ඉදිරිදර්ශන

ස්ටැලින්වාදයේ අපරාධ පැසසීම: ඩීඑස්ඒ සංවිධානය හා ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

[මෙහි පලවන්නේ 2021 මැයි 18, දින Praising the crimes of Stalinism: The DSA and the assassination of Leon Trotsky මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන  ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතිය මුලුල්ලේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ) සංවිධානයේ ප්‍රමුඛ නායකයෝ ගනනාවක්, 1940 ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය ප්‍රීතියෙන් සමරමින් ද, ඔහුගේ ඝාතක ස්ටැලින්වාදී ජීපීයූ ඒජන්ත රේමන් මර්කාඩර් වීරයෙකු ලෙස නිරූපනය කරමින් ද ට්වීටර් පනිවුඩ පල කර ඇත්තාහ.

 

ඩීඑස්ඒ නායකයන් පල කල ට්වීටර් පනිවුඩ ගනනාවක් මර්කාඩර් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට යොදාගත් අවිය වූ ඇල්පෙන්ස්ටොක් හෙවත් අයිස් පොරොවේ ඡායාරූප හා මීම් (meme) අනුරූවලින් නිරූපිත විය. ඇමරිකාවේ තරුන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (වයිඩීඑස්ඒ) සංවිධානයේ ජාතික සම්බන්ධීකරන කමිටුවේ සාමාජික නිකන් ෆයාසි එවැනි එක් ඡායාරූපයක් ඉදිරිපත් කරන්නේ "මෙය අද දවසේ ඉතා ප්‍රයෝජනවත් භාන්ඩයක් විය හැකිය" යන සිරස්තලය සමඟිනි.

උතුරු කැරොලිනාවේ ඈෂ්විල්හි ඩීඑස්ඒ සාමාජික ඩෑන් පොසී යෝජනා කරන්නේ ට්‍රොට්ස්කි ඝාතකයා සිහිපත් කිරීමට සමරුවක් ඉදි කර යුතු බවයි. "රේමන් මර්කාඩර් සිහිවීම පිනිසයි: ඔහු අපට මාවත පෙන්වීය," ලෙස එහි සඳහන් කල යුතුයැයි ඔහු යෝජනා කරයි. කැලිෆෝනියා ඊස්ට් බේහි ඩීඑස්ඒ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු මෑතක තැබූ ට්වීටර් සටහනක කියැවෙන්නේ, "අයිස් පොරොව පිලිබඳ විහිලු කිසි දා හාස්‍යජනක නොවී නොපවතිනු ඇති" බව සහ "අප සියල්ලන් දිගින් දිගටම ප්‍රසිද්ධියේ + නිදහසට කරුනු දැක්වීමකින් තොරව අයිස් පොරොව පිලිබඳ විහිලු නිර්මානය කල යුතු" බවයි.

මෙම ට්වීටර් පනිවුඩ වූ කලී, ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අන්තර්ජාල ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන් අතර සිටින ඩීඑස්ඒ සාමාන්‍ය සාමාජිකයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමේ තතු කෙරේ ඩීඑස්ඒ නිලධාරීන්ගේ සැලකිය යුතු කොටසක් විසින් දැක්වෙන සම්බන්ධීකෘත ප්‍රතිචාරයක කොටසකි.

මාර්තුවේ හා අප්‍රේල් මාසයේ දී, බයිඩන් පාලනය විවේචනය කිරීම හෙලා දකිමින් ඩීඑස්ඒ සාමාජිකා හා ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභිකා ඇලෙක්සන්ද්‍රියා ඔකේසියෝ-කෝර්ටෙස් විසින් කෙරුනු ප්‍රකාශය "සදොස් භක්තියක්" ලෙස හෙලිදරව් කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපියක් විවිධාකාර වූ 100,000 කට අධික පාඨක සමූහයක් කියැවූ අතර, ඒ අතර දහස් සංඛ්‍යාත ඩීඑස්ඒ සාමාජිකයෝ ද වූහ. ඩිමොක්‍රටික් පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය පිලිබඳ ලෝසවෙඅ විවේචනයේ බලපෑම සම්බන්ධයෙන් වූ ශාංකාව, අප්‍රේල් මාසයේ දී ඇලබාමාවේ බෙසමර්හි ඇමසන් සැපයුම් කේන්ද්‍රයේ ඒඑෆ්එල්-සීඅයිඕවේ වෘත්තීය සමිතිගත කිරීමේ පරිශ්‍රමයේ අසාර්ථකත්වයෙන් තවදුරටත් කුපිත කෙරින.

ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ සතුටු සැමරුම් සිදුකරන ඩීඑස්ඒ සාමාජිකයන් අතර එහි තරුන අංශයේ (වයිඩීඑස්ඒහි) ජාතික නිලධාරීන්, ශාඛා සභාපතිවරුන්, එහි සරසවි සමාජවල නායකයන්, ඩීඑස්ඒහි ප්‍රමුඛ පෙලේ පොඩ්කාස්ට් විකාශකයන් (ඩිජිටලීකෘත හඬ විකාශකයන්) මෙන්ම, ගාඩියන් හා ජැකොබින් සඟරාව වැනි ඩීඑස්ඒ අනුබද්ධ මාධ්‍ය නාලිකාවල සම්පත්දායකයෝ ද ඇතුලත් වෙති.

ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ අප්‍රසන්න හාස්‍යයකින් යුත් සරදම් සහිත ට්වීටර් පනිවුඩ යවන්නෝ, කාමෝද්දීපන රචනයේ දේශපාලන සමතුල්‍යය බෙදා හරිමින් සිටිති. ඔවුන් හුදෙක් විසිවන සියවසේ සමාජවාදයේ ඉතිහාසය තුල උත්තුංගතම පුද්ගල චරිතවලින් එකක ඝාතනය පිලිබඳව සිනාසෙනු පමනක් නොවේ. ඔවුහු ස්ටැලින්ගේ ආඥාදායක තන්ත්‍රය විසින් සිදු කරන ලද සමූහ ඝාතන ව්‍යාපාරය සමඟ තුමූ ද ඒකමතික වෙති.

