කොවිඩ්-19 ආසාදන ඉන්දියාව ගිල ගනිද්දී නොමිලේ එන්නත් ලබාදීම සහතික කිරීමට මෝදි ආන්ඩුව අසමත් වෙයි

[මෙහි පලවන්නේ 2021 අප්‍රේල් 30 දින As COVID-19 infections engulf India, Modi government fails to guarantee free vaccines යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.]  

එක් දිනක සිදු වූ කොවිඩ්-19 මරනවල නව ඉහල අගයක් වන ඊයේ දිනයේ සිදු වූ මරන 3,645ක් ද සමගින්, ඉන්දියාව පුරා කොරෝනා වෛරස් ව්‍යසනය අඛන්ඩ ව ගැඹුරු වේ. දෛනික ආසාදනවල තවත් ලෝක වාර්තාවක් වන 379,257ක් ද ඉන්දියාව වාර්තා කලේ, තහවුරු වූ සමස්ත ආසාදන ගනන මිලියන 18 පසුකර යවමිනි.

දිල්ලිය හා මුම්බායි වැනි විශාල නගර ද ඇතුලු ව රට පුරා පිහිටි රෝහල් හා මෘත ශරීරාගාර පිරි ඉතිරී යයි. මෙම මාරාන්තික කොන්දේසි යටතේ පවා, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, කොරෝනා වෛරස් එන්නත් නොමිලේ ලබාදෙන බවට සහතිකවීම ප්‍රතික්ෂේප කර තිබේ.

2021 මැයි 1 වන සෙනසුරාදා ඉන්දියාවේ නවදිල්ලියේ ආදාහනාගාරයක් බවට පරිවර්තනය කර ඇති භූමියක COVID-19 වින්දිතයින් ආදාහනය කිරීමට ඥාතීන් සූදානම් වේ. (ඡායාරූප අනුග්‍රහය: ඒපී ඡායාරූපය / අමිත් ෂර්මා)

අප්‍රේල් 20දා ජාතිය අමතා කල කතාවේ දී මෝදි ප්‍රකාශ කලේ, අවුරුදු 18ට වැඩි සියලු ජනයාට මැයි 1දා සිට එන්නත් ලබාගත හැකි වනු ඇති බව යි. ඊට පෙර, ආන්ඩුව එන්නත් ලබා දෙමින් සිටියේ වයස අවුරුදු 45ට වැඩි අයට පමනි. ඉන්දියාව සතුව “ලෝකයේ ඉතාම ලාබ එන්නත්” තිබේ යයි මෝදි පාරම්බෑව ද වයස 18 සිට 45 දක්වා වන කන්ඩායමට එන්නත් නොමිලේ නො ලැබෙනු ඇති අතර, එය ලබාගන්නා අයට මුදල් ගෙවීමට සිදුවනු ඇත.

සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය අප්‍රේල් 19දා නිකුත් කල ප්‍රකාශයක් පැහැදිලි කලේ, මෝදි ආන්ඩුවේ ප්‍රමුඛතාව වන්නේ පුද්ගලික නිෂ්පාදකයන්ගේ ලාභ අවශ්‍යතා හා පාලක ප්‍රභූවේ භූ-මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කිරීම මිස, මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීම නො වන බව යි.

“රාජ්‍ය-පුද්ගලික ඒකාබද්ධ පර්යේෂන, අත්හදා බැලීම් හා නිෂ්පාදන වර්ධනය කිරීමේ සිට, ඉලක්කගත රාජ්‍ය ප්‍රදානයන් හා ඉන්දියාවේ නියාමන පද්ධතිය තුල සිදු කරන දුරදිග යන පාලන ප්‍රතිසංස්කරනයන් දක්වා වන, පෙර නුවූ විරූ තීරනාත්මක පියවරයන් ගැනීම හරහා ඉන්දියාවේ පුද්ගලික අංශයේ එන්නත් නිෂ්පාදන හැකියාව මූලෝපායික ව බලවත් කෙරී ඇතැ” යි ප්‍රකාශය සඳහන් කලේ ය. මෙම කයිවාරු හා නරුම ප්‍රකාශය, මාරාන්තික රෝගයට මුහුන දෙන මිලියන ගනනක් ඉන්දියානුවන්ට කවර හෝ අස්වැසිල්ලක් නොවනු ඇත. 

