අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා මිලිටරීකරනයට එරෙහි ව සසජාතශි සාර්ථක රැස්වීමක් පවත්වයි

නිදහස් අධ්‍යාපන අයිතියට තීරනාත්මක ප්‍රහාරයක් එල්ල කෙරෙන “කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට” එරෙහි ව වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය මධ්‍යයේ, “අධ්‍යාපනය පෞද්ගලීකරනයට හා මිලිටරීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේද?” යන මාතෘකාව යටතේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය පසුගිය 16 වැනි දා සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පැවැත් විය.

සූම් තාක්ෂනය ඔස්සේ විකාශනය වූ රැස්වීමට ගුරුවරුන් ඇතුලු කම්කරුවන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් සමන්විත සියයක පමන සංඛ්‍යාවක් සම්බන්ධ වූහ. සසජාතශි නිල මුහුනු පොතේ ද සජීවි ව විකාශය වූ එම රැස්වීම මේ වන විට කිහිප සියයක් නරඹා තිබේ.

"අධ්‍යාපනය මිලිටරීකරනයට හා පුද්ගලීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේද?" රැස්වීම නරඹන්න

රැස්වීමට පෙර දෙසතියක කාලයක් පුරා සසජාතශි හා සමාජවාදී සමානතා පක්ෂ (සසප) සාමාජිකයෝ රැස්වීම ගොඩනැගීම සඳහා ගුරුවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා කම්කරුවන් අතර උද්ඝෝෂනයක යෙදී ගත්හ.

අධ්‍යාපනය පෞද්ගලීකරනය හා මිලිටරීකරනය වේගවත්ව ඉදිරියට ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන ආ ඉහත පනත සහ එයට ව්‍යාජ-වාම සංවිධාන දක්වා ඇති ප්‍රතිචාරයන් පිලිබඳ විශ්ලේෂනයන් ද, උද්ඝෝෂනවලදී මහජනතාව පලකල අදහස් ද අන්තර්ගත ලිපි ගනනාවක් මෙම උද්ඝෝෂනයට සමාන්තර ව ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (ලෝසවෙඅ) පල කෙරුනි.

“පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ පලමු වරට ගෙන එන ලද අවස්ථාවේ දී ඊට එරෙහි ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු මහජනයාගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් තාවකාලිකව හකුලා ගත් මෙම පනත දැන් මිලිටරිය මත පදනම්ව ජනාධිපති ආඥාදායකත්වයක් දිසාවට ගමන් කරන ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ යලි ඉදිරියට ගෙන ඇත” යයි රැස්වීමේ මුලසුන හෙබ වූ සසප දේශපාලන මන්ඩල සාමාජික සහ සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු සඳහන් කලේ ය.

මේ වසරේ මාර්තු මාසයේ දී කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමි ව ඇති පනත, මහජන විරුද්ධත්වය නොතකා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ක්‍රියාත්මක කිරීම ආන්ඩුවේ එල්ලය බව පැවසූ ඔහු, “අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් වෙන්න දෙන්නේ නැත” යැයි පසුගිය දා ජනාධිපති රාජපක්ෂ කල ප්‍රකාශයේ ප්‍රෝඩාකාරී ස්වභාවය පැහැදිලි කලේ ය.

“වසරකට ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනෙන්නේ උසස් පෙල සමත් සිසුන්ගෙන් සියයට 17 ක් තරම් සුලු සංඛ්‍යාවක්. මෙම සීමිත අවස්ථා මගින් ඇති කර තිබෙන තරගය තුල සමස්ත පාසල් අධ්‍යාපනය තුල අධ්‍යාපන පෞද්ගලීකරනය ඉහල ගොස් තිබෙනවා. එය කොතරම් ද කිවහොත් ලංකාවේ සාමාන්‍ය පවුලක අමතර පන්ති ගාස්තුවලින් සමන්විත අධ්‍යාපන වියදම ආහාර සඳහා වැය කරන වියදමට සමාන වෙමින් තිබෙනවා“ යයි ප්‍රනාන්දු පැවසී ය.