එවැනි පුද්ගලයන් ඩීඑස්ඒහි නායක තනතුරු හෙබවීම බරපතල අනතුරු හැඟවීමක් ලෙස, එම සංවිධානයේ සාමාන්‍ය සාමාජිකයන් හා ආධාරකරුවන් විසින් සලකනු ලැබිය යුතුය. දේශපාලනයේ දී මිනිසුන් විනිශ්චය කෙරෙන්නේ ඔවුන් කරන දේ වලිනි. ස්ටැලින්ගේ අපරාධ සමඟ එක පෙලට සිටින පුද්ගලයන්ට, අව්‍යාජ වාමාංශික දේශපාලනය සමඟ කල හැකි කිසිවක් නොවේ. ඔවුන්ගේ දේශපාලනයේ පරාවක්‍රය වැටී ඇත්තේ සමාජවාදය දෙසට නොව, සමාජවාදී ව්‍යාපාරයට එරෙහි රාජ්‍ය මර්දනයට සහයෝගය දීමේ දිශාවටය.

ජාත්‍යන්තර පන්ති අරගලයේ හා සමාජවාදයේ ඉරනමෙහි ආස්ථානයෙන් සැලැකූ කල්හි, 20 වන සියවසේ වඩාත්ම විපාකදායී දේශපාලන අපරාධය වූයේ 1940 අගෝස්තු 20 වන දින සිදු කල ට්‍රොට්ස්කි ඝාතනයයි. ඔහුගේ ඝාතනය විසින් 1917 ඔක්තෝබර් විප්ලවයේ එතෙක් ජීවතුන් අතර සිටි අවසාන නායකයාත්, ලෝක සමාජවාදී විප්ලවයේ විශිෂ්ඨතම මූලෝපායඥයාත් ජාත්‍යන්තර කම්කරු පන්තියට අහිමි කරන ලදී. න්‍යායාචාර්යවරයෙකු, ව්‍යක්ත කථිකයෙකු, ලේඛකයෙකු, කම්කරු පන්තිය විසින් බලය අල්ලාගැනීමේ සංවිධායකයෙකු, රතු හමුදාවේ නායකයා, ස්ටැලින්වාදයේ ක්ෂමාවිරහිත විරුද්ධවාදියා, හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භකයා, සහ සියලු ආකාරයේ පරිපීඩනයන්ගෙන් විමුක්ත ලෝකයක් පිලිබඳ සමාජවාදී කාල්පනිකයා ලෙස ලෝක සමාජවාදය සඳහා අරගලය තුල ඔහු අනුස්මරනීය කාර්යභාරයක් ඉටු කලේය. ට්‍රොට්ස්කිගේ අතිමහත් උරුමය අධ්‍යයනය කිරීම හා සමීකරනය කර ගැනීම විසි එක්වන සියවසේ සමාජවාදයේ ජයග්‍රහනය සඳහා සූදානම් වීමෙහි ලා අත්‍යවශ්‍ය වෙයි.

එහෙත් ට්‍රොට්ස්කි ස්ටැලින්වාදයේ එකම ගොදුර නොවීය. ඔහුගේ ඝාතනය, 1936 දී මොස්කව් හොර නඩු විභාග තුනෙන් පලමුවැන්න ආරම්භ වීමත් සමඟ දියත් කෙරුනු ස්ටැලින්වාදී භීෂනයේ රල වේගයක කුලු ගැන්වීම විය. 1936 - 40 සමයේ මහා භීෂනය තුල ස්ටැලින්වාදී තන්ත්‍රය තක්සේරුගත දශ ලක්ෂයක් විප්ලවවාදී කම්කරුවන්, බුද්ධිමතුන් හා කලාකරුවන් ඝාතනය කලේය. සැබැවින්ම ලෙනින්ගේ සමීපතම සහෝදරවරුන් සියලු දෙනා ද ඇතුලුව, 1917 ඔක්තෝබර් විප්ලවය සූදානම් කිරීමෙහි, එයට නායකත්වය දීමෙහි හා එය ආරක්ෂා කිරීමෙහි ලා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර තුබූ මාක්ස්වාදීන් හා සමාජවාදීන්ගේ සමස්ත පරපුරක් ඝාතනය කරන ලදී. ප්‍රමුඛ වශයෙන් සමාජවාදීන් ලෙස හඳුනා ගනු ලැබූවන් මූලෝත්පාඨනය කිරීම සඳහා නිරවද්‍යවම ඉලක්ක කෙරුනු මහා භීෂනය නිවරැදි ලෙසම හඳුන්වා දෙනු ලැබ ඇත්තේ දේශපාලනිකව මෙහෙයවුනු ජන සංහාරයක් ලෙසය.

මෙමදක්ෂිනාංශිකඋද්ඝෝෂනයේ ප්‍රමුඛසහභාගිකරුවෝ

පහත දැක්වෙන්නේ ට්‍රොට්ස්කි ඝාතනය ගැන ප්‍රීති සැමරුම් ට්වීටර් පනිවුඩ යැවූ දුසිම් ගනන් ඩීඑස්ඒ සාමාජිකයන්ගේ කුඩා නියැදියකි. මෙම පලකිරීම් නැවත ට්වීට් කරන හෝ ඒවාට "ලයික්" ප්‍රතිචාර දක්වන්නන් සමන්විත වන්නේ, ඩීඑස්ඒ නායකත්ව මට්ටමේ සිටින්නන් අතර සිටින, සම්පූර්න රෝලෝඩෙක්ස් උපකරනයක් (භ්‍රමනය කල හැකි, ව්‍යාපාරික කාඩ්පත් විශාල සංඛ්‍යාවක් රඳවා තැබිය හැකි උපකරනයක්) පිරැවීමට ප්‍රමානවත් තරමේ පිරිසකගෙනි.

