අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි ශිෂ්‍ය විරෝධය යලිත් ධනපති පෙරමුනක් තුල දියකර හැරීමේ උත්සාහයක පෙසප යෙදීගනී

අධ්‍යාපනය පෞද්ගලීකරනයේ සහ මිලිටරීකරනයේ තීරනාත්මක සන්ධිස්ථානයක් ලෙස, “කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත“ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව මේ වන විට පියවර ගනිමින් සිටී. මේ වසරේ මාර්තු 06 දා කැබිනට් අනුමැතිය ලැබී ඇති එම පනතට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ හිමිව ඇත. එය, එලඹෙන 08 දා පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා 1978 විශ්වවිද්‍යාල පනතට කිසිදු බැඳීමක් නොමැති ආයතනයක් බවට කොතලාවල විශ්වවිද්‍යාලය පත් කෙරෙන අතර, රටපුරා එහි විශ්වවිද්‍යාල මන්ඩප සහ පීඨ ආරම්භ කිරිමටත්, විදේශීය විශ්වවිද්‍යාල සමග කටයුතු කිරිමටත් එයට බලය හිමිවේ. ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට අමතරව දහස් සංඛ්‍යාත සිවිල් සිසුන් ගාස්තු අයකිරීමේ පදනම මත එම ආයතන වලට බඳවා ගැනීමේ අවසරය ද පනතින් ප්‍රදානය කෙරේ.

එසේම අධ්‍යාපනය සම්බන්ධ මෙම සියලු තීන්දු ගැනෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ හමුදාවේ ඉහල නිලධාරීන් විසිනි. ශිෂ්‍යයන්ගේ, ආචාර්ය හා අනධ්‍යයන සේවකයන්ගේ දේශපාලනික හා වෘත්තීයමය මැදිහත්වීම් “ජාතික ආරක්ෂාවට හා ජාතික ප්‍රතිපත්තිවලට“ තර්ජනයක්ය යන කඩතුරාව යටතේ මැඩීම සඳහා පනතින් මිලිටරියට බලතල ලබා දී තිබේ.

අධ්‍යාපනයේ පුද්ගලීකරන හා මිලිටරීකරන සැලසුම්, වසංගතයෙන් උග්‍රකෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ සමස්ත කම්කරු පන්තිය මත ආන්ඩුව දිගේලි කර ඇති ප්‍රහාරයේ හා ආඥාදයක සැලසුම්වල කොටසකි.

නව පනත මගින් වර්ධනය කෙරෙන අන්තරායන් සම්බන්ධව ශිෂ්‍යයන්, ආචාර්යවරුන් ඇතුලු කම්කරු පීඩිත මහජනයා අතර විරුද්ධත්වයක් දැනටමත් අවුලුවා තිබේ. ඒ තත්වය තුල ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එමගින් පාලනය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) මෙම විරුද්ධත්වය, ධනපති සංවිධාන, ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයෙන් සැඳුම්ලත් අවස්ථාවාදී පෙරමුනක් මගින් ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙලක කොටු කිරීමේ වැඩට බැසගෙන ඇත.

ජූලි 01 දා පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කොතලාවල පනත සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වී ය. පනත පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔහු එහි දී ඉල්ලා සිටියේ ය. එසේ නොකලහොත් “පුලුල් බලවේගයක් ගොඩනගමින්” තමන් මැදිහත් වන බවට ඔහු පාරම් බෑවේය.

අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට හා මිලිටරීකරනයට විරුද්ධ කොටස් ආන්ඩුවේ හා විපක්ෂයේ ධනපති පක්ෂ තුල සිටීතැයි යන මිත්‍යාව ජයගොඩ මෙමගින් වගා දිගා කරයි. බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂගේ පොදු ජන පෙරමුන (පොජපෙ) පමනක් නොව, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය (ශ්‍රිලනිප), එක්සත් ජාතික පක්ෂය (එජාප), ඉන් බිඳී වෙන් වු සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන සියලූම පක්ෂ බලයේ සිටියදී කම්කරු පන්තිය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට දැමුවෝ වෙති.

මොවුන් ආන්ඩු බලයේ සිටියදී වේවා ඊනියා විපක්ෂ‍යේ සිටිය දී වේවා එක්ව ක්‍රියාවට නගන්නේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ රුදුරු කප්පාදු හා මර්දන පිලිවෙත් ය. උක්ත කොතලාවල පනත එහි පවත්නා විසකුරුභාවයෙන්ම 2018 දී පලමු වරට ඉදිරිපත් කරනු ලැබුවේ පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවයි. එය බලයට ගෙනඒම සඳහා ජවිපෙ ඍජුව ද පෙසප වක්‍රව ද උදවු කලහ.