ඔක්සිජන්, මූලික වෛද්‍යමය සැපයීම්, හදිසි එන්නත් හා ඖෂධවල හිඟය මෙන් ම, වසංගතයට ගොදුරු වූවන්ගේ මලසිරුරු ඉවත් කිරීමේ ගැටලු පිලිබඳ අතිශය ඛේදජනක වාර්තාවන් මාධ්‍ය තුල ආධිපත්‍යය දරයි.

Scroll.in වෙබ් අඩවිය අප්‍රේල් 29දා වාර්තා කලේ, ආදාහනාගාර පිරී ඉතිරී යමින් පවතින බව යි. මලසිරුරක් ආදාහනය කරනු ලබන දර සෑයකට, දර කිලෝග්රෑම් 300ක් අවශ්‍ය බව සඳහන් කල එය, “දරවලට වඩා මිනී තිබෙනවා... වැල නොකැඩී මිනී පැමිනෙනවා” යනුවෙන් ආදාහනාගාර කම්කරුවෙකු වන රාම් පාල් කල ප්‍රකාශයක් උපුටා දැක්වී ය.

ගනන් නැති අනෙකුත් මාධ්‍ය වාර්තා හෙලිදරව් කරන්නේ, මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩු කොරෝනා වෛරස් මරන අඩු කර දක්වන බව යි. දිල්ලියේ ආදාහන පිටි හතක් වෙත පැමිනි එන්ඩීටීවී ප්‍රවෘත්ති ජාලයේ ජනමාධ්‍යවේදියෝ, අප්‍රේල් 18 සිට 24 දක්වා කාලයේ නිල කොවිඩ්-19 මරන ලැයිස්තුවට, අවම වසයෙන් මරන 1,150ක් ඇතුලත් නො කරන ලද බව අප්‍රේල්  28දා වාර්තා කල හ. එක් ආදාහනාගාරයක සේවකයෙකු එන්ඩීටීවී වාර්තාකරුවන්ට පැවසුවේ වෛරසයෙන් නිවසේදී මියගිය පුද්ගලයින්ගේ මරන, COVID-19 මරන ලෙස වාර්තා වී නොමැති බවයි.

සැබෑ කොවිඩ්-19 මරන සංඛ්‍යාව හෙලිදරව් නො කරන්නේ යයි චෝදනා ලත් එක් දිස්ත්‍රික් පරිපාලනයක් පිලිබඳ ව මාධ්‍යවේදියෙක් විමසූ විට, මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) සාමාජිකයෙක් වන හර්යානා මහ ඇමති මනෝහාර් ලාල් ඛට්ටර් අවඥා සහගත ලෙස මෙසේ කීවේ ය: “මරනයට පත්වූවන්ට නැවත පන එන්නේ නැති නිසා, මිය ගොස් සිටින පුද්ගලයන් ගනන පිලිබඳ ව හඬ නැගීමෙන් පලක් නැහැ.”

හුදෙක් කඳුගැසෙන මල සිරුරු පිලිබඳ ව පමනක් නොව, සියල්ලටත් වඩා, වෛද්‍ය  විශේෂඥයන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීම හිතාමතා ම ප්‍රතික්ෂේප කිරීම මගින් ද ඉන්දියානු මහජනයා කෙරෙහි පාලක ප්‍රභූව දක්වන සාපරාධී නොතකා හැරීම හෙලිදරව් වෙයි.

කොරෝනා වෛරස් එන්නත්වල මිල නීර්නය කිරීම සඳහා, දේශීය හා ජාත්‍යන්තර එන්නත් හා ඖෂධ සමාගම්වලට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කොල එලිය දල්වා ඇත. රටෙහි ජාතික එන්නත්කරන මූලෝපායෙහි තුන්වන අදියර, “ලිහිල් කරන ලද එන්නත් මිල නියම කිරීම්” හා “මිල නියම කිරීම, ප්‍රසම්පාදනය, යෝග්‍යතාව සහ එන්නත් පාලනය විවෘත හා නම්‍යශීලී කිරීම” ඉලක්ක කරන බව, අප්‍රේල්  19දා අමාත්‍යාංශය නිකුත් කල ප්‍රකාශය සඳහන් කලේ ය. 

