වර්ජන සාපරාධිකරනය කරන අත්‍යවශ්‍ය සේවා නීතිවලට දෙමසයි! වෘත්තීය සමිතිවල මුනිවත රැකීම දිගටම

ජුලි 20 වෙනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කම්කරු පන්තියේ වර්ජන ඇතුලු සියලු පන්ති ක්‍රියාවන් සාපරාධිකරනය කිරීමේ අත්‍යාවශ්‍ය සේවා නියෝග යලි වතාවක් දීර්ඝ කරනු ලැබී ය. රාජ්‍ය අංශයේ මිලියනයකට ආසන්න කම්කරුවන්ට බලපාන පරිදි මැයි 27 වෙනිදා ඔහු විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කල මෙම නීති ජුනි 2 වෙනිදා යලි දීර්ඝ කෙරුනි. එතැන් පටන් දෙසතියකට වරක් දීර්ඝ කරන මෙම අත්‍යාවශ්‍ය නියෝග පනවා මේ වන විට දෙමසක් ගත වී තිබේ.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ පනවා ඇති මෙම නීතිවලට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතු වුව ද එය පැහැර හරිමින් ජනාධිපති රාජපක්ෂ ඒවා සති දෙකකට වරක් යලි යලිත් බලාත්මක කරන්නේ අත්තනෝමතිකව හා ආඥාදායක විධික්‍රමයකට අනුවය. රාජපක්ෂ මෙම මෘග නීති බලාත්මක කර තිබෙන්නේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට විරුද්ධ ව ගෝලීය ව වැඩෙන පන්ති සටන් හා සම්බන්ධිත ව ශ්‍රී ලංකාව තුල පන්ති අරගල පුපුරා යන කොන්දේසි තුල ය.

එහෙත් ආන්ඩුවේ මෙම මර්දන නීති සම්බන්ධයෙන් වෘත්තීය සමිති පවත්වා ගෙන යන්නේ මරනීය නිහඬතාවයකි. රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, වෘත්තීය සමිති ද වර්ධනය වන පන්ති අරගල නිසා තැති ගැනී සිටිති. එහෙයින් අත්‍යාවශ්‍ය සේවා නීතිවලට සපුරා සහයෝගය දෙන වෘත්තීය සමිති අනුගනමනය කරමින් සිටින්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට කම්කරු පන්තිය මුලුමනින් ම යටත්කර තැබීමේ ප්‍රතිගාමී පිලිවෙතකි.

වරාය, ඛනිජ තෙල්, ගෑස්, දුම්රිය හා බස් රථ ප්‍රවාහන අංශ, තැපැල්, මහ බැංකුව ඇතුලු සියලු රාජ්‍ය බැංකු, රක්ෂන ආයතන, රේගුව සහ පලාත් පාලන ආයතන වලට සම්බන්ධ සේවා වල පන්ති ක්‍රියාවන් මෙම නීති මගින් තහනම් කෙරෙයි. දෙසතියකට පෙරාතුව අත්‍යාවශ්‍ය සේවා නියෝග යලි පැනවීමේ දී එහි අඩංගු නොවූ සෞඛ්‍ය සේවාව ද මෙවර යලි ඇතුලත් කර තිබේ.

මෙම නීතිය උල්ලංඝනය කරමින් පන්ති ක්‍රියාවන්හි යෙදෙන්නන් හෝ ඒවා ප්‍රවර්ධනය කරන්නන් හෝ ඒවාට අනුබල දෙන්නන් මත සිර දඬුවම්ව හා මුල්‍ය දඩ පැනවෙයි. ඒ අනුව ඔවුන් වසර 2 සිට 5 දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමකට හෝ රුපියල් 2000, සිට 5,000 දක්වා වූ මුල්‍ය දඩයකට හෝ ඒ දෙකටම යටත් කල හැකිය. වරදකරුවන් වන තැනැත්තන්ගේ නිශ්චල හා චංචල දේපොල රාජසන්තක කිරීම සහ ඔවුන්ගේ නම් රාජ්‍ය සේවාවේ අනාගත රැකියා ලයිස්තුවලින් ඉවත් කිරීම කල හැකිය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජුනි 7 වෙනිදා පලකල ලිපියක් මෙම අත්‍යාවශ්‍ය සේවා නියෝග වල සැබෑ අරමුන පැහැදිලි කරමින් කම්කරු පන්තියට මෙසේ අනතුරු ඇඟවුයේ ය: “ලොව පුරා කම්කරුවන් දැනගත යුතු හා ක්‍රියාශීලී ව විරුද්ධ විය යුතු තීරනාත්මක වර්ධනයන්, ලංකාව තුල සිදු වෙමින් පවතී. … එක් අතකින් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය හා එහි රාජ්‍ය යාන්ත්‍රනය ද, අනෙක් අතින් කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයන් ද අතර මුහුනට මුහුන ගැටුමක් සිදුවීම දවසේ න්‍යාය පත්‍රයට ඇතුලු වී තිබේ.”