වයිඩීඑස්ඒහි ජාතික සම්බන්ධීකරන කමිටුවේ නායකත්ව සමූහනයේ සාමාජිකයෙකු සහ වයිඩීඑස්ඒහි යූසී බෙකර්ලි ශාඛාවේ සම සභාපති වන නිකන් ෆයාසිගේ ඉහත සඳහන් කෙරුනු පලකිරීම, "මෙය අද දවසේ ඉතා ප්‍රයෝජනවත් භාන්ඩයක් විය හැකිය" යන සිරස්තලය සමඟ, අශ්ලීල භාෂාවෙන් කෙරෙන වෙනත් සඳහන් කිරීම් සමඟින් අයිස් පොරොවක ඡායාරූපයක් ඉදිරිපත් කරයි. එය ඩීඑස්ඒහි ලොස් ඇන්ජලීස් ශාඛාවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ඩාරි රිස්වානි විසින් යලි ට්වීට් කරනු ලැබ ඇත. අයිස් පොරොව පිලිබඳ ට්වීටර් පනිවුඩය සඳහා "ලයික්" ප්‍රතිචාර සියයකට වඩා ලැබී ඇති අතර, ඩීඑස්ඒ සාමාජිකයන් ගනනාවක් මෙන්ම පහත දැක්වෙන ඩීඑස්ඒ නායකයන් හා ප්‍රමුඛ සාමාජිකයන් ද ඊට ඇතුලත්ය:

● ජැකොබින් සඟරාවේ සම්පත්දායක ගේබ්‍රියල් පැට්රික්

● ඩීඑස්ඒහි නිව්යෝර්ක් නාගරික මෙහෙයුම් කමිටු සාමාජික ජේක් කොලොසා

● වර්ජිනියා සරසවියේ ඩීඑස්ඒ සංවිධායක මැඩිසන් පෙරී

● බෝල්ටිමෝර්හි ඩීඑස්ඒ කම්කරු සංවිධායක රයන් කෙකෙරිස්

● වර්මොන්ට්හි චැම්ප්ලේන් ඩීඑස්ඒ ශාඛාවේ සංවිධායක ඇලෙක්ස් ලෝසන්

● ලොස් ඇන්ජලීස්හි ඩීඑස්ඒ කම්කරු කමිටු සාමාජික මයිකල් ලම්ප්කින්

● ඉලිනොයිස්හි නොක්ස් විද්‍යාලයේ වයිඩීඑස්ඒ ශාඛාවේ සම සභාපති මැට් මිලෙව්ස්කි

● ඩීඑස්ඒ ලෝවර් මැන්හැට්න් ශාඛාවේ සංවිධායක කමිටු සාමාජික හොන්ඩා වැං

● චිකාගෝවේ ඩීඑස්ඒ සාමාජික හා පොඩ්කාස්ට් ශිල්පී කෙන්සෝ ෂිබාටා

● ඩීඑස්ඒ සිලිකන් නිම්න ශාඛාවේ සම සභාපති බ්‍රැන්ඩන් හෙන්රිකස්

වොෂින්ටන් ඩීසීහි ඩීඑස්ඒ සාමාජික බෙන් ඩේවිස් විසින් කෙරුනු වෙනත් පලකිරීමක දැක්වෙන්නේ ට්‍රොට්ස්කි වෙත සිය ප්‍රහාරය එල්ල කිරීමට මර්කාඩර් සූදානමින් සිටින අයුරු දැක්වෙන චිත්‍රයකි. ට්‍රොට්ස්කි සිය ලියන මේසය අසල වැඩෙහි යෙදී සිටිත්දී ඝාතකයා ඔහුගේ හිසට ඉහලින් අයිස් පොරොව අමෝරා සිටිනු එයින් දැක්වේ. එහි උදෘතය වූයේ "කඩාබිඳ දමන්නන් අතු ගා දමනු," යන්නයි. ඩේවිස් 2020 බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරයේ දත්ත විශ්ලේෂකයෙකු ලෙස සේවය ඇති අතර, ඔහු බ්‍රිටිෂ් ගාඩියන් පුවත්පත වෙනුවෙන් ලේඛනයේ ද යෙදී ඇත. එම පුවත්පත ඩේවිස් පිලිබඳව සඳහන් කරන්නේ, "වොෂින්ටන් ඩීසීහි දේශපාලන දත්ත සම්බන්ධයෙන් වැඩ කරන්නෙකු" ලෙසයි.

මෙම පලකිරීමට ද ඩීඑස්ඒ සාමාජිකයන් රැසකගේ "ලයික්" ප්‍රතිචාර ලැබී ඇත.

ස්ටැලින්වාදයේ වාග් මාලාවෙන් උපුටා ගෙන ඇති "කඩාබිඳ දමන්නන්" යන යෙදුමට නිශ්චිත දේශපාලන හැඟවීම් පවතී. "ට්‍රොට්ස්කිවාදී කඩාබිඳ දමන්නන්" යන යෙදුම, ට්‍රොට්ස්කිවාදීන් හා ස්ටැලින්වාදී තන්ත්‍රයේ විරුද්ධවාදීන් ත්‍රස්තවාදයේ හා කඩාකප්පල් කිරීම්වල නිරත වෙතැයි යන මුසාවාදී කියාපෑම මත පදනම්ව ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීම සාධාරනීකරනය කරනු වස් ස්ටැලින් විසින් උපයෝගී කර ගනු ලැබූවකි. එය මොස්කව් හොර නඩු විභාග තුන අතරතුර ප්‍රමුඛ ලෙස ප්‍රචාරය කෙරුනු අතර ට්‍රොට්ස්කි හා ඔහුට සහාය දෙන්නන් ෆැසිස්ට්වාදයේ ඒජන්තයන්ය යන අපවාදය සාධාරනීකරනය කිරීමට භාවිතා කෙරින. දෙවැනි මොස්කව් නඩු විභාගවලට මඟ හෙලිකරමින් සිටින අතර වාරයේ 1937 මාර්තු 29 වන දින ස්ටැලින් "පක්ෂ කටයුතුවල ඌනතා සහ ට්‍රොට්ස්කිවාදීන් දියකර හැරීම සඳහා ගත යුතු පියවර" යන මැයෙන් කථාවක් පැවැත්වූ අතර, එම කථාව තුල දී ස්ටැලින් "ට්‍රොට්ස්කිවාදී කඩා බිඳ දමන්නන්" යන යෙදුම 16 වතාවක් යෙදීය.

