ට්‍රොට්ස්කිගේ අවසන් වසර

- හයවන කොටස

මෙම ලිපිය සැප්තැම්බර් 8 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මෙම ලිපි මාලාව, ට්‍රොට්ස්කි ඝාතනයේ 80 සංවත්සරය වෙනුවෙන්, ලෝක සමාජවාදී විප්ලවයේ එම මහා න්‍යායඥයා සහ මුලෝපායඥයාගේ ජීවිතයේ අවසන් වසරෙහි කෘත්‍යයන් පිලිබඳව කෙරෙන ඇගයීමකි.

මෙය ලිපි මාලාවක හයවන හා අවසන් කොටස යි.  ලිපි මාලාවේ පලමුවන  කොටස  සැප්තැම්බර් 18 දින , දෙවැනි කොටස,  සැප්තැම්බර් 19 ද, තෙවැනි කොටස,   සැප්තැම්බර් 24  ද, සිව්වැනි කොටස, සැප්තැම්බර් 28  ද, පස්වන කොටස,   ඔක්තෝබර් 5 ද, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල විය.

සිය ජීවිතයේ අවසන් වසර තුල, දෙවන ලෝක යුද්ධය පුපුරා යාම විසින් ඉස්මතු කරන ලද ඓතිහාසික ඉදිරිදර්ශනය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න සමග ට්‍රොට්ස්කි පොරබැදී ය. බොල්ශෙවික්වරුන් විසින් ලෝක සමාජවාදී විප්ලවයේ පෙර ඇඟවුම ලෙස ප්‍රකාශයට පත්කල 1917 රුසියානු විප්ලවය පසුපස - ඉදින් දේශපාලන ව්‍යවසනයන්ගේ වඩාත් ම වැදගත් කිහිපයක් පමනක් නම් කරන්නේ නම් - ඉතාලියේ, චීනයේ, ජර්මනියේ හා ස්පාඤ්ඤයේ කම්කරු පන්තියේ පරාජයන් සිදු වූයේ ඇයි? ධනවාදයෙහි ඉතිහාසයේ විශාලතම ආර්ථික බිඳවැටීම වූ මහා අවපාතය, සමාජවාදයට නොව, ඒ වෙනුවට ෆැසිස්ට්වාදයට හා යුද්ධයට පාර කැපූයේ ඇයි? අවසාන වසයෙන්, ඔක්තෝබර් විප්ලවයේ පදනම මත ගොඩනැගූ කම්කරු රාජ්‍යය භයානක ඒකාධිපතිවාදී පාලන තන්ත්‍රයක් බවට පිරිහුනේ ඇයි?

සුලුධනේශ්වර බුද්ධිමතුන් හා හිටපු රැඩිකලුන් රංචු පිටින් මෙයට දුන් පිලිතුර වූයේ, එකී පරාජයන් මාක්ස්වාදයේ හා සමාජවාදී විප්ලවයේ සමස්ත ඉදිරිදර්ශනයේ බංකොලොත් භාවය සනාථ කල බව යි. 1939 මාර්තුවේ ලියූ ලිපියක් තුල, මෙම ස්ථරයන්ගේ දේශපාලන මානසිකත්වය හා දෘෂ්ටිය ට්‍රොට්ස්කි විසින් විස්තර කර තිබුනි: 

බලය හුදෙක් දිග්විජය කරනු පමනක් නො වේ, එය එයට ම ආවේනික ආකාරයකින් “ඒත්තු ගැන්වීම” ද සිදු කරයි. ප්‍රතිගාමීත්වයේ ආක්‍රමනය, පක්ෂ හුදෙක් ශාරීරික ව විනාශ කරනවා පමනක් නො ව, මහජනයා සදාචාරාත්මකව දිරාපත් කිරීම ද සිදු කරයි. බොහෝ රැඩිකල් මහත්වරුන්ගේ හදවත තිබෙන්නේ ඔවුන්ගේ සපත්තු තුල ය. ප්‍රතිගාමීත්වය අභිමුව ඔවුන්ගේ භීතිය ඔවුහු අනදාල හා සාර්වත්‍ර විවේචනයේ භාෂාවට පරිවර්තනය කරති. “පැරනි න්‍යායයන් හා විධික්‍රම තුල යමක් වැරදි විය යුතු ය!” “මාක්ස්ට වැරදුනා...” “ලෙනින් පෙරදැකීමට අසමත් වුනා...” සමහරු මෙයින් ද ඔබ්බට යති. “විප්ලවවාදී විධික්‍රමය තමන් ම බංකොලොත් බව සනාථ කරගෙන ඇත.” [1] 

මාක්ස්වාදයේ විශාලතම වරද වූයේ, කම්කරු පන්තියට ඉටු කල නො හැකි විප්ලවවාදී මෙහෙයුමක් ආරෝපනය කිරීම බව, දිරිය බල සුන් වූ බුද්ධිමත්හු නිගමනය කලහ. 1920 ගනන් හා 1930 ගනන්වල සියලු ව්‍යසනයන්ගේ සාරභූත හේතුව සොයා ගත යුතුව තිබුනේ කම්කරු පන්තියේ විප්ලවවාදී නො වන ස්වභාවය තුලිනි. 

හතරවන ජාත්‍යන්තරයේ සමාරම්භක ලියවිල්ල ඇරඹුනේ, ප්‍රති-මාක්ස්වාදීන්ගේ පරාජකවාදී හා අනෛතිහාසික ඉදිරිදර්ශනය එක හෙලා ප්‍රතික්ෂේප කරමිනි. ධනවාදයෙහි මරලතෝනි යුගයේ මූලික ගැටලුව වූයේ, විප්ලවවාදී පන්තියක් නො පැවතීම නො ව, කම්කරු පන්තිය බලය කරා මෙහෙයවිය හැකි විප්ලවවාදී නායකත්වයක් නොපැවතීම යි. 

ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “සමස්ත ලෝක දේශපාලන තත්ත්වය, ප්‍රධාන වශයෙන් ම, නිර්ධන පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින් සංලක්ෂිත වී ඇත." [2]

ලියොන් ට්‍රොට්ස්කි 1940 දී

 

 මෙම සුප්‍රකට ප්‍රකාශය, හුදෙක් හතරවන ජාත්‍යන්තරයේ කේඩරය උද්‍යෝගිමත් කිරීම ඉලක්ක කරගත්, පක්ෂයේ දේශපාලන මෙහෙවර‍ ඉහල නංවන සුලු වාගාලංකාරමය ප්‍රකාශයක් ද මුසු වූ හුදු අනුශාසනාවක් ලෙස නිරන්තරයෙන් කියවනු ලැබේ. කම්කරු පන්තියේ පරාජයන්ගෙන් උකහාගත යුතු ව තිබුනු සාරභූත පාඩමෙහි සංක්ෂිප්ත සාරාංශගත කිරීමක් වූ මෙම ප්‍රකාශනයේ සැබෑ අර්ථභාරය එවන් අර්ථකථනයක් මඟින් මඟ හැරේ. 

1845 දී, ෆොයබාක් පිලිබඳ දෙවන ප්‍රවාදය තුල මාක්ස් මෙසේ ලිවී ය: “ මානුෂික චින්තනය මගින් වෛෂයික සත්‍යය ග්‍රහණය කළ හැකි ද යන ප්‍රශ්නය න්‍යාය පිලිබඳ ප්‍රශ්නයක් නො ව භාවිතය පිළිබඳ ප්‍රශ්නයකි.  මිනිසා සත්‍යය, එනම්, යථාර්ථය හා බලය, ඔහුගේ චින්තනයේ මෙම පාක්ෂිකත්වය (අන්තර්ගතය) ඔප්පු කළ යුත්තේ භාවිතයෙහි දී ය. චින්තනයාගේ යථාර්ථවත් භාවය හෝ අයථාර්ථවත් භාවය පිළිබඳව භාවිතයෙන් හුදෙකලා වී කෙරෙන විවාදය හුදු පණ්ඩිතමානී වූවකි. ” [3] සමාජවාදී විප්ලවයේ ඉරනම පිලිබඳ සන්දර්භය තුල, දාර්ශනික භෞතිකවාදයේ මෙම මූලික සංකල්පය යලි හැඩගස්වමින්, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයෙහි මුල දී ට්‍රොට්ස්කි  විසින් යොදාගත් සූත්‍රගත කිරීම සාරභූත වසයෙන් සඳහන් කරන්නේ, එහි ප්‍රමුඛ පක්ෂ හා සංවිධානවල භාවිතය විභාග කිරීමෙන් තොරව කම්කරු පන්තියේ විප්ලවවාදී හෝ විප්ලවවාදී නො වන ස්වභාවය පිලිබඳව කෙරෙන සියලු සාකච්ඡාවන් වියුක්ත, දේශපාලනික අන්තර්ගතයෙන් තොර හා ව්‍යාජ බව යි. 

ට්‍රොට්ස්කිගේ මරනය වන විට ඔහු සකස් කරමින් සිටි රචනය, නායකත්වයේ අර්බුදය පිලිබඳ ඔහුගේ සංකල්පය සනාථ කිරීම පිනිස කැපකරන ලදී. “පන්තිය, පක්ෂය හා නායකත්වය: ස්පාඤ්ඤ නිර්ධන පන්තිය පරාජය වූයේ ඇයි? (මාක්ස්වාදී න්‍යාය පිලිබඳ ප්‍රශ්න)” යන්න එම ලේඛනයේ මාතෘකාව විය. අනපේක්ෂිත ලෙස වාක්‍යයක මැදින් අවසන් වන මෙම ලිපිය, ට්‍රොට්ස්කිගේ මරනයෙන් මාස හතරකට පසුව, හතරවන ජාත්‍යන්තරය සඟරාවේ 1940 දෙසැම්බර් කලාපයේ පලකෙරුනි. අසම්පූර්න එකක් වුවත්, දාර්ශනික-න්‍යායික හා දේශපාලනික ආස්ථානයකින් සලකන කල්හි මෙම ලිපිය, ධනවාදයේ මරලතෝනි යුගයේ විප්ලවීය ක්‍රියා දාමයෙහි වෛෂයික හා ආත්මීය සාධකයන් අතර අපෝහක සම්බන්ධතාව පිලිබඳ ප්‍රගාඪතම විවරනයන් අතරට අයත් වේ. 

