි ය. දිනකට දහසකට අධික පිරිසක් මිය යති. මිචිගන් නගරය ඇතුලුව සමහර ප්‍රදේශවල සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කරන අතර, ප්‍රාන්තය පුරා රෝගීන් අනුපාතය පෙබරවාරි මාසයට වඩා සියයට 50 කින් ඉහල ගොස් තිබේ.

ආරක්ෂිත ආවරනයන්ගෙන් වටවී සිටින පෙර පාසල් ගුරුවරියක වන ටැමි ලුවිස්, 2021 මාර්තු 18 වන බ්‍රහස්පතින්දා, කැලිෆෝනියාවේ, ඔරේන්ජ් හි, වෙස්ට් ඔරේන්ජ් ප්‍රාථමික පාසලේ ඇගේ පන්තිය තුල උගන්වමින්. (AP ඡායාරූපය / ජේ සී. හොං)

යාවත්කාලීන කරන ලද සීඩීසී මාර්ගෝපදේශයන්, අපේ‍්‍රල් මාසය අවසන් වන විට 8 ශ්‍රේනිය දක්වා පාසල් බහුතරයක් විවෘත කිරීමේ බයිඩන් පරිපාලනයේ ඉලක්කයට අනුගත වීම සඳහාම වන අතර පැහැදිලිවම ධවල මන්දිරය සමඟ සම්බන්ධීකරනය වෙමින් පවතී. බදාදා අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ මාර්තු 24 වන දින “ආරක්ෂිතව පාසල් නැවත විවෘත කිරීමේ ජාතික සමුලුවක්” පවත්වන බවයි. ජනාධිපති ආර්යා ජිල් බයිඩන්, අධ්‍යාපන ලේකම් මිගෙල් කාර්ඩෝනා සහ සීඩීසී අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි යන අය ඊට සහභාගී වීමට නියමිතය.

බදාදා පැවති සභා මන්ත්‍රී මන්ඩල කමිටු නඩු විභාගයේදී සාක්‍ෂි ඉදිරිපත් කරමින් වැලෙන්ස්කි පැහැදිලි කලේ ලමුන් පාසැල් තුලට ගාල් කිරීම, විද්‍යාවට අනුකූල බවයි. ඇය නරුම ලෙස මෙසේ පැවසුවාය: “අපගේ මාර්ගෝපදේශයන් [පසුගිය මාසයේ] නිකුත් වූ විගසම, අඩි හයේ පරතරය යනු පාසැල් වසා තබන හේතු අතර එකක් බව ඉතා පැහැදිලි විය. එම සන්දර්භය තුල විද්‍යාව පරිනාමය වේ.”

බ්‍රහස්පතින්දා සෙනෙට් කමිටු නඩු විභාගයකදී වැලෙන්ස්කි මෙසේ පැවසීය, “අඩි හයක පරතරය එවැනි අභියෝගයක් වී ඇති හෙයින් විද්‍යාව නම්‍යශීලී වී ඇති අතර දැන් අඩි හයට වෙනුවට අඩි තුනක් පිලිබඳව අධ්‍යයන සිදු වෙමින් පවතී. ඉදිරි දින කිහිපය තුල නිකුත් කල හැකි තොරතුරු කිහිපයක් පිලිබඳ මම පරීක්ෂාවෙන් සිටිමි. ඒ් අනුව අපි එම මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරන්නෙමු.” ඊට ප්‍රතිචාර වශයෙන් [රිපබ්ලිකන් සෙනට් සභික] සුසාන් කොලින්ස් ඉල්ලා සිටියේ, “ඔබ දැන් එය කල යුතුයි” කියා ය.

