මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තබන තම පිලිවෙත ජනාධිපති රාජපක්ෂ විවෘතවම ප්‍රකාශයට පත් කරයි

ජූනි 02 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලාත් ආන්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු ඇතුලු ලොවපුරා පාලකයන් කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් අනුයන, මිනිස් ජීවිත නොතකා ධනපතියන්ගේ ලාභය තරකරදීමේ සාපරාධී පිලිවෙත කවර හෝ පැකිලීමකින් තොරව ක්‍රියාවට නැංවීමට වගබලාගතයුතු බව අවධාරනය කලේය. “පුද්ගලයෙක් ආසාදනය වූ වහාම කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් වසා දැමීම වෙනුවට සෞඛ්‍ය රෙකමදාරුවලට අනුව බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව සොයා බැලිය යුතු” යැයි ඔහු එහිදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

කෙසේ නමුත්, “පුද්ගලයෙක් ආසාදනය වූ වහාම කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක්' වසාදැමූ අවස්ථාවක් ලංකාවෙන් මෙතෙක් වාර්තා වී නොමැත. ඊට විපරීතව කම්කරු-පීඩිත මහජනතාව අත්දුටුවේ සහ අත්දකින්නේ, දුසිම් ගනන් කම්කරුවන් ආසාදනය වෙද්දී සහ සමහර ආසාදිතයන් මිය යද්දී පවා කම්හල් කලමනාකරනයන් විසින් තම නිෂ්පාදන අඛන්ඩව පවත්වාගෙන යන බවයි.

රාජපක්ෂගේ උත්සුකය වන්නේ, කම්හල් තුලින්, විශේෂයෙන්ම වසංගතය ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයන් ලෙස ක්‍රියාත්මක වන ඇඟලුම් කම්හල් තුලින් හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලයන තතු තුල, කම්හල් වසා දමන ලෙස කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් අතරින් පැන නගින විරෝධතාවන් වේගයෙන් වර්ධනය වීමයි. බිංගිරිය, බද්දේගම, පානදුර සහ තුල්හිරිය ඇඟලුම් කම්හල් කිහිපයක්, මෙම විරෝධතා හේතුවෙන් වසා දමන්නට සිදුවිය.

කම්හල් 'බාධාවකින් තොරව' පවත්වාගෙන යායුතුයැයි රාජපක්ෂ කරන අවධාරනයෙන් ගම්‍ය වන්නේ, කම්කරුවන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් මතුවන විරෝධතා නොතකා ඔවුනගේ ජීවිත බිලිගනිමින් හෝ නිෂ්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙන යායුතු බවයි.

වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අත්‍යවශ්‍ය ම පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වසංගත රෝග විශේෂඥයන් යලියලිත් අවධාරනය කරනු ලබන පූර්න අගුලු දැමීම් - එනම් ආහාර සහ ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය නිෂ්පාදන මෙන්ම, ජලය සහ විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය සේවා දැඩි සෞඛ්‍යාරක්ෂනය යටතේ පවත්වගෙන යන අතරේ ඇඟලුම් ඇතුලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන මෙන්ම පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන සියල්ල වසා දැමීම - රාජපක්ෂ බලගතු ලෙස ප්‍රතික්ෂේප කරයි.

එවන් අගුලු දැමීම් 'රටේ ආර්ථිකය' ට බරපතල ලෙස බලපාන බව, ඔහුගේ ආන්ඩුව සහ ධනපති මාධ්‍ය එක්ව මන්ත්‍රයක්සේ ජප කරන අතර, එයට විරුද්ධ පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති පූර්න අනුග්‍රහය ලබා දෙයි. 'පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත්' රාජපක්ෂ ආන්ඩුකාරවරුන්ට සහ දිසා ලේකම්වරුන්ට පැවසීය.

මෙය රාජපක්ෂගේ පමනක් නොව, ලොවපුරා පාලකයන්ගේ මන්ත්‍රයයි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය එය සූත්‍රගත කලේ 'ප්‍රතිකාරය, රෝගයට වඩා නරක නොවිය යුතුය' යනුවෙනි. වත්මන් ජනාධිපති ජෝ බයිඩන් එම සූත්‍රයම කරපින්නා සිටී. 'ඉන්දියාව බේරාගත යුත්තේ වසංගතයෙන් නොව අගුලුදැමීමෙනි' යන්න අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආප්තය වෙයි.