ට්‍රොට්ස්කිගේ නිබන්ධය ලියන ලද්දේ, ප්‍රංශ රැඩිකල්වාදී කේ ෆෙරේ (කල යුත්තේ කුමක්ද) යන සඟරාවේ පල වූ 'ස්පාඤ්ඤය පාවා දෙන ලදී' නම් පුස්තිකාවකට එරෙහි විචාරයකට ප්‍රතිචාර ලෙසය. එම පුස්තිකාවේ කතුවරයා වූයේ, එම්. කැසනෝවා යන ආරූඪ නාමයෙන් ලිවූ, හතරවන ජාත්‍යන්තරයේ සාමාජික මීක්සිස්ලෝ බෝටෙන්ස්ටයින් ය. ස්පාඤ්ඤයේ සටන්වලට සහභාගී වූ බෝටෙන්ස්ටයින්, එහිදී ස්ටැලින්වාදීන් විප්ලවය කඩාකප්පල් කල අයුරු ඇසින් දැක තිබුනි. මහජන පෙරමුන පිලිබඳ ට්‍රොට්ස්කිගේ හෙලිදරව්ව හා පූමයේ (එක්සත් මාක්ස්වාදී කම්කරු පක්ෂයේ) මාධ්‍යමික දේශපාලනය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචන මගින් මූලික වසයෙන් අනුප්‍රානය ලැබූ මෙම පුස්තිකාව, ස්පාඤ්ඤයේ දී කතුවරයා ලත් පුද්ගලික අත්දැකීම්වලින් පෝෂනය වී තිබින. මෙම පුස්තිකාව හැරුනු විට, බෝටෙන්ස්ටයින්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පිලිබඳ ව ඇත්තේ සාපේක්ෂ ව ස්වල්ප තොරතුරු ප්‍රමානයකි. කෙසේවෙතත්, 35 වන වියේ දී ඔහුගේ ජීවිතය කනගාටුදායක ලෙස අවසන් වූ බව වාර්තා වී ඇත. නාසීන් ප්‍රන්සය යටත් කරගැනීමෙන් අනතුරු ව, විචි තන්ත්‍රය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බෝටෙන්ස්ටයින් අවසානයේ අවුෂ්විට්ස් ඝාතක කඳවුර වෙත පිටුවහල් කෙරුනු අතර, 1942 වසරේ එහි දී ඔහු මරා දැමින.

බෝටෙන්ස්ටයින් ඔහුගේ පුස්තිකාව ලීවේ, ස්ටැලින්වාදීන් ආධිපත්‍යය දැරූ මහජන පෙරමුනු ආන්ඩුව ප්‍රතිරෝධයකින් තොරව බාසිලෝනාව ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදාවට යටත් කිරීමෙන් ඉක්බිති ව ය. කම්කරු විප්ලවයේ බලකොටුව ලෙස පැවති ස්ථානය යටත් කිරීම, මහජන පෙරමුනු ද්‍රෝහීත්වයේ කූටප්‍රාප්තිය විය. කැසනෝවා-බෝටෙන්ස්ටයින් සිය පුස්තිකාවට ලියූ හැඳින්වීම තුල මෙසේ ලිවී ය:

මගේ ම අත්දැකීම මත පාදක ව, මේ දැන් සිදු වී ඇත්තේ කුමක්දැයි ම විසින් විස්තර කල යුතු ව ඇත. කරුනු වාර්තා කිරීමට මට සිදු වී තිබේ. ෆැසිස්ට්වාදයට එරෙහි නිර්ධන පන්තියේ විප්ලවවාදී අරගලය පාවා දෙමින් ස්පාඤ්ඤය ෆ්‍රැන්කෝට යටත් කරවූ ආකාරය විස්තර කරනු වස්, තීරනාත්මක වැදගත්කමකින් යුතු මූලෝපායික ස්ථාන සටනකින් තොර ව අත්හැර දමන ලද අයුරු, ද්‍රෝහී සෙනෙවිවරුන් ආරක්ෂක සැලසුම් සතුරා අතට පත් කල අයුරු, යුද කර්මාන්තය කඩාකප්පල් කොට ආර්ථිකය අසංවිධිත කරන ලද අයුරු, කම්කරු පන්තියේ හොඳ ම සටන්කරුවන් මරාදමන ලද අයුරු, “රිපබ්ලිකන් (සමූහාන්ඩුවාදී)” පොලීසිය ෆැසිස්ට් ඔත්තුකරුවන් ආරක්ෂා කල අයුරු මම විස්තර කරන්නෙමි.

මගේ විශ්ලේෂනය හා මා විස්තර කරන කරුනු සියල්ල පෙරලා එන්නේ එකම තේමාවක් කරා ය: එනම්, මහජන පෙරමුනේ අපරාධකාරී පිලිවෙත කරා ය. ෆැසිස්ට්වාදය පරාජය කලහැකි ව තිබුනේ කම්කරුවන්ගේ විප්ලවයෙන් පමනෙකි. රිපබ්ලිකානු, සමාජවාදී, කොමියුනිස්ට් හා අරාජකවාදී නායකයන්ගේ සමස්ත පිලිවෙත ක්‍රියාත්මක වූයේ, කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය විනාශ කිරීම සඳහා ය. “පලමුව යුද්ධය දිනා ඉන්පසුව විප්ලවය කරනු!” යන ප්‍රතිගාමී සටන් පාඨය යොමු වී තිබුනේ විප්ලවය මරා දමා ඉන්පසුව යුද්ධය පරාජය කිරීමට පමනි. [4]

ස්පාඤ්ඤ ව්‍යසනයේ පාඩම් ඉගෙන ගැනීම තීරනාත්මක ව තුබුනේයැයි කැසනෝවා-බෝටෙන්ස්ටයින් ප්‍රකාශ කලේ ය. “ස්පාඤ්ඤයේ දී අසාර්ථක වූයේ සමාජවාදය හෝ මාක්ස්වාදය නො ව, එය ඒ සා සාපරාධී ලෙස පාවාදුන් අයයි.” [5]

ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ භින්නමතික හිටපු සාමාජිකයින් විසින් නිෂ්පාදිත සඟරාවක් වූ කේ ෆෙරේහි බෝටෙන්ස්ටයින්ගේ පුස්තිකාවට එරෙහි ව පලකල සතුරු විචාරය, සුලුධනේශ්වර මාධ්‍යමිකයන්ගේ නරුම ආකල්පය පිලිබඳ නිදර්ශනයක් විය. ෆැසිස්ට්වාදය පරාජය කිරීම නො කල හැක්කක් බවට පත්කල ස්පාඤ්ඤ කම්කරු පන්තියේ ලක්ෂනයන් කෙරේ - සියල්ලටමත් වඩා එහි "අපරිනතභාවය කෙරේ - අවධානය යොමු කරනු වෙනුවට, පරාජය පිලිබඳ ව වගකිව යුතු පක්ෂ හා පිලිවෙත් මත අවධානය යෙදීම ගැන එම විචාරය බෝටෙන්ස්ටයින්ට පහර දුන්නේ ය. එය “තනිකර ම භූතවේදයේ විෂය පථය කරා අප කැඳවා ගෙන යතැ"යි කේ ෆෙරේ කියා සිටියේ ය. පරාජය සඳහා වගකිව යුතු අපරාධකරුවා වන්නේ, අරාජකවාදීන්ගේ හා අනෙක් අල්පේච්ඡ යක්ෂයන්ගේ අනුබලය ලද ප්‍රධාන යක්ෂයා වන ස්ටැලින් ය; විප්ලවවාදීන්ගේ දෙවියා රුසියාවට 1917 දී එවූ පරිදි ස්පාඤ්ඤයට ලෙනින් කෙනෙකු හෝ ට්‍රොට්ස්කි කෙනෙකු එවා නැත.” [6]  

කේ ෆෙරේ බෝටෙන්ස්ටයින්ට එල්ල කල ප්‍රහාරය ට්‍රොට්ස්කිගේ දරුනු විවේචනයට පාත්‍ර විය. කේ ෆෙරේ විචාරයේ “න්‍යායික අහංකාරකම වඩාත් ම විභූතිමත් කෙරී ඇත්තේ, ඉතා නිශ්චිත ව ම ගතානුගතික පිලිස්තීනු ගනයට වැටෙන තුච්ඡ ප්‍රලාප, ග්‍රාම්‍යතා හා වැරදි ඒ සා ප්‍රමානයක් ඒ සා සුලු වාක්‍ය සංඛ්‍යාවක් තුලට රුවාලිය හැකි වන්නේ කෙසේදැයි සිතා ගැනීමට පවා අපහසු වීම නිසායැ"යි ඔහු ලීවේ ය [7]

කේ ෆෙරේ හි විචාරයේ කේන්ද්‍රීය අභිප්‍රායය වූයේ, ස්පාඤ්ඤයේ දරුනු පරාජයේ සියලු වගකීම්වලින් කම්කරු පන්තියේ නායකත්වයෙහි සිටි පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් නිදොස් කිරීම යි. “මහජනයාගේ වැරදි පිලිවෙත” පිලිබඳ දෝෂය, එහි දේශපාලන කර්තෘවරුන් මත වෙනුවට, “අපරිනතභාවය” හේතුවෙන් වැරදි දේශපාලන පිලිවෙතක් අනුගමනය කිරීමට යොමු වී සිටි කම්කරු පන්තිය මත පැටවිය යුතු විය. කේ ෆෙරේහි කතුවරයා විසින් සකසන ලද මෙම තර්කය, පරාජයෙහි නිර්මාපකයන් වෙනුවෙන් වූ පිලිකුල් සහගත ක්ෂමාලාපයක් විය. ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

පුනර්වාචී තර්ක සොයා යන්නෙකුට මීටත් වඩා නීරස තර්කයක් සොයා ගත නො හැකි වනු ඇත. ජනතාවගේ "අපරිනත බවෙන්” “ජනතාවගේ වැරදි ප්‍රතිපත්තියක්” විස්තර කර ඇත. එහෙත් ජනතාවගේ “අපරිනත බව” කුමක් ද? පැහැදිලි ව ම ඔවුන් වැරදි ප්‍රතිපත්තිවල එල්බ සිටීම යි. වැරදි ප්‍රතිපත්තිය කුමකින් සමන්විත වේ ද? එහි ආරම්භකයන් කවුද? ජනතාව ද? නායකයන් ද? අපේ කතුවරයා මෙම ප්‍රශ්නය නිහඬව ම මග හැර සිටී. පුනරුක්තිවාචී තර්කයක් මගින් ඔහු ජනතාව පිට වගකීම පටවයි. සියලු ද්‍රෝහීන්ගේ ද පලා යන්නන්ගේ ද ඔවුන්ට පෙරකදෝරුකම් කරන්නන්ගේ ද මෙම චිරන්තන සට කපටකම ස්පාඤ්ඤ නිර්ධන පන්තිය සම්බන්ධයෙන් යෙදූ විට විශේෂ ජුගුප්සාවක් ඇති කරයි. [8]

