ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වර්ධනය, කම්කරුවන් ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලට එරෙහිව මෙහෙයවයි

[පහත පලවන්නේ අප්‍රේල් 02 වැනි දින Growth in class struggle in the US pits workers against the pro-capitalist trade unions යන මාතෘකාවෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

කම්කරු පන්තියේ ඉදිරිදර්ශනය පිලිබඳ මූලික ප්‍රශ්න මතු කරන එක්සත් ජනපදයේ පන්ති අරගලයේ සැලකිය යුතු වර්ධනයක් පිලිබඳ ප්‍රකාශිතවීම් ගනනාවක් තිබේ.

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සිසුන් 3,000 ක් “කොවිඩ්-19 කප්පාදුවට” එරෙහිව සටන් කරන අතර යහපත් වැටුප්, සෞඛ්‍ය සහ ලමා ආරක්ෂන ප්‍රතිලාභ ඉල්ලා සිටිති. මැසචුසෙට්ස් හි වෝර්සෙස්ටර් හි කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ හෙදියන් 700 කට වැඩි පිරිසක් අනාරක්ෂිත කාර්ය මන්ඩල අනුපාතයන්ට එරෙහිව සති හතරකට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරතව සිටිති. මෙම වැඩ වර්ජනයට, මේ සතියේදී එක්සත් ජනපදයේ වානේ නිෂ්පාදකයින්ගේ ඒටීඅයි හි කම්කරුවන් 1,300 ක් සහ ඇලබාමා හි ගල් අඟුරු සමාගමක් වන වොරියර් මෙට් හි පතල් කම්කරුවන් 1,100 ක් ඇතුළු කාර්මික කම්කරුවන්ගේ වැදගත් අංශ සම්බන්ධ විය.

වමේ: 2021 ජනවාරි 19 වන දින හන්ට්ස් පොයින්ට් මාකර්ට්හි කම්කරුවන්ගේ විරෝධතාවක් (ලෝසවෙඅ මාධ්‍ය). දකුන: කොලොම්බියා උපාධිධාරී ශිෂ්‍ය කම්කරුවන්ගේ වර්ජනයක් (ලෝසවෙඅ මාධ්‍ය)

මෙම අරගලයන් ජාත්‍යන්තරව වැඩෙන කම්කරුවන්ගේ ව්‍යාපාරයක අංගයක් වන අතර බෙල්ජියමේ වැටුප් වර්ධක කප්පාදුවට එරෙහි එක්දින මහා වැඩ වර්ජනය, ජර්මනියේ ඇමසන් කම්කරුවන් 2,000 ක් විසින් සිදුකල දින හතරක වැඩ වර්ජනය, බොස්නියාවේ සහ හර්සෙගොවිනා ගල් අඟුරු පතල් කම්කරුවන් 2,000 ක් විසින් නොගෙවූ වැටුප් සම්බන්ධයෙන් කරන ලද වැඩ වර්ජනය සහ ප්‍රංශයේ වසංගතය උත්සන්න වන විට පාසල් නැවත විවෘත කිරීමට එරෙහිව ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගේ සැලසුම් සහගත වැඩ වර්ජනය මේ අතරට එක් වේ.

මෙය වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා දැවැන්ත ලෙස වර්ධනය වන සමාජ විරෝධයේ ආරම්භක ප්‍රකාශනයකි. මහජන සෞඛ්‍යය, ධනවතුන්ගේ ලාභ අවශ්‍යතා සඳහා යටත් කිරීම හේතුවෙන් එක්සත් ජනපදයේ පමනක් 560,000 කට වැඩි පිරිසක් ද ඇතුළුව ගෝලීය වශයෙන් මිලියන 2.8 කට වඩා මිය ගොස් තිබේ. ඒ අතරම, වසංගතය කම්කරු පන්තියේ කර මතින් ධනවතුන්ට ඓතිහාසිකව පෙර නොවූ විරූ පරිමානයෙන් ඇප ලබා දීම සඳහා යොදා ගනු ලැබූ අතර, ඒ සඳහා පන්ති සබඳතා විශාල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරනු ලැබුනි.