මෙම සැලසුම යටතේ, ඉන්දියාවේ සේරම් ආයතනය (එස්අයිඅයි) හා භාරත් බයෝටෙක් යන දේශීය එන්නත් නිපදවන සමාගම් දෙකකට ද ස්පුට්නික් එන්නත නිපදවන තුන්වන සමාගමකට ද ඉන්දියාව තුල නිෂ්පාදනය කිරීමේ අයිතිය මෝදි ආන්ඩුව විසින් ප්‍රදානය කර ඇත.

මෙම සමාගම් විසින් නිපදවනු ලබන එන්නත් මාත්‍රාවන්ගෙන් සියයට පනහක් මධ්‍යම ආන්ඩුව වෙත සපයනු ඇති අතර, ඉතිරි කොටස නිෂ්පාදකයන් විසින් තීරනය කරනු ලබන “විනිවිද පෙනෙන” මිලකට විවෘත වෙලඳපොලේ දී මිල දී ගනු ඇත. අවසානයේ දී, පිරිවැය පටවනු ලබන්නේ, එන්නත් ලබාගැනීමට නො ඉවසිල්ලෙන් උත්සාහ දරන, මිලියන ගනනක් වන මහජනයා මත යි. 

පුද්ගලික රෝහල්වලට මාත්‍රාවක් රුපියල් 600කට (ලංකා රු 1600) ද ඉන්දීය ප්‍රාන්ත ආන්ඩුවලට රුපියල් 400කට ද මධ්‍යම ආන්ඩුවට රුපියල් 150 බැගින් ද එස්අයිඅයි සංගතය දැනට කොවිෂීල්ඩ් එන්නත අලෙවි කරමින් සිටී. 

එහෙත්, මධ්‍යම ආන්ඩුවට සපයනු ලබන එන්නත්වල මිල රුපියල් 400 දක්වා ඉහල දැමීමට සමාගම උත්සාහ දරමින් සිටින්නේ, අපනයන වෙලඳපොලේ එන්නත් මාත්‍රාවක පිරිවැය රුපියල් 1,125 සිට 1,500 දක්වා වන බව අවධාරනය කරමිනි. දේශීය කොවිඩ්-19 එන්නත් වන වන කොවැක්සීන් නිපදවන භාරත් බයෝටෙක් සංගතය අප්‍රේල් 24දා කියා සිටියේ, එහි එන්නත් මාත්‍රාවක් ප්‍රාන්ත ආන්ඩුවලට විකුනන මිල රුපියල් 600ක් ද පුද්ගලික රෝහල්වලට රුපියල් 1,200ක් ද වනු ඇති බව යි. 

වයස අවුරුදු 18ට වැඩි සෑම ඉන්දියානු පුරවැසියෙක් ම, එනම් පුද්ගලයන් මිලියන 800ක් හෝ රටෙහි ජනගහනයෙන් සියයට 65ක්, එන්නත්කරනය කිරීමට වැය වනු ඇත්තේ, ඩොලර් බිලියන 6.4ක් පමනක් හෙවත් ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.32ක් පමනක් බව පෙන්නුම් කරමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මෑත දී පලකල සංඛ්‍යා ලේඛන, මෝදි ආන්ඩුව විසින් ඉන්දීය මහජනයා අත්හැර දමා තිබීම හෙලිදරව් කරයි.

එස්අයිඅයි හා භාරත් බයෝටෙක් සමාගම් විසින් තවමත් එන්නත් සපයා නැති නිසා, මැයි 1දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් එන්නත්කරනය කිරීම ඇරඹිය හැකි ද යන්න පිලිබඳ ව බොහෝ ඉන්දීය ප්‍රාන්තවලට නිශ්චිත නැති බව, මාධ්‍යයන් වාර්තා කරයි.

