ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවෝ කටුක සහ ගැඹුරුවන සමාජ කොන්දේසිවලට මුහුනදෙති

[පහත පලවෙන්නේ, මැයි 27 වනදා Alton Estate workers in Sri Lanka confront harsh and worsening social conditions  යන  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියයි.]

වඩා හොඳ වැටුප් හා යහපත් ජීවන තත්වයන් දිනා ගැනීම සඳහා මස්කෙලිය අසල ඕල්ටන් වතු කම්කරුවන්ගේ අධිෂ්ඨානවත් අරගලය තලාදැමීමට මේ වසර මුලදී ආරම්භවූ මර්දනය දිගටම යයි. පෙබරවාරි 2 වන දින වැඩ නතරකල ඕල්ටන් කම්කරුවෝ දින තුනකට පසු එක්දින ජාතික වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනයට ද සහභාගී වූ අතර වතු කලමනාකාරීත්වයේ හිංසාවන්ට විරෝධය පල කරමින් මාර්තු 22 වනදා දක්වා සිය කාර්මික අරගලය දිගටම කරගෙන ගියහ.

කම්කරුවන් විසිහතර දෙනෙකු සහ තරුනයන් දෙදෙනෙකු වතු කලමනාකරුවන්ට ශාරීරිකව පහර දුන්නේයයි බොරු නඩුව ඇටවීමට සමාගමට සහ පොලීසියට ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ආධාරය සහ අනුබලය ලැබුනි. මෙම කම්කරුවන් දැන් අපරාධ අධිකරන නඩු විභාගයකට මුහුන දී සිටිති. ඕල්ටන් වතුයාය පවත්වාගෙන යන හොරන වැවිලි සමාගම, පරීක්ෂනයක් පැවැත්වීමට හෝ එහි නියෝගයන්ට එරෙහිව අභියාචනා කිරීමට කිසිදු අයිතියක් ලබා නොදී ම නඩු විභාගයට ලක්ව සිටින්නන් ඇතුලු කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ.

හැටන්හි ෆ්රුට් හිල් වතුයායේ ලැයින් කාමර (මූලාශ්‍රය: ලෝසවෙඅ මාධ්‍ය)

ඕල්ටන් වතු කම්කරුවන්ට පමනක් සුවිශේෂී නොවන මෙම කටුක කොන්දේසි, ප්‍රමානවත් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ නිවාස නොමැතිව, දරිද්‍රතා මට්ටමටත් පහලින් තිබෙන වැටුපෙන් යන්තම් දිවි ගලවා ගන්නා, දිවයින පුරා වතු කම්කරුවන් දස දහස් ගනනකගේ දුක්ඛිත තත්වය නිරූපනය කරයි. මෙම සමාජ ව්‍යසනය නිර්මානය කර ඇත්තේ ලාභ-පිපාසිත වතු සමාගම් විසින් අනුප්‍රාප්තික ආන්ඩුවල ආශිර්වාදය සහ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී සහයෝගය ඇතිව ය.

ඕල්ටන් වතුයායේ කොට්ඨාශ හතරේ සේවකයින් පන්සියයක් දැනට සේවය කරති. ප්‍රදේශයේ විරැකියාව සහ රැකියා අවස්ථා හිඟකම කෙතරම්ද යත්, වතුයායේ තරුන තරුනියන් 200 කට පමන කොලඹ හෝ වෙනත් ප්‍රදේශවලට ගොස් රැකියාවක් සොයා ගැනීමට සිදු වී තිබේ.

ආන්ඩුව විසින් මෑතකදී අනුමත කරන ලද දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කිරීම අනුව (රුපියල් 900 ක මූලික වැටුප සහ රුපියල් 100 ක දීමනාවක්) ඔවුන් අනුමත දින 24 ම වැඩ කරන්නේ නම් සාමාන්‍යයෙන් වතු කම්කරුවෙකුට මසකට අවම වශයෙන් රුපියල් 24,000 ක්  ලැබීමට නියමිතය.