ඩීඑස්ඒ ජාතික මැතිවරන කමිටුවේ හිටපු සාමාජික නේට් නෝෆ් විසින් පල කෙරුනු තවත් ට්වීටර් පනිවුඩයක් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ එකී චිත්‍රයම උපයෝගී කොට ගන්නේ, "ඒක හරි!!!!" යන වචන සමඟය. මෙම පලකිරීමට "ලයික්" ප්‍රතිචාර පල කලවුන් අතර බෙන් ඩේවිස්, නොක්ස් විද්‍යාලයේ වයිඩීඑස්ඒහි මැට් මිලෙව්ස්කි, නිව්යෝර්ක් ඩීඑස්ඒහි ගනීව් චිකාගොව් සහ පර්ඩියු සරසවියේ වයිඩීඑස්ඒ සම සභාපති මේසන් විස් හා තවත් අය ද වූහ.

මෑතකදී ඊස්ට් බේහි මෙහෙයුම් කමිටු සාමාජිකයෙකුව සිටි අයෙකු විසින් පලකෙරුනු එම පනිවුඩයේ ම තවත් අනුක්‍රමයකට, ඩීඑස්ඒ ජාතික දේශපාලන අධ්‍යාපන කමිටු සාමාජික හා චාලට් මෙට්‍රෝ ඩීඑස්ඒ ශාඛාවේ සම සභාපති ගයි බ්‍රවුන්, ඩීඑස්ඒ ආධාරකාරියක හා නිව්යෝකර්, හිල් සඟරාවලට ලිපි සම්පාදනය කරන්නියක වන මවුරා ක්වින්ට් හා පෝර්ට්ලන්ඩ් ඩීඑස්ඒ මෙහෙයුම් කමිටුවේ හඳුනා නොගත් සාමාජිකයෙකු ද "ලයික්" ප්‍රතිචාර දක්වා තිබින.

වෙනම පල කිරීමක් තුල නිරිතදිග ෆ්ලොරිඩා ඩීඑස්ඒ ශාඛාවේ හා ෆ්ලොරිඩා ගල්ෆ් කෝස්ට් ශාඛාවේ වයිඩීඑස්ඒ ශාඛාවේ සාමාජික මෝගන් කර්ක් ට්‍රොට්ස්කිගේ මරනය පිලිබඳ උපහාසාත්මක අනුකරනයක් (මීම් - Meme) ට්වීට් කොට තිබින.

පහත දැක්වෙන ඩීඑස්ඒ නායකයෝ එයට "ලයික්" ප්‍රතිචාර දැක්වූහ:

● ඩීඑස්ඒ ජාතික දේශපාලන කමිටු සාමාජිකා බ්ලන්කා එස්ටවෙස්

● වයිඩීඑස්ඒ ජාතික සම්බන්ධීකරන කමිටු සාමාජික නේට් ස්ටුවර්ට්

● ඩීඑස්ඒ සංක්‍රමනික අයිතිවාසිකම් කන්ඩායමේ සම සභාපති ඇලෙක්සැන්ඩර් හර්නැන්ඩස්

● ඩීඑස්ඒ ජාතික මැතිවරන කමිටු සාමාජික ඔස්ටින් බින්ස්

● කැම්පේන් උර්බානාහි ඉලිනොයිස් සරසවියේ වයිඩීඑස්ඒ සම සභාපති නිකෝ ජොන්සන්-ෆුලර්

● පෙන්සිල්වේනියාවේ ඊරී ඩීඑස්ඒ ශාඛාවේ සම සභාපති කෝල් ශෙන්ලී

● නිව්යෝර්ක් නාගරික ඩීඑස්ඒ සංවිධායක කමිටු සාමාජිකා කේලීන් පෙනා

්‍රටපකෂයයධරයන්‍කලපය

මෙකී ට්වීටර් පනිවුඩ පල කරන, නැවත ට්වීට් කරන හෝ ඒවාට "ලයික්" ප්‍රතිචාර දක්වන බොහෝ දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ හෝ, ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති නිලධරයේ නිලතල උසුලන්නෝ හෝ වෙති. ඊට පහත දැක්වෙන අයවලුන් ද ඇතුලත්ය:

● බර්ක්ලී නාගරික කවුන්සිලයේ ඩිමොක්‍රටික් පාක්ෂික සාමාජිකයෙකු වන කේට් හැරිසන්ගේ නීති සම්පාදක සීමාවාසිකයෙකු හා ශිෂ්‍ය ආන්ඩුවේ නියෝජිතයෙකු වන, වයිඩීඑස්ඒ නායක නිකන් ෆයාසි

● ඩීඑස්ඒ ලොස් ඇන්ජලීස් ශාඛාවේ සාමාජික ඩාරි රෙස්වානි - 2020 දී කැලිෆෝනියාවේ 22 වන නියෝජිත මන්ත්‍රී මන්ඩල කොට්ඨාශයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදුනු ප්‍රාථමික අපේක්ෂකයෙකු හා එම වසරේම පසුව ෆ්‍රෙස්නෝහි ප්‍රජා පාඨශාලා කොට්ඨාශයේ භාරකාර තනතුරට ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතියෙන් තරඟ වැදුනු අපේක්ෂකයා ද විය. එම මැතිවරන දෙකෙන්ම ඔහු පරාජයට පත් විය.

