පොලිසිය කරෙයිනගර් ගම්වාසීන්ට කෲර ලෙස පහර දෙයි

[මෙම ලිපිය காரைநகர் மக்கள் மீது இலங்கை பொலிஸ் கொடூரமான தாக்குதலை நடத்தியது යන මැයෙන් 2021 සැප්තැම්බර් 9 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයකි.]

සැප්තැම්බර් 6 වැනි දා, කරෙයිනගර්හි පිට්ටියෙල්ලයි සහ ඌරි ගම්මානවල ගැහැනුන් ද ලමයින් ද ඇතුලත් පදිංචිකරුවන් එක් තැනකට රැස් කර වූ 25 දෙනෙකු පමන වන පොලිස් භට පිරිසක් ඔවුන්ට නිර්දය අයුරින් පහර දුන්හ. නිවෙස්වලට කඩා වැදුනු පොලිස්කාරයෝ බැටන් පොලුවලින් ද බූට් පැලඳි සපත්තුවලින් ද පහර එල්ල කලහ. පාරවල රැඳී සිටි ජනතාවට ද පොලිසිය පහර දුන්නේ ය. මෙම පොලිස්කාරයෝ පිස්තෝලවලින් සන්නද්ධ ව සිටියහ. පහර කෑ අය පවසන හැටියට මේ පොලිස්කාරයන් බීමත් ව හිඳ ඇත.

ඌරි ගම්මානයේ ප්‍රහාරය අතරතුර පොල්ලක් අත දරා සිටින පොලිස් භටයෙක්

පොලිස් නිල රථයක් ඇතුලු වාහන දෙකකින් ද යතුරුපැදි 10කින් ද මෙම පොලිස් පිරිස පැමින තිබුනි. පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමනක් නිල ඇඳුම්වලින් සිටි අතර සෙස්සෝ සිවිල් ඇඳුම්වලින් සැරසී සිට ඇත. පහර කෑ අය පවසන ආකාරයට නිල ඇඳුම්වලින් සිටි අය ද තම නිල අංක සහ නම දැක්වෙන ලාංඡන පැලඳ සිට නැත.

සමාජවාදී සමානතා පක්ෂයත් ලෝක සමාජවාදී වෙබ් අඩවියත් අහිංසක ජනතාවකට එල්ල කල මෙම පොලිස් මැර ප්‍රහාරය හෙලා දකී. මෙය මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ව එල්ල කල සැලසුම් සහගත ප්‍රහාරයකි.

ප්‍රහාරය හේතුවෙන් බොහෝ අය තුවාල ලැබූහ. කයිට්ස් පොලිසිය අතදරු මවක ද ඇතුලු දහයකට අධික පිරිසක් අත්තඩංගුවට ගත්තේ ය.

පෙර දින මෙම ගම්මාන දෙකේ පුද්ගලයන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයෙකු අතර මාර්ග අනතුරකට පසු ඇති වූ ගැටුමක් මෙම ප්‍රහාරයට නිමිත්ත කර ගෙන තිබුනි. පිරිසක් සමග කාර් රථයක ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයා යතුරුපැදිවලින් ගමන් කල එම්. විභූෂනන් (29) සහ පී. භානුජන් (20) හප්පා තිබුනි. ව්‍යාපාරිකයාගේ කාර් රථය තුල සිවිල් ඇඳුමින් ඇතැම් පොලිස් පුද්ගලයන් සිටිනු දැක ඇත.

තරුනයන් සහ සෙසු පිරිස් සිද්ධිය නැරඹීමට වට වුනු අතර ඒ අතර සිටි ඇතැම් අය ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ දරා ඇත. එතැන සිටි පොලිස් පුද්ගලයෝ සිද්ධිය වීඩියෝගත කර ඇත. දැන් මෙම වීඩියෝ මූලාශ්‍ර කර ගනිමින් පොලිසිය පුද්ගලයන් අත්තඩංගුවට ගනිමින් සිටී.

සිද්ධිය සිදු වූ දින රාත්‍රියේ ම කිසිදු පැමිනිල්ලකින් තොර ව ම විභූෂනන් සහ භානුජන් අත්තඩංගුවට ගත් පොලිසිය මහේස්ත්‍රාත් නියෝගයක් යටතේ ඔවුන් දින 14කට රඳවා තබා ගෙන සිටින්නේ කාර් රථයට අලාභ හානි කලේ යැයි යන චෝදනාව උඩ ය.

පසු දින සවස ගම්මානවලට අසභ්‍ය වචන කියමින් බැන අඬ ගසමින් කඩා වැදුනු පොලිසිය ටී. තේනුසන් (19), එස්. විදුසන් (25), බී. පවරදන් (22), එම්. දයන්සන් (21), එම්. සින්දුසන් (28), එස්. විජිදරන් (28), ටී. නිරන්ජන් (35) යන කුලී රැකියාවල නිරත දුගී තරුනයන් අට දෙනා සහ තරුන මවක අත්තඩංගුවට ගත්හ. අත්තඩංගුවට ගත් අයට පොලිස් ස්ථානයට ගෙන යන තෙක් ම පහර දී ඇත.

