ඉන්දියානු උප මහාද්වීපය පුරා සහ ජාත්‍යන්තරව පාලක ප්‍රභූන්ට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතී

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාවේ) ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් සසප සංවිධානය කල කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී උපායමාර්ගයක අවශ්‍යතාවය ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමේදී පහත දැක්වෙන කථාව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ දකුනු ආසියාව පුරා කම්කරුවන් හා තරුනයින් සඳහා යොමු කෙරුනු මෙම රැස්වීම මැයි 30 වන දින පැවැත්විනි.

සහෝදරවරුනි,

මෙම ප්‍රසිද්ධ රැස්වීම, ජාත්‍යන්තර කමිටුවේ ඉන්දියානු ශාඛාව ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සහ එහි ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අරගලයේ නව හා ඉහල අවධියක් සනිටුහන් කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සසප හි ජාතික ලේකම් වන ජෝසෆ් කිෂෝර් සහෝදරයා, කැනඩාවේ කීත් ජෝන්ස් සහෝදරයා සහ ප්‍රංශයේ සසප සහකාර ජාතික ලේකම් ඥානා සහෝදරයා මෙම රැස්වීමට සහභාගී වීම හජාජාක විසින් එම කාර්යයට ලබා දී ඇති වැදගත්කම හා හදිසිභාවය පිලිබඳ ප්‍රබල ප්‍රකාශනයක්.

හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි 1939 ජූලි මාසයේ දෙවන ලෝක සංග්‍රාමයේ මුවවිට ඉන්දියානු කම්කරුවන් අමතා විවෘත ලිපියක් ලිවුවා. එය අවසන් කලේ පහත සඳහන් වචන වලින්:

ධනේශ්වරයෙන් පූර්න ස්වාධීනත්වය, සියල්ලටත් වඩා ඉන්දියාවේ ජනගහනයෙන් බහුතරයක් වන ගොවි ජනතාව කෙරෙහි තම අනුහස පැතිරවීම නිර්ධන පංතියට අත්‍යවශ්‍ය වේ. නිර්භීත, විප්ලවීය ගොවිජන වැඩපිලිවෙලක් දියත් කිරීමටත්, මිලියන ගනනක් ගොවීන් පෙලගැස්වීමටත්, ස්වදේශික පීඩකයින්ට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට නායකත්වය දීමටත් හැකියාව ඇත්තේ නිර්ධන පංතියට පමනි.

ඉන්දීය ධනේශ්වරයේ බොරු පොරොන්දු සහ ව්‍යාජ-වාම හෙන්චයියන් ද ඇතුලුව ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල නිරුවත් ද්‍රෝහිකමට එරෙහිව සටන් කිරීම සඳහා වැඩකරන ජනතාව සහ තරුනයින් දැනුවත් කිරීම හා බලමුලු ගැන්වීමට ද මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට ද නොනවතින විප්ලව න්‍යායේ පදනම මත ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද අරගලය අපි දිගටම ගෙන යමින් ඉන්නවා.

සසප (ශ්‍රී ලංකාව) ප්‍රධාන ලේකම් විජේ ඩයස්

කලින් කථිකයන් ද පැහැදිලි කල පරිදි, අද දකුනු ආසියාවේ වෙසෙන අප ඇතුලු සමස්ත මානව වර්ගයා දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ දරුනුතම උවදුරට මුහුන දී සිටිනවා. ඉන්දියාවේ මෙම ව්‍යසනකාරී වසංගත තත්ත්වයේ වගකීම සෘජුව ම පැවරී ඇත්තේ සීපීඅයි, සීපීඅයි (එම්) ද්‍රෝහී ස්ටැලින්වාදීන් සහ තවත් සුලු ධනේශ්වර ව්‍යාජ-වාම කන්ඩායම් ද වෘත්තීය සමිති ද විසින් පෙරට දමන ලද නරේන්ද්‍ර මෝදි ගේ ධනේශ්වර ආන්ඩුව වෙත යි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ මොස්කව් ස්ටැලින්වාදී නිලධරයේ ආධිපත්‍යය යටතේ ගෝලීය බලවතුන් අතර ප්‍රතිගාමී ලෝක ස්ථාවරත්වයේ කොටසක් ලෙස දකුනු ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත වලට ව්‍යාජ නිදහසක් පිරිනැමීම සඳහා එකඟතාවයකට පැමිනුනා. මෙම ක්‍රියාවලිය යටතේ, හින්දු සහ මුස්ලිම් ආගමික පදනම මත ඉන්දියාව සහ පාකිස්තානය ලෙස, ඉන්දියාව ලේවැකි අතාර්කික බෙදීමකට ලක් වුනා. මිලියනයකට අධික සංක්‍රමනික දෙමල කම්කරුවන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ (එවකට සිලෝන්) මෘග පාර්ලිමේන්තු පනත් සම්මත වුනා.

