අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සසජාතශි රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට උනන්දු සහගත මහජන ප්‍රතිචාරයක්

අධ්‍යාපනය පෞද්ගලීකරනය හා මිලිටරීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද? යන හිසින් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් අද (16දා) පැවැත්වීමට නියමිත ඔන්ලයින් රැස්වීම නිමිති කොට පසුගිය දින කිහිපය පුරා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා එහි තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සසජාතශි හි සාමාජිකයෝ දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් ගුරුවරු හා ශිෂ්‍යයන් සමග සාකච්ඡාවක නිරත වූහ.

එම සාකච්ඡාවේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මහජන අධ්‍යාපනයට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව දියත් කොට තිබෙන ප්‍රහාරවලට දැඩි විරුද්ධත්වයක් පලකල ගුරුවරු සහ ශිෂ්‍යයෝ, එම ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීම සඳහා සසප සහ සසජාතශි ඉදිරිපත් කරන සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳව උනන්දු සහගත ප්‍රතිචාරයක් දැක්වූ අතර, ඔවුන්ගෙන් බොහොමයක් සසජාතශී රැස්වීමට සහභාගිවන බව ද ප්‍රකාශ කලහ.

2018 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් පලමු වරට ගෙන ආ අවස්ථාවේ දී පැන නැගි මහජන විරෝධය හමුවේ තාවකාලිකව හකුලා ගැනුනු, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත, රාජපක්ෂ ආන්ඩුව යටතේ යලි ක්‍රියාවට දැමීමට කටයුතු වේගවත් කර ඇත. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී “විවාදයට“ ගැනුනු එය නුදුරේම සම්මත කර ගැනීම ආන්ඩුවේ බලාපොරොත්තුවයි.

1978 විශ්වවිද්‍යාල පනතට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මකවීමේ සුවිශේෂී බලතල කොතලාවල විශ්වවිද්‍යාලයට නව පනතෙන් හිමි වේ. මුදල් අයකොට අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාල ආයතන, පීඨ, මන්ඩප ආදිය රටපුරා පිහිටුවීමට හා විදේශ විශ්වවිද්‍යාල සමග ඍජුව කටයුතු කිරීම එම බලතල වලට අයත් වෙයි.

එලෙස පිහිටවනු ලබන විශ්වවිද්‍යාලවල පාලනය සිදුවනු ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දී මෙන් ආරක්ෂක අමාත්‍යාංයේ හා ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් විසිනි. කොතලාවල විශ්වවිද්‍යාලයේ දැනටමත් ක්‍රියාත්මක මිලිටරි විනයට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය යටත් කිරීම ආන්ඩුවේ එල්ලයයි.

පනතට එරෙහිව, ගුරු හා ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන්ගේ එකමුතුවක් වන “අධ්‍යාපනය සුරැකීමේ සිසු-ජන ව්‍යාපාරය” විසින් මේ මස 09 දා පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට ආන්ඩුව එල්ල කල මුර්ග පොලිස් ප්‍රහාරයට විරෝධය පල කරමින් මේ වන විට රට පුරා පාසල් ගුරුවරු මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත්ව වර්ජනයක නිරතව සිටිති.

ඉහත “සිසු-ජන ව්‍යාපාරය” ව්‍යාජ-වාම පෙරටුගාමී පක්ෂය හා ඒ යටතේ ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින් විවිධ ධනපති පක්ෂ, මධ්‍යම පන්තික සංවිධාන හා වෘත්තීය සමිති නිලධරය ඒකාබද්ධ කර ගොඩනැගූ අවස්ථාවාදී පෙරමුනකි. බලයේ සිටින ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් අධ්‍යාපන අයිතිය දිනා ගත හැකිය යන මිත්‍යාව වගා දිගා කරමින්, ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වන ගුරු-සිසු-දෙමාපිය විරුද්ධත්වය අවමංගත කිරීම මෙම පෙරමුනේ එල්ලයයි.

දැන් දින 05 ක් තිස්සේ ඇදෙන වර්ජනය මගින් ප්‍රකාශිත වන්නේ, අධ්‍යාපනය පෞද්ගලීකරනය, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට අවශ්‍ය පියවර නොගැනීම සහ වසංගතය තුල ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නො සැපයීම ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර සම්බන්ධව ගුරුවරුන් අතර කැකෑරෙන වෛරයයි.

පහත පල වන්නේ සසප හා සසජාතශි සමග සාකච්ඡාවට සම්බන්ධ වූ ගුරුවරුන් හා ශිෂ්‍යයන් පල කල අදහස් ය.

රත්නපුර ප්‍රදේශයේ අති දුෂ්කර පෙදෙසක අධ්‍යාපන කටයුතුවල නිරත නිරූපා නමැති ගුරුවරිය මෙසේ ප්‍රකාශ කලා ය: “මට ගුරුවරියක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුනේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙසයි. එම අයිතිය තවත් ඉහලට ඔසවා අනාගත පරම්පරාවන් භුක්ති විදිනවා දකින්න මම කැමතියි. මේ ආන්ඩුව එම අයිතිය අහෝසි කිරීමට ගෙනයන වැඩ පිලිවෙල පරාජය කල යුතුයි.”

