ආන්ඩුව ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

[මෙය 2021 ජූලි 29 වැනි දින Sri Lankan government rejects teachers’ wage demand යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අඟහරුවාදා ගුරු වෘත්තීය සමිති නිලධාරීන් සමග පැවති රැස්වීමක දී, ආන්ඩුව ඔවුන්ගේ වැටුප් ඉල්ලීම් ඉටුකල හැකි මූල්‍ය තත්ත්වයක නො සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය. ඉහල වැටුප් දිනාගැනීම සඳහා ජූලි 12දා සිට 200,000ට අධික පාසල් ගුරුවරු පිරිසක් ජාතික මට්ටමෙන් “මාර්ගගත අධ්‍යාපන” වර්ජනයක නියැලී සිටිති.

ලබන මාසයේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙන, කොතලාවල ජාතික ආරක්ෂක විද්‍යාල (කේඩීයූ) පනත හකුලා ගන්නා ලෙසද ගුරුවරු ඉල්ලා සිටිති. එම පනත සම්මත වුවහොත්, මිලිටරිය විසින් පාලනය කරන එම විශ්ව විද්‍යාලයට ගාස්තු අය කරන පුද්ගලික පාඨමාලා වඩ වඩා ස්ථාපිත කල හැකි වනු ඇත. මෙම පනත, අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට හා සමාජය මිලිටරීකරනය කිරීමට ආන්ඩුව ගෙන යන පියවරයන්ගේ කොටසකි.

ජූලි 23දා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලයට පිටත පැවැත්වුනු ගුරුවරුන්ගේ ඒකාබද්ධ විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුලසුන දරමින් සඳුදා පැවැත්වූ සතිපතා කැබිනට් රැස්වීම, ලංකාවේ ආර්ථික අර්බුදය ගෙනහැර දක්වමින් ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ ය. කොවිඩ්-19 වසංගතය ආර්ථිකයට බරපතල ලෙස බලපා තිබේ.

කැබිනට් උප කමිටුවක ප්‍රධානත්වයට පත් කරන ලද අගමැති රාජපක්ෂට, අඟහරුවාදා වෘත්තීය සමිති නිලධාරීන් හමුවන ලෙස උපදෙස් ලැබුනි. ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස), ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත ඒකාබද්ධ ගුරු සේවා සංගමය යන ඒවායේ නායකයෝ හා අනෙකුත් අධ්‍යාපන වෘත්තීය සමිතිවල නිලධරයෝ එම රැස්වීමට සහභාගි වූ අය අතරට ඇතුලත් වූ හ.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, වැටුප් ප්‍රශ්නය “විසඳීම අවශ්‍ය” බවට ආන්ඩුව දැන සිටියේ යයි මහින්ද රාජපක්ෂ කියා සිටියේ ය. එහෙත්, “වර්තමාන ගෝලීය තත්ත්වය හා ආන්ඩුවේ අසීරු තත්ත්වය යටතේ, මේ මොහොතේ දී වැටුප් ප්‍රශ්නය නිවැරදි කිරීමේ හැකියාවක් ආන්ඩුවට නැතැ” යි ඔහු ඉන්පසු කීවේ ය.

වැටුප් කොමිසම සමග මෙම කරුන සාකච්ඡා කරන බවත්, ඉක්මනින් ම තීන්දුවක් ගන්නා බවත්, රැස්වී සිටි වෘත්තීය සමිති නිලධරයන්ට අගමැතිවරයා කුහක ලෙස “පොරොන්දු” විය.

අගමැති කාර්යාලයෙන් නිකුත් කරන ලද නිල නිවේදනයක්, ගුරු වෘත්තීය සමිති නායකත්වය ආන්ඩුවේ ආස්ථානයට මුලුමනින් ම අනුමැතිය දුන් බවට ඉඟි කරයි. වැටුප් විෂමතා අඩු කිරීමට “ ප්‍රතිපත්තිමය තීන්දුවක්” ගන්නා ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි ඔවුහු, “රට තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්, වැටුප් ක්ෂනික ව වැඩි කිරීමක් කල නො හැකි බවට පැහැදිලි අවබෝධයක්” තමන්ට තිබෙන බව වැඩි දුරටත් පැවසූහ.

