වසංගත රෝගීන්ගෙන් පිරුනු රෝහලක හෙදියක් තම කටුක අත්දැකීම් විස්තර කරයි

මම මධ්‍යම පලාතේ ප්‍රධාන රෝහලක සේවයේ නියුතු හෙදියක් වෙමි. පසුගිය මාසයේ කොරෝනා වසංගත රැල්ල ආරම්භ වීමත් සමග මා මෙන්ම මාගේ සහෝදර හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයන්ට මුහුන දීමට සිදුව ඇති දුෂ්කර සේවා කොන්දේසි හා අත්දැකීම් මෙසේ දක්වන්නට කැමැත්තෙමි.

රාගම රෝහලෙන් වාර්තාවන දර්ශනයක්

ජුලි මාසයේ රෝහල් ආරක්ෂක සේවයේ 40 ක් පමන කොවිඩ් ආසාදිත බවට පීසීආර් පරීක්ෂන වලින් තහවුරු වූ පසු, අප වාට්ටුවේ සේවයේ නියුතු කාර්ය මන්ඩලය ද පරීක්ෂාවට ලක් කෙරුනි. පරීක්ෂන වලින් සනාථ වූයේ ඔවුන්ටද කොරෝනා රෝග කාරකය ඇතුලු වී ඇති බවයි. මේ නිසා වාට්ටුවේ රෝගීන් ද පීසීආර් පරීක්ෂනයට භාජනය කෙරුනු අතර රෝගීන් 19 දෙනාගෙන් 15 දෙනෙකු වරින්වර සති දෙකකට ආසන්න කාලයක් තුල කොරෝනා ආසාදිතයන් බව තහවුරු විය.

වාට්ටුවේ සිටි රෝගීන්ගෙන් කොරෝනා ආසාදිත බවට මුලදීම තහවුරු වූ අය පමනක් පේරාදෙනිය කොරෝනා වාට්ටුවට ඇතුලු කල ද, ඉන්පසු වරින් වර කොරෝනා ආසාදිත බවට තහවුරු වන රෝගීන් ඉතිරි විය. මෙම රෝගීන් යැවීමට තැනක් සොයා ගැනීමට සති දෙකක කාලයක් උත්සාහ කලද එය අසාර්ථක විය. මෙය ඒ් වනවිටත් සෞඛ්‍ය පද්ධතිය කොරෝනා රෝගීන්ගෙන් පිටාර ගලමින් තිබූ බවට සාක්ෂියකි.

නමුත් රෝහල් බලධාරීන්, අනෙක් කාර්යමන්ඩලය සඳහා පරීක්ෂන කිරීම මග හරින ලද්දේ රෝග ලක්ෂන ඇති අය පමනක් පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමානවත්ය යන අවිද්‍යාව මතද, නැතහොත් රෝග ව්‍යාප්තිය යට ගසා අපෙන් දිගටම වැඩ ගැනීමට ආන්ඩුව යෙදූ උපායක්ද යන්න අපැහැදිලිය. මෙම පසුබිම තුල වාට්ටුවේ රෝහල් කාර්ය මන්ඩලයටම සිය කටයුතු කරගෙන යාමට සිදු වූයේ මෙම ආසාදිත රෝගීන් සමගිනි.

අප සවස 7.00 ට පැමිනිවිට පසුදා හවස 1.00 වනතුරු පැය 18ක් එක දිගට වැඩ කිරීමට සිදුවන දවස් තිබුනි. කොහොම වුනත් පැය 6ක් හෝ 12ක් වැඩ කර ගෙදර යාමට අද රෝහල්වල තත්ත්වය අනුව හෙදියන්ට හැකියාවක් නැත. මෙම වැඩ කරන පැය ගනනාව තුල වතුර උගුරක් බීමට මූත්‍රා කිරීමට පවා හැකියාවක් නොතිබිනි. ඒ් මන්ද යත් අපට වැසිකිලියට යාමට තිබුනේ වාට්ටුවක මැදින් හා කොරෝනා රෝගීන් පසු කරමින් බැවිනි. වෙනත් වාට්ටුවකට යාම ද කල නොහැකි වූයේ, අපේ වාට්ටුව ආසාදිතයන් සමගම වසා දමා තිබූ බැවින් අප පැමිනෙනවාට එම වාට්ටුවල කාර්ය මන්ඩල බිය වීමයි.