අප්-කොට්හි ඩී සයිඩ් වතුයායේ ලැයින් කාමර (මුලාශ්‍රය: ලෝසවෙඅ මාධ්‍ය)

කෙසේ වෙතත්, විශ්‍රාම වැටුප් අරමුදල් අඩු කිරීම්, ආගමික උත්සව අත්තිකාරම් ගෙවීම් සහ කුඩා නය මගින් ඔවුන්ගේ අතට ලැබෙන ශුද්ධ ආදායම සැලකිය යුතු ලෙස අඩු වේ. ආන්ඩුව විසින් රුපියල් 1000ක දෛනික වැටුපක් අනුමත කරන ලද්දේ  වතු කම්කරුවන් අතර පැනනැගී ඇති විරෝධය අපසරනය කිරීම සඳහා ය. එහෙත්, බොහෝ වතු සමාගම්කම්කරුවන් දෛනිකව කරන වැඩ ප්‍රමානය වැඩි නො කලහොත්  මෙම මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඕල්ටන් වතු සේවිකාවක් මෑතකදී ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැහැදිලි කලේ තමා පසුගිය මාසයේ දින 19 ක් සේවය කල බවත් ඇයට රුපියල් 19,000 ක් ගෙවූ බවත් ය. විශ්‍රාම වැටුප් අරමුදල සහ උත්සව අත්තිකාරම් නය අඩු කිරීම් වලින් පසුව ඇයට ලැබුනේ රුපියල් 13,570 ක් පමනි. ඕල්ටන් වතු කලමනාකාරිත්වය සිය කම්කරුවන්ට විධානය කරන්නේ, රුපියල් 1,000 ක දෛනික වැටුප ලබා ගැනීම සඳහා නම් දිනකට තේ දලු කිලෝග්‍රෑම් 18 ක් කඩා දෙන ලෙසයි.

තම සැමියා අසනීපව සිටින නිසා ඔහුට වැඩ කිරීමට නොහැකි බවත් සෑම සතියකම රෝහලට ඔහු ගෙන යා යුතු බවත් ඇය පැවසුවාය. මෙම යුවලට මසකට ආහාර සඳහා පමනක් රුපියල් 15,000 ක් අවශ්‍ය වේ.

කොවිඩ්-19 ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය භාන්ඩ හිඟයක් ද ඇති වී, මිල ගනන් ද වැඩි වී තිබේ. කම්කරු පන්තියේ වඩාත්ම පීඩාවට පත් කොටස් අතර  සිටින වතු කම්කරුවන්ට මෙය බරපතල ලෙස බලපායි.

බොහෝ ඕල්ටන් වතු කම්කරුවෝ පැරනි, ප්‍රමිතියෙන් තොර හා තදබදයෙන් යුත් ලැයින් කාමරවල (දිග පලල අඩි 12 ක් සහ අඩි 10 ක් හෝ මීටර 3.6 ක් සහ මීටර 3 ක් පමන) ජීවත් වෙති. මෙම වත්තේ පවුල් 100 ක් සඳහා මෙම නිවාස පහසුකම පවා නොමැත.

මස්කෙලියේ ඩෙල් හවුස් වතුයායේ තේ දලු නෙලන කම්කරුවන් (මුලාශ්‍රය: ලෝසවෙඅ මාධ්‍ය)

වතුයායේ පහල කොටසේ නවාතැන් පිහිටා ඇත්තේ ගඟක් අසබඩ ය. වැසි සමයේදී ගඟ පිටාර ගැලීම සහ නිවාස ගංවතුරට යට වීම නිසා කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තම බඩු බාහිරාදිය අතහැර දමා ඉහල බිම්වල කඳවුරු වෙත පලා යාමට බල කෙරෙයි. විකල්ප නිවාස ලබා දෙන බවට සමාගම සහ වෘත්තීය සමිති නායකත්වය නැවත නැවතත් හිස් පොරොන්දු දී තිබේ. මූලික ජලය සහ වැසිකිලි පහසුකම් සපයා දී ඇත්තේ ඕල්ටන් කලමනාකාරිත්වය විසින් නොව රාජ්‍ය-නොවන සංවිධානයක් විසිනි.