වෙනත් වචනවලින් කියතොත්, යලි වතාවක් ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් පාවා දී ඇති වෘත්තීය සමිති, අනාගතයේ යම් අවිනිශ්චිත දිනයක “වැටුප් විෂමතා අඩු කිරීමට” ආන්ඩුව දුන් තවත් හිස් පොරොන්දුවක පදනම මත, සියලු වෘත්තීය ක්‍රියාමාර්ග නතර කිරීමට දැන් වැඩට බැසගෙන සිටිති.

වසර 24කට පෙර, 1997 දී, ගුරු වෘත්තීය සමිති පලමු වරට වැටුප් වැඩි කිරීම් ඉල්ලූ අතර, ආන්ඩුවල ව්‍යාජ පොරොන්දු මත පදනම් ව, එතැන් පටන් ගුරුවරුන්ගේ සෑම අරගලයක් ම ක්‍රමානුකූල ව පාවා දී ඇත.

සිය සාමාජිකයන් අතර නැගෙන කෝපය පිලිබඳ ව තැතිගැනී සිටින ගුරු වෘත්තීය සමිති නිලධරයෝ, අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී කතා කරමින්, ආන්ඩුවේ විධානයන් තමන් පිලිගත් බව අනාවරනය කලේ නැත.

නිර්භීත මුහුනක් මවාපෑමට උත්සාහ දැරූ ලංගුසේස ලේකම් මහින්ද ජයසිංහ, මාධ්‍යයට සරල ව කීවේ ආන්ඩුව සමග සාකච්ඡා අසාර්ථක වී ඇති බව යි. වැඩ වර්ජනය ක්ෂනික ව නතර කිරීමට දරන ඕනෑ ම උත්සාහයක්, වෘත්තීය සමිතිවල පාලනයෙන් පිට පැනිය හැකි යයි භීතියට පත් ජයසිංහ, වර්ජනය අඛන්ඩ ව ඉදිරියට යනු ඇතැයි කීවේ ය.

වැඩ කරන ජනයා මතට ආර්ථික අර්බුදයේ බර පැටවීමට රාජපක්ෂ ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය දරන ප්‍රයත්නයන්ට ප්‍රතිචාරයක් ලෙස, සමාජ අතෘප්තිය හා කම්කරු-පන්තික කෝපය රට පුරා ඉහල යමින් පවතී.

කේඩීයූ පනතට එරෙහි ව ඊයේ විශ්ව විද්‍යාල ආචාර්යවරු එක් දින වැඩ වර්ජනයක් පැවැත්වූ හ.එදින ම, රෝහල් කීපයක හෙද හෙදියන් සිය ගනනක්, සෞඛ්‍ය පද්ධතිය තුල පවතින වඩාත් නරක අතට හැරෙන කොන්දේසිවලට එරෙහිව, රජයේ හෙල නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවුම් කල දිවා ආහාර විවේක වෙලාවේ පැවැත්වූ විරෝධතාවකට සහභාගි වූ හ.

වෘත්තීය හා අවදානම් දීමනා, සාධාරන උසස්වීම් පද්ධතියක් සහිත මාන්ඩලික ශ්‍රේනි තනතුරු හා දැරිය නො හැකි වැඩ බර සැහැල්ලු කිරීම ඇතුලු ඉල්ලීම් 14ක් මුල් කරගෙන, හෙද හෙදියන් 25,000ක් පැවැත්වූ ජාතික වැඩ වර්ජන ක්‍රියා, පසුගිය මාසයේ දී හෙද වෘත්තීය සමිති විසින් පාවාදුන්නේ, ආන්ඩුවෙන් ලද මේ හා සමාන හිස් පොරොන්දුවලට එකඟ වෙමිනි.

