යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය වෙත වොල්වෝ කම්කරුවන්ගේ විවෘත ලිපිය: “ජයග්‍රහනය උදෙසා ඔබගේ මූලෝපාය කුමක් ද?”

[මෙහි පලවෙන්නේ Volvo workersopen letter to the UAW: “What is your strategy for victory? යන මැයෙන් 2021 ජූනි 14 වනදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

යූඒඩබ්ලිව් ජාත්‍යන්තර සභාපති රෝරි ගැම්බල්, යූඒඩබ්ලිව් ලේකම් හා භාන්ඩාගාරික රේ කරී හා යූඒඩබ්ලිව් ලෝකල් 2069 සභාපති මැට් බ්ලොන්ඩිනෝ වෙත, වර්ජිනියාවේ නිව් රිවර් වැලි කර්මාන්තශාලාවේ වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුව (වීඩබ්ලිව්ආර්එෆ්සී) යවන ලද විවෘත ලිපියක් පහත පහල වේ. volvowrfc@gmail.comවෙත ලිවීමෙන් හෝ (540) 307-0509 වෙත පනිවුඩ යවමින් වොල්වෝ හා මැක් කම්කරුවන් සම්බන්ධ කරගත හැකි ය.

යූඒඩබ්ලිව් ජාත්‍යන්තර සභාපති රෝරි ගැම්බල්, යූඒඩබ්ලිව් ලේකම් හා භාන්ඩාගාරික රේ කරී හා යූඒඩබ්ලිව් ලෝකල් 2069 සභාපති මැට් බ්ලොන්ඩිනෝ වෙත විවෘත ලිපියක්

ජුනි 14, 2021

රෝරි ගැම්බල්, රේ කරී හා මැට් බ්ලොන්ඩිනෝ වෙත:

ජුනි 7 සඳුදා, යූඒඩබ්ලිව් ජාත්‍යන්තර වෘත්තීය සමිතිය, නිව් රිවර් වැලි කර්මාන්තශාලාවේ වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන් වන අප, මාස දෙකක් තුල දෙවන වරටත් වැඩ වර්ජනයට කැඳවීය. වැඩ වර්ජනය පැමිනියේ, ඔබ ඡන්දය සඳහා යලි යොමු කර තිබූ, වොල්වෝ සමාගම සමග දෙවන තාවකාලික ගිවිසුම අප විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය. සියයට 90, 91 පමන අතිමහත් පරතරයකින්, පලමු හා දෙවන තාවකාලික ගිවිසුම් දෙක ම අපි පරාජය කලෙමු.

වොල්වෝ කම්කරුවන් අප්‍රේල් මාසයේ පලමු වැඩ වර්ජනය සමයේ (යූඒඩබ්ලිව් ලෝකල් 2069/ ෆේස්බුක්)

මේ වන විට, අපි සතියක් පුරා පිකට් වැටවලට සම්බන්ධවී සිටියේ නමුත්, වෘත්තීය සමිතිය සටන් කරන්නේ කුමක් සඳහා ද, ඊලඟ ගිවිසුම පැරනි ගිවිසුම් දෙකෙන් වෙනස් වන්නේ කෙසේ ද, යූඒඩබ්ලිව් මෙම වැඩ වර්ජනය ජයග්‍රහනය කිරීමට අපේක්ෂා කරන්නේ කෙසේ ද යන්න ආදිය සාමාන්‍ය කම්කරුවන්ට කියා නැත.

නිව් රිවර් වැලි වොල්වෝ කර්මාන්තශාලාවේ සාමාන්‍ය කම්කරුවන් වන අපි, පහත ප්‍රශ්නවලට පිලිතුරු ඉල්ලා සිටිමු:

1. වොල්වෝ සමාගම සමග සාකච්ඡාවල දී ඔබගේ ඉල්ලීම් මොනවා ද?

වොල්වෝ සමාගමෙන් ඔබ ඉල්ලා සිටින්නේ කුමක්දැයි නිවැරදි ව දැන ගැනීම අපට අවශ්‍ය ය. මේ දක්වා රේ කරීගේ වචනවලින් අපට අසන්නට ලැබී ඇත්තේ, “සමාගම හා එහි සේවකයන් යන දෙපාර්ශවයට ම ඔබින්නා වූ” ගිවිසුමකට ඔබ කැප වී සිටින බව ය.

