ඉදිරිදර්ශන

වර්ජිනියාවේ ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ වැඩ වර්ජනය හුදකලා කිරීම බිඳ දමනු!

[පහත පලවෙන්නේ Break the isolation of the strike of the Volvo Trucks workers in Dublin, Virginia!  මැයෙන් 2021 ජූනි 18 වනදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි.] 

වර්ජිනියාවේ ඩබ්ලින් හි නිව් රිවර් වැලි (එන්ආර්වී) කම්හලේ වැඩ වර්ජනය කරන 3,000 කට ආසන්න වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ සහයට පැමිනෙන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය වොල්වෝ කම්කරුවන්ගෙන් සහ සියලුම මෝටර් රථ සේවකයින්ගෙන් ඉල්ලා සිටී.

වොල්වෝ ට්‍රක් සේවකයින් පසුගිය මාසයේ [මූලාශ්‍රය: යූඒඩබ්ලිව් 2069]

යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) වෘත්තීය සමිතිය විසින් නැවත ගෙන එන ලද දෙවන තාවකාලික ගිවිසුම සියයට 90 කින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වොල්වෝ කම්කරුවන් දින 10 කට වැඩි කාලයක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටිති. පෙර සහන සඳහා වන වැටුප් සැලකිය යුතු ලෙස වැඩි කිරීම, පාරිභෝගික භාන්ඩවල ඉහල යන පිරිවැය සපුරාලීම සඳහා ජීවන වියදම් ඉහල නැංවීමේ වගන්තියක්, බහුස්තර වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය අවසන් කිරීම, පැය අටක වැඩ දිනය රැක ගැනීම සහ වර්තමාන සේවකයින් හා විශ්‍රාමිකයන් සඳහා පූර්න සෞඛ්‍ය සේවාවක් කම්කරුවෝ ඉල්ලා සිටිති.

එන්ආර්වී හි වොල්වෝ කම්කරුවන් පෙරමුනු දෙකක යුද්ධයකට මුහුන දෙමින් සිටිති. පලමුවෙන්ම, ඔවුන් ඩොලර් බිලියන 50 කට වඩා වාර්ෂික ආදායමක් සහ ඩොලර් බිලියන 4 කට වැඩි වාර්ෂික ලාභයක් ලබන බහුජාතික සමාගමකට එරෙහිව සටනක් දියත් කරති. සමස්ත ධනේශ්වර රාජ්‍යයේ සහාය ඇතිව වොල්වෝ කලමනාකරනය, එහි ප්‍රධාන කොටස් හිමියන්ට ලබා දෙන ඩොලර් බිලියන ගනනක් ගෙවීම සඳහා කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

වොල්වෝ එන්ආර්වී සාමාන්‍යාධිකාරී ෆ්‍රැන්කි මාර්චන්ඩ් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “නව වටයේ සාකච්ඡා සඳහා වන ක්‍රියාවලිය සැමට පැහැදිලි වන තුරු”—එනම්, නව ගිවිසුම අසාර්ථක වීමකට ඉඩ නොතබා අනුමත කරදෙන බවට යූඒඩබ්ලිව් වෙතින් සහතිකයක් ලැබෙන තෙක්—සමාගම නැවත කේවල් කිරීමේ මේසයට නොඑන බවයි

මාර්චන්ඩ් තවදුරටත් කියා සිටියේ, “අපගේ ප්‍රජාවට නුහුරු ප්‍රජාව තුල මෙම ක්‍රියාවලිය අප සියලු දෙනා අතර ඇති කරන ආතතිය වඩාත්ම කරදරකාරී දෙයයි” යනුවෙනි. වොල්වෝ හි සැබවින්ම “කරදරකාරී” දෙය නම් කම්කරුවන්ගේ කැමැත්ත සැලකිල්ලට ගැනීමට බල කිරීමයි. මෙම මාසය මුලදී දෙවන කොන්ත්‍රාත්තුව ඡන්දායන් පරාජය කල විට මාර්චන්ඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ,මෙම ගිවිසුම “යූඒඩබ්ලිව් හි ජාත්‍යන්තර, කලාපීය සහ ප්‍රාදේශීය නායකත්වය” විසින් අනුමත කර ඇති බැවින් “මෙම වර්ජනය තේරුම් ගැනීම අපහසුය” බවයි.

මාර්චන්ඩ්ට “තේරුම් ගැනීමට අපහසු” වන්නේ සාම්ප්‍රදායික කොන්ත්‍රාත් අනුමත කිරීමේ "ක්‍රියාවලිය"—එනම් සමාගම යූඒඩබ්ලිව් වෙත තමන්ට අවශ්‍ය දේ පැවසූ පසු බොරුවෙන් හා තර්ජන වලින් යූඒඩබ්ලිව් එය සම්මත කිරීම— කම්කරුවන්ගේ මැදිහත්වීම හේතුවෙන් බිඳ වැටී තිබීමයි.

