වසංගතයේ අනාරක්ෂිත සේවා කොන්දේසි වලට එරෙහිව ඉන්දියානු මෝටර් රථ කම්කරුවෝ වැඩ වරති

[‍මෙය 2021 ජූනි 02 වැනි දින Indian autoworkers strike against unsafe working conditions in pandemic යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අනාරක්ෂිත සේවා කොන්දේසි වලට එරෙහිව දකුනු ඉන්දියාවේ තමිල්නාඩුවේ මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා නිසා ෆෝඩ් වැනි අන්තර්ජාතික සමාගම්වල ඉන්දියානු අනුබද්ධ සමාගම් ඇතුළු සමාගම් කිහිපයකට නිෂ්පාදනය තාවකාලිකව වසා දැමීමට සිදුවිය. කම්කරුවන් දුසිම් ගනනක් මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකුට සුනාමියක් මෙන් ඉන්දියාව පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. යෝධ මෝටර් රථ සමාගම් වෙනුවෙන් ලාභ උපයා ගැනීම සඳහා තමන්ගේ සහ තම ආදරනීයයන්ගේ ජීවිත පරදුවට තබා, වැඩ කිරීමට බල කිරීම පිනිස සමාගම් සහ ඉන්දියාවේ මධ්‍යම හා ප්‍රාන්ත රජයන් විසින් සිදුකරන මිනීමරු ඒකාබද්ධ උත්සාහයන්ට එරෙහිව කම්කරුවන් අතර කෝපය වැඩි වෙමින් පවතී.

ඉන්දියාවේ වසංගතයේ විනාශකාරී දුෂ්-කලමනාකරනය පිලිබඳ මහජන කෝපය නිසා, අලුතින් තේරී පත් වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් (DMK) තමිල්නාඩු ප්‍රාන්ත රජයට පසුගිය මාසයේ අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කිරීමට බල කෙරුනි. කෙසේ වෙතත්, කොන්ග්‍රස් පක්ෂයේ සහ එහි ඉන්දීය ස්ටැලින්වාදී සහචරයින්ගේ සමීප හවුල්කරුවෙකු වන ඩීඑම්කේ, සියලු ම ප්‍රධාන කාර්මික ආයතනයන්ට පෙර සේම පූර්න ක්‍රියාකාරිත්වයෙන් යුතුව කටයුතු කිරීම සඳහා කොල එලිය ලබා දුන්නේය. මෙම ලාභසේවි තීරනය මගින්, වසංගතය පුරාම “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තියක් අනුගමනය කර මිනිස් ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දී ඇති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ හින්දු අධිපති භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ඉන්දියානු මධ්‍යම ආන්ඩු සමග, ඔවුන්ගේ එකේලි වීම අවධාරනය කෙරේ.

අන්තර්ජාතික සංගත සහ ඔවුන්ගේ ඉන්දීය හවුල්කරුවන් සහ සේවාලාභීන් විසින් ලාභ ලබා ගැනීම සඳහා ඇති කිසියම්ම හෝ බාධක ඉවත් කිරීම සඳහා, වර්තමාන සීමිත අගුලු දැමීම පවා ඉවත් කිරීමේ අරමුනින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ජූනි 1 දා වීඩියෝ පනිවුඩයක් නිකුත් කරමින් නරුම ලෙස මෙසේ ප්‍රකාශ කලේය: “අපට අගුලු දැමීම දිගටම දිගු කරගෙන යා නොහැකි අතර මේ සඳහා ඉක්මනින් නැවතුමක් තිබිය යුතුය. එය ඇත්තේ මිනිසුන්ගේම අතේ පමනි. ”

ටොයොටා මෝටර් රථ කම්හලක් තුල වැඩ කරන කම්කරුවන් (අනුග්‍රහය විකිමීඩියා කොමන්ස්) [Photo by Bertel Schmitt / CC BY-SA 3.0]

අනෙක් අතට කම්කරු පන්තිය ඉල්ලා සිටින්නේ කර්මාන්ත, විද්‍යාත්මක අගුලු දැමීමේ ප්‍රතිපත්ති අනුගමනය කරනා ලෙසයි. කෝවිඩ්-19 ආරක්ෂක විධිවිධාන නොමැතිකම හේතුවෙන් විරෝධතා, වැඩ වර්ජන සහ වැඩ වර්ජන සඳහා කල අනතුරු හැඟවීම් වලින් පසුව, පසුගිය මාසයේ හයුන්ඩායි සහ රෙනෝල්ට්-නිසාන් හි නිෂ්පාදන කටයුතු නවතා දමන ලද අතර තවත් සමාගම් කිහිපයක කම්කරුවෝ ද එය අනුගමනය කලහ.