ස්පාඤ්ඤ කම්කරු පන්තියේ නායකයන් නරක වූයේ වී මුත්, නරක නායකයන් ව අනුගමනය කිරීම මහජනයාගේ වරදක් නො වූයේ දැයි ක්ෂමාලාපකයෝ තර්ක කල හ. එවන් විනාශකාරී විතන්ඩවාදයන්ට ප්‍රතිචාර දැක්වූ ට්‍රොට්ස්කි, බෝටෙන්ස්ටයින්ගේ ඇසින් දුටු වාර්තාව සනාථ කරමින් පෙන්වා දුන්නේ, ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා අරාජකවාදීන් ගොඩනගන ලද දේශපාලන බාධකයන් බිඳගෙන යාමට කම්කරු පන්තිය නැවත නැවතත් උත්සාහ දැරූ බව යි; තව ද කම්කරු පන්තිය ප්‍රහාරයකට යාමේ අද්දර සිටි සෑමවිටක ම, ඔවුන්ගේ ද්‍රෝහී නායකයෝ ප්‍රති-විප්ලවවාදී පිලිවෙත්වලට සහයෝගය පිනිස බලය යෙදවූ බවයි. මහජන පෙරමුනු ආන්ඩුවේ ද්‍රෝහී පිලිවෙත්වලට එරෙහි ව 1937 මැයි මාසයේ බාසිලෝනාවේ පැනනැගුනු කම්කරු පන්තියේ නැගිටීම නිර්දය ලෙස මර්දනය කරනු ලැබිනි. ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

ස්පාඤ්ඤ ජනතාව හුදෙක් සිය නායකයන් පස්සෙන් ගියේ යැයි හිස් ප්‍රකාශ පුන පුනා කිව හැකි වන්නේ පන්තිය හා පක්ෂය අතරත්, ජනතාව හා නායකයන් අතරත් පවත්නා අන්තර්-සම්බන්ධතා පිලිබඳ ක්ෂේත්‍රය ගැන කිසි ම කිසි දෙයක් වටහා නො ගත් අයට ම පමනකි. මෙහි ලා පැවසිය හැකි එක ම දෙය නම් සියලු ම අවස්ථාවන්හි දී නිවැරදි මාවතට අවතීර්න වීමට යත්න දැරූ ජනතාව, සටනේ ගිනි ජාලාව මධ්‍යයේ දී ම විප්ලවය ඉල්ලා සිටින ඉල්ලීම්වලට අනුරූප වන නායකත්වයක් නිපදවා ගැනීම යනු තමන්ගේ ශක්තියෙන් ඔබ්බෙහි පවතින්නක් බැව් සොයා ගත් බව යි. [9]

සෑම ජනතාවක් ම ඔවුන්ට උචිත ආන්ඩුවක් ලබා ගනු ඇත යන පතුරු ගසා ඇති ආප්තෝපදේශය ට්‍රොට්ස්කි යලි සිහිපත් කලේය. සමාජ අරගලයේ ක්ෂේත්‍රයට යෙදූ විට, මෙම තර්කය මඟින් කියැවෙනු ඇත්තේ, සෑම පන්තියක් ම එයට උචිත නායකත්වයක් ලබා ගනු ඇති බව යි. ඒ අනුව, කම්කරුවන්ට සිටින්නේ නරක නායකයන් නම්, එය ඔවුන්ට උචිත දෙයයි; ඒ හොඳ නායකයන් නිපදවීමට ඔවුන් අසමත් නිසා ය. මෙම රූපික හා යාන්ත්‍රික තර්කයට ට්‍රොට්ස්කි ප්‍රතිචාර දැක්වී ය. 

යථාර්ථයේ දී නායකත්වයක් යනු පන්තියක හුදු “පිලිබිඹුවක්” හෝ, එම පන්තියේ නිදහස් නිර්මාන ශක්තියේ නිෂ්පාදිතයක් හෝ නො වේ. නායකත්වයක් හැඩ ගැසෙන්නේ විවිධ පන්ති අතර ගැටුම්වල හෝ දෙන ලද පන්තියක විවිධ තට්ටු අතර ඝර්ෂනයේ ක්‍රියාදාමය ඇතුලත දී ය. වරෙක නායකත්වයක් පැන නැගි කල්හි අවිකල්පයෙන් ම එය සිය පන්තියෙන් ඉහලට නගින අතර, එමගින් එය වෙනත් පන්තිවල පීඩනයට හා බලපෑමට නතු වේ. පරිපූර්නව ම ඇතුලතින් පරිහානියට පත් වී ඇති නමුත් දැවැන්ත සිදුවීම් මධ්‍යයේ මෙම පරිහානිය විදහා පෑමට අවස්ථාව නො ලද නායකත්වයක්, නිර්ධන පන්තිය දිගු කාලයක් තිස්සේ “ඉවසා සිටින්නට” පුලුවන. 

නායකත්වය හා පන්තිය අතර පරස්පර විරෝධය තියුනු ම ආකාරයෙන් හෙලිදරව් වීමට දැවැන්ත ඓතිහාසික කම්පනයක් අවශ්‍ය වේ. දැවැන්ත ම ඓතිහාසික කම්පනයෝ යුද්ධ හා විප්ලව ම වෙත්. නිශ්චිතව ම මෙම හේතුව නිසා ම යුද්ධයේ දී හා විප්ලවයේ දී බොහෝ විට කම්කරු පන්තිය විපිලිසර වූ තත්ත්වයකට පත් වෙයි. පැරනි නායකත්වය සිය අභ්‍යන්තර දූෂිත බව හෙලිදරව් කර ඇති තත්ත්වයන්හි දී පවා, පැරනි ප්‍රධාන පක්ෂයේ බිඳ වැටීම ප්‍රයෝජනයට ගැනීමට සමත් ශක්තිමත් විප්ලවවාදී කේඩරයන් ඊට කලින් කාලපරිච්ඡේදයෙන් පන්තියට උරුම වී නැත්නම්, අලුත් නායකත්වයක් ක්ෂනිකව ම සකසා ගැනීමට පන්තියට නුපුලුවන. මාක්ස්වාදී අර්ථ විවරනය, එනම් පන්තිය හා එහි නායකත්වය අතර අන්තර්-සම්බන්ධතාව ගැන ගුරුකුලවාදී අර්ථ විවරනය නො ව අපෝහකවාදී අර්ථ විවරනය, අපේ කතුවරයා ඉදිරිපත් කර ඇති නීතිගරුකවාදී විතන්ඩවාදයේ එක ම අංශුවක් වත් ඉතිරි නො කරනු ඇත. [10] 

මාක්ස්වාදය පිලිබඳ ධනේශ්වර විවේචනය - විශේෂයෙන් ම එය ශාස්ත්‍රාල තුල ප්‍රචාරනය කරනු ලබන ආකාරයෙන් - පොදුවේ මෙසේ කියා සිටියි: නියතිවාදී වන දාර්ශනික භෞතිකවාදය ඉතිහාසය තුල “ආත්මීය සාධකයට” දෙන අවධානය ප්‍රමානවත් නැත; මූලික ව සමාජයේ සමාජ-ආර්ථික හා පන්ති ව්‍යුහය සමඟ පූර්ව නියුක්තව ඇති මාක්ස්වාදය, සමාජයේ ව්‍යාකූල වර්ධනය තුල විඥානයේ ආනුභාවය - විශේෂයෙන්ම එහි උපරි ඓතිහාසික හා අතාර්කික විද්‍යමානවීම් - සැලකිල්ලට නොගනී. වෛෂයික හා ආත්මීය සාධක අනම්‍ය ලෙස වෙන් කිරීමක් මාක්ස්වාදයට ආරෝපනය කරන මෙම විවේචනය, නූගත්කම සමඟ විකෘතිකරනය හා පරිපූර්න අසත්‍යකරනය ඒකාබද්ධ කරයි. වසර ගනනාවක කාලපරිච්ඡේදයක් පුරා ට්‍රොට්ස්කිගේ ලේඛනවල කේන්ද්‍රීය තේමාව වූයේ, විප්ලවීය අරගලවල ප්‍රතිඵලය නීර්නය කිරීමේ දී දේශපාලන නායකයන්ගේ භූමිකාවට සුවිශේෂී වැදගත්කමක් පවරන, ආත්මීය සාධකයේ තීරනාත්මක භූමිකාව යි. අතිශයින් ම සුප්‍රකට ලෙස, 1935 දී ඔහු ලියූ දිනපොතක වූ සටහනක, ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහනය කිරීමේ දී ලෙනින් ඉටු කර තිබුනු තීරනාත්මක කාර්යභාරය ට්‍රොට්ස්කි අවධාරනය කොට තිබුනි. “1917 දී මා පීටර්ස්බර්ග්හි නො සිටිය ද ඔක්තෝබර් විප්ලවය ඒ ආකාරයට ම සිදු වී තිබෙනු ඇත - ඒ ලෙනින් එහි සිටිමින් අධිකාරය දැරීමේ කොන්දේසිය සැපිරී තිබුනේ නම් පමනෙකි.” [11]

කේ ෆෙරේ තර්ක ඛන්ඩනය කිරීමේ දී, ට්‍රොට්ස්කි යලිත් ඔක්තෝබර් විප්ලවය තුල ලෙනින්ගේ භූමිකාව කරා හැරුනේ ය. එම විචාරය තුල “ඓතිහාසික ක්‍රියාදාමයේ අපෝහක තත්ත්වාරෝපනය වෙනුවට "යාන්ත්‍රික නියතිවාදයක්” ද “හොඳ හා නරක පුද්ගලයන්ගේ කාර්යභාරය ගැන බාල ඇනුම් පද” ද ආදේශ කර තිබීම ට්‍රොට්ස්කි විසින් ප්‍රතික්ෂේප කෙරින. පන්ති අරගලය දිග හැරෙන්නේ උත්තර-මානව ක්‍රියා දාමයක් ලෙස නො වේ. සැබෑ මිනිසුන් එයට සම්බන්ධ වන අතර, විප්ලවවාදී නැගී සිටීමක් සාර්ථක වේ ද අසාර්ථක වේ ද යන්න නීර්නය කිරීමේ දී හා එවන් නැගී සිටීමක් සිදු වේ ද යන්න ම පවා නීර්නය කිරීමේ දී ඔවුන්ගේ ක්‍රියා -සමහර අවස්ථාවල දී තීරනාත්මක වන- භූමිකාවක් ඉටු කරයි. “1917 අප්‍රේල් 3දා පෙට්‍රොග්‍රෑඩ් නුවරට ලෙනින්ගේ පැමිනීමෙන් බොල්ශෙවික් පක්ෂය නිසි කාලයේ දී අවශ්‍ය හැරීම ලබා ගනිමින්, විප්ලවය ජයග්‍රහනය කරා මෙහෙයවීමට සමර්ථ බවට පත් විය.” [12] ට්‍රොට්ස්කි තව දුරටත් මෙසේ ලීවේ ය:

1917 මුල දී ලෙනින් පිට රටක දී මිය ගියේ නම් ඔක්තෝබර් විප්ලවය කෙසේ වෙතත් “ඒ අයුරින් ම” සිදු වනු ඇතැයි අපේ ප්‍රාඥයන් කියන්ට ඉඩ ඇත. එහෙත් එය එසේ නො වේ. ලෙනින් ඓතිහාසික ක්‍රියා දාමයේ එක් සජීවී අංශයක් නියෝජනය කලේ ය. නිර්ධන පන්තියේ අතිශයින් ම ක්‍රියාශීලී කොටසේ අත්දැකීම් හා තියුනු බව ලෙනින්ගෙන් මූර්තිමත් විය. ඔහු නිසි කාලයේ දී විප්ලවයේ රංග පථයට අවතීර්න වීම පෙරමුනු බලඇනිය බලමුලු ගන්වා ගැනීම සඳහා ද කම්කරු පන්තිය හා ගොවි ජනතාව තමන් වටා ඒකරාශී කර ගැනීමට එයට අවස්ථාව ලබා දීම සඳහා ද අත්‍යවශ්‍ය විය. යුද්ධයක තීරනාත්මක අවස්ථාවේ දී ප්‍රධාන අන දෙන නිලධාරියාගේ ක්‍රියා කලාපය මෙන් ම, ඓතිහාසික පරිවර්තනවල තීරක මොහොතේ දී දේශපාලන නායකත්වය ද තීරනාත්මක සාධකයක් වන්නේ ය. ඉතිහාසය ස්වයංක්‍රීය ක්‍රියාවලියක් නො වේ. නො එසේ නම් නායකයන් කුමට ද? පක්ෂ කුමට ද? ක්‍රියා මාර්ග කුමට ද? න්‍යායික අරගල කුමට ද? [13]

තම දේශපාලන වැරදි හා පරිපූර්න ද්‍රෝහීත්වයම පවා මාර්ගයෙන් ස්පාඤ්ඤ විප්ලවයේ පරාජය සහතික කල සියලු පක්ෂ හා පුද්ගලයන්, එකී පරාජයෙන් ඉක්බිතිව, වෙනත් ප්‍රතිඵලයක් ලබා ගත නොහැකිව තුබූ බවට කියා පෑ බව බෝටෙන්ස්ටයින් සිය පුස්තිකාව තුල කර්කශ ලෙස සටහන් කලේය. “අරාජකවාදීන් ඇතුලු මහජන පෙරමුනේ නායකයන්ගේ පැහැදිලි කිරීම්වලට අප ඇහුම් කන් දෙන්නෙමු නම් හා එම විස්තර ගැඹුරු ලෙස සලකන්නෙමු නම්, අපට කල හැකි සියල්ල වනු ඇත්තේ, සියලු දෙය පිලිබඳ අපේක්ෂාවන් භංග කර ගැනීම හා නිර්ධන පන්තියේ විප්ලවවාදී ධාරිතාවන්, එහි අනාගතය හා එහි ඓතිහාසික මෙහෙවර පිලිබඳ ව පවා බලාපොරොත්තු අත්හැර දැමීම යි.” [14] පරාජයට දැක්වූ නිදහසට කරුනුවලින් හිඟයක් නො වී ය. 

අපේ සුලුධනේශ්වර මහජන පෙරමුනු ප්‍රජාතන්ත්‍රවාදීන්ට අනුව, සියල්ල නො වැලැක්විය හැකි දේ විය. රිපබ්ලිකන්වාදීන් හා සමාජවාදීන් ෆැසිස්ට්වාදීන්ගේ යුද ශක්තියේ ප්‍රබලතරභාවය මගින් පරාජය සාධාරනීකරනය කල අතර, කොමියුනිස්ට්වරු එය සාධාරනීරකනය කලේ මැදිහත් නො වීමේ පිලිවෙතකින් ෆ්‍රැන්කෝට අනුග්‍රහය දැක්වූ ෆැසිස්ට්-ගැති ධනේශ්වරයක් සිටීම (මේ නම් නව සොයා ගැනීමකි!) මගිනි. මෙම පිලිවෙත ක්‍රියාවට දැමූ බ්ලම් ආන්ඩුවට ඔවුන් සහයෝගය දුන් බව එකතු කිරීමට ඔවුන්ට අමතක විය.  අරාජකවාදීන් ඔවුන්ගේ යටත් වීම් හා යලි යලිත් කල පාවාදීම් සාධාරනීකරනය කලේ, රිපබ්ලිකානුවන්ට ආයුධ සපයමින් සිටි රුසියානුවන් විසින් පවත්වාගෙන යන ලද ත්‍රාසාද්ග්‍රහනයක මාර්ගයෙනි. පූමය සම්බන්ධයෙන් ගත් කල, ඉරනම්වාදී අත්වැල් ගායනයට එය ද එකතු වූයේ මෙසේ කියමිනි: “අපි පමනට වඩා දුර්වල ව සිටියෙමු, තව ද අපට අනෙකුත් අය අනුගමනය කිරීමට සිදු විය, ඒ සියල්ලටත් වඩා අපට සමගිය බිඳීමට නො හැකි විය.” මේ අනුව සියල්ල නො වැලැක්විය හැකි විය. සිදු වූ දෙය සිදු වීමට නියමිත ව තිබූ අතර, එය කල් තබා කෝරානයේ ලියැවී තිබුනි ... [15] 

ස්පාඤ්ඤ කම්කරුවන්ගේ පරාජයට මඟ හෙලි කල අයවලුන්ගේ ස්වයං-සාධාරනීකෘත ඉරනම්වාදයට බෝටෙන්ස්ටයින් එල්ල කල චෝදනාව, එක් සුවිශිෂ්ඨ ඡේදයක් තුල ට්‍රොට්ස්කි මුලු හදින් ම අනුමත කලේ ය. 

පරාජයන් විශ්ව වර්ධනයන්ගේ දම්වැලෙහි අවශ්‍ය පුරුකක් ලෙස පාහන්නට යත්න දරන මෙම බෙලහීන දර්ශනවාදය, පරාජයේ සංවිධායකයන් වූ ක්‍රියා මාර්ග, පක්ෂ හා පුද්ගලයන් වැනි සංයුක්ත සාධක ඉදිරිපත් කිරීමට මුලුමනින් ම නො සමත් වන අතර, එසේ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප ද කරයි. දෛවවාදය හා දනින් වැටීම පිලිබඳ මෙම දර්ශනවාදය, විප්ලවවාදී ක්‍රියාව පිලිබඳ න්‍යාය ලෙස මාක්ස්වාදයට හරියටම ප්‍රතිවිරුද්ධ කෙලවරේ පිහිටා සිටී. [16]

           * * * * *

ස්ටැලින් පිලිබඳ චරිතාපදානය රචනා කිරීමෙහි ට්‍රොට්ස්කි දිගට ම නිමග්න විය. මෙම අසම්පූර්න වෙලුමේ අවසන් පරිච්ඡේදය “තර්මිඩෝරියානු ප්‍රතිගාමීත්වය” ලෙස නම් කර ඇති අතර, ට්‍රොට්ස්කි එහි දී ස්ටැලින් හා ඔහුගේ පරිවාර ජනයා පිලිබඳ ප්‍රබල ආලේඛනයක් හා ඇගයීමක් ඉදිරිපත් කරයි.

පොදුවේ ගත් කල, ස්ටැලින්වාදී කඳවුර තුල එක ම කුසලතා පූර්න ලේඛකයෙකු, ඉතිහාසඥයෙකු හෝ විවේචකයෙකු ඔබට හමු නො වනු ඇත. එය වනාහි උද්ධච්ඡ අවිශිෂ්ඨයන්ගේ රාජධානියකි. ඉහල ම සුදුසුකම් සහිත මාක්ස්වාදීන්, නිලධාරී තාන්ත්‍රික උපාමාරු දැමීමේ කලාවෙහි කෙල පැමිනි අහඹු හා දෙවන පෙලේ පුද්ගලයන්ගෙන් විස්ථාපනය කිරීම ඒ සා පහසුවෙන් ඇරඹුනේ ඒ අනුව ය. ස්ටැලින් යනු සෝවියට් නිලධරයේ වඩාත් ම කැපී පෙනෙන අවිශිෂ්ඨයා ය. මෙයට වඩා වෙනස් අර්ථ දැක්වීමක් මට සොයා ගත නො හැක. [17]

ස්ටැලින් “සුධීමතෙකු” බවට පරිවර්තනය කිරීම, වරප්‍රසාද කෙරෙහි සිය ප්‍රෝත්සාහය සඳහා ම්ලේච්ඡ උපකරනයක් ඔහු තුලින් සොයා ගත් නිලධරයේ කටයුත්තක් විය. බොරුවලින් වර්ධනය කරන ලද ස්ටැලින් මිථ්‍යාව නිලධරයේ නිර්මානයක් විය. ට්‍රොට්ස්කි නිරීක්ෂනය කල පරිදි, “බොරුවේ මෙම යෝධ, ඓන්ද්‍රීය, අනභිභවනීය ස්වභාවය, එය හුදෙක් තනි පුද්ගලයෙකුගේ පෞද්ගලික අභිලාෂයන් පිලිබඳ කරුනක් නොව, මිනිය නොහැකි තරම් විශාල යමක් පවතින බවට වන ප්‍රතික්ෂේප කල නො හැකි සාක්ෂිය යි: වරප්‍රසාදිත අලුත් බලවතුන්ගේ නව කුලයට තමන්ගේ ම පුරානෝක්ති අවශ්‍ය වී තිබින.” [18]