● නිව්යෝර්ක් නගරයේ ඩීඑස්ඒ සාමාජික ගනීව් චිකාගොව් - ඔහුගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල තොරතුරුවල දැක්වෙන පරිදි, ඔහු නිව්යෝර්ක් නගරයේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාන්ත කමිටුවේ සාමාජිකයෙකු හා නිව්යෝර්ක් ප්‍රාන්ත ඩිමොක්‍රටික් සෙනෙට් සභිකා ජුලියා සැලසර්ගේ කාර්යාල කලමනාකරුවාය.

● රයන් කෙකෙරිස් - පින්තාරුකරුවන්ගේ හා ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන්නන්ගේ ජාත්‍යන්තර වෘත්තීය සමිතියේ සන්නිවේදන අධ්‍යක්ෂවරයාය. 2019 දී මෙම වෘත්තීය සමිති විධායක නිලධාරියා ඇමරිකානු ඩොලර් 99,367 ක් උපයා ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවට ගොනු කල තොරතුරුවල සඳහන් වේ.

● චිකාගෝවේ ප්‍රමුඛ ඩීඑස්ඒ පොඩ්කාස්ට්කරු කෙන්සෝ ෂිබාටා - චිකාගෝවේ ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ විධායක මන්ඩල සාමාජිකයෙකි. ඉහතදී ඉලිනොයිස් හි ගුරු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා විය. කම්කරු දෙපාර්තමේන්තුවට ගොනු කල තොරතුරුවල සඳහන් වන පරිදි 2017 දී ඔහු වෘත්තීය සමිති විධායක නිලධාරියෙකු ලෙස ඇඩො 142,817 ක් උපයා ඇත.

● වයිඩීඑස්ඒ නායක නේට් ස්ටුවර්ට් - නිව් හැම්ප්ෂයරයේ ඩෝවර්හි ඩිමොක්‍රටික් පක්ෂ විධායක කමිටුවට තේරී පත් වූ සාමාජිකයෙකි. තව ද, නිව් හැම්ප්ෂයර්හි ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයෙකි.

● ඩීඑස්ඒ වොෂින්ටන් ඩීසී ශාඛාවේ බ්‍රැඩ් චෙස්ටර් - බර්නි සෑන්ඩර්ස්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරයේ වොෂින්ටන් ඩීසී මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ කලාපීය ක්ෂේත්‍ර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ඔහු, වර්ජිනියාවේ හා ටෙක්සාස්හි ඩිමොක්‍රටික් පක්ෂ කාර්ය මන්ඩල සම්බන්ධ කටයුතුවල ද, විවිධ ඩිමොක්‍රටික් උද්ඝෝෂනවල ද නිමග්න වී ඇති දීර්ඝකාලීන ඩිමොක්‍රටික් කාර්යධරයෙකි. ඔහු, “Breaking Bad: How Obsession with an Independent Workers’ Party Hurts the Socialist Electoral Project.” ("නිකරුනේ සාහසික වීම: ස්වාධීන කම්කරු පක්ෂයක් සමඟ බැඳුනු පූර්ව නියුක්තික උද්යෝගය සමාජවාදී මැතිවරන ව්‍යාපෘතියකට පීඩා පමුනුවන්නේ කෙසේද?") නම් මැයෙන් යුත් ලේඛනයක කර්තෘවරයාය.

● ජොෂුවා ආර්ම්ස්ටෙඩ් - 'යුනයිට් හියර්' නම් වෘත්තීය සමිතියේ වොෂින්ටන් ඩීසී ශාඛාවේ 23 වන ලෝකලයේ උප සභාපතිවරයාය.

● තස්නීම් අල්-මයිකල් - කොලේජ් ඩිමොක්‍රැට්ස් ඔෆ් ඇමරිකාහි උප සභාපතිවරයා ද, යං ඩිමොක්‍රැට්ස් ඔෆ් ඇමරිකාහි ජාතික විද්‍යාල දේශපාලන බල මන්ඩලයේ සභාපති ද වෙයි.

මේ ආකාරයේ ට්වීටර් පනිවුඩවලට "ලයික්" ප්‍රතිචාර දැක්වූ එක් ඩීඑස්ඒ සාමාජිකයෙකු වන්නේ, ඩීඑස්ඒ තුල සිටින ප්‍රමුඛ ප්‍රතිට්‍රොට්ස්කිවාදියෙක් වන, නිව්යෝර්ක් නාගරික ඩීඑස්ඒ සංවිධායක කමිටුවේ සාමාජික හොන්ඩා වැංය. වැං නිරතුරුවම ලෝසවෙඅට පහර දෙමින් පලකිරීම් සිදු කරයි. ලෝසවෙඅට පහර දෙමින් පල කෙරෙන ඔහුගේ ටික්ටොක් වීඩියෝවල අදහස් දක්වන කොටස පිරී ඇත්තේ අදහස් දක්වන්නන් පල කොට ඇති අයිස් පොරෝවල සිතුවම්වලිනි.

වැංගේ දේශපාලනය හා ෂෝන් කන්සල්ටිංහි දේශපාලන උපදේශකයෙකු ලෙස ඔහුගේ අතීතය, ලෝසවෙඅ වෙත එල්ල කෙරෙන ඩීඑස්ඒ ප්‍රහාර මෙහෙයවනු ලබන්නේ කවරාකාර දක්ෂිනාංශික ඩිමොක්‍රටික් පාක්ෂික කාර්යධරයන් විසින්දැයි යන්න පිලිබඳව සංඥාවක් ලබා දෙයි.

සිය ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිලයේ වැං පැහැදිලි කරන පරිදි, ෂෝන් වෙනුවෙන් සේවය කරන කාලයේ ඔහු, "දේශීය හා විදේශීය වෙලඳපොලවල දේශපාලක සේවාග්‍රාහකයන් සඳහා මූලෝපායය හා සන්නිවේදනය පිලිබඳව උපදෙස් දී" ඇති අතර, "පුලුල් පරාසයක් අලලා ගත් ව්‍යාපාර සංගතවල ග්‍රාහකයන්ට ද උපදේශන සේවා සපයා" ඇත.

