කොවිඩ්-19 දකුනු ආසියාව පුරා පැතිරෙද්දී ජීවිත මිලියන ගනනක් අනතුරට පත්වේ

[මෙය Millions of lives in danger as COVID-19 spreads across South Asia යන මැයෙන් 2021 ජූලි 28 වනදා පලකෙරුනු ලිපියේ පරිවර්තනයයි]

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන දකුනු ආසියාවේ කොවිඩ් වසංගතය පැතිරී යන අතර, මිලියන 34 කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් සහ මරන 480,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත. ඇත්ත සංඛ්‍යාව මීට වඩා වැඩි වන බව නිසැකය. නිල සංඛ්‍යා ලේඛන ඉතා අඩු මට්මටමක් පෙන්වයි. වෛද්‍ය විශේෂඥයින්ගේ හා වසංගත රෝග විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා, මහ ව්‍යාපාරිකයින්ගේ ලාභ සුරක්ෂිත කිරීම පිනිස ආර්ථිකය විවෘත කිරීමට කටයුතු කල ධනපති ආන්ඩු වෙත මූලික වගකීම පැවරෙයි.

2021 අප්‍රේල් 8 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි හි කොවිඩ් -19 එන්නත ලබා ගැනීම සඳහා මිනිසුන් පෝලිමේ සිටියහ. (ඒපී ඡායාරූපය/රෆික් මැක්බූල්)

වඩාත් භයානක ඩෙල්ටා ප්‍රභේදය වසංගතය ව්‍යාප්ත කල ද, අගුලු දැමීම, සමූහ පරීක්‍ෂන හෝ රෝගීන් සොයා ගැනීම ඇතුලු වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවර ආන්ඩු විසින් අතහැර දමා ඇත. ඊනියා සීමිත අගුලු දැමීම් යටතේ වුවද, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරවලට දෛනික වැඩ කටයුතු කරගෙන යාමට අවසර දී ඇති අතර, කර්මාන්තශාලා විවෘතව පවතින අතර අනාරක්ෂිත තත්වයන් යටතේ සේවකයින්ට වැඩට යාමට බල කිරීම මඟින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ සලසා ඇත. අරමුදල් හිඟකමින් පෙලෙන පොදු රෝහල්, කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඉතිරී ඇති අතර ඔක්සිජන් හා අනෙකුත් තීරනාත්මක සැපයුම් නොමැතිකම හේතුවෙන් මරන සංඛ්‍යාව තවත් මිලියන ගනනකින් ඉහල යා හැකිය.

කොවිඩ්-19 හේතුවෙන් ඉන්දියාවේ ජීවිත 422,000 කට වැඩි සංඛ්‍යාවක් අහිමි ව ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන නමුත්, එක්සත් ජනපදය පදනම් කරගත් ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යයනයකට අනුව, ඇත්ත මරන සංඛ්‍යාව ඊට වඩා දස ගුනයක්, එනම් මිලියන 3 ත් 5 ත් අතර සංඛ්‍යාවක් විය හැකි යයි ප්‍රකාශ කර සිටී. මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඇති ආකාරය පෙන්නුම් කරමින්, බොහෝ ඉන්දියානුවන් පෞද්ගලික රෝහල් මත විශ්වාසය තබන අතර, වෛද්‍ය වියදම් වලින් සියයට 63 ක් පමන තම පෞද්ගලික ආදායමෙන් ගෙවිය යුතුය. සෞඛ්‍ය රක්‍ෂනයක් නොමැති තත්වයක දී වෛද්‍ය බිල්පත්, සාමාන්‍ය ඉන්දියානුවන් නය බරෙහි ගිල්වා ඇත.

මේ සියල්ලටම වඩා වසංගතය, මිලියන 230 ක ජනතාවක් දුප්පත්කමට ඇද දමා ඇත. වෙනත් රැකියාවක් සොයා ගැනීමට හෝ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අසමත්වීමෙන් සාමාන්‍ය ජනතාව දැන් තම රන් ආභරන විකිනීමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල තත්වය මෙයයි. 2020 දී ඉන්දියානු මධ්‍යම පන්තිය මිලියන 32 කින් හැකිලී ඇති අතර අසමානතාවය ඉහල යමින් පවතී. වසංගතයට පෙර පවා, 2019 දී ඉන්දියාවේ ඉහලම සියයට එක, ජාතික ආදායමෙන් සියයට 21.7 ක් පාලනය කල අතර පහල සියයට 50ට අයත්ව තිබුනේ සියයට 13 ක් පමනි. වසංගතය මෙම නින්දිත සමාජ අසමානතාවයන් තවදුරටත් තීව්‍ර කර තිබේ.