ජූලි 26දායින් අරඹා, අපොස සාමාන්‍ය පෙල විභාගයට සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂන වැඩ කටයුතුවලින් ඉවත් වෙමින්, ගුරුවරු ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පුලුල් කලහ. අපොස උසස් පෙල විභාගයේ ශිෂ්‍ය අයදුම්පත් සූදානම් කිරීම මත ද ඔවුන් විසින් තහනමක් පනවා ඇත.

වැඩ වර්ජිත ගුරුවරුන්ට එරෙහි ව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දුෂ්ට උද්ඝෝෂනයක් මුදාහැර තිබේ. “ආන්ඩුවේ ගුරුවරු වඩා හොඳ ගනුදෙනුවක් ලැබීමට සුදුසු නමුත්, ප්‍රශ්නය වන්නේ මෙය රාජ්‍ය අංශය තුල වැටුප් වැඩි කිරීම් සඳහා සුදුසු වේලාව ද යන්න යි. ආර්ථිකය සිටින්නේ ද අමාරුවෙන් හුස්ම ගනිමිනි” යි ඊයේ දි අයිලන්ඩ් පත්‍රයේ කතුවැකියක් සඳහන් කලේ ය.

ආන්ඩුවේ ආස්ථානය වමාරන කතුවැකිය, “බදු ඉහල දැමීම් අර්ථවත් කරනු ඇති වැටුප් වැඩි කිරීම, කෑමට හා ඇඳීමට අරගලයේ යෙදෙන මහජනයාගේ ඛේදජනක තත්ත්වයන් වඩාත් වැඩි දියුනු කරනු ඇත” යි ප්‍රකාශ කලේ ය. “ආන්ඩුව ඩොලර් බිලියනයක බැඳුම්කර නයක්” නියමිත කාලයට පෙර “ගෙවා තිබීම සතුටට කරුනක්” හා “ආයෝජක විශ්වාසය ඉහල දැමීමට” උදවු වෙමින් සිටිතියි සඳහන් කරමින්, කතුවැකිය ඉන්පසු රාජපක්ෂ පරිපාලනයට ප්‍රශංසා කලේ ය.

මානව ජීවිතවලට පෙර ලාභ තබාගැනීම තහවුරු කරගැනීමේ ප්‍රයත්නයන්හි දී, ආන්ඩුව, මහ ව්‍යාපාරිකය හා ඔවුන්ගේ මාධ්‍ය එක්සත් ය. ගුරුවරුන්, සෞඛ්‍ය කම්කරුවන් හා අනෙකුත් රාජ්‍ය අංශ කම්කරුවන්ගේ අරගල, ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය හා දුගීන් මතට පැටවීමේ පාලක ප්‍රභූවේ ප්‍රයත්නයන්ට, වෘත්තීය සමිති ආධාරය හා අනුබලය දෙමින් සිටින බව ද වැඩි දුර හෙලිදරව් කරයි.

ආන්ඩුව වෙනුවෙන් වෘත්තීය සමිති විසින් සංවිධානය කරන පාවාදීම ප්‍රතික්ෂේප කරන ලෙසත්, ජූලි 25දා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව නිකුත් කල ප්‍රකාශය තුල විස්තාරනය කර ඇති පරිදි, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ අරගලයේ ක්‍රියා මාර්ගය සියතට ගන්නා ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂය ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

හෙට (ජූලි 30) දින රාත්‍රී 7ට පැවැත්වෙන අන්තර්ජාල රැස්වීමට සහභාගි වන ලෙසත්, කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්න හා මෙම පිලිවෙත් පිලිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යන ලෙසත්, අපි ගුරුවරුන්, ශිෂ්‍යයන් හා කම්කරුවන්ගෙන් ඉල්ලමු. කරුනාකර රැස්වීම සඳහා මෙතැනින් ලියා පදිංචි වන්න.