නිලධර පාලන තන්ත්‍රය සෝවියට් සංගමයේ සමස්ත සංස්කෘතික වර්ධනයෙහි ගෙල මිරිකා දමමින් සිටියේ ය. “ස්ටැලින්වාදී යුගයේ සාහිත්‍යය හා කලාව, ඉතිහාසය තුල පෙනී සිටිනු ඇත්තේ වඩාත් ම අභූතරූපී හා දීන බයිසන්තියානුවාදයේ උදාහරන ලෙසයැ”යි ට්‍රොට්ස්කි ලීවේ ය. [19] අව්‍යාජ කුසලතා පූර්න කලාකරුවන්ට පවා ස්ටැලින්ගේ සේවය වෙනුවෙන් ගනිකා වෘත්තියේ යෙදීමට බලකෙරුනි. ස්ටැලින් දෙවියෙකු ලෙස නිරූපනය කරන ඇලෙක්සි තොල්ස්තෝයිගේ කවියක් ට්‍රොට්ස්කි උපුටා දැක්වී ය: “ජාතීන්ගේ දිදුලන සූර්යයා ඔබ වන්නෙහිය, අපේ කාලයේ බැස නොයන සූර්යයා ඔබ වන්නෙහිය” ආදී වශයෙනි. මෙම පේලි පිලිබඳ ව අදහස් දක්වමින් ට්‍රොට්ස්කි මෙසේ ලීවේය: “දේවල් ඒවායේ සැබෑ නමින් හඳුන්වන්නේ නම්, මෙම කාව්‍යය වඩාත් සිහි ගන්වන්නේ ඌරකුගේ ගෙරවිල්ලයි." [20] 

සෝවියට් වාස්තු විද්‍යාව පවා ස්ටැලින් විසින් විරූපනය කෙරී, තත්වයෙන් පහත හෙලින. ස්ටැලින්ගේ පිරිවිතරයන්ට අනුව ගොඩනගන ලද සෝවියට් සභා ගොඩනැඟිල්ල (ද හවුස් ඔෆ් සෝවියට්ස්) “එයට ආරූඪ කෙරී ඇති නිෂ්ඵලත්වය හා ගොරහැඩි විශාලත්වය සමගින් කිසිදු අදහසකින් හෝ ඉදිරිදර්ශනයකින් තොර ම්ලේච්ඡ පාලන තන්ත්‍රයක් පිලිබඳ සංයුක්ත ප්‍රකාශනයක් සම්පාදනය කරන අපරූපී ගොඩනැගිල්ලක් විය.” [21] චිත්‍රපට සම්බන්ධයෙන් ගත් කල, ඒවායේ අධ්‍යක්ෂවරුන්ට හා නලුවන්ට ස්ටැලින්ගේ උපදෙස් ගැනීමට බල කරන ලදී. ඔවුන්ගේ එක ම අභිප්‍රායය බවට පත් කෙරුනේ ආඥාදායකයා උත්කර්ෂයට නැංවීම යි. “ඒ සා අපේක්ෂාජනක ආරම්භයක් ලබා ගත් සෝවියට් සිනමාව මේ ආකාරයට මරා දමා නිශ්චිතවම මලකඳක් බවට පත් කර ඇත.” [22]

ස්ටැලින් නමැති මිනිසා ගැන සඳහන් කරන්නේ නම්, ඔහු ව වට කරනු ලැබ තිබුනු මිථ්‍යාවෙන් ජීවමාන මිනිසා වෙන් කල හැකි ව තුබූ ප්‍රමානයට ඔහුගේ සාරභූත ලක්ෂනය වන්නේ, “සාමාන්‍යයෙන් පරපීඩාකාමුකත්වය ලෙස හඳුන්වනු ලබන, පෞද්ගලික හා කායික කෲරත්වයයි.” [23] 

මහජනයාගේ හොඳ ම සහජාශයන්ට ආයාචනා කිරීමට අසමත් ස්ටැලින් ආයාචනා කරන්නේ නූගත්කම, නො රිස්සීම, පටුමානසිකත්වය, අශිෂ්ඨත්වය වැනි ඔවුන්ගේ පහත් ම සහජාශයන්ට යි. ගොරෝසු ප්‍රකාශන හරහා ඔවුන් සමග සම්බන්ධ වීමට ඔහු උත්සාහ දරයි. එහෙත් මෙම ගොරෝසු නොසියුම්කම ඔහුගේ සටකපටකම සැඟවීමට ද ආධාර කරයි. ඔහු තම සමස්ත ලාලසාව සැලකිලිමත් ලෙස හදා වඩා සකස් කල සැලසුම්වලට ඇතුලුකරන අතර, එයට අන් සියලු දෙනා යටත් ය. අධිකාරීත්වයට ඔහු කෙතෙක් අප්‍රිය කරයි ද! එය උඩින් පැටවීමට ඔහු කෙතරම් ආශා කරන්නේ ද! [24] 

ස්ටැලින් කෙරෙහි වන තමන්ගේ ම ආත්මීය ආකල්පය පිලිබඳ ව, චරිතාපදානයේ අවසානයට පූර්ව පිටුවේ ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය: 

මා දැන් දරන ස්ථානය සුවිශේෂී ය. එම නිසා මට හැඟෙන්නේ, ස්ටැලින් කෙරෙහි වෛරීය හැඟීමක් කිසිදා මා සිතේ ඇති කර ගෙන නැතැයි කීමේ අයිතිය මට තිබෙන බව ය. අඳුරු හා කරදරකාරී විනිශ්චයන්ගෙන් මා පුරවා ලන බවක් පෙනී යන, ස්ටැලින් කෙරෙහි වූ මගේ ඊනියා වෛරය පිලිබඳ ව ඇති තරම් දේවල් කියා හා ලියා තිබේ. ඒ සියල්ල සම්බන්ධයෙන් මට කල හැක්කේ මගේ උරහිස් සොලවා ඒවා බැහැර කිරීම පමනෙකි. ඉතා දීර්ඝ කාලයකට පෙර අපේ මාවත් වෙන් වූ අතර, අප අතර පැවැති කවර හෝ පෞද්ගලික සබඳතා ද දීර්ඝ කාලයකට පෙර මුලුමනින්ම දූරීභූත වී ඇත. මගේ පැත්තෙන් ගත් විටත්, ස්ටැලින් යනු මට ආගන්තුක හා හතුරු ඓතිහාසික බලවේගයන්ගේ උපකරනයකි ය යන ප්‍රමානයටත්, ස්ටැලින් කෙරෙහි මගේ පෞද්ගලික හැඟීම්, හිට්ලර් හෝ ජපානයේ මිකාඩෝ කෙරෙහි මගේ හැඟීම්වලින් වෙන් කර දැක්විය නො හැක. [25]

                                               * * * * *

1940 වසරේ ලෝකය බියකරු සිහිනයක ජීවත් වන සේ පෙනී ගියේය. පෙරට එන ම්ලේච්ඡත්වයට මුහුන පා සිටි ශිෂ්ටාචාරය කොතරම් නම් බිඳෙනසුලු හා අසරන ලෙස පෙනුනි ද! ප්‍රතිගාමීත්වයේ පීඩනය යටතේ, යුරෝපීය බුද්ධිමතුන්ගේ ස්ථරයේ වඩාත් ම බුද්ධිමත් හා සංවේදී නියෝජිතයෝ පවා සියලු බලාපොරොත්තු අත්හැර දැමූහ. අඩමාන පිටුවහල් ජීවිතයක් ගත කරමින් සිටි වෝල්ටර් බෙන්ජමින්, සිය පෞද්ගලික අපේක්ෂා භංගත්වය, දිරිසුන්බවෙන් ව්‍යාධිගත “ඉතිහාසය පිලිබඳ සංකල්පය ගැන” කෘතියට පරිවර්තනය කලේ ය. හිට්ලර්වාදය ශිෂ්ටාචාරයේ නිෂේධනය නො ව, ශිෂ්ටාචාරයෙහි සැබෑ සාරය විය. “සංස්කෘතික ලේඛනයක් වන අතරම ම්ලේච්ඡත්වයේ ලේඛනයක් ද නො වන එකදු ලේඛනයක් වත් නැතැ"යි ඔහු සිතීය. "එවන් ලේඛනයක් ම්ලේච්ඡත්වයෙන් කිසිදා නිදහස් නො වන්නේ යම් සේ ද, එපරිද්දෙන්ම එම ලේඛනය එක් අතකින් තවත් අතකට සම්ප්‍රේෂනය කෙරී ඇති විලාසය ද ම්ලේච්ඡත්වය විසින් අපවිත්‍ර කරනු ලබයි.” [26] 

ඇන්ජෙලස් නෝවුස්

පෝල් ක්ලී නමැති කලාකරුවාගේ ඇන්ජෙලස් නෝවුස් නමැති චිත්‍රයට බෙන්ජමින් අවධානය කැඳවී ය. මෙම කලා කෘතිය තුල ඓතිහාසික ක්‍රියා දාමයේ සැබෑ ස්වභාවය චිත්‍රනය කර තිබුනි: “ඔහුගේ මුහුන අතීතයට හැරී තිබේ. අප ඉදිරියේ සිද්ධි දාමයක් පෙනී යන ස්ථානයේ ඔහු දැකගන්නේ සුන්බුන් මත සුන්බුන් අසුරන හා ඔහුගේ දෙපා අසල එය පොලොවේ දමා ගසන එක් තනි ව්‍යසනයක් පමනෙකි.” [27] බෙන්ජමින්ගේ අපේක්ෂා භංගත්වය ඔහු ව නරුමත්වය කරා ගෙන ගිය අතර, එම නරුමකම ඔහු යොමු කලේ සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයට එරෙහි ව යි. “මාක්ස්ගේ අනුකාරකයෝ (අනෙක් දේ අතරතුර) ‘විප්ලවවාදී තත්ත්වයක’ මතිය තද්භව කරගෙන ඇත්තාහ. අප දන්නා පරිදි එම තත්ත්වය සිය ආගමනය සෑම විට ම ප්‍රතික්ෂේප කර ඇත.” [28]

එසේ නම්, තමන්ගේ ම ජීවිතය තොර කර ගැනීම හැර වෝල්ටර් බෙන්ජමින්ට ඉතිරි ව තිබුනේ කුමන ක්‍රියා මාර්ගයක් ද? ප්‍රන්සයේ විචි තන්ත්‍රයෙන් පලා යමින් සිටියදී, ස්පාඤ්ඥ දේශ සීමාව පෙනි පෙනී තිබිය දී, තමන්ගේ තත්ත්වයේ බලාපොරොත්තු රහිත භාවය ඒත්තු ගත් බෙන්ජමින්, 1940 සැප්තැම්බර් 26දා සන්ධ්‍යාවේ දිවි නසා ගත්තේ ය. ඉදින් තවත් එකම එක දිනයක් බලා සිටියේ නම්, එම ලේඛකයාට ආරක්ෂිත ව දේශ සීමාව හරහා පැන ගන්නට ලැබෙනු ඇත.