සීඩීසී හි මාර්ගෝපදේශ ලිහිල් කිරීම යුක්ති සහගත කරමින්, වැලෙන්ස්කි පසුගිය සතියේ සායනික බෝවෙන රෝග (Clinical Infectious Diseases) වෛද්‍ය සඟරාව පිලිබඳ ප්‍රකාශයට පත් කල අධ්‍යයනයක් උපුටා දක්වමින් ඇය කියා සිටියේ “මැසචුසෙට්ස් හිදී ඔප්පු වූයේ සාමාන්‍යයෙන් සියයට සියයක් මුහුනු ආවරන පැලඳීම සහ අඩි තුනක පරතරය සැබවින්ම ආරක්ෂිත බවයි.”

"සුරක්ෂිත" බවින් බෙහෙවින් දුරස්ව, නිරීක්ෂනය කරන ලද පාසල් දිස්ත්‍රික්ක 251 තුල “සිසුන් 4,226 ක් සහ පාසල් කාර්ය මන්ඩලයේ 2,382 ක් ආසාදිතයන් ලෙස වාර්තා වී ඇති” බව අධ්‍යයනයෙන් හෙලි කරයි. වැලෙන්ස්කි මෙන්ම, අධ්‍යයනයේ කතුවරුන් ද මෙය පසෙකට දමා පාසැල්වල අඩි තුනක පරතරයක් නිර්දේශ කරති. මෙම අධ්‍යයනයට, ආශ්‍රිතයන් සොයා ගැනීම හෝ නිරීක්ෂන කටයුතු ඇතුලත් නොවූ අතර මෙය වෛරසයේ වඩාත් ආසාදිත හා මාරාන්තික B.1.1.7 ප්‍රභේදය පැතිරීමට පෙර සිදු කරන ලද බැවින් දෝෂ සහිත සහ අනනුකූල වේ.

වසංගත විද්‍යාව පිලිබඳ කිසිදු පසුබිමක් නොමැති සහ පාසල් නැවත විවෘත කිරීම සඳහා ප්‍රමුඛ පෙලේ උපදේශකයෙකු ද වන බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ එමිලි ඔස්ටර් මෙම අධ්‍යයනයේ සම කර්තෘවරයෙකි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔස්ටර් විසින් අත්ලාන්තිකය ට (Atlantic) “පාසල් සුපිරි පැතිරීම් නොවේ” යයි කියමින් සැක කටයුතු ලිපියක් ලිවීය. ආයතනික මාධ්‍ය මෙන්ම එවකට අධ්‍යාපන ලේකම් බෙට්සි ඩිවෝස් සහ සීඩීසී විසින් එක්සත් ජනපදය පුරා පාසල් නැවත විවෘත කිරීම සාධාරනීකරනය කිරීම සඳහා එය උපුටා දැක්වූහ. බ්‍රහස්පතින්දා අත්ලාන්තිකයෙහි නැවතත් ඔස්ටර් විසින් “ඉදිරියට යන්න, ඔබේ එන්නත් නොකල ලමුන් සමඟ පවුල් නිවාඩුවක් සැලසුම් කරන්න” යන මාතෘකාව යටතේ ලිපියක් ප්‍රකාශයට පත් කරන ලදී.

ඔස්ටර්, ඇගේ නවතම ලේඛනයෙහි ට්‍රම්ප්, බයිඩන්, සීඩීසී, මාධ්‍ය සහ ගුරු සංගම්වල බොරු පුනරුච්චාරනය කරමින් “ලමයින්ට කොවිඩ්-19 සඳහා වැඩි අවදානමක් නැත” යනුවෙන් ද “ලමයින් ස්වභාවිකව ම ආරක්ෂා වී ඇති බව පෙනේ” යයි ද කියා සිටියාය. ඇය සතුටින් පිනායමින් නිගමනය කරන්නේ, “අපේ දරුවන්ට එන්නතක් ලබා ගැනීමට පෙර අපට සාමාන්‍ය තත්වයට පත්විය හැකි” බවයි.