කොරෝනා වයිරසය සදහා ආරක්ෂන පියවරයන් ඉල්ලා සිටිමින් මැයි 27 චෙන්නායි හි ෆෝඩ් ඉන්දියා පුද්ගලික සමාගමෙහි කම්කරුවන් 950 කට ආසන්න පිරිසක් දිවා ආහාරය වර්ජනය කිරීම නිසා, මැයි මස 28 දින සහ 29 දින වල නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සමාගමට බල කෙරුනි. වසංගත කාලයේදී ඔවුන් සිය ජීවිත පරදුවට තබා ඇති බැවින් ඔවුන් ඉදිරි පෙල කෝවිඩ්-19 සටන්කරුවන් ලෙස සලකන ලෙස ෆෝඩ් ඉන්දියා කම්කරුවන් සමාගමෙන් ඉල්ලා සිටියහ. කෝවිඩ්-19 නිසා ඔවුන් මිය ගියහොත්, ඔවුන්ගේ පවුල්වලට රුපියල් මිලියන 5 ක (ඇමරිකානු ඩොලර් 68,357) වන්දියක් ගෙවිය යුතු යැයි ඔවුහු තරයේ කියා සිටියහ.

සේවකයින්ට කෝවිඩ්-19 ආසාදනය වී ඇත්නම් ඔවුන්ගේ සම්පූර්න වෛද්‍ය වියදම් කලමනාකාරිත්වය දැරිය යුතු බවත්, කෝවිඩ්-19 අගුලු දැමීමේ කාලය තුල කම්කරුවන්ට වැටුප් හිමි නිවාඩු සහිතව කම්හල වසා දැමිය යුතු බවත් ෆෝඩ් කම්කරුවන් ඉල්ලා ඇත. චෙන්නායි, තමිල්නාඩු ෆෝඩ් කම්හලේ කම්කරුවන් 230 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර අවම වශයෙන් කම්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

වෛරසය පැතිරීමට එරෙහි සේවක නොසන්සුන්තාවයට මුහුන දී හයිඩ්‍රොලික් සිලින්ඩර් නිෂ්පාදක සීමාසහිත විප්‍රෝ එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම මැයි 28 වන දින සිට දින තුනක වසා දැමීමක් ප්‍රකාශයට පත් කලේය. එක්සත් කම්කරු සම්මේලනයට (ULF) අනුබද්ධිත කම්හලේ සමිතිය, සමාගමට සහ කෝවිඩ්-19 අගුලු දැමීමේ කාලය තුල ක්‍රියාත්මක වීමට ඇතැම් කාර්මික ඒකක වලට ඉඩ දෙන තමිල්නාඩු රජයේ නියෝගයට එරෙහිව මදුරාසි මහාධිකරනයේ මැදිහත්වීම ඉල්ලා තිබේ. මෙය කම්කරුවන්ගේ විරුද්ධත්වය, කාර්මික ක්‍රියාවන් සූදානම් කිරීමෙන් හා දියත් කිරීමෙන් වෙන‘තක හැරවීමේ උත්සාහයකි. පසුගිය සතියේ එම අධිකරනයම රෙනෝල්ට්-නිසාන්හි මාඕවාදී නායකත්වයෙන් යුත් වෘත්තීය සමිතියක් විසින් ගෙන එන ලද එවැනිම යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, “කම්කරුවන්ගේ සෞඛ්‍යය ඉහල මට්ටමක පැවත්ම අතිශය වැදගත් වුවද, කර්මාන්ත කඩා වැටුන හොත් ඔවුන්ට වැඩ කිරීමට ස්ථානයක් නොමැති වන” බවයි.