වෝල්ටර් බෙන්ජමින් 1938 දී

ට්‍රොට්ස්කිට බෙන්ජමින් කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති වූ බවට සැක නැත. එහෙත් අපේක්ෂා භංගත්වයේ හැඟීම් යනු විප්ලවවාදියාට පිටස්තර වූ මනෝභාවයකි. ඉතිහාසය පිලිබඳ ඔහුගේ බලගතු අවබෝධය, ඔහුගේ යුගයේ පැවැති මෘගකම් ඒවාට යෝග්‍ය සන්දර්භය තුල බහා ලීමට ඔහුට හැකියාව ලබා දුන්නේ ය. ස්ටැලින් චරිතාපදානයේ එන “ඓතිහාසික සමාන්තරයක්” යන හිසින් යුත් කොටසක ට්‍රොට්ස්කි මෙසේ නිරීක්ෂනය කලේ ය: “ධනවාදය ඛාදනය වන මෙම කාලපරිච්ඡේදයේ දී, යුරෝපයේ ප්‍රතිගමනය, ධනවාදයේ ලදරු අවධියේ ගතිලක්ෂනවලින් බොහොමයක් නිෂ්පන්න කරයි. වර්තමාන යුරෝපය බලගතු ලෙස 15 වන ශතවර්ෂයේ ඉතාලිය හා සැසඳේ.” [29] ඇත්ත වසයෙන් ම එම යුගය තුල කුඩා රාජ්‍යයන් “ලදරු ධනවාදයක ආරම්භක පියවරයන් නියෝජනය කලේ ය.” එහෙත් පුනරුදයේ කාල පරිච්ඡේදය එක් වැදගත් ආකාරයකින් නවීන යුගය සමඟ සැසඳින: “එය වනාහි පැරනි සම්මතයන්ගේ සිට නව සම්මතයන් කරා - එනම් නිරාචාර හා ඒ ස්වරූපයෙන් ම දුරාචාර කාල පරිච්ඡේදයක් දක්වා - පරිවර්තනය වූ යුගයක් විය.” [30] කාදිනල්වරු “අශ්ලීල ප්‍රහසනයන් රචනා කල අතර, පාප්වරු ඒවා ඔවුන්ගේ උසාවිවලට ඉදිරිපත් කල හ.” [31]

ඉතාලියානු දේශපාලනයේ තේමාව වූයේ දූෂනය යි. ආන්ඩුකරනයේ කලාව කුඩා කල්ලි ලෙස ප්‍රගුන කෙරුනු අතර එය සමන්විත වූයේ බොරු කීමේ, පාවාදීමේ හා අපරාධකරනයේ වංශවත් කලාවන්ගෙනි. ගිවිසුමක් සම්පූර්න කිරීම, පොරොන්දුවක් ඉටු කිරීම ආදිය සලකන ලද්දේ මුග්ධත්වයේ අග්‍රස්ථානය ලෙස ය. ප්‍රයෝගකාරීත්වය ප්‍රචන්ඩත්වය සමග අතිනත ගෙන ගමන් කලේය. මිථ්‍යා දෘෂ්ටීන් හා විශ්වාස රහිත භාවය, රාජ්‍යයේ ප්‍රධානීන් අතර සියලු සබඳතාවන්ට විෂ එකතු කලේ ය. එය ස්ෆෝර්සාස්, මෙඩිසි හා බෝගියාස්වරුන්ගේ යුගය විය. එහෙත් එය හුදෙක් ද්‍රෝහීත්වයේ හා කූට ලේඛන සැකසීමේ සහ වස දීමේ හා කපටිකමේ යුගයක් පමනක් නො වී ය. එය පුනරුදයේ ද කාල පරිච්ඡේදය ද විය. [32]

පුනරුදයේ කාල පරිච්ඡේදයේ දී මෙන් ම, නවීන මිනිසාට ද පෙනී යන්නේ,

තමන් මරන වේදනාවෙන් පෙලෙන ධනේශ්වර-ධනවාදී ලෝකය සහ එය විස්ථාපනය කිරීමට නියමිත නව ලෝකය යන දෙලොව අතර සීමාවේ බවය. දැන්, යලිත් වරක් එක් සමාජ පද්ධතියක සිට තවෙකකට පරිවර්තනය වන, සෑම විට ම සිදු  වන පරිදි සදාචාරයේ අර්බුදයක් සමග අත්වැල් බැඳගත් විශාලතම සමාජ අර්බුදයක යුගයේ අපි ජීවත් වෙමු. පැරනි දෙය එහි පදනම දක්වා ම සොලවාලනු ලැබ ඇත. නව දෙය ඉස්මතු වීම ඇරඹී ඇත්තේ යන්තමිනි. සමාජ පරස්පර-විරෝධයන් නැවතත් සුවිශේෂී තියුනු භාවයක් කරා එලැඹී තිබේ. [33]

එවන් කාල පරිච්ඡේද පුද්ගලයන් මත අප්‍රමාන පීඩනයක් පටවයි.

වහල කඩා වැටී දොර ජනෙල් ඒවායේ අසව්වලින් ඇද වැටී තිබෙද්දී, නිවස සතුටු දායක නො වන අතර එහි ජීවත් වීම අසීරු ය. දැන් සුලි සුලං අපගේ සමස්ත ග්‍රහලෝකය හරහා හමා යයි. [34]

                                               * * * * *

මැයි 24දා ප්‍රහාරයෙන් ගැලවී ගැනීමට හැකිවීම ට්‍රොට්ස්කි දැකගත්තේ තාවකාලික සහනයකට නො වැඩි දෙයක් ලෙස ය. ජීපීයූව ඔහුගේ ජීවිතය බිලිගැනීමට තවත් උත්සාහයක් දරනු ඇතැයි ඔහු දැන සිටියේ ය. අගෝස්තු මුල දී සිය ආරක්ෂකයන් සමග රැස්වීමක් ට්‍රොට්ස්කි විසින් ඉල්ලා සිටි බව, හැරල්ඩ් රොබින්ස් මෙම ලිපි මාලාවේ ලේඛකයා සමග කල සාකච්ඡාවක දී සිහිපත් කලේ ය. ලෝක ප්‍රවෘත්ති අරා සිටින ලද්දේ නාසි ජර්මනිය බ්‍රිතාන්‍යයට එරෙහි ව දියත් කල ගුවන් ප්‍රහාර විසිනි. තවත් ඝාතන ප්‍රයත්නයක් සඳහා ඉක්මනින් ම උත්සාහ දරමින්, මහජන වික්ෂිප්තියේ වාසිය ගැනීමට ස්ටැලින් ප්‍රයත්න දරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ට්‍රොට්ස්කි ඔහුගේ ආරක්ෂකයන්ට කීවේ ය. එල් යුනිවර්සල් පුවත්පත සඳහා ලියූ මෙක්සිකෝ නගරයේ සුප්‍රකට ජනමාධ්‍යවේදී එදුවාර්දෝ තෙය්යේස් වර්ගාස් මැයි 24දා ප්‍රහාරයෙන් පසු කිහිප විටක් ම ට්‍රොට්ස්කි හමු විය. ට්‍රොට්ස්කි ඝාතනයට යන්තම් දින තුනකට පෙර 1940 අගෝස්තු 17දා ට්‍රොට්ස්කි සමග පැවැත්වූ අවසන් හමුව, 1976 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුව සමග කල සම්මුඛ සාකච්ඡාවක දී තෙය්යේස් වර්ගාස් යලි සිහිපත් කලේ ය. ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා කෙරෙහි අව්‍යාජ ප්‍රසාදයකින් පසු වූ තෙය්යේස් වර්ගාස්, ට්‍රොට්ස්කි ඔහුට කී දෙයින් ගැඹුරින් ම කැලඹීමට ලක් විය. 

ට්‍රොට්ස්කි කිසිවෙකු විශ්වාස නො කල මොහොතක් පැමිනියේ ය. ඔහු කිසිවකු පිලිබඳ ව විශ්වාස කලේ නැත. ඔහු කිසිවෙකු පිලිබඳව නිශ්චිතව සඳහන් කලේ හෝ කිසිවෙකු නම් කලේ හෝ නැත, එහෙත් ඔහු මට මෙසේ කීය: “මෙහි සිටින අයගෙන් කෙනෙකු හෝ, පිටත සිටින මගේ මිතුරෙකු හෝ, නිවසට ප්‍රවේශය ඇති යම් අයෙකු මා මරා දමනු ඇත. මන්ද යත්, ස්ටැලින්ට මගේ ජීවිතය ඉතිරි කරන්නට නොහැක.” [35]

එදුවාර්දෝ තෙය්යේස් වර්ගාස් [අනුග්‍රහය: ඩේවිඩ් නෝර්ත්]

තෙය්යේස් වර්ගාස් ට්‍රොට්ස්කි සමග අවසන් සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ දිනයේ, ඇවෙනිඩා වියේනාහි මන්දිරයට තවත් ආගන්තුකයෙක් පැමිනියේ ය. මේ වතාවේ සිල්වියා ඒජ්ලොෆ් නොමැති ව පැමිනි ජැක් මොනාඩ්ට නිවාස සංකීර්නයට ඇතුලු විමට අවසර ලැබුනි. තමන් ලිපියක් ලියා ඇති බව කියූ මොනාඩ්, එය ට්‍රොට්ස්කි විසින් කියවනු ලැබීමට තමන් රිසි බැව් දන්වා සිටියේය. කිහිප වතාවක් කෙටි හමුවීම්වලදී මුන ගැසී තුබූ මොනාඩ්ට තමන් අකැමැති බැව් ට්‍රොට්ස්කි ඒ වන විටත් හඟවා තිබුනි. ව්‍යාපාර සමපේක්ෂන හරහා පොහොසත් වී සිටි තමන්ගේ “ස්වාමියා”ගැන ට්‍රොට්ස්කි අබියස මොනාඩ් කතා කොට තිබුනි. ට්‍රොට්ස්කි සමග තමන් ගත කල ජීවිතය ගැන නතාලියා සෙඩෝවා රචනා කල ස්වයං-චරිතාපදාන කෘතියේ, මොනාඩ් ඔහුගේ ස්වාමියාගේ වික්‍රමයන් ගැන කියූ කතා ට්‍රොට්ස්කි “අතිශයින් ම තුච්ඡ කොට සැලකූ” බව ඇය මතකයට නැංවූවා ය. “මෙම කෙටි කථා බහ මා කෝපගැන්වීයැ"යි සෙඩෝවා ලියූවාය. ලියොන් දවිදොවිච් ද ඒවාට කැමති වුනේ නැහැ. ‘පුදුමාකාර ලෙස පොහොසත් මේ ස්වාමියා කවුදැ’ යි ඔහු මගෙන් ඇසුවා. ‘අප එය සොයා ගත යුතුයි. ඇතැම් විට ඔහු ෆැසිස්ට් ප්‍රවනතා සහිත ලාබ ගරන්නෙක් විය හැකියි. සිල්වියාගේ ස්වාමි පුරුෂයා හමුවීම මුල්මනින් ම නතර කිරීම හොඳ ම ක්‍රමය විය හැකියි. ...’” [36] 