අධ්‍යාපනය පෞද්ගලීකරනය මගින් සිදුවනුයේ සීමිත නිදහස් අධ්‍යාපනය තව තවත් ඛාදනය වීමයි. දල ජාතික නිෂ්පාදිතයේ (දජානි) ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපන වියදම් අඛන්ඩ ව කප්පාදු වී ඇති ආකාරය සසජාතශි කැඳවුම්කරු වැඩිදුරටත් පෙන්වා දුන් අතර මේ වන විට එය සියයට 2 ටත් අඩු මට්ටමක පවතී.

කොතලාවල පනත තුලින් මතු කෙරෙන මිලිටරීකරනය හුදු අධ්‍යාපනයට පමනක් සීමා වී නැතැයි පවසමින් රැස්වීමේ ප්‍රධාන කතාව ආරම්භ කල සසප දේශපාලන මන්ඩල සාමාජිකයෙකු සහ සසජාතශි හි නායකයෙකු වන ප්‍රගීත් අරවින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ තවදුරටත් වේගවත් වෙන මිලිටරීකරන සැලසුම් පිලිබඳ ව කරුනු ඉදිරිපත් කලේ ය.

“රාජපක්ෂ බලයට ආවේ ‘ජාතික ආරක්ෂාව තහවුරු කරනවා’ කියලා. ඒ යටතේ ඔහු, මිලිටරියේ නායකයන් රාජ්‍ය අංශවල ප්‍රධාන තනතුරු වලට පත් කිරීම ආරම්භයේදීම ක්‍රියාත්මක කලා. එවැනි සූදානමක් අවශ්‍ය කලේ ඔහු බලයට පත් වන විටත්, කම්කරු පන්තිය හා පීඩිත ජනතාව තුලින් මතු වෙමින් පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා. වසංගතයට ආන්ඩුව දැක්වූ සාපරාධී ප්‍රතිචාරය හේතුවෙන් මෙම විරුද්ධත්වය ඉහල යද්දී රාජපක්ෂ මෙම සැලසුම් තවත් වේගවත් කරමින් ඉන්නවා” යයි අරවින්ද පැවසී ය.

රටෙහි සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි සෑම අංශයකටම මිලිටරිය කා වැද්දවීමට ගෙනයන වැඩකටයුතුවල කොටසක් ලෙස වසංගතය “මැඩීමේ“ කටයුතු මිලිටරියට පැවරුනි. තරුනයන් මිලිටරි පුහුනුවට යටත් කිරීම, මහජනතාවට එරෙහි ඔත්තු බැලීමේ යාන්ත්‍රනයක් සහිතව ප්‍රාදේශීය මට්ටමින් ආරක්ෂක කමිටු පිහිටුවීම, මිලිටරිය යටතේ තරුනයන් ලක්ෂයකට රැකියා දීම එම මිලිටරීකරන සැලසුම්වලට අයත් වේ.

“1978 විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුව ද” නව පනත මගින් කොතලාවල විශ්වවිද්‍යාලය යටතේ ඊට අවශ්‍ය පරිදි පීඨ, මන්ඩප පිහිටු වීමේ හා උපාධි පිරිනැමීමේ බලය හිමි වන බවත් එමගින් පෞද්ගලික ආයෝජකයන්ට දොර හැර දෙන බවත් පනතේ වගන්ති උපුටා දක්වමින් අරවින්ද පැහැදිලි කලේ ය.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එහි අන්ඩක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), ගුරු සංගම් හා ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි සංවිධාන ආන්ඩුවේ මිලිටරීකරනයට සහාය දක්වන අතරේ “අධ්‍යාපනය මිලිටරීකරනයට” පමනක් විරුද්ධ යයි පැවසීම මුලුමනින්ම ප්‍රෝඩාවකි.

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය “කැඩෙට් භටයන් පුහුනු කිරීමට අපේ විරුද්ධත්වයක් නෑ. අපේ විරුද්ධත්වය තියෙන්නේ සමස්ත අධ්‍යාපනය මිලිටරිය යටතට ගෙන ඒමටයි” යනුවෙන් පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයක් උපුටා දැක් වූ අරවින්ද, ධනපති රාජ්‍යයේ අත්‍යන්ත උපකරනයක් වන මිලිටරිය පවත්වාගෙන යාමට සහ එය ප්‍රවර්ධනය කිරීමට මේ සියලු සංවිධාන සහාය දෙන්නේ ඔවුන් ධනපති රාජ්‍යයේ ආරක්ෂකයන් නිසා බව පෙන්වා දුන්නේය.

