ඉහල යන කොවිඩ්-19 ආසාදන නොතකා ආන්ඩුව ජාතික අගුලු දැමීමකට එරෙහි වෙයි

[මෙහි පලවන්නේ 2021 මැයි 17, දින Sri Lankan government opposes national lockdown despite surging COVID-19 infections මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරස් ආසාදන විනාශකාරී මට්ටම්වලට ඉහල නගිමින් තිබේ. සමස්ත ආසාදන සංඛ්‍යාව 142,000ට අධික වන අතර -මින් තුනෙන් පංගුවක් ම වාර්තා වූයේ මැයි 2 හා මැයි 15 අතර ය- මරන සංඛ්‍යාව 962ක් වෙයි. අව ගනනය හේතුවෙන් නිල සංඛ්‍යා ලේඛන විශ්වාසනීයත්වයෙන් තොර බව, වෛද්‍ය විශේෂඥයෝ සටහන් කර ඇත.

මේ මස මුල දී, ගෝලීය වසංගතයේ බියකරු තත්ත්වය පිලිබඳ ව වාර්තා කල  වොෂින්ටන් විශ්ව විද්‍යාලය පාදක කොටගත් සෞඛ්‍ය මිතික හා ඇගයීම් ආයතනය (අයිඑච්එම්ඊ), ශ්‍රී ලංකාව තුල තීව්‍ර ව  ඉහල යන කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවන් ගැන සටහන් කලේ ය.

ජුනි මාසය වන විට දිවයිනේ දෛනික ආසාදන සංඛ්‍යාව 50,495 ක්, එම මාසය අවසානය වන විට දෛනික මරන සංඛයාව 224ක් සහ සැප්තැම්බර් 1දා වන විට සමස්ත මරන සංඛ්‍යාව 20,876 ක් වනු ඇති බවට එම අධ්‍යනය පුරෝකථනය කලේ ය. එහි නරකම තත්වය ලෙස සැප්තැම්බර් මාසයේ මරන 30,132 ක් සිදුවන බවට එය අනාවැකි පල කරයි.

කොලඹ නේවාසික නිවහන් ප්‍රදේශයක දී කොවිඩ්-19 පරීක්ෂනයට බඳුන් වීමට තම සාම්පල ලබා දීමට පෙල ගැසී සිටින මහජනයා. (ඒපී ඡායරූප / එරංග ජයවර්ධන)

තවත් ඇඳන් 17,045ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය  වනු ඇතැයි අනතුරු ඇඟවූ මෙම අධ්‍යයනය, දැඩි සත්කාර ඒකකයන්හි (අයිසීයූ) ඇඳන් ධාරිතාව 3,450 දක්වා ඉහල දමන ලෙස රජයේ සෞඛ්‍ය අංශයෙන් ඉල්ලා සිටියේ ය.

රටෙහි ගරා වැටුනු රාජ්‍ය සෞඛ්‍ය  සේවාවට ප්‍රමානවත් අරමුදල් සැපයීම ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ප්‍රතික්ෂේප කර ඇත. වර්තමානයේ රෝහල්වල හා මෑත දී ස්ථාපනය කරන ලද අතුරු සෞඛ්‍ය පහසුකම් සපයන ස්ථාන තුල ඇත්තේ අයිසීයූ ඇඳන් 147ක් පමනි. “රෝග ලක්ෂන පෙන්නුම් නොකරන රෝගීන්” අද දින පටන් නිවෙස්වල තබා “අධීක්ෂනය කරනු ලබන” බව සෞඛ්‍ය  රාජ්‍ය  ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය සතියේ මාධ්‍යයට කීවා ය.

රෝහල් පිරී ඉතිරී යන අතර, කොවිඩ්-19 රෝගය වැලඳුනු සමහරු ප්‍රතිකාර නො ලබා නිවෙස්වල මිය යමින් සිටිති. දැනට ශ්‍රී  ලංකාවෙන් වෛරසයේ මාරාන්තික ප්‍රභේද හයක් සොයාගනු ලැබ ඇති බව ද වෛද්‍ය බලධාරීන් වාර්තා කර තිබේ.

ගැඹුරු වන මෙම තත්ත්වය නො තකා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, ජාතික පරිමාන අගුලු දැමීමකට ආරම්භකත්වය ගැනීම උද්ධච්ඡ ලෙස ප්‍රතික්ෂේප කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට අගුලු දැමීම් “නො ගැලපෙන” බවත්, “ආර්ථික ක්‍රියාකාරීත්වයට” බාධා පමුනුවන බවත්, රාජපක්ෂ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශ කලේ ය. සංවර්ධිත රටවල වේවා, ඊනියා සංවර්ධනය වෙමින් පවතින රටවල වේවා, පාලක ප්‍රභූහු, මිනිස් ජීවිතවලට ඉහලින් ලාභය තැබි ය යුතුය යන එකම පිලිවෙත අනුගමනය කරති.

