ශ්‍රී ලංකාවේ කම්කරුවෝ එක්සත් ජනපදයේ වොල්වෝ වර්ජකයන්ට සහාය දක්වති

[පහත පලවෙන්නේ Sri Lankan workers support Volvo strikers in the US මැයෙන් 2021 ජූනි 21 වනදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනය යි.] 

එක්සත් ජනපදයේ වොල්වෝ කම්කරුවන්ගේ වැඩ වර්ජනයට සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරුවෝ ලොව පුරා සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක් වී සිටිති. වර්ජිනියාවේ ඩබ්ලින් හි නිව් රිවර් වැලි (එන්ආර්වී) වොල්වෝ ට්‍රක් කම්හලේ කම්කරුවන් 3,000 ක් පමන ජුනි 7 වන දින යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) විසින් ඉදිරිපත් කරන ලද සමාගම් ගැති කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වැඩ නවතා දැමූහ.

කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවෙන් (සෞසේක්‍රික) සහ ඕල්ටන් වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවෙන් (ඕවකක්‍රික) ලැබුනු පහත පලකෙරෙන ප්‍රකාශන වොල්වෝ කම්කරුවන්ගේ අරගලය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්ට ආස්වාදය ලබා දෙන ආකාරය පිලිබඳ ප්‍රබල උදාහරන වේ. 

මහනුවර රෝහල් සේවකයින්ගේ විරෝධය (ලෝසවෙඅ මාධ්‍ය)

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයින් අතර අරගල වර්ධනය කිරීමේදී සෞසේක්‍රික තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඕල්ටන් වතුයායේ වතු කම්කරුවන් 38 දෙනා කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවීම සඳහා වන සටනෙහි කේන්ද්‍රස්ථානය වන්නේ ඕවකක්‍රික ය. ප්‍රධාන වැවිලි වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ඇතිව සමාගම සහ පොලිසිය විසින් දියත් කරන ලද ඒකාබද්ධ දඩයමකට මුහුන පෑ මෙම කම්කරුවන් 26 දෙනාට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය ඉල්ලා අස්කර ගන්නා ලෙස ද එය ඉල්ලා සිටී.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව

වර්ජිනියාවේ වොල්වෝ කම්කරුවන්, සමාගමෙහි සහ සංගත වල අවශ්‍යතා ආරක්ෂා කරන යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියට එරෙහිව කරන අරගලය අපට ඉමහත් ආශ්වාදයක් ලබා දී තිබේ. ස්වාධීන වොල්වෝ සේවක ක්‍රියාකාරී කමිටුව විසින් මෙම අරගලය තුල ඉටු කල තීරනාත්මක කාර්යභාරය, එවැනි කමිටුවලට පැවරී ඇති ඓතිහාසික කර්තව්‍යය අවධාරනය කරයි.

මෙම වීරෝදාර අරගලය ලොව පුරා කම්කරුවන්ගේ ඇස් විවර කරන බව අපි විශ්වාස කරමු. සෑම තැනකම යූඒඩබ්ලිව් වැනි ද්‍රෝහී සංවිධාන කම්කරු පන්ති ව්‍යාපාරය විසින් හෙලිදරව් කල යුතුය, අභියෝග කල යුතුය, කම්කරු පන්ති ව්‍යාපාරයෙන් ඉවත් කල යුතුය.

ශ්‍රී ලංකාවේ රෝහල්වල කොවිඩ්-19 ට එරෙහිව අප සටන් කරන විට, ආරක්ෂක උපකරන, ප්‍රමානවත් කාර්ය මන්ඩලයක් සහ නිසි ජීවන වැටුපක් ලබා නොදීමෙන් ආන්ඩුව අපව සහ අපගේ පවුල්වල ජීවිත අනතුරේ හෙලන ආකාරය අපි අත්විඳිමින් සිටිමු.