වැං තමා වැඩ කර ඇති ආන්ඩු, දේශපාලනඥයන්, රාජ්‍ය ඒජන්සි හා සංගතවල ලැයිස්තුවක් ඉදිරිපත් නොකරයි. එහෙත්, කෝටිපති මයිකල් බ්ලූම්බර්ග් සහ දේශපාලන සහාය මිල දී ගැනීමේ පෞද්ගලික අරමුදලක් වන ඔහුගේ ඉන්ඩිපෙන්ඩන්ට් පීඒසීය මෙන්ම වෝල්මාර්ට් ජාලය ද ෂෝන් කන්සල්ටිංහි වත්මන් ග්‍රාහකයෝ අතර වෙති.

ෂෝන් කන්සල්ටිං පිලිබඳ ප්‍රසිද්ධ වාර්තාවකින් පැහැදිලි වන්නේ, බිල් ක්ලින්ටන්ගේ උපදේශකයා වූ ද, එහි ප්‍රාරම්භකයා වූ ද පෝල් ෂෝන්ගේ ග්‍රාහකයන් අතර පහත දැක්වෙන අයවලුන් ද සිටි බවයි:

(නිව්යෝර්ක්) සෙනෙට් සභිකා හිලරි රෝදම් ක්ලින්ටන්, නිව්ජර්සිහි ආන්ඩුකාර ජොන් කෝර්සයින් සහ ඉන්දියානාහි ආන්ඩුකාර ඉවාන් බාහ්. තවද සමාගම් සමූහවල ඔහුගේ ග්‍රාහකයන් අතර වොල්මාට්, ඒඕඑල්, ටයිම්, වෝර්නර්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බ්ල්, ඒටී ඇන්ඩ් ටී ආදිය ද ඇතුලත් විය. ජාත්‍යන්තරව ඔහු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, ඉතාලියේ අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි සහ ඊශ්‍රායෙල අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු ද ඇතුලත්ව, 15 කට අධික රටවල රාජ්‍ය නායකයන් වෙනුවෙන් සේවා සපයා ඇත. යුක්‍රේන ව්‍යාපාර අධිපති, මූල්‍ය සම්පාදක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වික්ටර් පින්චුක් ජාත්‍යන්තර පුද්ගල චරිතයක් බවට පත් කල දානපති හා දේශපාලන කන්ඩායම්වලට ඔහු හඳුන්වා දීමට ෂෝන් ආධාර කලේය. අද ඔහු ජාත්‍යන්තර ආර්ථිකය පිලිබඳ පීටර්සන් මධ්‍යස්ථානයේ ද, ජාත්‍යන්තර අර්බුද කන්ඩායමේ ද ක්ලින්ටන් පදනමේ ද අධ්‍යක්ෂක මන්ඩලවල සේවය කරයි.

ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකරුවෙකු වශයෙන් වැංගේ අභිවෘත්තිය පෙන්වා දෙන්නේ, ඩීඑස්ඒ නායකත්වය සමන්විත වන ඩිමොක්‍රටික් පක්ෂ සහ ඒඑෆ්එල්-සීඅයිඕ නිලධර පැලැන්තිය ස්වකීය ද්‍රව්‍යමය ස්ථානාන්තරයට හා ධනේශ්වර ක්‍රමයට තර්ජනයක් ලෙස ට්‍රොට්ස්කි හඳුනා ගන්නා බවයි. නිසැකවම ඩිමොක්‍රටික් පක්ෂය තුල තිරයට පසුපසින් සිට මෙම ප්‍රහාර සඳහා පොලඹවන, මෙහි නම් නොකෙරුනු, අනෙකුත් ප්‍රකෝපකාරීහු වෙති.

එසනයනවශපලනය

අධිරාජ්‍යවාදී ධනේශ්වර පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය උන්මත්තක ලෙස ප්‍රතිසමාජවාදීය. එසේනම්, ප්‍රති-ස්ටැලින්වාදී සමාජවාදයේ ප්‍රභේදයක් ලෙස කියා සිටින ඩීඑස්ඒය ඇතුලත සිටින එකී ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාධරයන් ස්ටැලින්වාදයේ අපරාධ උත්කර්ෂයට නංවන්නේ හා ට්‍රොට්ස්කිට එරෙහි අපවාද ප්‍රතිචක්‍රීකරනය කරන්නේ මන්ද?

පෙනී යන පරිදි, පවතින මේ ප්‍රතිවිරෝධයට යටින් පවතින දේශපාලන තර්කනය වටහා ගැනීමට නම්, 1930 ගනන්වල ස්ටැලින්වාදී භීෂනයේ දේශපාලන අන්තර්ගතයත්, රූස්වෙල්ට්ගේ නිව් ඩීල් කාල පරිච්ඡේදයේ ඇමරිකානු දේශපාලනයට එහි ඇති සම්බන්ධතාවයත් විමර්ශනය කිරීම අත්‍යවශ්‍යය.

එම කාල පරිච්ඡේදය වූ කලී, ඩිමොක්‍රටික් පක්ෂ ලිබරලුන්ගේ සැලකිය යුතු පමන කොටසක් හා ස්ටැලින්වාදී ඇමරිකන් කොමියුනිස්ට් පක්ෂය අතර වූ දේශපාලන සන්ධානය කුලු ගැන්වුනු සමයයි. හිට්ලර් ජර්මනිය තුල බලයට නැඟීමෙන් ඉක්බිති යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදී රටවල් හා එක්සත් ජනපදය සෝවියට් සංගමය සමඟ සන්ධානයකට ඇද ගැනීමේ අරමුනින් ක්‍රෙම්ලිනය විසින් සැලසුම් කරන ලද මෙකී සන්ධානය මහජන පෙරමුන ලෙස හඳුන්වන ලදී. මෙකී අධිරාජ්‍යවාදී රටවල් සමඟ මෙම වඩාත් වාසිදායක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හිලව් වශයෙන් සෝවියට් තන්ත්‍රය හා එහි පාලනය යටතේ පවතින ජාතික කොමියුනිස්ට් පක්ෂ ධනපති ආන්ඩුවලට සහාය දීමට ද, ධනේශ්වර ක්‍රමයට එරෙහි කම්කරු පන්ති අරගල යටපත් කිරීමට ද කටයුතු කරනු ඇත.