යුද හමුදාපති ශවේන්ද්ර සිල්වා ප්‍රධානත්වය දරන රාජපක්ෂගේ කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (එන්ඕපීසීපීසී), ජාතික පරිමාන අගුලු දැමීමකින් වැලකීම සඳහා, “කුඩා ප්‍රදේශ” හුදකලා කරනු ලැබීම නිවේදනය කර ඇත.

උතුරු කොලඹ රෝහලේ කොරිඩෝරයක නිදන කොරෝනා වෛරස් රෝගියෙක් (මූලාශ්‍රය: ෆේස්බුක්)

මැයි 10දා රාජපක්ෂ හමුවූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (එස්එල්එම්ඒ) නිලධාරීහු හදිසි පියවර ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. එස්එල්එම්ඒ නිකුත් කල මාධ්‍ය නිවේදනයක්, “ආසාදනය පැතිර යාම පාලනය කිරීමේ දී කුඩා ප්‍රදේශ වසා දැමීම ඵලදායී නො වනු ඇතැ” යි සඳහන් කලේ ය. ඵලදායී පියවරක් නො ගතහොත්, “කොවිඩ් මරන පෙර නුවූ විරූ මට්ටම්වලට ලඟා වී” රට “බරපතල ජාතික ව්‍යසනයකට” මුහුන දෙනු ඇතැයි එය අනතුරු ඇඟවී ය.

“ආසාදන සංඛ්‍යාවන් ක්ෂනිකව හා බලගතු ලෙස අඩු කරන එකම පියවර වන්නේ, මහජනයාගේ සංචරනය සීමා කරන දැඩි හා ක්ෂනික පියවර ගැනීම බව, බොහෝ රටවල සාක්ෂි පෙන්නම්  කරන” බව එම ප්‍රකාශය කියා සිටියේ ය. ශ්‍රී ලංකාවේ සීමිත සෞඛ් සේවාවන් හා පුහුනු සෞඛ්‍ය  කම්කරුවන් “බිඳවැටීමේ ලක්ෂ්‍යය ට” ලඟා වී ඇතැයි වෛද්‍ය  විශේෂඥයන් ද අනතුරු අඟවා තිබේ.

ක්‍රියාවට දමනු ඇත්තේ “සංචරන සීමා” පමනක් බව, එන්ඕපීසීපීසී ප්‍රධානී සිල්වා ප්‍රකාශ කලේ ය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ පනවන ලද මෙම සීමා, සඳුදා උදෑසන දක්වා බලපැවැත්වුනි. එහෙත් අද පටන් මැයි 31 දක්වා රාත්‍රීයේ දී පමනක් ක්‍රියාත්මක වන සීමාවන්, එකදිගට ම වැඩකරන සේවකයන්ට අදාල නො වේ

“කොවිඩ් වැලැක්වීමේ උපදේශන දැඩිව අනුගමනය කරමින්” ඇඟලුම් කර්මාන්තය අඛන්ඩව ක්‍රියාත්මක විය යුතු බව සිල්වා කීවේ ය. දැඩි උපදේශන පිලිබඳව සිල්වා කරන සඳහන උපහාසාත්මක ය. සෙනග පිරීගිය බස්රථවල ගමන් කිරීමටත්, කිසිදු සමාජ දුරස්ථකරනයකින් තොර ස්ථානවල ශ්‍රමය වැගිරවීමටත් කම්කරුවන්ට බල කෙරේ.

“සංචරන සීමා මධ්‍යයේ” සමාගම්වල අපනයන “අඛන්ඩව සිදු කෙරෙනු ඇති” බව, ආයෝජන මන්ඩලයේ (බීඕඅයි) සභාපති සංජය මොහොට්ටාල සිකුරාදා කීවේ ය. 2020 සැප්තැම්බර් පටන් පලමු වරට, මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියනයේ සීමාව පසුකර ගිය බවට, ඔහු පාරම්බෑවේ ය. මේ වසරේ දී, අපනයන ඉපැයිම් ප්‍රමානය ඩොලර් බිලියන 12 ඉලක්කය කරා ආන්ඩුව ලඟා වනු ඇතැයි, ඔහු ප්‍රීතියෙන් පුරෝකථනය කලේ ය. 

විදේශ නය ගෙවීම පැහැර හැරීම අද්දර සිටින හා මුදල් හිඟයෙන් පෙලෙන ශ්‍රී ලංකාවේ ආන්ඩුව, රටෙහි අපනයන කර්මාන්තවල ලාභ හා මෙහෙයුම් කිසි ලෙසකින් බාධනය වීම වැලැක්වීමට අධිෂ්ටානවත් ව සිටී.