හතරවන ජාත්‍යන්තරය තුල වර්ධනය වූ පැබ්ලෝ-මැන්ඩෙල් ප්‍රභේදයේ සංශෝධනවාදීන්, ප්‍රතිගාමී පශ්චාත් යුධ සංහිඳියාවට නිර්ලජ්ජිත ලෙස අනුගත වී ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂ ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී පක්ෂ බවට දියකර හැරියා. 1942 දී ආරම්භ කරන ලද නොබෙදුනු ඉන්දියාවේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු ශාඛාව, ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ (එවකට බුරුමයේ) ශාඛාවන් ද සමග විනාශයට පත් වූයේ එලෙස යි.

කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාවය (විජේ ඩයස් 1: 55.14 සිට කථා කිරීමට පටන් ගනී)

හතරවන ජාත්‍යන්තරයෙන් පැබ්ලෝවාදයට එරෙහිව සටන් කිරීම සහ තුරන් කිරීමටත් එහි විප්ලවීය ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල බේරා ගැනීමටත් සඳහා 1953 දී හජාජාක ආරම්භ කෙරුනා. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, දිගුකාලීන අරගලයකින් පසුව, 1985-86 දී සංශෝධනවාදයට එරෙහි අරගලය සාර්ථක අවසානයකට ගෙන ඒමට හජාජාක සමත් වුනා. මෙම අරගලය පිලිබඳ පොතක-දිග වාර්තාව සහ මෙම කලාපයේ එහි වැදගත් පාඩම්, දැන් අන්තර්ජාලයෙන් ලබා ගත හැකි සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව)ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නම් වූ ලේඛනයේ ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාවේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ සසප ගත් උත්සාහයන් 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීම මගින් විශාල ලෙස ශක්තිමත් වුනා. ඒ හරහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම සඳහා හජාජාක අරගලය සෑම මහද්වීපයකම වැඩ කරන ජනතාවගේ සහ තරුනයින්ගේ ක්ෂනික අවධානයට යොමු වුනා.

ඓතිහාසික අවශ්‍යතාවය සහ ලෝක සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය කම්කරු පන්තිය වෙත ගෙන ඒමේ අරගලයේ වලංගුභාවය වෙන කවරදාටත් වඩා අද හෙලි වී තිබෙනවා. ඒ අතරම, එම අරගලයට විරුද්ධ වූ, විවිධ මහජන පෙරමුනු යටතේ, ම්ලේච්ඡ ධනවාදය සහ ප්‍රභූ පන්තියේ පාලනය ආරක්ෂා කිරීම සඳහා එම පක්ෂ හා කන්ඩායම් විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාව තත්වය විසින් අනාවරනය කර තිබෙනවා. මෙය ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා ඉන්දියාවේ වඩාත් පැහැදිලියි.