එහෙත්, සමාගම හා කම්කරුවන් යන දෙපාර්ශවයට ම “ඔබින” ගිවිසුමක් තිබුනේ නම්, වැඩ වර්ජනයක් නො පවතිනු ඇත. එහි ආයෝජකයන්ට හා විධායක නිලධාරීන්ට බිලියන ගනන් අඛන්ඩව ලබා දීම වොල්වෝ සමාගමට අවශ්‍ය ය. දශක ගනනාවක් තිස්සේ අපෙන් සහන උදුරා ගැනීමෙන් පසුව, ශිෂ්ට සම්පන්න වැටුප්, සෞඛ්‍යාරක්ෂනය හා විශ්‍රාමිකයන්ට ආරක්ෂාව අපට අවශ්‍ය වේ.

උද්ධමනයේ වාර්ෂික මිනුම වන එක්සත් ජනපද පාරිභෝගික මිල දර්ශකය, පසුගිය මාසයේ දී සියයට 5 දක්වා නැගුනි. මෙහි අර්ථය වන්නේ, ආහාර, ගෑස්, ඇඳුම් හා අනෙකුත් මූලික අවශ්‍යතාවල ඉහල යන පිරිවැය සමග කරට කර සිටීම පමනක්, අපේ වාර්ෂික වැටුප් සියයට 5කින් ඉහල යා යුතු බව ය. අපි ප්‍රතික්ෂේප කල අවසන් කොන්ත්‍රාත්තුව, ඉහල කම්කරු වැටුප් වසරකට යන්තම් සියයට 2කින් පමනක් ඉහල දැමීම යෝජනා කල අතර, ඉන් අදහස් වන්නේ, මධ්‍ය කම්කරුවන් හා අවසානයේ වැටුප් පරිමානයේ ඉහලට ලඟා වන සියලු දෙනාට, සැලකිය යුතු මුදල් ප්‍රමානයක් අහිමි වනු ඇති බව යි.

“වැටුප් වැඩිකිරීම්, රැකියා ආරක්ෂාව, වැටුප් වර්ධක, නිපුන වෘත්තීන්, වැඩමුර වාරික, නිවාඩු දින වැඩසටහන්, සෞඛ්‍යය හා ආරක්ෂාව, ජ්‍යෙෂ්ඨත්වය, විශ්‍රාම වැටුප්, විශ්‍රාම යෝජනා ක්‍රම, සෞඛ්‍යාරක්ෂනය, ඖෂධ වට්ටෝරු ආවරනය හා අතිකාල” ඇතුලු තවමත් නො විසඳන ලද “බොහෝ මාතෘකා” පවතින බව කරී තව දුරටත් කීවේ ය. එනම්, කලින් ගිවිසුම්වල දී ඔබ පිලිගත් සියලු දේවල්මයි! නමුත් දත්ත තුල ඇත්තම කතාව ගැබ්ව තිබෙන අතර යූඒඩබ්ලිව් සමිතිය යෝජනා කරමින් සිටින්නේ කවරක්දැයි පිලිබඳව කරී කිසිවක් කීවේ නැත.

එම නිසා අපට මෙය කියන්න: සැබෑවට ම වැටුප් සඳහා ඔබගේ සැලසුම කුමක් ද? උද්ධමනයට ගැලපෙන ජීවන වියදම් ප්‍රතිපාදනයක් ඔබ ඉල්ලනවා ද? බහු-ස්ථර වැටුප් හා ප්‍රතිලාභ පද්ධතිය අවසන් කිරීමට හා පැය අටේ වැඩ දිනය පවත්වාගෙන යාමට ඔබ යෝජනා කරන්නෙ කවරක් ද? විශ්‍රාමිකයන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමට ඔබ කුමක් කරන්නේ ද?

2. වැඩ වර්ජන දීමනාව ලෙස සතියකට ඔබ ඩොලර් 275ක් පමනක් ගෙවන්නේ ඇයි?