ජවිපෙ, 2006 රාජපක්ෂ ආන්ඩුව විසින් යලි ආරම්භ කල වර්ගවාදී යුද්ධයේ ප්‍රමුඛ ම කසකාරයෙක්ව සිටි ආකාරයත්, 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාර ගසා කමින් රට පුරා හමුදාව යෙදවීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගත් මර්දනකාරී පියවර සමග පෙල ගැසුනු මෙම ව්‍යාපාර මිලිටරීකරනයට උඩ ගෙඩි දුන් ආකාරයත් ඔහු පැහැදිලි කලේ ය.

“මිලිටරිය විශේෂ පුහුනුවකට ලක් කරන්නේමත් කම්කරු පන්තියට එරෙහි ව ප්‍රහාර හොදින් සුදානම් කිරීමටයි. ඔත්තු බැලීම, විරෝධතා මැඬීම ආදි කටයුතුවලට තාක්ෂනික ව සන්නද්ධ කොටස් පුහුනු කෙරෙනවා නිසැකයි” අරවින්ද ප්‍රකාශ කලේ ය.

මෙම සංවිධාන ඒකාබද්ධව යලි වතාවක් විවිධ ධනපති සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ගොනු කොට අවස්ථාවාදී “පෙරමුනු” ගොඩනගමින් ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ මහජනතාවගේ විරුද්ධත්වය අවමංගත කිරීමට පෙරට විත් තිබේ. උත්ප්‍රාසය වන්නේ, පවතින ආන්ඩුවට බලපෑම් යෙදීම සඳහා මෙම රුදුරු පනත පලමු වරට ඉදිරිපත් කල පසුගිය ආන්ඩුවේ පාර්ශවකරුවන්වූ සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජනබලවේගයේ සහාය පතා අවිශිබමය ඔවුනගේ දෙපතුලට බඩගෑමයි.

පුද්ගලීකරනයට එරෙහි ව සිසුන් තුල වැඩුනු විරෝධය, හුදු සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනකට කොටු කොට එම විරෝධය අවමංගත කල ආකාරය පැහැදිලි කරමින් ලෝසවෙඅහි පල කෙරුනු ලිපියක් අරවින්ද මෙසේ උපුටා දැක්වීය.

“බැරි ම තැනක දී සයිටම් විශ්වවිද්‍යාලය රජය සතු කර ගැනීමක් සිදු වේ යයි මොහොතකට උපකල්පනය කරමු. එහෙත් ආන්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරනය ඇතුලු සමාජ අයිතීන්ට කෙටීමේ වැඩපිලිවෙල අත්හරීද ? එසේ කිව හැක්කේ ධනේෂ්වර ගැති තකතීරුවෙකුට හෝ ධනපති ක්‍රමය හුවා දැක්වීමට සැදී පැහැදී කැපවී සිටින වංචනිකයෙකුට පමනි“

“විරෝධතා මගින් පුද්ගලීකරනය ඇතුලු අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරය ආපස්සට හරවන්න බෑ කියන එක පැහැදිලියි. ඒත් අද දිනයේද පෙසප සහ අවිශිබමය යෙදී සිටින්නේ මේ වංචනික ක්‍රියාකලාපයේ ම' බව අරවින්ද පැවසී ය.

සසප හා සසජාතශි හි දේශපාලනික මැදිහත්වීමේ අර්ථභාරය පැහැදිලි කල අරවින්ද “කම්කරු පන්තියේ කාර්මික ශක්තිය බලමුලු ගැන්වීමට හා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් වටා ශිෂ්‍යයන් හා ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීමට පවත්නා බලගතු ශක්‍යතා ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය මගින් පෙන්නුම් කරනවා“ යයි පැවසී ය.

විශ්‍රාම වැටුප්, සෞඛ්‍යරක්ෂන, වැටුප් වර්ධක ආදිය කප්පාදු කරමින් වොල්වෝ සමාගම හා යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය එක්ව කම්කරුවන් මත පැටවීමට යන සාමුහික ගිවිසුමට එරෙහි ව ඇමරිකාවේ වර්ජනියාහි වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන් ගෙනයන අරගලය හා ඒ තුල එක්සත් ජනපද සසප මූලිකත්වය ගත් වොල්වෝ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව කල මැදිහත්වීම ලෝකය පුරා පන්ති අරගලයේ සංධිස්ථානයකි.

