ගොවි ජනයා මුහුන දෙන ප්‍රශ්න දිගින් දිගටම උග්‍ර වෙයි

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට එරෙහිව ජුනි හා ජූලි මාසවල රටපුරා ගොවීහු විරෝධතාවන්ට එක්වූහ. කොවිඩ් වසංගතය දිවයින පුරා පැතිරයාම උග්‍රවීමත් සමග උද්ඝෝෂන නතරවී ඇති නමුත් ගොවීන් තුල තමන් මුහුනදෙන ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් බරපතල විරුද්ධත්වයක් කැකෑරෙමින් පවතී. ඔවුන් වගා වලින් ලබා ගන්නා ආදායම බරපතල අන්දමින් කප්පාදු වීමකට මෙම තහනම හේතුවී ඇත.

ගොවියකු වන සමන් සුදර්ශන

මේ සම්බන්ධයෙන් පලාත් කීපයකම ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දැක්වූහ. බහුතරයකගේ මූලික ජීවනෝපාය ගොවිතැන වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි, සූරියවැව ගොවි ජනපදයේ ගොවියකු වන සමන් සුදර්ශන ආන්ඩුවේ තහනම හේතුවෙන් තමන්ගේ ජීවිත බිඳ වැටෙන්නේ කෙසේදැයි මෙසේ පැහැදිලි කලේය:

“මේ තහනම සමග ගොවි ජනතාව හැටියට අපි ප්‍රශ්න රාශියකට මුහුන දෙනවා. අපේ පලාත්වල ගොවීන් දශක ගනනාවක් ගොවිතැන් කලේ රසායනික පොහොර හා කෘෂි රසායන පාවිච්චියට ගනිමින්. රජයේ කෘෂිකර්ම සේවා මධ්‍යස්ථාන වලින් වැඩි දියුනු කල දෙමුහුන් බීජ වර්ග හඳුන්වා දුන්නා. එම බීජ වර්ග වලින් දින 45 ක් හෝ 60 ක කාලයක් තුල අස්වැන්න ගන්න හැකි වුනා. මෙම දෙමුහුන් බීජ වර්ග රසායනික පොහොර නැතිව වගා කරන්ට බැහැ. මේ කිසිදු කරුනක් සැලැකීමට නොගෙන, කිසිම වග විභාගයක් නැතිව ආන්ඩුව මෙම පියවර ගත්තෙ. වකුගඩු රෝගය තුරන් කිරීමටත්, පස සංරක්ෂනයට කිරීමටත් මේ පියවර ගත්බව ආන්ඩුව කියනව.”

ආන්ඩුවේ සැබෑ අරමුනු වසන් කිරීමට මෙම ව්‍යාජ සාධාරනීකරනයන් යොදාගෙන ඇති බව ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරු පෙන්වා දුන්නේය. වසංගතයෙන් වඩාත් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය සංචිතය සිඳීගොස් ඇති බැවින් ආනයන වියදම් කපා දැමීමට ආන්ඩුවට බලකෙරී ඇත. රසායනික පොහොර සහ කෘෂි රසායනික ඇතුලු තවත් බොහෝ දෑ ආනයනය නතර කිරීමේ සැබෑ අරමුන එයයි.

සමන් තචදුරටත් කරුනු දක්වමින් ගොවිජනයා මුහුන දෙන දිගුකාලීන ගැටලු පැහැදිලි කලේය. වගාවට කුඹුර සකස්කර ලීමට අවශ්‍ය වන සියලු යන්ත්‍ර ඔවුන් ලබාගන්නේ විශාල ව්‍යාපාරිකයන්ගෙන් බවත්, පසුගිය කන්නයේ කුඹුරු හෑමේදී ඔවුන් හෙක්ටයාරයකට අය කලේ රුපියල් 22,000 ක් වුවද, මේ කන්නයේ එම මුදල රුපියල් 30,000 ක් වැඩි වූ බවත් ඔහු පැවසීය. “නියර අත්ගැසීම හා නියර බැඳීම වැනි වැඩ කොටස් සදහා වෙනත් කම්කරුවන්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ සඳහා දිනක කුලිය රුපියල් 1.500 සිට 2.000 දක්වා වැඩි වෙලා. ලැබෙන ආදායමෙන් වියදම් දරාගන්ට බැරිවෙලා. ගිය කන්නයේ අස්වැන්න කිලෝවකට රුපියල් 56 ක් විතර මිල ලැබුන නමුත් මේවනවිට මිල රුපියල් 50 දක්වා අඩුවෙලා.”

ගොවීන් මුහුන දෙන ඉහත දුෂ්කරතා වලට අමතරව, තමන්ගේ දරුපවුල්වල ජීවිත අහිමිවීමට හා ගේදොර විනාශ වීමට තුඩුදී ඇති අලි උවදුර පිලිබඳව එම ගොවි ජනපදයේ අජිත කුමාර පැහැදිලි කලේය. මෙම උවදුරට විසඳුමක් ඉල්ලා, වලවේ ගඟ වම් ඉවුරේ ගොවි සංවිධාන 84 ක ගොවීන්ගේ සහභාගිත්වයෙන් 2020 මුල, වල්සපුගලදී සත්‍යග්‍රහයක් පැවැත්වූ බව ඔහු පැවසීය. මෙම සත්‍යග්‍රහයට සමගාමීව, අලි උවදුරට විසඳුම් ඉල්ලා රටපුරා ගොවි උද්ඝෝෂන මාලාවක් වැඩී ආ බව ඔහු මතකයට නැංවීය.

