ලංකාව නුදුරේම මහා “ව්‍යසනයකට මුහුන දෙනු ඇතැ” යි වෛද්‍ය වෘත්තිකයෝ අනතුරු අඟවති

කෝවිඩ්-19 වසංගතය විසින් එලැඹෙන සති කිහිපය තුල පෙර නොවූ විරූ “දැවැන්ත පරිමාන ජාතික ව්‍යසනයක් ඇති කරනු ඇතැ” යි, පසුගිය සෙනසුරාදා, වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගම් කිහිපයක් ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යැවූ ලිපියකින් අනතුරු අඟවා තිබේ. 

වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගම් කිහිපයක් ඒකාබද්ධව ජනාධිපති රාජපක්ෂට යැවූ ලිපිය

ලිපිය ලියා ඇත්තේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුවේ ඒකාබද්ධතාවයෙනි. “පෙර නොවූ විරූ මට්ටමේ මරන වාර්තා වීමක් හා ප්‍රතිකාර කරන්නේ කාටද, මරනයට පත් වීමට ඉඩ හරින්නේ කාවද, යනාදි වශයෙන් තෝරා ගැනීමකට ලංකාව ගමන් කරමින් තිබේ” යනුවෙන් එහි සඳහන් වේ. 

රටපුරා කෝවිඩ්-19 ආසාදිත රෝගීන්ගෙන් රෝහල් ඇඳන්, දැඩි සත්කාර ඒකක පිරී, ඔක්සිජන් හිඟයක තර්නජය මතු කරන තත්වයක් යටතේ රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රය එහි උපරීම ධාරිතාවට පැමින තිබේ. එසේම රෝහල්වල ඉඩකඩ නො මැතිවීම හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. 

ඒ තත්වය තුල “ඉදිරි සති තුන ඇතුලත හා ඉන් ඉදිරි කාලයකටත් මරන ඉහල යෑම නො වැලැක්විය හැකි” බවත් “දැවැන්ත ව්‍යසනයක විභව අන්තරායක් පවතින” බවත් ලිපිය වැඩිදුරටත් අවධාරනය කරයි.  

මෙම අනතුරු ඇඟවීම් සනාථ කරමින් ඊයේ (09) දෛනික ආසාදිතයින් 2,672 ක් වාර්තා විය. ඊටපෙර දින, මරන 22 ක් වාර්තා වූ අතර, එය එක් දිනක් තුල වාර්තාවූ උපරිම මරන සංඛ්‍යාව විය. මේ වන විට සමස්ත මරන සංඛ්‍යාව  8,01 ක් දක්වා ඉහල නැග ඇත. අප්‍රේල් 14 සිට මේ දක්වා ගත වූ දින 25 තුල දී මරන 1,99 ක් වාර්තා වී තිබේ. රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 19,350 ක් දක්වා වැඩි තිබේ.   

වෛද්‍ය සංගම් ජනාධිපතිට යැවූ ලිපියෙන් ඉල්ලීම් මාලාවක් ද ඉදිරිපත් කරයි. ජනගහනයෙන් අවම වශයෙන් සියයට 60 ක් එන්නත්කරනයට ලක් කරන තුරු ප්‍රාදේශීයව අගුලු දැමීම් හා දිස්ත්‍රික් අතර මහජන සංචරනය සීමා කිරීම, ආර්ථික මධ්‍යස්ථාන වල රෝගය වැලැක්වීමට පියවර ගැනීම, නිවාසවල ප්‍රතිකාර ගන්නා අයට අවශ්‍ය පහසුකම් සැලසීම, රෝහල්වලට දැඩි සත්කාර ඒකක ඇඳන් වහා සම්පාදනය සහ පීසිආර් පරීක්ෂන ඉහල දැමිය හැකි වන පරිදි රසායනාගාර ශක්තිමත් කිරීම එම ඉල්ලීම් අතර වේ.  

කෙසේ නමුත්, මේ වසරේ ජනවාරි 29 දා ආරම්භ කල එන්නත්කරනය මගින් මෙතෙක් එන්නතේ පලමු මාත්‍රාව හෝ ලබා දී ඇත්තේ ජනගහනයෙන් සියයට 2.4 තරම් සුලු කොටසකට වන අතර වෛද්‍යවරුන් ඉල්ලා සිටින ඉලක්කය ජය ගැනීමේ කවර හෝ විධිමත් වැඩපිලිවෙලක් ආන්ඩුවට නොමැත. 

