තියුනු වන දේශපාලන අර්බුදය මධ්‍යයේ ජනාධිපතිවරයා කැබිනට් තනතුරු මාරු කරයි

මෙහි පලවන්නේ Sri Lankan president reshuffles cabinet amid sharpening political crisis යන මැයෙන් 2021 අගෝස්තු 23දා පලවූ ලිපියේ පරිවර්තනයයි.

විදේශ කටයුතු, සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහන, ජනමාධ්‍ය හා විදුලිබල අමාත්‍යාංශවලට නව ප්‍රධානීන් පත් කරමින්, පසුගිය සඳුදා (අගෝස්තු 16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ කැබිනට්ටුවේ වෙනස්කම් හයක් නිවේදනය කලේ ය. “සංවර්ධන සම්බන්ධීකරන හා අධීක්ෂන” අමාත්‍යාංශය නමැති අලුත් අමාත්‍යාංශයක් ද නිර්මානය කරන ඇත.

බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් රට නිදහස ලැබීමේ සංවත්සර උත්සවයකට සහභාගි වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කරමින් තිබෙන තීව්‍ර ආර්ථික හා දේශපාලන අර්බුදය ද චීනයෙන් දුරස් වන ලෙස එක්සත් ජනපදය හා ඉන්දියාව කොලඹ පාලනය තන්ත්‍රය මත දැඩි කරන පීඩනය ද මධ්‍යයේ, රාජපක්ෂගේ ක්ෂනික කැබිනට් වෙනස්කම පැමිනියේ ය.

වඩාත් ම වැදගත් වෙනස වූයේ කලින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානත්වය දැරූ ජී. එල්. පීරිස් විදේශ ඇමති තනතුරට පත්කිරීම යි. පීරිස්, වෙනුවට අධ්‍යාපන ඇමති ධූරය භාර කරනු ලැබුවේ දිනේශ් ගුනවර්ධනයි.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපතිවරයා වන පීරිස්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ විදේශ ඇමති ධූරය ඇතුලු ව, 1994 පටන් පත්වූ අනුප්‍රාප්තික ආන්ඩුවල මූලික ඇමති තනතුරු ගනනාවක් ම දරා ඇත. ඔහුගේ නවතම පත්වීම, වොෂින්ටනය සැනසීම සඳහා ආන්ඩුවේ ජ්‍යෙෂ්ට නායකයන් රහස් කාමරවල තුලදී ගන්නා ලද පියවරයන් සමග පෙලගැසෙයි.

අගෝස්තු 15 සන්ඩේ ටයිම්ස් තීරු ලිපියකට අනුව, සිය නව පත්වීමට දවස් පහකට පෙරාතුව, එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ඇයගේ කොලඹ නිල නිවසේ දී පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකට පීරිස් සහභාගි විය. ජනාධිපතිගේ එක් සහෝදරයෙක් වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, රාත්‍රී භෝජනයට සහභාගි වන ලෙස පීරිස් ව “දිරිමත් කරන ලදැයි” වාර්තා වේ. මෙයට ආරාධනා ලද අනෙක් එක ම පුද්ගලයා වූයේ, එක්සත් ජනපද-ගැති දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ය.

රාත්‍රී භෝජන සාකච්ඡා පිලිබඳ විස්තර හෙලිදරව් කෙරී නැතත්, “ජනවාර්ගික ගැටුමට දේශපාලනික විසඳුමක්” ලබා දීම පිලිඹඳව එහිදී ප්‍රමුඛ අවධානය යොමු වූ බව ටයිම්ස් පත්‍රය සඳහන් කලේය. මෙය ලංකාවේ උතුරේ හා නැගෙනහිරේ දෙමල ප්‍රභූව වෙතට “බලය බෙදීම” සඳහා යොදාගන්නා රාජ්‍ය-තාන්ත්‍රික භාෂාව වන අතර චීනයට එරෙහි ව වොෂින්ටනයේ සූදානම වෙතට දෙමල පක්ෂවල සහයෝගය ගොනු කරගැනීම සඳහා එක්සත් ජනපදය විසින් භාවිතා කරනු ලබයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට කල සංචාරයක දී, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග බැසිල් රාජපක්ෂ “නිල නො වන” රැස්වීම් පැවැත්වූ බව, ටයිම්ස් පත්‍රය මැයි මස මුල දී වාර්තා කලේ ය. එක්සත් ජනපදය බලා පිටත් වීමට පෙර ඔහු තානාපතිනි ටෙප්ලිට්ස් හමු වූ බව පුවත්පතේ සඳහන්ය. ආන්ඩුවේ මූලාශ්‍ර උපුටා දැක්වූ ටයිම්ස් පත්‍රය, ඔහු ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලලිත් චන්ද්‍රදාස හමු වී, පසුව දෙදෙනාම රාජ්‍ය දෙපාර්තමේන්තු සාකච්ඡා සදහා වොෂින්ටනයට ගිය බව පැවස