අපට වැඩ වර්ජන දීමනාව වසයෙන් ඩොලර් 275ක් පමනක් ලැබෙනු ඇති බවත්, ජුනි 21දා වන විට ඊට අදාල චෙක්පත් “ලබාගත හැකි වනු” ඇති බවත්, 2069 ලෝකල් සභා නායකත්වය කියා ඇත. මධ්‍යම ආන්ඩුවේ දරිද්‍රතා මට්ටමටවත් ලඟා නො වන මෙම ආදායමෙන් අපට ජීවත් විය නො හැකි බව ඔබ දනියි. ඊට අමතරව, සමාගම විසින් අපේ සෞඛ්‍යාරක්ෂන වියදම් කපා තිබෙනු ඇති අතර, උපකල්පිත “පද්ධතිමය බිඳ වැටීමක්”හේතුවෙන්, අප බොහෝ දෙනාට අපේ ඖෂධ වට්ටෝරු පිරිවැය ආවරනය කරගත නො හැකි වනු ඇත්තේ, වඩාත් ම අවම සේවාවන් පමනක් යූඒඩබ්ලිව් විසින් ආවරනය කරනු ලැබීම හේතුවෙනි.

ජීවත් විය හැකි වැඩ වර්ජන වැටුප හුදෙක් ආර්ථික වසයෙන් නො නැසී පැවැත්ම පිලිබඳ කාරනයක් නො වේ. අප සටන් කිරීමට සූදානම් බව ද සමාගමට පෙන්වා දීම අවශ්‍ය ය.

මේ දැන් ගතවන්නේ 1930 ගනන් නො වේ. යූඒඩබ්ලිව් සමිතියට ඇත්තේ අමාරු වැඩක් නො වේ. එය අතිශය බහුල සම්පත් පවතින යෝධ ආයතනයකි. වැඩ වර්ජන අමුදල පමනක් ඩොලර් බිලියනයකින් හතරෙන් තුනක් පමන වේ. යූඒඩබ්ලිව් ජාත්‍යන්තරය, අධික ලෙස අධිහානිපූරනයන් ලබන, විශාල නිලධාරී තන්ත්‍රීය කාර්ය මන්ඩලයකින් සමන්විත වේ. කම්කරු දෙපාර්තමේන්තුවට යූඒඩබ්ලිව් සමිතිය 2020 දී ඉදිරිපත් කල ලිපිගොනුවලට අනුව, පසුගිය වසරේ ජාතික මූලස්ථානයේ නිල පඩිපත් ලැයිස්තුව ඩොලර් මිලියන 80 ඉක්මවා ගිය බව අපි දනිමු.

වසරකට ඩොලර් 200,000ට වඩා ගෙවීම් ලබන යූඒඩබ්ලිව් නිලධාරීන් 17ක් ද ඩොලර් 100,000ට වඩා උපයන 450ට වැඩි පිරිසක් ද සිටිති. යූඒඩබ්ලිව් ජාතික කාර්ය මන්ඩලයේ සතියක සාමාන්‍ය ආදායම ඩොලර් 2,300 ඉක්මවන අතර, එය, වැඩ වර්ජන වැටුප් වසයෙන් අපට ලැබෙන ප්‍රමානය මෙන් අට ගුනයටත් අධික ය.

“දේශපාලන ක්‍රියාකාරකම් හා ප්‍රචාරනය” යටතේ ලැයිස්තුගත කරනු ලබන ආදායම් සහිත නිලධාරීන් ද පඩිපත් ලැයිස්තුවේ සිටී. බයිඩන් ඇතුලු ඩිමොක්‍රටික් දේශපාලනඥයන්ට අරමුදල් සැපයීම සඳහා යෝධ සම්පත් යූඒඩබ්ලිව් විසින් වැය කරනු ලබයි. එහෙත්, මේ කිසිවකින් අපට ඇත්තට ම ප්‍රතිලාභ ලැබී ඇත්තේ කෙසේ ද? තමන් “කම්කරු-ලැදි” බව ඩිමොක්‍රටිකයන් කියාපෑවත්, ඩිමොක්‍රටිකයන් වේවා රිපබ්ලිකානුවන් වේවා කවුරුන් බලයේ සිටියත් කිසිවක් වෙනස් වන බවක් අපට නො පෙනේ. මෙහි වර්ජිනියාවේ දී, අපේ වැඩ වර්ජනය බිඳීම සඳහා, හොරිකඩ කම්කරුවන් ගෙන ඒමට සමාගමට උදව් කිරීම පිනිස උපදෙස් දෙමින් සිටින්නේ, ෆ්‍රෑන්කි මාචන්ඩ්ගේ මිතුරෙක් හා ඩිමොක්‍රටික් ආන්ඩුකාරයෙක් වන රැල්ෆ් නෝදම් ය.

