පොලීසිය ඕල්ටන් වත්තේ නිත්‍ය මුරපොලක් ස්ථාපනය කිරීමට සැලසුම් කරයි

මෙහි පලවන්නේ Sri Lankan police move to establish permanent base at Alton Estate යන හිසින් 2021 ජුනි 23 දා පලවු ලිපියේ පරිවර්තනය යි.

මස්කෙලිය ආසන්න ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි ව එක දිගට ගෙන යන දඩයමේ කොටසක් ලෙස, වත්ත තුල විශේෂ කඳවුරක් පිහිටුවීමට පොලීසිය උත්සාහ දරමින් සිටී. මෙම වත්ත කලමනාකරනය කරනු ලබන්නේ, ලංකාවේ ප්‍රධාන සංගතයක් වන හේලීස් සමාගමට අයත් හොරන වතු සමාගම විසිනි.

පසුගිය සතියේ දී සහකාර පොලිස් අධිකාරීවරයෙක් වත්තට පැමින මුරපොල සඳහා වත්තේ සංස්කෘතික ශාලාව යොදාගැනීමට සූදානම් වූයේ ය. මංගල උත්සව ඇතුලු සමාජ කටයුතු සඳහා මෙම ශාලාව යොදාගනු ලබන බව සඳහන් කරන කම්කරුවෝ, එම ප්‍රකෝපකාරී පියවරට එරෙහි වූහ.

ඩ්රේටන් වත්තේ කම්කරුවන්ගේ විරෝධතාව (ඡායා රූප අනුග්‍රහය : කේ කිෂාන්තන්)

වත්තේ වෘත්තීය සමිති නිලධාරීන් විසින් දැනුම් දීමෙන් පසු, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ජීවන් තොන්ඩමන් වත්තට පැමිනියේය. ඔහු පොලීසියේ සැලසුමට විරුද්ධ නොවී, වත්තේ වෙනත් ස්ථානයක් එම කටයුත්ත සඳහා සෙයා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. තොන්ඩමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමතිවරයා ය. දැනට වෙනත් ස්ථානයක් සොයමින් සිටින පොලීසිය, කලමනාකාරීත්වය සමග ඒ පිලිබඳව නිතිපතා කතාකරයි. 

ඕල්ටන් වත්තේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඔවුන්ගේ උත්සුකතා පල කල හ. “දැන් වත්තේ බෙහෙත් ශාලාවේ පොලිස් මුරපොල පිහිටුවීමට ඔවුන් උත්සාහ දරනවා, නමුත් ඒකටත් අපි විරුද්ධ වෙනවා” යි ඔවුන්ගෙන් එක් අයෙක් පැවසී ය.

වත්ත තුල පොලිස් මුරපොලක් පිහිටුවීම, සීඩබ්ලිව්සීයේ ආධාරය හා පිටුබලය ලබමින්, කලමනාකාරීත්වය හා පොලීසිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි ව ක්‍රියාත්මක කල කුමන්ත්‍රනය ඉදිරියට ගෙන යාමකි.

එම කම්කරුවෝ පෙබරවාරි 2දා සිට වැඩි වැටුප් ඉල්ලමින් වැඩ නැවැත්වූ අතර, ඉන්පසුව පෙබරවාරි 5දා රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා සීඩබ්ලිව්සීය විසින් කැඳවූ ජාතික පරිමාන වැඩ වර්ජනයට ද සහභාගි වූ හ. ඉල්ලීම දිනීමට සටන් කරන ලෙස දිවයින පුරා වතු කම්කරුවන් කල ඉල්ලීම අපසරනය කිරීම පිනිස, සීඩබ්ලිව්සීය මෙම සීමිත ජාතික වර්ජනය කැඳවී ය.

. නිරෝධායන සහනාධාර ඉල්ලා වැලිඔය වත්තේ කම්කරුවන් විරෝධතාවයේ (ඡායාරූප අනුග්‍රහය: කේ.ක්‍රිෂාන්තන්)

ඒ සමගම, ඕල්ටන් වත්තේ කලමනාකාරිත්වය වර්ජකයන්ට හිංසා කිරීම ඇරඹී ය. වත්තේ කලමනාකරුගේ නිල නිවසින් පිටත කම්කරුවන් විරෝධතා දැක්වූ විට, සමාගම විසින් එම සිද්ධිය යොදා ගත්තේ කලමනාකරුවාට හා සහකාර කලමනාකරුවාට වර්ජකයන් කායික ව පහර දුන්නේ යයි ව්‍යාජ ව චෝදනා කිරීමටය.

