දුෂ්කර අධ්‍යාපන කොන්දේසි ගැන වතුකරයේ ගුරුවරු විස්තර කරති

ශ්‍රී ලංකාවේ වතු පාසල් වලට අවශ්‍ය තරම් ගොඩ නැගිලි, ඉගැන්වීමේ උපකරන ඇතුලු මුලික පහසුකම් පවා ඇත්තේ නැත. එය පසුගිය දසහක ගනනාව තුල ක්‍රියාවට දැමුනු නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට අමතරව, වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුප්‍රාප්තික ආන්ඩු, වතු සමාගම් සහ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන වෘත්තීය සමිති වල නොතකා හැරීමේ ප්‍රතිපලයකි. එම තතු තුල ගුරුවරුන්ට උගැන්වීමේ කටයුතු කිරීමේ දී මෙන් ම අධ්‍යාපනය ලැබීමේ දී වතු කම්කරු දරුවන්ට අතිශය දුෂ්කර කොන්දේසි වලට මුහුන දීමට සිදු වී ඇත.

2019 අගෝස්තු මාසයේ ෆෝඩයිස් වත්තේ ලයින් කාමරවල ඇති වූ ගින්නෙන් පසු අවතැන් වූ ලමුන් කීප දෙනෙක් තාවකාලික ව තනා ගත් වාසස්ථානයක අධ්‍යයන කටයුතුවල යෙදෙන ආකාරය [ලෝසවෙඅ]

බොහෝ වතු පාසල් වල උගැන්වීම් කෙරෙන්නේ පස් වෙනි ශ්‍රේනිය දක්වා පමනි. අතිශයින්ම සීමිත පාසල් කිහිපයක සාමාන්‍ය පෙල සහ උසස් පෙල දක්වා පන්ති තිබුනත් විද්‍යා, වානිජ සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා ගුරුවරුන් හෝ අදාල අනෙකුත් පහසුකම් නැත. එම විෂයයන් හදාරන්නේ නම් වතු වලින් බොහෝ දුරකින් පිහිටි නුවරඑලිය, හැටන්, මස්කෙලිය, බොගවන්තලාව, බදුල්ල වැනි නගර වලට සිසුන් යා යුතුය. දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුපක් ලබන වතු කම්කරුවන්ට එවන් වියදමක් දැරීමේ හැකියාවක් නැත.

මෙහි පහත පලවන්නේ ගුරු-සිසු-දෙමව්පිය සුරක්ෂිතතා ක්‍රියාකාරී කමිටුව විසින් ගුරු අරගලය සම්බන්ධයෙන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සාකච්චාවට බඳුන් කෙරෙන ජුලි 30 වෙනිදා පැවැත්වෙන ඔන්ලයින් රැස්වීම සඳහා උද්ඝෝෂනයේ දී වතු පාසල් ගුරුවරයෙකු සහ ගුරුවරියක් වතු පාසල් ගුරුවරුන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි සහ වෘත්තීමය ගැටළු පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට කල පැහැදිලි කිරීමකි.

ආගරපතන ඩයගම වත්තේ පාසල් ගුරුවරයෙකු මෙසේ පැවසීය: “අප බොහෝ ගැටලුවලට මුහුන දෙන නිසා මෙම අරගලයට ඒකාබද්ධ වී සිටිනවා. ඉගැන්වීමට වඩා වැඩි කාලයක් අපට ගත කිරීමට සිදුවෙලා තියෙන්නේ කලාප කාර්යාලයට, පලාත් අධ්‍යාපන අමාත්‍යංශයට සහ අනෙකුත් අදාල නිලධාරීන්ට වාර්තා සම්පාදනය කරන්න. මම උගන්වන්නේ පස්වෙනි ශ්‍රේනියේ ශිෂ්‍යත්ව පන්තියට. ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න කියල ආන්ඩුව කිව්වට වතු කරයේ ශිෂ්‍යන්ට ඒ පහසුකම් නැහැ. කිහිප දෙනෙකුට ෆෝන් තිබුනත් සිග්නල් නැහැ. කිසිම දුරකථන ආයතනයක් මෙම ප්‍රදේශ ආවරනය වන පරිදි ඒ පහසුකම් සම්පාදනය කරලා නැහැ”.

ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලට සහභාගී වීම සඳහා අන්තර්ජාල සංඥාවන් අසුවන තැනක තාවකාලික කූඩාරමක් තනා ගෙන අධ්‍යයන කටුයතුවල නිරත වන වතුකරයේ ලමෝ [මූලාශ්‍රය: Malayagam.lk]

“මගේ මාසික වැටුප රුපියල් 35,000 යි. වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 250 හෝ 300 ක්. ඒකවත් නිසි වෙලාවට ලැබෙන්නේ නැහැ. පඩිය ගන්න අපට කිහිප වතාවක් කලාප අධ්‍යාපන කාර්යාලයට යන්න වෙනවා. අපේ පාසලට එන ගුරුවරු බොහෝ දෙනෙක් දුර ඉඳල එන්නේ. හැටන් වල ඉඳල එන ගුරුවරයෙක් කිලෝ මීටර් 35 විතර එන්න ඕන. පැය දෙක හමාරක් විතර ගත වෙනවා. ප්‍රවාහනය සඳහා ඔවුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුදලක් වැය කරන්න වෙනවා”.

“වතු පාසල් ශිෂ්‍යන් අතිශයින් ම දුප්පත්. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර පිලියල කිරීම ඇතුළු දෙවල්වලට ගුරුවරුන්ට වියදම් කරන්න වෙනවා. සියලුම වෘත්තීය සමිති ගුරුවරුන්ගේ මේ ප්‍රශ්න ගැන වසර ගනනාවක් කිසිම සටනක් කරලා නැහැ. ගුරු සංගම් වර්ජනය කැඳවුයේ මෙම ප්‍රශ්න නොවිසඳීම සම්බන්ධයෙන් ගුරුවරු අතර පවතින කෝපය නිසා බවට ඔබ කියන අදහසට මම එකඟයි. ජයග්‍රහනය දක්වා ඔවුන් මේ අරගලය ඉස්සරහට ගෙන යයි කියල මම විශ්වාස කරන්නේ නැහැ”.

“වෘත්තීය සමිති සටන් කරන්නේ ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් නොවෙයි. ඔවුන්ගේ ආත්මාර්ථකාමී උත්සුකතාවයන් වෙනුවෙන්. ගුරු සමිතිවල නායකයන් දීර්ග කාලයක් පහසුකම් සහිත නාගරික පාසල් වල හිටියත් අවුරුදු 12 වැඩි කාලයක් වතු පාසල් වල උගන්වන ගුරුවරුන්ට මාරුවීමක් ලබා ගන්න බැහැ. මාරු මන්ඩල වල ඉන්න සමිති නායකයෝ ගුරුවරු භේද කරනවා”.

“වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ යෝජනාවට මම එකගයි. මට අවශ්‍යයි ඒ ගැන තවදුරටත් සාකච්චා කරන්න”. ඔහු පැවසී ය.

බොගවන්තලාවේ ගුරුවරියක් තමන් අගෝස්තු පලවෙනිදා නුවර එලියේ පැවැත්වෙන ගුරු උද්ඝෝෂනයට සහභාගී වන බව පැවසුවාය.

“ගුරුවරුන්ට බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා විශාල පීඩනයක් අපට තියෙනවා. ඒ ප්‍රශ්න විසඳා ගන්න එකාබද්ධව සටන් කල යුතු නිසා ඒ උද්ඝෝෂනයට මම සහභාගී වෙනවා. මගේ සේවාකාලය වසර 19 ක්. නමුත් මගේ මුලික වැටුප රුපියල් 38,000 යි. දල වැටුප විදිහට මට මේ වන විට රුපියල් 52,000 ලැබිය යුතු වුනත් ලැබෙන්නේ 48,000 යි. ආන්ඩුව මට 150,000 ක් හිඟ වැටුප් ගෙවන්න ඕන. කිහිප වතාවක් කලාප කාර්යාලයට ගියත් තවමත් ලැබුනේ නැහැ”.

“පහේ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න ලමයි 22 ක් මගේ පන්තියේ ඉන්නවා. ලමයි 10 දෙනෙකුට විතරයි ඔන්ලයින් පහසුකම් තියෙන්නේ. මගේ අතින් මුදල් වියදම් කරගෙන අනෙක් ලමයින්ට සටහන් යවනව. අපට ලැබෙන සුලු පඩියෙන් ඒවා කරන්නේ කොහොම ද? ආන්ඩුව අපේ ප්‍රශ්න විසදන්නේ නැහැ. ගුරුවරුන්ට තනියම සටන් කරලා අයිතීන් දිනා ගන්න බැහැ. වතු කම්කරුවන් සහ කම්කරු පන්තියේ සියලු දෙනා ම එකතු වෙලා ඒකාබද්ධව සටන් කල යුතුයි” යයි සඳහන් කලා ය.

Loading