එම රෝගීන් සමඟ සිටි දින ගනන පුරාම අපට මුඛ ආවරන පැලඳ මාරුවෙන් මාරුවට නිදාගැනීමට සිදු විනි. නෑම හා වැසිකිලියාම ගෙදර යනතුරු කල් තබන්න සිදුවිනි. අපේ විවේක කාමරය ද වාට්ටුව තුලම පිහිටා තිබීම නිසා අපි දැවැන්ත ජීවිත අවදානමක සිටි බව කිවයුතුය.

පොදු ප්‍රවාහනය භාවිතා කරමින් වැඩ නිමවී ගෙදර යාමට සිදුවූයේ වාට්ටුවේ සිටියදී අඳින ලද ඇඳුම් සමග සහ කිසිදු පිරිසිදුවීමකින් තොරව යි. ඒ සඳහා වාට්ටුවෙන් පිට නාන කාමරයක් හෝ ඇඳුම් මාරු කිරීමට තැනක් නැත. අපේ ප්‍රවාහනය ගැන හෝ පොදු ප්‍රවාහනයෙන් සමාජයට රෝගය පැතිරීම ගැන ආන්ඩුවේ කවර හෝ තැකීමක් නොතිබින.

කොරෝනා රෝගීන් සමඟ සිටි එම කාලය තුල මා හට සිදු වූයේ නිවෙස තුලම හුදකලා ජීවිතයක් ගත කිරීමටයි. කුඩා දරුවන් තිදෙනාගෙන් පමනක් නොව නිවසේ ආහාර පිසීම ආදියෙන් පවා හැකි පමන වැලැකීමට මට පියවර ගන්නට සිදුවිය. මේ තත්ත්වය මෙහෙම තියෙන අතරතුර දීම අපහට බාහිර රෝගී සායන (ක්ලිනික්) වල ද වැඩ කරන්න බල කෙරුනේ, පවතින හෙදියන්ගේ හිඟය නිසයි.

කොරෝනා රෝගීන් සමග එකට වාට්ටුවේ විසූ කාලයේ කොයි මොහොතක හෝ කොරෝනා රෝග ලක්ෂන පහලවේ යැයි හෝ ජීවිතයට පවා තර්ජන එල්ලවේ යයි පැවැති බිය නිසා නින්ද ගියේ නැති තරම්ය. බයවී ඇහැරෙන තත්ත්වයකින් මම පීඩා වින්දෙමි.

ප්‍රමිතිගත ආරක්ෂක (පීපීඊ) ඇඳුම් නොසැපයූ තත්වයක් තුල, විශේෂයෙන්ම N-95 මුහුනු ආවරන රෝහලෙන් නොලැබීම නිසා අපේම පුද්ගලික මුදලෙන් ගන්නා ලද ප්‍රමිතියෙන් බාල KN 95 මුහුනු ආවරන පැලඳ එක දිගට සේවයේ යෙදි සිටි තතු තුල, මට රෝගය නොවැලඳීම අහම්බයක් ලෙස මම දකිමි.

නමුත් තත්ත්වය හමාර වී නැත. එම කොරෝනා රෝගීන් සියලු දෙනා නිවෙස් වෙත යවා වාට්ටුව නැවැත විවෘත කලා වුවත් දින හතරකට පෙර තවත් වෙෙද්‍යවරයෙකු පීසීආර් පරීක්ෂනයෙන් කොරෝනා ආසාදිත බව තහවුරු වීම නිසා නව වටයක් ආරම්භ වී ඇති බව නිසැකය.

තත්ත්වය එසේ තිබියදී කොරෝනා ආසාදිත රෝගීන් යොමු කිරීමට තැනක් නොමැති නිසා වාට්ටුව තුලම රෝගීන් තබා ගැනීමට යෝජනා වී ඇත. මෙමගින් පැහැදිලි වන්නේ ඉහත විස්තර කල ලෙස දුෂ්කර කොන්දේසි වලට ඇද වැටීම පමනක් නොව අපට උහුලා ගත නොහැකි අයුරින් තව තවත් වැඩ පැටවීමකි. ඊටත් වඩා අපේ හා අප පවුල්වල ජීවිත ගැන ආන්ඩුවට හා සෞඛ්‍ය බලධාරීන්ට පවතින නරුම නොතැකීම මෙයින් සනාථ වෙයි.