තව ද, සමාගම්-ගැති කොන්ත්‍රාත්තු සම්මත කරගැනීමේ හිලව්ව ලෙස, අපේ සාමාජික මුදල් හොරකම් කිරීමට වැරදිකාරයන් වූ දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා, යූඒඩබ්ලිව් 2019 දී ඩොලර් මිලියන 2.3ක් නීති ගාස්තු ලෙස වියදම් කලේ ය.

රෝරි ගැම්බල්, ඔබ දැන් සිටින තනතුරේ සිටින්නේ, ඔබගේ පූර්වගාමීන්ගෙන් දෙදෙනෙක් වන ඩෙනිස් විලියම්ස් හා ගැරී ජෝන්ස්, දැන් (හෝ ඉදිරියේ දී) බන්ධනාගාරයට නියම වි සිටීම නිසා බව, සටහන් නො කර බැරි ය. අධිමිල ආහාර වේල් සඳහා ගෙවීමට කම්කරුවන්ගේ සාමාජික මුදල් වක්‍රව යොදාගැනීම සහ අනෙකුත් දේවලට අමතරව, යූඒඩබ්ලිව් නිලධරයන්ට සුරුට්ටු මිලට ගැනීම සඳහා ඩොලර් 60,000ක් (මෙය කම්කරුවන් 218කගේ සතියක වැඩ වර්ජන වැටුපට සමාන වේ) වියදම් කිරීම හේතුවෙන්, ජෝන්ස්ට සිර දඬුවම් නියම කලේ මෑතක දී ය.

ඩිට්‍රොයිට්හි “සහෝදරත්වයේ නිවස” අලුත්වැඩියා කිරීමට ද, පසුගිය වසරේ දී යූඒඩබ්ලිව් සමිතිය ඩොලර් මිලියන 6ට අධික ප්‍රමානයක් වියදම් කලේ ය. මෙම මුදල, සතියකට ඩොලර් 275ක වැඩ වර්ජන ගෙවීමක් ලබන 2,900ක් වන අප සියල්ලන්ගේ මාස දෙකක වැඩ වර්ජනය දීමනාවට ආසන්න වසයෙන් සමාන ය. ඉලිනොයි හා වොෂින්ටන් ඩී.සී. නගරවල එහි කාර්යාල ගොඩනැගීම සඳහා එය අතිරේක ඩොලර් මිලියන 3.5ක් ද වියදම් කලේ ය.

අපට සමා වෙන්න, නමුත් ඔබ ඔබගේ ප්‍රමුඛතාවන් වරද්දාගෙන ඇති බව පෙනේ. ඩිට්‍රොයිට්හි ජෙෆර්සන් මාවතේ ඔබගේ කාර්යාල අලුත් වැඩියා කිරීමට මුදල් වියදම් කරනු සහ සිය ගනනක් වන නිලධරයන්ගේ වරප්‍රසාදිත ජීවන රටාවක් සම්පාදනය කරනු වෙනුවට, අපේ සාමාජික මුදලින් ගොඩනගන යූඒඩබ්ලිව් සම්පත් අපේ වැඩ වර්ජනය පවත්වාගෙන යාම සඳහා යොදාගනු ලැබිය යුතු ය.

3. ජයග්‍රහනය සඳහා ඔබගේ මූලෝපාය කුමක් ද?

මෙය අපව වඩාත් ම වැදගත් ප්‍රශ්නය වෙත ගෙන එයි: මෙම වැඩ වර්ජනය ජයග්‍රහනය කිරීම සඳහා ඔබගේ මූලෝපාය කුමක් ද? වොල්වෝ සමාගමට මූලෝපායක් තිබෙන අතර සටනකට සූදානම් ය. සමාගම හුදෙක් අපගේ සෞඛ්‍යාරක්ෂනය කපා දමා ඇතිවා පමනක් නො වේ. හොරිකඩ කම්කරුවන් ගෙන ඒමටත්, මෙහෙයුම් අඛන්ඩව පවත්වාගෙන යාමටත්, එය පොලීසිය යොදා ගනිමින් ද සිටී. එය වනාහි ඩොලර් බිලියන 40ට වැඩි වාර්ෂික ආදායම් ලබන බහු-ජාතික සංගතයකි. සැලකිය යුතු දිගු කාලයක් අප පිකට් කරමින් කුසගින්නේ තබන ලද හොත්, එය විධානය කරන දෙය පිලිගැනීමට අපට සිදුවන බව එය දනී.