මෙම නීති යටතේ එවන් බරපතල අන්තරායකට කම්කරු පන්තිය මුහුන දී සිටින නමුත් ඊට එරෙහිව උද්ඝෝෂනයක් හෝ පන්ති ක්‍රියාවක් සංවිධානය කරනු තබා කම්කරු පන්තිය තුල ඒ පිලිබඳව සාකච්ඡාවක් ඇතිවීම පවා වෘත්තීය සමිති විසින් වලකනු ලැබ ඇත. මෙම නීති මගින් ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට වෘත්තීය සමිති කිසිසේත් විරුද්ධ නැත. ඒවා සැබවින් ම ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියේ අයිතීන් රැකීම සඳහා නොව, අතීත අරගල මගින් දිනා ගෙන ඇති අයිතීන් ධනපති රාජ්‍යය සහ හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව අහෝසි කිරීමට සහ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවන කාර්මික පොලීසියක් ලෙස ය.

පසුගිය වසරේ වසංගතයේ ආරම්භයේ සිට ම කම්කරුවන්ගේ වැටුප් හා දීමනා කැපීමට, වැඩ වේගවත් කිරීමට, රැකියා අහෝසියට හා නිසි සෞඛ්‍ය ආරක්ෂාවකින් තොරව කම්කරුවන් වැඩට දැක්කීමට සහ වර්ජන බිඳීමට රාජපක්ෂ ආන්ඩුවට සහ හාම්පුතුන්ට වෘත්තීය සමිති සහයෝගය දෙති.

මැයි 27 වෙනි දා අත්‍යාවශ්‍ය සේවා නීති ප්‍රකාශයට පත් කලේ පසු දිනට නියමිත තිබු 12,000 ග්‍රාම සේවා නිලධාරීන්ගේ වර්ජනය නිමිති කර ගෙන ය. එතැන් පටන් මෙම නීති නොතකා සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සහ සංවර්ධන නිලධාරීන් වැටුප් සහ වෘත්තීය ඉල්ලීම් මත වර්ජන වලට පිවිසි නමුත් ආන්ඩුව ඔවුන්ට එරෙහි ව අත්‍යාවශ්‍ය සේවා නීති තවමත් ඍජු ව ක්‍රියාත්මක කර නැත. ආන්ඩුව තවමත් වෘත්තීය සමිතිවල පාවා දීම් ගැන ගනන් බලන නමුත් කම්කරු පන්තියට විරුද්ධ ව ආන්ඩුව රුදුරු අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග පොලා පැන්නවීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. ඒවා ක්‍රියාවට නො දමනු ඇතැයි සිතීම බරපතල මිත්‍යාවකි.

වසංගතයෙන් උග්‍රවී ගැඹුරු වී යන අර්බුදය මධ්‍යයේ රැකියා සහ වැටුප් ඇතුලු කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් කප්පාදුව, බඩුමිල ඉහල දැමීම තුලින් කම්කරු පන්තියේ ජීවන තත්වයන් තලා දැමීම වඩවඩාත් තීව්‍ර කර පෙර නොවුවිරු ප්‍රහාරයක් එල්ල කෙරී ඇත.මෙම ප්‍රහාරයන් ට එරෙහිව කම්කරු පන්තියේ සෑම ක්ෂේත්‍රයකම පන්ති සටන් ඇවිලෙමින් තිබේ.

රාජපක්ෂ ආන්ඩුව මෙම පන්ති සටන් ඉවසන්නේ නැත. එය සුදානම් වෙමින් සිටින්නේ පන්ති යුද්ධයේ විධික්‍රම යොදා ගනිමින් ඒවා නිර්දය ලෙස මැඬීමට ය. නිරෝධායන නීතිවලට මුවා වී ජුලි 6 වෙනිදා උද්ඝෝෂන තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කිරීම, ජුලි 7 සහ 8 ගුරුවරුන්ගේ, ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ හා ශිෂ්‍යන්ගේ අරගල වලට කඩා පැනීම ඒ සම්බන්ධ එක් පුර්ව අනතුරු ඇඟවීමකි.

Loading