තම පලාතේ දේශපාලන නායකයන්ගේ හිතවතුන්ට වනරක්ෂිතයේ ඉඩම් ලබාදී අලිමංකඩවල් අහුරමින් ගෙනගිය වැඩ කටයුතු නිසා අලින් වගාබිම් වලට පැමින කල හානි හා ගේදොර කඩාබිඳ දැමීමෙන් වුන හානිය කුමාර පෙන්වා දුන්නේ ය.

අලි කලමනාකරන රක්ෂිතයක් ගැසට් කර පිලියම් යොදන බවට ආන්ඩුව ලබාදුන් පොරොන්දුව ගැන කතා කරමින් ඔහු කීවේ එය මෙතෙක් ඉටුවී නොමැති බව සහ එය රැවටීමක් වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. මේ වනතුරු ආරක්ෂිත පියවර තහවුරු කර නැති අතර, රක්ෂිතය තුල නීතියට පටහැනිව ඉඩම් ලබාගත් අය ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේම බැරගම ගොවි ගම්මානයේ ගොවිතැන තම ජීවනෝපාය කරගත් තිලක රසායනික පොහොර තහනමත් කොවිඩ් වසංගතයත් තමා මෙන්ම අනෙකුත් ගොවීන් අසීරුතාවට පත්කල අයුරු පැහැදිලි කලේය.

“එකදිගට වී ගොවිතැන කර⁣ගෙන ආ නමුත් එයින් ප්‍රමානවත් ආදායමක් ලබා ගැනීමට නොහැකි නිසා අපි කීප දෙනෙක් කෙසෙල් හා පැපොල් වගාව ආරම්භ කලා. නය මුදල් අරගෙන බිම සකස්කර කෙසෙල් පැල හැදුවා. වගාව ආරම්භයේදීම පොහොර ලබා ගැනීමට නොහැකිව ගියා. ඒ නිසා වගාව නිසරු වුනා. ගස් පීදී සරු අස්වැන්නක් නොවුනත් යම් ඵලදාවක් ලැබුනා. කෙසේ වෙතත් පලදාව ලබා ගන්නා විට කොවිඩ් වසංගතය පැතිිරීම හේතුවෙන් වෙලඳපල වැසීගියා. අප කිහිප දෙනාටම ලබාගත් නය මුදල් වත් ගෙවීමට පවා නොහැකි වුනා.”

වැලිමඩ අල හා එලවලු ගොවිතැන් කටයුතුවල යෙදෙන ගුනරත්න නමැති තරුන ගොවියා තමා ලැබූ අත්දැකීම් මෙසේ විස්තර කලේය:. “අල සහ එලවලු වගාව පොහොර හා කෘෂි රසායන නැතිව කොහොමටවත් කරන්ට බැහැ. හැම කෙනෙකුම සිද්ධවුන අහේනිය සම්බන්ධයෙන් ඉන්නේ බරපතල කලකිරීමකින්. උද්ඝෝෂන පැවත්වෙන අවස්ථාවේ සමගි ජන බලවේගයෙනුත් ආවා. ජේවීපී එකෙනුත් ආවා. හැබැයි දැන් ඒ සියල්ලෝම නිහඬයි. මෙම රැවටිල්ල හැමදාම සිදුවන්ට හැර අපේ ජීවිත විනාශ වෙනු බලා සිටිය හැකිද යන ප්‍රශ්නය පවතිනවා.

රසායනික පොහොර තහනම පැනවීමත් සමග ආන්ඩුවට එරෙහිව වැඩී ආ ගොවිජන විරෝධය අපගමනය කිරීම සඳහා සමගි ජන බලවේගය (සජබ) හා පනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වහා මැදිහත් වූහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන හා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබ) වැනි සංවිධාන ද මැදිහත්වූයේ, කිසිසේත්ම මෙම සටන් ජය ගැනීමට මාවතක් පෙන්නුම් කිරීමට නොවේ. ඔවුන් සියලු දෙනාගේම අරමුන වූයේ, ධනපති ආන්ඩුවට බලපෑම් යෙදීමේ බංකොලොත් ක්‍රියාමාර්ග තුල ගොවිජන විරෝධය දියකර හැරීමයි.

'ගොවිජන අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක්' යන හිසින්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) 2021 ජූලි 20 දා නිකුත් කල ප්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි, 'ගම්බද දුගී ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නම්, පොහොර ඇතුලු කෘෂි රසායනික නිපදවන සහ අලෙවි කරන සංගතයන්ගේ, ගොවි නිෂ්පාදන මිල දී ගනු ලබන මහා ව්‍යාපාරිකයන්ගේ සහ විෂම නය චක්‍රයක ඔවුන් සිර කර ගෙන සිටින බැංකු පද්ධතියේ ග්‍රහනයෙන් ඔවුන් මුලුමනින්ම මුදා ගත යුතු ය.

'එය කල හැක්කේ, කම්කරු පංතියේ විප්ලවවාදී මැදිහත්වීමක් මගින්, මහා සමාගම් අතෙහි පවත්නා නිෂ්පාදන මාධ්‍යයන්‌ සහ බැංකු, කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතට ගෙන ඒමෙනි. මෙය සාක්ෂාත් කල හැක්කේ, ධනේශ්වර පාලනයට සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකින් පමනකි. එම සටනේදී කම්කරු පංතිය තම මිතුරන් වන පීඩිත ගොවි ජනයාගේ සහාය ගොනු කර ගත යුතු ය.'

Loading