එහෙත් සමාගම ද ඉතා අනාරක්ෂිත ය. නව ට්‍රක් රථ සැපයීමේ දී තමන්ගේ භාන්ඩ ලේඛන ඌන බව වොල්වෝ සමාගම එහි කොටස් හිමියන්ට කියා ඇත. සැපයුම් හිඟයක් හේතුවෙන්, හාගර්ස්ටවුන් මැක් කර්මාන්තශාලාවේ තාවකාලික දොට්ට දැමීම් සදහා එය බල කරමින් සිටින අතර, සමාගමට එරෙහි එක්සත් සටනක් සඳහා වන බලගතු මනෝගතියක් පවතින බව, එහි කම්කරුවන් අපට කියා ඇත.

වැඩ වර්ජනයක ශක්තිය රැඳී තිබෙන්නේ, එක්සත් ක්‍රියාවන් හරහා, සමාගම මත සැලකිය යුතු ආර්ථික හා දේශපාලන හානියක් ජනනය කිරීමට, කම්කරුවන්ට පවතින හැකියාව තුල යි. එම නිසා ඔබගේ මූලෝපාය කුමක් ද? වැඩ වර්ජනයට යෝධ සහයෝගයක් පවතින බව අපි දන්නා වර්ජිනියාවේ සලේම්, මේරිලෑන්ඩ්හි හාගර්ස්ටවුන්, පෙන්සිල්වේනියාවේ ඇලන්ටවුන් ඇතුලු එක්සත් ජනපදයේ වොල්වෝ මෙහෙයුම් අඩාල කිරීම සඳහා ඔබ කරමින් සිටින්නේ කුමක් ද?

එක්සත් ජනපදයේ, කැනඩාවේ හා පුවෙටරිකෝ සිටින ඒඑෆ්එල්-සීඅයිඕ සමග එය අනුබද්ධ වී සිටී. අප මුහුන දෙන ප්‍රශ්නවලට ම මුහුන දෙන මෙම කම්කරුවන් බලමුලුගැන්වීමට කරනු ලැබෙමින් පවත්නේ කුමක් ද?

මෙම සන්දර්භය තුල, යූඒඩබ්ලිව් ජාත්‍යන්තරයේ ෆේස්බුක් පිටුව, අපේ අරගලය පිලිබඳව සටහනක්වත් පලකර නැති බව අපි සටහන් කරමු. යූඒඩබ්ලිව් විසින් නියෝජනය කරන කම්කරුවන් ද ඇතුලු අනෙකුත් කර්මාන්තශාලාවල කම්කරුවන්, අප වැඩ වර්ජනයක යෙදී සිටින බවවත් නො දන්නා බව අපට කියා ඇත.

තව ද, වොල්වෝ යනු, යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව තුල කම්කරුවන් දහස් ගනන් සිටින අන්තර්ජාතික සංගතයකි. එහෙත්, ලොව පුරා කම්කරුවන් අමතා අපේ අරගලය ගැන දැනුම් දීමට, ඔබ උත්සාහයක් දරන්නේ නැත.

ඔබ අපේ නියෝජිතයන් යයි කියාපෑවත්, ඔබගේ ක්‍රියාවන් සෑම අංශයකින් ම අපේ වර්ජනයට වලකැපීමට උත්සාහ දරන බව අපි දැකගනිමු.

ස්ථීර එකඟතාවකට එලඹෙන තෙක් වැඩ වර්ජනය අඛන්ඩව පවතිනු ඇතැයි මැට් බ්ලොන්ඩිනෝ කියයි. අපි ප්‍රතික්ෂේප කර ඇති ගිවිසුම්වලට වෙනස් ව ඔබ යෝජනා කරන්නේ කුමක්දැයි පිලිබඳව ඔබ අපට කිසිවක් කියා නැති තතු තුල, මෙය, සමාගමට වඩා අපට කරන තර්ජනයක් ලෙස පෙනේ. අපි දැනට මත් ප්‍රතික්ෂේප කර ඇති දෙය පිලිගන්නා තෙක්, අපට හුදකලාවේ පිකට් වැටවල කුසගින්නේ සිටින්නැයි ඔබ කියමින් සිටියි.