මොවුන් සියලු දෙනාම හුයපටකින් බැඳ තබන, සාපරාධී පිලිවෙතෙහි ගෝලීය මානව මිල, මේ වන විට ජීවිත මිලියන 3.7 ක් සහ ආසාදන මිලියන 174 ක් වන අතර, අපරාධය නිමක් නොමැතිව ඉදිරියට ඇදී යයි. ලංකාවේ ආසාදන සංඛ්‍යාව 207,979 ක් ද, මරන සංඛ්‍යාව 1789 ක් ද වෙයි. පසුගිය සති පහ තුල පමනක්, නිල මරන සංඛ්‍යාාව දෙගුනයටත් වඩා වැඩි වී ඇත.

වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩුනු මහජන විරෝධය හමුවේ ආන්ඩුව 'සංචරන සීමා' පැනවුව ද, අත්‍යවශ්‍ය නිෂ්පාදන සහ සේවා නොවන ආයතන සියල්ල අඛන්ඩව පවත්වාගෙනයාම හේතුවෙන්, එම සීමා පැනවීම වසංගත ව්‍යාප්තිය කෙරෙහි සිදුකර ඇති බලපෑම ඉතා අල්ප බව විද්‍යාඥයෝ පවසති.

සංචරන සීමාවන්හි ව්‍යාජත්වය සම්බන්ධයෙන් මහජනතාව අතර වැඩෙන විරෝධය හමුවේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන ඩේලි මිරර් පුවත්පතට මෙසේ පැවසිය: 'සංචාරක සීමාවන් පැනවීමෙන්, සංචරනය සියයට 90 කින් අඩුකර ගැනීමට අපි අපේක්ෂා කල නමුත්, අවාසනාවකට මෙන්, අපේක්ෂිත ප්‍රතිශතය සපුරා ගැනීමට අපට නොහැකි විය.'

සේවා ස්ථානයන්ට පෙරපරිදිම සේවකයන් කැඳවීම ගැන ඔහු මෙසේ කියයි: 'ඔවුන් සෑම දිනකම තම සේවකයින් කැඳවයි. නිවසේ රැඳී සිටින්නේ එදිනෙදා ව්‍යාපාරවල යෙදෙන පුද්ගලයින් පමනක් වන නමුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින් සාමාන්‍ය දෛනික චර්යාවන් යටතේ ක්‍රියාත්මක වේ.'

මහජන ජිවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙම පාලකයන් පෙන්නුම් කරන උත්සුකය මුලුමනින්ම ව්‍යාජය, වංචනික ය. 'නිසි සෞඛ්‍ය නිර්දේශ පිලිපදිමින් කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුන ද ප්‍රාදේශීයව එම වැඩපිලිවෙල ක්‍රියාත්මකවීමේ දී අඩු පාඩු පැවති බවට කරුනු වාර්තා වී ඇති' බවට ජනාධිපතිවරයා ඉහත රැස්වීමේදී කල ප්‍රකාශය මෙම වංචනිකත්වය ඉස්මතු කර පෙන්වයි.

සෞඛ්‍ය නිර්දේශ 'ක්‍රියාත්මකවීමේ දී අඩු පාඩු' පවතිනවා නොව, සිය දහස් ගනන් කම්කරුවන් ඒකරාශිවී වැඩෙහි යෙදෙන මෙම කම්හල්වල එම නිර්දේශ කිසිසේත් ක්‍රියාත්මක කල නොහැකි වීම යතාර්ථය යි. පසුගිය වසරේ ඔක්තෝබරයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ වසංගතය පුපුරාගිය මොහොතේ එම කම්කරුවන් ප්‍රසිද්ධියේ කියා සිටියේ කම්හල තුල අවම සෞඛ්‍යාරක්ෂනයක් හෝ නොතිබි බවයි. ආසාදිත වූ කම්කරුවන් තම අසනීප තත්වය දැනුම්දුන්විට කලමනාකාරිත්වයේ ප්‍රතිචාරය වූයේ, 'පැනඩෝල් ප්‍රතිකාරය' ලබා දී කම්කරුවන් දිගටම වැඩෙහි ‌නිරත කරවීමයි.

නැගුනු බලගතු මහජන විරෝධය හමුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට රාජපක්ෂ නියෝගකල නමුත්, අද වන තෙක් එහි විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කර නොමැත. එම අපරාධය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව දැක්වූ නරුම ප්‍රතිචාරයෙන් ගැම්ම ලබාගත් කම්හල් හිමි සමාගම් එතෙක් අනුගමනය කල සීමිත සෞඛ්‍යාරක්ෂන පියවර ද ක්‍රමයෙන් අත්හැර දැමූහ.