බ්‍රහස්පතින්දා දහවලෙහි වොල්වෝ නිවේදනය කලේ යූඒඩබ්ලිව් සමඟ ජුනි 23 වනදා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟ වූ බවයි, එනම් තවත් සතියක් සඳහා නොවේ. කම්කරුවන් පිකට් වැටෙන් ඉවත් කර වැඩ වර්ජනය මැඩපැවැත්වීමට කලමනාකාරිත්වය අධිෂ්ඨාන කරගෙන සිටින බව මෙයින් පැහැදිලි වේ. සමාගම මේ වන විටත් වැඩ වර්ජනය කරන කම්කරුවන්ගේ සෞඛ්‍ය සේවය අවලංගු කර ඇති අතර වර්ජිනියා ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරයා විසින් යොදවා ඇති ප්‍රාන්ත පොලිසිය, නිෂ්පාදන කටයුතු සඳහා පිටතින් ශ්‍රමිකයින් ගෙන ඒමට කටයුතු යොදා ඇත.

යුද්ධයේ දෙවන පෙරමුන වොල්වෝ කම්කරුවන් හුදෙකලා කිරීමට හැකි සෑම දෙයක්ම කරන යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියට එරෙහිවයි. එයට ඇත්තේ ජයග්‍රාහී උපාය මාර්ගයක් නොව පරාජයේ උපාය මාර්ගයකි.

මාර්චන්ඩ් ට ප්‍රතිචාර දක්වමින් යූඒඩබ්ලිව් ලෝකල් 2069 සභාපති මැට් බ්ලොන්ඩිනෝ නොපැහැදිලි පොරොන්දු සහිතව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “සමාගමේ අවධානය ලැබිය යුතුයැයි තම අයිතිවාසිකම් මත පදනම්ව සාමාජිකත්වය විසින්ද සලකනු ලැබූ, පෙර පැවති තාවකාලික ගිවිසුම්වල ඇති අඩුපාඩු සපුරාලීමට යූඒඩබ්ලිව් වෙහෙස මහන්සි වී වැඩ කරන” බවයි. ඉතා යටහත් ඉල්ලීමක් කරමින් නැවත සාකච්ඡා ආරම්භ කරන ලෙසට සමාගම ඉදිරියේ බගෑපත් වන බ්ලොන්ඩිනෝ [කම්කරුවන් ඉදිරියේ සමාගමට] චෝදනා කලේ "ඔවුන්ට වැඩ වර්ජනවලදී අපේ ශක්තිය පරීක්ෂා කිරීමට අවශ්‍යයි" යනුවෙනි.

කෙසේවෙතත්, වොල්වෝ කම්කරුවන් විසින් පුලුල් ලෙස ප්‍රතික්ෂේප කරන ලද කොන්ත්‍රාත්තු දෙකෙහි “අඩුපාඩු” වලට වඩා යූඒඩබ්ලිව් ඇත්ත වශයෙන්ම යෝජනා කරන වෙනස් දෙයක් ගැන බ්ලොන්ඩිනෝ කිසිවක් කීවේ නැත. කම්කරුවන් “තම අයිතීන් මත පදනම්ව” තම අවශ්‍යතා සපුරාලන්නේ නැතැයි සිතන්නේ නම් යූඒඩබ්ලිව් සහ බ්ලොන්ඩිනෝ පෞද්ගලිකව ඔවුන් වෙනුවෙන් මෙතරම් ආක්‍රමනශීලී ලෙස උද්ඝෝෂනය කලේ මන්දැයි පැහැදිලි කිරීමට ඔහු උනන්දු වූයේ ද නැත. වැදගත්ම දෙය නම්, වර්ජනය ජය ගැනීම සඳහා යූඒඩබ්ලිව් කිසිවක් කලයුතු බවට බ්ලොන්ඩිනෝ යෝජනා කලේ නැති බවයි. ඒ වෙනුවට, යූඒඩබ්ලිව් කම්කරුවන්ගේ පිකට් වැටවල් වල කුසගින්නේ තබා ඔවුන්ව හුදෙකලා කර දැමීමෙන් ඔවුන්ගේ තත්වය අඩපන කිරීමට සෑම දෙයක්ම කරයි.

තම අරගලය හුදකලා කිරීමට යූඒඩබ්ලිව් විසින් දරන උත්සාහයට විරුද්ධව සංවිධානය වීම සඳහා එන්ආර්වී හි කම්කරුවන් වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුව (වෝකක්‍රික) පිහිටුවා ඇත.