පොලීසිය කම්කරුවන් 24ක් හා තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. ඔවුහු ව්‍යාජ අපරාධ චෝදනාවන් මත නඩුවලට මුහුන දෙති. පොලීසිය විසින් චෝදනා ගොතන ලද 24 දෙනා ඇතුලු කම්කරුවන් 38 දෙනෙකු හොරන වතු සමාගම විසින් අත්තනෝමතික ව දොට්ට දමන ලද්දේ, කිසිදු විමර්ශනයකින් හෝ අභියාචනය කිරීමට අවස්ථාවක් දීමෙන් හෝ තොර ව ය. අත්අඩංගුවට ගත යුතු කම්කරුවන්ගේ නම් පොලීසියට ලබා දෙමින් හා ඔවුන් ව නෙරපීමට සමාගමට ඉඩ දෙමින්, සීඩ්බ්ලිව්සීය මේ සියලු ප්‍රහාරයන්ට පිටුබලය දුන්නේ ය.

ඕල්ටන් වත්තේ පොලිස් මුරපොලක් පිහිටුවීමට සීඩබ්ලිව්සීය දෙන සහයෝගය, වතු කම්කරුවන්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන්ගේ නව අවධියක් සනිටුහන් කරයි. ජාතික කම්කරු සමිතියට (එන්යූඩබ්ලිව්) හා කඳුරට ජනතා පෙරමුනට (යූපීඑෆ්) ඕල්ටන් වත්ත තුල සාමාජිකයන් සිටිය ද වත්ත තුල වත්මන් ප්‍රකෝපකාරීත්වයට හෝ ඊට පෙර බොරු නඩු ගෙතීම් හා දඩයම් කිරීම්වලට එම සංවිධාන ද විරුද්ධ වී නැත.

ඕල්ටන් වත්තේ කලමනාකාරීත්වය හා අනෙකුත් වතු හාම්පුත්තු, කලමනාකරුවාගේ නිල නිවස ඉදිරිපිට වර්ජකයන් පැවැත්වූ විරෝධතාව, යොදා ගත්තේ වතු තුල මර්දනය ඉහල දැමීම පිනිස රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටීමටයි. වතු තුල පොලිස් “මුර සංචාර” සිදු කරන ලෙස පොලීසියෙන් ඉල්ලමින්, මාර්තු 3දා 500ක් පමන වැවිලිකරුවන් හැටන් නගරයේ දී විරෝධතාවක් පැවැත්වී ය. “වතු ප්‍රචන්ඩත්වයට” එරෙහිව ක්‍රියා කිරීමට ඔවුහු ප්‍රකෝපකාරී ලෙස තුවක්කු හා ආයුධ පුහුනුව ඉල්ලා සිටිය හ.

නිරෝධායන සහනාධාර ඉල්ලා වැලිඔය වත්තේ කම්කරුවන් විරෝධතාවයේ [Photo: K. Kishanthan]

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර එයට ප්‍රතිචාර දැක්වූයේ “වතු කලමනාකරීත්වයන්ට ආරක්ෂාව සම්පාදනය කිරීම තහවුරු කිරීමට” ආන්ඩුව ක්‍රියා කරන බවට සහතික වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභාපතිත්වය දරන ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී මෙම කරුන සාකච්ඡා කරන බවට ඔහු පොරොන්දු විය.

වතු කම්කරුවන් අතර නැගෙන කෝපය වාෂ්ප කිරීමේ උත්සාහයක් දරමින්, රුපියල් 900ක මූලික ගෙවීමක් හා රුපියල් 100 දීමනාවක් සමගින් රුපියල් 1,000ක දෛනික වැටුපක් ගෙවන ලෙස, ජනාධිපති රාජපක්ෂ අප්‍රේල් 1දා වතු හාම්පුතුන්ට නියෝග කලේ ය. එහෙත් මෙම විධානයට ප්‍රතිරෝධය දක්වා ඇති වතු සමාගම්, දැන් දෛනික දලු නෙලීමේ ඉලක්ක ඉහල දැමීම ඉල්ලා සිටිති.