කම්කරු පන්තියේ සෑම අරගලයක්ම, එක්සත් ජනපදයේ ඒඑෆ්එල්-සීඅයිඕ ඇතුළු සංගතවාදී වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී භූමිකාව කෙලින්ම මතු කරයි. ඒවා, පන්ති අරගලය මැඩපැවැත්වීමට සහ වැඩ වර්ජනයක් වලක්වා ගත නොහැකි වූ විට එය හුදකලා කොට පරාජය කිරීමට සේවය කරයි. “වෘත්තීය සමිති” මැදිහත් වන්නේ ඔවුන් නියෝජනය කරන්නේ යැයි ව්‍යාජ ලෙස කියා සිටින කම්කරුවන් වෙනුවෙන් නොව, කම්කරුවන්ට එරෙහිව පාලනාධිකාරය වෙනුවෙනි.

උපාධිධාරී සිසුන් ආවරනය කරන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (UAW) කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වැඩ වර්ජනය නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සිසුන්ගෙන් හුදකලා කිරීමට කටයුතු කරමින් සිටී. එම ප්‍රදේශයේම පිහිටා ඇති නිව්යෝර්ක් විශ්ව විද්‍යාලය කොලම්බියා විශ්ව විද්‍යාලයේ සිට දකුනු දෙසින් සැතපුම් කිහිපයක් පමනක් දුරින් පිහිටා ඇත. පසුගිය මාසයේදී යූඒඩබ්ලිව් ප්‍රාදේශීය සභාපතිවරයා හෙලි කලේ, ඔවුන් නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ වැඩ වර්ජනය සඳහා ඡන්දයක් පැවැත් වීමට මත්තෙන් ම වැඩ වර්ජනය නවතා දැමීමට සැලසුම් කර ඇති බවයි. යූඒඩබ්ලිව් උපාධිධාරී සිසුන් පිටුපස මෝටර් රථ සේවකයින් බලමුලු ගැන්වීමට කිසිවක් නොකරන්නේ ඔවුන් වැඩ වර්ජනය ගැන දැනගැනීම පවා වලක්වමිනි.

මේ අතර, යූඒඩබ්ලිව් විසින් ඩොලර් මිලියන 790 ක වැඩ වර්ජන අරමුදලක් පාලනය කරමින් තිබියදීත් එය උපාධිධාරී සිසුන් සතිපතා ඩොලර් 275 ක සොච්චම් වැඩවර්ජන දීමනාවක් සමඟ පිකට් ලයින්වල හාමත් කරවීමට කටයුතු කරයි.

සාමාජිකයින් 23,000 ක් සිටින මැසචුසෙට්ස් හෙද සංගමය (MNA), වර්සෙස්ටර් හෙදියන් 700 දෙනා හුදෙකලා කරමින් සිටින අතර වැඩ වර්ජන දීමනා ලබා නොදේ. ඒ වෙනුවට, එම්එන්ඒ විසින් හෙදියන්ට පිනට යැදීමට බල කරයි: හෙදියන්ගේ ජීවන වියදම් සඳහා මහජනතාවගෙන් ආධාර ලබා ගැනීම පිනිස එය වෙන්මෝ ගිනුමක් (Venmo account) පවත්වාගෙන යයි.

ඒටීඅයි සහ වොරියර් මෙට් කම්කරුවන් (Warrior Met workers) සම්බන්ධයෙන් ගත් කල, ද යුනයිටඩ් ස්ටීල් වර්කර්ස් සහ ද යුනයිටඩ් මයින් වර්කර්ස් යන වෘත්තීය සමිති වැඩවර්ජන “අසාධාරන ක්‍රියාමාර්ගයක් ය” යන උපක්‍රමය භාවිතා කරන්නේ, කිසිදු නිශ්චිත ඉල්ලීමක් මතු කිරීම වැලැක් වීමට ය. වැඩ වර්ජන පැන නැගුනු විට පරිපාලනය “යහපත් අරමුනතින් කේවල් කරයි” යනුවෙන්, හැකි ඉක්මනින් වැඩ වර්ජනය අවසන් කර දැමීමට කටයුතු කරයි.