ටයිම්ස් පත්‍රයට අනුව සංචාරය සිදු කලේ, “එක්සත් ජනපදය සමග සබඳතා වර්ධනය කරගැනීමේ අවස්ථා හඳුනාගැනීම හා ජාත්‍යන්තර ප්‍රශ්න වලදී ආන්ඩුවේ ප්‍රකාශිත ආස්ථානය වන මධ්‍යස්ථ පිලිවෙතක් අනුගමනය කිරීම ගැන දැනුම් දීම” පිනිස ය. වොෂින්ටනයේ අදහස අනුව, කොලඹ ආන්ඩුව “චීනයට වාසි වන පැත්තට බොහෝ සෙයින් බරවී ඇත” යැයි පුවත්පත සටහන් කලේ ය.

ජනාධිපති රාජපක්ෂ ද වෙන් වෙන් අවස්ථා දෙකක දී එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් දෙදෙනෙකු හමු වී ඇතැයි වාර්තා වේ. ඒවායේ දී සාකච්ඡා වූ දේවල් පිලිබඳ ව විස්තර අනාවරනය කෙරී නැත.

එක්සත් ජනපදය හා චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි සූදානම්වීම්වල ප්‍රධාන කලාපීය සගයා වන ඉන්දියාව, බෙයිජිනය සමග රාජපක්ෂ තන්ත්‍රය පවත්වාගෙන යන සබඳතාවන්ට හතුරු ය. කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නට්ටං කර දමා ඇති අතර, ඉහල ආයෝජන හා නය පතා මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ ආන්ඩුව චීනය වෙතට හැරී ඇත.

අප්‍රේල් මාසයේ දී, චීනයෙහි එක් තීරයක් එක් මාවතක් වැඩපිලිවලේ (බීආර්අයි) වැදගත්ම කොටසක් වන, චීනය විසින් මුදල් යොදවන කොලඹ වරාය නගර (සීපීසී) ව්‍යාපෘතිය විවෘත කරන ලදී. බීආර්අයි යනු, සිය ආනයන හා අපනයන ඉන්දියානු සාගරය හා මධ්‍යම ආසියාව හරහා නිදහසේ ගලා යාම තහවුරු කරගන්නා, බෙයිජිනයෙහි භූ-මූලෝපායික සැලසුමෙහි කොටසකි. එය වූ කලී චීනය මිලිටරිමය වසයෙන් වටලෑම පිනිස එක්සත් ජනපද නායකත්වය පැත්තෙන් දරන ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිචාරයකි.

බෙයිජිනයෙන් දුරස්ථ වන ලෙසට රාජපක්ෂ පාලනය මත පීඩනය දැමීමේ වොෂින්ටනයේ උත්සාහයන් වලට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) දී ද තල්ලුව ලැබේ. බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධයෙහි අවසන් වසර කිහිපයේ දී සිදුකරන ලද යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ විමර්ශනයක් ඉල්ලන යූඑන්එච්ආර්සී යෝජනාවක් මාර්තු මාසයේ දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා අනෙකුත් ප්‍රධාන රටවල් විසින් සම්මත කලේ ය. 2009 මැයි මාසයේ දී එල්ටීටීඊයේ පරාජයත් සමග අවසන් වූ යුද්ධයේදී, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් හා මිලිටරියට යටත් වූ එල්ටීටීඊ නායකයන් ඇතුලු ව, තවත් සිය ගනනක් මරා දමනු ලැබින.

“අදාල අධිකරනමය ක්‍රියාදාමයන්” සඳහා අවශ්‍ය “තොරතුරු හා සාක්ෂි ශක්තිමත් කිරීම, විශ්ලේෂනය කිරීම හා සුරක්ෂිත කිරීම” පිනිස, එම යෝජනාව මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලයට බලය දුන්නේ ය. “සංහිඳියා ක්‍රියා දාමයට “ දෙමල පක්ෂ ද ඇතුලත් කරගන්නා ලෙස යෝජනාව කැඳවුම් කලේ ය.