ඔස්ටර්, වැලෙන්ස්කි සහ පාසල් නැවත විවෘත කරන ලෙස බල කරන සියලුම නිලධාරීන්ගේ තර්ක බරපතල පරීක්ෂාවක් ඉවසන්නේ නැත. බොහෝ වර්ගවල වෛරස් සම්ප්‍රේෂනය සඳහා මධ්‍යස්ථාන ලෙස පාසල් දිගු කලක් තිස්සේ පිලිගෙන ඇති අතර, වාතය ඔස්සේ බෝවන කොරෝනා වෛරසයද ව්‍යතිරේකයක් නොවේ. අබලන් වූ රජයේ පාසල්, භෞතික විද්‍යාවේ සහ වාසර බවේ නීති වලින් ආශ්චර්යමත් ලෙස නිදහස් කර ඇති බවට වන ප්‍රකාශයන් සහ සියලු තර්කනයන් වඩාත් දැඩි විද්‍යාත්මක අධ්‍යයනවලින් නිෂ්ප්‍රභ කෙරෙන අතර, එහිදී පෙනී යන්නේ පාසල් වසා දැමීම වසංගතය පාලනය කිරීමට සහ ජීවිත බේරා ගැනීමට ඇති ඕනෑම උපාය මාර්ගයක කුලුනක් බවයි.

ඇමරිකානු ලමා රෝග පිලිබඳ ඇකඩමියේ නවතම දත්ත වලට අනුව, මාර්තු 11 වන විට එක්සත් ජනපදයේ ලමුන් මිලියන 3.28 කට වඩා වැඩි ප්‍රමානයකට කොවිඩ්-19 වැලඳී ඇති අතර, ලමයින් රෝග ලක්ෂන නොපෙන්වීමට වැඩි ඉඩක් ඇති බව ගනන් බලා තිබේ. මෙම සිද්ධීන්ගෙන් අතිමහත් බහුතරයක් සොයාගෙන ඇත්තේ සරත් සෘතුවේ පාසල් නැවත විවෘත කිරීම ආරම්භ වූ දා සිට ය.

පසුගිය සතියේ ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලද  වැදගත් අධ්‍යයනයක සඳහන් වූයේ, “ප්‍රාථමික හා ද්විතීයික පාසල් වසා දැමීම්, බොහෝ රටවල (එංගලන්තය ද ඇතුලුව) සහ කාල වකවානු වල ප්‍රබල බෝවීම් සංඛ්‍යාවේ සැලකිය යුතු ලෙස අඩු වීම් වලට හේතු වී ඇති බවයි”.

පාසැල් නැවත විවෘත කිරීමෙන් ලමයින්ට ඇතිවිය හැකි අනතුරු පිලිබඳව කතුවරුන් මෙසේ ලියයි: “කොවිඩ්-19 ලමුන් තුල දරුනු රෝග ඇතිකිරීමට ඉඩක් නැතත්, ONS රූපවාහිනී නාලිකාවේ ආසාදන සමීක්ෂනය මත පදනම් ව, කොවිඩ් රෝග ලක්ෂන දිගු කාලීනව පවතින බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව වයස අවුරුදු 2-10 අතර ලමුන්ගෙන් 13% කට සහ 12-16 අතර 15% කට, රෝගය බෝවී ඇති බව දැනගැනීමෙන් සති 5 කට පසුව ද අවම වශයෙන් එක් රෝග ලක්ෂනයක්වත් නොනැසී පවතී.”

කතුවරුන් නිගමනය කරන්නේ, “SARS-CoV-2 ආසාදනයේ දීර්ඝකාලීන සෞඛ්‍යමය බලපෑම් පිලිබඳ අවිනිශ්චිතතාවයන් සැලකිල්ලට ගෙන, දරුවන් තුල වෛරසය සංසරනය වීමට ඉඩ දීම අඥාන දෙයක් වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ පවුල්වලට අවදානමක් ඇති කරයි… ඉහල ප්‍රජා සම්ප්‍රේෂනයකට දායක වීමෙන් එය ද වෛරස පරිනාමයට සහ නව ප්‍රභේද සඳහා හිතකර කොන්දේසි සපයයි.”