වසංගතයේ නව රැල්ලක් එලිපත්තට එමින් පවතී. මෑතකාලීන මැසචුසෙට්ස් තාක්‍ෂන ආයතනයේ අධ්‍යයනයක් පුරෝකථනය කලේ, 2021 අවසානය වන විට, ඉන්දියාව, දරුනුම ලෙස පීඩාවට පත් වන රට වන අතර දිනකට නව රෝගීන් 287,000 ක් වාර්තා කරන බවයි. වසංගතයෙන් දැනටමත් පීඩාවට පත් වී ඇති මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය ග්‍රාමීය ප්‍රදේශවල ඇත්තටම නොපවතින අතර, ව්‍යසනයක් වර්ධනය වෙමින් පවතී.

පකිස්ථානය ද තවත් මරන රැල්ලකට මුහුන පා සිටින අතර කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය සිකුරාදා මිලියනය පසු කලේය. අඟහරුවාදා වන විටත් මරන 23,087ක් නිල වශයෙන් වාර්තා කල අතර එය ඉන්දීය උප මහාද්වීපයේ දෙවන ඉහලම අගයයි. පකිස්ථානයේ විශාලතම නගරය සහ එහි කාර්මික හා මූල්‍ය මධ්‍යස්ථානය වන කරච්චි හි කොවිඩ්-19 ආසාදනයන්, රෝහල් ධාරිතාවයට වඩා ඉහල හෙයින් රෝගීන් ආපසු හරවා යවමින් සිටී. කරච්චි විශ්ව විද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යා කේන්ද්‍රය විසින් සොයා ගනු ලැබුවේ කරච්චිහි ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, එය ආසාදන වලින් සියයට 92.2 ක් පමන වන බවයි.

කරච්චියේ සෞඛ්‍ය අර්බුදය පෙන්නුම් කරන්නේ, වෛරසය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට ඉඩ දුනහොත් එය අනෙකුත් පකිස්ථානු නගර වලට ද වේගයෙන් පැතිර යා හැකි බවයි. වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති සෞඛ්‍ය සේවා පද්ධතිය, තදාසන්න නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල ඇත්තේ නැති තරම්ය. එන්නත් නිපදවීමේ හා බෙදා හැරීමේ ගෝලීය අර්බුදය මධ්‍යයේ, එන්නත් ලබා දී ඇත්තේ මිලියන 216ක පකිස්ථානු ජනගහනයෙන් සියයට දෙකකට පමනි.

පකිස්ථානයේ ව්‍යසනයට හේතු වී ඇත්තේ, එන්නත් නිෂ්පාදනය පාලනය කරන ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සාපරාධී නොසැලකිල්ල සහ නොතැකීමත්, ඉස්ලාමාබාද්හි පකිස්ථානු පාලකයින් කම්කරුවන් සහ පීඩිතයන් කෙරෙහි දක්වන පිලිකුලත් නිසා ය. වෛරසය සාර්ථකව පාලනය කිරීමට සහ මැඩපැවැත්වීමට අත්‍යවශ්‍ය අරමුදල් හා සම්පත් වෙන් කිරීම අගමැති ඉම්රාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට, මුහුනු ආවරන පැලඳීමට කරන ඇමතුම් සහ වෙනත් සීමිත පියවරයන්ට ඔහුගේ ආන්ඩුව වසංගතය පාලනය කිරීම, සීමා කර ඇත.

බංග්ලාදේශයේ තත්ත්වය ඉතා දරුනු බව නිල සංඛ්‍යා ලේඛනවලින් පවා පෙනේ. සඳුදා උදෑසන ආසාදිතයින් 15,192 ක් සහ මරන 247 ක් වාර්තා කරමින් කොරෝනා වෛරසයේ වාර්තාගත සංඛ්‍යාවක් එය වාර්තා කර ඇත. ඉරිදා, අවම වශයෙන්, මරන 228 ක් වාර්තා විය. මුලු රෝගීන් සංඛ්‍යාව දැන් මිලියන 1.2 ඉක්මවන අතර මරන 20,000 ඉක්මවයි. වසංගතය පැතිරීම එහි වර්තමාන වේගයෙන්ම පැවතුනහොත්, ඉක්මනින්ම රෝගීන් සඳහා රෝහල් තුල ඉඩක් ඉතිරි නොවන බව ඩකා පාලනය ඉරිදා අනතුරු ඇඟවීය.