යූඑන්එච්ආර්සී වෙත වාර්තාව ඉදිරිපත් කල මහ කොමසාරිස් මිචෙල් බැචලට්, යූඑන්එච්ආර්සී සාමාජික රටවල් විසින් යුද අපරාධ විමර්ශනයක් පවත්වන ලෙස හා යුද අපරාධ පිලිබඳ වැරදිකරුවන් වන්නන්ට එරෙහි ව ඉලක්කගත සම්බාධක පනවන ‌ලෙස ඉල්ලා සිටියා ය.

ශ්‍රී ලංකාවේ දෙමල වැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ගැන වොෂින්ටනයට අවශ්‍යතාවක් නැත. කොලඹ ආන්ඩුවේ යුද්ධයට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිවාදී පාලනයට සහයෝගය දුන් එක්සත් ජනපදය, මානව හිමිකම් ප්‍රශ්න ඉස්මතු කිරීම ආරම්භ කලේ, කොලඹට මූල්‍යමය සහයෝගය හා මිලිටරි උපකරන සපයන ප්‍රමුඛයා ලෙස බෙයිජිනය ඉස්මතු වීමෙන් පසුව පමනි.

චීනය සමග සබඳතා බිඳ දමන ලෙස මහින්ද රාජපක්ෂට බල කිරීම පිනිස, එක්සත් ජනපදය විවිධාකාර යූඑන්එච්ආර්සී යෝජනාවන්ට අනුග්‍රහය දුන්නේ ය. මාරුවක් සිදු කිරීමට මෙය අසමත් වූ තැන, නව දිල්ලියේ ද පිටුබලය ලද වොෂින්ටනය, 2015 ජනවාරියේ දී, මහින්ද රාජපක්ෂ විස්ථාපනය කොට එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැම්මේ ය. මෙම දේශපාලන මාරුවට දෙජාස සිය පූර්න අනුමැතිය දුන්නේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපන ඇමති ලෙස ගුනවර්ධන පත් කිරීම, අතිශයින් අර්ථභාරී වන අතර, එය සිදුවන්නේ, දැන් හත්වන සතියට එලැඹී ඇති 250,000ට ආසන්න ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගනනක් ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයක නිරත වීම මධ්‍යයේ ය. වැඩ වර්ජිත ගුරුවරුන් සමග ගනුදෙනු කිරීමට නව ඇමතිවරයා සමත් වනු ඇතැයි ලංකාවේ මාධ්‍යයන් කියා සිටියි. තමන්ගේ පාලනය ප්‍රධාන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බවත්, ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දිය නො හැකි බවත්, ජනාධිපති රාජපක්ෂ යලි යලිත් ප්‍රකාශ කොට තිබේ.

පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කොට ඇයගේ තැනට කෙහෙලිය රඹුක්වැල්ල පත්කිරීම, කොවිඩ්-19 වංසගතයට ආන්ඩුව දක්වන විනාශකාරී ප්‍රතිචාරයට දඩමීමෙක් සොයාගැනීමේ උත්සාහයෙන් ගලා එන්නකි. විරුද්ධ පක්ෂ හා මාධ්‍ය වන්නිආරච්චි හෙලා දැක තිබෙද්දී, පුපුරා යන ආසාදන, මරන හා ඇදවැටෙමින් පවති සෞඛ්‍ය පද්ධතිය, රාජපක්ෂ පාලනයේ හා සමස්ත පාලක පන්තිය ඍජු ව වගකිව යුතු එකකි.

පසුගිය සතියේ සිදු වූ කැබිනට් වෙනස්කම, රාජපක්ෂ කල්ලියට එහි පාලනය ප්‍රසාරනය කොට ශක්තිමත් කරගැනීම සඳහා අවස්ථාවක් ද වී ය. ජනාධිපති රාජපක්ෂගේ ඥාති පුත්‍රයා හා අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ, අලුතින් නිර්මානය කරන ලද තනතුරක් වන සම්බන්ධීකරන හා අධීක්ෂන ඇමති ධූරයට පත්කරන ලදී. මෙම පත්කිරීම, ඔහු ක්‍රීඩා ඇමති තනතුර හා අනෙකුත් රාජ්‍ය ඇමති තනතුරු දැරීමට අමතර ව කල එකකි.

කැබිනට් මන්ඩලයේ කල මෙම වෙනස්කම්, රාජපක්ෂ පාලන තන්ත්‍රයේ ගැඹුරු වන අර්බුදය විසඳීම හෝ බෙයිජිනයෙන් බිඳී චීනයට එරෙහි එහි යුද සැලසුම් සමග මුලුමනින් පෙලගැසෙන ලෙස කොලඹට අනවමින් සිටින වොෂින්ටනය තෘප්තිමත් කිරීම හෝ නො කරනු ඇත.

Loading