ඉදිරිදර්ශන

කම්කරු පන්තිය වෙනුවෙන් දිවිපිදුවෙක්: බොරු නඩුවකින් සිරගත කල මරුටි සුසුකි කම්කරු ජියාලාල් 35වන වියේදී මිය යයි

[පහත පලවෙන්නේ A working class martyr: Framed-up Maruti Suzuki worker Jiyalal dead at age 35  යන මැයෙන් ඊයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි .]

මිනීමැරුම් චෝදනා මත ඉන්දියානු අධිකරනයක් විසින් 2017 දී ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද මරුටි සුසුකි මෝටර් රථ සේවකයින් 13 න් එක් අයෙකු වන ජියාලාල්  35 වියේදී මිය ගියේය. ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙන තනි විය.

ජියාලාල්ගේ අකල් මරනයට ඉන්දීය ආන්ඩුව සාපරාධී වගකීමෙන් බැඳී සිටියි. අස්ථි පද්ධතියේ පිලිකාවක් ඇති බව දැනගත් පසුවත් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඔවුහු ප්‍රතික්ෂේප කලහ. අත්අඩංගුවට ගැනීමේදී ජියාලාල්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඇති අතර, අනෙක් මරුටි සුසුකි කම්කරුවන් සමඟ සිරගෙදර නරකාදි තත්වයක රඳවා තැබුනි.

ජියාලාල් (1985 - 2021)

ජියාලාල් කම්කරු පංතියේ වීරවරයෙක් වන අතර පාලක පන්තියේ ඊනියා යුක්තියේ ගොදුරක් විය. ඉන්දියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව අරගලයට අවතීර්න වන කම්කරුවන්, මරුටි සුසුකි කම්කරුවන්ට එරෙහිව අනුගමනය කරනු ලබන කුරිරු නෛතික පලිගැනීම පිලිබඳව දැනුවත් විය යුතු අතර, සිරගත කර සිටින 11 දෙනාගේ නිදහස වෙනුවෙන් දරන, ඔවුන්ගේ  උත්සාහය දෙගුන කල යුතුය

ඉන්දියාවේ  දිල්ලි අගනුවරට නුදුරින් පිහිටි දැවැන්ත ගුර්ගෝන්-මැනේසර් කාර්මික කලාපයේ පිහිටි මරුටි-සුසුකි හි මැනේසර් කාර් එකලස් කිරීමේ කම්හලේ ජියාලාල් ප්‍රසිද්ධ සටන්කාමී කම්කරුවෙකි. ජියාලාල්ගේ මරනයට පෙර වසංගතය හේතුවෙන්, තාවකාලිකව බන්ධනාගාරයෙන් නිදහස් කල කම්කරුවන් 13 දෙනාගෙන් කෙනෙකු, සිය ගොවිපොලේදී විදුලි සැර වැදීමෙන් මිය ගියේය.

පොලීසිය, උසාවි සහ හර්යානා ප්‍රාන්ත සහ ඉන්දීය ජාතික ආන්ඩු විසින් ජියාලාල් සහ  අනෙකුත් අය දඬු ගැසීමට ඉලක්ක කර ගත්තේ, ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානයට අයත් මරුටි සුසුකි වැනි සංගත වලට දැවැන්ත ලාභ උපයා ගැනීමට ඉඩ සලසමින් එරට ලාභ ශ්‍රම තටාකයක් බවට පත් කිරීමේ පාලක ප්‍රභූ පැලැන්තියේ පන්ති යුද්ධ න්‍යාය පත්‍රයට එරෙහි වීමට ඔවුන් උත්සාහ කල බැවිනි. .