පැත්තකට වී බලා සිටිමින් මෙය සිදුවීමට අපි ඉඩ නො දෙන්නෙමු! ඔබගේ සහයෝගය සමගින්, අපට පාඩමක් ඉගැන්විමට හා ඔබගේ කොන්ත්‍රාත්තු දෙවරක් ඡන්දයෙන් පරාජය කිරීම නිසා අපට දඬුවම් දීමට, අපි වොල්වෝ සමාගමට ඉඩ නො දෙන්නෙමු.

1979 දී, එවකට යූඒඩබ්ලිව් සභාපති වූ ඩග්ලස් ෆ්‍රේසර් විසින් ක්‍රයිස්ලර් සමාගමට සහන උදුරා දුන් තැන් පටන් ගෙවී ගොස් ඇති 40 වසර තුල, සෑම කොන්ත්‍රාත්තුවක දී ම, යූඒඩබ්ලිව් සමිතිය සමාගම්වලට යෝධ හා ආපසු අත්පත් කරගත නො හැකි සහන පිදීම සිදු වී ඇත. අතීතයේ දී මෙය සාධාරනීකරනය කරන ලද්දේ, සමාගම “ආරක්ෂා කරගැනීමේ” අවශ්‍යතාවෙහි නාමයෙනි. වොල්වෝ වැනි මෙම සංගතයන් යෝධ ලාභ උපදවමින් සිටිද්දී පවා, දැන් සහන පිදීම දිගට ම කරමින් පවතී.

අපි අපේ ප්‍රශ්න ඉදිරිපත් කර ඇත, පහත පලවන්නේ අපගේ ඉල්ලීම් ය:

පලමුව, ඔබ යෝජනා කරන්නේ කුමක්දැයි සවිස්තරව අපට දැනුමේ දෙන ලෙස අපි ඉල්ලමු. ඔබ නො තකා හරින ලද මැයි 20 දිනැති අපේ විවෘත ලිපිය තුල ඉදිරිපත් කරන ලද අපේ අවම ඉල්ලීම් අපි මෙහි දී යලි අවධාරනය කරමු:

  • අවසන් කොන්ත්‍රාත්තු තුන තුල අහිමි වුනු ආදායම් පුනස්ථාපනය කිරීම සඳහා පොදුවේ සැම දෙනාට දෙනු ලබන සියයට 25ක වැටුප් වැඩි කිරීමක් හා සියයට 6ක වාර්ෂික වැටුප් වැඩි කිරීමක්
  • හැල්මේ ඉහල යන පාරිභෝගික භාන්ඩ මිල සමග ගැලපෙන පරිදි, ජීවන වියදම් දීමනා ඉහල දැමිමේ වගන්තියක්
  • වර්තමාන සෞඛ්‍ය රක්ෂනාවරන අනුපාත හා ආවරන පවත්වාගෙන යාම∙
  • අතින් වියදම් කිරීමෙන් තොර ව හෝ පාරිතෝෂික සමගින්, විශ්‍රාමිකයන් සඳහා පූර්න සෞඛ්‍යාරක්ෂන ප්‍රතිලාභ
  • බහු-ස්ථර වැටුප් පද්ධතිය අවසන් කොට, සියලු කම්කරුවන් ඉහල-ස්ථර වැටුප් හා ප්‍රතිලාභ සඳහා මාරු කිරීම
  • විකල්ප වැඩ කාලසටහන ඉවත් කොට, පැය අටේ වැඩ දිනය පවත්වාගෙන යමින්, වර්තමාන අතිකාල නීති එලෙස ම තබාගැනීම
  • හුදෙක් වේතන කම්කරුවන්ට පමනක් නො ව, සියලු කම්කරුවන් සඳහා පුද්ගලික වැඩ දින පහක්
  • කොන්ත්‍රාත්තුව මගින් අනුමත කරන ඩොලර් 4,000ක බෝනස් දීමනාවක්

දෙවනුව, එක්සත් ජනපදය තුල සියලු වොල්වෝ මෙහෙයුම් වසා දැමීමෙන් ආරම්භ කොට, මෙම වැඩ වර්ජනයට සහයෝගය පිනිස සියලු යූඒඩබ්ලිව් සාමාජිකයන් බලමුලුගන්වන ලෙස අපි ඉල්ලමු. ලොව පුරා වොල්වෝ කර්මාන්තශාලාවල කම්කරුවන්ගේ ඍජු සහයෝගය ද යූඒඩබ්ලිව් විසින් කැඳවිය යුතු ය. කම්කරුවන් සමග අපගේ ම සාකච්ඡාවන් හරහා, අපේ වැඩ වර්ජනය පිලිබඳව ඔවුන් දැනගත් විට, ඔවුන් අපට සහයෝගය දෙමින් අරගලයට එක්වීමට සූදානම් බව අපි දනිමු.