දිනක් රඳවා ගනු ලැබූ පිරිස සැප්තැම්බර් 7 වැනි දින කයිට්ස් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබ රුපියල් 5000ක පෞද්ගලික ඇප මත නිදහස් කරනු ලැබූහ. ඔක්තෝබර් 17 වැනි දින ඔවුන්ගේ නඩුව යලි විභාගයට ගනු ලැබෙනු ඇත. එදින ම මෝසමක් ඉදිරිපත් කිරීම මගින් විභූෂනන් සහ භානුජන් ඇප ලබා තිබුනි.

පොලිසිය කාර් රථයට අලාභ හානි සිදු කිරීම, සොරකම් කිරීම සහ කොවිඩ්-19 රෙගුලාසි උල්ලංඝනය කලේ ය යන ව්‍යාජ චෝදනා ඔවුන්ට එල්ල කිරීමට ප්‍රයත්න දැරීය. තවත් හතර දෙනෙකුට අත්තඩංගුවට ගන්නා බවට තර්ජනය ද කර ඇත.

කාර් රථයට අලාභ හානි සිදු කලේ ය සහ සොරකම් කිරීම යන ගෙතූ චෝදනා පිලිගන්නා ලෙස බල කරමින් අත්තඩංගුවට පත් වූවන් පොලිසිය තුල දී කෲර වධ බන්ධනයන්ට ලක් කර ඇත. වින්දිතයන් පවසන ආකාරයට ඔවුන්ගේ අත් පිටු පසට කොට මාංචු දමා හිස යූරියා පොහොර බෑග්වලින් ආවරනය කොට රැය පුරා පහර දී ඇත. පොලිසිය ඔවුන්ට මිරිස් කුඩු ඉස ඇස්වලට විශබීජ නාශක දියර ස්ප්‍රේ කර ඇත.

මහේස්ත්‍රාත්වරයා පොලිසියේ මෙම පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කල ද නිරෝධායන නීති කඩ කලේය යන චෝදනාව අවධානයට ගත්තේ ය.

පොලිසිය සිරකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට මත්තෙන් වෛද්‍ය පරීක්ෂන සඳහා රෝහලට ඉදිරිපත් කල අතර වධ බන්ධන සම්බන්ධයෙන් පැමිනිලි නොකල යුතු බවට තර්ජනය කර ඇත. එක් වින්දිතයෙකු පවසන ආකාරයට “තමුසෙ ඇත්ත කිව්වොත් තව තව බොරු චෝදනා ගොතලා උඹව අවුරුදු ගානකට ම හිරේ යවන” බවට පොලිසිය ඔහුට තර්ජනය කර ඇත.

පිට්ටියෙල්ලෛ ග්‍රාමයේ වින්දිතයෙකු වන ඉයම්පිල්ලෛ බාලසිංහම් තම පුතු පවදරන්, ඔහුගේ බිරිය, තම දියනිය සහ ඇයගේ සැමියා පොලිසිය විසින් පහර දෙනු ලැබ අත්තඩංගුවට ගත් බව ලෝසවෙඅ වෙත සඳහන් කර සිටියේ ය. හින්දුජා යනු අතදරු මවකි.

“එක පාරට ම නිවස කඩා වැදුනු පොලිසිය අපිව පෙල ගස්වා අපේ පුතාව අල්ල ගත්තා. අපේ ඇස් ඉදිරිපිට ම පොලිස්කාරයෝ හතර දෙනෙක් ඔහුට තඩි බෑවා. පුතාව බේර ගන්න හදන කොට උන් මගේ බිරිඳටත් පහර දී තල්ලු කරලා දැම්මා” යැයි ඔහු කීවේ ය.

අනතුරු ව ඌරිහි සුරේෂ්ගේ නිවසට කඩා වැදුනු පොලිස් කන්ඩායම අතදරුවෙකු ද ඇතුලු ව මුලු පවුලට ම පහර දී ඇත. දේපලවලට අලාභහානි සිදු කරමින් මෙම අඩන්තේට්ටම පැය භාගයක් මුලුල්ලේ සිදු වී ඇත. සුරේෂ්ගේ පුත්‍රයාගේ වෘෂන කෝෂවලට එල්ල කෙරුනු පහරකට පසු ව ඔහු සිහිසුන් ව ඇද වැටුනු පසු පොලිස් කන්ඩායම එම ස්ථානයෙන් ඉවත් ව ගොස් ඇත. ඔහුගේ ලමුන් දෙ දෙනෙක් යාපනය ශික්ෂන රෝහලට ඇතුලත් කෙරුනෝ ය.

