සසප රැස්වීම වසංගතයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි

[මෙම ලිපිය Sri Lanka: SEP meeting discusses socialist program to fight the pandemic යන මැයෙන් 2021 අගෝස්තු 30 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

කොවිඩ්-19 වලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 26) සජීවී මාර්ගගත රැස්වීමක් පැවැත්වූහ.

සසප මාර්ගගත රැස්වීම


අගෝස්තු 26 වන දින පැවති මෙම රැස්වීමට සම්බන්ධ වූ 150 ක් පමන පිරිසත් පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා එය නැරඹූ පිරිසත් සමඟ 200ක් පමන ශ්‍රාවකයක් ඊට ආකර්ෂනය වී සිටියහ. ලංකාව පුරා මෙන්ම ඉන්දියාව, ප්‍රංශය, මැදපෙරදිග සහ ලොව පුරා වෙනත් ස්ථාන කිහිපයක සිට සවන්දෙන්නෝ රැස්වීමේ රැඳී සිටියහ. මෙම වීඩියෝව මේ වන විට පුද්ගලයින් 1200 කට අධික පිරිසක් නරඹා ඇත.

සසප දේශපාලන කමිටු සාමාජික ප්‍රගීත් අරවින්ද රැස්වීමේ මුලසුන දැරීය, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුන දෙන ව්‍යසනකාරී තත්ත්වය, පාලක පන්තිය විසින් මිනිස් ජීවිතවලට වඩා ලාභය ඉහලින් තැබීමේ ප්‍රතිඵලයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ලොව පුරා පැන නගින කම්කරු පන්ති අරගලවල නව රැල්ලක් පැන නගිමින් පවතින බව සඳහන් කල ඔහු, වසංගතය ධනේශ්වර ක්‍රමයේ පරස්පරතාවයන්ගෙන් පැනනඟින “ප්‍රේරක සිදුවීමක්” ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අර්ථනිරූපනය මේ වනවිට සනාථ වී ඇති බව ඔහු සඳහන් කලේය. කෙසේ වෙතත්, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත වසංගතයට එරෙහිව සටන් කිරීමට නම් කම්කරුවන්ට තම ද්‍රෝහී නායකත්වයන්ගෙන් සහ සියලුම ධනේශ්වර දෘෂ්ඨිවාදයන්ගෙන් බිඳී වෙන්වීමට සිදු වන බව ඔහු පැවසීය.

රැස්වීම සඳහා සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (සෞසේක්‍රික) වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය කමල් මහගම, නැගී එන වසංගතය සහ සෑම ආන්ඩුවක්ම එයට දක්වන සාපරාධී ප්‍රතිචාරය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අනුග්‍රහය දැක්වූ “වසංගතය නවත්වා ජීවිත බේරාගැනීමට ගෝලීය මූලෝපායක්!” යන හිසින් අගෝස්තු 22 දා පැවති ජාත්‍යන්තර මාර්ගගත සාකච්ඡාවේදී එලිදරවු කරන ලද තොරතුරු සහ ප්‍රකාශයන්ගෙන් ඔහුගේ වාර්තාව පොහොසත් විය.

මහගම, ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත සටහන් භාවිතා කරමින් කොරෝනා වෛරස් රේට්ටු අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින මරන අනුපාතය ඉන්දියාවට වඩා දස ගුනයකින් නරක බව පෙන්වා දුන්නේය. ලොව පුරා ආන්ඩු විසින් අනුගමනය කරන ඊනියා රංචු ප්‍රතිශක්තිය සහ අවම කිරීමේ ක්‍රම පදනම් වී ඇත්තේ ලාභ අරමුන මත බවත් මෙම උපාය මාර්ග මාරාන්තික බව පෙන්නුම් කරන බවත් ඔහු පැහැදිලි කලේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වලට ගොදුරුවූවන්ගේ සිරුරු රෝහල් ට්‍රොලි මත තබා ඇති ආකාරය (මූලාශ්‍රය: ෆේස්බුක්) [Photo: Facebook]


වසංගතය මුලිනුපුටා දැමීම එකම ශක්‍ය ඉදිරිදර්ශනය බවට ලෝසවෙඅ කල නිගමනය “නියත වශයෙන්ම නිවැරදි” බව ඔහු පැවසීය. “'වසංගතය සමඟ ජීවත් වීමේ' අමානුෂික හා මාරාන්තික ප්‍රතිපත්තියට සෞඛ්‍ය සේවකයින් වශයෙන් අපට කිසිසේත් එකඟ විය නොහැක.”