යූඒඩබ්ලිව් ජාත්‍යන්තර සභාපති රොරි ගැම්බල්, යූඒඩබ්ලිව් ලේකම්-භාන්ඩාගාරික රේ කරි සහ බ්ලොන්ඩිනෝ වෙත වීඩබ්ලිව්ආර්එෆ්සී, සඳුදා ප්‍රබල විවෘත ලිපියක් නිකුත් කලේය. පුලුල් ලෙස ප්‍රතික්ෂේප කරන ලද ගිවිසුම් දෙකෙහි සමාගම විසින් යෝජනා කරන දෙයට වඩා වෙනස්ව යූඒඩබ්ලිව් විසින් යෝජනා කරන දෙයක් ඇත්නම් පැහැදිලි කරන ලෙස එම ලිපිය ඔවුන්ගෙන් ඉල්ලා සිටී. යූඒඩබ්ලිව් සතුව ඇති දැවැන්ත සම්පත් තිබියදීත් කම්කරුවන්ට, සතියකට, දරිද්‍රතා මට්ටමේ ඩොලර් 275 ක සොච්චම් වැඩ වර්ජන වැටුපක් පමනක් ගෙවන්නේ මන්දැයි යූඒඩබ්ලිව් පැහැදිලි කල යුතු බව ද එය ඉල්ලා සිටී.

යූඒඩබ්ලිව්, වැඩ වර්ජනය හුදකලා කිරීම ගැන ලිපිය අවධාරනය කරයි. යූඒඩබ්ලිව් හි ජාත්‍යන්තර ෆේස්බුක් පිටුව, වැඩ වර්ජනය ගැන එකදු දැන්වීමක්වත් පල කර නැති බවත්, මෝටර් රථ සේවකයින් ඇතුළු වෙනත් කම්හල්වල කම්කරුවන් තමන් ඒ ගැන නොදන්නා බව පවසා ඇති බවත් එහි සඳහන් ය. “ඔබ අපේ නියෝජිතයන් යැයි කියාගන්නා නමුත් සෑම පැත්තකින්ම ඔබේ ක්‍රියාවන් අපගේ වැඩ වර්ජනයට වල කපන බව අපට පෙනේ” යයි ලිපිය පවසයි.

වැඩ වර්ජනය හුදකලා කිරීමේ උත්සාහයේ දී, වොල්වෝ සහ යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියට, මාධ්‍යයේ සහ දකුනේ සිට ව්‍යාජ වම දක්වා වූ සමස්ත දේශපාලන සංස්ථාපිතයේ තීරනාත්මක සහාය ලැබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන හොරනෑව වන නිව්යෝක් ටයිම්ස් වර්ජිනියාව තම ප්‍රාදේශීය පුවත් ආවරනයට අඩංගුකර ඇතත් මේ මාසයේ වැඩ වර්ජනය නැවත ආරම්භ කිරීම පිලිබඳ එකදු ලිපියක්වත් ප්‍රකාශයට පත් කර නැත. වර්ජනය පිලිබඳව ජාල සහ කේබල් ප්‍රවෘත්ති රූපවාහිනී වැඩසටහන් වලද ඒ ගැන වාර්තා කර නොමැත. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ (ඩීඑස්ඒ) කන්ඩායමක් සමඟ අනුබද්ධිත ජැකොබින් සඟරාව ඒ පිලිබඳව ලියා නොමැති අතර ඩීඑස්ඒ විසින් ද කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

වොල්වෝ එන්ආර්වී කම්කරුවන් සඳහා සහයෝගය සංවිධානය කල යුත්තේ කම්කරු පන්තියයි. මෙය ආරම්භ වන්නේ මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ වර්ජිනියා හි වොල්වෝ සහ වොල්වෝ-මැක් කම්කරුවන්ගෙනි. එන්ආර්වී වැඩ වර්ජනය හේතුවෙන් සැපයුම් හිඟයක් සහ සමාගම් දොට්ට දැමීම් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබියදීත්, යූඒඩබ්ලිව් විසින් කම්කරුවන් 3,500 ක් වොල්වෝ-මැක් කම්හල්වල තබා ඇත.

වොල්වෝ යනු යුරෝපය, ආසියාව, ලතින් ඇමරිකාව, මැද පෙරදිග සහ අප්‍රිකාව යන රටවල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමාගමකි. වර්ජිනියාවේ ඩබ්ලින් හි ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ගේ අරගලය සෑම රටකම වොල්වෝ කම්කරුවන්ගේ අවධානයට යොමු කිරීම අවශ්‍ය වේ.