මේ මස මුලදී ජනාධිපති ගෝටාභය රාජපක්ෂ සෞඛ්‍ය සේවා ඇතුළු නැගී එන පන්ති අරගල මැඩලීමේ උත්සාහයක් ලෙස රාජ්‍ය අංශයේ කම්කරුවන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සඳහා වැඩ වර්ජන කිරීමේ අයිතිය සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කරමින් අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පැනවීය. මෙම ප්‍රතිගාමී රෙගුලාසි සම්බන්ධයෙන් වෘත්තීය සමිති මරනීය නිශ්ශබ්දතාවයක් පවත්වා ගෙන යන අතර කම්කරුවන් අතර බෙදීම් ඇති කරමින් කම්කරු අරගල දුර්වල කිරීමට උත්සාහ කරති.

ජයග‍්‍රහනය සඳහා වූ සිය උපායමාර්ගය පැහැදිලි කරන ලෙස ඉල්ලා යූඒඩබ්ලිව් වෙත යවන ලද විවෘත ලිපිය ද ඇතුළුව වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් ගනු ලැබූ මුලපිරීම් තුල, එක හා සමාන අභියෝගයන්ට මුහුන දෙන ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවකයින් සඳහා වැදගත් පාඩම් අඩංගු වේ.

වොල්වෝ සේවක ක්‍රියාකාරී කමිටුවේ අරගලය ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීමේ සටනේ සන්ධිස්ථානයක් බව අපි ප්‍රකාශ කරමු.

ඕල්ටන් වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව

මධ්‍යම ශ්‍රී ලංකාවේ අප්-කොට් හි ඕල්ටන් වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව වන අපි වර්ජිනියාවේ වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ අරගලයට පූර්න සහාය පලකරමු. මෙම අරගලය පිලිබඳව ලෝසවෙඅ හි පල කරන ලද විශ්ලේෂනයන් සහ වාර්තා වලින් අපි වැදගත් පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු.

එක්සත් ජනපදය වැනි රටක කම්කරුවන් වෘත්තීය සමිතියේ නියෝග ප්‍රතික්ෂේප කිරීම සහ වොල්වෝ වැනි දැවැන්ත සමාගමකට එරෙහිව සටන් කිරීමට ඇති සූදානම ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය අරගලයේ නව අවධියක් සනිටුහන් කරයි. යූඒඩබ්ලිව් වැනි වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියේ අරගල හුදකලා කර කම්කරුවන්ගේ ගෝලීය සහයෝගීතාව අවහිර කරන බව දැන් ඉතා පැහැදිලිය.

ඕල්ටන් වතුයායේ, අපගේ ශ්‍රම බලකාය වන 500 දෙනා දින 47 ක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වූ අතර, වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටිමින්, පෙබරවාරි සහ මාර්තු මාසවල වතු කලමනාකාරීත්වයේ මර්දනකාරී ක්‍රියාමාර්ගයන්ට විරුද්ධ වූහ. වැඩ වර්ජනය අතරතුර කම්කරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු දින 21 ක් සිරගත කරන ලදී. ඔවුන්ට ඇප ලබා දී ඇතත්, ඔවුන්ට එරෙහි ව්‍යාජ චෝදනා තවමත් ඉවත් කරගෙන නැත. අත්අඩංගුවට ගත් අය ඇතුළු කම්කරුවන් තිස් අට දෙනෙකු ඔවුන්ගේ රැකියාවෙන් ඉවත් කර ඇත.

වැඩ වර්ජනය අතරතුර, අප සසප හි දේශපාලන මග පෙන්වීම යටතේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටුවක් ගොඩනංවා ගත්තෙමු. කම්කරුවන් 38 දෙනා නැවත සේවයේ පිහිටුවීම සඳහා සහ අපගේ සගයන් අතර කම්කරුවන් 26 දෙනෙකුට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ග ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ සහයෝගය දිනා ගැනීමේ ව්‍යාපාරයක් ද අපි ආරම්භ කලෙමු.