අගෝස්තු 17දා මොනාඩ් සමග වූ හමුව ට්‍රොට්ස්කිගේ සැලකිලිමත්භාවය තීව්‍ර කලේ ය. ට්‍රොට්ස්කි ඔහුගේ කාර්යාලයෙන් එලියට ආවේ විනාඩි දහයක් පසු වූ ඉක්බිතිව ය. මොනාඩ්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු  කැලඹී සිටියේය. මොනාඩ් කාර්යාලයට ඇතුලු වන විට ඔහුගේ තොප්පිය ඉවත් කිරීමට අසමත් වූ බවත්, ඉන්පසු ට්‍රොට්ස්කිගේ මේසයේ කෙලවරක වාඩි වූ බවත් ට්‍රොට්ස්කිගේ අවධානයට ලක් විය. ප්‍රන්සයේ ඇති දැඩි වුනු බෙල්ජියානුවෙක් යයි කියාපෑ මිනිසෙකුගේ මෙම හැසිරීමේ අමුතු අයෝග්‍යතාවයක් පැවතින. මොනාඩ් සමග මිනිත්තු කිහිපයක් පමනක් ගත කිරීමෙන් පසු, මෙම ආගන්තුකයාගේ ජාතිකත්වය කෙරෙහි ට්‍රොට්ස්කිට සැකයක් පැවතුනි. අයිසැක් ඩොයිෂ්චර් විස්තර කරන පරිදි:

“ඇත්තෙන්ම ඔහු [මොනාඩ්-ජැක්සන්] කවරෙක් වී ද? ඔවුන් මෙය සොයා ගත යුතු ය.” නතාලියා මවිත වූවාය; “‘ජැක්සන්’ පිලිබඳ යම් අලුත් දෙයක් ට්‍රොට්ස්කි අවබෝධ කරගෙන තිබුනු බවත්, එහෙත් තවමත් කිසිදු නිගමන කරා එලඹී හෝ එසේ එලඹීමට හදිසි වී හෝ නොමැති බවත්” ඇයට පෙනී ගියේ ය. එසේ වුව, ඔහු කියා තිබුනු දෙයෙහි ගම්‍යයන් අනතුරු දායකය. ‘ජැක්සන්’ තමන්ගේ ජාතිකත්වය පිලිබඳ ව ඔවුන් මුලා කරන්නේ නම්, ඔහු එසේ කලේ ඇයි? අනෙකුත් දේවල් පිලිබඳ ව ද ඔහු ඔවුන් රවටමින් නො සිටියේ ද? ඒ කුමක් ගැන ද? මෙම ප්‍රශ්න ට්‍රොට්ස්කිගේ මනසේ පැවතුනා විය යුතුය; මන්ද යත්, දින දෙකකට පසු ඔහු ඔහුගේ නිරීක්ෂන හැන්සන්ට යලිත් විස්තර කලේ, ඔහුට අමතර ව වෙනත් කිසිවෙකුට හෝ ඒ හා සමාන සැකයන් මතු වී තිබුනිදැයි නිශ්චය කරගැනීමට මෙනි. [37] 

මොනාඩ් සමග මිනිත්තු කිහිපයක් පමනක් ගත කිරීමෙන් පසු ට්‍රොට්ස්කිට ඔහුගේ ජාතිකත්වය පිලිබඳ ශංකා වර්ධනය වී ඔහු වංචා කාරයෙකු විය හැකි බවට සැක මතු වූයේය යන කරුන විසින් යමෙකු තුල, ට්‍රොට්ස්කිගේ ඝාතකයා වීමට නියමිත ව සිටි ඒ මිනිසා සමග වඩා වැඩි කාලයක් ගත කර තුබූ ද, දෙදෙනා ම ප්‍රන්ස ජාතිකයන් වූ ද ඇල්ෆ්‍රඩ් හා මාගෙරිට් රෝස්මර්ට ඔහු පිලිබඳ එවන් සැකයන් කිසි දිනක මතු නොවූයේ මන්දැයි යන්න පිලිබඳව මවිතයක් ඇති කෙරෙනු ඇත. 

අගෝස්තු 20වන අඟහරුවාදා පශ්චාත් අපර භාගයේ, කල් තබා වේලාව වෙන් කර ගැනීමකින් තොර ව, මොනාඩ් යලිත් ට්‍රොට්ස්කි හමුවීමට පැමිනියේ ය. ට්‍රොට්ස්කි විසින් ඍජු ව ම පල කර තුබූ උද්වේගයන් නො තකා ජෝසෆ් හැන්සන් - ඔහුගේ ජීපීයූ සබඳතා ආසන්න වසයෙන් වසර හතලිහකට ඉක්බිතිව හෙලිදරව් වීමට නියමිතව තිබින -  මොනාඩ්ට නිවාස සංකීර්නයට ඇතුලු වීමට අවසර දුන්නේ ය. කාල ගුනය උනුසුම් ව ද, අහස වලාකුලෙන් තොරව ද පැවැති මුත්, මොනාඩ් තොප්පියක් පැලඳ, වැහි කබායක් ද රැගෙන පැමිනියේය. ඔහුගේ කබාය තුල සඟවා ගත් පිහියක්, ස්වයංක්‍රීය තුවක්කුවක් හා කඳු නගින අයිස් කෙටේරියක් ද විය. මොනාඩ් ඇතුලු වීමේ දී පරීක්ෂාවක් නොකෙරින. ට්‍රොට්ස්කි සමග ඔහුගේ කාර්යාලයට පැමිනීමට මොනාඩ්ට අවසර ලැබුනි. අගෝස්තු 17දා ඔහු ඉදිරිපත් කර තුබූ ලිපියේ දෙවන කෙටුම්පතක් යයි ඔහු කී දේ ඔහු ට්‍රොට්ස්කි අතට දුනි. ට්‍රොට්ස්කි ලිපිය කියවමින් සිටිය දී, කබායෙන් අයිස් කෙටේරිය ඇදගත් මොනාඩ් ට්‍රොට්ස්කිගේ හිසට මාරක ලෙස පහර දුන්නේ ය. මාරාන්තික තුවාල සිදු වුනත් තම පුටුවෙන් නැගී සිටි ට්‍රොට්ස්කි, ප්‍රහාරකයා සමග පොර බැදී ය. ට්‍රොට්ස්කිගේ කෑගැසීම ඇසුනු හැරල්ඩ් රොබින්ස්, අධ්‍යයන කාමරය වෙත වහා ගොස් ඝාතකයා මැඩ පවත්වා ගත්තේ ය.

මෙක්සිකෝ නගරයේ රෝහල වෙත ගෙන යන අතරතුර ට්‍රොට්ස්කිගේ සිහි විසඥ විය. නතාලියා ඔහුගේ පසෙකින් සිටිය දී පසුදා සන්ධ්‍යාවේ ඔහු මිය ගියේය.

                                               * * * * *

ට්‍රොට්ස්කිගේ ඝාතනයට මාස හයකට පෙර, 1940 පෙබරවාරි 27දා ට්‍රොට්ස්කි ඔහුගේ අන්තිම කැමති පත්‍රය ලියා තිබුනි. ඔහුගේ මරනින් පසු එය ප්‍රසිද්ධ කිරීම ඔහුගේ අභිප්‍රායය විය. වැඩ කිරීම සඳහා වූ ඔහුගේ හැකියාව හීන නො වී පැවතියත්, ජීවත් වීමට වැඩි කාලයක් ඉතිරිව නොමැති බවට ට්‍රොට්ස්කි විශ්වාස කලේ ය. සැමදා පැවතුනු ඝාතන තර්ජනයට අතිරේක ව, ඔහු අධි රුධිර පීඩනයෙන් පෙලුනු අතර, ඒ සමයේ එයට ඵලදායී ප්‍රතිකාරයක් තිබුනේ නැත. අන්තිම කැමති පත්‍රය “ස්ටැලින් හා ඔහුගේ ඒජන්තයන්ගේ මුග්ධ හා දුෂ්ට මඩ ගැසීම්” ප්‍රතික්ෂේප කලේ ය. “මගේ විප්ලවවාදී ගෞරවය මත එකදු කැලලක් වත් නැත.” [38] අනාගත විප්ලවවාදී පරම්පරාවන් ස්ටැලින්ගේ ගොදුරුවල ගෞරවය පුනරුත්ථාපනය කරනු ඇති බවට "හා ක්‍රෙම්ලිනයේ ඝාතකයන්ට සිය ක්‍රියාවන්හි ප්‍රතිවිපාක අත් විඳීමට සලස්වනු ඇති" බවට තමා ඒත්තු ගෙන සිටින බැව් ඔහු ප්‍රකාශයට පත් කලේ ය. පැහැදිලි උද්වේගයන්ගෙන් යුතුව, ට්‍රොට්ස්කි නතාලියා සෙඩෝවාට ගෞරව ප්‍රශංසා පුද කලේ ය: “සමාජවාදයේ අභිප්‍රාය සඳහා සටන් වදින්නකු වීමේ සන්තුෂ්ටියට අමතර ව, ඉරනම මට ඇගේ ස්වාමි පුරුෂයා වීමේ සන්තුෂ්ටිය ද ලබා දුන්නේ ය.” [39] ට්‍රොට්ස්කි ඉන්පසුව ඔහුගේ ජීවිත කාලයක වැඩ කටයුතුවලට මග පෙන්වා තුබූ අරමුන, මූලධර්ම හා දර්ශනවාදය මතු පරම්පරාව සඳහා යලිත් සඳහන් කලේ ය:

මගේ සවිඥානික ජීවිතයෙන් වසර හතලිස් තුනක් පුරා මම විප්ලවවාදියෙකු ව සිට ඇත්තෙමි; ඉන් වසර හතලිස් දෙකක් පුරා මා සටන් වැදී ඇත්තේ මාක්ස්වාදයේ ධජය යටතේ ය. මේ සියල්ල යලි මුල පටන් ඇරඹීමට මට සිදු වී නම්, ඒ හෝ මේ අත්වැරැද්ද නිවැරදි කර ගැනීමට සත්‍ය වසයෙන් ම උත්සාහ කරනු ඇති නමුත්, මගේ ජීවිතයේ ප්‍රධාන ගමන් මාවත නො වෙනස් ව පවතිනු ඇත. නිර්ධන පන්ති විප්ලවවාදියෙක්, මාක්ස්වාදියෙක්, අපෝහක භෞතිකවාදියෙක් හා ඒ අනුව අශමනීය අදේවවාදියෙක් ලෙස මම මිය යන්නෙමි. මානව වර්ගයාගේ කොමියුනිස්ට් අනාගතය පිලිබඳ මගේ විශ්වාසයේ ප්‍රබලත්වය අඩු වී නොමැති අතර, මගේ තරුන කාලයට ද වඩා එය දැන් ස්ථීරසාර ය. [40] 

අන්තිම කැමති පත්‍රයේ සමාප්ති කොටස තුල ට්‍රොට්ස්කිගේ මනුෂ්‍යත්වය හා ඔහුගේ දෘෂ්ටියේ පෘථුලත්වය එහි පරිසමාප්ත ප්‍රකාශනය අත්පත් කර ගත්තේ ය.