වතුයායට බෙහෙත් ශාලාවක් ඇතත් වෛද්‍යවරයෙක් නැත. සමහර දිනවල ෆෙයාර්ලෝන් වතුයායේ වතු වෛද්‍ය සහායකයෙක් (ඊඑම්ඒ) ඕල්ටන් කම්කරුවන් බැලීමට පැය එකක් හෝ දෙකක් බෙහෙත් ශාලාවට පැමිනේ. වතු සමාගම් ඊඑම්ඒවරු සේවයේ යොදවා ඇත්තේ, ඔවුන් සම්පූර්න සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නොවන නිසා අඩු වැටුප් ගෙවිය හැකි බැවිනි. අනෙකුත් වතු වල මෙන්ම ඕල්ටන් වතු බෙහෙත් ශාලාවේදඅත්‍යවශ්‍ය ඖෂධ ඇත්තේ නැත.

වෛද්‍යවරයකු හමුවීම සඳහා ඕල්ටන් වතු කම්කරුවන්ට මස්කෙලියට කිලෝමීටර 10 ක් හෝ දික්ඔය රෝහලට කිලෝමීටර 15 ක් පමන ගමන් කල යුතු අතර ඒ දෙකෙන් එකක්වත් අත්‍යවශ්‍ය සම්පත්වලින් සමන්විත නොවේ. මෙම ප්‍රදේශයේ ක්‍රමවත් බස් සේවාවක් නොමැති නිසා මිනිසුන්ට ත්‍රිරෝද රථ හෝ වෙනත් වාහන කුලියට ගත යුතු අතර, ඒවාට යාමට සහ ආපසු ඒම සඳහා රුපියල් 1,000 ක් පමන ගෙවිය යුතුය.

වතු කම්කරුවන්ගේ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂනයෙන් පෙලෙති. ගර්භනී මව්වරුන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට හෝ යහපත් වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබේ. වතුකරයේ ලමා මරන අනුපාතය ශ්‍රී ලංකාවේ ඉහලම මට්ටමක පවතී.

වැඩ වර්ජනයෙන් පසු රැකියාවෙන් නෙරපා හරින ලද ඕල්ටන් වතු සේවිකාවක වන එම්., ලෝසවෙඅ සමග කතා කලා ය. ඇගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු සේවයෙන් නෙරපා ඇත.

ඇය මෙසේ පැහැදිලි කලාය: “මගේ පුතාට වයස අවුරුදු හතේදී ආඝාතයක් ඇති වුනා, ඒ නිසා අපි නිතර ම රෝහලට යා යුතුයි. මහනුවර රෝහලේ වෛද්‍යවරයෙක් අපට උපදෙස් දුන්නේ කොලඹ ලමා රෝහලට යන්න, නමුත් අපට ත්‍රිරෝද රථයකින් කොලඹට යාමට රුපියල් 6,000 ක් පමන වැය කල යුතුයි. අපට මේ තරම් වියදම් දැරීමට නොහැකියි.”

සේවයෙන් නෙරපා හරින ලද තවත් සේවිකාවක් වන යූ., තම පුතාට වකුගඩු ආබාධ ඇති බවත් නිතර නිතර රෝහල් සායනයකට ගෙන යා යුතු බවත් පැහැදිලි කලා ය. ඇගේ සැමියා කොලඹ වැඩ කරයි. "රැකියා අහිමිවූ අනෙක් අය දුර බැහැර පෞද්ගලික වත්තක අනියම් රැකියා කරමින් සිටිනවා, ඒත් මගේ පුතාගේ සෞඛ්‍ය ගැටලුව නිසා මට මට ඒගොල්ලො එක්ක වැඩට යන්න බැහැ."

රට පුරා කොවිඩ්-19 ආසාදන වැඩිවීම පිලිබඳව වතු කම්කරුවන් බලවත් ලෙස කනස්සලු වී සිටිති. සනීපාරක්ෂක පහසුකම් නොමැති තදබද වූ ලැයින් කාමර වල සමාජ දුරස්ත භාවයට ඉඩක් නැති බැවින් වතුකරය තුල මාරාන්තික වෛරසය වේගයෙන් පැතිර යාමක් සිදුවිය හැක. 