බුලට් සහ වෙනත් යතුරුපැදි නිපදවන ද්වි රෝද රථ නිෂ්පාදකයෙකු වන අයිෂර් මෝටර්ස් මැයි 27 වනදා සිට දින තුනක වැඩ නතර කිරීමක් ප්‍රකාශයට පත් කලේය. කෝවිඩ්-19 හේතුවෙන් අනාරක්ෂක තත්ත්වයන් පිලිබඳව කම්කරුවන්ගේ නොසන්සුන්තාවය හේතුවෙන් ජපාන යතුරුපැදි සමාගමක් වන ඉන්දියා යමහා මෝටර් සමාගම මීට පෙර තීරනය කර තිබුනේ මැයි 15 සිට මැයි 31 දක්වා එහි කර්මාන්තශාලා දෙක වසා දැමීමටය. තවත් යතුරුපැදි නිෂ්පාදකයෙකු වන රෝයල් එන්ෆීල්ඩ්, මැයි 3 වන දින සිට තිරුවොට්ටියුර්, වල්ලම් වඩගල් සහ ඔරගඩම් හි පිහිටි සිය කර්මාන්තශාලාවල මෙහෙයුම් දින තුනකට අත්හිටුවා තිබේ. මැයි 13 සිට 16 දක්වා කාලය තුල කෝවිඩ්-19 ආසාදන රට පුරා ඉහල ගොස් ඇති බව උපුටා දක්වමින් සමාගම සිය කර්මාන්තශාලා වසා දමා තිබුනි.

තමිල්නාඩුව පුරා වැඩ වර්ජන හා කර්මාන්තශාලා වසා දැමීම් සිදුවන්නේ, වැඩෙන කම්කරුවන්ගේ කෝපය, අමතර කොටස් සැපයුම් ගැටළු සහ කෝවිඩ්-19 මරන හේතුවෙන් ඉන්දියාව පුරා කර්මාන්තශාලා වසා දැමීමට බල කෙරෙද්දීය. පසුගිය මාසයේදී වසා දමා ඇති ප්‍රධාන ඉන්දියානු මෝටර් රථ කර්මාන්තශාලා අතර, කර්නාටක අගනුවර වන බැංගලෝරය අසල පිහිටි ටොයොටා කිර්ලොස්කර් මෝටර්ස් බිඩාඩි කම්හල, එම්ජී මෝටර් ඉන්දියාට අයත් හැලෝල් කම්හල, සහ මහින්ද්‍රාට අයත් මහාරාෂ්ට්‍රයේ චකන්, නාසික් සහ මුම්බායි යන නගර තුනක පිහිටි කර්මාන්තශාලා ඇතුලත් වේ.

මෝටර් රථ හා වෙනත් කර්මාන්තවල කම්කරුවන් අතර ඉහල යන ආසාදන හා මරන වනාහි මෝඩි රජය සහ තමිල්නාඩුවේ ඩීඑම්කේ ආන්ඩුව සහ එහි හිටපු ඒඅයිඩීඑම්කේ ආන්ඩුව ද ඇතුලත් ඉන්දියාව පුරා ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ගෙන ගිය මිනීමරු රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. මාර්තු මුල සිට කෝවිඩ්-19 සිද්ධීන් ඝාතීය ලෙස (අති සීඝ්‍රයෙන්) ඉහල යත්ම, මෝඩි වෛරස් සම්ප්‍රේෂන දාමය බිඳ දැමීම සඳහා අගුලු දැමීමක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල අතර, අප්‍රේල් 20 වන දින ජාතියට කල කතාවකදී කුප්‍රකට ලෙස ප්‍රකාශ කළේ තමා වයිරසයෙන් නොව “රට අගුලු දැමීමෙන් බේරා ගන්නා” බවයි. ප්‍රාන්ත රජයන්, ගෝලීය වශයෙන් සම්බන්ධිත වාහන සහ වාහන අමතර කොටස් කර්මාන්ත ක්‍රියාත්මක වීමට ඉඩ දෙන අතරම, ඔවුන්ගේ භූමිකාව ලෙස උපරිම වශයෙන් අර්ධ -අගුලු දැමීම් (පමනක්) ක්‍රියාත්මක කර ඇත. මෙය තවත් සේවකයින්ගේ ආසාදන හා මරන සඳහා මග පෑදීය.

වර්තමාන අගුලු දැමීම සම්පූර්නයෙන් නැවැත්විය යුතු යැයි ඉල්ලා සිටින තමිල්නාඩු මහඇමති ස්ටාලින්ගේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ, එම ආන්ඩුවේ සහ සමස්ත ඉන්දීය පාලක ප්‍රභූවේ එකම සැලකිල්ල ආයෝජකයින්ගේ ලාභය ආරක්ෂා කිරීම මිස කම්කරුවන්ගේ ජීවිත හා යහ පැවැත්ම විනාශකාරී කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා කිරීම නොවන බවයි. මෙම ආත්මාර්ථකාමී පංති අවශ්‍යතා, ඉන්දියාව පුරා ඇති සියලුම දේශපාලන වර්නවල ව්‍යාපාරික-ගැති ආන්ඩුවල ප්‍රතිපත්තිය තීරනය කරයි.