කම්කරුවන්ට හිංසා පීඩා කිරීමට සහාය දෙන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ඇතුළු වතු වෘත්තීය සමිතිවලට එරෙහි අපගේ අරගලය තීව්‍ර කරමින් සිටින මොහොතකදී වොල්වෝ කම්කරුවන්ගේ සටන, දිරිගන්වන සුළුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් කැඳවන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩනැගීමට අපගේ ක්‍රියාකාරී කමිටුව පූර්න සහයෝගය ලබා දෙන අතර වොල්වෝ ට්‍රක් සේවක ක්‍රියාකාරී කමිටුව එම මුලපිරීම සඳහා වූ වර්ධනයන් සම්බන්ධයෙන් වඩාත් වැදගත් එකක් ලෙස සලකමු.

ඔබගේ ධෛර්ය සම්පන්න සටනේදී සහ ජයග්‍රහනය සඳහා අරගලය අඛන්ඩව පවත්වාගෙන යාමේදී අපි සෑම විටම වොල්වෝ කම්කරුවන් සමඟ සිටිමු!

සෞදි අරාබියේ කාර්මික නගරයක් වන අල් කොබාර් හි ශ්‍රී ලාංකික කාර්මික කම්කරුවෙක්

වොල්වෝ කම්කරුවන්ගේ අරගලය තුල යූඒඩබ්ලිව් හි භූමිකාවෙන් නිරූපනය වන්නේ ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී ස්වභාවයයි. සෞදි අරාබියේ කම්කරුවන්ට සුභසාධක සංගමයක පවා සංවිධානය වීමට අවසර නැත. එක්සත් ජනපදයේ පිටුබලය ලබන සෞදි අරාබි රාජාන්ඩුව කම්කරුවන් සංවිධානය කිරීමට දරන ඕනෑම උත්සාහයක් රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ලේබල් කර තිබේ.

වෘත්තීය සමිති පිහිටුවීමේ අයිතිය පෙර අරගලවලදී කම්කරුවන් විසින් දිනා ගනු ලැබුවද, වෘත්තීය සමිති විසින් කම්කරුවන් ආරක්ෂා කිරීම අතහැර දමා ඇති අතර ඒ වෙනුවට සංගත ලාභ ආරක්ෂා කිරීමට කැපවී සිටිති.

යූඒඩබ්ලිව් විසින් සිදු කල මෙවැනි ද්‍රෝහිකමකට අභියෝග කල වොල්වෝ කම්කරුවන්ට මම ආචාර කරමි. ජයග්‍රාහී මාවතනම් මෙයයි. වර්ජිනියා වොල්වෝ කම්කරුවන්ගේ ශක්තියට සහ අධිෂ්ඨානයට මම ආචාර කරමි!

ඉදිකිරීම් ඉංජිනේරුවෙක්

වොල්වෝ කම්කරුවන්ගේ මුලපිරීම විශාල ජයග්‍රහනයක් ලෙස මම ඉතසිතින් පිලිගනිමි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කිරීමට සහ ලාභ උපරිම කර ගැනීමට මුළුමනින්ම පක්ෂව සිටින මහා සංගතවලට හා වෘත්තීය සමිතිවලට යටත් වීමට කම්කරු පන්තිය තවදුරටත් කැමති නැති බව ඔවුන් පෙන්වා දී ඇත.

මම ඔබේ අරගලයට සහාය දෙමි! එය ජයග්‍රහනය කරා ගෙන යන්න!

ඉන්දියාවේ චෙන්නායි හි තොරතුරු තාක්ෂන ශිල්පියෙක්

ලොව පුරා නිෂ්පාදන කම්හල්වල කම්කරුවන්, වොල්වෝ කම්කරුවන් මුහුන දෙන ගැටලු සාකච්ඡා කර බලමුලු ගැන්විය යුතු යැයි මම විශ්වාස කරමි. ඔවුන් එසේ කලහොත් වොල්වෝ වැනි සමාගම්වල දැවැන්ත සංගත බලය පවා ඔවුන්ට පරාජය කල හැකිය.