හෙට රාත්‍රීයේ පැවැත්වෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ අන්තර්ජාල රැස්වීමට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින හා දිවයින පුරා විසිරී සිටින ගුරුවරු කිහිප දෙනෙක් ලෝසවෙඅට අදහස් දැක්වූ හ.

කොලඹ භෞතික විද්‍යා ගුරුවරයෙක් වන සදීර මෙසේ කීවේ ය: “අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට එරෙහි ව පාසල් ගුරුවරු විරෝධතා දැක්වීම වැදගත් වන අතර ම, මෙම අරගලය ඒකාබද්ධ කිරීම සඳහා වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංගම් කිසිවක් කරන්නේ නැහැ.

“මෙවර ගුරුවරුන්ගේ ක්‍රියාවට සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අන් කවරදාටත් වඩා වැඩි වුවත්, එය පදනම් වන්නේ පැරනි ක්‍රියා මාර්ගය මත ම යි. ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට දැනට මත් විරුද්ධ වී ඇති ආන්ඩුව, අපේ ඉල්ලීම්වලට ‘නැත’ යි කියන විට, ගුරුවරු අනෙක් කම්කරුවන් ද සමග එකමුතු වී ආන්ඩුවට අභියෝග කල යුතු යි.”

හෝමාගම පාසලක උසස් පෙල ගුරුවරයෙක් වන ධර්මරත්න මෙසේ කීවේ ය: “ගුරු රැකියාව අතිශයින් වගකීම් සහගත එකක් වුවත්, ගුරුවරුන්ගේ වැටුප් ඉතා පහල යි. මෙයට හේතුව සෑම ආන්ඩුවක් විසින් ම නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම යි.

“නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ යයි චෝදනා කරමින් ආන්ඩුව විරෝධතා තහනම් කර තිබුනත්, කම්කරුවන්ගේ ජීවිත වසංගතයට බිලි දී ලාභ ඉහල දමාගැනීම සඳහා කම්කරුවන් ව කර්මාන්තශාලා වෙත ගෙන ඒමට එය සමාගම්වලට අවසර දී තිබෙනවා. මේ දක්වා ගුරුවරු වෘත්තීය සමිති නායකයන් කියන දේට ඇහුම්කන් දී තිබුනත්, මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා මුලුමනින් ම වෙනස් වැඩපිලිවෙලක් අවශ්‍ය යි කියලා මම විශ්වාස කරනවා.”

මතුගම ප්‍රදේශයේ ගුරුවරයෙක් වන පමුදිත මෙසේ සඳහන් කලේ ය: “ගුරුවරුන්, සෞඛ්‍ය කම්කරුවන් හා ගොවීන්ගේ මෑත අරගල රට තුල තිබෙන යෝධ සමාජ අර්බුදයක් හෙලිදරව් කරනවා. ආන්ඩුවේ කිසිදු සහයෝගයකින් තොර ව මාර්ගගත අධ්‍යාපනය කරගෙන යාමට සිදු වීම නිසා ගුරුවරුන් මත පීඩනය දෙගුන තෙගුන වී තිබෙනවා.”

පොලොන්නරුවේ ගුරුවරයෙක් වන මහේෂ් මෙසේ කීවේ ය: “ආදායම් බිඳ වැටීම, උපකාරක පන්ති නැති වී යාම හා ඉහල යන ජීවන වියදම් නිසා ගුරුවරුන්ට සටන් කිරීමට බලකෙරිලා තියෙනවා. මේ වතාවේ දී ගුරුවරුන්ගේ විරෝධය පීලිපැන්නවීමට වෘත්තීය සමිතිවලට ඉඩ නො දිය යුතු යි. ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව සමග සම්බන්ධ වෙමින් වෘත්තීය සමිතිවල පාවාදීමට එරෙහි ව ගුරුවරුන්, ශිෂ්‍යයන් හා දෙමාපියන් විසින් පලල් සටන් පෙරමුනක් ගොඩනැගිය යුතු යි.”

Loading