සත්‍ය සංඛ්‍යාලේඛන අතැතිව, පෙර කථිකයන් ලෝක පරිමානයෙන් සහ විශේෂයෙන් ඉන්දියාවේ ධනවාදී පාලනයෙන් වැඩකරන ජනතාවට සහ පීඩිත දුප්පතුන්ට සිදු වූ ඛේදජනක තත්වය කුමක්දැයි පැහැදිලි කලා. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කලාපයේ යුද ආතතීන් උත්සන්න කිරීම හේතුවෙන් සිදුවීමට නියමිත ව්‍යසනය මෙම තත්වය තවත් උග්‍ර කරනු ඇති අතර චීනයට එරෙහි ප්‍රහාරයේ දී ඉන්දියාව බලල් අතක් බවට පත්කිරීමට ඔවුන් දැනුවත් ව ක්‍රියා කරනවා. කොන්ග්‍රස් පක්ෂය ඇතුළු සෑම ධනේශ්වර පක්ෂයකම ස්වෝත්තමවාදී පුරසාරම් දෙඩීම් තිබියදීත්, ශක්තිමත්ම අධිරාජ්‍යවාදී මිලිටරි බලයට ඔවුන්ගේ පූර්න යටහත්කම ප්‍රදර්ශනය කර තිබෙනවා. කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන පොලිස්කාරයා ලෙස ඉන්දීය ධනේශ්වරය, මුළු දකුනු ආසියාවම න්‍යෂ්ටික යුද්ධයක සංක්ෂෝභයකට ගෙන ඒමට දැඩි උත්සාහයක් දරනවා.

වසංගතය සහ යුද ආතතීන් උත්සන්න වීම හේතුවෙන් වැඩිවෙමින් පවතින විනාශයට වගකිව යුතු පාලක පන්තියට එරෙහිව මෙම කලාපයේ මෙන්ම ලොව පුරා වැඩ කරන ජනතාවගේ ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතිනවා. පසුගිය වසරේ ඉන්දියාවේ මහා වැඩ වර්ජන දෙකක් සහ මාස හයකට වැඩි කාලයක් තිස්සේ ගොවීන් දස දහස් ගනනක් විරෝධතාවයකට සම්බන්ධ වී සිටිනු අපි දුටුවා.

ජෝ සහෝදරයා සිය අදහස් දැක්වීමේදී පැහැදිලි කල පරිදි: “පසුගිය වසරේ අත්දැකීම් නිෂ්ඵල නොවීය, එය ලොව පුරා සිටින කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විඤ්ඤානය කෙරෙහි ප්‍රබල රැඩිකල් බලපෑමක් ඇති කර තිබේ. ලොව පුරා සිටින කම්කරුවන් සඳහා වැඩසටහන සහ ඉදිරිදර්ශන පිලිබඳ විවේචනාත්මක ප්‍රශ්න මතු කර ඇත.”

සෑම දිනකම හජාජාක සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ආමන්ත්‍රනය කරනු ලබන ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ප්‍රශ්න මේවා ය.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සෑම රටකම කම්කරුවන්ගේ සෑම සටන්කාමී මුලපිරීමක්ම පාවා දෙන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු දාමයක් සංවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවය වෙනවා. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා හජාජාක විසින් නිකුත් කරන ලද කැඳවුමට අනුකූලව ක්‍රියාකාරී කමිටු ලෝක පරිමානයෙන් සම්බන්ධීකරනය කල යුතුයි. මෙය ගෝලීය වසංගතය හා ලෝක යුද්ධයට සමාජවාදී විසඳුමක් සඳහා වන ගෝලීය අරගලයකට මාවත සකසනවා.

මෙම වැඩපිලිවෙල සාක්ෂාත් කර ගැනීම සඳහා තීරනාත්මක කාර්යය වන්නේ ඉන්දියාව ඇතුළු සෑම රටකම හජාජාක ශාඛා ගොඩනැගීමයි. දකුනු ආසියාවේ සමාජවාදී රාජ්‍යයන්ගේ සමූහාන්ඩුවක් සඳහා වූ වැඩපිලිවෙල සාක්ෂාත් කරගත හැකි එකම ක්‍රමය එයයි. මෙම කලාපයේ හජාජාකහි ශ්‍රී ලංකා ශාඛාව විසින් ආරම්භ කරන ලද අරගලයට එක්වන ලෙස අපි අද සියලු ශ්‍රාවකයින්ට ආරාධනා කරනවා.

Loading