2020 ඔක්තෝබර් මස නිකුත්කල කොවිඩ්-19 වැලැක්වීමේ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විධිවිධාන වහාම ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍යවරු තම ලිපියෙන් ඉල්ලා සිටිති. ඉතා සීමිත ඉඩකඩ සහිත ප්‍රසිද්ධ මගී ප්‍රවාහන සේවාවන් හි සහ වසංගතය බෝ කරන මධ්‍යස්ථාන බවට පත්ව ඇති ඇඟලුම් කම්හල් ඇතුලු දහස් සංඛ්‍යාත කම්කරුවන් එක්වර රැකියාවෙහි නිරත වැඩපොලවල එම විධිවිධානයන්ට අනුකූල කායික දුරස්ථභාවය ඇතුලු සෞඛ්‍යාරක්ෂන මාර්ගෝපදේශන කිසිසේත්ම යතාර්ථයක් නොවුනි. කම්හල් හිමියන් තම ලාභ අරමුනු උදෙසා එම මාර්ගෝපදේශන නොතකා හලේ ආන්ඩුවේ පූර්න ආශීර්වාදය සහිතවය.   

පසුගිය ඔක්තෝබර් මාසයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් රෝගාතුරව සිටියදීත් වැඩෙහි යෙදවීමේ ප්‍රතිඵලය වූයේ දහසකට අධික ආසාදිතයන් වාර්තා වීමයි. පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි සිම්ලයින් ඇඟලුම් කම්හල වසා දැමීමට බල කෙරුනේ එහි සේවකයන් දෙදෙනෙකු මරනයට පත්ව අඩකට පමන රෝගය ආසාදනය වීමෙන් පසුව බව කම්හල අවට ප්‍රදේශවාසීන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග ප්‍රකාශ කලේ ය. 

සෘජුව ප්‍රකාශ නොකල ද, වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිට යවන ලද ලිපියෙන් සහ අනෙකුත් විශේෂඥයන්ගේ අනාවරනයන් මගින් ඇඟවුම් කෙරෙන්නේ, දසදහස් සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත විනාශය නතර කිරීම සඳහා රට පූර්න වශයෙන් අගුලු දැමීම වහා ක්‍රියාත්මක කලයුතු අත්‍යවශ්‍ය පියවරක් බවයි. 

කෙසේ නමුත්, 'රටෙහි ආර්ථිකය' රැකගැනීමේ බැනරය යටතේ ආන්ඩුව ඇතුලු පාලක පංතිය, මාධ්‍ය සහ ධනපති ශාස්ත්‍රාලිකයන් ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනයට මෙම වෛද්‍ය සංගම් යටත්වෙයි. පූර්න අගුලු දැමීමක් සඳහා වන ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් වලකින ඔවුන් අවසානයේ වසංගතය පාලනය කිරීමේ වගකීම මහජනතාවට පවරයි:  'සියලු දෙනාම මේ කර්තව්‍යයට (වසංගත පාලනයට) උර නො දුන්න හොත් අගුලු දැමීමකට හා ඇඳිරි නීතිය පැනවීමකට ගමන් කිරීමට පවා බලධාරීන්ට සිදු විය හැකි නිසා වසංගතය පාලනය කර ගැනීමට උත්සාහ කරමු.'

වසංගතය ජයගනුවස් තම වෛද්‍ය විද්‍යාත්මක ඥානයෙන් උකහා ගන්නා ප්‍රායෝගික පියවරවල අත්‍යවශ්‍යභාවය සහ තමා ජීවත්වන සමජ පර්යාය තුල එම පියවර ක්‍රියාවට දැමීමේ නොහැකියාව අතර පවතින මෙම පරස්පර විරෝධයේ මූලය කුමක්ද යන්න වෛද්‍ය විශේෂඥයන් විසින්මත් වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

පුද්ගලික දේපොල මත පදනම්ව ලාභය සඳහා නිෂ්පාදනය කෙරෙන ධනේශ්වර සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකුට ම ස්වභාවිකව උරුම වන්නේ ධනේශ්වර දෘෂ්ටිය යි. ඉහත දැක්වූ පරස්පර විරෝධය ඇතුලු තමා මුහුනදෙන අනේකවිධ ගැටලු මෙම ධනපති ක්‍රමයේ නිර්මිතයන් ලෙස වටහා ගැනීමත්, එම ගැටලු විසඳාගත හැකි නව සමාජ පර්යායක් ගැන සිතීමත්, එම ධනේශ්වර දෘෂ්ටියෙන් වලකා ලයි.

විකල්ප සමාජ ක්‍රමයක් පිලිබඳ චින්තනය අවදි නොකරන සහ ධනපති ක්‍රමය පරමය ලෙස සැලකෙන එම දෘෂ්ටිය දරා සිටින්නා අවසාන වශයෙන් තල්ලු වනුයේ පවත්නා පර්යායට අනුරූප වන පරිදි තම භාවිතය සකස්කර ගනිමින් එයට යටත් වීමටයි.     