“අපි මාර්ග ගත අධ්‍යාපන කරන්නේ අපේ අතින් වියදම් දරා ගෙන. අපි ගොඩක් දුප්පත් දරුවන්ට ආර්ථික වශයෙන් උදව් කරනවා. ඒත් අපට ලැබෙන වැටුපෙන් එවැනි කැප කිරීමක් කරන්න තිබෙන ඉඩකඩ ඉතාම සීමිතයි. විරෝධතා තහනම හේතුවෙන් ආන්ඩුවට විරුද්ධත්වය වැඩෙමින් පවතිනවා. අධ්‍යාපනය පුද්ගලීකරනය හා මිලිටරීකරනය සඳහා ආන්ඩුව ගෙනයන පිලිවෙත් පරාජය කිරීමේ සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳව අපව දැනුවත් කිරීමට ගෙනයන මෙම රැස්වීමට මම අනිවාර්යයෙන් සහභාගි වෙනවා.”

බන්ඩාරවෙල විද්‍යා ගුරුවරයෙකු වන සරත් සිල්වා අධ්‍යාපන පෞද්ගලීකරනයටත්, ජීවන වියදමට සරිලන වැටුප් ඇතුලු මූලික අයිතීන් දිනා ගැනීමටත් ගුරුවරුන් අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධව අරගලයක් දියත් කිරීමේ අවශ්‍යතාවය මතු කලේ ය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුලු වෘත්තීය සමිති නායකයන් විසින් ඉඳහිට කරන මැදිහත්වීම් වලින් කම්කරුවන්ට ජයග්‍රහන කිසිවක් ලබා ගැනීමට නො හැකි වී ඇතැයි සිල්වා පැවසී ය. “ගුරුවරුන්ගේ වැටුප් අරගලයට දැන් අවුරුදු 25 ක් වෙනවා. ඒත් තවම විසඳුමක් නෑ. මේ මෑතක තිබුනු සෞඛ්‍යය සේවකයන්ගේ අරගලයත් සෞඛ්‍යය ඇමතිනියගේ පොරොන්දු මත වෘත්තීය සමිති පාවා දුන්නා.”

ඇමරිකාවේ වොල්වෝ ට්‍රක් රථ සමාගමේ ප්‍රහාරවලට කම්කරුවන් යටත් කිරීමට යුඒඩබ්ලිව් වෘත්තීය සමිතිය ඉටු කරන ද්‍රෝහී භූමිකාව ද ඇතුලුව ලොව පුරා වෘත්තීය සමිති ධනේෂ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන උපකරන බවට පත්ව ඇති ආකාරය ගෙන හැර දැක්වමින් සසප සමාජිකයන් කල පැහැදිලි කිරීමට ඔහු උනන්දුවෙන් සවන් දුන්නේ ඒ ගැන විස්තර ද විමසමිනි.

වැලිමඩ කෘෂිකර්ම ගුරුවරයෙක් මෙසේ පැවසීය: “ආන්ඩුව අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කරමින් සහ එයට එරහි විරෝධතා මඩිමින් ඉන්නවා. ඒ අතර තුරේ ගුරුවරුන්ගේ වර්ජනය දරුවන්ගේ අධ්‍යාපනය විනාශය කිරීමක් ලෙස මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරනවා. මේ සියල්ල මම හෙලා දකිනවා. පාසල් ලමුන් හා දෙමාපියන් ද ආන්ඩුව ගැන විශාල වෛරයකින් පසු වෙන්නේ. දැන් විදුහල්පතිවරුම කියනවා ඔන් ලයින් අධ්‍යාපනය නතර කරන්න කියලා.”

වසංගතය මැද ගුරුවරු මුහුන දුන් ප්‍රශ්න සම්බන්ධයෙන්, වෘත්තීය සමිති කිසිදු මැදිහත්වීමක් නො කල බව ඔහු පැවසීය. “ගුරු සංගම්, හැම අරගලයකදීම ගුරුවරු රවටමින් හිටියේ. ඉල්ලීම් දිනා ගන්න විකල්ප වැඩපිලිවෙලක් සහ විකල්ප සංවිධාන රූපයක් අවශ්‍යයි. සසප නායකත්වයෙන් ගොඩනගමින් සිටින කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු හා ඒවායේ ජාත්‍යන්තර සන්ධානය ඒ සඳහා වැදගත් ඉදිරි පියවරක් විදිහට මම දකිනවා.”

ගම්පහ පාසලක සෞන්දර්ය ගුරුවරියක් වන චතුරිකා ගුරුවරුන් මත පටවා ඇති අමතර බර පැටවීම් ඇතුලු දුෂ්කර රැකියා කොන්දේසී පිලිබඳව දීර්ඝ ලෙස විස්තර කලා ය: “අපට කලින්ට වඩා ගොඩාක් අමතර බර පැටවිලා තිබෙනවා. විශේෂයෙන් ම පත්‍රිකා විශාල ප්‍රමානයක් පිරවීමට සිදු වෙලා තිබෙනවා. ශිෂ්‍යයන්ගේ ඔන්ලයින් අධ්‍යාපනට පහසුකම් නැති කමින් අපි තවත් කාර්ය බහුල වෙලා.”