උදාහරනයක් ලෙස, සමාගම විසින් අලුතින් පනවා ඇති දලු කිලෝ 18 දෛනික ඉලක්කය සැපිරීමට අපොහොසත් වන ඕල්ටන් වත්තේ කම්කරුවන්ට, ඔවුන් දලු කිලෝ 17ක් නෙලුව ද ගෙවනු ලබන්නේ රුපියල් 500ක් හෙවත් දෛනික වැටුපෙන් අර්ධයකි. නියම කරන ලද ඉලක්කය සම්පූර්න කරන කම්කරුවන්ට ද අතිරේක ව කඩන දලුවලට ගෙවීමක් නො ලැබේ.

ඕල්ටන් වත්තේ පේලි නිවාස (ඡායාරූප: ලෝසවෙඅ)

ඕල්ටන් වත්තේ එක් කම්කරුවෙකුට අනුව, නෙලනු ලබන තේ දලු කිලෝවකට රුපියල් 40ක් පමනක් ගෙවමින්, කලමනාකාරීත්වය විශ්‍රාමික කම්කරුවන් අඩු වැටුප් සහිත අනියම් පදනමින් වැඩට යොදා ගනී. දිනකට රුපියල් 1,000ක ආදායමක් ලබා ගැනීමට නම් ඔවුන් කිලෝ 25ක් නෙලිය යුතුය. එහෙත්, එය සපුරා ගත හැකි ඉලක්කයක් නොවේ. සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව් හා යූපීඑෆ් විසින් අනුමැතිය ලදුව, අනෙක් වතුවල ද ක්‍රියාවට දමනු ලබන මෙම ම්ලේච්ඡ විධානයන්, වතු කම්කරුවන්ගේ ප්‍රතිරෝධතා රැල්ලක් අවුලුවමින් තිබේ.

 * වැඩ දින ගනන කප්පාදු කිරීමට විරෝධය පලකරමින්, පසුගිය සතියේ දී, බොගවන්තලාවේ කොටියාගල වත්තේ පහල හා මැද කොටස්වල කම්කරුවන් 300ක් පමන වැඩ නැවැත්වූ හ.

“කලමනාකරනය අපට දෙන්නේ සතියකට වැඩ දින දෙකක් හා මාසයකට දින අටක් පමනි” යි කම්කරුවෝ මාධ්‍යට කීවෝ ය. “මේ පඩියෙන් අපි ජීවත් වෙන්නේ කොහොම ද? කලමනාකරුවන් අපට දවසකට තේ දලු කිලෝ 18ක් නෙලීමට බල කලත්, ඒ ඉලක්කය කරා ලංවෙන්න හරි ම අමාරුයි. මේක නවත්තන්න වෘත්තීය සමිති කිසි දෙයක් කරන්නේ නැහැ, මේ විධානයන් ක්‍රියාවට දාගන්න සීඩබ්ලිසී එක කලමනාකාරීත්වයත් එක්ක එකතු වෙලා ඉන්නවා.”

* මස්කෙලිය ලංකා වත්තේ කම්කරුවෝ, පොරොන්දු වූ රුපියල් 1,000 දෛනික වැටුප රැවටීමක් බව සඳහන් කරන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ හඬ නගමින්, තේ දලු කිරන මධ්‍යස්ථානය අසල ජුනි 16දා විරෝධතාවේ යෙදුනෝ ය.

*දිනකට දලු කිලෝ 20ක් නෙලන ලෙස කලමනාකාරීත්වය කරන විධානයන්ට විරෝධය පලකරමින්, මස්කෙලියේ ග්ලෙන්ටිල්ට් වත්තේ කොටස් පහක කම්කරුවෝ, පසුගිය සතියේ දී දිනක් වැඩ නැවැත්වූ හ.

* එක දිගට දවස් තුනක් තේ දලු කිලෝ 20ක් නෙලන ලෙස කලමනාකාරීත්වය විසින් බල කිරීමට  එරෙහි ව, ඩ්රේටන් වත්තේ ඩීටී කොටසේ කම්කරුවෝ සඳුදා විරෝධය පල කල හ.

මෙම මෑත ක්‍රියාවන්, රටෙහි වතු දිස්ත්‍රික්ක තුල දැන් පුපුරා යමින් තිබෙන, විරෝධතාවන්ගේ හා කාර්මික ක්‍රියාවන්ගේ කොටසකි. “වැටුප් වැඩි කිරීමෙන් පසු, වතු කලමනාකාරීත්වය විසින් සිදු කරන මර්දනය පිලිබඳ ව පැමිනිලි කරමින්” කම්කරුවන් තමන්ගේ කාර්යාලයට පැමිනෙන බව, යූපීඑෆ් නායක වී. රාධාක්‍රිෂ්නන් මෑතක දී මාධ්‍ය හමුවේ පිලිගත්තේ ය. 