නතාෂා මිදුලේ සිට ජනේලය වෙත මේ දැන් පැමින, මගේ කාමරයට නිදහසේ වාතයට ඇතුල් විය හැකි පරිදි ජනේලය පුලුල් ව විවෘත කලා ය. තාප්පයට පහල දිලිසෙන තනකොල තීරුව ද, එයට උඩින් පැහැදිලි නිල් අහස ද, සෑම තැනක ම පැතිරුනු හිරු එලිය ද මට දැකගත හැක. ජීවිතය රමනීය ය. සියලු නපුරුකම්, පීඩනයන් හා ප්‍රචන්ඩත්වයන්ගෙන් එය මුදාගෙන පරිපූර්න ව වින්දනය කිරීමට, අනාගත පරම්පරාවන්ට හැකි වේවා. [41]

                                               * * * * *

ට්‍රොට්ස්කි ඝාතනය කල තැන් පටන් වසර අසූවක් ගත වී ඇත. එහෙත් කාලයාගේ ගලා යාම විසින් ඔහුගේ පෞරුෂයේ දීප්තිය හීන කර නැත. විසිවන ශතවර්ෂයේ මේ දේශපාලන දැවැන්තයා විසින් හෙලන ලද සෙවනැල්ල විසි එක්වන ශතවර්ෂය තුල වඩා විශාල ව පවා පෙනේ.

ට්‍රොට්ස්කි සනාථ කර ඇති ඉතිහාසය ඔහුගේ සතුරන් අභිබවා ඇත. ස්ටැලින්වාදයේ ප්‍රාසාදය කැට කැබැලිතිවලට බිඳ දමනු ලැබ ඇත. ස්ටැලින්ගේ නාමය වර්තමානයේ ද අනාගතයේ ද සදාකාලික ව සම්බන්ධ වනු ඇත්තේ සාපරාධී පාවාදීම් සමග ය. සෝවියට් සංගමයට දේශපාලනික ව, ආර්ථික ව හා සංස්කෘතික ව ඔහු සිදු කල අපරාධ විසින් කරන ලද හානිය පිලියම් කල නො හැකි එකකි. ස්ටැලින් සිහිපත් කෙරෙනු ඇත්තේ, අධමත්වය අතින් හිට්ලර් විසින් පමනක් අභිභවනු ලැබූ, විසිවන ශතවර්ෂයේ දුෂ්ඨතම චරිත දෙකෙන් එකක් ලෙස, හා සමාජවාදීන් ඝාතනය කල ප්‍රති-විප්ලවවාදී සමූහ ඝාතකයෙකු ලෙස ය. ට්‍රොට්ස්කි නිවැරදි විය: “ඉතිහාසයේ පලිගැනීම වඩාත්ම  බලගතු ප්‍රධාන ලේකම්ගේ පලිගැනීමට වඩා අතිශයින් භයානක ය.” [42] 

ගෝලීය ධනේශ්වර අර්බුදයේ ගතිකය හා ගෝලීය පන්ති අරගලයේ තර්කනය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, අද්‍යතන ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ මූලික ප්‍රවනතා හා ලක්ෂනයන්ට අනුරූප වන හෙයින්, ඉතිහාසය තුල ට්‍රොට්ස්කිගේ ස්ථානය නො නැසී පවතිනු පමනක් නොව කිසිදා නොවූ විරූ තරම් මහත් සේ වර්ධනය ද වෙයි. අද්‍යතන ලෝකය අවබෝධ කර ගැනීමෙහි දී අත් හැර දමනු නොහැකි ඔහුගේ ලේඛන ඒවා ලියන ලද දිනයේ මෙන්ම තවමත් නැවුම්ය. ට්‍රොට්ස්කිගේ ජීවිතය හා අරගල ද, මානව වර්ගයාගේ විමුක්තිය කෙරෙහි ඔහුගේ අනම්‍ය කැපවීම ද ඉතිහාසය තුල ජීවමාන වනු ඇත.

ලෝකය ලෙව් දවිදොවිච් ට්‍රොට්ස්කි පසු කර ගෙන ගොස් නැත. ඔහු ධනවාදයේ මරලතෝනිය ලෙස හැඳින්වූ යුගයේ අපි තවමත් ජීවත් වෙමු. ධනේශ්වර පර්යායේ පැවැත්ම පිලිබඳ අර්බුදයෙන් ගොඩ ඒමේ ඓතිහාසික ව ප්‍රගතිශීලී එකම මාවත සම්පාදනය කරන්නේ, ධනවාදයේ අර්බුදයට විසඳුම ලෙස ඔහු ඉදිරිපත් කල ලෝක සමාජවාදී විප්ලවය යි.

එහෙත් මේ විසඳුම සඳහා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම අවශ්‍ය කෙරෙයි. ට්‍රොට්ස්කිගේ මරනයේ අසූ වැනි සංවත්සරය සමරද්දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යලි කැපවන කර්තව්‍යය මෙය යි. 

සමාප්තයි

[1] Writings of Leon Trotsky 1938–39 (ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1938-39) තුල එන “‘මාක්ස්වාදයේ අර්බුදය’ පිලිබඳ ව යලිත්”, (නිව් යෝක්: 1974), 205 පිටුව

[2] ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (කම්කරු මාවත ප්‍රකාශන, 1988 ඔක්තෝබර්)

[3] ලුඩ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය, (කම්කරු මාවත ප්‍රකාශන, කොලඹ: 2015), 98 පිටුව

[4] මියෙක්සිස්ලෝ බෝටෙන්ස්ටයින් (එම්. කැසනෝවා), ස්පාඤ්ඤය පාවා දෙයි: මහජන පෙරමුන ෆ්‍රැන්කෝට මාවත විවෘත කලේ කෙසේ ද, හැඳින්වීම

https://marxists.architexturez.net/history/etol/document/spain2/index.htm

[5] එම

[6] පන්තිය, පක්ෂය හා නායකත්වය (කම්කරු මාවත ප්‍රකාශන, කොලඹ: 1993), 3 පිටුව

[7] එම

[8] එම, 4 පිටුව

[9] එම, 6 පිටුව

[10] එම, 8 පිටුව

[11] ට්‍රොට්ස්කිගේ පිටුවහලේ දිනපොත 1935 (නිව් යෝක්: 1963), 46 පිටුව, මුල් කෘතියේ අවධාරනය

[12] පන්තිය, පක්ෂය හා නායකත්වය, 13 පිටුව

[13] එම

[14] Spain Betrayed ස්පාඤ්ඤය පාවා දෙයි, 21 පරිච්ඡේදය

https://marxists.architexturez.net/history/etol/document/spain2/index.htm

[15] එම

[16] පන්තිය, පක්ෂය හා නායකත්වය, 17 පිටුව

[17] Stalin: An Appraisal of the Man and His Influence (ස්ටැලින්: පුද්ගලයා හා ඔහුගේ බලපෑම පිලිබඳ ඇගයීමක්), ඇලන් වුඩ්ස් පරිවර්තනය (ලන්ඩන්: 2016), 663 පිටුව

[18] එම, 671 පිටුව

[19] එම

[20] එම

[21] එම

[22] එම

[23] එම, 667 පිටුව

[24] එම

[25] එම, 689 පිටුව (මුල් රුසියානු කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය තුල දෝෂයක් ඇති අතර, චරිතාපදානයේ ස්පාඤ්ඤ සංස්කරනය තුල එම වරද නිවැරදි කරනු ලැබ ඇත. මෙම රචනය තුල තිබෙන පෙලෙහි නිසි නිවැරදි කිරීම සිදු කර ඇත.)

[26] Walter Benjamin Selected Writings (වෝල්ටර් බෙන්ජමින් තෝරාගත් කෘති), 4 වෙලුම: 1938-1940 (කේම්බ්‍රීජ් සහ ලන්ඩන්, 2003), 392 පිටුව

[27] එම

[28] එම, 402-03 පිටු

[29] ඉහත සඳහන් කල ස්ටැලින්, 682 පිටුව

[30] එම

[31] එම, 683 පිටුව

[32] එම, 682 පිටුව

[33] එම, 689 පිටුව

[34] එම

[35] හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ට්‍රොට්ස්කිගේ ඝාතකයා නිදැල්ලේ (ලේබර් ප්‍රකාශන, 1977), 16 පිටුව

[36] වික්ටර් සර්ජ් සහ නතාලියා සෙඩෝවා ට්‍රොට්ස්කි, The Life and Death of Leon Trotsky ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය සහ මරනය (නිව් යෝක්, 1975), 265 පිටුව

[37] The Prophet Outcast, Trotsky: 1929–1940 ද ප්‍රොෆට් අවුට්කාස්ට් (පලවා හරින ලද අනාගත වක්තෘ), ට්‍රොට්ස්කි: 1929-1940 (නිව් යෝක්: 1965) 498-99 පිටු

[38] ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40, 158 පිටුව

[39] එම

[40] එම, 158-59 පිටු

[41] එම, 159 පිටුව

[42] ඉහත සඳහන් කල ස්ටැලින්, 689 පිටුව

Loading