පසුගිය පැය 24 තුල ඉන්දියාවට නව කෝවිඩ්-19 රෝගීන් 127,000 ක් සහ මරන 2,795 ක් වාර්තා වීමත් සමඟ කර්මාන්ත ක්‍රියාකර වීමට බල කිරීම සහ පාසල් නැවත විවෘත කිරීම තුඩු දිය හැක්කේ තවත් ව්‍යසනයකට පමනි. තමිල්නාඩුවේ නව කෝවිඩ්-19 රෝගීන් 26,513 ක් සහ මරන 490 ක් වාර්තා වී තිබේ. මේ අතර, නිරිතදිග පිහිටි කර්නාටක ප්‍රාන්තයේ නව රෝගීන් 14,304 ක් සහ මරන 464 ක් වාර්තා වී තිබේ. අනෙකුත් ප්‍රධාන ඉන්දියානු නගරවල පසුගිය පැය 24 තුල නව මහා ආසාදන වාර්තා වී ඇත: චෙන්නායිහි 2,467 ක්, කොල්කටාහි 1,032 ක්, මුම්බායිහි 831 ක් සහ දිල්ලියේ 623 ක්.

ඉන්දියාවේ නිවුන් ස්ටැලින්වාදී පක්ෂ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය - මාක්ස්වාදී (සීපීඑම්) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ඔවුන්ගේ අනුබද්ධ වෘත්තීය සමිති මෙම වසංගතය අතරතුර තමිල්නාඩුවේ කම්කරුවන්ගේ හා වෙහෙසෙන්නන්ගේ දුක් වේදනා සඳහා දේශපාලන වගකීම දරයි. අප්‍රේල් මාසයේ පැවති ප‍්‍රාන්ත මැතිවරනය සඳහා ඔවුන්, ඩීඑම්කේ නායකත්වයෙන් යුත් මහා ව්‍යාපාරික කොංග‍්‍රස් පක්ෂය ද ඇතුලත් මැතිවරන සන්ධානයකට සම්බන්ධ වූ අතර, එමගින්, “කම්කරු-හිතකාමී” සහ “සමාජ සාධාරනත්වය” සදහා පෙනී සිටින බවට තමන්ව ප්‍රක්ෂේපනය කර ගැනීමට දක්ෂිනාංශික ඩීඑම්කේට උපකාරී විය. මේ වසන්තයේ ඉන්දියාව පුරා කොරෝනා වෛරසයේ මාරාන්තික නැගීම මධ්‍යයේ පවා කර්මාන්ත ක්‍රියාත්මක වීමට ඉඩ සලසන ඩීඑම්කේ ආන්ඩුවට ස්ටැලින්වාදීන් දැන් සහාය දක්වයි.

මෝඩි ආන්ඩුවේ සහ ධනේශ්වර පාලක ප්‍රභූවේ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්ටැලින්වාදී පක්ෂවලින් සහ ඔවුන්ගේ අනුබද්ධ වෘත්තීය සමිතිවලින් දේශපාලන හා සංවිධානාත්මක බිඳීමක් අවශ්‍ය වේ. කම්කරුවන්ට ඔවුන්ගේම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු අවශ්‍ය වේ. ගෝලීය වසංගතයට හා පාලක ප්‍රභූවේ මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීම සඳහා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් (IWA-RFC) සඳහා කැඳවීම දියත් කර තිබේ.

වසංගතයට එරෙහි අරගලය ලෝක ධනවාදයට එරෙහි ගෝලීය අරගලයකි. එය වෛරසය මැඩ පැවැත්වීමට අසමත් බව ඔප්පු කර ඇති පද්ධතියකි; මන්දයත්, එය සමස්ථ සමාජ-ආර්ථික ජීවිතය ආයෝජකයින්ගේ ලාභ ලුහුබැඳ යෑමට යටත්කර ඇති බැවිනි. සංගත හා මූල්‍ය ප්‍රභූන්ගේ කොල්ලකාරී ලාභ අවශ්‍යතාවන්ට ඉහලින් වැඩකරන ජනතාවගේ ජීවිත හා සමාජ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය දීම ගෝලීය පරිමානයෙන් සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයකි.

Loading