මොස්කව් හොර නඩු ඇටවීමේදී හා භීෂනය මුදා හැරීමේ දී ස්ටැලින්ගේ කේන්ද්‍රීය අරමුනුවලින් එකක් වූයේ, සෝවියට් සංගමය බෝල්ෂෙවික්වාදයෙන් හා ලෝක සමාජවාදී විප්ලවයේ ලෙනින් - ට්‍රොට්ස්කි ඉදිරි දර්ශනයෙන් තීරනාත්මක ලෙස බිඳී ගොස් ඇති බැව් "බටහිර ප්‍රජාතන්ත්‍රයන්"ට ඒත්තු ගැන්වීමයි.

මහජන පෙරමුනේ පන්ති - සහයෝගිතා පිලිවෙත් 1939 දී ස්පාඤ්ඤය තුල ෆැසිස්ට්වාදී ෆ්‍රැන්කෝ එකාධිපතිත්වයේ ජයග්‍රහනයටත්, 1940 දී ප්‍රංශයේ විශී තන්ත්‍රය බිහිවීම කරාත් මඟ පෑදීය.

එක්සත් ජනපදය තුල ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය උද්‍යෝගිමත්ව රූස්වෙල්ට් පාලනයට අනුග්‍රහ දැක්වීය. ස්ටැලින් වටිනා ස්වපාක්ෂිකයෙකු ලෙස වැඩිවැඩියෙන් දකින්නට වූ ඩිමොක්‍රටික් පාක්ෂික ලිබරල්ලු, පැරනි බෝල්ෂෙවිකයන් මූලෝත්පාඨනය කිරීමේ ඔහුගේ ක්‍රියාවලියට අනුමැතිය පල කලෝය.

හොඳින් දන්නා පරිදි නිව් රිපබ්ලික් හා නේෂන් වැනි ප්‍රමුඛ වාම - ලිබරල් ප්‍රකාශන මොස්කව් නඩු විභාග අනුමත කලේ, මහජන පෙරමුන යනු "ප්‍රජාතන්ත්‍රවාදය ජීපීයුව සමඟ සන්ධාන ගත වීමයැ"යි ට්‍රොට්ස්කි කල වර්ගීකරනය සනාථ කරමිනි. විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරුනු එකම සාක්ෂිය වූයේ ඔවුන්ගේම සැක කටයුතු "පාපෝච්චාරන" පමනක් වූ නමුදු, ලිලියන් හෙල්මන්, ලුවිස් ෆිෂර්, ෆ්‍රීඩා කර්ච්වී හා මැල්කම් කෝලී වැනි ප්‍රමුඛ පෙලේ කලාකරුවෝ, ලේඛකයෝ හා බුද්ධිමත්හු මොස්කව් හොර නඩුවල අකුටිල බව පිලිබඳ සිය විශ්වාසය පල කලෝය. මොස්කව් නඩු විභාග සම්බන්ධයෙන් විභාග කිරීමේ පරීක්ෂන කොමිසමේ සභාපතිත්වය දැරීමට එකඟවීම සම්බන්ධයෙන් ඔවුහු ඇමරිකානු දාර්ශනික ජෝන් ඩේවි කර්කශ විවේචනයට පාත්‍ර කලෝය. පසුව ට්‍රොට්ස්කි තමන්ට එරෙහිව නැඟුනු චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂී බවත්, මොස්කව් නඩු විභාග යනු හුදු නිර්දෝෂීන් දඩයම් කිරීමට ඇටවූ උගුලක් බවත් කොමිසම නිගමනය කල කල්හි ඔවුහු එම සොයා ගැනීම් හෙලා දුටුවෝය.

ඩිමොක්‍රටික් පක්ෂය දැන් නැවත වරක් කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයක තර්ජනයට පාත්‍රව ඇත. තරුන තරුනියන්ගේ හා කම්කරු පන්තියේ රැඩිකලීකරනය, ඉදින් වෙනතක හරවා නොහැරිය හොත්, ධනේශ්වර දේශපාලනයෙන් බිඳීමක දිශාවට, සහ එබැවින්, සමාජවාදය සඳහා වූ බැරෑරුම් ව්‍යාපාරයක දිශාවට මඟ පෑදිය හැකි බව හඳුනා ගෙන ඇති එය, ඉන් භීතියට පත්ව සිටී.

මෙම වර්ධනය වැලැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය ඩීඑස්ඒය යොදා ගනී.