පසුගිය වසර පුරා, පාලක ප්‍රභූන්ගේ මිනීමරු ප්‍රතිපත්තිය බලාත්මක කිරීමේදී, ඒඑෆ්එල්-අයිඕ ක්‍රියාත්මක කරන සහ පාලනය කරන විධායකයින් විසින් නිසැකවම අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කර ඇත. ගුරු සංගම් - ඇමරිකානු ගුරු සම්මේලනය (ද ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ටීචර්ස් - ඒඑෆ්ටී) සහ ජාතික අධ්‍යාපන සංගමය - ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ දැඩි විරෝධයට එරෙහිව පාසල් නැවත විවෘත කිරීමට බල කිරීම සඳහා උපකාරී වේ. චිකාගෝ සහ ලොස් ඇන්ජලීස් හි මෙන් අවසන් ප්‍රථිපලය පෙර තීන්දු කර ගත් නාමික ඡන්දවලට සහභාගී වීමට ගුරුවරුන්ට බල කිරීම මගින් හෝ ෆිලඩෙල්ෆියා සහ ඩෙට්‍රොයිට්හි මෙන්, ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිසේත් ඉඩ නොදීමෙන්, ප්‍රාදේශීය ගුරු සංගම්, නැවත විවෘත කිරීමේ ගිවිසුම් බලෙන් පැටවීමට හවුල් වී ඇත.

එක්සත් ආහාර හා වානිජ සේවක සංගමය (The United Food and Commercial Workers) සහ එහි අනුබද්ධිත සිල්ලර, තොග හා දෙපාර්තමේන්තු ගබඩා සංගමය (Retail, Wholesale and Department Store Union) මස් ඇසුරුම් කම්කරුවන් රැකියාවෙහි තබා ඇත්තේ, එක්සත් ජනපදයේ එම කම්කරුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී ඇති සහ අවම වශයෙන් 286 ක් මියගොස් ඇති තතු තුලය. මෝටර් රථ කර්මාන්තය තුල, යූඒඩබ්ලිව් කම්කරුවන් රැකියාවෙහි තබා ගන්නවා පමනක් නොව, සතියකට පැය 50, 60 සහ 80 ක් පවා වැඩ කිරීමට බල කරන අතරම ආසාදන හා මරන ප්‍රමානය පිලිබඳ සියලු තොරතුරු වසන් කරයි.

“වෘත්තීය සමිති” යන වචනය සමාගම්වල කප්පාදු වලට එරෙහිව කම්කරුවන් ආරක්ෂා කරන සංවිධානයක් ය, නැතහොත් අවම වශයෙන් කෙසේ හෝ එහි සේවකයින්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමට ඇති හැකියාව හා කැමැත්ත, නැතහොත් ඉරනම සමග බැඳී ඇත්තක් ය යන්නක් මවා පායි. කෙසේ වෙතත්, මේ අරමුනු වර්තමාන වෘත්තීය සමිති සමඟ කිසිදු සම්බන්ධයක් නොපෙන්වයි. ඒවා කම්කරුවන්ගේ ඉරනමට ප්‍රතිලෝම සමානුපාතිකව ගමන් කරන ආදායමක් සහිත ධනවත් විධායකයින් විසින් පාලනය කරනු ලබන කාර්මික සින්ඩිකේට ලෙස ක්‍රියා කරයි.

ඒඑෆ්එල්-සීඅයිඕ හි සෑම ප්‍රධාන ජාතික සංවිධානයක් තුලම, වසරකට ඩොලර් 100,000 කට වඩා උපයන ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ නිලධරයන් දුසිම් ගනනක්, සමහර අවස්ථාවල සිය ගනනක් සිටින අතර ඔවුන්ගේ ආදායම සමිතිවල කම්කරුවන්ට වඩා බොහෝ ගුනයකින් වැඩිය. ඉහල නිලධාරීන්ගේ ආදායම් මට්ටම අනුව ඔවුන් එක්සත් ජනපදයේ ඉහලම ආදායම් උපයන්නන්ගෙන් සියයට 5 දෙනා හෝ ඉහලම සියයට 1 අතරට පැමිනේ.

ඇමේසන් කම්කරුවන් වෘත්තීය සමිතිගත කිරීම සඳහා උද්ඝෝෂනය කරන, සාපේක්ෂව කුඩා ආර්ඩබ්ලිව්ඩීඑස්යූ (RWDSU) හි සභාපති ස්ටුවර්ට් ඇපල්බොම් පසුගිය වසරේදී ඩොලර් 344,464ක් උපයා ඇති අතර භාන්ඩාගාරික ජැක් වර්ම් ඩොලර් 324,022 ක් උපයා ඇත. ආර්ඩබ්ලිව්ඩීඑස්යූ ජාතික කාර්යාලයේ, පසුගිය වසරේ ඩොලර් 100,000 කට වඩා “උපයා ගත්” කාර්ය මන්ඩලයේ 29 ක් සිටින අතර, වෘත්තීය සමිතිය, ජාතික කාර්යාලයට පමනක් වැටුප් සඳහා ඩොලර් මිලියන 6 කට වඩා වියදම් කලේය.