මිචිගන් සහ ඉලිනොයිස් හි, ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ගේ බල කිරීම මත නැවත විවෘත කරන ලද පාසල් ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ්-19 පුපුරා යාමේ මූලික ප්‍රභවය බවට පත්ව ඇත. මිචිගන් හි B.1.1.7 ප්‍රභේදයේ 616 ක් වාර්තා වී ඇති අතර එය සියලු ප්‍රාන්ත අතර දෙවන ඉහලම අගයයි.

දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි ඔවුන් මවා පෙන්වන දැඩි සැලකිල්ල නොතකා, පාසල් නැවත විවෘත කිරීම පිටුපස ඇති මූලික ගාමකය වන්නේ ආයතනික ලාභ ඉහල නැංවීම සහ කොටස් වෙලඳපොලේ උද්ධමනය නොනවත්වා පවත්වා ගැනීම සඳහා අනාරක්ෂිත සේවා ස්ථාන කරා යාමට දෙමාපියන්ට බල කිරීමයි. බයිඩන්ගේ ඉහලම ආර්ථික උපදේශක බ්‍රයන් ඩීස් විසින් මෙය වඩාත් නිර්ලජ්ජිත ලෙස ප්‍රකාශ කරන ලද්දේ ජනවාරි මාසයේ දී ය. “අප, දෙමව්පියන්ට නැවත වැඩට යාමට හැකි වන පරිදි පාසල් විවෘත කල යුතුය” යි ඔහු කියයි.

කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා, මූල්‍ය කතිපයාධිකාරයේ ලාභය සඳහා යටත් කරන ධනවාදී සමාජයේ දූෂිත බව වසංගතය විසින් හෙලිදරව් කර තිබේ.

සමස්ත දේශපාලන සංස්ථාපිතය, නිල විද්‍යාත්මක ආයතන, ආයතනික මාධ්‍ය, වෘත්තීය සමිති සහ ශාස්ත්‍රාලිකයින්ගේ විශාල කොටස් “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිවලට ගැඹුරින් සම්බන්ධ වී ඇත. ඒ, එමඟින් එක්සත් ජනපදයේ පමනක් මිලියන 30 කට වැඩි පිරිසකගේ ආසාදන හා 550,000 කට වැඩි පිරිසකගේ මරන සිදුවී ඇති තත්වක් තිබියදීය. ඇමරිකානු ගුරු සම්මේලනයේ (ඒඑෆ්ටී) සභාපති රන්ඩි වෙයින්ගාර්ටන්, දැන් සෑම තැනකම සිදු කර ඇති පරිදි පාසල් නැවත විවෘත කිරීමේ දී, වෙනත් කිසිදු චරිතයකට වඩා වැඩි වගකීමක් දරයි. මෑතකදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ මෙම ව්‍යාපාරය සම්බන්ධීකරනය කිරීම සඳහා ඇය දිනකට පැය 15 ක් වැය කරන බවයි.

සමාජයේ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ දී, පාලක ප්‍රභූන් ඉල්ලා සිටින “සමාජ ඝාතක” ප්‍රතිපත්තිවලට එරෙහිව අරගල කිරීමට කම්කරු පන්තිය වැඩි වැඩියෙන් අධිෂ්ඨාන කරගෙන සිටී. පාසැල් නැවත විවෘත කිරීමට අධ්‍යාපනඥයින් අතර දැඩි විරෝධයක් පවතින අතර, එය සිදු වූ සෑම තැනකම විනාශකාරී විය. ලොස් ඇන්ජලීස් සහ ඕක්ලන්ඩ් හි ගුරු සංගම් විසින් සාකච්ඡා කරන ලද, මුහුනට-මුහුන ලා කෙරෙන ඉගෙනීම නැවත ආරම්භ කිරීම සඳහා මාරාන්තික ගනුදෙනුව භාර ගත යුතුද යන්න පිලිබඳව අධ්‍යාපනඥයින් මේ වන විට ඡන්දය ප්‍රකාශ කරමින් සිටින අතර එය ප්‍රතික්ෂේප වුවහොත් රට පුරා පුලුල් විරෝධයක් ඇතිවිය හැකිය.