මෙම සිද්ධීන් මට හෝ මා වැඩ කරන රෝහලට පමනක් සීමා නොවේ. මහනුවර ජාතික රෝහලේ මානසික රෝගී වාට්ටුවේ හෙදියන්ට පසුගිය මාසයේ දී කොරෝනා සහිත රෝගීන් සමඟ එම වාට්ටුවේ ගත කිරීමට සිදු වී තිබුනේ ඉහත සඳහන් කල අයුරින්ම ඒ් රෝගීන්ද යැවීමට නියමිත ස්ථාන නොතිබි නිසයි. එහිද කාර්යමන්ඩලයට කිසිදු පීසීආර් පරීක්ෂනයක් නොකරන ලදී. මගේ සහෝදර සේවිකාවක් මට ප්‍රකාශ කලේ, සපයා ඇති සීමිත ආරක්ෂන ඇඳුම් මගින් රෝගය බෝ වෙනවාද නැද්ද යන්න පිලිබඳව සොයා බැලීම සඳහා අපිව වාට්ටුව තුල “පරීක්ෂනාගාර මීයන්” බවට පත්කර ඇති බවයි.

අපට මෙන්ම ඔවුන්ට ද දිවා රෑ වාට්ටුව තුල කොරෝනා රෝගීන් සමග වැඩ කිරීමට සිදුවූ බව ඇය පැවසුවාය. ඔවුන්ට වාට්ටුව මැදින් ඇති විවේක කාමරයට අනිවාර්යයෙන්ම යාමට සිදු වූ නිසා එම හෙදියන් තුන් දෙනෙකු ආසාදිතයන් වී තිබේ. ඔවුන්ගේ පවුල්වල අයට පවා රෝගය වැලඳී ඇති බව දැනගන්නට ඇත. ආන්ඩුව මොන පම්පෝරි ගැහුවත් සෞඛ්‍ය සේවකයන්ගේ හා එම පවුල්වල ජීවිත අද පවතින්නේ මරනයේ සෙවනැල්ල යට බව මම විශ්වාස කරමි.

රාජකාරි වලින් හෙම්බත්වී ඇති හෙදියන්ව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට කෙටි කාලයන් සඳහා යැවීමට බලධාරීහු උත්සාහ කරමින් සිටිති. එහි යෑමට දැඩි ලෙස අකැමැති හා විරුද්ධ හෙදියන්ව බලහත්කාරයෙන් යැවීමට තුන්ඩු උඩ දමමින් තේරීමේ ක්‍රියා පිලිවෙතක බලධාරීහු නිරත වෙති. පසුගිය කාලය පුරා නව හෙද-හෙදියන් බඳවා නොගැනීමෙන් සිදුව ඇති දැවැන්ත සෞඛ්‍ය සේවක හිඟයට පැලැස්තර දමමින් ආන්ඩුව කරන්නේ අප මත කොඳු කැඩෙන බර පැටවීමටයි.

රෝගය ව්‍යාප්ත වීමට ඉඩ හරිමින් රෝගීන් වැඩි කරන ආන්ඩුව, නිසි ආරක්ෂක ඇඳුම් පවා නොසපයමින් අපව මිරිකා වැඩ ගන්නට ක්‍රියා කරද්දී, වෘත්තීය සමිති නිලධරය අපව උපරිම අයුරින් මිරිකා ගැනීමේ වැඩමුර කාල සටහන් හැදීමේ භූමිකාවේ යෙදී සිටිති. මේ මොහොතේ පූර්න අගුලු දැමීමකට නොගියහොත් බොහෝ හෙදියන් හා අනෙකුත් කාර්යමන්ඩල රෝගීන් බවට පත්වීම හෝ මරනයට පත්වීම මගින් සමස්ත රෝහල් පද්ධතිය කඩා වැටෙන බව නිශ්චිතය.

ලොක්ඩවුන් කිරීමට නොපෙලඹෙන මෙම ආන්ඩුවේ තානයට යන වෘත්තීය සමිති වලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය මූලික වී ගොඩ නගන සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවට සහය දීමට තීන්දු කර ඇති මම මෙම පීඩනයට එරෙහි ව කම්කරු සටන් සංවිධානය කර ගැනීමේ අවස්ථාව එන තුරු බලා සිටිමි.

Loading