මෙම සන්දර්භයෙහි ලා සැලකූ විට, ඩිමොක්‍රටික් පක්ෂය හා ඩීඑස්ඒ නායකත්වය ට්‍රොට්ස්කි වෙත ප්‍රහාර එල්ල කිරීමට ප්‍රේරනය සැපයූ ප්‍රයුක්තීන් දෙක වන්නේ, ඩීඑස්ඒ සාමාජිකයන්ගේ සැලකිය යුතු සංඛ්‍යාවක් ලෝසවෙඅ වෙත ලිපි එවමින් සහයෝගය පල කිරීමට තුඩු දෙන පරිදි ලෝසවෙඅ විසින් ඔකේසියෝ - කෝර්ටෙස් හෙලිදරව් කරනු ලැබීමත්, රට පුරා සිදුවෙමින් පවතින වර්ජන හා සමාජ අරගල තුල ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂය වඩවඩාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටීමත් වීම විශේෂ අර්ථභාරයකින් යුක්තය. ඇලබාමාවේ බෙසමර්හි ඒඑෆ්එල් - සීඅයිඕවේ වෘත්තීය සමිතිගත කිරීමේ උත්සාහය පරාජය වීම හා පාවා දීමේ කොන්දේසි මත වූ සේවා කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් කම්කරුවන් ඡන්දය දීම, ඩීඑස්ඒය හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් දකිනු ලබන්නේ, රාජ්‍ය පාලිත කම්කරු ව්‍යාපාරයක් නිර්මානය කිරීමේ ප්‍රයත්නය, සංගතවලට පක්ෂපාතී ඒඑෆ්එල් - සීඅයිඕව කෙරේ කම්කරු පන්තිය තුල ඇති බලගතු විරුද්ධත්වය සමඟ ගැටුමකට එලැඹීමේ අනතුරු හැඟවීම් සංඥා ලෙසය.

අව්‍යාජ සමාජවාදයට එරෙහිව, මොස්කව් නඩු විභාගවල බේගල් ඩීඑස්ඒ පෙරහනය හරහා පෙරා ඉන් දේශපාලන වාතාවරනයට විෂ කැවීමේ දිශාවට ඩිමොක්‍රටික් පක්ෂය ආරක්ෂාකාරී ලෙස හැරී ඇත. කම්කරු පන්තිය තුල හා තරුන තරුනියන් අතර වැඩෙමින් පවත්නා සමාජවාදී මනෝභාවයට දැනුවත් ප්‍රකාශනයක් ලබා දීමෙහි සමත් වන දේශපාලන බලවේගය, අද දිනයේ සසප හා ලෝසවෙඅ මඟින් නියෝජනය වන ට්‍රොට්ස්කිවාදය බව ඔවුහු හඳුනා ගෙන සිටිති.

සමාජවාදී වීම තිබියේවා, තමන් ප්‍රගතිශීලීන් ලෙස හඳුන්වා ගන්නා කවර සංවිධානයකට වුව, ස්ටැලින්වාදයේ හා ජීපීයූවේ අපරාධ ඉවසා දරා ගැනීමට හෝ ඒවා යුක්තියුක්ත කිරීමට නොහැක. මෙකී අපරාධ ඩීඑස්ඒ නායකත්වයේ සැලකිය යුතු කොටසකගේ ප්‍රශංසාවට පාත්‍රවීම විසින් හෙලිදරව් කෙරෙන්නේ එම සංවිධානය තුල පවත්නා ගැඹුරින්ම ප්‍රතිගාමී වූත්, විෂකුරු වූත් දේශපාලන සංස්කෘතියකි.

දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වය වමට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා තර්ජනයක් ව පවතින කාල පරිච්ඡේදයක, අන්ත දක්ෂිනාංශයේ හා ෆැසිස්ට්වාදී බලවේගවල දේශපාලන ප්‍රචන්ඩත්වයේ තර්ජනයට පාත්‍රව සිටින්නන් ආරක්ෂා කිරීමට සමාජවාදීහු බැඳී සිටිති. ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ-කෝර්ටෙස්ගේ දේශපාලනය කෙරේ අපගේ පැහැදිලි විරුද්ධත්වය තිබියදීම, 2021 ජනවාරි 6 දින කුමන්ත්‍රන ප්‍රයත්නය තුල ඇය ඝාතනය කිරීමට ප්‍රයත්න දැරූ ෆැසිස්ට්වාදීන්ගෙන් ඉදිරිපත් වෙමින් පවතින ප්‍රචන්ඩ තර්ජනවලින් ඇය හා ඇගේ කාර්ය මන්ඩලය ආරක්ෂා කිරීමට ලෝසවෙඅ නිරතුරුව කටයුතු කොට ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශික හා සමාජවාදී විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය යුක්තියුක්ත කරන හා එය දිරි ගන්වන මුසාවාදයන් තම සංවිධානය තුල පැතිරවීමට අවසර නොදෙන බව පැහැදිලි ලෙස කියා සිටීමේ දේශපාලන වගකීමක් දැන් ඩීඑස්ඒ සංවිධානයට පැවරී ඇත. ඩීඑස්ඒ ප්‍රාදේශීය ශාඛා, ප්‍රතිට්‍රොට්ස්කිවාදී අපවාද හෙලා දකින යෝජනා සම්මත කල යුතුය. ඉදිරියේ එලැඹෙන ජාතික සම්මේලනයේ දී, නව ස්ටැලින්වාදී උද්ඝෝෂනය ඒකාන්ත ලෙස හෙලා දැකීමක් නිකුත් කල යුතුයැයි ඔවුන් ඉල්ලා සිටිය යුතුය.

විසිවන සියවසේ සමාජවාදී විප්ලවයේ ලෙනින් සමඟ එක පෙලට සිටින ශ්‍රේෂ්ඨතම සටන්කරුවා වන ට්‍රොට්ස්කිගේ කෘතීන් කියවන ලෙස සමාජවාදයේ හා මාක්ස්වාදයේ ඉතිහාසය, න්‍යාය සහ දේශපාලනය පිලිබඳ බැරෑරුම් ලෙස උනන්දු වන සියලු ඩීඑස්ඒ සාමාජිකයන්ට අපි තරයේ කියා සිටිමු.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා (එජ) සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් ලියූ In Defence of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා) නම් පොත කියවන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඩීඑස්ඒ සාමාජිකයන්ට නිර්දේශ කරයි. මෙම පොත ලියොන් ට්‍රොට්ස්කිට එරෙහිව එල්ල කෙරුනු ස්ටැලින්වාදී මුසාවාද පිලිබඳ සවිස්තරාත්මක ප්‍රතික්ෂේප කිරීමක් සම්පාදනය කරයි.

Loading