ධනපති පාලකයන් රැක ගැනීමට වලිකන මෙම “ආර්ථිකය” කුමක්ද? වසංගත සමය තුල මහජන ජීවිත මිලියන තුනකට අධික සංඛ්‍යාවක් බිලි දෙමින් රැකගත් මෙම ආර්ථිකයේ යතා ස්වභාවය වටහා ගැනීමට දත්ත කීපයක් පිරික්සීම වුව සෑහේ. 

2019 මුල් කාර්තු තුනට සාපේක්ෂව 2020 දී ලෝක කම්කරු පන්තියේ ආදායම ඩොලර් ට්‍රිලියන 3.5 කින් එනම් සියයට 10.7 කින් පහත වැටී ඇත. ඊට විපරීතව, ලෝකයේ බිලියනපතියන්ගේ සාමූහික ධනය පසුගිය වසර තුල සියයට 60කින් පිම්මේ නැග ඇත්තේ ඩොලර් ට්‍රිලියන 8ක සිට ඩොලර් ට්‍රිලියන 13.1 ට අධික මට්ටමටය.

ලංකාව පමනක් ගතහොත්, වසංගතය පැමිනීමෙන් පසු අඩුම තරමින් අවිධිමත් අංශයේ රැකියා 500,000 ක් අහෝසිවී තිබේ. තවත් 500,000 ක් ජනතාව දරිද්‍රතාවයට ඇද දමා ඇත. කෙසේවෙතත්, රටේ ඉහලම ව්‍යාපාරික සමාගම් නවය පසුගිය වසරේදී රුපියල් බිලියන 80 කට වැඩි ලාභයක් උපයා ගෙන ඇත. 

ලාභය මත පාදක වූ නිෂ්පාදනය පමනක් නොව ධනපති ක්‍රමය මූල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය ද, ගෝලීය වසංගතය පරාජය කිරීමේ ලා අත්‍යවශ්‍ය වන ගෝලීයව ඒකාග්‍ර කෙරුනු ප්‍රතිචාරයකට පරම සතුරුව සිටී. විශේෂයෙන්ම, හැකි ඉක්මනින් සමස්ත ලෝක මහජනතාවට එන්නත ලබාදීම වලකා සිටින්නේ එම නිෂ්පාදන සමාගම් වල ලාභ අරමුනු සහ එන්නත් ජාතිකවාදය යි.  

වසංගතය ව්‍යසනකාරීව ඉදිරියට යාමේ, යුද්ධයේ සහ සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ගෝලීය ප්‍රහාරයේ මූලය පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ද, ජාතික රාජ්‍යයන් තුල මුල්බැස ඇත්තාවූ ද ගෝලීය ධනපති ක්‍රමය බව කම්කරු පන්තිය ගැඹුරින්ම වටහාගත යුතුය.

“වසංගතයට සාපරාධි ලෙස ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙත නතර නරනු! පීඩාවට පත් වූවන්ට සම්පූර්න වන්දි සහිතව මුලු රටම අගුලු දමනු! යනුවෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) මේ මස 08 දා නිකුත් කල ප්‍රකාශයෙහි මෙසේ අවධාරනය කරයි: 

“කම්කරුවන් වසංගතය සම්බන්ධයෙන් තීන්දුගැනීමේ කාර්යය තම අතට ගත යුතුය. ඔවුන් තරුන හා ග්‍රාමීය ජනතාව පෙලගැස්වීම සඳහා ද සෑම කර්මාන්ත ශාලාවකම හා අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය”.

අත්‍යාවශ්‍ය සේවා පුර්න ආරක්ෂාව යටතේ පවත්වා ගත යුතු අතර, බලපෑමට ලක් වන සෑම දෙනාටම වැටුප්, දීමනා හා වන්දි සලසමින් සියලූම අත්‍යාවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමිය යුතු ය. මහ ව්‍යාපාරිකයන්ගේ ධනය අත්පත් කර ගැනීම හා විදේශ නය ගෙවීම් නතර කිරීම මගින් එවැනි අත්‍යාවශ්‍ය පියවර සඳහා මුදල් සම්පාදනය කල හැකි බව සඳහන් කරන සසප ප්‍රකාශය මෙසේ අවධාරනය කරයි. 

“කම්කරු පන්තියට මෙම ක්‍රියාමාර්ග සඳහා සටන් කල හැක්කේ, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා ස්වාධීන ශක්තිය බලමුලු ගැන්වීමෙන් පමනක් බවයි”.

Loading