පසුගිය දෙසැම්බරයේ දී තම බෝනස් මුදල ඉල්ලන නෙක්ස්ට් ගාමන්ට් කම්කරුවන්

 සේවකයන්ට දිගට ම වැඩකිරීමට බලකිරීමේ මානව පිරිවැය, විශේෂයෙන් ම ඇඟලුම් කම්හල් වල ආසාදන ක්ෂනිකව ඉහල යාම මගින්  පෙන්නුම් කරනු ලබයි. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලා පහක දී, පීසීආර් පරීක්ෂනයට බඳුන් කල කම්කරුවන් 1,500කින් කම්කරුවන් 217ක්ම ආසාදනය වී තිබූ බව, මෑත වාර්තාවක් හෙලිදරව් කලේ ය. ප්රදේශයේ සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන තද බද ව පැවති තතු යටතේ, ආසාදිත කම්කරුවන් ඔවුන්ගේ වාසස්ථානවල “නිරෝධායනයට” යොමු කරන ලදී.

මැයි 11දා, බද්දේගම ජෝලන්කා මනුෆැක්චරින් කම්හලේ කරන ලද පරීක්ෂන වලින් කම්කරුවන් 45ක් ආසාදිත බව අනාවරනය විය. නුවරඑලිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් ෆැෂන් වෙයා හා කොත්මලේ වීටීඑම් කම්හල් ද වසා දමන ලද්දේ, වෛරසය වැලඳුනු කම්කරුවන් හමුවීම හේතුවෙනි. 

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් මනුෆැක්චරින්හි කම්කරුවන් දුසිම් ගනනක් ආසාදිත යයි සොයාගත් විට, කලමනාකාරීත්වය කම්හල වසා දැමීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්  2,000ක් වන රමිකයන් අතර කෝපය පුපුරා ගියේ ය.

අනෙකුත් සමාගම් මෙතෙකුදු වැඩ කරමින් සිටිය දී කම්හල වසා දැමිය යුතු නැතැයි පවසමින් සමාගමේ නිලධාරීහු කම්කරුවන්ගේ උත්සුකයන්ට ප්‍රතිචාර දැක්වූ හ. මැයි 10දා කලමනාකාරීත්වය අකමැත්තෙන් කම්හල වසා දැමුවේ, කම්කරුවන් 100කට වෛරසය වැලඳීමෙන් පසුව පමනි.

පන්නල ස්ලිම්ලයින් ඇඟලුම් කම්හලේ කම්කරුවන් සිය ගනනකට වෛරසය ආසාදනය වී, එක් කම්කරුවෙක් නිරෝධායන මධ්‍යස්ථානයක දී මිය ගියේය. 5,000ක් වන ශ්‍රම බලකාය විරෝධතා දැක්වීමෙන් අනතුරු ව, අප්‍රේල් 28දා කම්හල වසා දමනු ලැබී ය. දිවයිනේ විවිධ ස්ථානවල කම්කරුවන් 50,000ක් පමන සේවයේ යොදවන, යෝධ බහුජාතික සමාගමක් වන මාස් සංගතයට එම කම්හල හිමි ය.

වැඩෙන අර්බුදයට වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වා ඇත්තේ, නිර්බාධිතව නිෂ්පාදනය පවත්වාගෙනයාම තහවුරු කිරීමට ඔවුන්ට හැකි සියල්ල කරමිනි. පසුගිය වසරේ ආර්ථිකය යලි විවෘත කිරීමට සම්පූර්න සහයෝගය දුන් වෘත්තීය සමිති, වසංගතයේ බලපෑමට ලක්වූ සමාගම් ක්‍රියාවට දමන වැටුප් හා රැකියා කප්පාදු සාකච්ඡා කිරීමට, හාම්පුතුන් හා කම්කරු ඇමතිවරයා සමග පැවති “ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකා” සාකච්ඡාවන්ට සහභාගි වූ හ.

එන්නත ලබා දීමේ දී, ශ්‍රී  ලංකාවේ කම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඉල්ලා තමන් යැවූ ලිපිය, ජනාධිපති රාජපක්ෂ විසින් නො තකා හැරීම හේතුවෙන් බලාපොරොත්තු කඩ වූ බව නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් සිය මැයි දින පනිවුඩය තුල සඳහන් කලේ ය. කම්කරුවන්ගෙන් හා කලමනාකාරීත්වයෙන් සැදුම්ලත් සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටු සඳහා, සමිතිය කල කැඳවීමට ප්‍රතිචාර දැක්වීමට සමාගම් හා රාජ්‍ය  නිලධාරීන් අසමත් වූ බවට ද ඔහු කනිපින්දම් කීවේ ය. 