ඒඑෆ්ටීහි අයිආර්එස් [ඇමරිකානු මධ්‍යම ආන්ඩුවේ ආදායම් බදු එකතු කිරීමට වගකීම් දරන ආයතනය-සංස්] ගොනු කිරීම් වලට අනුව, 2019 ජුනි මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා දීමනා වශයෙන් ඩොලර් 564,236 ක් ඒඑෆ්ටීහි රැන්ඩි වෙයින්ගාර්ටන් විසින් උපයා ඇත. ජාතික කාර්යාලයට ඩොලර් මිලියන 253 කට වඩා වැඩි ආදායමක් ලැබී ඇති අතර පසුගිය වසරේදී වැටුප් සඳහා ඩොලර් මිලියන 43.75 ක් සහ වැඩ වර්ජන ප්‍රතිලාභ සඳහා ඩොලර් ශුන්‍යයක් (zero dollars) ද ඇතුළුව ඩොලර් මිලියන 238 කට වඩා වියදම් කර ඇත. වෘත්තීය සමිතියේ අවසන් වරට නිකුත් වූ වාර්තාවන්ට අනුව, ඒඑෆ්ටී ජාතික කාර්යාලයේ පුද්ගලයින් 234 ක් පමනක් ඩොලර් 100,000 කට වඩා උපයා ඇති අතර 28 ක් ඩොලර් 200,000 කට වඩා උපයා ඇත.

ට්‍රක් රථ රියදුරන්ගේ සංගමයේ වැටුප් ලේඛනයේ නිලධාරීන් 200 කට වැඩි සංඛ්‍යාවක් වසරකට ඩොලර් 100,000 කට වඩා උපයන අතර සභාපති ජේම්ස් හොෆා (ඩොලර් 387,000) ද ඇතුළුව දස දෙනෙකු ඩොලර් 200,000 කට වඩා උපයති.

තමන්ගේම පාවාදීම්වල ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිතිවල ආදායම් හැකිලී ඇති හෙයින්, විධායකයින් වැඩ වර්ජන අරමුදල්, විශ්‍රාම වැටුප් අරමුදල් සහ ආයතනික කොටස්වල හිමිකාරිත්වය පවා පාලනය කිරීමට යොමු වී ඇත්තේ ඔවුන්ගේ ආදායමට මුදල් සපයා ගැනීමට සහ අමතර ආදායම් එකතු කිරීම සඳහා ය. ඇමරිකාවේ සංගත ලාභදායිතාවය සහ කොටස් වෙලඳපොලේ ක්‍රියාකාරිත්වය සමඟ ඒවා පාලනය කරන සංවිධානවල සහ නිලධාරීන්ගේ මූල්‍ය තත්ත්වය කෙලින්ම සම්බන්ධ ව ඇත්තේ ඒ නයිනි. කම්කරු පන්තියේ ව්‍යාපාරයකට ඔවුන් බිය වන්නේ එය ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවන්ට තර්ජනයක් වන බැවිනි.

වසංගතය අතරතුර වෝල් වීදිය විසින් සිදු කරන ලද කොල්ලකෑමේ මෙහෙයුමට වෘත්තීය සමිති නිලධරය හවුල් වී තිබේ. උදාහරනයක් ලෙස, යූඒඩබ්ලිව් හි නවතම ආදායම් වාර්තාවන්ට අනුව, පසුගිය වසරේදී එහි වත්කම් ඩොලර් මිලියන 31 කින් වැඩි වූ අතර, වෘත්තීය සමිති සිය ඉහල නිලධරයන්ගේ නිවාඩු නිකේතන, කැසිනෝ සහ සංචාර සඳහා ඩොලර් දස දහස් ගනනක් ලබා දී තිබේ. ඔවුන්ගෙන් සිය ගනනක් වසරකට ඩොලර් 150,000 කට වඩා උපයති. මෑත වසරවලදී, කම්කරුවන්ගේ සාමාජික මුදල් සොරකම් කරන සහ සූරා කන වැඩ ගිවිසුම් සම්මත කරවා දීමෙන් සමාගම්වලින් ඒ වෙනුවෙන් අල්ලස් ලබා ගන්නා දූෂිත මැරයන් විසින් මෙහෙයවනු ලබන සංවිධානයක් ලෙස යූඒඩබ්ලිව් එලිදරවු වී තිබේ.