වසංගතය හේතුවෙන් ගැඹුරු වූ තම පවුලේ ආර්ථික දුෂ්කරතා පිලිබඳව ඇය විස්තර කලා ය. “කොරෝනා වෛරස් ගැටලුවත් එක්ක මගේ සහෝදරයට රැකියාව අහිමි වුනා. ඔහු හෝටලයක කුක් කෙනෙක් ලෙස වැඩ කරන්නේ. ඒ නිසා එයාගෙ දරුවො දෙන්නගෙ අධ්‍යාපනයට වියදම් කරන එක ගැටලුවක් වුනා”

ගුරුවරුන්ගේ වැටුප් ඉතා පහල මට්ටමක පවතින නිසා තම සොහොයුරාට උදව් කිරීමට නො හැකි බව ඇය කනගාටුවෙන් ප්‍රකාශ කලා ය. “මගේ සහෝදරයගෙ දරුවො වගේ තවත් බොහෝ දරුවො මේ වගේ තත්වයන්ට මුහුන දෙනවා.”

සසප යෝජනා කරන වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු පිලිබඳ ව ඇය මෙසේ සඳහන් කලා ය: “එලෙස සංවිධානය වීම අවශ්‍ය යයි කියලා මම පිලිගන්නවා. මොකද වෘත්තීය සමිති වෙනත් කම්කරුවන් සමග සංවිධානය වීම ගැන කතා කරනවා තියා අපේ අරගල සංවිධානය කිරීම ගැන අපව දැනුවත් කිරීමක්වත් කරන්නේ නැහැ.”

අන්තර්ජාලය හරහා කොතලාවල පනත පිලිබඳව කරුනු සෙවීමේ දී සසජාතශී රැස්වීම පිලිබඳ දැන ගත් ශිෂ්‍යයෙක්, “ලෝකය පුරා ආන්ඩු වසංගතය මැඩීමට පියවර ගන්නෙත් නෑ. වියදම් කරන්න සල්ලි නෑ කියලා ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් දෙන්නෙත් නෑ. එහෙම කියලා අපිට අපේ අධ්‍යාපනය ආපස්සට ගන්න බෑ. ගොඩක් ලමයිට අසාධාරනයක් වෙලා තියෙන්නේ. කම්කරු පන්තිය ඒකාබද්ධව සමාජවාදය සඳහා ගෙන යා යුතු සටන පිලිබඳව වැඩිදුර සාකච්ඡාවට මම රැස්වීමට අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා” යැයි පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ විරැකියා තරුනයෙක් මෙසේ පැවසීය: “ධනේෂ්වර ක්‍රමයේ අර්බුදය වසංගතයෙන් ගැඹුරුවීමත් එක්ක ආන්ඩුව විශාල වශයෙන් මර්දනය වැඩි කරමින් යන බව පාර්ලිමේන්තු වටරවුමේ දී විරෝධතාවයට එල්ල කල ප්‍රහාරයෙන් පෙන්නුම් කෙරෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරනය හා මිලිටරීකරනය සම්බන්ධ ව සැලකිය යුතු කතා බහක් සමාජය තුල වර්ධනය වෙලා තියෙන තත්වයක සසජාතශි රැස්වීම ගොඩක් වැදගත් වෙනවා.”

“විවිධ කන්ඩායම් මේ පිලිබඳව සාකච්ඡා කරනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ තියෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) කියන්නේ අතීතයේ ඉඳන්ම විරෝධය පෑමේ ව්‍යාපාරයක් විතරයි. අපිට මේ ප්‍රශ්නවලට ස්ථරසාර විසඳුමක් අවශ්‍යයි”.

කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්: “පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය කියන්නෙ ආන්ඩුවට බලපෑම් දාල මේ කොතලාවල පනත පරාජය කරන්න පුළුවන් කියලා. ඒක විහිළුවක්. ඒ ගොල්ලෝ කරන්නේ අරගලය වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ පෙන්නලා අරගලය පාවා දීම.”

“බලපෑම් දැමීමෙන් මිලිටරිකරනය, පෞද්ගලීකරනය නවත්වන්න පුළුවන් නම් අද ගොඩක් ප්‍රශ්න විසඳිලා තියෙන්න ඕන. ශිෂ්‍යයන්ට තරුනයන්ට නිවැරදි ඉදිරිදර්ශනයක් අත්‍යාවශ්‍ය වෙනවා. මේ පිලිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. ඒ නිසා මම ආරාධනා කරනවා අනිකුත් සහෝදර සහෝදරියන්ටත් මේ ඔන්ලයින් රැස්වීමට සහභාගී වෙන්න කියලා.”

Loading