ප්‍රස්තාර භාවිතා කරමින් වසංගත පාලනයේ විවිධ ක්‍රම වල ප්‍රතිඵල සංසන්දනය කල ඔහු නිගමනය කලේ “වසංගතය මුලුමනින්ම පාලනය කිරීමට අපි විද්‍යාත්මක උත්සාහයක් දරන්නේ නම් සති දෙකක් ඇතුලත එය සම්පූර්නයෙන්ම තුරන් කල හැකි” බවයි. මේ සඳහා මුලුමනින්ම අගුලු දැමීම හා මුලුමහත් ජනගහනයට එන්නත් ලබා දීමත් සමඟ නිසි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අවශ්‍ය වේ.

බොහෝ රටවල පාසල් නැවත විවෘත කිරීම, ලොව පුරා ලමුන් අතර මරන අනුපාතය ඉහල යාමට හේතු වී ඇති බව සසප දේශපාලන කමිටු සාමාජික හා සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු පැහැදිලි කලේය. ඔහු කියා සිටියේ, රටේ සියලුම සිසුන් ආවරනය වන පරිදි මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම් පුලුල් කිරීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

“රාජපක්ෂ ආන්ඩුව වසංගතයේ බර මුලුමනින්ම කම්කරු පන්තියේ උර මතට මාරු කරමින් සිටින්නේ විශාල ධනපතියන්ට සිය ලාභය උපරිම කර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම සලසා දෙමින්” යයි ඔහු පැවසීය.

ශ‍්‍රී ලාංකික ගුරුවරුන්ගේ අඛන්ඩ අරගලය සමාලෝචනය කරමින්, තවත් පාවාදීමකට සූදානම් වන වෘත්තීය සමිති වලින් බිඳී වෙන් වී සසප විසින් පිහිටුවන ලද අධ්‍යාපන සේවකයින්ගේ ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වන ලෙස ඔහු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින්, කොවිඩ්-19 තනි රටක් තුල තුරන් කල නොහැකි බවත් ඒ සඳහා ගෝලීය උත්සාහයක් අවශ්‍ය බවත් අවධාරනය කලේය. “එම නිසා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය සම්පත් බලමුලු ගැන්වීමේ හා සම්බන්ධීකරනය කිරීමේ කර්තව්‍යය ජාත්‍යන්තර කම්කරු පන්තිය භාර ගත යුතුය,” ඔහු පැවසීය.

ලොව පුරා සිටින ඔහුගේ සගයන් මෙන් ජනාධිපති රාජපක්ෂ ද පවසා ඇත්තේ ජනතාව “යථාර්ථය අවබෝධ කරගත යුතු බවත්” “වෛරසය සමඟ ජීවත් විය යුතු බවත්” ය. මෙයින් අදහස් කලේ ධනපතියන් සඳහා ලාභ උත්පාදනය කිරීමට සේවකයින්ට තමන්ගේ, තම දරුවන්ගේ හා ආදරනීයයන්ගේ ජීවිත පවා නොතකා අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමට සිදු වන බවයි.

ධනේශ්වර ආර්ථිකය සම්පූර්නයෙන්ම නැවත විවෘත කිරීම සඳහා—එක්සත් ජනපදයේ බයිඩන්, එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් සහ ඉන්දියාවේ මෝදි මෙන්—පනවා තිබූ සීමිත සීමාකිරීම් ද ඉවත් කිරීමට සෑම තැනකම ධනපති පාලකයින් කටයුතු කරන ආකාරය ජයසේකර පැහැදිලි කලේය.

“ලංකාවේ ඇඟලුම් කර්මාන්තය 'අත්‍යවශ්‍ය සේවාවක්' ලෙස අර්ථ දක්වන්නේ එය ධනපතියන් සඳහා විශාල ලාභයක් උපදවන හෙයින් එය කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා බව” ඔහු පැවසීය. “වසංගතය අතරතුර ක්‍රියාත්මක කල යුතු අත්‍යවශ්‍ය සේවාවන් තීරනය කල යුත්තේ ධනපති පන්තිය නොව කම්කරු පන්තිය බව” ඔහු තවදුරටත් පැවසීය.

දැන් අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් සමඟ කටයුතු කිරීම සඳහා රාජපක්ෂ තන්ත්‍රය ඒකාධිපති පාලන ක්‍රම සූදානම් කරමින් සිටින බව ද ඔහු පැවසීය. වෘත්තීය සමිතිවල කාර්යභාරය සහ ආන්ඩුවට ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සමාලෝචනය කරමින් ඔහු කියා සිටියේ සෑම වැඩ කරන ස්ථානයකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින් තම අරගලයන් හි පාලනය කම්කරුවන් තමන් අතට ගත යුතු බවයි.