එපමනක් නොව, සිංහල-දෙමල කම්කරු පන්තිය භේද කිරීම සඳහා ගෙන ගිය 26 අවුරුදු වර්ගවාදී යුද්ධයේ පාර්ශ්වකරුවන් වෙමින් සමස්ත සමාජය මිලිටරීකරනයට ඔවුහු සම්මාදම් වූහ. යුද්ධය තුල දී දෙමල ජනතාවට එරෙහිව වර්ධනය කෙරුනු රාජ්‍ය මර්දන යන්ත්‍රය දැන් ගෝඨාභය රාජපක්ෂ යටතේ කම්කරු පන්තියට, ගම්බද දිලිඳු ජනයාට හා තරුනයන්ට එරෙහිව යොදා ගනිමින් තිබේ.

පාර්ලිමේන්තුව තුල යමක් කෙරෙනු ඇතැයි යන මිත්‍යාව වැපිරීමේ දී මෙන්ම පාර්ලිමේත්තුවෙන් පිටත “පුලුල් බලවේග“ එකතු කිරීමේ පෙසප හා අවිශිබමයේ ප්‍රයත්නයේ මූලික එල්ලය වන්නේ, අධ්‍යාපන කප්පාදුවේත් ආඥාදායක පාලන තන්ත්‍රයන් බලයට පැමිනීමෙත් මූලය වන ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදයේ තතු වසන් කිරීම හා ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමේ ශක්‍යතාවය ඇති කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් වටා ශිෂ්‍යයන් හා තරුනයන් බලමුලු ගැන්වීමට එරෙහිව වැට බැඳීමයි.

ඔවුන් නැවත නැවතත් මන්ත්‍රයක් සේ දොඩවන “සටන් කරන බලවේග“ සමන්විත වන්නේ, ධනපති ආන්ඩුවේ සෑම ප්‍රහාරයකටම ඍජුව සම්බන්ධිත වාසුදේව නානායක්කාර වැනි ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන්, එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි තවත් ව්‍යාජ-වාම පක්ෂ වලින් හා ඒ ඒ ක්ෂේත්‍රවල කම්කරු අරගල හුදකලා කර පාවාදීම මගින් අපකීර්තියට පත්ව සිටින ලංකා ගුරු සංගමය වැනි වෘත්තීය සමිති රොත්තකිනි.

පෙසප හි පිටුබලය ලබන අවිශිබමය දැනටමත් පනතට “විරුද්ධ“ යයි කියාපාන ඉහත සංවිධානවල විඩියෝ පට ඔවුන්ගේ මුහුනු පොතේ පල කිරීම අරඹා ඇත. එහිදි නානායක්කාර කියා සිටියේ අවිශිබම නායකයන් තමන් හමු වී සාකච්ඡා කල බවත්, ඉදිරියේ දී “දෙපාර්ශ්වයටම එකගවිය හැකි තැනකට“ ගමන් කල හැකි බවත් ය.

“වහන්න බෑ කියපු සයිටම් හොර උපාධි කඩය වහලා පෙන්නුවා. සටන් කරලා ජයග්‍රහන ලබා ගත්තු ව්‍යාපාරයක් තමයි ශිෂ්‍ය ව්‍යාපාරය. මේක අකුල ගත්තේ නැත්නම් ලංකාව පුරාම උද්ඝෝෂන කරන්න අපි සූදානම්“ යයි පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක දී අවිශිබමය කැඳවුම්කරු රවින්ද්‍ර මුදලිගේ ප්‍රකාශ කලේ ය.

මාලබේ පිහිටා තිබූ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වසා දමැන්නැයි ඉල්ලා අවිශිබම දශකයක් (2008-2019) පුරා ඉහත නම් කරන ලද ධනපති කල්ලි කන්ඩායම් හා ඒකාබද්ධව විවිධ විරෝධතාවල යෙදුනි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් උක්ත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පලමුව ගෙන ආවේ, 2018 වන තෙක් සයිටම් හි ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමත් සමගයි.

සයිටම් වසා දමන්නැයි කල ඝෝෂාව අතරතුරේ දී ආයෝජන මන්ඩලයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිය ගනනක් රට පුරා අරඹා අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩපිලිවෙල පිමි ගනනාවකින් ඉදිරියට ගෙනගොස් තිබේ. පෙසප හා අවිශිබමය පාරම්බාන “ජයග්‍රහනවල“ පැටිකිරිය එබඳු ය.

කෙසේ නමුත්, ජයගොඩගේ උක්ත මාධ්‍ය සාකච්ඡාවේ දී යලි එලිමහනට පැමිනියේ මිලිටරීකරනය සම්බන්ධයෙන් පෙසප නගන විරුද්ධත්වය ව්‍යාජයක් බවයි. ආන්ඩුවේ මිලිටරීකරනය “අසාර්ථකත්වය, බැරිකම“ හමුවේ ගන්නා හුදු තත්කාර්යවාදී වැඩපිලිවෙලක් ලෙස පෙන්වා දීමට ඔහු උත්සාහ ගත්තේ ය. “මේ තියෙන පද්ධතියේ අර්බුදය ඉස්සරහ ජාම බේර ගන්න බැරි වුනා ම අසරන කමට, බයට කරන පිස්සු වැඩක් මේක. හැම දෙයකට ම හමුදාව ආදේශ කරන එක උමතුවක්” යයි ජයගොඩ ප්‍රකාශ කලේ ය.