ගුරු සංගම්වල පූර්න සහයෝගය ඇතිව පාසල් නැවත විවෘත කිරීමේ ව්‍යාපාරය දැන් බයිඩන් සහ ඩිමොක්‍රටිකයින් විසින් මෙහෙයවනු ලැබීම මෙම ආයතන පිලිබඳව වර්ධනය වෙමින් පවතින කලකිරීමක් ඇති කරයි.

පසුගිය වසර පුරා, සමාජවාදී සමානතා පක්ෂවල සහාය ඇතිව, එක්සත් ජනපදයේ සහ ගෝලීය වශයෙන් අධ්‍යාපනඥයින් සහ අනෙකුත් කම්කරුවන් ධනේශ්වර දේශපාලන පක්ෂ හා සංගතවාදී වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇත.

මෙම කමිටු කම්කරු පන්තියේ සටන්කාමීත්වයේ ප්‍රබල කේන්ද්‍ර බවට වර්ධනය වෙමින් හා ජාත්‍යන්තරව ඔවුන්ගේ ව්‍යාප්තිය පුලුල් කරමින් සිටී. එක්සත් ජනපදයේ පමනක්, එවැනි කමිටු දැන් මිඩ්වෙස්ට් හි පිහිටි කර්මාන්තශාලා වල ස්වයංක්‍රීය සේවකයින්, බැල්ටිමෝර්හි ඇමසොන් කම්කරුවන් සහ නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, සැන් ඩියාගෝ, උතුරු කැලිෆෝනියා, මිචිගන්, පෙන්සිල්වේනියා, ටෙනසි, ඇලබාමා සහ ටෙක්සාස් හි අධ්‍යාපනඥයින් අතර පවතී. ඔරිගන්හි අධ්‍යාපනඥයින් මේ සතියේ කමිටුවක් පිහිටුවා ඇති අතර වෙනත් ප්‍රාන්තවල කමිටු ගොඩනැගීමට උනන්දුවක් ඇත.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන මෙම ක්‍රියාකාරී කමිටුවල වර්ධනය අවශ්‍ය වන්නේ පන්ති අරගලයේ යෙදීමට සහ වසංගතය සඳහා පාලක පන්තියේ ප්‍රතිචාරයට එරෙහිව කටයුතු කිරීමට සඳහා ය. සියලු පාසල් හා අත්‍යවශ්‍ය සේවා ස්ථාන වසා දැමීම මත පදනම්ව විද්‍යාත්මකව පදනම් වූ වැඩපිලිවෙලක් සමඟ බලපෑමට ලක්වූ සියලු කම්කරුවන්ට පූර්න ආර්ථික සුරක්‍ෂිතතාවයක් ලබා දීම සඳහා ය.

කෙසේ වෙතත් වඩාත්ම තීරනාත්මක කර්තව්‍යය වන්නේ මාක්ස්වාදී ව්‍යාපාරය පිලිබඳ න්‍යායාත්මක හා ඓතිහාසික අවබෝධයකින් සන්නද්ධව කම්කරු පන්තිය තුල විප්ලවවාදී සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමයි. වසංගතය යලිත් වරක් හෙලිදරවු කලේ ලෝක ධනවාදයේ යල්පැනගිය හා අතාර්කික ස්වභාවය මෙන්ම ධනේශ්වරය සහ නිර්ධන පන්තිය අතර පන්ති සතුරුකම්වල නොපෑහෙන බවයි. සමාජවාදී පදනම් මත සමාජය නැවත ගොඩනැංවීම සඳහා මෙම සමාජ ක්‍රමය ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් දැනුවත්ව පෙරලා දැමිය යුතුය.

Loading