වඩ වඩාත් නරක අතට හැරෙමින් පවතින වසංගතයට හා රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී ක්‍රම වලට එරෙහිව සටන් කිරීමට ශ‍්‍රී ලාංකික කම්කරුවන්ට හැකි වන්නේ කලාපය තුල හා ගෝලීය වශයෙන් කම්කරු පන්තිය සමඟ සහයෝගයෙන් සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වැදීමෙන් පමනි. ජයසේකර කතාව අවසන් කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය සහ වැඩ පිලිවෙල අධ්‍යයනය කරන ලෙසත් සමාජවාදය සඳහා වන සටන ඉදිරියට ගෙන යාම සඳහා සසප හා සම්බන්ධ වන ලෙසත් සහභාගී වූවන්ට ආරාධනා කරමිනි.

මෙම සාකච්ඡාවේදී වෛද්‍ය මහගමගෙන් ප්‍රශ්න කිහිපයක් අසන ලදි. කොවිඩ්-19 වසංගතය මුලිනුපුටා දැමීම සඳහා අත්‍යවශ්‍ය නොවන සියලුම කර්මාන්ත වසා දැමීමත් පූර්න අගුලු දැමීමක් පැනවීමත් අත්‍යවශ්‍ය බව ඔහු පැහැදිලි කලේය. 'සමස්ත සෞඛ්‍ය පහසුකම් වැඩි දියුනු කිරීම සඳහා භාවිතා කරන සම්පත්වල සීමාවක් නොතිබිය යුතුය, නමුත් කම්කරු පන්තියට ධනපතියන්ගෙන් එම සම්පත් අත්කර නොගෙන මෙය කල නොහැකි ය' යනුවෙන් ඔහු පැවසීය.

වෛද්‍ය මහගම ගේ වාර්තාවට ලැබුනු අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයට අවධනය දෙමින් සහ එය පුලුල් සන්දර්භයක තබමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් සාකච්ඡාවට සහභාගී විය.

“කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිලිබඳ සැබෑ විද්‍යාත්මක ප්‍රකාශනයක් සඳහා වැඩ කරන ජනතාව දක්වන දැඩි උනන්දුවයි මෙයින් පෙන්නුම් කෙරෙන්නේ. ගෝලීය ධනවාදය සිය ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම් මුලුමනින්ම නොතකා ක්‍රියා කරමින් සිටිනවා. අර්බුදයේ ගිලී සිටින ධනවාදය විද්‍යාවට සතුරු ය,” ඔහු පැවසීය.

වැඩවසම් ගූඪ වාදයට විරුද්ධව සහ මානව වර්ගයාගේ උන්නතිය සඳහා මුල්කාලීනව විද්‍යාව දියුනු කල ධනවාදය දැන් අධිරාජ්‍යවාදයේ ස්වරූපයෙන් එහි ඉහලම හා අවසාන අවධියේ සිටින අතර එ විසින් සැබෑ විද්‍යාව ප්‍රවර්ධනය කිරීමේ ලක්ෂනය එහි ප්‍රතිවිරුද්ධය බවට පත්ව ඇති බවත් ඩයස් පැවසීය.

ඉතිහාසයේ වර්තමාන පරිච්ඡේදය තුල, ධනපති පන්තියේ ම්ලේච්ඡ ලාභ ඉල්ලීම් වලට විරුද්ධව කම්කරු පන්තියේ ‌ඓතිහාසික අවශ්‍යතා සමඟ ඒකාබද්ධ වීමෙන් පමනක් විද්‍යාවට සමෘද්ධිමත් විය හැකි බව ඔහු තවදුරටත් පැවසීය. වසංගත අර්බුදයේදී මෙය හොඳින්ම හෙලිදරව් වී ඇත.