මස්කෙලිය ලංකා ස්ටේට් වත්තේ කම්කරුවන් ගේ උද්ඝෝෂනය (Photo credit: Malayaga Kuruvi, Facebook)

සුදුසු ආරක්ෂක උපකරන නැති ව, සමාජ දුරස්ථකරනය පවත්වාගෙන යා නො හැකි කුඩා ලයින් කාමරවල ජීවත් වන, අඩු වැටුප් ලබන ලංකාවේ වතු කම්කරුවන්, වතු ප්‍රදේශවල ක්ෂනික ව පැතිරෙමින් තිබෙන කොවිඩ්-19 වසංගතයේ බලපෑමට ද විශාල වසයෙන් බඳුන් වේ.

ජුනි 9දා වන විට, රටෙහි ප්‍රධාන වතු දිස්ත්‍රික්කය වන නුවරඑලියෙන්, ආසාදන 5,342ක් හා මරන 78ක් වාර්තා වූ අතර, පවුල් 3,915කට එය බලපා තිබිනි. මෙලෙස ගොදුරු වූවන්ගෙන් බහුතරය වතු කම්කරුවන් විය හැකි අතර, විස්තර නිකුත් කරනු ලැබ නැත.

පරික්ෂන රේට්ටු ඉතා පහල වුවත්, ටියන්ස්ටින් හා කිලානි ඇතුලු බොගවන්තලාවේ වතු පහකින් මෑත දී ආසාදන 46ක් වාර්තා වුනි. පොරොන්දු වු නමුත් තවමත් නො ගෙවා ඇති නිරෝධායන සහනාධාර ඉල්ලමින්, හැටන් අසල වැලිඔය වත්තේ කම්කරුවෝ මෑත දී විරෝධය පල කල හ.

විශේෂ දීමනා හා ඉහල නැගෙන කොරෝනා වෛරස් ආසාදන රැල්ලෙන් ආරක්ෂා වීම පිනිස වන ආරක්ෂක පියවරයන් ඉල්ලමින්, සෞඛ්‍ය කම්කරුවන් 50,000ක් ජුනි 11දා ජාතික පරිමාන ව පැය-හතරක වර්ජනයක නිරත වූ අතර, එය මේ මාසයේ පැවැත්වූ දෙවන ජාතික පරිමාන වර්ජනය යි.

වැඩෙන මෙම ව්‍යාපාරය නිසා තැතිගෙන සිටින ජනාධිපති රාජපක්ෂ, මැයි 27දා හා ජුනි 2දා,  රාජ්‍ය අංශයේ වැඩ වර්ජනවල  තහනම් කිරීමට විෂඝෝර අත්‍යවශ්‍ය සේවා පනත යොදා ගත්තේ ය. එම නීති කඩ කලොත් විශාල දඩ හා සිර දඬුවම් පැනවිය හැකිය. පසුගිය සිකුරාදා, ආන්ඩුව මෙම තහනම තැපැල් සේවාව දක්වා දීර්ඝ කලේ ය. වෘත්තීය සමිති නිහඬ ව සිටිමින් මේ සියලු මර්දන පියවරයන්ට අනුමැතිය දී ඇත. 

ඕල්ටන් වත්තේ කම්කරුවන්ට බොරු නඩු ගෙතීම හා ඔවුන් දඩයමට ලක්කිරීම සහ රාජ්‍ය අංශ කම්කරුවන්ට එරෙහි ආන්ඩුව තීව්‍ර කරමින් සිටින ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර පරාජය කල හැක්කේ, වෘත්තීය සමිතිවලින් බිඳෙමින් වර්ධනය කරන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් හරහා පමනි. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් ව ක්‍රියාකාරී කමිටු හා අනෙකුත් සාමාන්‍ය කම්කරු සංවිධාන ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කරයි.

ඕල්ටන් කම්කරු ක්‍රි යාකරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය, දඩයමට ලක්කල ඕල්ටන් කම්කරුවන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කොට, නෙරපන ලද සෑම කම්කරුවෙක් ම යලි සේවයේ පිහිටුවමින්, ඔවුන් කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස ඉල්ලන ආරක්ෂක උද්ඝෝෂනයක් දියත් කර ඇත. wswscmb@sltnet.lk ලිපිනයට ප්‍රකාශන එවමින් හා වැඩපොල යෝජනා සම්මත කරමින්, මෙම උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස අපි ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

Loading