ඉන්දියානු මෝටර් රථ සේවකයින් වොල්වෝ කම්කරුවන්ට සහයෝගය දක්වන ආකාරය ලෝසවෙඅ හි කියවීමි. සාමාන්‍ය කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා මෙය අත්‍යවශ්‍ය ප්‍රතිචාරයකි. කම්කරුවන්, සමාජවාදයේ මාවත වන ඔවුන්ගේ ගෝලීය එක්සත්කමේ බලය අවබෝධ කර ගත යුතුය. වොල්වෝ කම්කරුවන්ගේ සටන ඇස් අරවනසුලුය, තොරතුරු තාක්‍ෂන ශිල්පීන් අතර ක්‍රියාකාරී කමිටු පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීම වැදගත්ය.

අමිත් වීරමන්, කොලඹ ප්‍රදේශයේ තරුන කම්කරුවෙක්

වර්ජිනියාවේ වොල්වෝ කම්කරුවන් නිවැරදි දිශාවට ඉතා වැදගත් පියවරක් ගෙන ඇති බව මම විශ්වාස කරමි. ලොව පුරා කම්කරුවන් ඔවුන්ගේ අරගලයෙන් පාඩම් උගත යුතුය. ඔවුන් වෘත්තීය සමිතිවලින් වෙන්ව, තමන්ගේම ස්වාධීන සංවිධාන පිහිටුවා, පාලක පන්තිය වෙතින් තමන් මුහුන දෙන අසාධාරනයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම සංවිධානවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කල යුතුය.

කොලඹ ප්‍රදේශයේ සිසුවියක් වන රශ්මික කොඩිතුවක්කු

යූඒඩබ්ලිව්, වැඩ වර්ජනය අවසන් කිරීමට සහ සමාගමට සහන ලබා දීමට උත්සාහ කරන තත්වයන් යටතේ, සංගත-ගැති වෘත්තීය සමිති නිලධරයට එරෙහිව වොල්වෝ කම්කරුවන් ගත් නිර්භීත පියවර මම මහත් සේ අගය කරමි. වෙනත් මාධ්‍ය සංවිධාන එය ආවරනය නොකරන තත්වයක් තුල, ආරම්භයේ සිටම මෙම ගැටලුව පිලිබඳව වාර්තා කිරීම සම්බන්ධයෙන් ලෝසවෙඅ වෙත මම ස්තූතිවන්ත වෙමි. කම්කරුවන් ඔවුන්ගේ අරගල ඉදිරියට ගෙන යාම සඳහා ලෝසවෙඅ හි ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂන තුලින් ඉදිරිපත් කරන ලද කම්කරු පන්තියේ අතීත අරගලයන්ගෙන් අවශ්‍ය පාඩම් අධ්‍යයනය කල යුතු යැයි මම විශ්වාස කරමි.

කොලඹ වරායේ තාක්ෂනික කම්කරුවෙක්

පලමුවෙන්ම, වොල්වෝ කම්කරුවන්ගේ අරගලයට මගේ සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් පාවා දෙන සමාගම සහ වෘත්තීය සමිතිය අතර ගිවිසුම හෙලිදරව් කිරීම ගැන මම කෘතඥ වෙමි.

ශ්‍රී ලංකාවේ අප අත්විඳ ඇති පරිදි අද වෘත්තීය සමිති ධනවාදයේ ඉත්තන් බවට පත්වී සිටිති. ඔවුන් වරාය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු සියලුම අංශවල කම්කරුවන්ගේ අයිතිවාසිකම් පාවා දෙති. වෘත්තීය සමිති, වරාය පුද්ගලීකරනයට එරෙහි අපගේ අරගලය පාවා දී තිබේ. මෙය ලියොන් ට්‍රොට්ස්කිගේ සඳහනක් සිහිගන්වයි, “වෘත්තීය සමිතියක් වැනි කම්කරුවන්ගේ සංවිධානයක ස්වභාවය තීරනය වන්නේ ජාතික ආදායම් බෙදා හැරීම සමඟ එහි ඇති සම්බන්ධතාවයෙනි.”

මේ වසරේ හජාජාක හි ඔන්ලයින් මැයි දින රැලියේදී යෝජනා කල පරිදි ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවා ධනවාදය පරාජය කිරීමට අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු.

Loading