තෙවනුව, අපි විවෘත සාකච්ඡා ඉල්ලමු. රහසිගත සාකච්ඡාවලින් කිසිදු යහපත් දෙයක් සිදුවන්නේ නැත. සමාගම සමග පවත්වන සියලු සාකච්ඡා, සාමාන්‍ය කම්කරුවන්ගේ නියෝජිතයෙක් විසින් අධීක්ෂනය කල යුතු ය. අපට හොරෙන් කුමන්ත්‍රනය කොට ගෙන එන තවත් කොන්ත්‍රාත්තුවක් අපි පිලි නො ගනිමු. අප සියලු දෙනාට ප්‍රශ්න ඇසීමටත්, ඒවාට පිලිතුරු ලබාගැනීමටත් හැකි වන පරිදි, විවෘත මයික්‍රොෆෝනයක් යොදාගෙන, අවම වසයෙන් සති දෙකකට වරක් සාමාජික රැස්වීම් පවත්වනු ලැබිය යුතු ය.

සිව්වනු ව, අපේ සාමාජික මුදලින් ගොඩනගා තිබෙන යූඒඩබ්ලිව් වැඩ වර්ජන අරමුදලෙන් ගෙවනු ලබන, ක්ෂනික ව ආරම්භ කරන, වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු කම්කරුවන් සඳහා පූර්න ආදායම් අපි ඉල්ලමු. අපි ප්‍රතික්ෂේප කර ඇති කොන්ත්‍රාත්තුවලටත් වඩා නරක ගනුදෙනුවක් පැනවීම සඳහා ඔබ සමාගම සමග කුමන්ත්‍රනය කරද්දී, අපි පිකට් වැටවල කුසගින්නේ නො සිටිමු.

පස්වනුව, බේගල් හා තර්ජන හරහා කොන්ත්‍රාත්තුවක් බලෙන් පැටවීමට දරන තවත් උත්සාහයක් අපි පිලි නො ගනිමු.

ඕනෑම නව ගිවිසුමක්, එය ඡන්දයට දැමීමට පෙර, සියලු කම්කරුවන්ගේ විමර්ශනය සඳහා සති දෙකක කාලයක් ලබා දිය යුතු ය. අපගේ ඉල්ලීම් ඉටුකර ගන්නා තෙක් වැඩ ව ර්ජනය අඛන්ඩව පැවතිය යුතු අතර, අවසන් අවස්ථාවේ අපේ අනුමැතියකින් තොර ව ඔබ කල පරිදි, වර්ජනය අවසන් කිරීම අපි පිලි නො ගනිමු.

මෙම වැඩ වර්ජනය කම්කරුවන්ගේ පැහැදිලි ජයග්‍රහනයක් ප්‍රතිඵල කල යුතු බවට දැඩිව අවධාරනය කල යුතු බව අපි ඉල්ලා සිටිමු. රට පුරා මෙන් ම ලොව පුරා කම්කරුවන්, අපේ අරගලය පිලිබඳව දැනුවත් වුව හොත්, එය සියලු කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා කෙරෙන්නක් බව ඔවුන් අවබෝධ කරගනු ඇත. මෙය හුදෙක් අප සඳහා පමනක් නො ව, අනාගතය සඳහා ද කරන වැඩ වර්ජනයක් බව ඔවුන් අවබෝධ කරගනු ඇත. මෙහි වොල්වෝ කම්කරුවන්ගේ සාර්ථක අරගලයක්, සෑම මෝටර් රථ කම්කරුවෙක් මෙන් ම, සමස්ත කම්කරු පන්තිය ද ශක්තිමත් කරනු ඇත.

එවන් සටනක් ගෙන යාමට ඔබ සූදානම් නොමැති නම්, වහාම ඉවත් වන්න. මෙම අත්‍යවශ්‍ය අරගලය ගෙන යාමට සූදානම් වන කේවල් කිරීමේ හා වැඩ වර්ජනය කිරීමේ කමිටුවක්, සාමාන්‍ය කම්කරුවන් විසින් තෝරා පත් කරගනු ඇත.

අපි පිලිතුරක් අපේක්ෂා කරමු.

විශ්වාසී

වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුව

Loading