වෘත්තීය සමිති වඩ වඩාත් ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ තීරනාත්මක මෙවලමක් ලෙස මතුවෙමින් තිබේ. බයිඩන්, ඩිමොක්‍රටිකයින් සහ දක්ෂිනාංශික රිපබ්ලිකන් පක්ෂයේ මාකෝ රුබියෝ පවා ඇමසන්හි වෘත්තීය සමිතිකරන ව්‍යාපාරයට පෙර නොවූ විරූ මැදිහත්වීමක් පිලිබිඹු කරන්නේ පන්ති අරගලයේ වර්ධනය පිලිබඳ පාලක කවයන් තුල ඇති දැඩි බිය යි. ඒඑෆ්එල්-සීඅයිඕවටත් ව්‍යාකූල සහ රස්තියාදු කරවනසුලු එක්සත් ජනපද කම්කරු නීතින්ටත් කම්කරුවන් ගැට ගැසීමෙන් මෙය මොට කල හැකි බවට ඔවුහු ගනනය බලති.

එක්සත් ජනපදය සහ එහි ප්‍රතිවාදීන් වන චීනය සහ රුසියාව අතර වර්ධනය වන වානිජ හා මිලිටරි ගැටුම්වල කොන්දේසි යටතේ, කම්කරු පන්තිය ධනවාදී රාජ්‍යයටත් එහි යුද සූදානමටත් ගැටගැසීමේ මාධ්‍යයක් ලෙස ඔවුහු වෘත්තීය සමිති දකිති.

පැට්කෝ (PATCO) ගුවන් මාර්ග පාලකවරුන් ඒඑෆ්එල්-සීඅයිඕ විසින් පාවා දෙනු ලැබීමේ හතලිස් වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇති අතර, ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් හිතාමතාම කුපිත කිරීමකින්, ඔවුන් සේවයෙන් පහ කරන ලදී. පැට්කෝ කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයට පූර්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය පුළුල් ලෙස බලමුලු ගැන්වීමට විරුද්ධව ඒඑෆ්එල්-සීඅයිඕ සමග ගිවිසුමක් සම්මත කර ගත්හ. වෘත්තීය සමිතිවල සහයෝගීතාවයෙන් ක්‍රමානුකූලව හුදෙකලා කොට පරාජයට පත් කරන ලද අරගල මාලාවක් මෙයින් පසුව සිදු විය. සංගත පරිපාලනයේ ව්‍යුහය තුලට වෘත්තීය සමිති සම්පුර්නයෙන්ම ඒකාබද්ධ කිරීමේ දී මෙය එක්සත් ජනපදයේ පමනක් නොව සමස්ත ලෝකයේම ප්‍රධාන සන්ධිස්ථානයක් විය.

කම්කරු පන්තියේ අරගල පුළුල් කිරීම හා ඒකාබද්ධ කිරීම සඳහා ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් සම්පූර්නයෙන්ම ස්වාධීනව කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අවශ්‍ය වේ. කොරෝනා වෛරස් වසංගතය නැවැත්වීම සඳහා හදිසි පියවර ගැනීම, පාසල් හා සේවා ස්ථාන අනාරක්ෂිතව නැවත විවෘත කිරීම නවතා දැමීම සහ කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාර සඳහා පූර්න වන්දි ගෙවීම ඇතුළුව කම්කරුවන්ට තමන්ගේම ඉල්ලීම් ඉදිරිපත් කල හැකි ස්වරූපය එවැනි කමිටු ය.

පංති අරගලයේ වර්ධනය සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයකට හා වැඩපිලිවෙලකට සම්බන්ධ කරමින්, ස්වාධීන කම්කරු සංවිධාන පිහිටුවීමට සහ උපකාර කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානාත්මතා පක්ෂය අපගේ උපරිම ශක්තියෙන් කටයුතු කරමු. එවැනි කමිටු පිහිටුවීමට උනන්දුවක් දක්වන කම්කරුවන්ගෙන් අද ම අප හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමු.

Loading