ඕල්ටන් වතුයායේ ඉහල කොටසේ පාසලක් ඇත. අනෙකුත් කොටස්වල සිසුවෝ බොහෝ දුරක් පයින් ගමන් කොට ඒ පාසලට එති.

පාසලේ 11 ශ්‍රේනිය දක්වා පන්ති පවත්වනු ලබන මුත්, එය තනා ඇත්තේ 5 වන ශ්‍රේනිය දක්වා පන්ති සඳහා බැවින් මුලින් ඉදිකරන ලද ගොඩනැගිල්ල ප්‍රමානවත් නොවන අතර නිසි අධ්‍යයන කටයුතු සඳහා අහිතකර ය. කෙසේවෙතත්, බොහෝ දරුවන් 11 වන ශ්‍රේනියට පැමිනීමට පෙර පාසලෙන් පිටව යන්නේ ඔවුන්ගේ දෙමව්පියන් අධ්‍යාපනය ලබා දීම සඳහා වියහියදම් දැරීමට අපොහොසත් බැවිනි.

උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකි සිසුන්ට මස්කෙලියට යාමට සිදු වේ. වතුයායේ සිසුන් තිදෙනෙකුට විශ්ව විද්‍යාලයට ඇතුලු වීමට හැකි වූයේ මෑත කාලයකය.

පසුගිය වසරේ දී සමාගම විසින් අත්හැර දමන ලද ඉඩම් හෙක්ටයාර් 20 ක් පමන විශ්‍රාමික කම්කරුවන් අතර තේ වගා කිරීම සඳහා බෙදා දෙන ලදී. ගිවිසුම අනුව වගා කිරීමේ පිරිවැය කම්කරුවන් ගෙවා අස්වැන්න සමාගමට ලබා දීමට කම්කරුවන්ට . සිදුවේ. වැඩ වර්ජනයෙන් පසු සමාගම නැවත ඉඩම අත්පත් කර ගැනීම ආරම්භ කලේය.

විශ්‍රාමික ඕල්ටන් වතු සේවකයෙකු වන පී. පොන්නයියා කියා සිටියේ, ඔවුන් සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කල නමුත්, එහි පිටපතක් ලබා නොදුන් බවත්, ඒ නිසා සමාගම නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බවත් ය.

සමාජවාදී සමානතා පක්ෂය සහ ඕල්ටන් කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි පොලිසිය හා සමාගම එකතුව දමා ඇති ව්‍යාජ චෝදනා ඉවත් කරන ලෙසත් සේවයෙන් නෙරපා හරින ලද සියලුම කම්කරුවන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවීමත් ඉල්ලා උද්ඝෝෂනයක් දියත් කර තිබේ.

කම්කරුවන් ආරක්ෂා කරගැනීමේ උද්ඝෝෂනයට සහාය දක්වන සියලුම ප්‍රකාශ කරුනාකර මෙම ලිපිනයට යොමු කරන්න: wswscmb@sltnet.lk.

මෑතකදී ලැබුනු ප්‍රකාශ පහත දැක්වේ.

ජෝර්දානයේ ඉරිබියා ඇඟලුම් කම්හලක ශ්‍රී ලාංකික සංක්‍රමනික සේවිකාවක් මෙසේ ලිවීය: “ඕල්ටන් වතුයායේ සේවකයින් 35 දෙනෙකු සේවයෙන් පහ කිරීම මම තරයේ හෙලා දකිමි. ඔවුන් අසාධාරනයට මුහුන දී සිටිති. සේවයෙන් නෙරපා හරින ලද සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙස අපි ඉල්ලා සිටිමු. ඕල්ටන් කම්කරුවන් මෙන්ම දුෂ්කර තත්වයන්ට අපි ද [ජෝර්දානයේ දී] මුහුන දෙමු.”

සංක්‍රමනික ඇඟලුම් කම්කරුවන් අසාධාරනයට මුහුන දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ආරක්ෂාව පතන විට කිසිදු පැමිනිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බව ඇය පැහැදිලි කලාය.