 එකලස් කිරීමේ කම්හලේ කම්කරුවෝ 2011 දී, ආන්ඩුවේ අනුග්‍රය ලත්, සමාගම් ගැති වෘත්තීය සමිතියට එරෙහිව, තමන්ගේම වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා සටන්කාමී අරගලයක් දියත් කලහ. වසරක කටුක වැඩ වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පසුව,  ගෝලීයව ඉන්දියාව ඒකාග්‍ර කල කාර්මික අංශය පුරා පවතින දරිද්‍රතා වැටුප් හා වහල් සේවා කොන්දේසි තුරන් කිරීමේ අරමුනින්, 2012 දී මරුටි සුසුකි කම්කරු සංගමය (එම්එස්ඩබ්ලිව්යූ) පිහිටුවීමට ඔවුහු සමත් වූහ.

මරුටි සුසුකි කම්කරු අරගලය, ගුර්ගෝන් කාර්මික කලාපය පුරා සිටින කම්කරුවන් ආකර්ශනය කරගන්නා ධ්‍රැවයක් බවට පත්වෙමින් තිබෙන බව වටහා ගත් කලමනාකාරිත්වය, ඊට කෝපාවිෂඨ ප්‍රතිචාරයක් දැක්වීය. ඔවුන් කම්හල තුල කලහයක් ඇවිල වූ අතර ඒ අතරවාරයේ හටහත් අභිරහස් ගින්නකින් කම්හලේ අරගලයට සහාය දැක්වූ මානව සම්පත් කලමනාකරුවෙකු වන අවනිෂ් කුමාර් දේව්ගේ දිවි තොර විය. මෙම ගැටුම ඇරඹුනේ එක් කලමනාකරුවෙක්, [ස්පර්ශ නොකල යුතු යැයි කියන] දාලිත්වරුන්ගෙන් පැවත එන ජියාලාල්ට එරෙහිව අප්‍රසන්න ලෙස කුලවාදය පදනම් කරගෙන බැන වැදීමෙන් පසුවය.

ගින්නෙන් පසුව, ජියාලාල් සහ එම්එස්ඩබ්ලිව්යූ හි විධායක සාමාජිකයින් 12 දෙනාට, දේව්ගේ ඝාතනය සැලසුම් කල බවට චෝදනා එල්ල විය.

ඉන් පසුව මරුටි සුසුකි කම්කරුවන්ට එල්ලවූ ම්ලේච්ඡ මර්දනය පෙර නොවූ විරූ ය. සමාගම විසින් සපයන ලද ලැයිස්තු භාවිතා කරමින් පොලිසිය, කම්කරුවන් 150 කට අධික පිරිසක් බලහත්කාරයෙන් රැස්කර ඔවුන්ට පීඩා කලේය. 2012 අගෝස්තු මාසයේදී කම්හල නැවත විවෘත කිරීමට පෙර කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් හර්යානා ප්‍රාන්ත ආන්ඩුව, සමාගම විසින් පූර්න කාලීන හා කොන්ත්‍රාත් සේවකයින් 2,300 ක්-සමස්ථ කම්කරුවන් ගනනම පාහේ- සේවයෙන් නෙරපීම අනුමත කලේය .

මරුටි සුසුකි 13ට එරෙහි නඩු විභාගය නීතිමය විකාරයකි. එම්එස්ඩබ්ලිව්යූ වට “පක්ෂපාත” වනු ඇතැයි යන පදනම මත විනිසුරුවරයා, කම්කරුවන්ගේ සියලු සාක්ෂි අත්තනෝමතික ලෙස බැහැර කලේය. පොලිසිය විසින් පුරුදු පුහුනු කරන ලද සාක්ෂිකරුවන් ලවා  සාක්ෂි නිර්මානය කරන ලදී. ඔප්පු කිරීම පිලිබඳ වගකීම් භාරය කම්කරුවන් මත පටවන ලද අතර, විනිසුරුවරයා ප්‍රකාශ කලේ,  වෙනත් අයෙකු කර්මාන්ත ශාලාවේ ගින්න ඇවිලවූ බව ඔප්පු කිරීමට කම්කරුවන්ට නොහැකි නම්, ඔවුන්ම එය කල බවට මෙය සාක්ෂියක් වනු ඇති බවය.