එකම කොන්දේසි වලට මුහුන දෙන සියලුම මෝටර් රථ කම්කරුවන්ට සහාය ලබා දිය යුතුය. වොල්වෝ හි වැඩ වර්ජනය ගැන දැනගත් විට, බිග් ත්රී කම්හල් සහ එහි කොටස් වල මෝටර් රථ කම්කරුවන්, සහයෝගය සහ ඒකාබද්ධ අරගලයක් සඳහා අභිලාශය ප්‍රකාශ කරති. යූආර්ඩබ්ලිව් සහ මාධ්‍ය විසින් පනවා ඇති අවහිරතා බිඳ දමමින්, එන්ආර්වී හි ස්ථාවරය පිලිබඳ ප්‍රවෘත්ති බහුලව ව්‍යාප්ත විය යුතුය.

වොල්වෝ හි වැඩ වර්ජනය, එක්සත් ජනපදය පුරා අරගල මාලාවක කොටසකි, එය ඇලබාමාහි වොරියර් මෙට් ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජනය ද ඇතුළුව කෝපයේ හා කැරලිකාරීත්වයේ වැඩෙන මනෝභාවයක් පිලිබිඹු කරයි; මැසචුසෙට්ස් හි වෝර්සෙස්ටර් හි හෙදියන්; සහ පෙන්සිල්වේනියාවේ සහ වෙනත් ප්‍රාන්තවල ඒටීඅයි වානේ කම්කරුවන්. ටෙක්සාස් හි බියුමාන්ට් හි, එක්සොන් මොබිල් හි තෙල් කම්කරුවන් රැකියා සුරැකීමට සහ සුරක්ෂිත තත්වයන් ආරක්ෂා කිරීමට කරන සටනේදී වැඩ තහනමට මුහුන දී ඇත.

සෑම අවස්ථාවකදීම, ඇමරිකාවේ එක්සත් පතල් කම්කරුවන්, මැසචුසෙට්ස් හෙද සංගමය සහ එක්සත් වානේ කම්කරුවන් යන වෘත්තීය සමිති යූඒඩබ්ලිව් ක්‍රමයට සමාන ක්‍රමවේදයන් අනුගමනය කරති. ඔවුහු අරගල හුදකලා කරන අතර වොල්වෝ හි පුපුරා ගිය වැඩ වර්ජනය ගැන කම්කරුවන්ට කිසිවක් නොකියති. මෙය අවසන් කල යුතුය.

වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය, සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනය සහ මූලික භාන්ඩවල මිල ඉහල යාම ලොව පුරා පන්ති අරගලයේ වර්ධනයට ඉවහල් වේ. කැනඩාවේ පතල් කම්කරුවෝ එක්සත් වානේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය විසින් නැවත ගෙන එන ලද කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වේල් ඉන්කෝට එරෙහිව වැඩ වර්ජනයක යෙදී සිටිති. ඉන්දියාවේ, මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජන, ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ නිෂ්පාදනය නැවැත්වීමේ උත්සාහයක නිරතව සිටිති. ලතින් ඇමරිකාව පුරා පතල් කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසිවලට එරෙහිව වැඩ වර්ජන දියත් කර තිබේ.

ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කිරීමේදී, වොල්වෝ හි කම්කරුවන් එන්ආර්වී හි නව බලයක් නිර්මානය කර ඇත. ධනේශ්වර සූරාකෑමට හා අසමානතාවයට එරෙහිව එක්සත් ප්‍රතිප්‍රහාරයක් කම්කරු පන්තිය තුල වර්ධනය කිරීම සඳහා මෙම මුලපිරීම වොල්වෝ පුරා ද, මෝටර් රථ කර්මාන්තය සහ ඉන් ඔබ්බට එක්සත් ජනපදය හා ජාත්‍යන්තරව ද ව්‍යාප්ත කල යුතුය.

වොල්වෝ වැඩ වර්ජනයේ හුදකලාව බිඳ දැමිය යුතුය!

වොල්වෝ සේවක ක්‍රියාකාරී කමිටුවේ විවෘත ලිපිය හැකි තරම් පුළුල් ලෙස බෙදා හරින ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එය ඔබගේ සහ-කම්කරුවන්, මිතුරන් සහ පවුලේ සාමාජිකයින්ට යවා සමාජ මාධ්‍යවල පල කරන්න. ඔබගේ සහාය පනිවිඩ volvowrfc@gmail.com වෙත යවන්න. ඔබේ සේවා ස්ථානයේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට සහාය වීම සඳහා ලෝසවෙඅ හා සම්බන්ධ වන්න.

Loading