ඇය මෙසේ පැහැලිදි කලා ය: "තානාපති කාර්යාලය විසින් පැමිනිල්ල ඉදිරිපත් කල පුද්ගලයාගේ තොරතුරු ඊලඟ දවසේම කර්මාන්තශාලා කලමනාකරුවන්ට භාර දෙනවා. ඔවුන් අනෙක් අතට කම්කරුවන් බිය ගැන්වීම සඳහා එම තොරතුරු භාවිතා කරනවා…

“ඕල්ටන් හි කම්කරුවෝ වෘත්තීය සමිතිවලට විරුද්ධ යි. එය හොඳ දෙයක් නමුත් අනෙක් කම්කරුවන් ඔවුන්ට සහාය දිය යුතුයි. එවැනි සහයෝගයක් ලබා ගැනීමට ඔබ ගත් උත්සාහය මම අගය කරනවා," ඇය තව දුරටත් පැවසුවා ය.

එක්සත් ජනපදයේ හාවි මෙසේ ලිවීය: “හොරන වැවිලි සමාගම, ඕල්ටන් වතු යාය සම්බන්ධයෙන් ගොතා ඇති කූටෝපාය පැහැදිලි යි, සියලු චෝදනා ඉවත් කර සියලු සේවකයින්ට අහිමි වූ සියලුම වැටුප් සඳහා වන්දි ද ඇතුලුව ඔවුන්ගේ රැකියා ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට කරුනාකර මගේ සහාය එක් කරන්න.

“මම නිව් යෝර්ක් නගරයේ විශ්‍රාමික ගුරුවරයෙක්. ශ්‍රී ලංකාවේ මෙම කම්කරු විරෝධී ප්‍රහාරය ගැන මා ලියන්නේ ඇයි? තේ පානය කරන්නෙකු වීම හැරුනු කොට, දිනපතා මා අතේ තබාගෙන සිටින මෙම තේ කෝප්පය වෙහෙස මහන්සි වී වැඩ කරන වතු කම්කරුවන් අතින් ගමන් කර ඇති ආකාරය පිලිබඳ අවබෝධය තුලින්, මම හිතන්නේ ලොව පුරා ගෝලීය වසංගතය පැතිරීම ධනේශ්වර පංතිය විසින් සිදු කරනු ලබන අපගේ අයිතිවාසිකම් සහ ජීවන තත්වයන්ට එරෙහි තීව්‍ර ප්‍රහාරයට එරෙහිව සියලු කම්කරුවන් සහෝදරවරුන් බවට පත් කරන බව යි. මෙයින් ප්‍රධානතම දෙය නම්, සිය ප්‍රතිපත්ති වලින් ධනේශ්වර පංතිය ඉඩ සහ අනුබලය දීමෙන් අති විශාල මරන හා ලෙඩ රෝග සිදුකර ඇතිවා පමනක් නොව, තව දුරටත් පීඩාකාරී සූරාකෑමක් පැටවීම සඳහා අපගේ දුෂ්කරතා වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරයි.

“නිව්යෝර්ක් හි පවා රැකියා, වැටුප්, ප්‍රතිලාභ සහ සේවා කොන්දේසිවලට එරෙහිව දිගින් දිගට ම ප්‍රහාර එල්ල වෙමින් පවතී. ජාතීන් විසින් මානව වර්ගයා බෙදීම සේවය කරනු ලබන්නේ ධනපතියන්ට පමනි. සියලු රාජ්‍යයන්  පාලනය කරනු ලබන්නේ ධනපතියන් බැවින්, සෑම රාජ්‍යයක්ම පොහොසතුන්ගේ ධනය ආරක්ෂා කර පුලුල් කරනු ලබයි.

“මෙම සිදුවීමේ තොරතුරු ඇතුලු  දේ කම්කරු පන්තියට දැනුම් දෙමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලිපි පල කිරීම මම අගය කරමි. යුක්තිය, ආර්ථික හා දේශපාලනික මෙන්ම නීතිමය අයිතීන් සඳහා වන ඔවුන්ගේ අරගලය මැඩපැවැත්වීමට උත්සාහ කරන මෙම පද්ධතිය අවසන් කිරීම සඳහා ඕල්ටන් වතු කම්කරුවන් සමඟ ජාත්‍යන්තර අරගලයට එක්වීමට මම බලාපොරොත්තු වෙමි.”

Loading