මෙම දඩයම සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින්ම අධීක්ෂනය කරන ලදී. එය ආරම්භ වූයේ හර්යානා හි කොන්ග්‍රස් පක්ෂ ආන්ඩුව යටතේ සහ ජාතික මට්ටමින් ය. හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව බලයට පත්වීමෙන් පසුව එය බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යනු ලැබීය. සමස්තයක් ලෙස පාලක පන්තියේ දෘෂ්ටිය සාරාංශ ගතකර, කම්කරුවන් එල්ලා මරා දමන ලෙස තර්ක කරමින්, විශේෂ රජයේ නීතිඥ අනුරග් හූඩා ප්‍රකාශ කලේ, “අගමැති නරේන්ද්‍ර මෝදි 'මේක් ඉන් ඉන්ඩියා(ඉන්දියාවේ නිපදවමු)' යැයි කියා සිටින නමුත්, මෙවැනි සිදුවීම් වලින් අපගේ ප්‍රතිරූපය කෙලෙසේ " යනුවෙනි

“මේක් ඉන් ඉන්ඩියා” යනු අඩු වැටුප්, ශ්‍රම වහල් කොන්දේසි සහ කම්හල් කලමනාකරනයේ අත්තනෝමතික පාලනය මත පදනම්ව, ආයෝජනයේ ප්‍රමුඛ තැනක් බහුජාතික සමාගම් වලට ලබාදෙන තැනක රට පැලපදියම් කිරීමේ ඉන්දීය පාලක ප්‍රභූ පැලැන්තියේ න්‍යාය පත්‍රයයි. බීජිනය සමඟ වොෂින්ටනයේ ගැටුමේ දී ඉන්දියාව පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම ද ඇතුළුව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන කලාපීය සගයා ලෙස සේවය කරමින්, චීනය අබිබවා යාමට ඉන්දියානු පාලක පන්ති අධිෂ්ඨානයේ ආර්ථික හස්තය එයයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝසවෙඅ, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ගෝලීය උද්ඝෝෂනයක් දියත් කරමින් මරුටි සුසුකි කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රතිචාර දැක්වූ  අතර එයට පුළුල් සහයෝගයක් ලැබුනි.

ඉන්දියානු ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය - මාක්ස්වාදී (සීපීඑම්) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ඇතුළු වෘත්තීය සමිති, මරුටි සුසුකි කම්කරුවන් අතහැර දැමූහ. ගුර්ගෝන්වල සැලකිය යුතු සහයෝගයක් ඇති සීපීඑම් සහ සීපීඅයි, මරුටි සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කිසිදු උද්ඝෝෂනයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කලහ. වෙනත් සේවා යෝජකයන් “මරුටි සුසුකි අනුගමනය කරන්න” යැයි තර්ජනය කරන බව, එනම් ශාරීරික හිංසනය සහ නීතිමය පලිගැනීම් භාවිතා කරමින්  සටන්කාමී කම්කරුවන් දඩයම් කරන බව, ඔවුන්ගේම පුවත්පත්වල මුද්‍රනය කර තිබියදීත්, ඔවුන් හිතාමතාම කම්කරුවන් හුදෙකලා කලේය.

ස්ටැලින්වාදීන් මෙම කාර්යභාරය ඉටු කලේ, මහා ව්‍යාපාරික කොන්ග්‍රස් පක්ෂය සමඟ ඔවුන්ගේ දේශපාලන සන්ධානය අනතුරේ හෙලීමට අකමැති වූ නිසාත්, මරුටි සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා වන ඕනෑම අරගලයක් වේගයෙන් සියතින් ගිලිහී යමින්, පුලුල් කම්කරු පන්ති ව්‍යාපාරයක් තුල ප්‍රකාශයට පත්වනු ඇතැයි ඔවුන් බිය වූ නිසාත් ය. 