ඉහත රැස්වීමේදී එන්නත්කරනය සම්බන්ධයෙන් රාජපක්ෂ කල ප්‍රකාශයන් ද බො‌රුවෙන් සහ කුහකත්වයෙන් පිරි තිබුනි. 'එන්නත්කරනය අඛන්ඩ ව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්න එන්නත් ප්‍රමානය මේ වන විට ලැබෙමින් පවතින' බවත්, 'විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන' බවත් ඔහු පැවසීය. එන්නත්කරනයේ විද්‍යානුකූලභාවය සහ සැලසුම්කරනය කෙතෙක්ද යත්, වසංගතයට එරෙහි මෙහෙයුමේ ඉදිරිපෙල සේවකයන්ගෙන් සුවිසල් සංඛ්‍යාවකට මෙතෙකුදු එන්නත ලබා දී නොමැත.

වසංගත රෝග විශේෂඥයන් විසින් යෝජනා කල විද්‍යාත්මක ප්‍රමුඛතාවය ඉවත දමා හිතපක්ෂපාතකම් වලට ප්‍රමුඛතාව දීම හේතුවෙන් සමස්ත එන්නත්කරනයම අවිධිමත් වී ඇත. ඇස්ට්‍රා-සෙනිකා පලමු මාත්‍රාව ලබාගත් ලක්ෂ හයක ජනතාවකට දෙවන මාත්‍රාව ලබාදීමේ කාලය ඉකුත්ව යන නමුත්, එය ලබාදීමේ නිශ්චිත වැඩපිලිවෙලක් මෙතෙකුදු නොමැත.

ප්‍රමානවත් අයුරින් පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) නොසැපයීම සහ මෙතෙකුදු එන්නත ලබානොදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවෝ නිරන්තරව විරෝධතාවන් හි නිරත වන අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ ග්‍රාමනිලධාරීන් ඇතුලු අවශේෂ ඉදිරිපෙල සේවකයෝ ද තම සෞඛ්‍යාරක්ෂනය තහවුරු නොකිරීමට එරෙහිව අරගලට පිවිසෙමින් සිටිති.

මෙම වර්ධනයන්ට ප්‍රතිචාරී ලෙස, ජනාධිපති රාජපක්ෂ, රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර අතරින් අතිමහත් බහුතරයක් 'අත්‍යවශ්‍ය සේවා' බවට පත් කෙරෙන නියෝගයක් මැයි 27 දා, නිකුත් කලේ ය. මෙහි ආසන්නතම ඉලක්කය, කොවිඩ්-19 එන්නත් ඉල්ලා ග්‍රාම නිලධාරීන් 12,000ක් දියත් කිරීමට නියමිත වූ වැඩ වර්ජනය වුවත්, එම නියෝගයෙන්, අනෙකුත් රාජ්‍ය අංශ කම්කරුවන්ගේ ද වැඩවර්ජන අයිතිය ඇතුලු මූලික අයිතීන් අහිමි කෙරුනි.

එම විෂඝෝර විධිවිධානයන්ට අනුව, වැඩ වර්ජන තහනම ප්‍රතික්ෂේප කරන කම්කරුවන් රැකියාවෙන් නෙරපිය හැකි ය. මුදල් දඩ, වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවම්' සහ ඔවුන්ගේ “චංචල හා නිශ්චල දේපොල” රාජසන්තක කිරීම වැනි දෑට ඔවුන් මුහුන දෙයි.

මීට අමතරව, “කායික ක්‍රියාවක් හෝ ඕනෑම කතාවක් හෝ ලේඛනයක්” හරහා, රාජකාරියට සහභාගි නො වන ලෙස “පොලඹවන, ප්‍රේරනය කරන හෝ දිරිමත් කරන” ඕනෑම පුද්ගලයෙකු ද දඩ, දේපොල අත්පත් කරගැනීම් හා වසර පහ දක්වා වන සිර දඬුවම්වලට යටත් කරනු ලැබේ.

ලංකාවේ ව්‍යවස්ථාවෙන් පවා සහතික කෙරී ඇති මූලික අයිතීන් කටුගා දැමෙන මෙම නියෝගය, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතරින් මතුවන අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා රාජපක්ෂ යන වේගවත් ගමනේ ඉහල පියවරකි.