කොවිඩ් වසංගතය මැඩීමේ වැඩකටයුතුවලට, “සහල් මෝල් මාෆියාවට“ එරෙහිව, රියදුරු බලපත්‍ර නිකුත් කිරිමට ආදී වශයෙන් හමුදාව යෙදවීම “අසාර්ථකව“ ඇතැයි ජයගොඩ කියා සිටියේ ය.

ආන්ඩුව මෙම අංශයන්ට මිලිටරිය යොදවා ඇත්තේ, කොවිඩ් වසංගතය මර්දනය කිරීමට, මහජනතාවට නිසි අයුරින් සහල් බෙදා හැරීමට හෝ රියැදුරු බලපත්‍ර පමාවකින් තොරව ලබා දීමට නොවේ; ඉහත කඩතුරාවන් යටතේ එම ක්ෂේත්‍ර තුලට මිලිටරිය කා වද්දා කම්කරුවන් ත්‍රස්තකොට ඔවුනගේ අරගල මැඩලීමටයි. එය 'උමතුවක්' නොව, අර්බුදයට පත් ධනපති පාලක පංතියේ ආඥාදායක සැලසුම්වල කොටසකි. ජයගොඩ හිතාමතාම එය වසන් කරයි.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මිලිටරිය යටතට පත් කලේ, වසංගතයේ මුල සිටම ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරික ලාභ තැබූ ආන්ඩුවේ පිලිවෙතට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වය මැඩීමට බව මහජනයා අත්දකිමින් සිටිති.

අනාරක්ෂිත කොන්දේසි යටතේ ඇඟලුම් කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීමේ දී මිලිටරි බලහත්කාරය යොදා ගැනීම, සෞඛ්‍ය සේවක වර්ජන මැද රෝහල් තුලට හමුදාව යෙදවීම වශයෙන් මිලිටරියේ මෙම වැඩකටයුතු වේගවත් කර තිබේ. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට මිලිටරිය යොදා ගත්තේ ද මහජනතාවගේ තොරතරුවලට ප්‍රවේශය ලබා ගැනීමේ අරමුනෙනි.

මෙම ව්‍යාජ-වම්මුන්, හමුදාව‌ට එරෙහිව මහජනතාව අතරින් වැඩෙන විරෝධය සම්බන්ධයෙන් කනස්සලු සහගතය. “හැම එකට ම හමුදාව දාලා හමුදාවට මොනව හරි කීර්ති නාමයක් තිබුන නම් දැන් ඒකත් විනාශ වෙලා තියෙනවා” යැයි ජයගොඩ කිවේ ය.

දශක තුනක සිවිල් යුද්ධය තුල දසදහස් සංඛ්‍යාත දෙමල පීඩිතයන් ද, 1971 සහ 1988-89 දී දකුනේ ලක්ෂයකට අධික තරුන-තරුනියන් ද අමුඅමුවේ මරා දැමූ ම්ලේච්ඡ හමුදාවකට 'මොනව හරි කිර්ති නාමයක්' තිබුනේ යැයි පැවසිය හැක්කේ, සිංහල අධිපතිවාදී ධනපති රාජ්‍යයේ සහ එහි අත්‍යන්ත උපකරනයක් වන මිලිටරියේ පරම ආරක්ෂකයෙකුට පමනි.

මේ වසරේ සිට 2026 තෙක් ඇමරිකන් ඩොලර් බිලියන 29 ක දැවැන්ත නය ගෙවීමට ආන්ඩුව තව තවත් නය ගනිමින් සිටී. අපනයන හා සංචාරක කර්මාන්තයේ පසුබෑම සහ විදේශ සංක්‍රමනිකයන්ගේ ප්‍රේෂන ගලා ඒම පහල බැසීම හේතුවෙන් ආන්ඩුවේ අර්බුදය තීව්‍ර වී ඇත.

ඒ තත්වය තුල, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන වියදමි දැවැන්ත පරිමානව කපා හරින අතරේ, දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ මඩි තර කරදෙන මාර්ගයක් ලෙස අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආන්ඩුවට අනවයි. ඒ සමගම, මිලිටරීකරන වැඩපිලිවෙල අධ්‍යාපනය ඇතුලු සියලු ක්ෂේත්‍රයන් තුල පුලුල්ව සහ වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආන්ඩුවේ අභිලාෂයයි.

පෙසපයේ හා අවිශිබමයේ මඩ කිරීම්වලට එරෙහිව, ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයේ තතු පැහැදිලි කරමින්, මිලිටරීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ කම්කරුවන්, තරුනයන් ශිෂ්‍යයන් ගත යුතු මූලිකත්වය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය කරන අන්තර්ජාල රැස්වීමක් මේ මස 16 දා සවස 7.00 ට පැවැත්වේ.

“අධ්‍යාපනය මිලිටරීකරනය සහ පෞද්ගලීකරනය කෙරෙන කොතලාවවල විශ්වවිද්‍යාල පනත පරාජය කල හැක්කේ කෙසේ ද ?' යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගිවන ලෙස අපි කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

Loading