මෙම කරුන පැහැදිලි කිරීම සඳහා ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ලුඩ්විග් ෆොයබාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය පොත් පිංචෙහි අවසාන ඡේදය ඩයස් උපුටා දැක්වීය. එංගල්ස් පැවසූ පරිදි: “විද්‍යාව නිර්දය අයුරිනුත් අපක්ෂපාතී අයුරිනුත් ඉදිරියට යත් කම්කරුවන්ගේ උවමනවන් සහ අභිලාශයන් හා තමන් එකමුතුවකට යන බව විද්‍යාවට පෙනේ. සමාජයේ සමස්ත ඉතිහාසය ම තේරුම් ගැනීමේ මාර්ගය ලෙස ශ්‍රමයේ වර්ධනය පිලිබඳ ඉතිහාසය පිලිගත් නව ප්‍රවනතාව එහි ආරම්භයේ පටන්ම වඩාත් කැමැත්තෙන් කම්කරු පන්තිය ඇමතුවේය. නිලවශයෙන් පිලිගත් විද්‍යාවෙන් නොසෙවූත් බලාපොරොත්තු නොවූත් ප්‍රතිචාරය කම්කරු පන්තියෙන් එයට ලැබුනේය”. ඩයස් තවදුරටත් මෙසේ පැවසීය: “මෙහි අපගේ රැස්වීමට දැක්වූ මහජන ප්‍රතිචාරය මෙන්ම අගෝස්තු 22 දා පැවති ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාර්ගගතග රැස්වීම සඳහා ගෝලීය ප්‍රතිචාරය ද තහවුරු කරන්නේ එංගල්ස් ගෙනහැර දැක්වූ ඉදිරිදර්ශනයයි.

“ධනේශ්වර පාලනයේ මිනීමරු ප්‍රතිපත්ති සාධාරනීකරනය කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති පන්තියේ සියලුම කොටස් හා වමේ සිටින සියලුම හෙංචයියන් විසින් සමානවම පුන පුනා කරන මන්තරය නම් ලංකාව දුප්පත් රටක් වන අතර එම නිසා ආර්ථික කටයුතු අගුලු දැමීම එයට දැරිය නොහැකිය යන්නයි.

“මිලියන ගනනක් මරන සිදු වුවද, ධනපති රටවල් ද නිෂ්පාදන වසා දැමීමට මැලි වන බවත්, ඔවුන් නියෝජනය කරන හා එල්ලී සිටින ධනේශ්වර-අධිරාජ්‍යවාදී ක‍්‍රමය පැරනි යටත්විජිත ලෝකයේ පවතින දිලිඳුකමට වගකිව යුතු බවත් ඒ සියලු දෙනාම වසං කරති.

“ඉහත ස්ථාවරය සඳහා තර්ක කරන අතරම, ග්‍රාමීය දුප්පතුන්ට සමාජ සුභසාධන ප්‍රතිලාභ කප්පාදු කිරීම ඇතුලුව රාජපක්ෂ ආන්ඩුව විසින් සිදු කරන ලද සියලුම කම්කරු විරෝධී ප්‍රහාරයන්ට ව්‍යාජ වම්මු සහාය දක්වති. නමුත් ඔවුන් වසරකට ඩොලර් බිලියන 4 කට අධික මුදලක් විදේශ බැංකුවලට නය ගෙවීම සඳහා වියදම් කිරීම ගැන ඔවුන් නිහඬ ය. විශාල සේවා යෝජකයන්ට ගෙවන මිලියන ගනනක බදු සහන සහ මුදල් සහනාධාර ගැන ඔවුන් මුලුමනින්ම මුනිවත රකිති. සියලුම ධනපති ගැති පක්ෂ වලට විරුද්ධ ලෙස විදේශීය නය නැවත ගෙවීම් සපුරා අහෝසි කරන ලෙසත්, ධනවතුන් සඳහා වැඩිවන ලාභයට සමානුපාතිකව ඉහල යන බදු ක්‍රමයක් ස්ථාපිත කරන ලෙසත් සසප කැඳවුම් කර සිටියි” ඩයස් පැවසීය.

කථිකයා අවධාරනය කලේ කොවිඩ්-19 මුලිනුපුටා දැමීම රඳා පවතින්නේ කම්කරු පන්තිය දේශපාලන බලය දිනා ගැනීම මත බවයි. ආර්ථිකයේ සෑම ප්‍රධාන අංශයකම සහ විශ්ව විද්‍යාල වල වැනි තරුනයින් අතර දේශපාලනිකව දැනුවත් කිරීම සඳහා සසප මූලිකත්වය ගතයුතු බව ඔහු අවසාන වශයෙන් පෙන්වා දුන්නේය. අවශ්‍ය වන්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී රාජ්‍යයන්ගේ සමූහාන්ඩුවේ කොටසක් ලෙස, ලංකාවේ කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා සටන් කිරීම සඳහා සසප මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීම බව ඔහු පැවසීය.

Loading