නිල වශයෙන් පනවන ලද අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට අමතරව, රාජපක්ෂ විසින් පවත්වාගෙන යන නිල නොවන අත්‍යවශ්‍ය සේවාවන්හි, විශේෂයෙන්ම පුද්ගලික ක්ෂේත්‍රයේ, තවත් ලක්ෂ ගනනක් සේවයේ යෙදී සිටිති. බරපතල විදේශ විනිමය හිඟයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව, ඇඟලුම් සහ තේ ඇතුලු අපනයන නිෂ්පාදන සියල්ලම අඛන්ඩව පවත්වාගෙන යන ලෙස නියෝග කොට ඇත.

ආන්ඩුව, ඊනියා සංචරන සීමා යටතේ, සුලු පරිමාන නිෂ්පාදන හැර මහා පරිමාන නිෂ්පාදන සියල්ල අඛන්ඩව පවත්වාගෙන යයි. 'සංචරන සීමා' හේතුවෙන් නිවෙස් වලට කොටු කරන ලද සුලු ව්‍යාපාරිකයන්ගේ සහ එදිනෙදා වේල ගැටගසාගන්නා අයගේ පවුල් ලක්ෂ ගනනක් ඉමහත් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුන දී සිටින අතර ඉන් අතලොස්සකට ලැබෙන රුපියල් 5000 සොච්චම ද ලැබෙනුයේ ඉතා මන්දගාමීවය. විවිධ අවශ්‍යතාවන් සඳහා මහමගට බසින මෙම දුගීන් පොලීසිය විසින් දඬු ගසනු ලැබේ.

කෙසේ නමුත්, රාජපක්ෂගේ මෙම රුදුරු මර්දනයන් නොතකා ඔහුගේ සාපරාධී පිලිවෙත් වලට එරෙහිව කම්කරුවෝ අරගලට ඇදෙමින් සිටිති. හෙදියන්, වෛද්‍යවරුන්, රසායනාගාර තාක්ෂනඥයින් හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් 20,000ට අධික සංඛ්‍යාවක් පසුගිය බ්‍රහස්පතින්දා, පැය පහක වැඩ නැවැත්වීමක් ක්‍රියාවට දැමූහ.

කම්කරු පංතිය බෙදීම සඳහා දෙමල සහ මුස්ලිම් ජන වර්ගයන්ට එරෙහිව ආන්ඩුව ප්‍රමුඛ පාලක පංතිය උත්සන්නියට නංවා ඇති ප්‍රකෝපකරනයන් තිබියදී, උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල සහ මුස්ලිම් කම්කරුවන්, සිංහල කම්කරුවන් සමග මෙම අරගලයට එක්වූයේ, වෘත්තීය සමිති වල ශ්‍රේනිවාදී බෙදීම් සහ අනෙකුත් අපසරනයන් ද නොතකමිනි.

ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් බවට වෛෂයිකව යොමුවන මෙම අරගල, ධනේෂ්වර පද්ධතියට බැඳී පවත්නා වෘත්තීය සමිති තුලින් ඉදිරියට ගෙන යා නොහැක. රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝගයට ඔවුන් දෙන නිහඬ සහයෝගය තුල එය ගැඹුරින්ම ප්‍රකාශයට පත්වෙයි. මෙම සමිති වලට විපරීතව, ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කර ගැනෙන සහ තීන්දු තීරන ගැනෙන ක්‍රියාකාරී කම්ටු සෑම වැඩපොලකම ගොඩනගා ගැනීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතුය.

අන් ඕනෑම රටක කම්කරු පංතියට මෙන්ම, ලංකාවේ කම්කරු පංතියට ද ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයෙන් මෙහෙයවෙන මෙම ප්‍රහාරයන්ට එරෙහිව තනිව සටන් කල නොහැක.

'ඉහල යන වසංගතය මධ්‍යයේ ලංකාවේ ආන්ඩුව රාජ්‍ය සේවක වැඩ වර්ජන සාපරාධීකරනය කරයි' යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඊයේ පලකල ඉදිරි දර්ශනයේ සඳහන් කෙරුනු පරිදි, 'රාජපක්ෂගේ පන්ති යුද ආඥාවන්වල වැදගත්කම හා අර්ථභාරය විශාල වසයෙන් හා පලල් ව ප්‍රචලිත කරමින් හා දඩයමට ලක්වන ඕනෑම කම්කරුවෙකුගේ සහයෝගය පිනිස සහෝදරත්වය සූදානම් කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අන්තර්-සම්බන්ධිත සමාජ බලය බලමුලුගැන්වීම සඳහා වන අරගලය තීව්‍ර කිරීම' අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. ඒ සඳහා ඉහත කම්කරු ක්‍රියාකාරී කම්ටු ජාත්‍යන්තර පරිමානව සන්ධානගත වියයුතු වෙයි.

Loading