පහර දීම නතර කරන්නැයි ඉල්ලා සිටි විට පොලිසිය තමන්ට ද පහර දුන් බව කරෙයිනගර් තරුන සංසදයේ සභාපති වන එස්. එඩිසන් සඳහන් කලේ ය. “මහ පාරේ හිටපු ගෑනු උදවියට පොලිසිය පහර දුන් ආකාරය මාව කම්පනයකට ලක් කලා” යැයි ඔහු පැවසී ය.

පොලිස් ස්ථානයේ උඩුමහලේ තරුනයන් වදබන්ධනයන්ට ලක් කරන ආකාරය තමන් දුටු බව තම පුතා නිදහස් කර ගැනීමට කයිට්ස් පොලිස් ස්ථානයට ගිය කාන්තාවක් සඳහන් කලා ය.

“අපි දුප්පත් මිනිස්සු හින්දයි පොලිසිය අපිට තිරිසනුන්ට වගේ සලකන්නේ. ආන්ඩුවට හෝ දේශපාලනඥයන්ට අප ගැන වගක් නෑ. ඔවුන්ට අපි ඡන්ද බැංකු විතරයි” යයි තවත් කාන්තාවක් සඳහන් කලා ය.

යාපනය නගරයේ සිට කිලෝමීටර් 25ක් ඈතින් කරෙයිනගර් දූපත පිහිටා ඇත. පිට්ටියෙල්ලෙයි සහ ඌරි ගම්මානවල බහුල වශයෙන් ජීවන් වන්නේ ධීවරයෝ වෙති. තරුනයෝ මේසන් බාස්ලා, වඩු බාස්ලා සහ විදුලි කාර්මිකයන් ලෙස කුලී රැකියාවල නිරත වෙති. සෙසු තරුනයෝ විරැකියාවෙන් පෙලෙන අතර තම දෙමාපියන්ගේ ආදායම්වලින් යැපීමට ඔවුන්ට බල කෙරී ඇත.

යුද්ධයෙන් විනාශභාග කෙරුනු උතුරු සහ නැගෙනහිර මෙබඳු පොලිස් සහ මිලිටරි ප්‍රහාර සුලභ ය. සැප්තැම්බර් 5 වැනි දා, නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිවුහි දී ඉන්ධන සැපයුම්හලක සිට යතුරුපැදියකින් ආපසු එමින් සිටි සහෝදරයන් දෙදෙනෙකුට මහ පාරේ දී පොලිසිය කෲර ලෙස පහර දුන්නේ ය. ඇස්වලට සහ මුහුනට සිදු වුනු බරපතල තුවාල හේතුවෙන් ඔවුහු රෝහල්ගත කරන ලදහ.

අගෝස්තු 15 වැනි දා, යාපනය පොන්නාලෛ ගම්මානයට මහ රෑ කඩා වැදුනු ශ්‍රී ලංකා මිලිටරිය ඇතැම් නිවෙස්වල දොරවල් කඩමින් මිනිසුන්ට පහර දුන්නේ ය. පොන්නාලෛ යනු ද කරෙයිනගර් වැනි ම ප්‍රදේශයකි. වඩමාරච්චි ප්‍රදේශයේ පිහිටා ඇති තුන්නාලෛ ගම්මානයේ ජනතාව නිරතුරු ව ම පොලිස් ප්‍රහාරයන්ට ඉලක්ක වෙති.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු ගෙන ගිය 26 වසරක සිවිල් යුද්ධය නිමා ව වසර 12ක් ඉක්ම ගොස් ඇත ද උතුරු සහ නැගෙනහිර පලාත් තවමත් ඇත්තේ මිලිටරි ග්‍රහනයේ ය. ජනතාව තවමත් යුද්ධය සිදු කල සමාජ ව්‍යසනයන්ට මුහුන දෙති. කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය ඔවුන්ගේ කොන්දේසි තවත් දරුනු කර ඇත.

දෙමල ජාතික සන්ධානය, දෙමල මහජන සන්ධානය වැනි සියලු ම දෙමල ධනපති පක්ෂ සහ යාපනය කේන්ද්‍ර කර ගත් මාධ්‍ය කරෙයිනගර් ප්‍රහාරය සම්බන්ධයෙන් පමනක් නොව, මිලිටරියේ සහ පොලිසියේ සෙසු නිරන්තර මර්දනකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සම්පූර්නයෙන් ම නිහඬ ය.

මෙම පොලිස් ප්‍රහාරයන් සිදු වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරමින් සිටින අතරතුරේ දී ය. අගෝස්තු 30 වැනි දා ජනාධිපති රාජපක්ෂ මර්දනකාරී “හදිසි තත්ත්වයක්” නිවේදනය කලේ ය. එ මෙන් ම මැයි 27 පැන වූ අත්‍යවශ්‍ය සේවා නියෝග අලුත් කර ඇත. මෙ බඳු ආඥාදායක සූදානම් කිරීම් රාජ්‍යයේ මර්දන මෙවලම්වලට දාමරිකකම්වලට හයිය ලබා දී ඇත.

Loading