මාකස්ගේ ආයාචනයන්ගේ ඉලක්කය වන්නේ, නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා වෘත්තීය සමිතිය සහ කලමනාකාරීත්වය අතර ඒකාබද්ධතාව ගැඹුරු කරන අතරතුර, කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කර දැමීම යි.

මහ ව්‍යාපාරිකයේ ලාභ ආරක්ෂා කිරීමට ඒ හා සමාන ව කැප වී සිටින ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ, ආන්ඩුවේ “ප්‍රමාද දෝෂයන්” හා දුර්-කලමනාකරනය ගැන හිස් විවේචන කරන අතර ම, එයට සහයෝගය දෙති. කොවිඩ්-19 ආසාදනවල නව නැග්ම කම්කරු පන්තිය තුලින් තව තවත් කෝපය අවුලුවාලනු ඇතැයි ඔවුහු බිය වෙති.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස මැයි 3දා මෙසේ ප්‍රකාශ කලේ ය: “වසංගතයෙන් දේශපාලන වාසි ලබා ගැනීම හෝ කොවිඩ්-19 දේශපාලනික ආයුධයක් ලෙස යොදාගැනීමට අපි කැමති නැහැ. මේක බල අරගලවලට කාලය නෙවෙයි.” “කොවිඩ්-19 අර්බුදය ඵලදායී ව කලමනාකරනය කිරීමට සර්ව-පාක්ෂික සමුලුවක් කැඳවන්නැ” යි ජ්‍යේෂ්ට සජබ නායකයෙක් වන කබීර් හෂීම් පසුව කැඳවුම් කලේ ය.

මහජනයාගේ ගමන් බිමන් සීමා කිරීමට නව දැඩි නීති හඳුන්වා දිය යුතු බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී  එම්. ඒ. සුමන්දිරන්, කොවිඩ්-19ට ගොදුරුවන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා පුද්ලික රෝහල් වැඩි දුර සම්බන්ධ කරගන්නා ලෙස කැඳවුම් කලේ ය. ආන්ඩුව දැනටමත් පුද්ගලික රෝහල් සම්බන්ධ කරගැනීම ආරම්භ කර ඇති නමුත්, සාමාන්‍ය  කම්කරුවන්ට හා දුගීන්ට මෙම රෝහල්වල ප්‍රතිකාරවලට වැයවන පිරිවැය දරාගත නො හැක.

වසංගතය පාලනය කිරීම සම්බන්ධ ගැටලුව වන්නේ, “එය තනි දේශපාලන බලයක් යටතේ ක්‍රියාත්මක කිරීම” බව, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක කීවේ ය. මෙහෙයුම “සාමූහික දේශපාලන බලවේගයක් යටතට ගෙන එන්නැ” යි ඔහු ඉල්ලා සිටියේ ය. මෙම යාන්ත්‍රනය පාලන තන්ත්‍රය වඩා ඍජුව සම්මුතිගත වීමට ඉඩ ලබා දෙනු ඇතැයි ජවිපෙ ගනන් බලමින් සිටියි.

සෞඛ්‍ය  සේවාවන් වහා ම වර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් බලමුලුගැන්වීම හෝ අත්‍යාවශ්‍ය නො වන සේවාවන් වසා දැමීම එකදු පක්ෂයක් විසින්වත් ඉල්ලා නැත්තේ, එවන් පියවර මහ ව්‍යාපාරික ලාභවලට බලපානු ඇති බැවිනි.

පසුගිය වසරේ මාර්තු හා අප්‍රේල් මාසවල දී, අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවුම් කල සර්ව-පාක්ෂික සම්මේලනවලට සහභාගි වූ මෙම පක්ෂ තම දේශපාලනික සහයෝගය දෙන බවට පොරොන්දු වූ අතර, රාජපක්ෂ “ආර්ථිකය යලි විවෘත කල” විට, එම අනතුරුදායක පියවරට ඔවුහු සම්පූර්නයෙන් පිටුබලය දුන් හ. කම්කරු පන්තික අරගලවල අනිවාර්ය පුපුරා යාම හා ඉන් ඇති කෙරෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලන තන්ත්‍රය මෙන්ම මෙම සංවිධාන ද භීතියට පත්ව සිටිති.

මැයි 8දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශය ප්‍රකාශ කල පරිදි, කටයුතු තමන්ගේ ම හස්තයට ගතයුතු කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත රාජපක්ෂ පාලන තන්ත්‍රයේ සාපරාධී පිලිවෙත්වලටත්, සමස්ත ධනපති පන්තියටත් එරෙහි අරගලය සංවිධානය කල යුතු ය.

Loading