මෙම හුදකලාව මඟහරවා ගැනීමටත්, බොරු නඬුවලට ගොදුරු වූ ඉතිරි මරුටි සුසුකි කම්කරුවන් 11ගේ නිදහස සඳහා වූ ගෝලීය උද්ඝෝෂනය පනගැන්වීමට, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව සිදු වන පන්ති අරගලයේ පුනර්ජීවනය, වෛෂයික කොන්දේසි නිර්මානය කරයි.

පසුගිය මාස 18ක කාලය පුරා ඉන්දියානු කම්කරුවන්, පුද්ගලීකරනය, ව්‍යාපාරික සීමා කොන්දේසි ඉවත් කිරීම, කොන්ත්‍රාත් ශ්‍රම භාවිතය පුළුල් කිරීම සහ කම්කරු වෘත්තීය කටයුතු බොහොමයක් තහනම් කිරීම ඇතුළු මෝඩි ආන්ඩුවේ ආයෝජක ගැති ප්‍රතිසංස්කරන වලට එරෙහිව වැඩ වර්ජන හා මහජන විරෝධතාවලට සහභාගී වී තිබේ. 2020 දී රටපුරා සිදු වූ මහා වැඩ වර්ජන දෙකක දී මිලියන ගනනක් කම්කරුවෝ, පාලක පන්තියේ මෙම ප්‍රහාරයට එරෙහිව එකට සම්බන්ධවූ විරෝධතා පැවැත්වූහ.

තමිල්නාඩුව සහ කර්නාටක ඇතුළු දකුනු ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවන්, දරිද්‍රතා වැටුප් හා වසංගතය තුල පවත්වාගෙන යනු ලබන භයානක සේවා කොන්දේසි වලට එරෙහිව වැඩ වර්ජන කර තිබේ. සේවක වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය මාසයේදී, හියුන්ඩායි සහ රෙනෝල්ට් නිසාන් බහුජාතික සමාගම් වලට තම කම්හල් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

කම්කරු පන්තියේ නැගීම ගෝලීය ක්‍රියාවලියකි. මෑත මාසවලදී ඇලබාමා හි වොරියර් මෙට් ගල් අඟුරු පතල් කම්කරුවන්, මැසචුසෙට්ස්හි ශාන්ත වින්සන්ට් හෙදියන් සහ ඒටීඅයි වානේ කම්කරුවන් ඇතුළු එක්සත් ජනපදය පුරා කම්කරුවන් විසින් සැලකිය යුතු වැඩ වර්ජන මාලාවක නිරතව තිබේ. වසංගතය පැවති සමයේ පාසල්වල අනුගමනය කල භයානක සේවා කොන්දේසි වලට එරෙහිව එක්සත් ජනපදය හා යුරෝපය පුරා අධ්‍යාපන සේවකයන් ප්‍රමුඛ අරගල වල ද යෙදී සිටියේය.

මෙම අරගල, සංගත ගැති වෘත්තීය සමිති සමඟ වඩ වඩාත් සෘජු ගැටුමකට කම්කරුවන් යොමු කරයි. ඔවුන්ගේ ඉන්දියානු සගයන්ට අනුකූලව යමින් වෘත්තීය සමිති, කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීමට පූර්න සහයෝගය ලබා දෙමින්, වසංගතය පුරාම පාලක ප්‍රභූවේ, “ජීවිත වලට පෙර ලාභය” පිලිබඳ මූලෝපායට සහාය දී ඇති අතර, චීනයට එරෙහි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ  යුද මෙහෙයුම සාධාරනීකරනය  සඳහා රුදුරු ජාතිකවාදය ප්‍රවර්ධනය කර ඇත.

වෘත්තීය සමිති නිලධරයට එරෙහි කම්කරුවන්ගේ කැරැල්ල එහි වඩාත්ම දියුනු ප්‍රකාශනය සොයාගෙන ඇත්තේ, වර්ජිනියාවේ ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක්ස් නිව් රිවර් වැලි කම්හලෙහි ය. එහිදී කම්කරුවන්, සමාගම විසින් ඉල්ලා සිටින ලද සහන පිදෙන කොන්ත්‍රාත්තුවක් කම්කරුවන්ට ගිල්ලීම සඳහා එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය දරන උත්සාහයට විරුද්ධව සාමාජික කමිටුවක් පිහිටුවාගෙන  තිබේ. 