ලෝක ධනේශ්වර ක්‍රමය මුහුන දී සිටින ප්‍රගාඪ අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන ධනපති ආන්ඩුවල හා මහ සමාගම්වල උපකරන බවට වෘත්තීය සමිති පත්ව ඇත. ඒ තත්වය තුල ලෝක පරිමාන ව පන්ති අරගලයේ මූලික ලක්ෂනයක් වන්නේ වෘත්තීය සමිතිවලට පිටින් මෙම අරගල වර්ධනය වීමයි.

ලංකාව තුල සෞඛ්‍ය, අධ්‍යාපන සහ වතු කම්කරුවන් අතර වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට සසප මේ වන විට සමත් වී තිබේ. වෘත්තීය සමිතිවල ද්‍රෝහි ක්‍රියාකලාපයට එරෙහි ව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සදහා අරගලය පෙරට ගැනීමේ අවශ්‍යතාවය රැස්වීමේ දී අරවින්ද අවධාරනය කලේ ය.

“අපි එවැනි ව්‍යාපාරයක් නියෝජනය කරමිනුයි සහෝදරවරුන් අමතන්නේ. අධ්‍යාපනය පෞද්ගලීකරනයට අව්‍යාජ ව සටන් කරන සහෝදරවරුන්ගෙන් අපි ඉල්ලන්නේ මේ වැඩපිලිවෙල අධ්‍යනය කරමින්, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර පරාජය කිරීමේ, වසංගතය මැඬීමේ හා ලෝක යුද අන්තරාය පරාජය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීම සඳහා පෙරට එන ලෙසයි” යන කැඳවුම කරමින් අරවින්ද සිය කතාව අවසන් කලේ ය.

අනතුරුව ඇරඹුනු ප්‍රශ්න ඇසීමේ සහ සාකච්ඡා වාරයේ දී, 1981 දී එක්සත් ජාතික පක්ෂ (එජාප) ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුව විසින් ගෙන එන ලද “අධ්‍යාපන ධවල පත්‍රිකාව” පිලිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස එක් ශ්‍රාවකයෙක් ඉල්ලා සිටියේ ය.

ජයවර්ධන ආන්ඩුව 1980 ගනන් වල මුල සිට ඊනියා නිදහස් වෙලඳපොල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ලංකාව ගෝලීය ප්‍රාග්ධනයට ඒකාග්‍ර කිරීමේ වැඩකටයුතු ආරම්භ කලේ ය. ඒ යටතේ ක්‍රියාත්මක කෙරුනු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙල තුල, අධ්‍යාපන ක්ෂේත්‍රය එල්ල කර ගත් ප්‍රහාරය කෙටුම්පත්කොට ඉදිරිපත් කෙරුනේ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” ලෙසයි. මෙය, ජයවර්ධන ආන්ඩුව කම්කරු පන්තිය මත එල්ල කල ප්‍රහාර මාලාවේ කොටසක් විය.

අද දින කැලනිය විශ්ව විද්‍යාලයට අයත් රාගම පිහිටි වෛද්‍ය පීඨය, “උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය” නම්න් 1981 දී ජනාධිපති ජයවර්ධන අතින්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස විවෘත කෙරුනේ, මෙම “අධ්‍යාපන ධවල පත්‍රිකාවට” සමගාමී ව ය.

එයට එරෙහි ව වැඩුනු දැවැන්ත මහජන විරෝධය හමුවේ “ධවල පත්‍රිකාව” හකුලාගත් නමුදු, එහි අන්තර්ගත ව තිබූ සියලු සැලසුම් පසුගිය දශක හතර පුරා බලයට පැමිනි ආන්ඩුවලින් ඉදිරියට ගෙන ගොස් ඇත. දැවැන්ත පරිමාන ව මුදල් අය කෙරෙන ඊනියා ජාත්‍යන්තර පාසල් ඇතුලු පෞද්ගලික පාසල්, පෙර පාසල් සහ පුද්ගලික උපාධි ආයතන දහස් ගනනක් දිවයින පුරා ක්‍රියාත්මක වෙයි.

එවකට අවිශිබම ට නායකත්වය දුන් ජවිපෙ, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි ව වැඩුනු දැවැන්ත මහජන විරෝධය හුදු රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධයක් තුල කොටුකොට අවමංගත කලේ ය.

Loading