රාජස්ථාන්, චැටිස්ගාර්, ජාර්කාන්ද්, පන්ජාබ් හා කේරල වැනි “විපක්ෂ” ආන්ඩු, “එන්නත් ප්‍රමානවත් තරමින් නොමැති නිසා” මෝදිගේ එන්නත්කරන වැඩපිලිවෙලේ ඊලඟ අදියර කල් දැමීමට සිදුවිය හැකි බව සඳහන් කරන්නේ යයි, ඉන්දියන් එක්ස්ප්‍රස් අප්‍රේල්  27දා වාර්තා කලේ ය.

තම ආදරනීයයන්ට රෝහල් ඇඳක්, ජීවිත බේරන ඖෂධ හා ඔක්සිජන් සිලින්ඩර සුරක්ෂිත කරගැනීමට, දසදහස් ගනන් ජනයා කනස්සලුසහගත ලෙස උත්සාහ දරමින් සිටිති. අනෙකුත් අය තම ආදරනීයයන්ගේ මල සිරුරු ආදාහනය කරගැනීමට උත්සාහ දරති. මෙම බියකරු දර්ශනයන් මධ්‍යයේ, ඉන්දියාවේ සුපිරි පොහොසත්තු යුරෝපයේ සුරක්ෂිත ස්ථානවලට, ඉන්දියන් සාගරයේ සුඛෝපභෝගී ස්ථානවලට හෝ මැද පෙරදිග බලා පුද්ගලික ගුවන් යානාවලින් පියාසර කිරීමට සමත් වෙති.

මුම්බායි සිට ඩුබායි දක්වා යන ඒක-මාර්ගික වානිජ ගුවන් ගමනක් රුපියල් 80,000ක් (ඩොලර් 1,000ක් පමන) හෙවත් සාමාන්‍ය රේට්ටුව මෙන් 10 ගුනයක් වෙද්දී, එයාර් චාටර් සර්විස් ඉන්දියා ප්‍රකාශකයෙක් කියා සිටියේ පුද්ගලික ජෙට් ගමන් සඳහා වන ඉල්ලුම “නිරපේක්ෂව ම උමතු සහගත” බව යි. ඔහු ඒඑෆ්පී පුවත් සේවයට අප්‍රේල් 27දා මෙසේ කීවේ ය: “හෙට අපිට ඩුබායි බලා ගුවන් ගමන් 12ක් තිබෙනවා, යානා අටක් සම්පූර්නයෙන් පිරිලා.”

කොවිඩ්-19 සම්බන්ධයෙන් සාපරාධී ලෙස නොතැකීමේ ප්‍රතික්‍රියාව හේතුවෙන් ඉහල නගින මහජන කෝපය පිලිබඳ ව මෝදි ආන්ඩුව හා එහි ප්‍රාන්ත සගයෝ තියුනු ලෙස භීතියෙන් පසුවෙති. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය හා ට්විටර් අඩවිය පිරී පවතින්නේ ආන්ඩුව හා සෞඛ්‍ය බලධාරීන් පිලිබඳ කෝපාන්විත හෙලාදැකීම්වලිනි.

මෙම කෝපය පිටාර ගැලීම වලකාලීමේ ප්‍රතිගාමී ප්‍රයත්නයක යෙදෙමින්, වසංගතයට දක්වන ආන්ඩුවේ ප්‍රතිචාරය පිලිබඳ ව විවේචනශීලී වන සියලු පෝස්ටු මකා දමන ලෙස මෝදි ආන්ඩුව ට්විටර් වෙතින් ඉල්ලී ය. මිය යමින් සිටින සිය සීයාට ඔක්සිජන් ලබා දෙන ලෙස ට්විටර් තුලින් මංමුලා සහගත ආයාචනයක් පලකල 26 හැවිරිදි ශෂාන්ක් යාදව්ට, ඔක්සිජන් හිඟයන් පිලිබඳ ව කටකතා පතුරවන්නේ යයි උත්තර් ප්‍රදේශ් පොලීසිය මේ සතියේ චෝදනා කලේ ය. ඔහු කලා යයි උපකල්පිත වරද වන්නේ “බිය හෝ අනතුරු ඇඟවීම... ඇති කිරීමට උත්සාහ දැරීම යි.”

Loading