බංග්ලාදේශයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැනටමත් අධික ලෙස මිරිකී ඇති අතර වෛද්‍ය ඔක්සිජන්, පුද්ගලික ආරක්‍ෂක උපකරන (පීපීඊ) සහ අයිසීයූ ඇඳන් වැනි ප්‍රධාන සැපයුම් හිඟයකට මුහුන දී සිටී. ඔක්සිජන් ඉල්ලුම ජාතික ඔක්සිජන් නිෂ්පාදන හැකියාව ඉක්මවා යන අතර, රෝගීන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහල යාම නිසා රෝහල් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ පොරයක යෙදී සිටී. එන්නත්කරනය ඉතා මන්දගාමී ය: ජූලි 27 දා අල් ජසීරා සටහන් කලේ බංග්ලාදේශයේ මිලියන 165 ක ජනගහනයෙන් සියයට 2.6 කට පමනක් එන්නත් දෙකම ලබා දී ඇති බවයි.

රට තුල මේ වන විටත් පවතින භයානක සමාජ අර්බුදය වසංගතය හේතුවෙන් උත්සන්න වී තිබේ. වසංගතය බංග්ලාදේශයට පැමිනීමට පෙර දරිද්‍රතා රේඛාවට පහල ජීවත් වූ මිලියන 40 ක ජනතාවට පසුගිය වසර තුලදී තවත් මිලියන 20 ක් එකතුවී ඇත. ඩෙංගු උන සීඝ්‍රයෙන් ඉහල යාම ද වාර්තා වී ඇත.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව නේපාලයේ 688,000 කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර මරන සංඛ්‍යාව 10,000ක් දක්වා ඉහල ගොස් තිබේ. රටේ මිලියන 28 ක ජනගහනයෙන් මේ වන විටත් සම්පූර්නයෙන්ම එන්නත් කර ඇත්තේ සියයට හතරක් පමනය. ජූලි 8 වන දින වන විට පලමු මාත්‍රාව ලබා දී ඇත්තේ, නේපාල ජාතිකයින්ගෙන් මිලියන 2.61 ට පමනි.

සංක්‍රමනික කම්කරුවන්ගෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ මුදල් මත බෙහෙවින් රඳා පැවති නේපාල ආර්ථිකය, වසංගතය හේතුවෙන් බිඳවැටී ඇත. ජූලි 19 වන දින කත්මන්ඩු පෝස්ට් සඳහන් කලේ, “වෙලඳ හිඟය සීඝ්‍රයෙන් ඉහල යාම සහ නුදුරු අනාගතයේ දී එය මැඩපැවැත්වීම සඳහා මාර්ගයක් නොමැති වීම හේතුවෙන් විදේශ අංශයේ ස්ථායිතාව අස්ථාවර වන බව' මහ බැංකු අධිපති මහා ප්‍රසාද් අධිකාරි අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාවේ නිල මරන සංඛ්‍යාව 4,000 ඉක්මවන අතර කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ඇතත්, ඇත්ත සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බව නිසැකය. ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, සෞඛ්‍ය සීමා ඉවත් කරමින් සිටී. වෛරසයේ “සිව්වන රැල්ලට” රට මුහුන දෙන බවට වෛද්‍ය විශේෂඥයින් නැවත නැවතත් කරන අනතුරු ඇඟවීම් ආන්ඩුව නොසලකා හරිමිනි සිටී. දැවැන්ත නය හා විදේශ විනිමය සංචිත අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුව, අපනයන ඉහල නැංවීමේ මංමුලා සහගත උත්සාහයක නිරත ව සිටින අතර, ලාභය ජීවිතයට ඉදිරියෙන් තබමින් සිය මෙහෙයුම් අඛන්ඩව කරගෙන යාමට කර්මාන්තවලට ඉඩ දී තිබේ.

දකුනු ආසියාව පමනක් නොව සමස්ත ආසියානු කලාපයම වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. පසුගිය වසරේ ලොව මන්දපෝෂනයෙන් පෙලෙන මිලියන 688 ක ජනතාවගෙන් සියයට 51 ක් වාසය කරන්නේ මෙම කලාපයේය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආයතන වාර්තාවක් පෙන්වා දුන්නේ, 2020 දී ආහාර අනාරක්‍ෂිත ආසියාතිකයින්ගේ සංඛ්‍යාව මිලියන 265 දක්වා දෙගුනයක් වූ අතර, එයට ප්‍රධාන වශයෙන් සමාජ ආරක්‍ෂාව සඳහා වූ ආයෝජනය අඩුවීම හේතු වී ඇති බව ය.

එහි සඳහන් වූයේ වයස අවුරුදු පහට අඩු වයසැති අවවර්ධිත දරුවන් මිලියන 74.5ක ගෙන් බොහොමයක් ජීවත් වන්නේ දකුනු ආසියාවේ බවයි. වසංගතයට පෙර පවා, 2019 දී, දකුනු ආසියාවේ මිලියන 350 කට ආසන්න ජනතාවක් දැඩි ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුන දුන්හ.

Loading