මෙම කොන්දේසි යටතේ, මරුටි සුසුකි 11 වහාම නිදහස් කිරීම සහ දඬුවම් ඉවත් කිරීම සඳහා මරුටි සුසුකි කම්කරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්, එක්සත් ගෝලීය ව්‍යාපාරයක් වෙනුවෙන් ඉන්දියාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ට කරනු ලබන ආයාචනයට  ප්‍රබල ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.

එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්, කැනඩාවේ නිකල් පතල් කම්කරුවන් සහ බ්‍රිතාන්‍යයේ බස් රියදුරෝ,  ම්ලේච්ඡත්වය ඉන්දියාවට හෝ මරුටි සුසුකි සමාගමට පමනක් ආවේනික නොවන බව, සිය අත්දැකීමෙන්ම දනිති. පසුගිය මාස 18 තුල, ධනේශ්වර රාජ්‍යයේ සියලුම ආයතන සහ වෘත්තීය සමිතිවල ඔවුන්ගේ කනිෂ්ඨ හවුල්කරුවන්, මාරක වසංගතය අවධියේ, කම්කරුවන් රැකියාවට දැක්කීම සඳහා කුමන්ත්‍රනය කර ඇති අතර, එක් අතකින් ගනන් කල නොහැකි සේවක මරන වලට ද අනෙක් අතට දැවැන්ත ධන සමුච්ඡයකට ද තුඩු දුන් අයුරු ද ඔවුන් අත්දැක තිබේ. 

එවැනි උද්ඝෝෂනයක් දියත් කිරීම සඳහා අවශ්‍ය සංවිධාන රාමුව, සාමාජික ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය විසින් ඉදිරිපත් කර තිබේ. මේ වසරේ මැයි දින රැලියේදී හතරවන  ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් එය දියත් කරන ලදී. සාක්‍රිකජාසං හි ආරම්භක ප්‍රකාශය පැහැදිලි කල පරිදි, එය කර්මාන්තශාලා, පාසල් සහ සේවා ස්ථානවල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී සහ සටන්කාමී  සංවිධාන සඳහා නව රාමුවක් ජාත්‍යන්තර පරිමානයෙන් වර්ධනය කිරීමට උත්සාහ කරයි. කම්කරු පන්තිය සටන් කිරීමට සුදානම්, නමුත්,  ප්‍රතිරෝධයේ සෑම උත්සාහයක්ම යටපත් කරන ප්‍රතිගාමී නිලධර සංවිධාන විසින් ඒවාට විලංගු දමා ඇත. ”

මෙම ජාතිකවාදී, ධනවාදී ගැති සංවිධානවලට එරෙහිව, ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමේ පදනම වන්නේ, කම්කරු පන්තිය තුල සමාජවාදී දේශපාලන නායකත්වය සඳහා වන අරගලයයි.

මරුටි සුසුකි පංති යුද සිරකරුවන්ගේ නිදහස ඉල්ලා සිටින ලෙස, අනෙකුත් සියලුම ආර්ථික ක්ෂේත්‍රවල කම්කරුවන්ගෙන් මෙන්ම, ඉන්දියාවේ, උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන්  අපි ඉල්ලා සිටිමු. මරුටි සුසුකි කම්කරුවන්ට සහාය දක්වන ප්‍රකාශ ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවා ඔබේ සේවා ස්ථානයේ කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගමින් ඒවායේ ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීම සඳහා වීමට තීරනය කරන්න.

ඉන්දියාවේ කම්කරුවන් 13 ජීවිතාන්තය දක්වා සිරගෙට: බොරු චෝදනා මත දන්ඩනයට ලක් කෙරුනු මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - පලමු කොටස: විකෘත යුක්තිය

Loading